සිදුවෙමින් තිබෙන්නේ බරපතළ විකෘතියක්

Teranceජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය වන්නේ ජාතික වශයෙන් රට මුහුණ දී ඇති ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න කිහිපයක් විසදා ගැනීමට ය. උදාහරණයක් ලෙස ජනාධිපති ආණ්ඩු ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත්කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම ගත හැක. එමෙන්ම 13වෙනි ආණ්ඩු ක්‍රමයෙන් ඔබ්බට ගොස් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීම වැනි දෙයක් වන්නට පුළුවන. එහෙත් පක්ෂ දෙක අතර ඇතිකරගෙන ඇති සම්මුතිය තුළ එවැනි බැරෑරුම් කිසිවක් නැත. ඒ අනුව මෙය ජාතික ආණ්ඩුවකට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් විසදා ගැනීම සඳහා ඇතිකරගත් අවස්ථාවදී සම්මුතියක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.
පෙනෙන ආකාරයට ප්‍රශ්නය ඇත්තේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයකට වැදි වී සිටී. පක්ෂ නායකයා මෛත්‍රිපාල සිරිසේන මහතා වුව ද ඔහුට එම පක්ෂයේ අවනත භාවයක් නොමැති බව පැහැදිළි ය. මේ ගිවිසුම ඇතිකරගෙන තිබෙන්නේ රට මුහුණ දෙන ගැඹූරු ප්‍රශ්නයක් විසඳීමට නොව සිරිසේන මහතාට එම පක්ෂයේ අවනතභාවය ලබාගැනීම පිණිස. මේ ගිවිසුම නිසා මේවන විට ද රට තුළ නිර්මාණය වී ඇත්තේ කිසියම් අරාජික ස්වරූපය කි. එපමණක් ද නොව ආණ්ඩුකරණයේ කිසියම් විකෘතියක් නිර්මාණය වී තිබෙන බවක් ද පෙනේ. රාජ්‍යයේ නායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයා ද වන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වරයා ය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම සන්ධානයේද නායකයා වන්නේ ද ඔහු ය. විපක්ෂයේ නායකයා ද විමට ඉඩ තිබෙන්නේ ඔහුගේම පක්ෂයේ අයෙකුට ය. තම පක්ෂය හසුරුවා ගැනීමට නොහැකි නමුත් අවසාන වශයෙන් සියළුම ආයතන වල නායකයා වන්නේ එකම පුද්ගලයෙකි. ජනාධිපති නැතිනම් පාර්ලිමේන්තු යන කුමන ආණ්ඩු ක්‍රමයක් සම්බන්ධයෙන් ගත්තත් මෙය බරපතල විකෘතියක් බව ඕනෑම අයෙකුට වැටහිය යුතු ය.
සුවිශේෂ තත්ත්වයක් යටතේ මිස සමානුපාතික ක්‍රමය යටතේ මැතිවරණයක දී කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගැනීමට පහසු නැත. බොහෝ විට සිදු වී තිබෙන්නේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් පසු විරුද්ධ පක්ෂයෙන් මන්ත්‍රීවරු සංඛ්‍යාවක් දිනාගෙන බහුතරය ආණ්ඩුවක් නිර්මාණයකර ගැනීම ය. අතීතයේ සිදු වූ ලෙසට එක්සත් ජාතික පක්ෂයට ද තිබුණේ ඒ ආකාරයට විපක්ෂයෙන් මන්ත්‍රිවරු අවශ්‍ය සංඛ්‍යාව ලබාගෙන බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට ය. පවතින ව්‍යවස්ථාවට අනුව එවිට ද ආණ්ඩුවේ නායක ජනාධිපති වන්නේ නමුත් විපක්ෂය පාර්ලිමේන්තුවේ පැහැදිළි සුළුතරය වන හෙයින් ජනාධිපතිගේ පක්ෂයේ අයෙක් විපක්ෂ නායක වීම ගැටළුවක් වන්නේ නැත. විපක්ෂය පාර්ලිමේන්තුවේ සුළුතරය වන හෙයින් සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් ද එවිට පැනනගින්නේ ද නැත. විපක්ෂට අයත් පක්ෂයක මන්ත්‍රිවරුන්ගෙන් තොර පාර්ලිමේන්තුවේ බහුතරයකගෙන් සමන්විත පක්ෂයක අගමැතිවරයෙකු පත්වී සිටින හෙයින් ජනාධිපතිවරයාගේ පක්ෂයේ අයෙක් විපක්ෂ නායක වීම ගැටළුවක් විය නොහැක.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *