|

ගනුදෙනු බේරාගැනීම – සී. ජේ අමරතුංග

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් තබා තිබිණි. ඒකාබද්ධ විපක්ෂයේ 51 දෙනෙක් හා ශ්‍රීලනිපයේ 4 දෙනෙක් එයට අත්සන් තැබූහ. එජාපයෙන් එයට එක් අස්සනක් හෝ ලබාගැනීමට හැකි වී නැත. ශ්‍රීලනිපයේ සිටින 44 දෙනාගෙන්ද අත්සන් කළේ හතරදෙනකු පමණි. එම තත්ත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ වාද විවාද ඇතිවූයේ විශ්වාසභංගය එලෙස භාරදෙනවාට පිරිසක් විරුද්ධ වූ නිසාය. කෙසේ වෙතත් ඒ වන විට ඒකාබද්ධය ගොස් සිටි දුර වැඩි නිසා ආපසු හැරෙන්නට ද හැකියාවක් තිබුණේ නැත. යම් හෙයකින් මෙම විශ්වාසභංගය භාර නොදුන්නා නම් එයම පරාජයක් ලෙස පෙනී යන්නට ඉඩ තිබිණි. එමනිසා එය භාරදෙන්නට අවසානයේ තීන්දු කළේ වාද විවාද ගණනාවකින් පසුවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංග යෝජනාවට අත්සන් කොට නොතිබිණි. ආණ්ඩුවට එරෙහිව පසුගිය කාලයේ ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ කිසිදු යෝජනාවකට මහින්ද ඡන්දය දුන්නේ ද නැත. ඒකාබද්ධ විපක්ෂයේ උදවිය කීවේ මහින්ද ඡන්දය දෙන්නේ තීරණාත්මක මොහොතක බවයි. එනම් දිනන්න හැකි අවස්ථාවකය. ආණ්ඩුව පරාජය කළ හැකි විටෙකය. විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතා අස්සන් කර නොතිබීම මඟින් ඒකාබද්ධ විපක්ෂය අනියමින් පිළිගෙන ඇත්තේ ‍ෙමය දිනන්න බැරි යෝජනාවක් බවය. එසේ වුවද ඔවුන් කියන්නේ මෙය දිනන බවයි. ඡන්දය විමසන මොහොත වන විට එජාපයේ හා ශ්‍රීලනිපයේ විශාල පිරිසක් යෝජනාවට ඡන්දය දෙන බවකි.

අගමැතිට අවස්ථාවක්

ෂෙහාන් සේමසිංහ මහතා කියා තිබුණේ එජාපයෙන් 18 ක් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බවකි. කෙසේ වෙතත් එජාපයේ නායකත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ එළිපිට කතා කළේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකි. ඒ වසන්ත සේනානායක හා රංගේ බණ්ඩාරයි. පසුව තරමක් නිහඬව සිටියද රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා පසුගිය දිනක කීවේ එජාපයේ ප්‍රතිසංවිධානයක් නොතිබු‍ණහොත් 27 දෙනකු විශ්වාසභංගයට ඡන්දය දෙන බව හෝ ඡන්දය දීමට නොපැමිණෙන බවයි. කෙසේ වෙතත් එජාප මන්ත්‍රී කණ්ඩායමේ බොහෝදෙනා කියන්නේ පක්ෂය තුළ මොන ප්‍රශ්න තිබුණද මෙම ප්‍රශ්නයේදී පක්ෂය එකට සිට මුහුණදෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේ විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලැබීම ද අවිනිශ්චිත බවයි. අගමැති රනිල්ගේ නායකත්වය නොපිළිගන්නේ නම් මේ මොහොතේදී මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දිය යුතු බව ඒ මහතා කියා තිබිණි. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ඇතුළු පිරිසක් විශ්වාසභංග යෝජනාවට පක්ෂව මත ප්‍රකාශ කරතත් තවත් පිරිසක් ඊට එරෙහිව අදහස් දක්වන බව පෙනෙන්නට තිබේ. මහින්ද අමරවීර ඇමැතිවරයා කීවේ මෙහිදී තමන් පක්ෂය නොබෙදෙන තීන්දුවක් ගන්නා බවයි. එය තරමක් අපහසු කාරණයක් වන බව පෙනෙන්නට ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ ප්‍රකාශකොට තිබුණේ විශ්වාසභංගය තමන්ටත්, පක්ෂයටත් ආශීර්වාදයක් වන බවයි. එනම් මෙය තමන්ට ඇති ශක්තිය පෙන්නුම් කිරීමට අවස්ථාවක් වන බවයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මෙන්ම මන්ත්‍රී කණ්ඩායමේ සහාය ද අගමැතිවරයාට ලැබෙන බව පෙනෙන්නට තිබේ. වසන්ත ‍සේනානායක හා රංගේ බණ්ඩාර මන්ත්‍රීවරුන්ට තිබෙන ප්‍රශ්නය ගැන එජාපයේ බොහෝ දෙනා දනිති. මහජනයා ද නොදන්නවා නොවේ. පක්ෂයේ ප්‍රතිසංවිධානය ගැන කතා කළද එය කිසිසේත්ම එබඳු ප්‍රශ්නයක් නොවන බව බොහෝ දෙනාට පෙනී යන කාරණයකි.

පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂ මහතා ද කියා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා කී කතාවට සමාන කතාවකි. ඔහු කියා තිබුණේ පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රාහී මානසිකත්වයකට පැමිණ සිටි පොදුජන පෙරමුණ විශ්වාසභංගයෙන් එම තත්ත්වය අහිමිවිය හැකි බවයි. ආණ්ඩුව ජයග්‍රාහී තත්ත්වයකට ‍පත්වීමට ඉඩ ඇත යන්න ඔහුගේද ගණන් බැලීම වී තිබිණි.

දැන් එක් එක් පක්ෂ තම ස්ථාවරය ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 16 දෙනකු සිටින දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රකාශකොට ඇත. ඒ කියන්නේ ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව සිටින බවයි. ජාතික හෙළ උරුමය ද විශ්වාසභංග යෝජනාවට එරෙහිවන බව ප්‍රකාශ කළේය. එම පක්ෂයට එජාපය සමඟ විසඳාගන්නට ප්‍රශ්න නැතුවා නොවේ. එසේ වුවද චම්පික රණවක ඇමැතිවරයා ප්‍රකාශකොට තිබුණේ එම ප්‍රශ්න තිබුණද මහා හොරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවකට සහාය දිය නොහැකි බවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද මේ වන විට එජාපය සමඟ යම් යම් ප්‍රශ්න මතුකරගෙන සිටින්නේ පළාත් පාලන ආයතනවල බලය සම්බන්ධ විවිධ ගැටලු නිසාය. කෙසේ වෙතත් එම ප්‍රශ්න නිසා ඔවුන් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයකට ඡන්දය දෙන තත්ත්වයට තවම පත්ව නැති බව පෙනෙන්නට තිබේ.

ඒකාබද්ධ විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම මඟින් සැබැවින්ම අභියෝගය එල්ල කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය. ඔවුන් දැන් බලකරමින් සිටින්නේ ශ්‍රීලනිපයට මේ සම්බන්ධ තීරණයක් ගන්නා ලෙසයි. එනම් අගමැති රනිල් සමඟ තිබෙන සම්බන්ධය අතහරින ලෙසයි. මහින්ද රාජපක්ෂ මහතා මේ සතියේ නැවත ප්‍රකාශකොට තිබුණේ ශ්‍රීලනිපය ආණ්ඩුවක් හදනවා නම් පිටතින් සිට සහාය දෙන බවයි. එනම් මැති ඇමැතිකම් භාර නොගෙන සහාය දෙන බවයි. මේ සියල්ල කියන්නේ යහපාලන ආණ්ඩුව බිඳ දමන්නටය. එජාප – ශ්‍රීලනිපය සම්මුතිය අවසන් කරන්නටය. ඒ සඳහා ඇටවූ මර උගුල අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවයි.

ජනමාධ්‍යයේ මෙහෙයුම

මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිපය තුළ තනි මතයක් නැති බව බොහෝදෙනා දන්නා කාරණයකි. පළාත් පාලන මැතිවරණයෙන් පසුව එක පිරිසක් ජනපතිතුමාගෙන් ඉල්ලා සිටියේ ඒකාබද්ධ විපක්ෂයට එකතුවන්නට ඉඩ දෙන ලෙසයි. ඔවුන් එය ඉදිරිපත් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක තවදුරටත් කටයුතු කළ නොහැකි බව කියමිනි. රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ඇතැම් මාධ්‍ය ආයතන ද සම්බන්ධවෙමින් ආරම්භ වන්නේ එම තත්ත්වය තුළයි. එසේ වුවද පිටතින් රනිල්ට ප්‍රහාර එල්ල වන විට එජාප නායක කාරකාදීන් කළේ රනිල් රැකගැනීමට ඉදිරිපත්වීමයි. එයින් ඇත්ත වශයෙන්ම සිදුවූයේ පක්ෂය තුළ රනිල් වඩා ශක්තිමත් වීමයි. ඒකාබද්ධ විපක්ෂය ප්‍රශ්නය තමන් අතට ගන්න හැදුවේ රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීමේ පළමු මෙහෙයුම අසාර්ථකවීමෙන් පසුවය. මෙයද අසාර්ථක වූ විට රනිල් වික්‍රමසිංහ මහතා වඩාත් ශක්තිමත් වනු ඇත. තමන්ට මෙය ආශීර්වාදයක් යැයි වික්‍රමසිංහ මහතා කියන්නේ ඒකය.

ශ්‍රීලනිපයේ එක පිරිසක් ඒකාබද්ධයට එකතුවෙන්න හදන විට තවත් පිරිසක් ඉන්නේ එයට කිසිසේත් ඉඩ නොදිය යුතුය යන අදහසකය. ආණ්ඩුව දිගටම ආරක්ෂා කර ගැනීම එම කණ්ඩායමේ වුවමනාවයි. ඒ අතර සිටින ඇතැම් ඇමැතිවරුන් එජාපය සමඟ එක්වන්නට ජනාධිපතිතුමාගෙන් අවසර ඉල්ලූ බව ද පසුගිය දිනවල වාර්තා විය. එම වාර්තාවල සත්‍ය අසත්‍යතාවය කුමක් වුවද ශ්‍රීලනිප කණ්ඩායම ඇතුළත පවතින සැබෑ තත්ත්වය එමඟින් පිළිබිඹු වෙයි.

මේ තත්ත්වය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග‍යේදී ශ්‍රීලනිපයේ ඒකමතික තීරණයකට පැමිණීම පහසු කටයුත්තක් නොවනු ඇත. ඇත්ත වශයෙන්ම නම් විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වුවද එහි එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ ශ්‍රීලනිපය තුළ මතභේද ඇවිලවීමයි. ජාතික පුවත්පතක කාටුන් ශිල්පියකු මේ තත්ත්වය ඇඳ තිබුණේ ශ්‍රීලනිපය නම් නිවස අසල විශ්වාසභංගය නම් බෝම්බය තබා මහින්ද රාජපක්ෂ මහතා ඉවත යන ආකාරයෙනි. මේ අනුව පෙනී යන්නේ ඒකාබද්ධ විපක්ෂය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ගෙන එන විශ්වාසභංග යෝජනාව අරමුණු ගණනාවක් ඇතිව ඉදිරිපත්කොට ඇති බවයි. ඉන් පළමුවැන්න වන්නේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව පොදුජන පෙරමුණේ ඇතිවූ කලකිරීම සමනය කිරීමයි. එම මැතිවරණයේ අවසන් මොහොත වන විට පොදුජන පෙරමුණ එය මහින්ද අගමැති කිරීමේ ඡන්දයක් බවට පත්කොට තිබිණි. ඔවුන් කීවේ ඡන්ද ප්‍රතිඵලයෙන් ආණ්ඩුව පෙරළන බවයි. අනුගාමිකයන් ඇත්තටම හිතුවේ ආණ්ඩුව ෙපරළන්න පුළුවන් බවයි. අනෙක් පක්ෂවල හිතුවතුන් ඡන්දපොළට යන්න කම්මැලි වෙද්දී පොදුජන පෙරමුණ රොත්ත පිටින් ගොස් ඡන්දය ප්‍රකාශ කළේ මහින්ද අගමැති වෙයි කියා හිතාගෙනය.

මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ පොදුජන පෙරමුණේ කිහිපදෙනෙකු හැටන් ලංගම ඩිපෝවේ බලය අල්ලා ගත්තේ ආණ්ඩුව වෙනස් වේ යැයි සිතාගෙනය. රජයේ ආයතන රාශියකද එබඳුම තත්ත්වයක් පෙනෙන්නට තිබිණි. ඇතැම් තැනක පොදුජන පෙරමුණේ ආධාරකරුවෝ ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලුණහ. ඒ ආණ්ඩුව වෙනස් වී ඇතැයි සිතාගෙනය. තමන්ගේ නායකයන් තමන්ව ගොනාට අන්දවා ඇති බව ඔවුන්ට තේරුණේ දින කිහිපයක් ගිය පසුවය. දැන් එම ජනයා නැවත රඳවාගන්න පොදුජන පෙරමුණේ නායකයන්ට තවත් මොනවා හෝ කරන්නට සිදුවෙයි. විශ්වාසභංගයේ ඝෝෂාව ඒකය. රනිල්ගේ ආණ්ඩුව පෙරළන බව අප්‍රේල් 4 දා දක්වා කියන්නට පුළුවන. අප්‍රේල් 5 දා සිට කියන්නට වෙනත් කතාවක් ගොතාගන්නට ඔවුන්ට සිදුවනු ඇත. විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නට සිදුවන්නේ ඒකාබද්ධ විපක්ෂයේ හටගෙන තිබෙන මෙම අර්බුදයට එක් විසඳුමක් වශයෙනි.

මෙහි දෙවැනි අරමුණ ලෙස ශ්‍රීලනිප – එජාප විරසකය වැඩිදියුණු කිරීම පවතින අතර තෙවන අරමුණ වන්නේ ශ්‍රීලනිපය තුළ බරපතළ භේදවීමක් ඇතිකිරීමයි. එසේ නැතිව විශ්වාසභංගය දිනා ආණ්ඩුවක් පිහිටුවන්න නම් කිසිවකුට අදහසක් නැති බව පෙනෙන්නට තිබේ. විශ්වාසභංගයට අස්සන් එකතු කිරීම බරපතළ ප්‍රශ්නයක් වන්නේ එහි ඉරණම හා ප්‍රතිවිපාක ගැන බොහෝදෙනාට කිසියම් හැඟීමක් තිබීම නිසාය.

විශ්වාසභංගය ගැන තීරණ ගැනීමේදී ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන්ට සිදුවන්නේ බරපතළ දේශපාලන තීන්දු තීරණ ගැනීමටය. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නම් එම අගමැතිවරයා යටතේ ඇමැතිකම් දරන්නට සදාචාරාත්මක අයිතියක් නැතිවෙයි. එක්කෝ ඡන්දය දෙන්නට පෙර ඉල්ලා අස්විය යුතුය. නැතිනම් ඡන්දය දීමෙන් පසුව එම තීන්දුව ගැනීමට සිදුවනු ඇත. කේක් ගෙඩිය කන්නයි තියාගන්නයි දෙකම කරගන්නට බැරිවන බව බොහෝදෙනාට තේරුම් ගැනීමට සිදුවෙයි.

බලතුලනය තීන්දු වේ

ඇතැම් දේශපාලනඥයන්ට මෙය පව් සමාකර ගැනීමට අවස්ථාවක් විය හැකිය. 2015 ජනාධිපතිවරණයේදීත් ‍මහ මැතිවරණයේදීත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිට පසුව ආණ්ඩුවේ ඇමැතිකම් ගත් පිරිසකට අවශ්‍ය නම් ආපසු ගොස් තමා සිටි කඳවුරට හා ඇත්තෙන්ම තමන් තවමත් හදවතින් සිටින පිලට එක්වෙන්නට මෙය එක් හොඳ අවස්ථාවකි. අනෙක් අතට ලජ්ජාවක් ඇති උදවියට තවත් පීචං නොවී ස්ථිර තීරණයක රැඳීමට ද මෙය අවස්ථාවකි. කවුරු කවුරුත් කුමන තීරණ ගන්නවාද යන්න බලාසිටීමට අපට සිදුවෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අභියෝගය වන්නේ මේ සියලුදෙනා එකට තබාගැනීමයි.

කෙසේ වෙතත් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වීම සියලු පක්ෂවලට තම තමන්ගේ දේශපාලන ගනුදෙනු බේරාගැනීමට අවස්ථාවක් වී ඇත. ඉදිරි වසර දෙකක කාලයේ මෙරට දේශපාලනය ගමන් කරන දිශාව මෙන්ම දේශපාලන බල තුලනය ද මේ මොහොතේ තීරණය වීමට නියමිතය. බොහෝවිට එය දේශපාලන අවිනිශ්චිතභාවය අවසන් කරන්නට හේතුවක් වනු ඇත. එසේ වුවහොත් එය අගමැතිවරයාට පමණක් නොව රටට ද ආශීර්වාදයක් වනු ඇත. ඒ එමඟින් රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇතිවීමට ඉඩ ඇති නිසාය.

සී. ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *