අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ගැන නිදහසේ වේදිකාව කතා කරයි

ලංකාවේ අධිකරණ ක්‍රමයේ සංශෝධනයන් සිදුවිය යුතු බවට සිවිල් සමාජ සංවිධාන සහ ප්‍රගතිශිලී ජනතාව දිර්ඝ කාලයක් පුරා ඉල්ලීම් කළේය. එවැනි තත්ත්වයක් යටතේ අධිකරණ සංවිධාන (සංශෝධන) පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් ඇතිව තිබේ. ඒ අනුව එම යෝජිත පනත පිළිබඳවත් රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවත් සාකච්ඡා කිරීම සඳහා නිදහසේ වේදිකාව අද දින (20/03/ 2018) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවනු ලැබීය.

මෙය අපේ රටේ අධිකරණ ක්‍රමයේ සිදුවිය යුතු සංශෝධන සම්බන්ධයෙන් වන එක් පියවරක්. මෙයින් අධිකරණ ක්‍රමයේ තිබෙන සියලු ගැටලුවලට විසඳුම් නොලැබුණත් යම් විසඳුමක් මේ තුළින් යෝජනා වී තිබෙනවා. අධිකරණවල තිබෙන තදබදය අවම කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරන් සහිත අධිකරණ ක්‍රමයක් පිහිටුවීමට මෙහි යෝජනා වී තිබෙනවා. මෙමඟින් පසුගිය කාලයේ ආන්දෝලනයට ලක් වුණ අපරාධ සම්බන්ධ, මුදල් විශුද්ධිකරණය හා කූට ලේඛන සම්බන්ධ නඩු ආදී ජනතාවට බලපාන නඩු, ස්ථිර විනිසුරු මඬුල්ලක් ඉදිරියේ එක දිගට අසා අවසන් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහා යම් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ගොනු කර තිබෙනවා, මෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් වගන්ති උල්ලංඝනය වන බව පවසමින්. නමුත් කෙසේ හෝ මෙම උත්සාහය ඉදිරියට ගැනීම වෙනුවෙන් සහය දැක්වීමයි අපේ අරමුණ යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් නිදහසේ වේදිකාවේ සමකැඳවුම්කරු පිලිප් දිසානායක පැවසීය.

නව සමසමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ‘ජාතිවාදය අවුස්සන, හොරකම් කරල රටේ ධන නිධාන විනාශ කරපු මිනිස්සු මේකට විරුද්ධයි. නමුත් මෙහි යම් ගැටලුවක් තිබෙනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසඳා ගැනීමට අවස්ථාව තිබෙනවා. විමල් වීරවංශ පුවත්පතකට කියා තිබුණා බටහිර න්‍යාය පත්‍රය අවලංගු කරන්න නම් අගමැති එළ විය යුතු බව. මොකක්ද මේ බටහිර න්‍යාය පත්‍රය කියන්නෙ? අපේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සකස් කර ගත යුතුයි කියන දේ බටහිරින් එන දෙයක් නෙවෙයි. එය ඩොනල්ඞ් ට්‍රම්ප් හරි වෙන බටහිර නායකයෙක් හරි කියපු දෙයක් නෙවයි. එය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගෙන් මතුව එන දෙයක් බව අවබෝධකර ගත යුතුව ඇතැයි මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
මෙහිදී මාධ්‍යට අදහස් දැක් වූ නීතිඥ නාමල් රාජපක්ෂ කියා සිටියේ මෙම යෝජිත පනතට විරෝධය දක්වන පිරිස් උත්සාහ දරන්නෙ ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදුවීමට එරෙහිව බාධා ඇති කිරීම බවයි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පාලන සමයේදී පත්කරන ලද දූෂිත විනිශ්චයකාරවරුන් සමඟ කටයුතු කිරීම පහසු නොවන බවත් මෙම සංශෝධන ඉතාම වැදගත් සංශෝධනයක් වන අතර නඩු තීන්දුවක් ලබා ගැනීමට දැන් තිබෙන ක්‍රමය අනුව වසර දහයක පමණ කාලයක් වැය වුවද මෙම පනත ක්‍රියාත්මක වීමෙන් එම නඩු ඉක්මනින් අසා තීන්දු ලබා ගැනීමේ හැකියාව තිබෙන බවත් පෙන්වා දෙනු ලැබීය.

මෙම පනත මඟින් විශේෂ ත්‍රිපුද්ගල අධිකරණයක් පිහිටුවීමටත් එම අධිකරණයට නඩු කල් නොදමා පවත්වාගෙන යාමටත් තිබෙන හැකියාව නිසාම මෙම යෝජිත පනතට ඇතැම් පිරිසක් විරෝධය පළ කරන බව පෙනෙන්නට තිබෙන බව නිදහසේ වේදිකාව නියෝජනය කරමින් නීතිඥ ප්‍රබෝධ රත්නායක මෙහිදී පැවසීය. ‘විශේෂයෙන්ම දුෂණ චෝදනා සම්බන්ධ නඩු කල් යෑමෙන් අසාධාරණයට ලක් වූ දෙපිරිසක් සිටිනවා. එක් පිරිසක් මෙම දුෂණ චෝදනා සම්බන්ධයෙන් හඬ නැගු ඊට අදාළ නඩු වහා අවසන් කරන ලෙස ඉල්ලා සිටි සිවිල් සමාජයේ පිරිස. අනෙක් පිරිස මෙම දුෂණ චෝදනාවලට ලක් වූ අය. මොකද මේ අයගෙන් පිරිසක් සැබෑ ලෙසම දඬුවම් ලැබිය යුතු වුවත් තවත් පිරිසක් මේ චෝදනාවලින් නිදහස් විය යුතුයි.’ යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥ ප්‍රබෝධ රත්නායක පැවසීය.
‘පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය සමඟ පළාත් පාලන ආයතනවල දේශපාලන අධිකාරීය ක්‍රියාත්මක වූ ආකාරය සහ ඔවුන් අනුව යමින් ඒ පළාත් පාලන ආයතනවල පරිපාලන අධිකාරිය පවා දූෂණය වූ ආකාරය පෙනෙන්න තිබුණා. එවැනි වූ දේශපාලන සහ පරිපාලන අධිකාරීන් විසින් සිදුකරනු ලබන අල්ලස්, අයථා ලෙස දේපල සතු කර ගැනීම් ආදී වූ කාරණා ගණනාවක් මෙම අධිකරණ සංවිධාන (සංශෝධන) පනත යටතට ගැනෙනවා. මෙම පනතට එරෙහි වෙන්නෙ මේවට බය පිරිස්.’ යනුවෙන් නිදහසේ වේදිකාව නියෝජනය කරමින් මෙහිදී අදහස් දැක්වූ ෆ්‍රෙඩී ගමගේ පැවසීය.

samabima

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *