මොළය පුංචි වීමේ පාපකර්මය – නිශාන්ත කමලදාස

 

පඩිසන් දෙන්නේ පූරුවේ කරුමයන් ය. පූරුවේ කීවාට එය මේ ආත්මයේ ම ද විය හැකි ය. අදහස අතීත කාලයේ කළ යමක ප්‍රතිඵලයක් ලෙස එය ලැබෙන බව ය.නිව්ටන්ගේ නියමයෙන් ද එය කියවෙතත් නිව්ටන්ගේ නියමයේ මෙන් ක්‍රියාවට ප්‍රතික්‍රියාව එන්නේ ඒ මොහොතේම නොවේ. කර්මයේ ප්‍රතිඵල එන්නේ බොහෝ විට පමා වෙලා ය. නිව්ටන්ගේ නියමයේ මෙන් සමාන හා ප්‍රතිවිරුද්ධව ද නොවේග කර්මයේ ප්‍රතිඵල ලැබෙන්නේ පොලියත් එක්ක ය. ගෙවන්නට වුණහම යන්න වෙන්නේ හොම්බෙන් ය.කියන්නේ ගොනු පසු පස එන කරත්තය මෙන් එය එන බව ය. පසු පස එන හෙවණැල්ල මෙන් ම කර්මය අප පසු පස ලුහුබඳින බව ය.මේ සියල්ල කියන්නට වුනේ පහුගිය සුමානයේ අපේ රටේ මිනිසුන් විසින් කරගත් තව පාප කර්මයක් නිසා ය.

1983 ජූලි මාසයේ ද මීට සමාන පාප කර්මයක් අපි කළෙමු. ඊට අවුරුදු 26 ක් පුරා පොලියත් සමග විපාක ලැබුවෙමුග පහුගිය සතියේ ඇති වූ තත්වය මෙන් තත්වයක් දිගින් දිගට ඇති වේ නම් තව වතාවක් පොලිය ගෙවන්නට අප සූදානම් වෙන එක හොඳ ය.

83 ජූලි කලබල දෙමළ ජනයා ඉන්දියාවට ද ලෝකයේ වෙනත් රටවලට ද තල්ලු කර දැම්මේ ය. පසු කලෙක ඒ රටවල ද ආධාරය ලැබ තමන් උපන් රටට විරුද්ධව කටයුතු කරන්නට ඔවුන් ඒ මගින් පොළඹවන ලද්දේ ය. ප්‍රභාකරන් තමන්ට අවශ්‍ය හමුදාව සොයා ගත්තේ 83 සිද්ධීන් උපයෝගී කර ගනිමින් ය.

දැන් මේ කරමින් තිබෙන කටයුතු නිසා අයිසිස් සංවිධානයට අවශ්‍ය සෙබළුන් නිර්මාණය වෙන්නට ඉඩ කඩ තිබේ . ඊළගට කරන්නට තිබෙන්නේ පොලියත් සමග රිටර්න් එක බාර ගැනීම ය. ඉන්දියාව වගේම මුස්ලිම් රටවල් ද සටනට ආධාර දුන්නොත් යන්න වෙන්නේ හොම්බෙන් ය. ඒ තෙලුත් නැතිවය. තිබෙන මැදපෙරදිග රැකියා ද අහිමි කර ගෙන ය.

අතීතයෙන් පාඩම් ඉගෙන නොගැනීම

අපි පාඩම් ඉගෙන ගන්නේ නැත. ඉගෙන ගත්තා නම් මෙහෙම කරන්නේ ද මෙහෙම වෙන්නේ ද නැත.

කොල්ලො තුන්දෙනෙක් පොලු වලින් ගසා මිනිසෙක් මැරුවේ නම් මිනිසුන් අල්ලා ගෙන තලන්නේ කොල්ලො තුන් දෙනාට ය. පුංචි එහා මෙහා වීමකින් මේ කොල්ලන් තුන්දෙනා මුස්ලිම් වුණේ නම් සමස්ථ මුස්ලිම් මිනිසුන් ම ඉඳලා හමාර ය. ඒ අපේ පුංචි මොළයට වැටහෙන විදිහ ය. පහුගිය දිනයක වැටහී තිබුණේ ඒ විදියට ය.

රටක නීතිය ක්‍රියාත්මක කරන ආයතන තිබිය දී නීතිය ක්‍රියාත්මක කිරීම තමන්ගේ අතට ගැනීම සම්බන්ධයෙන් කිසිවෙකුට සමාව දිය නොහැකි ය. එය ශිෂ්ඨ රටක මිනිසුන්ගෙන් අපේක්ෂා නොකරන් නීතිය අතට ගැනීමෙන් මේ උදවිය නැවතී නැත. එසේ කළේ නම් දඩුවම් දිය යුතු ව තිබුණේ සිද්ධියට අදාළ තරුණයන් කීප දෙනාට මිසක වටපිටාවේ සිටි මිනිසුන්ට හෝ ඔවුන්ගේ දේපලවලට නොවේ. ඔවුන් ඉල්ලා හිටියේ ම ගේමකි. ඒ සමස්ත මුස්ලිම් වර්ගයා ගෙන්ම ය.අප මේ කටයුත්ත පිළිකුලෙන් යුතු ව හෙළා දැකිය යුත්තේ ඒ නිසා ය.

මගේ ලොකු පුතා පාසල් යන සමයේ දවසක් හවස ගෙදරින් ඇවිදින් කිව්වේ 11 පන්තියේ අයියලා තමන්ට හෙට ගුටි කන්න බලාගෙන පාසලට පැමිණෙන ලෙස අවවාද දුන් බව ය. ඒ කුමක් නිසා දැයි මම ඇසුවෙමි. ඔහු කීවේ අද 10 පන්තියේ ළමයෙක් 11 පන්තියේ ළමයෙකුට ගැසූ බවත් ඒ නිසා 11 පන්තියේ අයියලා හෙට එහි වාඩුව තමන්ගෙන් ගන්නා බව එයින් අදහස් කෙරෙන බවත් ය. ඒ පුංචි මොලයට වැටහෙන විදිහ ය.

මොළය කුඩා වීම

වැරදි කළ මිනිසුන්ට දඩුවම් දෙනු වෙනුවට සමස්ත වරිගයාට දඩුවම් දීමට උත්සාහ කිරීම මොළය කුඩා වීමේ ප්‍රතිඵලයකි. හැගීම්වලින් කම්පනය වූ විට තිබෙන මොළය තවත් පුංචි වන බැවින් මෙය පුදුමයට කරුණක් ද නොවේ.අවාසනාව ටික දෙනෙකුගේ මොළය පුංචි වීමේ විපාක රටකට ම ගෙවන්න සිදු වීම ය. එයට එක් හේතුවක් නම් මේ මැරයන්ගේ මැර වැඩ ඉවසීමට රට වැසියන් හිත හදා ගැනීම ය. ඒ තුළ මේ මැරයන් කරන

පාප කර්මයේ කොටස්කරුවන් බවට පත් වීම ය. පොලියත් එක්ක ගෙවන විට රටට ම ගෙවන්නට සිදු වන්නේ ඒ අනුව ය. ඒ නිසා ම අප කළ යුත්තේ මේ මුග්ධ භාවයට එරෙහි වීම ය. රටක් හැටියට එරෙහි වීම ය. මුණිවත රකින්නේ නැතිව කට හඩ අවදි කිරීම ය. ඊළග පරම්පරාවට යුද්ධයක් ඉතිරි කළ යුතු නැතැයි මහේල ජයවර්ධන කියන විට ඔහු කරන්නේ ඒ යුතුකම ය. සංගක්කාර හා ජයසූරිය මේ තත්වය වහා නැවැත්විය යුතු යැයි කියන විට කරන්නේ ද ඒ යුතුකම ය.ඒ යුතුකම ඔබටත් මටත් කළ හැකි ය. අප බොහෝ දෙනෙකු එසේ කියන්නට ඉදිරිපත් වන්නේ නම් මේ මැරයින් පසු බසිනු ඇත. උන්ගේ වීරකම් අප ඒවා අනුමත කරනවා යැයි උන් හිතන නිසා ය. ඒවා පිළිකුලෙන් බැහැර කරන බව දන්වන්නේ නම් උන්ට නැට්ට අකුලා ගෙන පල්ලම් බැසීමට සිදු වේ. ඒ නිසා ම ඔබ ඉක්මණින් හඩ අවදි කළ යුතු ය. පොලිය සමග පව් ගෙවන්නට හිත හදා ගන්නේ නැත්නම් එය නොපමාව කළ යුතු ය. එසේ කරන්නට සෙසු අය ද පෙළඹවිය යුතු ය.

හබන් කුකුළන්ගේ මඟුල

ඌරන් කැකුණ තලන විට වාසිය හබන් කුකුළන්ට ය. මේ ගැටුම් වල වාසිය ජාතිවාදය විකුණගෙන කන මිනිසුන්ට ය. අන්තිමේ දී අත පය ද දේපොළ ද අහිමිව අහිංසක මිනිසුන්ට දුක උරුම වෙද්දී ජාති වාදයේ කර පිටින් බලයට පත් වෙන්නේ උන් ය. අනුන්ගේ ව්‍යාපාර වල අලු මතින් තමන්ගේ ව්‍යාපාර ගොඩනගා ගන්නේ උන් ය. තමන්ගේ ජඩ මාධ්‍ය ව්‍යාපාර හා පත්තර කඩමාලු විකුණා ගන්නේ උන් ය.ඊට අමතරව වාසිය ඇත්තේ මංකොල්ලකරුවන්ය.ගින්දර මැද්දෙන් ගොස් බඩු එකතු කරගන්නේ උන් ය. මේ අවස්ථාවාදීන්ට රැවටී අසල්වැසියාට කෙණෙහිලිකම් කිරීම නවතා දැමිය යුතු ය.

මෙයින් අපේ නිදහසට ද මානව හිමිකම් වලට ද අප නොදැනුවත්වම තහංචි වැටෙන්නේ ය. ඇඳිරි නීතිය ලෙසත් හදිසි නීතිය ලෙසත් සමාජ ජාලා වාරණය ලෙසත් එකකට පසු එකක් පැමිණෙන්නේ ඒ පෙරහැර ය.මෙවැනි ගැටුම් සම්බන්ධ වන පාර්ශ්ව දෙකට ම අනාරක්ෂිතතාවයක් ඇති කරන්නේ ය. පාර්ශ්ව දෙක අතර දීර්ඝ කාලීන සැක සංකා මතු කරන්නේ ය. කොයි වෙලේ නැවත ගැටුමක් ඇවිලේ දැයි නොදන්නා අවිනිශ්චිතතාවයක් ඇති කරන්නේ ය. ගැටුම සමනයකට පත් වුව ද අළු යට සැඟවුණු ගිනි මෙන් කොයිවෙලේ නැවත බුර බුරා නැගේදැයි කිව නොහැකි මනෝභාවයක් ඇති කරන්නේ ය. දිගුකාලීන පසමිතුරුභාවයකට පාර කපන්නේ ය.

සිංහලයන්ට වෙනත් කිසිම ජාතියක් සමග එකට ජීවත්විය නොහැකි යයි ලෝකයට මෙයින් යන පණිවුඩය. අපේ රටේ යහපත පිණිස නම් වෙන්නේ නැත. අරාබි ලෝකය සමස්ත මුස්ලිම් ලෝකය පමණක් නොව සෙසු ලෝකයා ද අපේ රට දෙස ද බෞද්ධාගම ලෙස ද බලනු ඇත්තේ වපර ඇසකිනි.ලෝකෙට පීචං වූවාට තමන්ගේ වර්ගයා අතර වීරයන් වන නිසා ඇතැමෙක් මේවා කරනවා විය හැකි ය. අප උන් හෙළා දැකිය යුතු ය. උන් වීරයන් නොව නොම්මර එකේ මෝඩයන් බව කියා සිටිය යුතු ය.ලංකාවේ ජනතාවගේ බහුතරය මේ ක්‍රියා අනුමත නොකරන බව ලෝකයට දැනුම් දිය හැක්කේ එසේ ය.අප පිළිබඳ ලෝකයේ පැවති ආකල්ප එක්තරා දුරකට සාධනීය තත්වයකට හරවා ගත්තා පමණි. දැන් ඒ සියල්ල කණපිට හැරවෙනු ඇත. ඒ නිසා ම අප නොපමාව පියවර ගත යුතු ය.

රටකට එන ආයෝජකයන් කොයි වෙලේ ගිනි ඇවිලේ දැයි නොදන්නා අවිනිශ්චිතතාවය යහපත් ලෙස දකින්නේ නැත. සංචාරකයින් ද මේ තත්වය සාධනීය දෙයක් ලෙස දකින්නේ නැත.

ආර්ථිකයට එල්ලවන මරු පහර

දැනටමත් ඇමරිකාව මහා බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියාව තමන්නේ රටවල ජනයාට සංචාරය කිරීමේ අවදානම ගැන අනතුරු අඟවා ඇත.මේ හේතු දෙකම නිසා රට තව තවත් අගාධයකට යෑම වැළැක්විය නොහැකි ය. ඒ පිටට කිසියම් ආකාරයක සම්බාධක ද පැමිණියොත් සියල්ල හමාර ය. මේ කලබල ඇති කරන බොහෝ පිරිස් අප ජීවත්වන්නේ බොහෝ දෙනා අප දෙස බලා සිටින ලෝකයක බව අවබෝධ කර නොගනිති.

අප අගාධයට දමා තිබෙන්නේ අපේ රටේ වාර්ගික සාමය ය.සංහිඳියාව ය. ජාතීන් අතර පැවති එකමුතු භාවය ය. අපේ සුරක්ෂිතතාවය ය. අපේ හොඳ හිත ය. අපේ ආර්ථිකය ය. අපේ අනාගතය ය. ඒ වෙනුවට අප ලබා ගෙන ඇත්තේ පස මිතුරු භාවය ය. වෛරය යග ක්‍රෝධය ය‍. නොහොඳ ය. දේපල විනාශය ය‍. ජීවත විනාශය ය. උන් බැලුවේ ළඟ ය. නොබැලුවේ දුර ය. පුත ළඟ නොබලව දුර බලව යැයි දීඝායු කුමාරයාට පියා දුන් පණිවුඩය එක්කෝ උන් දැන සිටියේ නැත. නැත්නම් අමතක වී තිබුණේ ය. උන් පාසල් නොගියා විය යුතු ය. ගියත් වැදගත් දෙයක් ඉගෙන නොගත්තා විය යුතු ය. නැතිනම් මෙසේ වන්නට හේතුවක් නැත.

දිගන හා තෙල්දෙනිය ගිනිගත්තේ මිය යෑමෙන් කෙළවර වූ ගැටුමක් නිසා ය. අම්පාර ගිනිගත්තේ කෑමවල තිබුණා යැයි සැක කළ වඳ පෙත්තක් නිසා ය. මෙසේ විවිධ සිද්ධීන් වටා නැවත නැවතත් මතු ව එන්නේ අළු යට තිබෙන ගිනි ය. අවශ්‍ය පුංචි තල්ලුවක්ල කිසියම් සංසිද්ධියක් පමණ ය. අපට එවැනි සංසිද්ධීන් නැති කළ නොහැකි ය. එහෙත් මේ අළු යට පවතින ගිනි පුපුරු මතු කර ඒවා සදහටම අහෝසි කර දැමිය යුතු ය. එවිට පොඩි දෙයකින් කලබල වී පිස්සු බල්ලන් මෙන් හැසිරෙන්නේ නැතුව කළ යුත්ත නීති ප්‍රකාරව සිදු කිරීමට හැකි ය.

මේ වාර්ගික අර්බුදය පිටුපස මතවාදයක් තිබේ. අප පහර ගැසිය යුත්තේ ඒ මතවාදයට ය. එම මතවාදය සැකෙවින් දැක්වතොත් මුස්ලිම් වර්ගයා විසින් මේ රට තමන්ගේ ග්‍රහණයට හසු කර ගනිතැයි බිය ය. ඒ සඳහා සිංහල බෞද්ධයින්ට වඳ පෙති දෙන බවට ද කැළෑ කපමින් ගම් බිම් ආක්‍රමණය කරමින් තමන්ගේ වර්ගයා බෝ කරමින් සීතල යුද්ධයක් ගෙන යතැයි යන මතිමතාන්තරය ය.

මේ මතවාදී ගින්දරට පිදුරු සැපයෙන්නන් අතර ඇතැම් සිංහල වෙළෙන්දන් ද ඇතැයි මතයක් තිබේ. වැඩිම ප්‍රහාරය වෙළඳ සැල්වලට එල්ල වන නිසා ය.ඒ සඳහා ඇම හැටියට මුල් කාලයේ ගිල්ලවූයේ හලාල් ලේබලය ය. වඳ පෙත්ත පැමිණියේ ළගක දී ය.නිත්‍ය වඳකිරීමක් කළ හැක්කේ සැත්කමකින් පමණක් බව ද තාවකාලික වඳ කිරීමක් සඳහා පෙත්තක් භාවිතා කළ හැක්කේ කාන්තාවන් විෂයෙහි පමණක් බව ද එය පවා අතිශයින් සීමාසහිත කාලයකට බව ද වෛද්‍යවරුන් විසින් පුන පුනා කියද්දීත් ඉතා උගත් මිනිසුන් පවා මේ ඕපාදූපය කිසිදු හිරිකිතයක් නැතිව බදා ගැනීම කණගාටුදායක ය.

අනවශ්‍ය සැකය මනෝ ව්‍යාධියකි. එය වැලඳුණ මිනිසුන්ට හැම දෙයක් ම සැක ය. අනිත් මිනිසුන් ගන්නා හැම පියවරක්ම තමන්ට එරෙහිව ගන්නේ යැයි සිතීම ඒ රෝගය වැලඳුණ උන්ගේ ලක්ෂණයකි. ඒ ලක්ෂණය ජන වර්ගයක් තුළ පැතිර ගිය විට තත්වය පාලනය කිරීම බොහෝ සෙයින් අමාරු ය. මේ අප මුහුණ දී ඇත්තේ එවැනි ව්‍යසනයකට ය.

අළු යට සැඟවුනු මතවාදී ගින්දර

මේ සැකයෙන් නිදහස් විය නොහැකි මිනිසුන්ට කිරීමට ඇත්තේ මේ කඩ වර්ජනය කිරීම විනා ඒවා ඇතුළට ගොස් ගෝරි දමා ගැනීම නොවේ. එහෙත් ඔවුන් කරන්නේ ද එය ම ය. මේ සියල්ල සැලසුම් සහගත සිදු වෙතැයි සිතීමට එය ද සාධකයකි.ඊට අමතරව සිංහල බෞද්ධයන් අතර සැක බිය මතු කිරීම හරහා තමන්ගේ දේශපාලන ඉලක්කයන් පහසුවෙන් ළගා කර ගත හැකි යැයි සිතන දේශපාලන ව්‍යාපාර ද තිබේ. මේ දේශපාලන බලවේග වල ප්‍රධාන උපාය මාර්ගය බිය වැද්දීම හරහා සිංහල බෞද්ධ ඡන්දදායකයා තුළ අනාරක්ෂිත වාතාවරණයක් මවා පෑමත් ඒ හරහා තමන් ඔවුන්ගේ ගැලවුම්කරුවන් බවට පත් ව ඔවුන් තමන් වෙතට බැඳ තබා ගැනීමත් ය.

මේ ස්වාර්ථකාමීන් වෙනුවෙන් පළමු වටයේ වන්දි ගෙවීමට සිදු ව ඇත්තේ අහිංසක ජනතාවට ය.ඔවුහු දේපල වලින් ද අත්පා වලින් ද ජීවිතයෙන් ද වන්දි ගෙවති. එහි පාපය අවසානයේ ගෙවන්නට සිදු වන්නේ මුළු රටට ය.දැන් වත් මේ නපුරු සිහිනයෙන් අප අවදි විය යුතු ය. එය සිහිනයක් බව සැක හැර දැන ගත යුතු ය. සිහිනය සැබෑවක් ලෙස දැක කරන විගඩම් නවතා දැමිය යුතු ය. මහේල ජයවර්ධන කියන්නා මෙන් අනාගත පරපුර සඳහා යුද්ධයෙන් තොර රටක් අප විසින් ඉතිරි කළ යුතු ය.

නිශාන්ත කමලදාස

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *