යාන්තමින් ගැලවුණු ‘කළු මාර්තුව’ සන්නාමය – මනෝජ් රූපසිංහ

ජාතින් අතර සමගිය බිඳ දැමීම පිණිසත්, විවිධ ආගම් ලබ්ධිකයන් අතර ගැටුම් ඇති කිරීමත්, එකිනෙකා වෛරක්කාරයන් බවට පත් කිරීමත් අරමුණු කරගත් ඉතා භයානක වූත්, ඉතා විනාශකාරී වූත් අරගලයක සැලැස්මක් ආරම්භයේදී ම පාහේ නතර කර ගැනීමට හැකි වී ම සතුටට කරුණක්. එසේ නොවිනි නම් එය ඉතිහාසයේ තවත් කළු පැල්ලමක් වී, ‘කළු මාර්තුවක්’ යනුවෙන් නම් කළ හැකි සිදුවීම් මාලාවක් ඇති වනවාට කිසිදු සැකයක් නැත.

ගැටුම් එතරම් ම උත්සන්න නොවූවත්, ව්‍යාප්ත නොවූවත් දැනටමත් සිදු වී ඇති සිදුවීම් ‘සුළු සුළු සිදුවීම් කිහිපයක්’ ලෙස අඩුවෙන් තක්සේරු කළ හැකි නොවේ. නැති වී ගිය ජීවිත සංඛ්‍යාව අඩුවුවත්, විනාශ වූ දේපළ වල වටිනාකමේ අගය අඩුවෙන් තක්සේරු වූවත් මෙම සිද්ධිය අඩුවෙන් තක්සේරු කිරීමට කොහෙත්ම හැකියාවක් නැත.

මෙම සිද්ධිමාලාව තක්සේ‍රු කළ හැක්කේ එය ඇරඹුණේ කෙසේ ද? එය ව්‍යාප්ත වූයේ කෙසේ ද? මේවා මෙහෙයවන්නන් කවු ද? මේවා පසුපස සිරින්නේ කවුද? ඔවුන්ගේ අරමුණ කුමක් ද? යන්න විමසා බැලීමෙනි.

ශ්‍රී ලංකාවට නිදහස ලැබුවායයි කියන 1948 පෙර හා ඉන් පසු ගෙවී ගිය වසර 70ක පමණ කාලයක දීර්ඝ ඉතිහාසය දෙස ඉතා කෙ‍ටියෙන් විමසා බැලුවහොත්, නිදහස ලබාගැනීමේ දී නිදහස් සටනට උර දුන්නේ සිංහල බෞද්ධයන් පමණක් නොවන බව ප්‍රකට කරුණකි. විවිධ ජාතීන්ගෙන් හා ආගමිකයන් සැදුම්ලත් විද්වතුන්, දේශපාලන ක්‍රියාකාරීන් රැසක් අවංක කැපකිරීමකින් එම සටනට දායක වී තිබේ. ඔවුන් දායක වූයේ තමන්ගේ රට ට එනම් ශ්‍රී ලංකාද්වීපයට නිදහස දිනා ගත යුතුයි යන උදාර හැඟීමෙනි. ඒ සටනේ ජයග්‍රහනයේ අයිතිය ඒයට දායක වූ නොවූ ශ්‍රී ලාංකිකයන් සැමටම උරුමය.

ශ්‍රී ලංකා පුරවැසියන් වන සියළුම ජාතීන් ගේ භාෂාමය, ආගමික, සංස්කෘතික අනන්‍යතාවන් එකිනෙකා හඳුනා ගැනීම මෙන්ම, ඔවුනට නිදහසේ තම ජීවන රටාව අනුව ජීවත් වෙමින්, තම ආගමික, භාෂාමය, සංස්කෘතික හා සමාජ අනන්‍යතාවන් මත කිසිවෙකුගෙන් බාදාවකින් තොරව නිදහසේ ආත්මාභිමානයෙන් යුතුව ජීවත් වීමේ අයිතිවාසිකම තිබිය යුතුය. කොටින්ම කියතොත් සිංහල ජාතියට, සමාන අයිතියක්, ‍දමිල, මුස්ලිම්, හින්දු, මැලේ, ඇතුළු සෑම ජාතියකටම තිබිය යුතුය. සිංහල බෞද්ධයාට තියන ආගම ඇදහීමේ නිදහස කිසිදු වෙනසක් නැතිව කතෝලික ආගමිකයන්ට, හින්දු ලබ්ධිකයන්ට, අල්ලා දෙවියන් අදහන්නාට, නබි නායකතුමන් අදහන්නාට මෙන්ම වෙනත් ආගම් අදහන්නන්ට ද තිබිය යුතුය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, නීතියෙන් පමණක් නොව අප හැමගේම හදවත්වල, හැඟීම්වල, ප්‍රකාශනයන් වල අත්‍යයන්තයෙන්ම තිබිය යුතුය. එය බලෙන් ඔබ්බවන හැඟීමක් නොව සහජයෙන්ම නිරුත්සාහයෙන්ම හදවතේ ජනිත වන හැඟීමක් ලෙස සදාකල් පැවතිය යුතුය.

ඇත්තෙන්ම ඉහත කී අනෝන්‍ය සහෝදර හැඟීමක් අප සියළු ජාතීන් හා ආගමිකයන් බහුතරය අතර බොහෝදුරට තිබෙන බව කිවහැකිය. එය සත්‍යයකි. උගත් බුද්ධිමත් විවෘත මනසින් ලෝකය දකින මිනිසුන් ළඟ එම හැඟීම එසේ තිබුණත් එම  හැඟීම් නැති පිරිසක් සිටින බව කිවයුතුයි. ඔවුන් අනෙකාගේ ආගම් ඇදහීම නුරුස්සන, භාෂාව නුරුස්සන, ඇඳුම පැළඳුම හා සංස්කෘතික රටාවන් නුරුස්සන පිරිසයි. ඔවුන් ඒ දෙස නිතර සැලයෙන් බලයි. එවන් එකිනෙකා නුරුස්සන හැඟීමක් යම්කිසි අන‍ව‍බෝධයක් නිසා ඔවුන් තුළ තිබුණත්, එයින් සමාජයට, අනෙකාට බරපතල හානියක් සිදු නොවේ. හානිය නම්, ලෙහෙසියෙන්ම ඔවුන් ජතිවාදීන් ගේ, ආගම්වාදීන් ගේ ගොදුරුබවට පත් වීමට ඇති ප්‍රවනතාවයි. ඔවුන් සුළු ඉඟියක් ලැබුණු පමණින් ආවේශ වූවන්, මත් වූවන් මෙන් හැසිරීමට පටන් ගනිති. ඔවුන් කිසිවිටෙකත් පුළුල්ව හිතන්නේ නැත. ඔවුන් බුද්ධිය පාවිච්චි කරන්නන් නොවේ. ඔවුන් පටු ආකල්පවල එල්බ සිටින ඔවුන් පාවිච්චි කරන්නේ හැඟීමය. ඒ හැඟීම තුළ ඔවුන්ගෙන් මිනිසත් කම පලා යයි. නීතිය ගැන තැකීමක් නැත. තමා කරනුයේ නීති විරෝධි ක්‍රියාවක් බව නොදැන හෝ දැන නීති විරෝධි ක්‍රියා කරති. ඔවුන්ට එය වැටහෙනුයේ නීතියේ රැහැනට හසුවී රිමාන්ඩ් බන්ධනාගාරයේ හෝ සිර මැදිරියක කාලය ගෙවන විටය. අනුන් අනතුරක හෙළමින් තමාත් කරගන්නේ අනතුරක් යයි නො‍හැඟෙන මොවුන් සුළු පිරිසකගෙන් සමාජයට වෙන හානිය ඉතා විශාලය. ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා රටක ප්‍රතිරූපයට වන හානිය විශාලය.

මෑත ඉතිහාසයේ අප රටේ වාර්ගික ගැටුම් අධ්‍යයනය කරන්නෙකුට මේ හැම ගැටුමකට මුල ජාතිය හා ආගම මුල්කරගත්, ජාතීන් ප්‍රකෝපකරවන ව්‍යාජ සිද්ධීන් පිළිබඳව කටකතා බව පැහැදිලිවනු ඇත. පණහේ දශකයේ සිදුවූ  උග්‍ර ජාතිවාදි ගැටුමකට පාදක වී ඇත්තේ, ද්‍රවිඩ පුද්ගලයෙකු විසින් සිංහල අත දරුවෙක් උණු තාර බැරැල්ලකට දැමුවායයි කියන සිද්ධියක් මුල් කරගෙනය. එය ද්‍රවිඩ සමාජයට සංනිවේදනය වී ඇත්තේ සිංහල අයෙකු විසින් ද්‍රවිඩ අත දරුවෙකු උණු තාර බැරලයකට දැමුවායයි යන පුවතය. ඇත්තෙන්ම එය මිනිසුන්ගේ හැඟීම් ප්‍රකෝප කරවනසුළු කතාවකි. එම ගැටුම් අවසන් වී පසු විපරමක් කරද්දී එවැනි කිසිම සිදුවීමක් සිදු වී නොමැතිබවයි හෙළී වී ඇත්තේ.

මේ කිසිම සිදුවීමක්ම ඇසින් දුටු කෙනෙක් නැත. බොහෝ විට ඒවා ප්‍රබන්ධය. ‘නරක ආරංචිවලට පිහාටු තිබෙනවා’ යයි කතාවක් ඇත. සියල්ලම වේගයෙන් ජනසමාජයට කාන්දු වෙන්නේ ප්‍රෙට්ටල්මෙන් වාශ්පශීලී ද්‍රවයක් මෙනි. යම් සුළු සිදුවීමක් හත් අට ගුණයකින් වැඩිකර හුවා දැක්වීමෙනි. ‘හරියට කපුටන් හත්දෙනෙක් වමනය කළ පුද්ගලයාගේ කතාව’ මෙනි. එය සැකවින් මෙසේය. ‘එක් පුද්ගලයෙක් වමනය කළ තැනක කපුටු පිහාටුවක් තිබී ඇත. එය දුටු පළමු පුද්ගලයා දෙවැන්නාට පවසා ඇත්තේ අසවලා කපුටු පිහාටුවක් වමනය කළා යනුවෙනි. දෙවැන්නා තුන්වැන්නාට එය පවසා ඇත්තේ ‘අහවල් පුද්ගලයා කපුටෙක් වමනය කළා’ යනුවෙනි. මේ අයුරින් හත්වැනි පුද්ගලයා අටවැනි පුද්ගලයාට පවසනු යේ, ‘අහවල් තැනැත්තා කපුටන් හත්දෙනෙක් වමනය කළා’ යනුවෙනි. ජාතිවාදය අවුලන ආරංචි පැතිර යාමද ඊට වෙනස් නැත.

දශක කිහිපයකට පෙර මෙම පුවත් පැතිර ගියේ කටින්කට ය. ‘කටකතා’ වශයෙනි. ජංගම දුරකථකයේ සිට අද පවතින අති නවීන ඩිජිටල් සංනිවේදන පහසුකම් එකල තිබුණේ නැත. ස්ථාවර දුරකථන ද තිබුනේ කලාතුරකින් නිවසකය. එයිනුත් ඇමතුමක් ගැනීමට අවශ්‍ය කෙනාගේ දුරකථන අංකය පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයකට ලබා දී ‘කොල් එක බුක්’ කර සැලකිය යුතු වෙලාවක් බලා සිටිය යුතුය.

අද එසේ නොවේ. නව තාක්ෂණයෙන් ක්ෂණයකින් ලොවමටම ඇමතිය හැකිය. ජංගම දුරකථනයෙන් හඬ පමණක් නොව රූපද සමඟ ඕනෑම තැනකට සන්නිවේදනය කළ හැක. එයට වට්සප්, ඇප්, වයිබර් වැනි ඉමෝ වැනි තවද අන්තර්ජාලය හරහා ඊමේල්, ‍ෆේස් බුක්, ස්කයිප්, යූ ටියුබ් වැනි පහසුකම් ඇත. අද අප භාවිත කරණ තාක්ෂණය දියුණු වූවාට අපගේ මනස දියණු වී නැති සේයකි පෙනෙනන්නට තිබෙන්නේ. තවමත් පණිවිඩ සංනිවේදනය වන්නේ කපුටු පිහාට්ටේ කතාව මෙනි.

ජාතිවාදී ගැටුම් බවට පත්කර ගත් පසුගිය ආසන්නම සිදු වීම් කිහිපයම කිසිම ආගමික ජාතික ගැටළුවකට තුඩුදෙන පදනමක් නැති, හුදෙක් කටකතා නිසා ඇති වූ සිදුවීම්ය. එහෙත් එයට ජාතිවාදී ස්වරූපයක් දී ඇත්තේ අහඹුවක් ලෙස නොවන බව නම් පැහැදිලි ය. මේ සිදුවීම් පිටුපස කවුරුන් හෝ සංවිධානාත්මක කල්ලියක් සිටින බව පැහැදිලිය.

හිරන්‍යා සරණාගතයින්ගේ සිද්ධිය මුල දී වාර්තාවූයේ, ‘යම්කිසි පිරිසක් විසින් මුස්ලිම් අන්තවාදීන් පිරිසක් යම්තැනක රඳවා සිටින බවත්, ඔවුන් අපරටේ මුස්ලිම් අන්තවාදී ව්‍යාපාරයක් දියත් කරන්න සූදානමින් සිටින බවත්’ පවසමිනි. අවසානයේ ඔවුන් අහම්බෙන් ලංකා මුහුදු සීමාවට පැමිණි සරණාගතයින් පිරිසක් බවත්, ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බවටත්, උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඔවුන් රඳවා සිටියේ ශ්‍රී ලංකා රජය දැනුවත්ව  බවටත් හෙළිදරව් වීමෙන් එම ප්‍රශ්නය පසුපස හඹායාම එතැකින් නැවතුනි.

අම්පාරේ වඳපෙති සිද්ධිය ගතහොත්, මුස්ලිම් පුද්ගලයකු පවත්වාගෙන ගිය කඩයක පරාටා කෑමට තිබූ හොද්දක වඳ පෙත්තක් තිබී පුද්ගලයකුට හමුවූවායයි කියන සිද්ධියකි. මේ සිද්ධිය වන අවස්ථාවේ දී කඩයේ කෑම කමින් සිටින්නේ ඔහු පමණක් බව කියැවේ. ඔහුට යමක් තමා අතින් යමක් දමා හෝ එවැන්නක් පැවසිය හැකිය. එම අවස්ථාවේ ඔහු සමඟ කිහිප දෙනෙකු සිටි‍යා නම් ඒ සිද්ධියට සාක්ෂි කිහිපයක් ඇත. ඔහු කඩහිමියාගෙන් හෝ අයකැමි වශයෙන් සිටිපුද්ගලයාගෙන් විමසන්නේ ‘ඇත්ත කියපං හොද්දට වඳපෙති දැම්මා නේද?’ කියා ය. මුස්ලිම් ජාතිකයකු වන ඔහු හොඳින් සිංහල නොදත් අයෙකු වීමට ඉඩ ඇත. වඳපෙති කියන්නේ ‍මොනවා ද තබා කුරුඳු පොතු, ගම්මිර්ස්, සුදු ලූණු වැනි කුළුබඩු වල සිංහල නම්වත් නොදන්නවා වන්නට පුළුවන. එවාට ඔහුගේ භාෂාවෙන් කියන නම් ඔහු දන්නවා ඇත. ගැටුම ඇතිකරගත් පුද්ගලයා බලකිරීම මත ඔහු ‘ඔව්’ කියා පවසයි. එම වචනය ආයුධයක් කරගන්නා ගැටුම ආරම්භ කළ පුද්ගලයා දුරකථන ඇමතුම් ලබාදෙමින් මිතුරන් ගෙන්වාගෙන ගැටුමකට මගපාදයි. කඩහිමියා ඔහුගේ ප්‍රශ්නයට ‘ඔව්’ කියන රූප පෙළ අන්තර්ජාලයට මුදා හැර මහා විනාශයකට මුල පුරයි. අවසානයේ දී එම වඳපෙත්තක් යයි සැකකළ හොද්ද රස පරීක්ෂකට යවා වාර්ථාවක් ලබාගත් විට පැවසෙනුයේ එහි තිබී ඇත්තේ වඳ පෙත්තක් නොව පිටිගුලියක් බවයි. එම රසපරීක්ෂණ වාර්ථාව පිළිබඳව එපමණකින් සැහීමට පත්විය නොහැක. මේ ගැටුම ඇති කළ පුද්ගලයන්ගේ ඔළු ගෙඩි තුළ ඇති මොළ ගෙඩි ද පරික්ෂා කළ යුතුව ඇත. ඔවුන්ගේ මොළ‍ සෑදී ඇත්තේ ලේ, මස්, නහර ඇතුළු මිනිස් මොළයක අන්තර්ගතයේ තිබිය යුතු දේවල් වලින් ද එසේත් නැති නම් ගොම පස් පිදුරු වැනි දෑ වලින් ද කියා පරීක්ෂා කර බලා ජනතාවට හෙළි කළ යුතුය.

විවාහපත් මනාළ යුවලක් පළමු දින රාත්‍රිය ගත කිරීම සඳහා ගොස් ඇත්තේ මහනුවරින් තරමක් ඈත සංචාරක හෝටලයකටය. ඒ යන අතරමග දී නුවර වැව රවුම අයිනේ ඔවුන් ගිය රථය නවත්වා ඇත. මනමාලයා රියැදුරුට රුපියල් 2500ක් අතට දී ඔවුන් දෙදෙනාටත්, රියැදුරුටත් රෑට කෑමට සුදුසු මොනවා හෝ පාර්ශල් තුනක් ගෙන එන ලෙස කියා කියා තිබේ. නුවර සුපිරි හෝටලයකට ගිය ඔහුගෙන් එහි සේවකයෙක් මොනවා ද අවශ්‍ය අසා මෙනූ කාඩ් පත අතට දී තිබේ. ඔහු තමා අතට දුන් මුදල් ගණන ගැන සිතා එකක් රුපියල් 800යි යනුවෙන් සලකුණු කර තිබූ කෑම වර්ගයක් පෙන්වා එයින් පාර්සල් තුනක් ඇනවුම් කර තිබේ. හෝටල් ‍සේවකයා සකසා දුන් රාත්‍රි කෑම පාර්සල් තුනත් රැගෙන කාරය වෙත පැමිණි ඔහු මනාල යුවල කැටුව ගමනේ ඉතිරි අ‍ඩ ගොස් තිබේ. හෝටලයට පැමිණි පසු යුවල ඔවුන්ට නියමිත කාමරයට ගිය අතර රියැදුරු රියැදුරන් සඳහා වෙන්ව ඇති නවාතැනට ගොස් තිබේ. රාත්‍රී ආහාරය ගැනීමට සූදානම් වූ පසුවය ඔහුට කාරණය වැටහී ඇත්තේ. ඉංග්‍රීසි නොදත් රියැදුරා වේටර්ට පෙන්වා ඇනවුම් කර ඇත්තේ ‘ඩෙවෙල් චිකන්’ පාර්සල් තුනක් දෙන ලෙසය. හෝටල් සේවකයාත් ඇනවුම පරිදි බැදපු කුකුල් මස් පාර්සල් තුනක් සපයා ඇත. ඉංග්‍රිසි නොදත් රියැදුරුතැන අතින් සිදු වූ මෙම සිදුවීම ඔවුන් සිනහවෙන් විඳදරාගෙන ඇත. භාෂාව නොදත් කම නිසා ‍වන මෙවැනි සිදු වීම් අප කාටත් ජීවිතයේ දී එක් වතාවක දී හෝ මුහුණ දීමට සිදුවී නොමැතිද? එම මුස්ලිම් කඩහිමියා භාෂාව නොදත් කමෙන් පිට කළ වචනය මොවුන් ආයුධයක් කරගත්තේ නොතේරුම් කම නිසා නොවේ. නිවී යන ජාතිවාදී ගිණි පුළිඟුව යළි දැල්වීමට උවමනා නිසා බව මේ සිදුවීම් පෙළ නිරීක්ෂණය කරන්නෙකුට පැහැදිලි වේ.

තෙල්දෙණියේ දී සිදු වූ සිදුවීම් පෙළ අධ්‍යයනය කිරීමේ දී එහි සැලසුම්ගත ක්‍රියාමාර්ගයක් තිබූ බවට සැක පහළ කළ හැකිය. සිද්ධියට ආදාල ට්‍රක් රථ රියැදුරා පසුපසින් එන රථයට ඉස්සර වීමට ඉඩ නොදුන්නේ මාර්ග නීති අනුව, ඉඩ දීමට නොහැකි ස්ථානයක් නිසා නම් ඔහු නිවැරැදිය. එසේ නොමැතිව ඔහුගේ බලපුළුවන් කාරකමකට හෝ පසුපසින් එන වාහනයට වඩා තමා පදවන වාහනය දිගින් පළලින් වැඩි නිසා හෝ මෝඩ චූන් එකක් ගිය නිසා හෝ එසේ ඉඩ නොදුන්නා නම් ඔහු කර ඇත්තේ වරදක්ය. පිටුපස රථයේ ආ පිරිසට ඔහු කළ වරද පෙන්වා දීමට හැකි වුවත් නීතිය අතර ගෙන ඔහුට දඬුවම් කිරීමට පිණිස ඔහුට පහර දීමට බලයක් නැත. ඔවුන් ක්ෂණික කෝපයට එසේ කළා යයි සිතමු. එවැනි ගැටුම් දිවයිනේ විවිධ පලාත් වලින් විට විට වාර්තා වෙයි. එය පුද්ගලික ගැටුමකි. එවැනි ගැටුමකින් පසු තුවාල කරුවන් රෝහල්ගත වීමත්, චූදිතයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත වීමත් සාමාන්‍ය පිළිවෙතය. ඉන් පසු නඩුමාර්ගයට ගොස් වන්දි ලබා ගැනීමත් වැරදි කරුවන්ට දඬුවම් පිණිස දඩ මුදල් ගෙවීමට සිදුවීමත්, සිර දඬුවම් නියම වීමත් නැතිනම් ඒ දෙකටම යටත් වීමට සිදුවීමත් නීතිය අනුව කෙරෙන ක්‍රියා පිළිවෙතයි.

මෙම සිදුවීම ආරම්භයේ දී ද ක්‍රියාත්මක වී ඇත්තේ ද එම සාමාන්‍ය නීතිමය ක්‍රියා පිළිවෙතයි. තුවාල ලැබූ රියැදුරු රෝහල් ගතකරන අතර ඔහුට පහර දුන් පුද්ගලයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වන්නේ ත්‍රිරෝද රථයේ පැමිණි ට්‍රක් රථයේ රියැදුරාට පහර දුන් පුද්ගලයන් තිදෙනා මුස්ලිම් ජාතිකයන් වීම උඩය. ඔවුන් මුස්ලිම් ජාතිකයන් වූ පලියට මෙය ජාතිවාදයක් බවට පත්වන්නේ කොහොම ද? ආගම් වාදයක් මත සිදු වූ පහර දීමක් බවට හංවඩුගසන්නේ කොහොමද? මෙම ගැටුම පිළිබඳව කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලයට තොරතුරු මුදාහරින්නේ මුස්ලිම් අන්තවාදී සංවිධානයක තරුණයන් තිදෙනෙක් විසින් පහර දී සිංහල තරුණයෙක් මරා දමා ඇති බව ඇති බව ඍජුව ප්‍රකාශ කරමිනි.

ඔවුන් මුස්ලිම් අන්තවාදී සංවිධානයක තරුණයන් බව ප්‍රකාශකරන්නේ කවුද? මොන බුද්ධි අංශ වාර්ථා අනුවද? ඔවුන් සිංහල ව්‍යාපාරිකයකු ළඟ සේවය කරන තරුණයන් බවට වාර්තා වුනි. මොවුන් මුස්ලිම් අන්තවාදී සංවිධානයක තරුණයන් නම් එම ව්‍යාපාරිකයා සේවයට ගනියිද? අනෙක මෙම පිරිස බීමතින් සිටිබව පවසයි. මුස්ලිම් අන්තවාදීන්නම් මත්පැන් පානය කරනවාද? ඔවුන් මත්පැන් පානයකර අසුවු‍වහොත් ඔවුන්ට එම ව්‍යාපාරයෙන් හිමි වන්නේ මරණ දඬුවමය. මේ සියලු කතා ගැටුමක් ඇති කිරීමේ පරමාර්ථයෙන් නිර්මාණය කළ ඒවා බව පෙනේ.

ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ඇතිවීම ගැන අන්‍ය ආගමිකයන් කතා කළත් මුස්ලිම් අන්තවාදයකට වඩාත්ම අකමැති පිරිස මුස්ලිම්වරුන් ය. අද ලාංකික මුස්ලිම්වරුන් සැලකියයුතු පිරිසක් දැඩි ආගමික බැඳීම්වලින් තොරව, යම්තරමක නිදහස් දිවි පෙවෙතක් ගෙවන බව පෙනේ. අනෙක් ජාතිකයන් හා විවාහ වී සිටින මුස්ලිම්වරුන් රැසක් ඇත. මත්පැන් පානය කරන මුස්ලිම් තරුණයන් සැලකියයුතු පිරිසක් ඇත. එය ඔවුන්ගේ ආගම අනුව තහනම් ‍කටයුත්තකි. මුස්ලිම් ව්‍යාපාරිකයන් නිදහසේ ව්‍යාපාර කර සාර්ථකත්වයට පත්ව සිටිති. මුස්ලිම් අන්තවාදයක් ඇත්නම් ඔවුන්ගේ ආදායමෙන් වැඩි කොටසක් කප්පම් සඳහා ඔවුනට ගෙවීමට සිදුවනු ඇත. නවීන විලාසිතාකරන මුස්ලිම් තරුණ තරුණියන් අද සිටිති. මේ කිසි නිදහසකට ඉඩ නැති මුස්ලිම් අන්තවාදයක් කරපින්නා ගැනීමට ඔවුන් කැමති වෙතැයි සිතනවාද? මුස්ලිම් අන්තවාදීන්ගෙන් මේ වන විට වැඩිපුරම මැරුම්කා ඇත්තේ මුස්ලිම් ජාතිකයන් බව සැලවේ.

මේ ජාතිවාදි’18 මාර්තු ගිනිසිල ප්‍රථමයෙන්ම ඇවිලෙන්නේ ජාතිවාදි ගැටුම් නිර්මාණය කිරිමෙහිලා ප්‍රකට චීවරධාරියෙක් ගැටුමෙන් මිය ගිය පුද්ගලයාගේ මළගෙදරට සහභාගි වීමත් සමගය. ඔහු එතරම් දුරක් ගෙවා එම මළගෙදරට සහභාගි වූ‍යේ ඇයි? රටේ මිය යන හැම පුද්ගලයෙකුගේම මළ ගෙවල්වලට යාම ඔහුගේ සිරිතක්ද? පුරුදක්ද? නැති නම් කිසිවෙකුගේ ආරාධනයෙන් එහි ගියා ද? එහි ගියසැනින් ප්‍රදේශයපුරා ජාතිවාදී ගිනි ඇවුළුනේ කෙසේ ද? එසේ තිබිය දී ත් ඔහු අත්අඩංගුවට පත් නොවෙයි. මේ සිදුවීම් පිටුපස දේශපාලන හස්තයක් ඇතැයි ජනතාව විශ්වාස කරන්නේ එහෙයිනි.

අන්තර්ජාලය උපයෝගිකරගෙන එක්තරා පුද්ගලයකු පවසන්නේ ‘එක පන්සලකට හෝ අත තිබ්බොත් ලංකාවපුරා ඇති පල්ලි වනසන බවය’ කිසියම් ආගමක කණ්ඩායමක් නිකරුනේ පන්සල්වලට පහර දීමට පැමිණියා ද, එසේ කළහොත් වැරදිකරුවන් ඒ පහර දීමට පැමිණි කණ්ඩායම මිස එම ආගම අදහන සියලු දෙනාම ඊට වැරදි කරුවන් ද? කියා ප්‍රශ්න කළ යුතුව තිබේ. කෙසේ වෙතත් ඔහුට එසේ පල්ලි වැනසීමට බලයක් දුන්නේ කවුද? ඔහුට එසේ කීමට ශක්තියක් ලැබුණේ කෙසේ ද? ඔහු පසුපස ඇති බලවේගය කුමක්ද? යන්න වහා සෙවිය යුතුය. ඔවුන් රටට හෙළිකළ යුතුය. එතන ඇත්තේ කාගේ අන්තවාදයක් දැයි සිතිය යුතුව ඇත. ඕනෑම පිරිසක් අදහන ආගමික ස්ථානයකට පහර දීමක් යනු එම භක්තිකයන්ගේ හදවතට පහර දීමක් බඳුය. ඒ හැඟීම කාටත් පොදුය.

අනෙකුත් ආගම් ගැන කතා නොකර බෞද්ධ භික්ෂුව ගැන මෙහිදී කතා කරන්නේ මම බෞද්ධයකු නිසාය. මෙම සිදුවීම් වලට සම්බන්ධ ඇතැම් භික්ෂූන් කතා කළේ, ක්‍රියාකළේ සුපේෂල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වශයෙන් නොව පතාල නායකන් හා පතා‍ලයේ සොල්දාදුවන් මෙනි. හැඟීම්වාදී නාමික බෞද්ධයන් අතර හා මෙම සිදුවීම් වලින් වාසි ලබන දේශපාලඥයන් අතර ඔවුන්ට ඉහළ වටිනාකමක් ලැබුණත් සාමකාමී කරුණා සිත් ඇති, මෙත්සිත් ඇති සිල්වත් සැබෑ බෞද්ධයන් ඔවුන් හා ඔවුන්ගේ ක්‍රියා පිළිකෙව් කරන බව කිවයුතුය.

භික්ෂු ශාසනය සීග්‍රයෙන් පිරිහෙන බව විශේෂයෙන් කිවයුතු නොවේ. ඒ ඔවුන්ගේ විනය පිරිහීම නිසා ය. ‘වි‍නයෝ නාම ශාසනස්ස ආයු’ යනුවෙන් බුද්ධ දේශනාවේ එන්නේ ‘ශාසනය පවතින්නේ විනය පවතිනතාක්’ බවය. අද බහුතර භික්ෂුවගේ විනය පිරිහී ඇති බව කණගාටුවෙන් වුවත් කියන්නට සිදුවේ. ඔවුන්‍‍ගෙන් ඇතැමෙකුගේ චර්යාවන් ඇතැම් මාධ්‍ය මගින් හෙළිදරව් කෙරුණේ ඡායාරූප සමගිනි.

අන් ආගමිකයන්ගේ පූජ්‍ය ස්ථාන වන පල්ලිවලට පහර දී  බෞද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට නොහැකිය. පළමුව කළ යුතතේ භික්ෂුව විනයානුකූලව වැඩවසමින් ගිහියන්ට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කිරීමය. එය සිදුවෙන බවක් පෙනෙන්නට නැත. අද අතැම් පන්සල් මුදල් උපයන ව්‍යාපාර බවට පත් වී ඇත. අනෙක් අතින් දේශපාලකයන්ගේ ප්‍රචාරක මධ්‍යස්ථාන බවට පත් වී ඇත. ක්‍රමයෙන් සැදෑහැවත් බෞද්ධ උපාසකයන් පන්සල්වලින් ඈත්ව යන ප්‍රවනතාවක් ඇත. මෑත දී මියගිය ප්‍රකට කලාකරුවන් කිහිප දෙනෙකු මෙන්ම අප්‍රකට පුද්ගලයන් ද අන්තිම කැමති පත්‍රයේ පවසා තිබුනේ ‘තමා මියගිය පසු පාන්ශකූලයක් නොදෙන ලෙසත්, දානමය පිංකමක් කරන්නේ නම් වැඩිහිටි නිවාසයකට හෝ ළමා නිවාසයකට දානයක් දෙන ලෙසත් ය. අද බොහෝ දෙදෙනෙක් එම තත්ත්වයට පත්ව තිබෙන්නේ බෞද්ධ භික්ෂුව කෙරෙහි ඇති කලකිරීම නිසාය.

හැඟීම්වාදී පිරිස් මෙම ජාතිවාදී ගැටුම්වලින් සිදුවන අනිසි වක්‍ර විපාක ගැන නොසිතති. අද අපරටක් වශයෙන් සිටින්නේ ආර්ථික වශයෙන් හොඳ ස්ථාවරයක නොවේ. රට ණය බරින් මිරීකී ඇත. අප රටට විදේශ විනිමය නොමැතිව සංවර්ධනය කරනවා තබා ණය ගෙවාගැනීමට ‍නොහැකිය. පෙර දවස අපට විදේශ විනිමය ලැබුනේ තේ, පොල්, රබර් වැනි සම්ප්‍රදායික අපනයන භෝග වලින් වුවත් අද අප අරටට සැලකිය යුතු විනිමය ප්‍රමාණයක් ගෙන එන්නේ විදේශගත රැකියා නියුක්තිකයන් විසිනි. ඉන් වැඩිහරියක්ම එනම් ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් සේවය කරන්නේ මැද පෙරදිග මුස්ලිම් ආගම අදහන රටවලය. මෙම තත්ත්වය තුළ එම විදේශ රැකියා අහිමි වුවහොත් රටට මෙන්ම එම රැකියා කරන්නන්ගේ ජීවිතවලට පවුල්වලට යන කලදසාව කුමද? මෙරට ගැටුම් උත්සන්න උවහොත් මුස්ලිම් රටවල සිටින සිංහලයන්ට ආරක්ෂාව දීමට ගැටුම් ඇති කරන්නන්ට හැකිද? අනික රටේ මෙවන් වාතාවරණයක් තිබිය දී සංචාරකයන්ගේ පැමිණීම ඇනහිටියි. මෙම ගැටුම්වලින් පසුව දැනටමත් යුරෝපාරටවල් ශ්‍රී ලංකාව ලංකාව සංචාරයකට නුසුදුසු රටක් ලෙස නම්කර ඇත. වත්මන් රජය විදේශ ආයෝජන වැඩිවශයෙන් බලාපොරොත්තු වේ. මෙවැනි ගැටුම් ඇති රටක ආයෝජන කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවනු ඇත. එපමණක් නොව ධර්මද්වීපයක් වශයෙන් හඳුන්වනු ලබන අප රට මිලේජ්ඡ ජනතාවක් සිටින රටක් ලෙස හැඳින්වෙනු ඇත.

අප සැවොම ශ්‍රී ලාංකිකයන් යන හැඟීම ඇතිවෙනතෙක් මේ ගැටුම් පවතිනු ඇත. එකීය රටක් තුළ බලය විමධ්‍යගත කිරීමටත්, සියළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාවනු දැකීමටත් මහ ජාතියයි කියා ගන්නා සිංහලයන්ගේ ජාතිවාදී කණ්ඩායම කැමති නැත. ඒ ගැන කතා කළ දැක්මක් ඇති දූරදර්ශී දේශපාඥයන්ට සිදු වූයේ ඒ මතය වෙනුවෙන් දිවි පුදන්නටය. ඔවුන් ජාතිවාදීන්ගේ ගොදුරුබව‍ට පත්විය. ව්‍යවස්ථාවෙන් ඔවුනට තිබෙන අයිතිය පිළිගැනීමට ද මහ ජාතිය කැමති නැත. එවිට ඔවුන් කෑ ගසන්නේ රටබෙදන ව්‍යවස්ථාවක් ගෙන එන බව කියමිනි. ජාතිවාදීන් නියෝජනය කරන ජාතිවාදී දේශපාලකයන් දෙතුන්දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරති. ඔවුන්ට ජාතිවාදයෙන් තොර ඡන්ද පදනමක්, පැවැත්මක් නැති බව ඔවුන් දනිති.

ජාතික ගීය දෙමළ බසින් ගායනා කරනවාට ද ගිහි පැවිදි ජාතිවාදීන් කණ්ඩායම විරුද්ධ විය. එහෙත් වත්මන් රජය ගත් එඩිතර පියවරක් ලෙස එය ක්‍රියාත්මක කෙරුණි. එහි දී කෙරුණේ එම පදමාලාවම ද්‍රවිඩ භාෂාවට පෙරලා එම තනුවට අනුව ගායනා කිරීමය. නොදන්නා භාෂාවකින් අරථය නොවැටහෙන වචන සමූහයක් ගායනා කරනවා වෙනුවට එය කොතරම් හොඳ ද. කොතරම් හැඟීම්දනවන ක්‍රියාවක් ද. එයින් කියැවෙන්නේ ‘නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා’ යන වදන් පෙළයි. එහි එන පද පෙළක ‘එක මවකගෙ දරුකැළ බැවිනා’ යනුවෙන් කියැවේ. එය ද්‍රවිඩ භාෂාවෙන් ගයනා කිරීමේ ඇති වරද කුමක්ද? ජාතික ගීතය ද්‍රවිඩ බසින් කරන ගායන ඇසූ ප්‍රවීන මාධ්‍යවේදියකු පවසා සිටියේ ‘දැන් තමයි මේ ‍රට අපටත් අයිති රටක් බව හැඟුණේ.  ඒ සතුට දරාගන්න බැරිව මට ඇඬුණා’ කියාය. ජාතික ගීතය ද්‍රවිඩ භාෂාවෙන් ද ගායනා කිරීමෙන් යහපතක් සිදු වූවා මිස කිසිම හානි‍යක් සිදු වී නොමැත.

සුව වී ගෙන ආ තුවාලය යළිත් පෑරී තිබේ. ඉබේ පෑරී නොව හිතාමතා පරා තිබේ. සිඟන්නාට නම් තුවාළය සම්පතකි. ඔහුට සිඟමන් යදින්නට තුවාළය අවශ්‍යය. මේ ජාතිවාදය තුවාළය ද පහරා ඉන් යැපෙන පිරිසක් සිටින බව තේරුම්ගත යුතුය. ඒ ජාතිවාදය තුළින් තම ගොඩ වැඩි කරගැනීමට බලන දේශපාලඥයන් එක් පිරිසකි. තම ශාස්තෘවරුන්ගේ දහමට පටහැනිව කටයතු කරන ආගමික පූජ්‍ය පක්ෂය අනෙක් පිරිසය.  මෙවැනි කලබල අවස්ථාවන්ගෙන් ප්‍රයෝජනය ගෙන මංකොල්ල කෑමට බලා සිටින පිරිසක් ද සිටිති. ඔවුනට ජාතියකින් ජන්මයකින් වැඩක් නැත. ඔවුන් කරන්නේ කලදුටු කල වළ හිස ගැනීමය. මොවුන් සියල්ල බහුතර ජනතාව විසින් හඳුනාගෙන තිබීම සතුටට කරුණකි. ඒ අවබෝධය තුළ මොවුන්ට වැඩිකල් පැවැත්මක් නැත.

ජාති ආගම් භේදයෙන් තොරව අපි හැම එකම රටක වෙසෙන ශ්‍රී ලාංකිකයන් බවට සිතන්නට ජනතාව පෙළඹී තිබේ. ඒ මේ තුවාලය සුවවන්නට ඇති හොඳම ඔසුවයි. ජාතිභේද අවුසන්නන්ගේ පැවැත්මට තිත තැබෙන දිනය ඈතක නොවන ඉවට ඉඟි පළ වී තිබීම සතුටට කරුණකි. ‘කළු මාර්තුවක්’ නිර්මාණය කිරීමට කළ සැලසුමේ අවසාන වශයෙන් වාර්තා වූ වූයේ පුත්තලමේ භෝජන ශාලාවක් ගිනි තැබීමේ සිද්ධිය යි. එයින් පසුව ක්‍රියාත්මක වූ පුත්ලමේ ජනතාව එකාවන්ව එක්ව ඒ විනාශ වූ එම භෝජන ශාලාව එක්දිනකින් යතාවත් කර විවෘත කිරීම තුළින් එය ප්‍රකට කර තිබේ. මහනුවර, දිගන, තෙල්දෙනිය ආදී ප්‍රදේශයේ අලාභහානි වූ පුද්ගලික දේපළ හා ආගමික ස්ථාන අලුත්වැඩියා කර දීම පිණිස  ශ්‍රමදායක්ත්වය සැපයීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයින් සූදානම් වී සිටින බව වාර්තා වීම ද සාමය අන්‍යනෝන්‍ය සුහදතාවය අගයන කාටත් සතුටට හේතුවක් වනු ඇත.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *