පෙති-කරල්-එන්නත්වලින් වඳබව ඇති කරන්න බෑ – වෛද්‍ය සංගම් කියයි

* අම්පාරේ ආහාරවල තිබුණේ පිටි ගු ලියක්
* යට ඇඳුම්වල රසායන කතාවත් බොරු
* වෛද්‍ය සංගම් කියයි

බටහිර වෛද්‍ය විද්‍යාත්මක මූලධර්ම අනුව පිරිමි පාර්ශ්වයේ මඳ සරුභාවය ඇති කිරීම සඳහා කිසිදු ඖෂධ පෙත්තක් මෙතෙක් නිෂ්පාදනය කර නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සහ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු පවසති.

ඖෂධ පෙති, කුඩු හෝ එන්නත් මඟින් කණ්ඩායමක් හෝ ජන වර්ගයක් වඳභාවයට පත් කිරීම ප්‍රායෝගිකව කෙසේවත් සිදු කළ නොහැකි බවත් පුරුෂ පාර්ශ්වය උදෙසා වඳ පෙත්තක් සෑදීමට වසර 30 ක් තිස්සේ බටහිර රටවල් උත්සාහ කළ ද එය මෙතෙක් සාර්ථක නොවූ බවත් ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය පැවැසුවාය.

අම්පාර සිද්ධියේ දී ආහාරයට මිශ්‍ර වී ඇත්තේ පිටි ගුලියක් බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණ කර තහවුරු කර ඇත.

කාන්තාවන්ගේ ලිංගික උත්තේජනය අඩු කිරීම සඳහා ඔවුන් භාවිතා කරන යට ඇඳුම්හි විවිධ රසායනික ද්‍රව්‍යයන් තවරන බවට මතයන් පැවැතිය ද එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ද වෛද්‍යවරු අවධාරණය කරති.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහත්මිය මේ බව ඊයේ (15) ප්‍රකාශ කළාය.

ඇතැම් රෝගවලට දිගු කාලීනව භාවිතා කරන ඖෂධ හේතුවෙන් මඳ සරුභාවය ඇති වීමට ඉඩක් තිබුණ ද එම ඖෂධ තනි මාත්‍රාවක් හෝ මාත්‍රා කිහිපයක් පාවිච්චියෙන් එවැනි තත්ත්වයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බවත් ඖෂධ මඟින් ඇති වන මඳ සරු බව එම ඖෂධ භාවිතය නැවැත් වූ විට යථා තත්ත්වයට පත් වන බවත් ඒ මහත්මිය පැවැසුවාය.

දැනට පාවිච්චිය සඳහා ඇති සියලුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිච්චිය සඳහා පමණක් වන අතර කාන්තාවකගේ ගැබ් ගැනීමේ හැකියාව අඩු කිරීම එමඟින් සිදු කරන්නේ යැයි ද, පුරුෂයකුගේ තාවකාලික වඳභාවයක් ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැති යැයි ද ඒ මහත්මිය කීවාය.

පිරිමින් සඳහා වඳ පෙත්තක් සෑදීමට 2013 වසරේදීත් උත්සාහ කළ ද එය අසාර්ථක වූ බවත් දැනට සිදු කර තිබෙන සමීක්ෂණයන්ට අනුව විවිධ හේතූන් නිසා පිරිමි පාර්ශ්වයේ වඳභාවය ඉහළ ගොස් ඇති බවත් වෛද්‍යවරු පවසති.

කාන්තාවන්ගේ වඳභාවය සඳහා හේතු ගණනාවක් බලපාන අතර වයසට ගොස් විවාහ වීම, පාරිසරික සාධකවල බලපෑම, ආහාර හා ජීවන රටාවේ වෙනස්කම්, ස්ථුලතාව යනාදි කරුණු ඊට අදාළ වන බවත් පිරිමින්ගේ මඳ සරුභාවය උදෙසා මද්‍යසාර, දුම්කොළ භාවිතය විශේෂයෙන්ම බලපාන බවත් ඔවුහු ප්‍රකාශ කරති.

මීට වසර 15 කට පමණ පෙර මඳ සරුභාවය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයකින් සමාජයේ ජීවත් වන පුද්ගලයින්ගෙන් සියයට 15 ක් ඊට ගොදුරුව ඇති බවට හෙළි වී තිබේ. එම සංඛ්‍යාව මේ වන විට ඉහළ ගොස් ඇති බවට වෛද්‍යවරුන්ගේ මතය වේ.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි කායික රෝග විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, මහාචාර්ය චාන්දනී වනිගතුංග, කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක, ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න, මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මය සේනානායක මහත්ම මහත්මීහු ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් රැසක් සහභාගී වූහ.

 

සන්ධ්‍යා කරුණාරත්න – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *