විශේෂ මහාධිකරණයට එරෙහිවීම – පුහුල් හොරා කරෙන් දැනේ – භාතිය බරුකන්ද

‘‘පුහුල් හොරා කරෙන් දැනේ’’ කියලා කතාවක් අප අතර තිබෙනවා. ඒ වගේම ‘‘කැණට කලින් හොරා වැට පණිනවා, කුඩු කෑ මිනිහාගේ නහය දනවා’’ වාගේ කතාත් අපේ සමාජයේ ප‍්‍රකට ඒවා. මේ සියලූම කතාවල පොදු අදහසක්, එහෙම නැතිනම් ළඟින් යන අදහසක් තිබෙනවා. ඒ තමයි ‘‘කළ කිසිවක් සඟවන්න බැහැ’’ කියන එක.
පුහුල් හොරාගේ කතාව ගැන මතකය යළි අලූත් වුණේ සුවිශේෂ කරුණක් නිසා. ඒ මහජන උනන්දුවට අදාළ විශේෂ වැදගත්කමක් සහිත වංචා දූෂණ හා අපරාධ නඩු ඉක්මනින් විභාගයට ගැනීම සඳහා පිහිටුවීමට යෝජනා කර තිබෙන විශේෂ මහාධිකරණවලට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්කම් කිහිපයක් ඉදිරිපත් කිරීම නිසයි.
මේ විශේෂ මහාධිකරණ පිහිටුවීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිහින් තිබෙන්නේ එසේ මෙසේ පුද්ගලයින් නොව දේශපාලන හා නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රබලයින් තිදෙනකු බවයි පසුගිය 18 වැනිදා රාවය පුවත්පත වාර්තා කරන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, පොහොට්ටුවේ නායකයා යැයි කියන මහාචාර්ය ජී.එල්. පීරිස් සහ නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. සිල්වා යන දේශපාලන හා නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් තිදෙනා තමයි මේ මුූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරලා තිබෙන්නේ.
මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිටුපස තිබෙන දේශපාලන න්‍යාය පත‍්‍රය කුමක් ද කියා මනාව පැහැදිලි වන නිසා දෝ මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් සඳහා අතරමැදි පෙත්සම් කිහිපයක් ද පසුගිය 14 වැනිදා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ¥ෂණයට එරෙහිව දීර්ඝ කාලයක් පුරා අඛණ්ඩ අරගලයක නිරතව සිටින ඇමැති චම්පික රණවක, රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබලයින් විසින් සහ පුරවැසි සමාජය විසිනුයි. පුරවැසි සමාජය නියෝජනය කරමින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය, ප‍්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ සහ රාවය පුවත්පතේ හිටපු කර්කෘ, ප‍්‍රවීන කාටූන් ශිල්පී නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන යන මහත්වරුන් විසිනුයි.
විශේෂ මහාධිකරණ පිහිටුවීමට එරෙහිව ඉදිරිපත්ව ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට එරෙහිව අතරමැදි පෙත්සම් ඉදිරිපත් වීම ඉතාමත් වැදගත් කරුණක් වශයෙන් සැලකිය හැකියි. මන්ද ඒකාබද්ධ විපක්ෂය පසුගිය තෙවසර පුරාම ආණ්ඩුව විසින් සම්මත කිරීමට වෑයම් කළ සියලූම ආකාරයේ අණපනත් සම්මත වීම කඩාකප්පල් කිරීමට හෝ දියාරු කිරීමට අධිකරණමය ක‍්‍රියාවලියේ රැුකවරණය පැතූ ආකාරයක් අපි දැක්කා. විශේෂයෙන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය දියාරු කිරීම මෙන්ම බදු සංශෝධන, අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කොමිෂම පිහිටුවීම ආදි සෑම අවස්ථාවකදීම ඒකාබද්ධ විපක්ෂය විවිධ බිල්ලන් මවමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරමින් ආණ්ඩුවේ ප‍්‍රවේශයන් දුර්වල කළා.
හොරු කී කළ කතා
ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ කල්ලිය පසුගිය කාලය පුරාම ආණ්ඩුවට ඔච්චම් කරමින් ඇසූ ප‍්‍රශ්නයක් වූයේ ‘‘කෝ හොරු ඇල්ලූවාද?’’ යන්නයි. අවුරුදු තුනකට ආසන්න කාලයක් පුරා උදේ සවස උසාවි බඩගාමින්, හැකි සෑම අවස්ථාවකදීම නඩු කල් දමා ගනිමින් හෝ ගෝඨාභය රාජපක්ෂ, ටිරාන් අලස් මෙන් අත්අඩංගුවට ගැනීමට එරෙහි වාරණ නියෝග ලබා ගනිමින් තමන්ට එරෙහිව සිදුවන අධිකරණමය ක‍්‍රියාවලිය අති සූක්ෂම ලෙස අඩපණ කළ හෝ දියාරු කළ මේ කල්ලිය මේ සමස්තයේම සම්පූර්ණ දේශපාලන හා ප‍්‍රචාරක වාසිය පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී අත්පත් කොටගත් බව කිසිවෙකුට රහසක් නොවෙයි. පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂ දෙක ලැබූ පරාජයට මූලික හේතුව බවට පශ්චාත් මැතිවරණ ප‍්‍රතිඵළ විශ්ලේෂණයේදී ද දැඩිව අවධාරණය වුණේ මහින්ද රාජපක්ෂ යුගයේ දුෂණ හා ඝාතන සම්බන්ධ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවීම හෝ ප‍්‍රමාද වීම ආණ්ඩුවේ මැතිවරණ පරාජය කෙරෙහි ඍජු බලපෑමක් කළ බවයි.
එපමණක් ද නොවෙයි අපට පළාත් පාලන මැතිවරණයට පෙර කාලය වෙත යළි අවධානය යොමු කිරීමට හැකි නම් හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතාට අමාත්‍යධූරය අහිමි වීම කෙරෙහි බලපෑ ප‍්‍රධාන කරුණ වන්නේ ද රාජපක්ෂ යුගයේ දූෂණ සහ ඝාතන සම්බන්ධ නඩු ප‍්‍රමාද වීම හෝ ජනතාවට (ජනවාරි 08 වෙනසට දායක වූ) තෘප්තිමත් විය හැකි ආකාරයටවත් අධිකරණමය ක‍්‍රියාවලිය සක‍්‍රීය නොවීම පිළිබඳ විවේචනයයි. වත්මන් අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මිය අධිකරණ ඇමැතිධූරය වැඩභාර ගන්නා අවස්ථාවේ ද අවධාරණාත්මකව කියා සිටියේ විශේෂිත මහාධිකරණ පිහිටුවීම මගින් එකී අභියෝග ජය ගැනීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් මැයි මාසය වන විට ස්ථාපිත කරන බවයි. ආණ්ඩුව දේශපාලනික වශයෙන් දැවැන්ත වන්දියක් ගෙවා දැමුවාට පසු හෝ ආරම්භ කිරීමට යන මෙම විශේෂිත මහාධිකරණ වැඩපිළිවෙළ දේශපාලනික වශයෙන් මෙන්ම සමාජයීය වශයෙන් ද වැදගත් වන්නේ මේ නිසයි.
මේ අවස්ථාවේ විශේෂ මහාධිකරණ පිහිටුවීමට ආණ්ඩුව ගන්නා පියවර ද අධිකරණයම ක‍්‍රියාවලියක් හරහා කඩාකප්පල් කිරීමට හෝ කල් අද්දා ගැනීමට දිනේෂ්, ජී.එල් කල්ලිය ගන්නා මේ උත්සාහය ගැන ජනතාව වඩාත් සංවේදී විය යුතු ඉහත සඳහන් කළ හේතු නිසයි. ඊට හේතුව වන්නේ මේ කල්ලියේ උත්සාහය වන්නේ තාක්ෂණික හා ආයතනමය දුර්වලතා හේතුවෙන් දිගින් දිගටම ප‍්‍රමාද වෙමින් පවතින ‘‘හොරු සහ ඝාතකයින් ’’ අධිකරණය හමුවට ගෙනවිත් නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ආණ්ඩුවේ සැලසුම කෙසේ හෝ කඩාකප්පල් කර දැමීමයි. ආණ්ඩු මාරුවක් දක්වා මේ ක‍්‍රියාවලිය තල්ලූ කර දැමීමමයි.

විශේෂ මහාධිකරණයක් අවශ්‍ය ඇයි ?

විශේෂ මහාධිකරණය පිහිටුවීමේ සැලසුමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන අවධාරණාත්මකව කියා සිටියේ තමන් ඊට එරෙහිව අධිකරණයට යන්නේ මේ ක‍්‍රියාවලිය හරහා තෝරාගත් පුද්ගලයින් දඩයමට ලක්වීමට ඉඩ ඇති නිසා බවයි. නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු ද වන ජී.එල්. පීරිස් ද දිනේෂ් ගුණවර්ධනගේ අදහසම ප‍්‍රතිරාවය කළ ආකාරයක් අපි දැක්කා.
ඒත් ප‍්‍රශ්නය වන්නේ මේ කල්ලිය 2015 ජනවාරි 09 වැනිදා සිට ම මේ ආකාරයෙන්ම සාවද්‍ය තර්ක ඉදිරිපත් කරමින් ආණ්ඩුව විසින් පසුගිය කාලය තුළ ස්ථාපිත කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ඇතුළු ආයතන පද්ධතිය විවේචනය කිරීමයි. එම යාන්ත‍්‍රණ කඩාකප්පල් කිරීමට හෝ ඒවායේ පරීක්ෂණ සඳහා සහාය ලබාදීම දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කිරීමයි. මේ තත්ත්වය තුළ රාජපක්ෂ යුගයේ මූල්‍ය අපරාධකරුවන් සහ ඇතැම් ඝාතනවලට සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි සහිත පුද්ගලයින් කොතරම් සුරක්ෂිතව සිටිනවාදැයි අපට පහසුවෙන් ම අවබෝධ වන්නේ රාජපක්ෂ යුගයේ මූල්‍ය අපරාධවලට හෝ ඝාතන ඇතුළු අපරාධවලට සම්බන්ධ බවට කිසිදු අයෙකු මේ දක්වා අධිකරණයමය ක‍්‍රියාවලියක් මගින් වැරදිකරුවෙක් කිරීමට නොහැකි වීම මතයි. පසුගිය කාලය තුළ අධිකරණමය කි‍්‍රයාවලිය හරහා වැරදිකරුවන් බවට පත් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂමේ හිටපු සභාපතිවරයා මේ වන විට ඇපමත මුදා හැරීම හැරෙන්නට මේ යාන්ත‍්‍රණය හරහා සිදු වූ කිසිවක් නැති බවයි අද පොදුවේ ජනතාව පිළිගන්නා අදහස වන්නේ.
මේ අවාසනාවන්ත තත්ත්වය වහාම වෙනස් විය යුතු බව ජනතාව පසුගිය කාලය පුරාම අවධාරණය කළත් අදාළ අංශවල තර්කය වූයේ වත්මන් අධිකරණමය ක‍්‍රියාවලිය හරහා අදාළ කිසිවක්, අපේක්ෂිත කිසිවක් කළ නොහැකි බවයි. ඒ සඳහා විශේෂිත මහාධිකරණ පද්ධතියක් ස්ථාපිත කළ යුතු බවයි. මේ පිළිබඳ ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ දී ද අවධාරණාත්මක ස්වරයෙන් ජනතාව හමුවේ පොරොන්දු දුන්නා. විශේෂයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ජනාධිපතිවරයාගේ අතේ තිබූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් හෝ වේගවත් හා අඛණ්ඩ අධිකරණමය ක‍්‍රියාවලියක් දියත් වනු ඇතැයි ජනතාව අපේක්ෂා කළා. අද මෙකී ජනතා අපේක්ෂාවන් යම් ආකාරයකින් ඉටුකරමින් හෝ ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ක‍්‍රියාවලිය හොරුන් අතට පත් වුවහොත් සිදුවන හානිය ගැන මේ අවස්ථාවේ ජනතාවගේ අවධානය යොමු විය යුතුයි.

නීතිය හමුවට ඒමට බිය ඇයි ?

දිනේෂ්, ජී.එල් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරමින් සිදු කරමින් සිටින මේ මෙහෙයුම ජනවාරි 08 වෙනස තුළින් අපේක්ෂා කළ මූලික අරමුණක් ඉටුකර ගැනීමට ආණ්ඩුව ගන්නා අසීරු ප‍්‍රයත්නය බිඳ දැමීමට ගන්නා වෑයමක් බව අප අවධාරණය කරන්නේ හේතු සහිතවයි. එහිදී අපට දිනේෂ්, ජී.එල් කල්ලියෙන් ඇසීමට තිබෙන පළමු ප‍්‍රශ්නය වන්නේ ‘‘ඔවුන් අධිකරණය හමුවට පැමිණ තම නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට මෙතරම් බිය වන්නේ කුමක් නිසාද ? යන්නයි. ඔවුන් නිර්දෝෂි නම්, ඔවුන්ගේ අත්වල ලේ ගෑවී නැතිනම් කළ යුතු වන්නේ අධිකරණය හෝ අදාළ පරීක්ෂණ කොමිෂන් සභා ඉදිරියට පැමිණ තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීම බවයි අපගේ අදහස වන්නේ. උදාහරණයක් වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඞ් සහාපති නිශ්ශංක සේනාධිපති, ටිරාන් අලස් වැනි දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව වාරණ නියෝග ලබා ගන්නා හිටපු ආණ්ඩුවේ ප‍්‍රබලයින් නීතිය සමග සිදු කරමින් සිටින මේ හැංඟිමුත්තම් කෙළිය ජනතාව තුළ දැඩි පිළිකුළක් සේම අධිකරණමය ක‍්‍රියාවලිය පිළිබඳ කිසියම් කණස්සල්ලක් ඇතිකර තිබෙන බව අප පිළිගත යුතුයි. නීතියේ ආධිපත්‍ය ක‍්‍රියාත්මක වන රටක නම් මෙවැනි තත්ත්වයක් කිසිසේත් උද්ගත නොවන බවයි මේ පිළිබඳ සංවේදී පුද්ගලයින් පවසන්නේ.

නව මහාධිකරණයේ වාසි

නව විශේෂ මහාධිකරණවල වාසිදායක තත්ත්වය ගැන විමසීමට පෙර පවතින අධිකරණමය ක‍්‍රියාවලියේ දුර්වලතා සහ සීමිතභාවය ගැන අපගේ අවධානය යොමු විය යුතුයි. මෙහිදී ඉදිරිපත් වන ප‍්‍රධාන මැසිවිල්ලක් වන්නේ අපරාධමය (මූල්‍ය හෝ අපරාධමය වේවා* විභාග කර තීන්දුවක් ලබාදීම සඳහා වසර 10කට ආසන්න කාලයක් ගත වීම සාමාන්‍ය තත්ත්වයක් වශයෙන් සැලකෙන බවයි. ඊට පසුව ද තීන්දුවට එරෙහිව සිදුවන අභියාචනා කිරීම් හා අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගමන් කිරීමට ඇති තත්ත්වය හමුවේ මේ තත්ත්වය තව දුරටත් ප‍්‍රමාද වීම සිදුවන බවයි.
එමෙන්ම නඩු සඳහා පෙනී සිටින නීතිඥයින් අදාළ නඩුව සඳහා පෙනී නොසිටීම, (විවිධ හේතු ඉදිරිපත් කරමින් * විනිසුරුවරුන් නඩුවෙන් ඉවත් වීම ආදිය ද ප‍්‍රකට අපරාධමය නඩු සම්බන්ධයෙන් නිතර නිතර දැකිය හැකි තත්ත්වයක්. පසුගිය කාලය පුරාම විභාග වූූ නඩු ගැන සියුම් විමසුමක් කළහොත් අදාළ නීතිඥයින් නඩුවට ඉදිරිපත් නොවීම නිසා කොතරම් නඩු සංඛ්‍යාවක් දිගින් දිගටම කල් යමින් (මාස ගණනින්* තිබෙන්නේ දැයි අපට පහසුවෙන් වටහා ගත හැකියි. උදාහරණයක් ලෙස පසුගිය 19 වැනිදා විභාගයට ගත් ඇවන්ගාඞ් නඩුව ජූලි මාසය දක්වා කල් ගියේ ඇවන්ගාඞ් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා උසාවියට නොපැමිණි නිසා බවයි වාර්තා වුණේ. ප‍්‍රබල ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් හා නිලධාරීන් සම්බන්ධයෙන් වන නඩු සඳහා නීතිඥයින් විශාල පිිරිසක් පෙනී සිටීම සුපුරුදු තත්ත්වයක් යටතේ නඩු පමා කිරීම ඉලක්ක කර ගනිමින් සිදුවන මෙවැනි අයථා ක‍්‍රියා නිසා අදාළ නඩු විභාගවලට සිදුවන අගතිය විශාල බවයි අධිකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ අවධාරණය කරන්නේ.
මේ තත්ත්වයට සමගාමීව සිදුවන තවත් ඍණාත්මක තත්ත්වයක් වන්නේ මූල්‍ය අපරාධ, සංවිධානාත්මක අපරාධ (තාජුඞීන් ඝාතනය වැනි* සම්බන්ධ පරීක්ෂණ අති සංකිර්ණ වීමත් ඒවා සඳහා අති විශාල ලිපිගෙනු, සාක්ෂිකරුවන් ඇතුළු පිරිසක් කැඳවීමට සිදුවීම නිසා උද්ගත වන සංකීර්ණ තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් සාම්ප‍්‍රදායික අධිකරණ ව්‍යුහයකට දරාගත නොහැකි බවයි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්ගේ අදහස වන්නේ.
එහෙත් විශේෂ මහාධිකරණය හරහා මේ මන්දගාමී තත්ත්වය සම්පූර්ණයෙන් ඉවත් වන බව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශේෂඥයින් කියනවා. එහිදී අධිකරණ සංවිධාන (සංශෝධන* පනත් කෙටුම්පත මගින් 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 12 වැනි වගන්තියට තවත් අලූත් වගන්ති තුනක් ඇතුළත් කිරීමට අපේක්ෂා කරනවා. විනිසුරුවන් තිදෙනකු බැගින් වන මහාධිකරණ තුනක් මේ අනුව ස්ථාපිත කිරීමට නියමිත අතර ඒවායෙහි විභාග වන නඩු අඛණ්ඩව විභාග කර අවසන් කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මෙම මහාධිකරණය පිහිටු වූ පසු අඛණ්ඩව නඩු විභාග කිරීම සිදුවන අතර නීතිඥයින් නොපැමිණීම, විනිසුරුවරුන් ඉවත් වීම වැනි විවිධාකාර හේතු මත සිදුවන නඩු පමාවට තිත තැබෙනවා. මෙම විශේෂ මහාධිකරණයේ පවතින තවත් විශේෂත්වයක් වන්නේ තීන්දුවට එරෙහිව දින 28ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට අවස්ථාව ලබාදීමයි. නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්ට අනුව මෙම නව මහාධිකරණය මගින් වර්තමානයේ ක‍්‍රියාත්මක වන අධිකරණයමය ක‍්‍රියාවලියට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. සිදුවන්නේ එම යාන්ත‍්‍රණය සකී‍්‍රීයභාවයට, කාර්යක්ෂමභාවයට පත් කිරීම පමණයි.
පසුගිය රාජපක්ෂ පාලනය හා සම්බන්ධ නඩු සිය ගණනක් විභාග කර යුක්තිය ඉටුකිරීමට පවතින අධිකරණ යාන්ත‍්‍රණය තුළ ඇති නොහැකියාව ක්ෂේත‍්‍රයේ විද්වතුන් මගින් ඉතාම නිවැරදිව හඳුනාගත් නිසයි ආණ්ඩුව විශේෂ මහාධිකරණ ක‍්‍රියාවලියක් ආරම්භ කරමින් අදාළ නඩු විභාග කඩිනම් කිරීම සඳහා පමාවී හෝ පියවර ගනිමින් සිටින්නේ. අද දිනේෂ්, ජි.එල් පීරිස් සහ නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් මැදිහත්වී සිටින්නේ මෙම අධිකරණයමය ක‍්‍රියාවලිය නවතා දැමීමට වීම යුක්තිය ඉල්ලා සිටින ජනතාවගේ අවධානයට යොමුවිය යුතු කරුණක්. මන්ද මේ මහත්වරුන්ගේ ‘‘ඊනියා සද්භවය’’ පිටුපස සැඟවී සිටින්නේ කවුදැයි කියා කිසිවෙකුට රහසක් නොවන නිසයි. ‘‘කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හෝ ’’ තමන්ගේ ගැළවීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට නොබියව සිටින හිටපු පාලක කල්ලිය යහපාලනය විසින්ම ඇති කළ යහපාලනය අපයෝජනය කරමින් සිටින්නේ තම පුද්ගලික පැවැත්ම සඳහා මිස ජනතාවගේ හිතසුව පිණිස නොවන බව ජනතාව අවබෝධ කර ගත යුතුයි. එනිසා අධිකරණයම ක‍්‍රියාවලියක් හරහා සිදුවීමට නියමිත මෙම ප‍්‍රතිගාමීත්වය පරාජය කිරීම සඳහා ආණ්ඩුව තම මුළු වැර යොදා සටන් කළ යුතුයි. එසේ නොවුණහොත් සිදුවන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ දූෂණ චෝදනා ලිපි ගොනු පෙන්වමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ජනතාව හමුවේ සිදුකළ ප‍්‍රකාශ ‘‘කටින් බතල කොළ සිටුවීමක් ’’ පමණක් වීමයි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *