අගමැති රනිල් ඇමැති වජිරට ලොකු වැඩක් භාරදෙයි

 

පරිසරය රැක ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සියලු වැඩ සටහන් අතර ප්‍රමුඛ අරමුණක් ලෙස පවතිනවා. ඒ සඳහා සූර්ය බල සංග්‍රාමය නම් වැඩ සැලසුම ක්‍රියාවට නංවා විශාල ලෙස ඉදිරියට ගොස් ඇති මොහොතක ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවට සහභාගී වීමේ අවස්ථාව පසුගියදා ජනාධිපතිතුමාට ලැබුණා. නවදිල්ලි නුවර පැවැති එම සමුළුවට සහභාගි වෙමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ හැමවිටම පරිසරයට මුල්තැන දීමේ අවශ්‍යතාවයයි. ශ්‍රී ලංකාව එහිදී ලබාගෙන ඇති ජයග්‍රහණ පිළිබඳවද ජනාධිපතිතුමා පැහැදිලි කළා.

සූර්ය බලශක්ති සමුළුවට සහභාගි වන අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට නායකයන් හමුවීමටද ජනාධිපතිතුමාට අවස්ථාව ලැබුණා. එහිදී කළ සාකච්ඡා අතර ඉන්දියාව ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති සංවර්ධන වැඩසටහනට අමෙරිකානු ඩොලර් මිලියන සියයක ආධාර පිරිනැමීමට එකඟතාව ප්‍රකාශ කළා. දිළිඳු ජනයාගේ නිවාසවල වහළ මත සවිකරණ සූර්යබල පද්ධති සඳහා ‍ඩොලර් මිලියන 50ක් හා පාසල් හා රජයේ කාර්යාල වහළ මත සූර්යබල පද්ධති සවිකිරීම සඳහා ඩොලර් මිලියන 50ක් ලෙස මෙම මුදල වියදම් කිරීමට නියමිතයි.

නවදිල්ලි නුවර සූර්ය බලශක්ති සමුළුවට සහභාගී වීමෙන් පසුව ජනාධිපතිතුමා ජපානයේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගියා. එහිදී ජනාධිපතිතුමා සාකච්ඡා හා හමුවීම් ගණනාවකට සහභාගි වුණා. නිමල් සිරිපාල ද සිල්වා, මලික් සමරවික්‍රම, තිලක් මාරපන ඇමැතිවරුන් සහ මහාචාර්ය අාශු මාරසිංහ ඇමැතිවරයා මෙම සංචාරයට එක්ව සිටියා.

ජපානයේ අකහිතෝ අධිරාජ්‍යයාගේ ආරාධනයකට අනුව එහි සංචාරය කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 13දා උදේ ජපානයේ ඉම්පීරියල් මාලිගයට ගොස් අධිරාජ්‍යයා බැහැ දුටුවා. එහිදී ජනාධිපතිතුමාට හා ජයන්ති සිරිසේන මැතිනියට ජපන් අධිරාජයාගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

එදින සවස ජනාධිපතිතුමා ජපානයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් සමඟ සාකච්ඡාවක් කළා. ඉන්පසුව එරට සිටින ශ්‍රී ලංකා මුස්ලිම් නායකයන් සමඟ හමුවීම්ක්ද සිදුවුණා. ජපානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව හමු වූ සමුළුවකට සහභාගී වූ ජනාධිපතිතුමා පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ඇති වූ තත්ත්වය හා එය පාලනය කිරීමට රජය ගත් පියවර විස්තර කළා.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රවර්ධන සමුළුවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 13දා පැවැත්වුණා. එයට ජපන් ආයෝජකයින් රැසක් සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන කරන ලෙස ජනාධිපතිතුමා ජපන් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියා. ජපානයේ වෙළෙඳ හා කර්මාන්ත උප ඇමැති මසකි ඔගුෂි මහතාද එහිදී ජනාධිපතිතුමා හමුවුණා.

ජපන් ආයෝජන ප්‍රවර්ධන ආයතනයක් වන ජෙට්රෝ ආයතනය හෙවත් ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ සභාපති හිරෝකි ඉෂිගේ මහතා ද මෙහිදී ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා කළා. ශ්‍රී ලංකාව තුළ ජෙට්රෝ ආයතනයේ ක්‍රියාකාරීත්වය පුළුල්කරන බව ඒ මහතා ජනාධිපතිතුමාට දැනුම් දුන්නා.

අනතුරුව ජනාධිපතිතුමා හමුවුයේ ජපාන අන්තර්ජාතික සහයෝගිතා සංවිධානයේ හෙවත් ජයිකා ආයතනයේ සභාපතිවරයායි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ජයිකා ආයතනය දිගින් දිගට ආධාර ලබාදෙන බව ඔහු කියා සිටියා.

ජපන් අගමැති ෂින්සෝ අබේ මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව සිදුවූයේ බදාදා පස්වරුවෙයි. ශ්‍රී ලංකාවට ණය නොවන ආධාර දිගටම ලබාදීමට අබේ මහතා එහිදී පොරොන්දු වුණා.

ශ්‍රී ලංකා ජනාධිපතිතුමා 17 දා (හෙට) දක්වා ජපානයේ රැඳී සිටීමට නියමිතයි.

ජනපති විදෙස් සංචාරයක නිරත හෙයින් රටේ සියලු වගකීම් ගැන අගමැතිවරයා සිටියේ දැඩි අවධානයෙන්. ඒ නිසා වෙනදාටත් වඩා ඔහු කාර්යබහුල වුණා. එහෙත් කලින් යොදාගත් කිසිදු රාජකාරියක් හෝ උත්සවයක් අතපසු නො කිරීමටද අගමැතිවරයා වගබලා ගත්තා.මේ බ්‍රහස්පතින්දා වෙනදාටත් කලින් ඔහු අරලියගහ මැදුරට ආවා.

මහනුවර ජාතිවාදී ගින්දර දැන් නිමිලා. මේක සංවිධානාත්මකව රට පුරා පතුරවන්නටයි කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම වෙලා තියෙන්නේ. ආණ්ඩුව ගත් පියවර හා ආරක්ෂක අංශවල කැපවීම කවුරුත් අගය කළ යුතුයි.” අගමැතිවරයා එදින අරලියගහ මැදුරට ඇතුළු වන ගමන් පැමිණ සිටි මැති ඇමතිවරුන්ට පැවසුවා.

ජනතාවට රැකවරණය දුන්නේ පොලීසිය හා හමුදාවයි. ඒත් පොලීසියේ ඉහළ නිලධාරීන් අතර තිබූ මතභේද නිසා නුවර සිද්ධියට පොලීසියේ මැදිහත් වීම ටිකක් පරක්කු වුණා කියලත් පත්තරවල ගියා” සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා කිව්වා.

පොලීසියේ එහෙම කඹ ඇදිල්ලක් තිබුණනම් මට ආරංචි වෙනවා. අන්තිමට කාගේත් විවේචනයට වගේම කාගේත් රැකවරණයට හිටියේ පොලීසියයි” අගමැතිවරයා කී විට සියලු දෙනා එය අනුමත කළා.

‘‘අගමැතිතුමාගේ මහනුවර සංචාරය ගැන මිනිස්සු සතුටින් කතා කරනවා. ටිකක් පරක්කු වුණේ ඇයි කියලත් සමහරු මගෙන් ඇහුවා” ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

‘‘ගිය සෙනසුරාදායි මම නුවර එන්න හිටියෙ අස්ගිරි නා හිමි එදා නැති බව දන්වපු නිසයි දින 2-3 ක් ගමන ප්‍රමාද කළේ. ඒත් සාමය රැකීමට අවශ්‍ය නියෝග දීම තත්පරයක්වත් පරක්කු කළේ නෑ” අගමැතිවරයා කිව්වා.

‘‘තෙල්දෙණිය දිගන මැණික්හින්න, කුන්ඩසාලේ, ආණමඩුව, බේරුවල වගේ හැම තැනම ගිනි තියන්න ඉඳල කියලයි ආරංචි. කුන්ඩසාලෙදි පෙට්රල් බෝම්බ වගේම අත් පත්‍රිකා දහස් ගණනකුත්පොලිසියට අහුවෙලා. භයානක කුමන්ත්‍රණයකින් රටත් ජනතාවත් ගැලවුණේ” නවීන් දිසානායක මහතා කිව්වා.

‘‘සිවුරුධාරීන් හා පොහොට්ටුකාරයො තමන්ට එරෙහිව තියෙන දූෂණ වංචා නඩු අහල හිරේ යන්න කලින් ආණ්ඩුවට ගේම් එක දෙන්නයි බැලුවේ. අන්තිමට ඒ පහත්ම කුමන්ත්‍රණයත් හබක් වුණා, වජිර අබේවර්ධන මහතා කිව්වා.

‘‘ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඉමෝ වගේ දේවල් තහනම ගැන මිනිස්සු මුලින් හොඳ කිව්වා. ඒත් ඒක දිගටම ගෙනියන්න ගියොත් ලොකු ප්‍රශ්නයක්, දයා ගමගේ මහතා කිව්වා.

‘‘වයිබර්, වට්ස්ඇප්, තහනම ඉවත් කළා. ෆේස්බුක් තහනම සිකුරාදා ඉවත් කරන බව හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා කිව්වේ නියාමන කොමිසමේ මතයත් විමසලා නිසා ඒකත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේවා තහනමට මමත් කැමති නෑ. ඒත් ගිනි ඇවිලෙන එක මේ තාවකාලික තහනම නිසා වැළකුණා. දිගටම මේවා තහනම් කරන්න බෑ. ලෝකයම ගෝලීකරණය වෙලා නිසා අතීසාරෙට අමුඩ ගහල හරි යන්නෙ නෑ, අගමැතිවරයා කිව්වා.

‘‘නව එජාප ඇමතිවරු පත් කළාට ගැසට් එක තාම නෑ.ඒක පරක්කු වීම ලොකු අවුලක් බවයි නිලධාරීන් කියන්නේ දයා ගමගේ මහතා කිව්වා.

‘‘ජනාධිපතිතුමා රට ඉඳල ආව ගමන් නව විෂයන් ගැසට් කරාවි. අගමැතිවරයා කිව්වා.

එතකොට ශ්‍රීලනිප ඇමති සංශෝධන කෝ. ආණ්ඩුව ඇතුලේ ඉදන් ආණ්ඩුවට ගහල ඡන්දත් පරාද කරවල ශ්‍රීලනිප අය ඒ ඇමතිකම් ම බදාගෙන ඉන්න හැඩයි. ශ්‍රීලනිප ඇමති සංශෝධන නොකළොත් ඒක ලොකු ප්‍රශ්නයක් වේවි, මන්ත්‍රී චමින්ද විජේසිරි කීවා.

සිය 51 වැනි ජන්ම දිනය ‍වෙනුවෙන් පාසල් කීපයකට බස් රථ ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට සහිරා ජාතික පාසලට රුපියල් ලක්ෂ 35 ක් වටිනා නවීන බස් රථයක් පිරිනැමීම පසුගියදා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් සිදු වූයේ උත්සවශ්‍රීයෙන්. දරු දැරියන් 605 ‍දෙනකු ඉගෙනුම ලබන සහිරා ජාතික පාසල හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වෙන එකම පාසලයි. වසර 107 ක් පැරණි මෙම පාසල ආරම්භ කර ඇත්තේ එදා බ්‍රිතාන්‍ය පාලන ස‍මයේ හම්බන්තොට ආණ්ඩුවේ ඒජන්තවරයා ලෙස කටයුතු කළ ලෙනාඩ් වුල්ෆ් විසින් වීමත් විශේෂත්වයක්. බස් රථය හම්බන්තොට නගරයේ සිට විදුහල වෙත පදවාගෙන ආවේ සජිත් විසින්මයි. එය කෙමෙන් විදුහල වෙත ළං වන අයුරු ළමයින්ද, ගුරු දෙගුරුන්ද බලා සිටියේ නො ඉවසිල්ලෙන්. බස් රථය විදුහල් ගේට්ටුවෙන් ඇතුළු කිරීම නම් පහසු කාර්යයක් නොවන බව සියල්ලන්ටම වැටහුණේ එය ආසන්නයටම රැගෙන ඒමෙන් පසුවය. “සර් ඕක රියදුරු මහත්තයට දෙමු. ඇතුළට ගන්න කියලා” කවුදෝ කියද්දී සජිත් කීවේ “යමක් බාගෙට කරන්නේ නැතිව සම්පූර්ණයෙන්ම කරන්න කියලයි මගේ තාත්තා මට උගන්නලා තියෙන්නේ. හම්බන්තොට ටවුමේ ඉඳන් එළවාගෙන ආපු මේ බස් එක ගේට්ටුවෙන් ඇතුළු කරන්නත් මට පුළුවන්” කියායි. සජිත් පටු ගේට්ටුවෙන් බස් රථය සීරුවෙන් ඇතුළට ගත්තා. උත්සව සභාවේදී සජිත් දෙපසින් අසුන්ගත්තේ විදුහලේ ආදි සිසුවෙකු වූ විදුහල්පතිවරයා සහ ආදි සිසුවියක මෙන්ම එහි ප්‍රථම උපාධිධාරි ගුරුවරිය වූ නියෝජ්‍ය විදුහල්පතිනියයි. “අපේ පැත්තේ නම් කිසිම කලබලයක් නෑ. කොයි කවුරුත් හරිම සමගියෙන් ඉන්නවා” යැයි නියෝජ්‍ය විදුහල්පතිනිය කීවා. “බොහෝම ස්තුතියි ඇමැතිතුමා අපේ දරුවන්ට දීපු මේ වටිනා තෑග්ග අපට ලොකු හයියක්” විදුහල්පතිවරයා කියද්දි සජිත් කීවේ “මම නිර්මල බෞද්ධයෙක් හැටියට සියලු දෙනාගේ නිදුක් නිරෝගී බවට වගේම සතුටට, ප්‍රයෝජනයට ඉවහල් වන දේ කරන්න තමයි හැමවිටම උත්සාහ කරන්නේ. සමහරු රට ගිනි තියන්න හදනකොට අපි ඒ ගිනි නිවා දමලා ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් යමක් කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව හැමවිටම ජාති, ආගම්, කුලමල භේදවලින් තොර ආදර්ශමත් ජනතාවක් වීමත් විශාල සැනසීමක්” කියායි.

පසුගිය සිකුරාදා උදේ ම ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන ගාලු ගියා. ඒ ගාල්ල ප්‍රාදේශීයේ ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීන්ට ටැබ් බෙදා දීමේ වැඩසටහනට එක්වීමට. එහි දී ටැබ් බෙදමින් වජිර ඇමතිවරයා ෆේස්බුක් තහනම ගැනත් කතා කළා. ”නොදියුණු සමාජයක පුරවැසියන්ට නව තාක්ෂණය ඔස්සේ භාෂණයේ හා ප්‍රකාශනයේ උපරිම නිදහස ලබා දීමේ හානිය අද රටක් ලෙස අපට අත්විදින්න සිදුවෙලා තියෙනවා. මේ නිදහස වල් බූරු නිදහසක් බවට පත්කර ගැනීම නිසා සමාජය විනාශය කරා ගමන් කරමින් තිබෙනවා.” යැයි ඇමතිවරයා කීවා.

මෙම වැඩසටහනෙන් පසු ඇමතිවරයා ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්වයංරැකියා ලාභීන් සඳහා උපකරණ බෙදාදීමට එක්වුණේ නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද සමගින්.

”ඇමතිතුමා මේ බඩු ටික ඡන්දයට කලින් බෙදා දුන්නානම් තවත් කොට්ඨාස කිහිපයක් අපිට දිනාගන්න තිබුණා ” යැයි ගාල්ල නගර සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පැවසුවා.

එම වැඩසටහන අවසානයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ විශේෂ රැස්වීමක් කැඳවා තිබුණා. වජිර අබේවර්ධන ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ මේ රැස්වීමේ දී ගිංතොට සිද්ධියේ දී එය සමථයකට පත්කර ගැනීමට කටයුතු කළ ආකාරය නැවත සමාලෝචනය කෙරුණු අතර එය අනෙකුත් දිස්ත්‍රික්කවල ද ආදර්ශයට ගත යුතුයැයි ද පැවසුණා.

ඉරිදා උදෑසන ම ඇමති වජිර කරුණෑගල මල්ලවපිටියේ ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහනට සහභාගී වූවා. ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා ද සහභාගී වී සිටියා. වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය ද මේ වැඩසටහනට සහභාගී වුණා.

එහි දී අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ට ඇති වී තිබෙන අපහසුතා ගැන කතා කරමින් කියා සිටියේ ඔවුන් ගමේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

ඊයේ බ්‍රහස්පතින්දා උදෑසන ඇමති වජිර ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් තැබීමට සහභාගී වුණා. ගොඩනැගිල්ල ඉදිකරනු ලබන්නේ රුපියල් ලක්ෂ 920ක වියදමින්. ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමෙන් අනතුරුව කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සුහද සාකච්ඡාවක් ද පැවැත්වුණා.

සෙනසුරාදා උදෑසනම වජිර ඇමතිවරයා අගැමති රනිල් සමග මහනුවර යාමට නියමිතව සිටිය ද ඔහු ගියේ නෑ. මහනුවර ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තිබූ රැස්වීම ආරම්භ කරමින් අගමැතිවරයා වජිර මතක් කළේ මෙසේ කියමින්.

”මේ වේලාවේ මම වජිර අබේවර්ධන ඇමතිවරයාට විශේෂයෙන් ස්තූති කළ යුතුයි. ඔහු මේ සිද්ධිය වූ වෙලාවේ සිට සියලු අංශ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු ඉටුකළා. අද මා සමග පැමිණීමට නියමිතව තිබුණත් මා ඔහුට පක්ෂය වෙනුවෙන් ලොකු වැඩක් භාර දුන්නා. ”

වජිරට භාරදුන් ලොකු වැඩේ කුමක් දැයි කිසිවෙකු ඒ වනවිට දැන සිටියේ නෑ. අගමැතිතුමා සමග මහනුවර යාමට සිදුවන බැවින් තම අමාත්‍යාංශය විසින් සංවිධානය කළ නිල මෙහෙවර වැඩසටහනට ද නොගිය වජිර කොළඹ සිට විශේෂ මෙහෙයුමක් දියත් කළා.

කෝට්ටේ සෝලිස් ශාලාවට එදින එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු කැඳවා ඇතැයි පක්ෂ නායක අගමැති රනිල්ට ලැබුණු තොරතුරක්. පළාත් මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණේ පක්ෂයෙන් කරන ආකාරයෙන්. ඒ ව්‍යාජ ආරාධනාවක්. මේ හමුව කැඳවා තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු පළාත් සභා මන්ත්‍රී ගාමිණී බවට ද තොරතුරක් ලැබී තිබුණා. වජිර දියත් කළ මෙහෙයුමේ අවසන් ප්‍රතිඵලය වූයේ බොරු රැස්වීමක් කැඳ වූ මන්ත්‍රීවරයා තවත් දෙතුන් දෙනකු සමග තනිවීමයි.

පසුගියදා ඇති වූ ගැටුම්කාරී තත්වය නිසා හානියට පත්වූ ප්‍රදේශවල ජනතාව හමු වීමට ජවිපෙ නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජවිපෙ මහනුවර සංවිධායක ගයාන් ජානක, නීතිඥ උපුල් කුමරප්පෙරුම යන අය පසුගිය සෙනසුරාදා අකුරණ, දිගන, තෙල්දෙණිය ප්‍රදේශවලට ගියා. ඒ අතර මුල් සිදුවීමෙන් මරණයට පත් වූ කුමාරසිංහගේ සහ මුස්ලිම් තරුණයාගේ නිවෙස්වලටද හානියට පත් වූ පූජනීය ස්ථානවලටද ගොස් කරුණු සොයා බලන්නට ජවිපෙ නායකයෝ කටයුතු කළා. ”මහත්තයෝ කුමාරසිංහ මැරුණ එක තමයි ප්‍රශ්නයට මුල වුණේ. නමුත් මළගෙදරට කවුරුත් ආවේ නෑ. අපේ ගමට අල්ලපු ගම් දෙක මුස්ලිම් ගමයි, සිංහල ගමයි. නමුත් මෙහෙ කවුරුත් ගහ මරාගන්න ගියේ නෑ. මේ මිනිස්සු මොකටද මේ විදියට මරාගන්නේ. අපිට තේරෙන්නේ නෑ” කුමාරසිංහගේ පවුලේ ඥාතීහු ජවිපෙ නායකයින්ට කියා සිටියා. ”දැන් ගහමරාගත්තා කියලා අපිට වෙන සෙතක් නෑ. කුමාරසිංහගේ පවුලේ දරුවන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ආබාධිතයි. ඒ අය ගැන තමයි දැන් අපිට ගැටලූව තියෙන්නේ.” තවත් ඥාතියෙක් කියා සිටියා. ”අපි ශිෂ්‍යත්වයක් දෙන්න කටයුතු සූදානම් කරන්නම්. විදෙස්ගත අපේ සහෝදරයෝ ඒ වගේ උදව් කරනවා. එහෙම අය සම්බන්ධ කරලා දෙන්න අපි කටයුතු කරන්නම්.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියා.

අනතුරුව ගැටුමින් මිය ගිය මුස්ලිම් තරුණයාගේ ඥාතීන්ද මුණ ගැසුණු ජවිපෙ නායකයෝ විනාශයට පත් වූ ව්‍යාපාරික ස්ථාන හා පූජනීය ස්ථානවලට ගොස් තත්වය සොයා බැලූවා. ”එක සිද්ධියක් අල්ලගෙන මේ තරම් විනාශයක් කළා. එක්කෙනෙක් දෙන්නෙක් කරපු වැරදිවලට අපි හැමෝම වන්දි ගෙවන්න ඕනෑද? අපි බොහොම අමාරුවෙන් තමයි මේ ව්‍යාපාර දියුණු කරගත්තේ. ඒත් දැන් හැමදේම විනාශයි.” මුස්ලිම් ව්‍යාපාරිකයෙක් කියා සිටියා. ”අපි මුස්ලිම් ව්‍යාපාරිකයෙක්ගෙන් කඩයක් කුලියට අරගෙන බිස්නස් කළේ. අපේ කඩයත් ගිනි තිබ්බා. ඇයි මේ මිනිස්සු මේ විදියට හැසිරෙන්නේ.” සිංහල ව්‍යාපාරිකයෙක් කියා සිටියා. ”මේ ජාතිවාදී ගැටුම් ඇතිකරන්නේ දේශපාලන වුවමනාවක් අනුවයි. ඇතැම් අයට ජාතිවාදය තමයි එකම තුරුම්පුව. ඒ නිසා බිම් මට්ටමින් ජනතාව සමගි වෙන්න ඕනෑ. බිම් මට්ටමින් ජාතික සමගිය වෙනුවෙන් දේශපාලනය කරන්න ඕනෑ. වෙන උත්තරයක් අපිට නැහැ.” අනුර දිසානායක පැහැදිලි කළා.

මහනුවර තත්වය පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයින් සමඟ කථා නායකවරයා පසුගියදා මහනුවරට යෑමට තීරණය කර තිබුණා. මෙම ගමනට ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූයේ විජිත හේරත් මන්ත‍්‍රීවරයායි. ඔවුන් පළමුව මල්වතු නාහිමියන් බැහැදැකීමට තීරණය කර තිබුණා. ඒ අනුව සියලූ දෙනා මල්වතු හිමියන් හමු වී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ”එක එක බලකා හදාගෙන මේ මොනවද මිනිස්සු කරන්නේ. හමුදාවේ අංශවල බලකායවල් තියෙනවානේ. එහෙම තියෙද්දී අලූත් බලකා හදන්නේ මොකටද? ඔබතුමාලා ඒවා ගැන අවධානය යොමු කරන්න ඕනෑ.” මල්වතු හිමියෝ අවධාරණය කළා. මෙම සාකච්ඡාව අවසානයේදී තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා විජිත හේරත් පෙන්වමින් මෙතුමත් අපිත් එක්ක ආවා යැයි කියා සිටියා. ”ඔව්, ඔව් මම දන්නවා. එතුමා තමයි මගේ චරිතාපදානය පොත් මුද්‍රණය කරලා දුන්නේ. එතුමා සංස්කෘතික ඇමති කාලේ මට උදව් කළා. එතුමාගේ නායකතුමත් ඇවිත් මාව හමුවෙලා ගියා.” මල්වතු හිමියෝ මතක් කළා.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පසුගිය 13වැනිදා පස්වරුවේ කොළඹදී වර්තමාන තත්වය පිළිබඳ සාකච්ඡාවක් සඳහා රැස්වූණා. මෙහිදී මහනුවර තත්වය පිළිබඳවත් ඉදිරියේදී ජාතිවාදී ගැටුම් වළක්වා ජාතික සමගිය ඇතිකිරීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ සාකච්ඡාවක් සිදුවුණා. එමෙන්ම ඉදිරියේදී අගමැතිවරයාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ගැනද සාකච්ඡා වුණා.

”ඒ වගේම අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැනත් අවධානය යොමු කරන්න ඕනෑ. මොකද දැන් මෛත‍්‍රීපාල සිරිසේන හදන්නේ නැවත ජනාධිපති ධුරයේ ඉන්න දේශපාලනය හසුරුවන තැනක. ජනතා වරමට පයින් ගහලා වැඩ කරන්නේ. නැවත අපේ රටේ ජනාධිපතිවරණයක් පවත්වන්න බැහැ.” ටිල්වින් සිල්වා කියා සිටියා. අපි මේ ගැන ජනතා මතයක් හදන්න ඕනෑ. සම්බන්ධ කරගන්න පුළුවන් දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන එකතු කරගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් සටනක් අරඹන්න ඕනෑ.” අනුර දිසානායක යෝජනා කළා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන්නට සැලසුම් කළ ද කරගත නොහැකි වූ විශ්වාසභංග යෝජනාව මේ සතියේදී ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කොට තිබුණද එය තවදුරටත් කල් දමා තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග කියන්නේ එය නො කෙරෙන වෙදකමක් වන බව හා අවශ්‍ය තරම් සහායක් ඒ සඳහා නැති බවයි. අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් සම්මත කිරීම ඒකාබද්ධ විපක්ෂයේ හීනයක් බව රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ රටේ ඇති වූ ගැටුම්වලින් ආණ්ඩුව වාසි ලබා ඇති බවයි. ආණ්ඩුවට තිබූ විරෝධය මෙන්ම විශ්වාසභංග යෝජනාවද මේ නිසා යට ගොස් ඇති බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ඉතා ඉක්මනින්ම කථානායකවරයාට භාරදෙන බවයි. අද මෙරට තිබෙන්නේ ආණ්ඩුවක් නැති තත්ත්වයක් බවත් එම තත්ත්වය තව මාස දහඅටක් තිබෙන්නට ඉඩ දිය නොහැකි බවත් පීරිස් මහතා කීවා.

මේ අතර වාසුදේව නානායක්කාර මහතා වෙනත් ප්‍රකාශයක් කළේ පළාත් සභා මැතිවරණය සම්බන්ධවයි. පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාත ක්‍රමයට පැවැත්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා කොට ඇති බව ඔහු කීවා. එයට ඒකාබද්ධ විපක්ෂය කිසිසේත් ඉඩ නොදෙන බව නානායක්කාර මහතා කියා සිටියා. කොට්ඨාස ක්‍රමය එජාපයට අවාසිදායක නිසා අගමැතිතුමා පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට උත්සාහ දරන බව නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

ගොසිප්ලන්තය – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *