රනිල් නැති ආණ්ඩුවක් : කාගේ අවශ්‍යතාවක්ද ? – භාතිය බරුකන්ද

එජාප නායක, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් තොර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයින් කිහිප දෙනකු විසින් දියත් කර තිබෙන සැලසුම මේ වන විට කලඑළියට පැමිණ තිබෙනවා. ඒ බව මනාව පැහැදිලි කරමින් ශ‍්‍රීලනිප භාණ්ඩාගාරික ඇමැති එස්.බී. දිසානායක මහතා පසුගිය 26 වැනිදා ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අසීරු කටයුක්තක් වන බවයි. විශ්වාසභංග යෝජනාව සඳහා පදනම් වී තිබෙන මහ බැංකු බැඳුම්කර සිදුවීම එහිදී යළිත් දැඩිව විවේචනය කළ දිසානායක මහතා මාධ්‍ය හමුවේ යළි යළිත් අවධාරණය කළේ විශ්වාසභංගයට පදනම් හේතුවලට ශ‍්‍රීලනිපය එකඟවන තත්ත්වයක් තුළ අගමැතිවරයා ආරක්ෂා කිරීමේ හැකියාවක් නැති බවයි.
ඇමැති එස්.බී දිසානායක හරහා මේ ප‍්‍රකාශයට පත්වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘නිල මතය’ ද යන්න මේ දක්වා පැහැදිලි නැහැ. ඊට හේතුව වන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දෝෂාභියෝගය සම්බන්ධයෙන් මේ දක්වා දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමයි. ඒ සමග ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා ද පසුගිය දා ප‍්‍රකාශ කර තිබුණේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බවයි. ඇමැති දුමින්ද දිසානායකගේ මතයේ යාවත්කාලීන වීම් ගැන මේ දක්වා අදහසක් ඉදිරිපත්ව නැති තත්ත්වයක් තුළ අපට පහසුවෙන් වැටහී යන කරුණ වන්නේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපය තුළ ඉතාම පැහැදිලි බෙදීමක් තිබෙන බවයි. මන්ද දුමින්ද දිසානායක මහතාගේ මතය හා එකඟ වන තවත් සැලකිය යුතු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු පිරිසක් ශ‍්‍රීලනිපය තුළ සිටින නිසයි. උග‍්‍ර රාජපක්ෂ විරෝධීන් වන ඔවුන් කිසිසේත් යළිත් රාජපක්ෂ පාලනයක් සඳහා පාවඩ එළීමට සූදානම් නැති බව පසුගිය කාලය තුළ අවධාරණය කර තිබෙනවා. මේ මොහොත වන විට පක්ෂය තුළ හා ජනමාධ්‍ය තුළ දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් උපේක්ෂා සහගතව සිටින මේ පිරිස දෝෂාභියෝගයේ දී වඩාත් වැදගත් සාධකයක් වන බව නම් පැහැදිලියි.
දෝෂාභියෝගය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගන්නා ස්ථාවරය තීරණාත්මක සාධකයක් වනු ඇතැයි ඇතැම් විශ්ලේෂකයින් මත පළ කළත් මෙම ලේඛකයාගේ අදහස වන්නේ ජනාධිපතිවරයාගේ ස්ථාවරය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරෙහි ද තීරණාත්මක බලපෑමක් නොකරනු ඇති බවයි. මන්ද මේ මොහොත වන විට ජනාධිපතිවරයා සමග සිටින ශ‍්‍රීලනිපය මන්ත‍්‍රී කණ්ඩායම ඉතාම පැහැදිලිව දෝෂාභියෝගයට පක්ෂ හා ඒ සම්බන්ධයෙන් විරුද්ධ (එහෙත් ප‍්‍රසිද්ධයේ මත පළ නොකරන* වන ලෙස තම බැඳීම් ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කරමින් සිටින නිසයි. මේ තත්ත්වය තුළ සුපුරුදු ලෙස අවසන් මොහොතේදී දෝෂාභියෝගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තම ස්ථාවරය ප‍්‍රකාශ කළහොත් එය ශ‍්‍රීලනිපය තුළ සැලකිය යුතු බලපෑමක් සිදු කරනු ඇතැයි විශ්වාස කළ නොහැකියි. එමෙන්ම ජනාධිපතිවරයාගේ ස්ථාවරය සෙසු දේශපාලන පක්ෂවල මතය කෙරෙහි තීරණාත්මක (ඇතැම් විට අවම* බලපෑමක් හෝ කරනු ඇතැයි සිතිය නොහැකියි. මන්ද මේ වන ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ද, වඩාත් තීරණාත්මක දමිළ ජාතික සන්ධානය විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ද ඡුන්දය භාවිත කරනු ඇති බව මේ වන විට තහවුරුව පවතින නිසයි. මේ තත්ත්වය තුළ මෙම ලේඛකයාගේ විශ්වාස වන්නේ ජනාධිපතිවරයා දෝෂාභියෝගය සම්බන්ධයෙන් තම හෘද සාක්ෂියට එකඟව මතයක් ගැනීමට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට අවස්ථාව ලබාදී සුපුරුදු නිහඬ හා උපේක්ෂා සහගත පිළිවෙත අනුගමනය කරනු ඇති බවයි. මේ තත්ත්වය එස්.බී ඇතුළු කණ්ඩායමේ වාසිය පිණිස හේතු වනු ඇතැයි එක්වරම පෙනී ගියත් එය ගැඹුරින් සලකා බැලූ විට පැහැදිලි වන්නේ ජනාධිපතිවරයාගේ මධ්‍යස්ථභාවය අගමැතිවරයා සම්බන්ධයෙන් වාසිසහගත වනු ඇති බවයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහි ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ යටි අරමුණ වන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණය සමග යළි අභියෝගයට ලක් වූ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය සම්බන්ධ සාම්ප‍්‍රදායික ගැටලූවට උත්තේජනයක් ලබාදීම හා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පවතින අන්තර් සම්බන්ධතා බිඳ දැමීම බව පැහැදිලියි. මේ සමග ශ‍්‍රීලනිප සභාපතිවරයා වශයෙන් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු අතර ජනාධිපතිවරයාට තිබෙන විශ්වාසය ද යළි උරගා බැලීමේ අවස්ථාවක් විශ්වාසභංග යෝජනාව හරහා නිර්මාණය වන බව ඒකාබද්ධ විපක්ෂය කල්පනා කළ බව පැහැදිලියි.
මේ තත්ත්වය තුළ සමස්තයක් වශයෙන් විශ්වාසභංග යෝජනාව තීරණාත්මක පරාජයට පත් වුවත් එජාපය තුළ තිබෙන බෙදීම යළි කරළියට ගැනීම, අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර අන්තර්සම්බන්ධතා පළුදු කිරීම සහ ජනාධිපතිවරයාට ශ‍්‍රීලනිපය තුළ තිබෙන විශ්වාසය යළි පරීක්ෂාවට ලක් කිරීම යන ති‍්‍රවිධ කරුණු සමස්තයක් වශයෙන් ආණ්ඩුවේ ස්ථාවරභාවය කෙරෙහි මෙන්ම ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳ දැමීමක් ද වනවා. මේ තත්ත්වය ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන උපාය මාර්ග සමග මනාව සමානුපාත වන්නේ ඔවුන් ඉදිරි මැතිවරණ රැුල්ල සඳහා, විශේෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විටත් අවශ්‍ය පිඹුරුපත් සකස් කරමින් එජාපයට හා ශ‍්‍රීලනිපයට වඩා අඩියක් දෙකක් ඉදිරියෙන් සිටින නිසයි.
විශ්වාසභංග යෝජනාව හරහා නිර්මාණය වෙමින් පවතින තමන්ට අභියෝගාත්මක මේ දේශපාලන ප‍්‍රවණතා ගැන එජාපය හෝ ශ‍්‍රීලනිපය සැලකිය යුතු අවධානයක් යොමු කර තිබෙන බවක් දැකිය නොහැකියි. ඒ වෙනුවට සිදුවෙමින් තිබෙන්නේ මහින්ද රාජපක්ෂ විසින් ඉතාම සටකපට ලෙස අඛණ්ඩව නිර්මාණය කරන අවදානම් දේශපාලන රැුලි මත පිහිනීමට එජාපය හා ශ‍්‍රීලනිපය පුදුමාකාර හදිසියක් හා කෑදරකමක් දැක්වීමයි. මේ තත්ත්වය තම දේශපාලන සෞඛ්‍යයට කිසිසේත් හිතකර නොවන බව අවබෝධකර ගැනීමට මේ පක්ෂවල නායකත්වයට හා උපදේශකයින්ට නොහැකි වීම කනගාටුවට කරුණක්.
ඒකාබද්ධ විපක්ෂය ද ඇතුළත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සිටින්නේ මන්ත‍්‍රීවරු 95 දෙනකු පමණ වන බව දැන දැන්ම මන්ත‍්‍රීවරුන් 113කගේ ඡුන්දයෙන් සම්මත කරගත යුතු විශ්වාසභංග යෝජනාවක් අත්සන් 55ක් සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තුළ වන දේශපාලන නිර්භීතභාවය සේම උපායශීලීත්වය ගැන ඔවුන්ට ප‍්‍රසංශා කළ යුතුයි. මන්ද බලය රහිතව, නඩුපිට නඩු පවතින මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග මහින්ද රාජපක්ෂ මහතා සිදුකරන දේශපාලන බල අරගලය ලංකාව වැනි රටකට පමණක් නොවෙයි ඇතැම් විට මුළු ලෝකටයම අලූත් අත්දැකීමක් වන නිසයි. එක අධිකරණ තීන්දුවකින් මේ සමස්ත ක‍්‍රියාවලියම ආ පසු හැරිය හැකි බව දැන දැනත් රාජපක්ෂ මහතා සිදුකරන මේ බල අරගලයට එකාවන්ව සිට ගෙන සිටින ඔහුගේ කණ්ඩායමේ දේශපාලන නිර්භීතභාවය ගැන ද කුහකත්වයෙන් තොරව බැලිය යුතුයි. එහෙත් කනගාටුවට කරුණ වන්නේ මේ දේශපාලන නිර්භීතභාවය එජාපය තුළින් කිසිදා ප‍්‍රදර්ශනය නොවීමයි. එය බලය රහිත තත්ත්වයක් තුළ සේම බලය සහිත ආණ්ඩු කරන තත්ත්වයක් තුළත් එකසේ සිදුවීම දෛවෝපගත සිදුවීමක් වශයෙන් සැලකිය හැකියි. අද මහින්ද රාජපක්ෂ මහතාට ඉතා පහසුවෙන් ආණ්ඩුව තුළ සේම එජාපය තුළ ද නිමක් නැති අර්බුද නිර්මාණය කිරීමට පහසු පසුබිමක් නිර්මාණය කර ඇත්තේ එජාපය දීර්ඝ කාලයක් පුරා පීඩා විඳින මේ දේශපාලන ව්‍යාධිය බව අප පිළිගත යුතුයි. මේ තත්ත්වය හමුවේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව එජාපය තුළ ද කිසියම් කම්පනයක් නිර්මාණය කිරීමට ඇති හැකියාව අපට පහසුවෙන් බැහැර කළ නොහැකියි. මෙහි දේශපාලන අවදානම අපට වටහා ගත හැකි වන්නේ එජාපයේ වර්තමාන පාර්ලිමේන්තු සංයුතිය තුළ එජාපය කෙරෙහි වගවීමක් ඇති මන්ත‍්‍රීවරුන් කී දෙනකු සිටින්නේද ? යන්න හඳුනාගත හැකි නම් පමණයි.
දේශපාලන විචාරකයින් හා එජාපය ගණන් බලා ඇති ආකාරයට මේ මොහොතේ එජාපය අත පවතින මන්ත‍්‍රීධූර 106 සමග දමිළ ජාතික සන්ධානය සතු මන්ත‍්‍රීධූර 16 සහ ශ‍්‍රීලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය විසින් තනිව දිනාගෙන සිටින මන්ත‍්‍රීධූරය ද එක් වුවහොත් ශ‍්‍රීලනිපයේ යම් පිරිසකගේ ද සහාය ලබා ගැනීමකින් තොරව ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව පහසුවෙන් පරාජය කළ හැකියි. මෙය මේ මොහොතේ පවතින දේශපාලන යථාර්ථය වනවා සේම මෙහි යම් විචලනයක් විය හැකි නම් එය 123 සිට 113 දක්වා වන අවම අගයක් පමණක් වන බව පැහැදිලියි. මන්ද දමිළ ජාතික සන්ධානය කිසිසේත්ම මහින්ද රාජපක්ෂ යළි ඔසවා තැබීම සඳහා වන කිසිදු ආකාරයක ප‍්‍රවේශයකට දායක නොවන බව පැහැදිලිව පවතින නිසයි.
එසේ නම් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හෝ එජාපය විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් බිය විය යුත්තේ ඇයි ? ඉතාම පැහැදිලිව මන්ත‍්‍රීධූර 123ක් අත තබාගෙන සිටින එජාපය මන්ත‍්‍රීධූර 95ක් සහිත එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ‍්‍රීලනිපය හා ඒකාබද්ධ එකතුව* සහ මන්ත‍්‍රීධූර 6ක් සහිත ජවිපෙ හමුවේ අසීරු තත්ත්වයට පත්ව සිටින්නේ ඇයි ? මෙවැනි ප‍්‍රශ්නයක් ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඇතිවිය හැකියි.
මෙම ලේඛකයාගේ ද අදහස වන්නේ වත්මන් දේශපාලන යථාර්ථය තුළ අගමැතිවරයා වඩාත් සුරක්ෂිත වනවා පමණක් නොව එජාපය ද වඩාත් පහසුවෙන් විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරනු ඇති බවයි. ඒකාබද්ධ විපක්ෂයේ දෝෂාභියෝගයට හුදු පුස් වෙඩිල්ලක් පමණක් වනු ඇති බවයි. එහෙත් මේ විශ්වාසභංග යෝජනාව හරහා ආණ්ඩුව කෙරෙහි වන සමස්ත විශ්වාසය, අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පවතින බව කියන අන්තර් සම්බන්ධතාව සේම ජනාධිපතිවරයාට ශ‍්‍රීලනිපය තුළ පවතින බලපෑම් සහගතභාවය දැඩි නායයාමකට ලක්වන බව අප කිසිවෙකුට පහසුවෙන් බැහැර කළ නොහැකියි. මේ ලේඛකයාට අනුව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වසංභයේ සැබෑ අපේක්ෂාව ද ඉහත කී අරමුණු ත‍්‍රිත්වය ඉටුකර ගැනීම මිස අගමැතිවරයා ධූරයෙන් පහ කිරීම නොවෙයි.
මෙවැනි තත්ත්වයක් තුළ දේශපාලන හා සමාජයීය වශයෙන් ඇතිවන පසුකම්පන නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ අභියෝගයක් ආණ්ඩුව හමුවේ පවතිනවා. මන්ද ශ‍්‍රීලනිපයේ ඇතැම් ඇමැතිවරුන් විශ්වාසභංග යෝජනාව හමුවේ ඉටුකරමින් පවතින භූමිකාව ආණ්ඩුවේ පැවැත්ම කෙරෙහි සේම එජාප – ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව කෙරෙහි ද කිසිසේත් යහපත් ආකාරයෙන් බලනොපාන නිසයි. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ වඩාත් පුළුල් වූ මේ බෙදීම යළි සකස් කර ගන්නවා වෙනුවට එය වඩ වඩාත් පුළුල් කර ගැනීමට ශ‍්‍රීලනිපයයේ ඇතැම් පිරිස් ගන්නා උත්සාහය අවසානයේ එජාපය – ශ‍්‍රීලනිපය බල කඳවුරු දෙකටම අගතියක්ම වන බව අප වටහා ගත යුතුයි. මන්ද මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන සැලසුම් තුළ ශ‍්‍රීලනිපයට කිසිදු ඉඩක් හෝ ආරාධනාවක් නොමැති බව මේ වන විට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා තහවුරු වී තිබෙන නිසයි.
එනිසා අපට අවධාරණය කිරීමට සිදුවන්නේ ‘‘රනිල් නැති ආණ්ඩුවක්’’ ගැන සිහින දකිනවාට වඩා පුළුල් හා ශක්තිමත් ප‍්‍රවේශයක් වෙත යළි ගමන් කරමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් පසුගිය කාලය තුළ නායකත්වය දුන් පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනය සඳහා මේ සියලූ පාර්ශ්ව යළි ගමන් කළ යුතු බවයි. හෘද සාක්ෂියට එකඟව එසේ කළ නොහැකි නම් මේ අවස්ථාවේ නිහඬ ප‍්‍රවේශයක් අනුගමනය කරමින් ආණ්ඩුව සහ ජනවාරි 08 ජනමතය කෙරෙහි වන තමන්ගේ වගවීම ප‍්‍රදර්ශනය කරන ලෙසයි. ඊට හේතුව වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ඊනියා විශ්වාසභංගය හරහා පාවඩ එලන්නේ ජනාධිපතිවරයා විසින් නායකත්වය දුන්, දෙමින් සිටින ජනතාවගේ අභිලාෂයන්ට සපුරා පටහැනි පාලනයක් වෙත නිසයි.

 

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *