ෆැසිස්ට් කුමන්ත‍්‍රණයක්! – භාතිය බරුකන්ද

ගිය කාලය තුළ අඛණ්ඩව අවධාරණය කළ කරුණක් වූයේ පරාජිත රෙජිමයේ සැලසුම වන්නේ ආණ්ඩුව අර්බුදයකට ලක් කොට බලය අල්ලා ගැනීම වෙනුවට ‘‘රාජ්‍ය අර්බුදයකට ලක්කර බලය අල්ලා ගැනීම’’ බවයි.
මැකිවරණයක් මගින් සිදුවන හුදු බල හුවමාරුවකට වඩා ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ ආණ්ඩු මාරුවෙන් ඔබ්බට ගිය බලාධිපත්‍යක් යළි රට තුළ තහවුරු කිරීම බවයි අපට පැහැදිලිව පෙනී යන්නේ. මේ තත්ත්වය අපට ආසන්න වශයෙන් සන්සන්දනය කළ හැකි වන්නේ ඇඩලොෆ් හිට්ලර් යටතේ ජර්මනියේ සිදු වූ ෆැසිස්ට් බලාධිපත්‍ය ස්ථාපිත කිරීම සමගයි.
එදා හිට්ලර් විසින් අංශ කිහිපයකින් ෆැසිස්ට් බලාධිපත්‍ය ජර්මනිය තුළ තහවුරු කිරීමට පියවර ගත්තා. ඒ අතර රාජ්‍ය අසාර්ථක කිරීම, යුදෙව්වන්ට එරෙහිව අන්ත වර්ගවාදය පෝෂණය කිරීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව ජනතාව තුළ තිබුණා වූ විශ්වාසය බිඳ දැමීම ප‍්‍රමුඛ උපාය වශයෙන් භාවිතයට ගත්තා. මේ සියලූ සැලසුම් දියත් වන අතරේ හිට්ලර් තම ප‍්‍රචාරක ඇමැති ජෝෂප් ගොබෙල්ස් හරහා අති සූක්ෂම ලෙස පොදුජන විඥානය පූර්ණ පරිවර්තනයකට ලක් කරන මාධ්‍ය භාවිතයක් දියත් කළා. මේ ගොබෙල්ස්වාදී මාධ්‍ය භාවිතය (එකම බොරුව සියවරක් කීම හා එවිට ජනතාව එය සත්‍ය බව පිළිගැනීම* තුළ ජර්මනියේ බුද්ධිමතුන් ඇතුළු ජනමත ප‍්‍රධානීන් බහුතරයක් තම ඔඩොක්කු කුක්කන් කර ගැනීමට හිට්ලර්ට හැකියාව ලැබුණා. මානව ඉතිහාසයේ දැවැන්තම මානව සංහාරය (යුදෙව්* සාර්ථකව ක‍්‍රියාත්මක කර පසුව ලෝකය අල්ලා ගන්නා මහා සංග‍්‍රාමයක් වෙත ජර්මනිය ගෙන යාමට හිට්ලර්ට හැකියාව ලැබුණේ මේ තත්ත්වය නිසයි. ජර්මන් ජාතිවාදය ඉහළට ඔසවා තබමින් ලෝකාධිපත්‍ය සඳහා හිට්ලර් ගෙන ගිය යුද්ධය අවසානයේ නතර වුණ තැන ගැන අපි හැමෝම දන්නවා.
ඒත් පුදුමයකට වාගේ ලෝකයේ බොහෝ පාලකයෝ සහ බලය අල්ලා ගැනීම තැත් කරන කල්ලි හිට්ලර්ගෙන් පාඩම් ඉගෙන ගත්ත බවයක් පේන්න නැහැ. ජාතිවාදය, ආගම්වාදයේ බිහිසුණු බව දැන දැනත් අදත් ලෝකය පුරාම එය භාවිතයට ගැනෙනවා. ජාතිවාදය හා ආගම්වාදය බල අරගලයේ නාභිය බවට පත් කර ගැනීමට සූදානම් රටක් ලෙස පසුගිය දශකය වන විට ශ‍්‍රී ලංකාවත් තමන්ගේ තැන වේගයෙන් සහතික කර ගනිමින් සිටිනවා. මේ සන්දර්භය තුළ සිටයි අපි ලංකාවේ පසුගිය දින කිහිපය තුළ උච්චස්ථානයට පත් මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවන සාවද්‍ය ප‍්‍රචණ්ඩත්වය විග‍්‍රහ කළ යුතු වන්නේ. එහි ප‍්‍රතිවිපාක ගැන විමසිය යුතු වන්නේ.

හිට්ලර්ගේ හොල්මන් ලංකාවේත්

ඔබට වර්තමාන ශ‍්‍රී ලංකා සමාජය තුළ හිට්ලර් ෆැසිස්ට්වාදි බලාධිපත්‍ය ජර්මනිය තුළ තහවුරු කිරීමට භාවිත කළ සැලසුම ලංකාව තුළ අති සූක්ෂම ආකාරයෙන් ක‍්‍රියාත්මක වන ආකාරය පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙනවා.
එදා හිට්ලර්ගේ භාවිතය සහ අද ලංකාවේ භාවිතය අතර තිබෙන්නේ සුළු වෙනසක් පමණයි. හිට්ලර් ජර්මන් රාජ්‍ය කඩාකප්පල් කළ ආකාරයටම මහින්ද රාජපක්ෂ මහතා විසින් නායකත්වය දෙන කල්ලිය (ඒකාබද්ධ විපක්ෂය* ආණ්ඩුවේ තීන්දු, තීරණ, අධිකරණ තීන්දු ආදිය නොතකමින් ක‍්‍රියාකරන ආකාරය දැකිය හැකියි. ඒකාබද්ධයේ මේ අඛණ්ඩ බාධා කිරීම්වලින් තොරව ආණ්ඩුවට පනතක් සම්මත කර ගැනීමට පවා නොහැකි වෙලා තිබෙනවා. ඒ අතර හේතු රහිතව හා අවස්ථාවාදීව සිදුකරන අඛණ්ඩ වැඩවර්ජන, උද්ඝෝෂණ හරහා එදිනෙදා ජීවිතය කඩාකප්පල්වීම් සුලභව සිදුවෙනවා. එදා හිට්ලර් කළ ආකාරයටම අද රාජපක්ෂ කල්ලිය පාර්ලිමේන්තුව කඩාකප්පල් කරමින් සිටිනවා පමණක් නොවෙයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද හෑල්ලූවට හා අවමානයට පත් කරමින් සිටිනවා. අති සුලූතර බලයක් සහිත ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතර බලයක් හිමි අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට සැලසුම් කරන විශ්වාසභංගය මේ සඳහා පහසු උදාහරණයක් ලෙස දැක්විය හැකියි. ඒ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ සාපේක්ෂ වැඩි ඡුන්ද සංඛ්‍යාව ඉදිරියට දමමින් බහුතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෑල්ලූවට ලක්කරමින් ද මේ දියත්ව තිබෙන්නේ හිට්ලර් පන්නයේ මෙහෙයුමක් බව අපට වටහා ගත හැකියි.
එදා හිට්ලර් විසින් යුදෙව්වන්ට එරෙහිව අවුලන ලද වාර්ගික වෛරය අද ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක ගත කරමින් ඇවිලෙන්නේ පසුගිය රාජපක්ෂ දශකයේ ආරම්භයේ සිට දියත් වූ සැලසුමේ දිගුවක් ලෙසයි. බෙදුබල සේනා, රාවණා බලය වැනි අන්තවාදී සංවිධානවලට නොමසුරු රාජ්‍ය අනුග‍්‍රහය හා රැුකවරණය ලබාදෙමින් පෝෂණය කළ මුස්ලිම් විරෝධි බිල්ලා අද මහ දවාලේ එළියට පැමිණ අම්පාර, දිගන භීතියෙන් මුසපත් කරමින් තවත් වාර්ගික සංහාරයකට ඉව අල්ලමින් සිටින්නේ රට අස්ථාවර කරමින් බලයට තවත් මාවතක් තනා ගැනීමේ අභිලාෂය ඇතිව බව අපට පැහැදිලියි. ඒ අතර ගොබෙල්ව පරාජය කරමින් ඉතාම සංවිධානාත්මකව සිදුවන වාර්ගික වෛරය අවුලන මාධ්‍ය භාවිතය තුළින් යළි බලය අල්ලා ගැනීමේ මෙහෙයුමේ කූඨප‍්‍රාප්තිය සටහන් කළ හැකි බව මෙම කල්ලි විශ්වාස කරන බවක් දැකිය හැකියි.

මෙසේ සිදුවන්නේ ඇයි ?

පළාත් පාලන මැතිවරණයේ උණුසුම මැකී යාමටත් පෙර මුළු රටම අස්ථාවර කරමින්, සාමන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරමින් ඉතාම සංවිධානාත්මකව සිදුවන මුස්ලිම්වරුන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයේ සැබෑ අරමුණ කුමක්ද යන්න අපට ඉතාම පහසුවෙන් වටහා ගත හැකියි. ඒ සුළු ජාතීන්, විශේෂයෙන් දකුණේ මුස්ලීම්වරුන් තුළ ආණ්ඩුව කෙරෙහි කළකිරීමක් ඇති කිරීම මේ අන්තවාදීන්ගේ සැලසුම බව අපට පේනවා. මේ සඳහා වන දේශපාලනික හේතුව වන්නේ පරාජික රෙජිමයට මැතිවරණයක් මගින් රටේ බලය යළි අල්ලා ගැනීමට එරෙහිව තිබෙන ප‍්‍රධාන බාධාව සුළුජනතාව බව මේ කල්ලිය විශ්වාස කිරීමයි. ඒ විශ්වාසයේ පදනම පසුගිය පළාත් පාලන මැතිවරණය තුළින් ද මනාව පැහැදිලි වුණා. අර්. සම්බන්ධන් මහතා පැහැදිලි කළ ආකාරයට බෙදුම්වාදී භීතිකාව යළිත් කරළියට ගෙන ආවත් තම උපරිම බලය යොදා පොහොට්ටු කල්ලියට ලබාගත හැකි වුණේ සමස්ත ඡුන්ද සංඛ්‍යාවෙන් සියයට 44කට (නිවැරදි සංඛ්‍යාව සියයට 40ක් බව ජාතික හෙළි උරුමය අවධාරණය කරනවා* ආසන්න සංඛ්‍යාවක් පමණයි. එය ඉදිරි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා කිසිසේත් ප‍්‍රමාණවත් වන්නේ නැහැ. සුළු ජාතීන්ගේ අනුග‍්‍රහය නොබලන පරාජිත රෙජිමයට යළි මැතිවරණයක් බලය අල්ලා ගැනීමට කිසිදු ආකාරයක හැකියාවක් ඇත්තේ නැහැ. ඊට හේතුව වන්නේ මහින්ද රාජපක්ෂ හෝ රෙජිමයේ ඕනෑම අපේක්ෂකයෙකුට එරෙහිව සිය පූර්ණ විරෝධය පළ කිරීමට මෙරට සුළු ජාතීන් දක්වන දේශපාලනික නැඹුරුවයි.
මේ තත්ත්වය තුළ රාජපක්ෂ රෙජිමයට දේශපාලන අනාගතයක් ගැන සිතිය හැකි වන්නේ සුළු ජාතීන්, විශේෂයෙන් මුස්ලිම්රුන් ආණ්ඩුව කෙරෙහි කළකිරවීම මගින් පමණයි.
2015 ජනවාරි 08 වැනි දින සිදු වූ ආණ්ඩු මාරුව අප විසින් වටහා ගත යුත්තේ හුදු ආණ්ඩු මාරුවක් ඉක්මවා ගිය බලාධිපත්‍ය බිඳ වැටීමක් ලෙසයි. මන්ද ජනාධිපතිවරණයෙන් තීරණාත්මකව පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් නියෝජනය කරමින් තිබුණේ රටේ සමස්ත පුරවැසියන්ගේ බහුතරයක සහාය ලබන බලාධිපත්‍යයක් වෙනුවට එක් වාර්ගික කොටසකගේ අති බහුරය (සිංහල බෞද්්ධ* විසින් අනුමැතිය ලබා දුන් ඒකපාර්ශ්වික බලාධිපත්‍යක් පමණයි. මේ තුළ ඉතාම පැහැදිලිව මේ රටේ සියයට 31ක් වන හින්දු, කතෝලික හා ඉස්ලාම් භක්තිකයින්ගේ කැමැත්ත සේම ආසන්න වශයෙන් සියයට 05ක් වන වාමවාදීන් (ජවිපෙ* නියෝජනයක් ද සිදුව තිබුණේ නැහැ. මේ තත්ත්වය තුළ අපට ඉතාම පහසුවෙන් මහින්ද රාජපක්ෂ පාලනය ‘‘සිංහල බෞද්ධ’’ පාලනයක් වශයෙන් හඳුනා ගත හැකිව තිබුණා.
මේ සිංහල බෞද්ධ බලාධිපත්‍ය මත ආණ්ඩුව පමණක් නොවෙයි සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයම සිංහල බෞද්ධ බලාධිපත්‍යයට නතුව තිබුණා. ඒ අනුව විධායකය විසින් සිදුවන නීති ක‍්‍රියාත්මක කිරීමට අමතර ව්‍යවස්ථාදායකය විසින් සිදුවන ව්‍යවස්ථා සම්පාදනයත්, අධිකරණය විසින් සිදුවන නීතිය පරීක්ෂාවට ලක් කිරීමත් ඒක පාර්ශ්වික ස්වභාවයක් ගත්තා. ඒ තත්ත්වය තුළ පාර්ලිමේනතුව සහ අධිකරණය විධායකයේ රබර් මුද්‍රාවක් බවට පත්වීමෙන් එහා ගිය තත්ත්වයක් අපට දැකිය නොහැකි වුණා. මේ තත්ත්වය ඉතාම පැහැදිලිව 2015 ජනවාරි 08 වැනිදා වෙනස් වුණා. එම මැතිවරණයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජයග‍්‍රහණය කළ මෙමත‍්‍රීපාල සිරිසේන මහතාට මුළු රටේම පුරවැසියන්ගේ ඡුන්දයේ බහුතරය අනුමැතිය ලැබුණා.
එහෙත් මේ ජයග‍්‍රහණය තුළ දකුණේ සිංහල බෞද්ධ බහුතරයේ අනුමැතිය දිනාගැනීමට නොහැකි වීමේ ප‍්‍රතිවිපාක අපට ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු දා සිටම දැකගත හැකි වුණා. දකුණේ සිංහල බෞද්ධ බහුතරය විසින් තම නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාව පිළිගැනීම සහ එකී පිළිගැනීම දිගින් දිගටම නඩත්තු කිරීමට රාජපක්ෂ මහතා ගත් දැඩි පරිශ‍්‍රමය අපට පසුගිය කාලය පුරාම දැකගත හැකි වුණා. අද රට හමුවේ මෝදු වෙමින් තිබෙන දේශපාලන හා පරිපාලන අරාජිකත්වයට තිඹිරිගෙය වුණේ මේ තත්ත්වයයි. මේ තත්ත්වය තුළ ඉතාම පහසුවෙන් ආණ්ඩුව බිඳ දමනවාට වඩා ඉක්මනින් රාජ්‍ය බිඳ දැමීමට හැකියාවක් මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්පත් කොට ගෙන තිබෙනවා. පසුගිය දිනවල රටපුරා හුදකලා සිදුවීම් වශයෙන් වර්ධනය වී අද වන විට මුළු රටම වෙලා ගෙන තිබෙන මුස්ලිම් ජාතිකයින්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අපට සැලකිය හැකි වන්නේ මෙහි ප‍්‍රකාශනයක් ලෙස මිස හුදු අන්තවාදී කල්ලියක වැඩක් ලෙස නොවෙයි.

හිට්ලර්ගේ යුදෙව්වා – ලංකාවේ මුස්ලිම් ජාතිකයා

යුරෝපයේ යුදෙව්වන්ට එරෙහි වෛරය සැලකෙන්නේ ඓතිහාසික එකක් විදිහටයි. මේ තත්ත්වයට යුදෙව්වන් රෝම අධිරාජ්‍ය යුගයේ සිට මුහුණ දෙමින් සිටිනවා. ඇතැම් විචාරකයින්ට අනුව මෙහි වඩාත්ම ආකර්ෂණීය ප‍්‍රකාශනය වශයෙන් මහා කවි විලියම් ශේක්ෂ්පියර්ගේ ‘‘වැනීසියේ වෙළෙන්ඳා’’ සැලකිය හැකිය හැකියි. එහෙත් යුරෝපීන් තුළ යුදෙව්වන්ට එරෙහිව තිබූ වෙරය, නැතිනම් පිළිකුළ යුදෙව්වන් පිටුදැකීමක්, සංහාරය කිරීමක් දක්වා කිිසිදු යුරෝපීය රාජ්‍යයක ගමන් කළේ නැහැ. එය සිදු වුණේ කාර්මික වශයෙන් පමණක් නොවෙයි දාර්ශනික වශයෙන් පවා ඉහළම තත්්ත්වයේ සිටි ජර්මනිය තුළයි. ඒ වැනීසියේ වෙළෙන්ඳාගේ පරම්පරාවේ තවත් සියවස් පහක් පමණ ගත වූ 1930 දශකයේදීයි.
යුරෝපය තුළ දිගු කලක් පැවැති යුදෙව් වෛරය තම දේශපාලන ව්‍යාපෘතියේ ඉහළම අංශය ලෙස හිට්ලර් විසින් ප‍්‍රයෝජනයට ගත්තා. එහි ප‍්‍රතිඵල ඔබ හොඳින් දන්නවා. දෙවැනි ලෝක මහා සංග‍්‍රාමය, 60 ලක්ෂයක් යුදෙව්වන් සමූල ඝාතනය වීම එහි ප‍්‍රකාශනයක් පමණයි.
යුරෝපයේ යුදෙව්වන්ට තිබූ පිළිකුළ හෝ වෛරය ඓතිහාසිකව ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව අංශු මාත‍්‍රයකින් හෝ ක‍්‍රියාත්මක වුණේ නැහැ. සිංහල රජවරුන්ගේ කාලයේ සිට ලංකාවේ ප‍්‍රාදේශීය වෙළෙඳ ආධිපත්‍ය සහ අපනයන වෙළෙඳාම තිබුණේ මුස්ලිම් ජනතාව අතරයි. 1505දී පෘතුග‍්‍රිසි ආගමනය දක්වා එයට අභියෝගයක් එල්ල වුණේ නැහැ. එහෙත් ශේෂ්පියර්ගේ වැනීසියේ වෙළෙන්ඳා මෙන් ලංකාවේ නූතන සාහිත්‍ය තුළ මුස්ලිම් වෙළෙන්ඳා ගම්වැසියන්ට කළ අගතිය, ඔවුන්ව සූරාකෑම යහමින් ප‍්‍රකාශයට පත් වුණා.
හිට්ලර් බලයට ඒම සඳහා යුදෙව්වා පලසක් කරගත් ආකාරයට නැතත් 19 වැනි සියවසේ ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව ප‍්‍රබල මතවාද ඉදිරිපත් වුණා. ඒ 19 වැනි සියවසේ ක‍්‍රමිකව වර්ධනය වෙමින් පැවැති සිංහල වෙළෙඳ ප‍්‍රජාව තම තරඟකරු ලෙස මුස්ලිම් ව්‍යාපාරිකයා හඳුනා ගත් නිසයි. ඒ සඳහා නූතන සිංහල ව්‍යාපාරික පන්තියේ සමාරම්භක අධිපත්‍යධාරියා වශයෙන් සැලකිය හැකි අනගාරික ධර්මපාලතුමාගේ ප‍්‍රකාශ හා ක‍්‍රියාකාරිත්වය හරහා ප‍්‍රබල පිටිබලයක් ලැබුණා. ඇතැම් විචාරකයින්ට අනුව මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාරික හැකියාවන් සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ව්‍යාපාරික පන්තිය හා සාමන්‍ය ජනතාව තුළ තිබෙන නොරිස්සුම (මේ මොහොත වන විට වෛරයක් දක්වා පත්ව ඇති* ධර්මපාල චින්තයේ නූතන ප‍්‍රකාශනයක් වශයෙන් සැලකිය හැකියි.
මේ තත්ත්වයේ ආරම්භ ප‍්‍රකාශනය ඉතාමත් බිහිසුණු ලෙස 1915දී ප‍්‍රකාශයට පත් වුණා. අධිරාජ්‍යවාදී විසින් මේ ගැටුම මර්ධනය කළ බිහිසුණු ආකාරය මතින් බිහි වූ නව වාතාවරණය හමුවේ බෞද්ධ – ඉස්ලාම් ගැටුම යටපත් වුණ බවක් අපට දැකිය හැකියි.
වෙළෙඳ ආධිප්‍ය වෙනුවෙන් සිදුවීමට නියමිත තිබූ බෞද්ධ – ඉස්ලාම් ගැටුම වෙනුවට ඉඩත් ඉක්මනින් රටේ භූමියේ හිමිකම සම්බන්ධයෙන් දෙමළ ජනතාව සමග දීර්ඝ කාලීන සන්නද්ධ ගැටුමකට මුල පිරීමට සිදුවීම සමග තවත් දශක ගණනාවක් යන තෙක් අපට සිංහල බෞද්ධයින් වෙතින් මුස්ලිම්වරුන්ට එරෙහි සංවිධානාත්මක ප‍්‍රචණ්ඩත්වයක් දැකිය හැකි වුණේ නැහැ. ඒ වෙනුවට අපි දැක්කේ උතුරු – නැගෙනහිර පළාත්වල ජීවත් වූ මුස්ලිම් ජනතාවට එරෙහිව කොටි සංවිධානය ඉතාම සංවිධානාත්මකව ප‍්‍රහාර එල්ල කිරීමයි. උතුරෙන් මුස්ලිම් ජනතාව පළවා හැරීම මෙහි උච්චස්ථානය සටහන් කළා. ඒ අතර කාත්තන්කුඩි මුස්ලිම් පල්ලිය තුළ සිදු වූ සංහාරය සුවිශේෂයි.

අලූත් හතුරෙකු සමග අලූත් මතයක්

එහෙත් කොටි සංවිධානයට එරෙහිව තීරණාත්මක සටනක් සිදුවෙමින් පැවැති 2000 වසර වන විට මුස්ලිම්වරුන්ට එරෙහිව නව ආකාරයක එරෙහිවීමක් මෝදු වෙමින් තිබුණා. ඒ සඳහා වෙළෙඳ ආධිපත්‍ය වෙනුවට ‘‘අන්‍යාගමීකරණය’’ සහ වඩාත් ජනප‍්‍රිය ප‍්‍රවාදයක් වූ ‘‘සිංහල ජාතිය වඳ කිරීමට මුස්ලිම් සැලසුම’’ සමාජ ගත වුණා. මේ ප‍්‍රවාදයේ ජනප‍්‍රිය න්‍යායාචාර්වරයා වුණේ ගංගොඩවිල සෝම හිමියනුයි. උන්වහන්සේ තම ජනප‍්‍රියභාවය සහ ඒ වන විට ගොඩනගා ගෙන තිබූ මාධ්‍ය ප‍්‍රතිරූපය මේ ප‍්‍රවාදය සමාජගත කිරීම සඳහා අසීමිතව භාවිත කළා. මේ තත්ත්වය තුළ අපි මුස්ල්ම්වරුන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වයේ නව ප‍්‍රකාශනයක් හඳුනා ගැනීමට හැකි වුණා. එහෙත් ගංගොඩවිල සෝම හිමියන්ගේ හදිසි අභාවය සහ උන්වහන්සේ සමාජගත කළ කරුණු තාර්කිකව බිඳ දැමීමට එවකට මුස්ලිම් නායකයාව සිටි අෂ්රොප් මහතාට හැකිවීම සමග මේ තත්ත්වය ක‍්‍රමයෙන් දුර්වල වුණා. ඊට කොටි සංවිධානයට එරෙහිව යුද්ධය තීව‍්‍රර වීමත් එය ජයග‍්‍රහණය කිරීම සඳහා මුස්ලිම් ජනතාවගේ සහාය තීරණාත්මක වීමත් ප‍්‍රබල හේතුවක් වුණා.
අපට මුස්ලිම් විරෝධයේ නව ප‍්‍රචණ්ඩලය දැකිය හැකි වුණේ 2001 වර්ෂයේ මාවනැල්ල නගරයේ මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් වූ සංවිධානාත්මක ප‍්‍රචණ්ඩත්වය සමගයි. මේ සිදුවීමට එරෙහිව එවකට පැවැති චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව දැක්වූ ඇල්මැරුණු ප‍්‍රතිචාර මත ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වූ ශ‍්‍රී ලංකා මුස්ලීම් කොන්ග‍්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වුණා. මේ තත්ත්වය ආණ්ඩුවේ බිඳ වැටීමක් දක්වා ගමන් කළ අතර 2001 දෙසැම්බර් 05 හදිසි මහ මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ සහාය ලැබූ එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කළා.
ලංකාවේ වත්මන් දේශපාලනය තුළ මුස්ලිම් විරෝධය මත කේන්ද්‍රගත වූ දේශපාලනය පාර්ලිමේන්තුව දක්වා පැමිණියේ ගංගොඩවිල සෝම හිමියන්ගේ හදිසි අපවත්වීමෙන් පසුව බිහි වූ බෞද්ධ භික්ෂූන්ගේ නායකත්වයෙන් යුතු ජාතික හෙළ උරුමය 2004 මහ මැතිවරණයෙන් අනපේක්ෂිත ජයග‍්‍රහණයක් ලබා ගැනීම සමගයි. ජනප‍්‍රිය බෞද්ධ භික්ෂූන් වහන්සේලා මේ මැතිවරණයෙන් පාර්ලිමේන්තුව පිවිසි නමුත් ඉතාම කෙටි කාලයකින් උන්වන්සේලා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියේ කොටස්කරුවන් බවට පත් වුණා. ඒ තත්ත්වය මේ දක්වාම අපට දැකගත හැකියි.

බෞද්ධ අන්තවාදයේ ස්වර්ණමය යුගය

සිංහල බෞද්ධ අන්තවාදයේ ස්වර්ණමය යුගය වශයෙන් අපට හඳුනා ගත හැකි වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන යුගයයි. එම කාලය තුළ රාජ්‍ය අනුග‍්‍රහය, විශේෂයෙන් හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය හා අනුග‍්‍රහය මත බෞද්ධ අන්තවාදය පෝෂණය වෙමින් සමාජ ආධිපත්‍යයක් බිහිකරගත් ආකාරය අපට දැකගත හැකි වුණා. බොදුබල සේනා, රාවණා බලය ආදි අන්තවාදී බෞද්ධ සංවිධාන වඩාත් පහසුවෙන් කලඑළි බැස්සේ මේ යුගය තුළදීයි.
ආණ්ඩුවේ ආශිර්වාදය මත බිහිවී වර්ධනය වූ සිංහල බෞද්ධ අන්තවාදය 2010දී මහින්ද රාජපක්ෂ මහතා යළි ලැබූ ජයග‍්‍රහණය සමග වඩාත් ප‍්‍රචණ්ඩ හා ශක්තිමත් ආකාරයෙන් ක‍්‍රියාත්මක වුණා. ඒ අතර ‘‘හලාල් ’’ ප‍්‍රශ්නය ඉදිරියට පැමිණ යළිත් වෙනස් මුහණුවරකින් මුස්ලිම්වරුන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රකාශයට පත් කළා. අවසානයේ 2013 දී අලූත්ගම හා බේරුවල සිදු වූ අන්තවාදී ප‍්‍රහාර සමග මෙහි උපරිමය ප‍්‍රකාශයට පත් වුණා. මේ තත්ත්වය තුළ අපිට වටහා ගත හැකි වන්නේ රාජපක්ෂ පාලනය ඍජුව හා වක‍්‍රව සිංහල බෞද්ධ අන්තවාදය පෝෂණය කළ බවයි. එහෙත් 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාට මේ සිංහල බෞද්ධ අන්තවාදයට පෝෂණය කිරීමේ ඍජු ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වුණේ මුස්ලිම්වරුන්ගෙන් අති බහුතරය රාජපක්ෂ මහතාට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කිරීම තුළයි. අවංකව සලකා බැලූවහොත් 2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ලත් පරාජයේ තීරණාත්මක බලවේගය වුණේ මුස්ලිම් ජනතාව ප‍්‍රමුඛ සුළු ජනතාවයි. මේ තත්ත්වය තුළ රාජපක්ෂ රෙජිමයට මේ මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් හිතවත්කමක් හෝ සුබවාදී ප‍්‍රවේශයක් සිදුවිය නොහැකියි. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ද යළිත් සනාථ වුණේ මුස්ලිම්වරුන් ජීවත් වන දකුණේ සියලූම පළාත් පාලන ආයතන පොහොට්ටුවට අහිමිවීම තුළයි.
මේ තත්ත්වය තුළ මේ මොහොතේ මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් වන සංවිධානාත්මක ප‍්‍රචණ්ඩත්වය පිටුපස පරාජිත දේශපාලන බලවේග සිටින අපට පහසුවෙන් හඳුනාගත හැකියි. (පසුගිය 07 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති රාජිත සේනාරත්න විසින් ද මේ බව අවධාරණය කර තිබුණා*

ලංකාව හමුවේ ඇති අනතුර

මුස්ලිම්වරුන්ට එරෙහිව පරාජිත බලවේග විසින් දියත් කරමින් තිබෙන ප‍්‍රචණ්ඩත්වයේ ප‍්‍රතිවිපාක ලංකා සමාජයට කිහිප ආකාරයකින් හිමිවිය හැකියි. එයින් ප‍්‍රධාන වන්නේ රටේ දේශපාලන සංහිදියාව බිඳ වැටීම තුළ ඇතිවන ඍණාත්මක තත්්ත්වයයි. එහි කෙටි කාලීන වාසිය පොහොට්ටු කල්ලිය විසින් අත්පත් කර ගනු ඇතැයි අපට සිතිය හැකි වුණත් දීර්ඝ කාලීනව ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ යළි කොන් කිරීමකට මේ තත්ත්වය හේතු විය හැකි බවට සාධාරණ ඉඟි මේ වන විටත් පළ වෙමින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වන විටත් ලංකාවේ තත්ත්වය ගැන කණස්සල්ල පළ කොට තිබෙනවා.
අනෙක් පසින් ඇතිවන්නේ රට යළි සිවිල් යුද්ධයකට හෝ ත‍්‍රස්තවාදයට බිලිවීමේ අනතුරයි. මේ ගැන මේ වන විටත් අනතුරු ඇඟයීම් සිදුව තිබෙනවා. ඔවුන් අනතුරු අඟවන්නේ මුස්ලිම්වරුන්ට එරෙහිව අඛණ්ඩව හා සංවිධානාත්මකව සිදුවන ප‍්‍රචණ්ඩත්වය ඉස්ලාම් මූලධර්මවාදීන්ට / ත‍්‍රස්තවාදීන්ට කරන නොමසුරු ආරාධනයක් බවයි. යම් ආකාරයකින් ගෝලීය ඉස්ලාම් අන්තවාදයේ සෙවනැල්ල ලංකාව මත පතිත වුවහොත් එදින සිටි ලංකාව යළිත් බිහිසුණු ත‍්‍රස්තවාදයේ කෙළිබිමක් බවට පත්වීම වැළැක්විය නොහැකි දෙයක් බවට පත්වෙවි.
අනෙක් අතින් මේ සියලූ සිදුවීම් ක‍්‍රමයෙන් ආණ්ඩුව දුර්වල කරමින් ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමට පත් කරනවා. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ 2015 ජනතාව විසින් දිනාගත් නිදහසේ නිම්වළලූ යළි පටු කරමින් අධිපතිවාදී රෙජිමයට පාවඩ එළිමක් විය හැකියි. අවසානයේ මේ සියලූ දේවල ඍණාත්මක ප‍්‍රතිවිපාක මේ රටේ අති බහුතරටක් සාමාන්‍ය ජනතාව මත හානිදායක ලෙස පතිත වන බව පැහැදිලියි.

කළ යුතු දේ කුමක්ද ?

ප‍්‍රථමයෙන්ම මේ ප‍්‍රචණ්ඩකාරීන් පිටුපස සිටින අදෘශ්‍යමාන හස්තය ආණ්ඩුව විසින් නිවැරදිව හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුයි. එහෙත් එය කිසිසේත් පසුගිය තෙවසර තුළ සිදු වූ ආකාරයේ ඉබි ගමනින් යන ඇල්මැරුණු ප‍්‍රවේශයක් නොවිය යුතුයි. මන්ද පසුගිය කාලය තුළ සිදුවූ අති බහුතරයක් මෙවැනි සිදුවීම්වලට ඍජුව වගකිව යුතු පුද්ගලයින් හා නායකයින් අදත් නීතිය ක‍්‍රියාත්මක නොවීම තුළ නිදැල්ලේ පසුවෙනවා. මේ ප‍්‍රමාදය හෝ නෙැසැලකිල්ල මේ අන්තවාදී වඳුරන්ට රට ගිනි තියන්න ඉණිමං බැඳීමක් බවට පත්වෙලා තිබෙනවා.
අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මේ අන්තවාදී ක‍්‍රියා හමුවේ එකමතයක සිට දැඩි පියවර ගැනීමට යොමුවීම අගය කළ යුතුයි. මන්ද මෙවැනි ශක්තිමත් තත්ත්වයක් තුළ අන්තවාදීන්ට එරෙහිව ක‍්‍රියාත්මක වීමට පහසුවක් ඇති වෙනවා. රට ගිනි තබමින් ප‍්‍රචණ්ඩත්වයට අනුබල දෙන ඊනියා මුහුණුපොතට ප‍්‍රවේශවීම තාවකාලිකව පාලනය කිරීමටත් හදිසි නීතිය පනවමින් තත්ත්වය පාලනය කිරීමටත් ආණ්ඩුව ගත් ක්ෂණික පියවර අගය කළ යුතුයි.
එහෙති ජනතාව මේ තත්ත්වයට වඩා දෙයක් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නියපොත්තෙන් කැඩිය හැකි මට්ටමේ පවතින මේ අන්තවාදය පොරවෙන් කපා ඉවත් කිරීමට යා නොදී කඩිනමින් පාලනය කිරීමයි. මන්ද පසුගිය කාලය තුළ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිසි හා දැඩි පියවර නොගැනීම නිසා මේ තත්ත්වය උග‍්‍ර වූ බවට සාධාරණ සැකයක් ජනතාව තුළ පවතිනවා. ඒ නිසා වර්ගවාදීන්ට, අන්තවාදීන්ට එරෙහිව නොබියව පියවර ගන්නා බව ආණ්ඩුව මේ අවස්ථාවේදීත්වත් ජනතාවට සහිතක කර පෙන්විය යුතුයි. එසේ නොවී මෙය තවත් ප‍්‍රදර්ශනයක් වුවහොත් ලංකාවේ අනාගතය ඛේදවාචකයක් පමණක් වේවි. එනිසා දොරට තට්ටු කරමින් සිටින ෆැසිස්ට්වාදයට දොර විවර නොකිරීමට අප සියලූ දෙනාම පියවර ගත යුතුයි.

සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *