මහනුවර සිද්ධිය පිටුපස අදිසි හස්තයේ දේශපාලන අරමුණ හඳුනා ගනිමු – භාතිය බරුකන්ද

අද ලංකාවේ “සමාජමාධ්‍ය” යන නාමකරණය යටතේ හැඳින්වෙන ෆෙස්බුක් දෙස සහ ඇතැම් ජාතික මාධ්‍ය දෙස අවධානය යොමු කරන විට එදා ගොබෙල්ස් විසින් අනුගමනය කළ “එකම බොරුව සිය වරක් ” කීම කොතරම් සුමට හා නිර්මාණශීලී ලෙස යොදා ගන්නේද යන්න හඳුනා ගත හැකියි. විශේෂයෙන් මේ අන්ත වර්ගවාදී හා ජාතිවාදී මාධ්‍ය භාවිතය තුළ මුහුණුපොත ඉතාම අධම භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව මාධ්‍ය සමීක්ෂකයෝ පසුගියදා අවධාරණය කර තිබුණා.

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය මේ වන විට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක් වෙලා තිබෙන බවක් පේනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ප්‍රධාන ජාත්‍යන්තර සංවිධාන රැසක් සහ ලොව කීර්තිමත් පුද්ගලයන් රැසක් මේ වන විටත් අදාළ සිදුවීම් ගැන තමන්ගේ කණස්සල්ල ශ්‍රී ලංකාව වෙත පළ කර තිබෙනවා. මේ අතරේ මෑත ඉතිහාසයේ සිදු නොවූ ආකාරයට දේශීය වශයෙන් ද මේ ප්‍රහාර හෙළා දැකීම් සිදුවෙමින් තිබෙනවා. ආගමික නායකයන්, දේශපාලන පක්ෂ නායකයන් සහ මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර වැනි ජනප්‍රිය චරිත රැසක් ඒ අතර තිබෙනවා.

මේ තත්ත්වය තුළ ආණ්ඩුව තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මෑත යුගයේදී ආණ්ඩුවක් විසින් ගත් දැඩි පියවර රැසක් ගෙන තිබෙනවා. හදිසි නීතිය සතියක කාලසීමාවක් සඳහා පැනවීම වගේම ගැටුම් ඇවිලවීමට ප්‍රබල මූලාශ්‍රයක් වශයෙන් හඳුනාගෙන තිබෙන මුහුණුපොතට ප්‍රවේශවීම තාවකාලිකව අවහිර කිරීම මේ අතර ප්‍රමුඛ කාර්යයන් වශයෙන් සැලකිය හැකියි. ඇතැම් විචාරකයන්ට අනුව මේ සියල්ලට වඩා මේ අන්තවාදී ප්‍රවණතාව මෙතැනින් නිමා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තිබෙන පොදු අධිෂ්ඨානය සුවිශේෂ වෙනවා. මොකද මීට පෙර මහනුවර සිදුවීම් මාලාවටත් වඩා ප්‍රචණ්ඩ වූ අලුත්ගම – බේරුවල ගැටුම් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාලනය මෙවැනි කඩිනම් හා ඵලදායී ප්‍රවේශයක් ගත්තේ නැහැ.

ප්‍රචණ්ඩත්වය පිටුපස සිටින්නේ කවුද ?

පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වය හුදකලා සිදුවීම් වශයෙන් අර්ථකථනය කිරීමට ඇතැම් කණ්ඩායම් සූදානම් වුවත් බොහෝ දෙනකුගේ අදහස වුණේ මේ සිදුවීම් මාලාව පිටුපස ඉතාම පැහැදිලි දේශපාලන න්‍යාය පත්‍රයත් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි. මේ තත්ත්වය තුළ ඊට නායකත්වය සපයන බලවේග සහ පුද්ගලයන් හඳුනා ගැනීමට ආරක්ෂක අංශවලට හැකියාවක් ලැබී තිබෙන බවක් ආණ්ඩුව පසුගියදා ප්‍රකාශ කළා. ආණ්ඩුව විසින් නිල වශයෙන් මේ අදිසි හස්තය හෙළි කිරීමට පෙර සිටම මේ රටේ බහුතරයක් ජනතාව මේ සංවිධානාත්මක ප්‍රහාර පිටුපස සිටින්නේ කවුද ? යන්නත් මේ ප්‍රහාරවල සැබෑ අරමුණ කුමක්ද ? යන්නත් හඳුනා ගෙන තිබුණා.

මේ ප්‍රහාර පිටුපස සිටින බලවේග ගැන ඇමැති චම්පික රණවක සහ අගමැතිවරයා විසින් සිදුකරන පැහැදිලි කිරීම ඉතා වැදගත් බවක් පෙනී යනවා. “ලේ වගුරේ බැහැගෙන ලේ වතුර කලත්තන දේශපාලන සූකරයෝ තුන්දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ බිය වැද්දීම්වලට අහුවෙන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලනවා” ඇමැති පාඨලී චම්පික රණවක පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ ප්‍රහාර පිටුපස තිබෙන දේශපාලන න්‍යාය පත්‍රය ගැන ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබාදීමට පියවර ගත්තා.

“ රට තුළ භීෂණය ඇති කොට ජන ජීවිතය කඩාකප්පල් කොට හෝ බලය ලබා ගැනීම එකම අරමුණ කරගත් දේශපාලන බල තණ්හාවෙන් සිටින සමහර කොටස් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමට විවිධ උපක්‍රමවල කඩාකප්පල්කාරී ක්‍රියාවන් සැලසුම් කරමින් සිටින බව පෙනෙන්න තිබෙන බව” අගමැතිවරයා පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ආණ්ඩු පාර්ශ්වයෙන් සිදුවන මේ පැහැදිලි කිරීම්වලට සමගාමී අදහස් රැසක් තවත් අංශ ගණනාවකින් ප්‍රකාශයට පත් වුණා. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා කළ ප්‍රකාශය ඉතා වැදගත්. ජවිපෙ නායකයා ඉතාම පැහැදිලිව අවධාරණය කරන්නේ වර්තමානයේ සිදුවෙමින් පවතින ජාතිවාදී අරගල පිටුපස දේශපාලන වුවමනා එපාකම් තිබෙන බවයි.

මෙහිදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ අවධාරණය ඉතාම වැදගත් එකක් වශයෙන් සැලකිය හැකියි. “රටේ එක ප්‍රජාවකට හැඟීමක් තිබෙනවා ඔවුන් අනෙක් අයට වඩා ඉහළයි කියලා. අනෙක් අය තමන්ට වඩා පහළයි කියලා. අපි හැමෝටම වඩා ඉහළයි. හැබැයි අනෙක් හැමෝම දෙවැනි පන්තියේ පුරවැසියන් කියලා” විපක්ෂ නායකවරයාගේ මේ ප්‍රකාශය වත්මන් ආගමික අන්තවාදයේ පැහැදිලි ප්‍රකාශනයක් වාගේම ඒ පිටුපස තිබෙන දේශපාලන හස්තය හෙළි කිරීමක් ද වෙනවා. ඒ පසුගිය දශකය තුළ රාජ්‍ය අනුග්‍රහය ඍජුව හා අනියම් ආකාරයෙන් ලබා දෙමින් ද නීතියට ඉහළින් ඇතැම් අන්තවාදී සංවිධාන නායකයන් තබමින් ද ආගමික අන්තවාදය තම බල ව්‍යාපෘතිය තුළ අනියම් බල ප්‍රවාහයක් කරගත් දේශපාලන හා පරිපාලන නායකත්වය කුමක්ද කියා ජනතාව තුළ පැහැදිලි අවබෝධයක් තිබෙන නිසයි.

අන්තවාදීන්ගේ අරමුණු හඳුනා ගැනීම

මේ සමඟ අප හමුවේ මතුවන ප්‍රශ්නය වන්නේ මේ ආකාරයෙන් රටත් ජනතාවත් අර්බුදයට යවමින් මේ දේශපාලන අවස්ථාවාදීන් විසින් ඉටුකර ගැනීමට බලන අරමුණ කුමක්ද යන්නයි.

මේ සම්බන්ධයෙන් ජනතාව අතර අදහස් කිහිපයක් තිබෙනවා. ඒ අතර ඉදිරියෙන්ම තිබෙන්නේ පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් මගින් අත්පත් කර ගැනීම නොහැකි වූ දේශපාලන බලය රට අරාජික කිරීම මගින් අත්පත් කර ගැනීමට පරාජිත රෙජිමය සැලසුම් කරමින් සිටින බවට වන අදහසයි. මේ සමඟ වන අනෙක් අදහස වන්නේ සුළුජනතාව ආණ්ඩුව කෙරෙහි බිඳවීම මගින් ඉදිරි මැතිවරණවලදී දේශපාලන වාසියක් අත්පත් කර ගැනීමට මේ අවස්ථාවාදී කල්ලිය පිඹුරුපත් සකසමින් සිටින බවට වන චෝදනාවයි. මේ අදහස් ද්විත්වය පැහැදිලිව විමසා බැලීමේදී සුළු ජාතීන් සම්බන්ධයෙන් පරාජිත රෙජිමය දක්වන වෛරක්කාරී ප්‍රවේශය අපට පැහැදිලිව හඳුනාගත හැකියි. මේ සඳහා පැහැදිලි පදනමක් සකස් කර ගැනීම සඳහා අප පසුගිය මැතිවරණ ප්‍රතිඵල සහ එකී මැතිවරණ ප්‍රතිඵල විෂයෙහි සුළුජාතීන්ගේ හැසිරීම විග්‍රහයට ලක් කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ බල තුලනය සඳහා ආරම්භක අවධියේ වාමාංශික පක්ෂ සතුව තිබූ හැකියාව ඉතාම පැහැදිලි ලෙස බිඳ වැටෙන්නේ 1977 මහ මැතිවරණයෙන් පසුවයි. මේ මැතිවරණයේදී තනිව තරග කළ වාමාංශික පක්ෂවලට, එසේ නැතිනම් දශක ගණනාවක් පුරා කීර්තිමත් දේශපාලනයක නිරත වූ කොල්වින්, ඇන්.ඇම් වැනි වාමාංශික නායකයන්ට 77 මහ මැතිවරණයේදී තමන්ගේ අසුනත් රැක ගැනීමට නොහැකි වුණා. වාමාංශයේ මේ බිඳ වැටීම වර්තමානය දක්වා ලංකාවේ ජාතික හා ප්‍රාදේශීය දේශපාලනය තුළ නොනැසී තිබෙන තත්ත්වයක්. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව මේ සඳහා වන හොඳ උදාහරණයක්.

වාමාංශික පක්ෂ සතුව තිබූ ආණ්ඩු හැදීමේ යතුර 1994 මහ මැතිවරණයෙන් පසු හිමි වුණේ සුළුජන පක්ෂවලට. විශේෂයෙන් ජාතික දේශපාලනය තුළ මේ සුළුජන පක්ෂ සමඟ වන බැඳීම හා සුළුජාතීන් තම දේශපාලන පක්ෂ වෙත දක්වන ලැදියාව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම අතිශය වැදගත් එකක් වුණා. ඒත් ඓතිහාසිකව ලංකාවේ සුළුජනතාවගේ පුළුල් සහාය ජාතික දේශපාලනයේදී හිමි වුණේ එක්සත් ජාතික පක්ෂය වෙතටයි. ඒ තත්ත්වය මේ දක්වාම අඛණ්ඩව දැකිය හැකි තත්ත්වයක්.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සුළුතර ආණ්ඩුවක් (ආසන 112ක) පිහිටුවීමට හැකියාව ලැබුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය ආණ්ඩුවට ලැබුණ නිසයි. ශ්‍රීලමුකෝ සහාය 2001 වසර දක්වා අඛණ්ඩව ශ්‍රීලනිපයට ලැබුණත් 2001 වසරේ මධ්‍ය භාගයේදී මාවනැල්ල නගරය කේන්ද්‍ර කොට ගෙන සිදු වූ මුස්ලිම් විරෝධී ප්‍රහාරවලට ආණ්ඩුව දැක්වූ ඇල්මැරුණු ප්‍රතිචාර හේතු කොට ගෙන ශ්‍රීලමුකෝ ආණ්ඩුවෙන් ඉවත් වුණා. එකී ඉවත්වීම සමඟ 2001 දෙසැම්බර් 05 මහ මැතිවරණයෙන් පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට එජාපයට හැකි වුණා. එහිදී ශ්‍රීලමුකෝ සහාය එජාපයට තීරණාත්මක වුණා.

මේ තත්ත්වය තුළ අපට නිරීක්ෂණය කළ හැකි වන්නේ දකුණේ දේශපාලන බලතුලනය හැසිරවීමේ පහසු බලයක් ක්‍රමයෙන් මුස්ලිම් ඡන්දදායකයන් වෙත යොමුවන ආකාරයයි. ඒ අනුව 2004 මහ මැතිවරණය, 2005 ජනාධිපතිවරණය, 2010 ජනාධිපතිවරණය සහ තීරණාත්මක වූ 2015 ජනාධිපතිවරණය සුළු ජාතීන්ගේ, විශේෂයෙන් මුස්ලිම් ජනතාවගේ ඡන්දය එජාපය කේන්ද්‍ර කොට ගෙන, 2005 සිට මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඍජුව ක්‍රියාත්මක වන තත්ත්වයක් දක්වා ගමන් කළා. විශේෂයෙන් 2015 ජනාධිපතිවරණ ජයග්‍රහණය කෙරෙහි දකුණේ මුස්ලිම් ඡන්දවල බලපෑම කැපී පෙනුනා. මේ ඡන්ද ප්‍රතිඵල මගින් ඉතාම පැහැදිලිව ප්‍රකාශ වුණෙ “මුස්ලිම් ඡන්දවලට ආමන්ත්‍රණය කළ නොහැකි නම් ආණ්ඩු බලය පිහිටුවීම අවිනිශ්චත බවයි” මේ තත්ත්වය අපට පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල විග්‍රහය මගින් හඳුනා ගත හැකියි. අවසාන ඡන්ද ප්‍රතිඵලය කෙරෙහි සුළු ජාතීන්ට සැලකිය යුතු බලපෑමක් කළ හැකි පළාත් පාලන ආයතන සියල්ලේම බලය (මීගමුව, හම්බන්තොට නගර සභාව පවා) පොහොට්ටුවට අහිමි වුණේ මේ තත්ත්වය හමුවේයි. අද පරාජිත රෙජිමය යළි ඔසවා තැබීමට කොන්දේසි විරහිතව පෙනී සිටින සියලු පාර්ශ්වයන්ගේ උපක්‍රමය වන්නේ මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ යළි ඔසවා තැබීමට ප්‍රබල බාධාව වශයෙන් ක්‍රියාත්මකව තිබෙන මේ සුළුජන ඡන්ද පදනම හැකි උපරිම ප්‍රමාණයකින් දුර්වල කිරීමයි.

ෆැසිස්ට්වාදී ප්‍රවේශය

මේ සමඟ ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ හිට්ලර් පන්නයේ ෆැසිස්ට්වාදී ප්‍රවේශයක් බව ඇතැම් දේශපාලන විචාරකයන් කියනවා. මන්ද අන්ත ජාතිවාදය හා වර්ගවාදය සේවය කරන්නේ ෆැසිස්ට්වාදී රෙජිමය පාලනයකට මිස ප්‍රජාතන්ත්‍රවාදී බහුතරයේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන පාලනයකට නොවීමයි. පරාජිත රෙජිමය යළි ඔසවා තැබීම සඳහා වන මේ ෆැසිස්ට්වාදී ප්‍රවේශයේ සංකීර්ණ මුහුණුවර සහ උපක්‍රම හඳුනා ගැනීම අප පළමුවෙන්ම කළ යුතුයි. ෆැසිස්ට්වාදී බලාධිපත්‍ය ජර්මනිය තුළ ස්ථාපිත කිරීමේදී හිට්ලර් ප්‍රමුඛ නාසි කල්ලිය මූලික ප්‍රවේශයන් තුනක් යොදා ගත්තා. ඉන් ප්‍රමුඛ ප්‍රවේශය වුණේ ජර්මානු ජාතිවාදය ඉහළට ඔසවා තැබීම සහ යුදෙව්වන්ට එරෙහි වාර්ගික වෛරය කුළුගැන්වීමයි. මේ සඳහා හිට්ලර් තම ප්‍රචාරක ලේකම් ජෝෂප් ගොබෙල්ස් හරහා දැවැන්ත ප්‍රචාරණ යාන්ත්‍රණයක් සූදානම් කළා. මේ ප්‍රචාරක ව්‍යාපාරයේ න්‍යාය බවට පත් වුණේ “එකම බොරුව සිය වරක් කියන්න – ජනතාව එය සත්‍ය බවට පිළිගන්නවා ඇති” යන්නයි. මේ අනුව යමින් නාසි මාධ්‍ය අඛණ්ඩව, නිර්මාණාත්මකව යුදෙව් විරෝධී මාධ්‍ය භාවිතයක් ක්‍රියාත්මක කළා. මේ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසාන ප්‍රතිඵලය වුණේ ඒ වන විට යුරෝපයේ බුද්ධිමතුන් වශයෙන් පිළිගැනීමට ලක්ව සිටි ජර්මන් ජාතිකයන්ගෙන් අති බහුතරයක් හිට්ලර්ගේ ඕනෑම ක්‍රියාවක් අනුමත කරන, ඒ සඳහා ආශිර්වාද කරන පිරිසක් බවට පත්වීමයි. ඔවුන් මේ අධි ප්‍රචාරණය හමුවේ කොතරම් නිද්‍රාශීලීභාවයට, උම්මත්තකභාවයට පත්වූවාය යන්න වටහා ගන්නා විට හිට්ලර්ගේ අණමත මානව ඉතිහාසයේ දැවැන්තම මානව සංහාරය සිදු වී අවසන්ව තිබූ අතර ජර්මනිය ඒ සඳහා දැවැන්ත වන්දියක් ද ගෙවා තිබුණා.

අද ලංකාවේ “සමාජමාධ්‍ය” යන නාමකරණය යටතේ හැඳින්වෙන ෆෙස්බුක් දෙස සහ ඇතැම් ජාතික මාධ්‍ය දෙස අවධානය යොමු කරන විට එදා ගොබෙල්ස් විසින් අනුගමනය කළ “එකම බොරුව සිය වරක් ” කීම කොතරම් සුමට හා නිර්මාණශීලී ලෙස යොදා ගන්නේද යන්න හඳුනා ගත හැකියි. විශේෂයෙන් මේ අන්ත වර්ගවාදී හා ජාතිවාදී මාධ්‍ය භාවිතය තුළ මුහුණුපොත ඉතාම අධම භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව මාධ්‍ය සමීක්ෂකයෝ පසුගියදා අවධාරණය කර තිබුණා.

ෆැසිස්ට් මාධ්‍ය භාවිතයේ ප්‍රමුඛ ලක්ෂණය වන්නේ අඛණ්ඩව සිදුවන මිත්‍යාව වැපිරීමයි. නැතිනම් සමාජය වෙත බිල්ලන් හඳුන්වා දෙමින් ජනතාව භීතියට පත් කිරීමයි. ගොබෙල්ස් යුදෙව් බිල්ලා මැවූ ආකාරයෙන් ලංකාවේ සමාජ මාධ්‍ය හා ඇතැම් රාජපක්ෂවාදී මාධ්‍ය පසුගිය කාලය පුරාම මුස්ලිම් ජනතාව සිංහලයාට එරෙහි බිල්ලෙක් වශයෙන් මවාපාමින් සිටින ආකාරයක් අපි දැක්කා. “හලාල් භීතිකාව” කිසිඳු පදනමක් නැති බව ඉතාම පැහැදිලිව වටහා ගත හැකි “වඳ බෙහෙත් ” කතාව මේ අතරින් කිහිපයක් පමණයි. මේ අතර ‘අයි එස් භීතිකාවක් ද ක්‍රමයෙන් මේ සමාජ මාධ්‍ය හා ඇතැම් ජාතික මාධ්‍ය විසින් මවමින් සිටිනවා.

මේ තත්ත්වය තුළ මුහුණුපොතට ප්‍රවේශවීමට කෙටිකාලීනව බාධා කිරීමට රජය ගත් පියවර කාලීන වශයෙන් අතිෂයින් වැදගත් පියවරක් වශයෙන් අපට හඳුනා ගත හැකි වෙනවා. මෙවැනි නියාමන පියවරක් මේ මොහොතේ ඇවිලෙන ගින්නට පිදුරු දමමින් සිටින සෙසු ජාතික ජනමාධ්‍ය සම්බන්ධයෙන් ගත හැකි නම් එය වඩාත් යහපත් බව ඇතැම් පිරිස් විසින් අවධාරණය කරනවා. මන්ද ඇතැම් ජාතික මාධ්‍ය ඉතාම පැහැදිලිව ආණ්ඩු විරෝධයේ නාමයෙන් මේ පටු අවස්ථාවාදයට හා අන්තවාදයට අනුබල දෙමින් සිටින ආකාරයක් අපට නිරීක්ෂණය කළ හැකි නිසයි.

සිදුවන විනාශයේ තරම

ඉතාමත් අවස්ථාවාදී ලෙස සමාජ ප්‍රචණ්ඩත්වය හා වාර්ගික ප්‍රචණ්ඩත්වය අවුලමින් මේ අවස්ථාවාදීන් ගෙන යන මුග්ධ ක්‍රියාවලියේ අවසානය කොතරම් බියකරු විය හැකිදැයි ඔවුන්ට අවබෝධයක් තිබේද ? යන්න සැබවින්ම ප්‍රශ්නකාරී බව සිදුවීම් සිදුවන වේගය හා එහි ප්‍රමාණය අනුව විමසීමට සිදුවෙනවා.

මේ සම්බන්ධයෙන් ඉතාම වැදගත් අදහස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන විසින් පසුගියදා තමන්ගේ ටව්ටර් ගිනුවේ ප්‍රකාශ කරලා තිබුණා. එහිදී මහේල කියා තිබුණේ, මගේ තරුණ කාලයෙන් අවුරුදු 25ක් සිවිල් යුද්ධයක් සමඟ ගත වුණා. අලුත් පරම්පරාවට යළි එවැනි අවාසනාවන්ත තත්ත්වයක් හිමිවිය යුතු නැහැ” කියලයි.

මහේලගේ කතාව අපව යළි යළිත් සිතා බැලිය යුතු තැනකට ගෙන යනවා. ඒ ලංකාවේ පසුගිය සිවිල් යුද්ධයේ නාභිගත කරුණක් වශයෙන් අහිංසක දමිළ ජනතාවට එරෙහිව අඛණ්ඩව සිදුවූ ප්‍රචණ්ඩත්වය ප්‍රමුඛ කරුණක් වූ නිසයි. “ශ්‍රී අක්ෂරය මුල්කොට ගෙන ඇති වූ වාර්ගික ප්‍රචණ්ඩත්වය වගේම ලංකාව ඉතිහාසයේ අපකීර්තිමත්ම සිදුවීම වශයෙන් සලකන 1983 කළු ජූලිය මේ සිදුවීම් මාලාව ගැන අපට යළි යළිත් සිතා බැලීමට හේතු සම්පාදනය කරනවා. එදා, 1983 දී අන්තවාදීන් කිහිප දෙනකු විසින් ඇවිළ වූ ජාතිවාදී ගින්න දශක තුනක් පමණ මුළු රටම ගිනිබත් කරමින් ඇවිළී ගිය බව අප විසින් අමතක නොකළ යුතුයි. අද මුස්ලිම්වරුන් කේන්ද්‍රගත කරගෙන ඇවිළී යන මේ වාර්ගික ප්‍රචණ්ඩත්වය වහාම අවසන් කිරීමට වගකිව යුතු සියලු පාර්ශ්ව වගබලා ගත යුත්තේ ජාත්‍යන්තර වශයෙන් පවා වර්ගවාදය සහ අන්තවාදය විශ්වාස කළ නොහැකි තරම් සංකීර්ණ ලෙස අතුඉති දමා වැඩෙමින් තිබෙන නිසයි. විශේෂයෙන් මේ වන විට ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති ඉස්ලාම් අන්තවාදීන්ගේ සෙවණැල්ල මේ සිදුවීම් මාලාව හරහා ලංකාව වෙත පතිත වීමට ඇති ඉඩකඩ කිසිවෙකුට බැහැර කළ නොහැකියි. එය සැබෑ අනතුරක් බව අප විසින් වටහා ගත යුතුයි.

අනෙක් කරුණ වන්නේ අති බහුතරයක් ජනතාව විසින් තීරණාත්මකව පරාජයට පත් කර ඇති බලවේගවලට යළි හිස ඔසවා සියලු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ යළි හැරීමට මේ හරහා ස්වර්ණමය අවස්ථාවක් නිර්මාණය කිරීමට ඇති අවකාශයයි. ඒ ගැන අප සියලු දෙනාම වඩ වඩාත් සංවේදී විය යුත්තේ මහනුවර – අම්පාර පමණක් නොව තඹුත්තේගම සිදුවීම පිටුපස පවා විවිධ වෙස් ගෙන සිටින්නේ එකම දේශපාලන හස්තයක් වී නිසයි.

සටහන

භාතිය බරුකන්ද

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *