මුර දේවතාවන් වෙනුවට මුර බල්ලන් – නිශාන්ත කමලදාස

 ජාතිය රැක ගැනීමට මුර දේවතාවුන් හිටියේ ඉස්සර ය.දැන් ඉන්නේ මුර බල්ලන් ය.මුර බල්ලන් නිතරම ඉන්නේ ඉව කරගෙන ය. කිසියම් ආගන්තුකයෙක්, ආගන්තුක යමක්, දැක්කේ නම් හෝ ආගන්තුක යමක් දැනේ නම් උන්ට බුරන්නට ඒ ඇති ය.

මුණ සෝදන බේසමේ උන් කිඹුලන් දකින්නේ ඒ නිසා ය. කන්නට ගත් තම පිඟානට බෙදා ගත් කොත්තුවේ වඳ පෙති දකින්නේ ඒ නිසා ය.

උන්ට කරුණු සොයා, සංඛ්‍යා ලේඛන විමසා, නිගමනවලට බහින්නට ඉස්පාසුවක් නැත. තමන්ට යමක් දැනෙන මුල් අවස්ථාවේ ම කිසිවක් නොවිමසා කඩා පැනීම උන්ගේ සිරිත ය. ඒ උන් මෙහෙයවෙන්නේ ඉවෙන් පමණක් නිසා ය.

උන් කියන්නේ සිංහලයන් වඳ වෙන ගානට වෙනත් ජාතීන් තම වර්ගයා බෝකරමින් පවතින බව ය. ඒ කිසිදු සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් නො කරමිනි. සිංහල ජනයාගේ ප්‍රතිශතය 1881 සංගණනයේ දී 66.9 ක් වන විට ලංකා දෙමළ ජනයා 24.9 ක් ද මුස්ලිම් ජනයා 6.7 ක් ද විය. 2011 සංගණනය වන විට සිංහල ගහණය ප්‍රතිශතයක් ලෙස 74.9 ක් දක්වා ද වර්ධනය වී තිබුණු අතර දෙමළ ගහණය 11.2 ක් දක්වා අඩු වී තිබුණේ ය. මුස්ලිම් ගහණය 9.3% ක් දක්වා වැඩි ව තිබුණේ ය. ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ගහණය සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව වෙනස් වූ නිසා මෙහි දී සැලකිල්ලට නො ගැණිනි.

පදනම් වසර ලෙස 1971 ගෙන බැලුවොත් අපට දැක ගන්නට ලැබෙන පින්තූරය මෙසේ ය. සිංහල ගහණය 71.9 සිට 74.9 දක්වා ද ලංකා දෙමළ ගහණය 11.2 සිට 11.1 දක්වා ද මුස්ලිම් ගහණය 6.7 සිට 9.3 දක්වා ද වෙනස් වී ඇති බව ය. ඉන්දියානු දෙමළ ගහණයේ විශාල අඩු වීමක් පෙන්නුම් කරමින් එය 9.2 සිට 4.1 දක්වා අඩු වී ඇති බව ය. දෙමළ ගහණය පිළිබඳ සංඛ්‍යාලේඛන අප තේරුම් ගත යුත්තේ යුද්ධය නිසා දෙමළ ජනයාගේ සිදු වූ අඩු වීම වතුකරයේ දෙමළ ජනයා වෙනත් පළාත්වලට සංක්‍රමණය විම මගින් සංගණනයේ දී වෙනස් ලෙස (ලංකා දෙමල ලෙස) ප්‍රකාශයට පත් වන්නට ඇති බව ය.

සිංහල ජාතිය තමන්ගේ රටේ සුළුතරය බවට පත්වෙමින් ඉන්නා බව කියන මිනිසුන් මේ සංඛ්‍යා ලේඛන විමසා ඇති බවක් පෙනෙන්නේ නැත.

සොයාගෙන නැති ක්‍රම

මේ මුරබල්ලන්ට අනුව සිංහලයන් නිකම් සුළුතරය බවට පත්වන්නේ නැත. එය හිතාමතා සිදු කරන සැලැස්මකට අනුව අන්‍ය ජාතිකයන් විසින් සිදු කරන්නේ ය. මේ දිනවල නම් ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවන්නේ මුස්ලිම් ජනයාට ය. දෙමළ ජනතාව සමග ගනුදෙනුව බොහෝ දුරට බේරාගෙන අවසන් යැයි හිතන නිසා එසේ කල්පනා කරනවා වෙන්නට ද පුළුවන. මේ මතවාදයට අනුව ඒ උන් එක් පැත්තකින් තමන්ගේ වර්ගයා හිටු කියමින් බෝ කරමින් සිටින අතර ඒ අල්ල පනල්ලේ සිංහලයන් ද වඳ කිරීමට දිවා රෑ නොබලා කටයුතු කිරීම හරහා ය. ලෝකයේ කිසි තැනක සොයාගෙන නැති අමුතුම උපක්‍රම ඒ සඳහා උන් භාවිතා කරන්නේ යැයි මේ මුරබල්ලෝ කියති. එකක් වඳ පෙති ය. දැනට වෛද්‍ය විද්‍යාව විසින් සොයා ගෙන ඇති වඳ පෙතිවලින් කළ හැක්කේ කාන්තාවකට පිළිසිඳ ගැනීම කල් දැමීම පමණකි. ස්ථිරව වඳ කළ හැක්කේ ශල්‍ය කර්මයක් මගින් පමණකි. එහෙත් මේ මුර බල්ලන් සිතන විදිහට මුස්ලිම් කුමන්ත්‍රණකරුවන් ළඟ වෛද්‍ය විද්‍යාව විසින් දැනට සොයා ගෙන නැති වඳ කිරීමේ ක්‍රම ගණනාවක් තිබේ. ඒ පෙතිවලට අමතරව යට ඇඳුම්වල තැවරිය හැකි ජෙල්වර්ග යොදා ගැනීමෙනි. තනපටවල ද කාන්තා යට ඇඳුම්වල ද සෙමින් උරාගන්නා එවැනි ජෙල් වර්ග බහා තිබෙන බව ඔවුන්ගේ අදහස ය. එක් කලෙක අපට කන්නට දෙන හාල් වර්ගයකට සමාන ලෙස සකස් කළ එවැනි වඳ බෙහෙතක් ද නිර්මාණය වී තිබිණැයි ද කියවින. එම කටකතාවේ හැටියට ඒ “ප්ලාස්ටික්“ හාල් ගෙනැවිත් තිබුණේ මුස්ලිම් රටක් වූ පකිස්ථානයෙනි. විශේෂයෙන් එවැනි උපක්‍රම හරහා ශල්‍ය කර්මයක් නොකර ගැහැනුන් පමණක් නොව පිරිමින් ද වඳ කළ හැකි බව ඔවුහු කියති. මේ සියල්ල පට්ටපල් බොරු ය. නිකරුණේ බුරන්නට සමාවට කාරණා ය.

ඒවා වරින් වර වැල නොකැඩී මතුවන අයුරින් නම් පෙනෙන්නේ, සැබෑ කුමන්ත්‍රණය කරන්නේ වෙන කවුරුවත් නොව මේ මුර බල්ලන් ම බව ය.

මුර බල්ලන් හිතන්නේ බුරන්නේ නැතිව හිටියොත් තමන්ගේ ජොබ් එක නැතිවිය හැකි බව ය. බූරුවා තමන්ගේ වැඩය බාර ගැනීමට ඉඩ ඇති බව ය.

මුර බල්ලන් බේරෙන හැටි

හමුදා බස් රථයක බෝම්බයක් පිපිරුණු විට උන්ට එය ත්‍රස්තවාදීන්ගේ හිස එසවීමක් විය. කොටින්ගේ දෙවැනි ආගමනයක් විය. උන්ගේ නිගමනය වූයේ උතුරේ හමුදාව වෙනදා මෙන් නැති නිසා මේ නැවත නැගිටීම සිදු වන බව ය. මේ ගැන ඉතා මෑතක දී විමල් වීරවංශ සහෝදරයාත් ගම්මන්පිල උපාසක මහතාත් කළ කලබැගෑනිය ඔබට මතක ඇතැයි සිතමි. බස් රථයට බෝම්බය ගෙනාවේ පසුව භාවිතයට ගැනීම උදෙසා සොල්දාදුවකු බවට ආරංචි වූ පසු මේ දෙපලම නගුට අකුලා ගෙන පස්සට ගියා මිස තමන්ගේ වැරදි නිගමනයන් ගැන කම්පා වූයේ නැත. බල්ලන් තමන්ගේ කල් ක්‍රියාව නැවත විමසීමකට භාජනය කරන්නේ නැති සේම මේ මුර බල්ලන් ද තමන්ගේ කල් ක්‍රියාව විමසා බලන්නේ නැත. උන්ගේ හාම්පුතුන් තියා රට්ටුන්වත් මේ මුරබල්ලන්ගෙන් බිරුවේ නිකම් නොවේ දැයි කියාවත් අසන්නේ නැත. (ජාතියේ මුරබල්ලන් ලෙස නිල ලියාපදිංචියක් ඇති මාධ්‍යකරුවන් බොහෝ දෙනෙකුටත් ඉතිහාසය අවුස්සා ප්‍රශ්න කිරීමට මතක් වන්නේ කලාතුරකින් නිසා මේ මුරබල්ලන්ට බේරී යෑමේ ඉඩ වැඩි ය).

උතුරේ උද්ඝෝෂණයක දී පොලීසිය සමග මිනිසුන් ගැටුණොත් එය ඊළමය නැවත හිස ඔසවන බවට සාක්කිය කි. එය ම දකුණේ සිද්ධ වුණාට එයින් මේ මුරබල්ලන්ට කිසිවක් අමතරෙන් කියවෙන්නේ නැත. එය පොලීසියේ අකර්ණම්‍ය ස්වභාවයට ජනතාවගේ නො කැමැත්ත පළ කිරීමක් හැටියට මිස ඉන් එහාට ඔවුන් ගන්නේ නැත.උතුරේ නාඳුනන තුවක්කුකරුවෙකු අතින් මිනිසකු මැරුණත් තත්වය එසේ ම ය. දකුණේ නම් එය තවත් මිනීමැරුමකට එහා යන්නේ නැත. එහෙත් උතුරේ එය කොටි නැගිටීමේ පළමු වෙඩිමුරය ලෙස අර්ථ දක්වනු ලැබේ. මුර බල්ලෝ ඉක්මණින් බුරති. කඩා පනිති. හිතන්නට ඉස්පාසුවක් උන්ට නැත. අප මේ කියන මුර බල්ලන් ද එසේ ය.

මුර දේවතාවුන් රට රැක්කා මිස රට අගාධයට දක්කා ගෙන ගියේ නැත. මේ මුර බල්ලන් රට ගෙන යන්නේ අගාධයට ය. එක් පැත්තකින් ඔවුන්ගේ කටයුතුවලින් ආර්ථිකය විනාශයට යන අතර රටක් ලෙස ලෝකය තුළ ශ්‍රී ලංකාවේ නාමය ද ඔවුන්ගේ කටයුතු නිසා විනාශයට පත් වේ.

වසර තිහක් තිස්සේ දිග්ගැස්සුණු යුද්ධය අපේ ආර්ථිකය දරුණු ලෙස විනාශ කර දැම්මේ ය. ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් හිමි ව තිබූ ශ්‍රී ලංකාව අද ඉන්නේ බොහෝ ආසියානු රටවල්වලට පිටුපසිනි. පැල්පත් ඇති පෙදෙසක් හඳුන්වන්නට අපේ රටේ මිනිසුන් පාවිච්චි කළ වචනය කොරියාව ය. ඒ කොරියාව එපමණටම දුගී බවේ ගැලී සිටි නිසා ය. අපේ ඒක පුද්ගල ජාතික ආදායම මෙන් තුනෙන් එකකට පනහේ දශකයේ හිමිකම් කී කොරියාව අද වෙන විට ආර්ථික අතින් ශක්තිමත්ව සිටිනවා පමණක් නොව උන්ට ඔච්චම් කළ ලංකාවේ මිනිසුන්ට රැකියා දෙන තත්වයට ද දියුණු විය. සිංගප්පූරුව ආදර්ශයට ගත්තේ අපව බව කියවේ. අද ඉතින් අපට කළ හැක්කේ ඒ අතීතය දෙස බලා හීල්ලීම පමණකි. සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ සිය චරිතාපදානයේ ශ්‍රී ලංකාව ගැන සඳහන් කරන්නේ වාර්ගික අර්බුදය ජය ගත නොහැකි වීම නිසා ඔත්පල වූ රාජ්‍යයක් ලෙස ය. ශ්‍රී ලංකාවෙන් යමක් කළ යුත්තේ කෙසේදැයි ඉගෙන ගන්නා අතරේ ශ්‍රී ලංකාව වාර්ගික අර්බුදය කළමනාකරණය කළ දුර්වල ආකාරය දෙස බලා යමක් නොකළ යුත්තේ කෙසේදැයි ද ඔහු ඉගෙන ගන්නට ඇත.

ජාතියේ මුර බල්ලන් අඟවන්නේ නම්, කියන්නේ නම්, ලංකාව ඉහළට ඔසවන බව ය. එය රකින බව ය. හැබෑ මුර බල්ලන් හිතන්නේ ද තම ස්වාමියා රකින බව ය. ඔහුගේ ආධිපත්‍ය පතුරුවා හැරීමට තමන් වෙන කාටත් වඩා දායක වන බව ය. හාම්පුතා සමීපයට වත් සතුරෙකුට ළං වන්නටවත් ඉඩ නොතබන බව ය.

අවසානයේ දී සිදු වන්නේ හාම්පුතාට තමන්ගේ හිතේෂීන් අහිමි වීම ය. ගනුදෙනුකරුවන් අහිමි වීම ය. හාම්පුතා තනි වීම ය. රට රකිනවා යැයි කියන මේ මුර බල්ලන් ද අවසානයේ රටට කරනු ඇත්තේ මේ නස්පැත්තිය ම ය. ලෝකය ඉදිරියේ රට තනි කිරීම ය. ආයෝජකයන් ද මේ රටට නොඑන බවට සහතික කර ගැනීම ය.

නීතිය දන්නේ නෑ

මුර බල්ලන්ට පිස්සු හැදුනොත් මිසක උන් හාම්පුතාව හපා කන්නේ නැත. සිංහල බෞද්ධයන්ට සිදු වන අකටයුතුකම් ගැන පිස්සුවෙන් හැසිරෙන මේ මුර බල්ලෝ වෙනත් ජාතියක ආගමක මිනිසකුට තමන්ගේ මිනිසකු අතින් සිදු වන අකටයුත්තක දී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ එසේ අකටයුතුකම් කළ තමන්ගේ එකා ආරක්ෂා කිරීමට ය. ඒ සඳහා පිස්සුවෙන් මෙන් හැසිරීම ය. ඒ මුර බල්ලන්ගේ හැටි ය. ඒ සඳහා උන් පොලීසිය හා උසාවිය පවා ආක්‍රමණය කරන්නට බිය නොවේ. බල්ලන් නීතිය දන්නේ නැත. උන්ට ඒවායින් කාරියක් ද නැත.

රට්ටුන්ට පේන්නට හාම්පුතා කෑ ගැසූ කල නගුට ද අකුලාගෙන අහිංසක වෙස් ගැනීමට මේ මුර බල්ලන්ට මහ වෙලාවක් යන්නේ නැත. උන් සමාව ඉල්ලා එහෙම තැනකින් ෂේප් වෙන්න ද දක්ෂ ය. ඒ සමාව බන්දේසියක තබා ලැබෙන බවට උන්ගේ විශ්වාසයක් ද ඇති නිසා ය.

විවිධ වේෂයෙන්

මුර බල්ලන් මෙසේ හැසිරීම ගැන උන්ට දොස් කිව නොහැකි ය. එහෙත් මුර බල්ලන්ගේ මේ හැසිරීමෙන් තමන්ට බොහෝ දේ අහිමිවන බව මේ මෝඩ මුර බල්ලන්ගේ හාම්පුතුන් වත් අඩුවශයෙන් දැන සිටිය යුතු ය. එහෙත් ඒ බවක් නම් පෙනෙන්නට නැත. ඉතා ඉහළ අධ්‍යාපන මට්ටමක් ඇතැයි කියන මිනිසුන් ද මේ මුර බල්ලන්ගේ ගෝරනාඩුවෙන් කැළඹීමට පත්ව සිටිති. ටෝර්ච් ගසමින් හොරු හොයා මෙහෙයුම් දියත් කරන්නට උන් නොනිදා කටයුතු කරති.

එයට ද හේතුවක් තිබේ. ඒ මේ මුරබල්ලන් විවිධ වේෂයෙන් පෙනී සිටීම නිසා මිනිසුන් අතරමං වීම ය. වරෙක උන් සිවුරු ද , තවත් වරෙක උපාධි ලෝගු පලඳී. තවත් වරෙක පොලිස් නිල ඇඳුම තුළ අරක් ගනී. ඇතැම් විටෙක හමුදා නිල ඇඳුමට ද බසී. කලාතුරකින් තැනක විනිශ්චය ආසනවලට ද නගී. වැඩිපුරම උන් ඉන්නේ දේශපාලනඥයන් හැටියට ය. නිකම් මිනිහෙකු කියනවා මෙන් නොව මේ ස්ථාන වල සිට කියන විට බලපෑම වැඩි ය. නිකම් බල්ලෙකු බුරනවාක් මෙන් නොව මුර බල්ලෙකු බුරන විට බලපෑම වැඩි ය.

මුරබල්ලන් ද කැමති උන් බුරන විට උන් තරමට ම හාම්පුතාත් අවදි වී නොසන්සුන් වනු දැකීමට ය. තමන්ගේ මෙහෙය පිළිගත්තා ලෙස උන්ට දැනෙන්නේ එවිට ය. උන් ඒ නිසා ඉවරයක් නැති ව බුරන අතර හාම්පුතා සංවේදී වෙනතුරු ම බුරනු පෙනේ.

ඇතැම් තැනක බුරා ඇත්තේ හුළඟකට හෙළවුණු කොළයකට බව හාම්පුතාට තේරුණ විට මුර බල්ලාට ද ලජ්ජා හිතෙන වෙලාවල් තිබේ. උන් එවිට කරන්නේ නගුට අකුළාගෙන තමන් බිරුවේ නැති ගානට ඉන්නා එක ය. එවිට එතැනින් එහාට හාම්පුතා ද කිසිවක් සොයන්නට යන්නේ නැත. බොරුවට හරි බුරන්නට කෙනෙක් සිටීම ගැන සතුටු වෙමින් හාම්පුතා ඉන්පසු තමන්ගේ පුරුදු රාජකාරිවල නිරත වෙනු ඇත.

අද අප රටේ සිදු වෙමින් පවතින්නේ එය ය. අවාසනාව නම් ඇතැම් තැනක මුර බල්ලන් සිය දම්වැල් ලිහා ගෙන තාප්ප පැනීම ය. අහිංසක මිනිසුන් පසු පස හඹා ගොස් උන් හපා කෑම ය.

මෑතක දී අම්පාරේ සිදු වූයේ ඒක ය. යුද්ධයෙන් පසු වරින් වර විවිධ ස්වරූපයෙන් මතු වූයේ ඒක ය.

බෝට්ටුවක ගමනකින් පසු අනාථ වී ආණ්ඩුවෙන් තාවකාලිකව නවාතැන් දුන් ගණනින් 35 ක් වූ රොහින්ගියා අනාථයින්ට පහර දුන්නේ උන් ය.

ඒ සිරියානු යුද්ධය නිසා ඒ රටේ මිනිසුන් අනාථයන් බවට පත්වුණු පසු ඒ අනාථයන් බාර ගැනීමට රටවල් ගණනාවක් ඉදිරිපත් ව තිබිය දී ය. ඒ මුස්ලිම් නොවන ජර්මනිය සිරියානු අනාථයින් ලක්ෂ 16 ක් ද තම රටට බාර ගෙන තිබිය දී ය. එමෙන් ම මුස්ලිම් නොවන කැනඩාව ද ලක්ෂ 1.5 ක් ඉක්මවන අනාථයින් පිරිසක් බාර ගෙන තිබිය දී ය. ඒ අප රට, හදිසියේ මිදුලකට කඩා වදින බල්ලෙකුටවත් ගහන්නට පොල්ලක් උස්සන්නේ නැති, එහෙත් කන්නට යමක් දෙන්නට ඉක්මන් වන, මිනිසුන් ඉන්නා රටක් ලෙස අප විසින් ම කියමින් තිබිය දී ය.

පමා නොවී බැඳ දමමු

මුස්ලිම් රටවල් විසින් ද මේ සරණාගතයින් බොහෝ බාර ගත් බව පින්තූරය සම්පූර්ණ කිරීම සඳහා සටහන් කළ යුතු ය. ඒ තුර්කිය මිලියන 3.4 කට වැඩි පිරිසක් ද ලෙබනනය මිලියන 2.2 කට වැඩි පිරිසක් ද ජෝර්දානය මිලියන 1.2කට අධික පිරිසක් ද සවුදිය ලක්ෂ 5 කට අධික පිරිසක් ද වශයෙනි. මෙසේ සිරියානු සරණාගතයන් බාරගත් මුස්ලිම් හා මුස්ලිම් නොවන රටවල් ගණන 48 කට වැඩි අතර ඒ රටවල ඉන්නා සරණාගතයින් ගණන මිලියන 6.3 ක් පමණ වෙතැයි ගණනය කර තිබේ.

අහිංසක මිනිසුන්ට මුරබල්ලන් කඩා පැන උන් හපා කෑම නඩු යන වැඩකි. ලංකාවේ ඇතැම් උසාවියක දී නඩුව ගොඩින් බේරුණත් ජාත්‍යන්තර උසාවියක දී මේ මුරබල්ලන්ට හා උන්ගේ හාම්පුතුන්ට එරෙහිව නඩුව විභාගයට ගන්නා දවසක් ද එන්නට පුළුවන. එදා ට මුරබල්ලාට පමණක් නොව උන් ආම්බාන් නොකළ හාම්පුතුන්ටත් “අපේකම“ නැතිව නීතිය ක්‍රියාත්මක වන්නට ඉඩ තිබේ.

ඒ නිසා පමා නොවී මේ මුරබල්ලන් බැඳ දැමිය යුතු ය.

නැතිනම් මේ පහර දීම් ඉවසිය නොහැකි අහිංසක මිනිසුන් දිනක කෝපයට පත් ව මුරබල්ලන් පමණක් නොව උන්ගේ හාම්පුතුන්ටත් ඇතම් විට ඒවා ඉවසන රට්ටුන්ටත් විරුද්ධව පෙළ ගැසීම වැළැක්විය නොහැකි වනු ඇත.

 

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *