|

විශ්වාසභංග වූ දේශපාලනය – සී. ජේ අමරතුංග

 සාමාන්‍යයෙන් විශ්වාසය භංගවීමක් කියන්නේ මෙතෙක් තබා තිබූ විශ්වාසයක් බිඳ වැටුණු බවය. එවැන්නක් ඉදිරිපත් කළ යුතු වන්නේ විශ්වාසය තබා සිටි පිරිසක් විසිනි. අඩු තරමේ එබඳු පිරිසකගේ සහයෝගයෙනි. කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න හදන්නේ ඒකාබද්ධ විපක්ෂයේ උදවියයි. මේ සතියේ එම විශ්වාසභංග යෝජනාව භාරදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබිණි. එයට ජනාධිපතිතුමාගේ සහයෝගය ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කියා තිබිණ. පෙනෙන්නට තිබෙන්නේ එම පාර්ශවයේ සහයෝගයද තවම ලැබී නැති බවය.

ආණ්ඩුවකට හෝ අගමැතිවරයකුට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග ඉදිරිපත්වීමද අලුත් දෙයක් නොවේ. කෙසේ වෙතත් එවැන්නක් කිරීමේදී එයට සහයෝගය දෙන පාර්ශව සමග සාකච්ඡාකොට සම්මුතියක් ඇතිකර ගැනීම අවශ්‍යය. එය එළිපිට හෝ රහසේ සිදුවිය හැකිය. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් විය යුත්තේ අදාළ පාර්ශ්වයන්ගේ සහයෝගය ලබාගත හැකිවන ආකාරයටය. කෙසේ වෙතත් දැන් සිදුවී තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ උදවියට අවශ්‍ය ලෙස විශ්වාසභංගයක් සකසා අන් අයගේ සහය ඉල්ලීමකි.

ජවිපෙ කොන්දේසිය

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා තිබුණේ පසුගිය රජයේ දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව පියවර ගැනීමට අගමැතිවරයා ප්‍රමුඛ රජය අසමත්වීම යන කාරණය මත විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වන්නේ නම් තම සහය ලබාදෙන බවකි. එයින් පෙනෙන්නේ පසුගිය රජයේ දූෂිතයන් ලෙස චෝදනා එල්ල වී සිටින උදවිය ගෙන එන විශ්වාසභංගයකට එම පක්ෂයේ සහය නොලැබෙන බවයි.

දෙමළ ජාතික සන්ධානයේ මතය නිල වශයෙන් පළවී නැතත් ජාතිවාදය ශක්තිමත් වන ක්‍රියාමාර්ගවලට ඔවුන්ගේ සහය නොලැබෙන බවට රහසක් නැත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මතවාදය ගොඩනගන උදවිය එය කරන්නේ ජාතිවාදය මත පදනම්වෙමින්ය යන්න දෙමළ ජාතික සන්ධානයටද නොපෙනෙනවා නොවේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමද තීරණයකොට ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එය පරාජය කරන්නටය. ආණ්ඩුවේ බහුතරය සිටින්නේ එතැනය. එම පිරිසට ශ්‍රීලනිප මන්ත්‍රීන් ගණනාවකගේද සහය ඇති බවද දැනගන්නට ඇත. මේ නිසා පසුගිය දිනවල ජනමාධ්‍ය වාර්තා කළේ මෙය නොකෙරෙන වෙදකමක් බවට පත්ව ඇති බවයි. කෙසේ වෙතත් දේශපාලන බල අරගලයේ කොටසක් ලෙස විශ්වාසභංගය පිළිබඳ ඝෝෂාවද ඉදිරියට ඇදෙන බව පෙනෙන්නට තිබේ.

දේශපාලන මෙහෙයුම

මෙම දේශපාලන මෙහෙයුම පටන්ගත්තේ පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල පිටවීමත් සමඟය. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට විත් තිබූ අතර එක්සත් ජාතික පක්ෂය පසුබෑමකට ලක්ව තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලක්ව තිබූ පසුබෑම වඩාත් බරපතළය. එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ අදහස වූයේ ආණ්ඩුවේ ඇතුළෙන්ම තමන්ට එල්ල වූ ප්‍රහාරය තම පසු බැස්මට හේතුවූ බවයි. කෙසේ වෙතත් ශ්‍රීලනිපය පැත්තෙන් ඉදිරිපත් වූයේ පරාජයේ සම්පූර්ණ වගකීම අගමැතිවරයාට පවරන මතවාදයකි. ඒ අතර ඇතැම් ජනමාධ්‍ය ආයතන අගමැති එළවන මෙහෙයුමක් ආරම්භ කළේය. එහි ඉලක්කය වූයේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමයි. ඒ සඳහා කළ මාධ්‍ය මෙහෙයුම වරෙක විගඩමක් තත්ත්වයටද පිළිකුල් සහගත තත්ත්වයටද පත්ව තිබිණි.

තම පක්ෂයේ පසුබෑමක් සිදුවූයේ නම් ඒ ගැන සොයා බලා අවශ්‍ය වෙනස්කම් කරගැනීම එක්සත් ජාතික පාක්ෂිකයන් සතු අයිතියකි. වගකීමකි. ඇත්ත වශයෙන්ම ඒ සඳහා පක්ෂය තුළ සාකච්ඡා ආරම්භ වී තිබුණු බවද වාර්තා විය. කමිටු කිහිපයක්ද පත්කරනු ලැබීය. එසේ වූවද පක්ෂයට පිටතින් සිටින පිරිස් පක්ෂ නායකත්වය ගැන තීරණ ගැනීමට යාම ගැන පාක්ෂිකයන්ගේ විරෝධයක් ඇතිවීම ස්වභාවික විය. ඇත්තෙන්ම සිදුවූයේ පිටස්තර බලපෑම් නිසා එජාපයට අවශ්‍ය ප්‍රතිසංවිධානය පිළිබඳ හොඳ සාකච්ඡාවක් පක්ෂ අභ්‍යන්තරයේ කරගැනීමට ඉඩකඩ ඇහිරීමයි.

රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත්කිරීමේ මෙහෙයුම අද ඊයේ ඇතිවූවක් නොවේ. එය වරින්වර මතුවූයේ එජා පාක්ෂිකයන්ගේ බහුතරයේ මතය බව කියමිනි. එය බහුතර මතය ලෙස සමාජගත කරන්නට විවිධාකාර ප්‍රචාර ක්‍රියාත්මක විය. පාක්ෂිකයන්ගේ බහුතරයේ මතය ලෙස තැන තැන ඉදිරිපත් වූ අදහස්වලට බොහෝවිට විශාල ප්‍රචාරයක් ලැබිණි. එසේ වුවද ඇත්තටම මතය විමසනවිට බහුතරය තිබ්බේ රනිල් වික්‍රමසිංහ මහතාටය.

වරෙක පක්ෂ නායකත්වයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමක්ද තිබුණා අපට මතකය. ඡන්දය පවත්වනවිට බොහෝ දෙනා බලා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා පරදිනතුරුය. ඒ බොහෝ දෙනා එජා පාක්ෂිකයෝ නොවූහ. වැඩියෙන්ම එයට උනන්දුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් වූ පිරිසකටය. ඔවුන් හිතා හිටියේම රනිල් ඉවරයි කියාය. එසේ වුවද ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ වූ විට වික්‍රමසිංහ මහතාට හිමිව තිබුණේ ඉහළ ජයග්‍රහණයකි. බහුතරයේ මතය එදා ප්‍රකාශ වූයේ එහෙමය.

දරන්න බැරිවූ පරාජ

තමන් එජා පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකරන බව කී පිරිසක් පක්ෂ කාර්යාලයට පහරදුන්නේ එම පරාජය දරාගන්න බැරුවය. ඉන්පසුව යළිත් නම් පක්ෂය තුළ එබඳු ඡන්ද තියන්න කවුරුත් කතාකරන එකක් නැත.

එජාප නායකත්වය වෙනස් කිරීමේ මෙහෙයුම එයින්ද නැවතුණේ නැත. එයට හේතුව එය ඇත්තටම මෙහෙයවනු ලබන්නේ පක්ෂයට පිටතින් සිටින පිරිසක් විසින් වීම විය හැකිය. කෙසේ වෙතත් පිරිසක් පෙළපාලි ගිය හැටිත්, එම පිරිසට එජා පාක්ෂිකයන්ගෙන් කුරුඳු පොලු සංග්‍රහයක් ලැබුණු හැටිත් අමතක කළ නොහැකිය. කුරුඳු පොලු දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී නැතැයි තර්ක කළ හැකි වුවද සැබෑ එජා පාක්ෂිකයන්ට තම මතය කියන්නට එදා වෙනත් විදිහක් තිබුණේ නැත. ගුටිකෑ උදවිය හා පහරදුන් උදවිය දෙස බැලූවිට එජා පාක්ෂිකයා හිටියේ කොයි පැත්තේද කියා පැහැදිලි විය. එයින් එලියට ආවේ ජනමාධ්‍ය මගින් මවා තිබූ චිත්‍රයට වෙනස් තත්ත්වයකි.

පසුගිය කාලයේ දේශපාලනයේ තිබූ ඉතා කැත මෙහෙයුම් අතර දේශපාලන පක්ෂ කැඩීමේ මෙහෙයුම් කැපීපෙනෙන තත්ත්වයක තිබිණි. එජාපය කඩා දහහත් දෙනෙක් ආණ්ඩුවට එකතු කරගන්නට මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කළේය. ජනතා විමුක්ති පෙරමුණ කඩා විමල් වීරවංශලා ගත්තේය. ජාතික හෙළ උරුමය කඩා පිවිතුරු හෙළ උරුමය හැදුවේය. මුස්ලිම් කොංග්‍රසය කෑලිවලට කඩා දැමුවේය. තොණ්ඩමන් ෙග් ලංකා කම්කරු කොංග්‍රසයටද අත්කළේ එබඳුම ඉරණමකි. මේවා ‍ඉබේ සිදුවූදේ නොවේ. සැලසුම්ගතව කළ මෙහෙයුම්ය.

දැන් ලංකා සම සමාජ පක්ෂයද දෙකට කඩා හමාරය. වාමාංශික දේශපාලනය අතහැර දැමූ පිරිසක් ජාතිවාදය කර තියාගෙන යන්නේ හිරිකිතයක් නැතිවය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද දෙකට කැඩුවද යළි එක්සත් වී ඇත. එසේ වුවද එය තුළ ඇත්තේ නැවතත් දෙකඩ වන තත්ත්වයකි. එහි අභ්‍යන්තරයේ දේශපාලනය ගැන සරළව කිවහොත් ප්‍රශ්නය තිබෙන්නේ ප්‍රතිපත්ති සහගත දේශපාලනයක් කරනවාද නැත්නම් මැතිවරණ කරනවාද යනුවෙන් බව කිව හැකිය.

එජාප නායකත්වය වෙනස් කිරීමේ මෙහෙයුම හුදකලාව ගෙන සාකච්ඡා කළ නොහැක්කේ මෙබඳු සියුම් මෙහෙයුම් හැමතැනම ක්‍රියාත්මක වී ඇති නිසාය. ක්‍රියාත්මක වෙමින් තිබෙන නිසාය. පසුගිය කාලයේ ඉහත කී අත්දැකීම්වලින් එම දේශපාලන මෙහෙයුම් තහවුරු වන නිසාය. විවිධ සබඳතා හා දේශපාලන න්‍යායපත්‍ර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති තේරුම් ගත යුත්තේ ඒවායේ සැඟවුණු අරමුණ ද හඳුනා ගනිමිනි.

අනෙක් අතට මෙම මෙහෙයුම මෙහෙයවන උදවිය රටට කියන්නේ එක්සත් ජාතික පක්ෂය බලයට ගේන්න එහි නායකත්වය වෙනස් කළ යුතු බවකි. එම ප්‍රචාරයේ අරමුණ එජා පාක්ෂිකයා ඇවිස්සීම බවට සැක නැත. එසේ වුවද මේ මෙහෙයුම ගෙන යන උදවිය එයට සහය දෙන උදවිය දෙස බැලූවිට පෙනෙන්නේ ඔවුන් එජාපය බලයට ගෙන ඒම නොව වෙනත් දේශපාලන න්‍යාය පත්‍රවල සිටින උදවිය බවයි. වෙනත් නායකයන්, වෙනත් පක්ෂ බලයට ගෙන එන්න කැස කවන උදවිය බවයි. ඔවුන්ගේ ඇත්ත අරමුණ ගැන සැක පහළවන්නේ එවිටය. මොවුන් මේ හදන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව වෙනත් පක්ෂ වෙනත් නායකයන් බලයට ගෙනඒමට තිබෙන ප්‍රධාන බාධාවන් ඉවත්කර ගැනීමටද යන්න ගැන ගැඹුරින් හිතන්න වෙන්නේ එවිටය.

ඇත්ත ගේම කාගෙද?

දැන් යෂ්ටිය අතට ගෙන සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේ උදවියයි මහින්ද රාජපක්ෂ මහතායි. ඔවුන් අගමැතිට එරෙහිව විශ්වාසභංගය ගෙනෙන්නේ ආණ්ඩුව ගෙදර යවන්නය. එහෙම බැරිනම් කැරැල්ලක් ඇතිකොට රනිල් නායකත්වයෙන් ඉවත්කිරීමටය. කවුරුන් හෝ වෙනත් නායකයෙක් ඉදිරියට ගන්නටය. නැතහොත් බෙදීමක් ඇතිකර යළිත් වතාවක් දෙකඩ කරන්නටය. එසේ කරන්නේ තමන්ට ඊළඟ වාරයේ ගොඩයන්න පාර සුද්ද කර ගන්නටය. මේ ගේම එජා පාක්ෂිකයාට නොතේරෙන්නට ඉඩ නැත. එජාපය අගමැති රනිල්ගේ ආරක්ෂාව වෙනුවෙන් හිටගන්නේ ඒ නිසාමය.

අගමැතිට එරෙහි විශ්වාසභංගය ගෙනෙන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය අනුව නම් එම මැතිවරණයේ ප්‍රධාන චෝදනාවක් වූයේ පසුගිය ආණ්ඩුවේ සොරුන්ට දූෂිතයන්ට දඬුවම් කිරීමට අපොහොසත්වීමයි. ඒවා නොකර දූෂිතයන් රැකීමයි. එසේනම් විශ්වාසභංගය ගෙන ආ යුතු වන්නේ ඒකටය. “අපිව ඇල්ලුවේ නෑනේ’ කියා එහෙම විශ්වාසභංගයක් ගෙනෙන්නට ඒකාබද්ධ විපක්ෂයේ උදවියට හැකියාවක් නැත.

අගමැතිට එරෙහිව මේ විශ්වාසභංගය ගෙන එන්නට ජවිපෙට හෝ ශ්‍රීලනිපයට හැකියාව තිබිණ. ජවිපෙට එම හැකියාව තවම ඇතත් ශ්‍රීලනිපය එම හැකියාව අහිමි කරගෙන ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකාට ලබාදීමට විරුද්ධවීම මඟිනි. සරත් ෆොන්සේකාට විරුද්ධවී හොරා ඇල්ලුවේ නැතිවාට අගමැතිට විශ්වාසභංග ගෙනෙනවිට එයට වලංගුභාවයක් ලැබෙන්නේ නැත.

පෙනෙන විදියට මෙම විශ්වාසභංගයට අනාගතයක් නැත. එය සාර්ථක වන්නට ඉඩක් ඇති බවක් පෙනෙන්නට නැත. ඇතැම්විට එය අත්හැර දමන්නටද ඉඩකඩ නැතිවා නොවේ. එමෙන්ම පක්ෂවල නායකයන් වෙනස් කරන්නට ජනමාධ්‍ය උඩපැන්නට ඒවාද එහෙම කරන්නට බැරිය. එයද දැන් පැහැදිලිය.

එ‍ෙස් වුවද තමන්ට එරෙහි මෙහෙයුම් අසාර්ථක වූ නිසා එක්සත් ජාතික පක්ෂය හෝ එහි නායකත්වය සියල්ල හරි යැයි සිතා සැනසී නිදාගැනීම නොකළ යුත්තකි. සියලුදෙනාට මහජනයා පණිවිඩයක් දී ඇත. ඔවුන් කියා ඇත්තේ මෙහෙම ගිහින් බැරි බවයි. මහජනයාගේ ඇතැම් තීන්දු ගැන මත ගැන එකඟ විය නොහැකි වුවද ඒවා තේරුම් ගැනීම අවශ්‍යය. ජනමතය හරි තැන හිස නැමීමට වැරදි යැයි දුටු තැන එයට එරෙහිව සටන්කොට නිවැරදි මතය ජයග්‍රහණය කරවීමටද ක්‍රියා කළ යුතුය. සැබෑ නායකත්වය කියන්නේ ඒකටය. අද රටට අවශ්‍ය වන්නේ එබඳු සැබෑ නායකත්වයකි.

සී. ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *