ජනතා ද්‍රෝහියෝ – සී. ජේ. අමරතුංග

 රාජාංගනය වැවේ ජ‍ලයෙන් පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට එරෙහිව විරෝධතාවයක් ප්‍රචණ්ඩකාරී වීම නිසා පනස් එක්දෙනෙකුට දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කරන්නටද සිදුවිය. පසුව වාර්තා වූයේ මෙය කිසියම් දේශපාලන කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද බවයි. ඔවුන් මේ ගොවි ජනතාවට කියා ඇත්තේ පානීය ජල ව්‍යාපෘතිය නිසා ගොවිතැනට ජලය මදිවන බවයි. කෙසේ වෙතත් පසුව හෙළිදරව් වූයේ පානීය ජල ව්‍යාපෘතියට යොදාගන්නේ වැවට ලැබෙන ජලයෙන් ඉතා සුළු ප්‍රමාණයක් බවයි.

රාජාංගණය ජලාශය එම ප්‍රදේශයේම ඇති ප්‍රධාන ජල සම්පතකි. තඹුත්තේගම, තලාව, එප්පාවල ආදී ප්‍රදේශවල ජනතාවට පානීය ජලය සැපයිය හැක්කේ මෙම ජලාශයෙනි. නැතිනම් ඇති විකල්පය වන්නේ භූගත ජලය‍ යොදාගැනීමයි. එසේ වූවද වකුගඩු රෝග ඇති ප්‍රදේශවල ජනයාට භූගත ජලය ලබාදීම දැන් නවතා දමා ඇත්තේ රෝගයට හේතුවන බැර ලෝහ ආදිය භූගත ජලයේ වැඩි වශයෙන් පවතින බව සොයාගෙන ඇති නිසාය.

ප්‍රශ්නය ඇත්තේ පානීය ජලය හා කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය වශයෙන් නම් ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ කුමන කටයුත්තටද යන්න අමුතුවෙන් කිවයුතුද නැත. මෙය 2011 දී තරම් ඈතදී අනුමත වූ ව්‍යාපෘතියකි. හමස් පෙට්ටියේ තිබූ එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැඟීමට ගියේ ජනතාවගේම යහපතට බව අමුතුවෙන් කිවයුතු නැත. එසේ වූවද කප්පරක් බොරු කියමින් ජනතාව අවුස්සන්නට ක්‍රියා කළොත් ඇතැම් දේශපාලන ක්‍රියාකාරීහුය. ජල ව්‍යාපෘතිය අනුමතකොට ඇත්තේ පසුගිය රජය කාලයේය. ප්‍රචාරය ගෙන ගියේ ‍ෙම් ආණ්ඩුව රාජාංගන වැවේ ජලය විකුණන්නට යනවා කියාය. මේ ජනතා ද්‍රෝහී බලවේග ජනතාව අවුස්සන්නේ එහෙමය.

පසුගියදා අම්පාරේදී ජනතාව අවුස්සන්නට ක්‍රියා කළේද මෙබඳුම දේශපාලන බලවේගයක් විසිනි. ඔවුන් ජනතාව ඇවිස්සුවේ හෝටලයක ආහාරවලට වඳ පෙති දමා ඇති බව කියමිනි. වෛද්‍යවරු කියන්නේ මිනිසුන් වඳ කරන්නට හැකි පෙත්තක් හෝ බෙහෙතක් සොයාගෙන නැති බවයි. එසේ වූවත් ඇතැම් ආපනශාලාවලින් ආහාරවලට වඳ පෙති දමන බව පමණක් නොව ඇඳුම් පැලඳුම්වලට වඳ බෙහෙත් දමන බවටද බොරු ප්‍රචාර ගෙනියන්නේ කලෙක සිටය. ඒ අන් කිසිම අරමුණක් සඳහා නොව මෙරට ජනවර්ග අතර ගැටුම් ඇතිකිරීමේ අරමුණෙන්ය. “සිංහලයන් වඳ කරන්නට සැලසුමක් තිබෙනවා” යැයි කියන්නේ සිංහලයන් අවුස්සන්නටය. ඉන්පසු ගැටුම් ඇතිකොට දේශපාලන වාසි ලබන්නටය. මේ පට්ටපල් බොරු ගෙනෙන්නේ හොඳින් දැනුවත්වය. ඇතැම්විට එම ප්‍රචාර ගෙනියන්නේ ජනතාවට උදේ හවස මුසාවාදා සිල්පදය ඇතුළු පන්සිල් දෙන කටවල්වලිනි. කවුරුන් කොහොම කළත් මෙලෙස පච ප්‍රචාර කරමින් ජනතාව අතර ගැටුම් ඇතිකිරීම තක්කඩිකමකි. ජනතා ද්‍රෝහි ක්‍රියාවකි.

සතුරකු මැවීම

දියතලාවේදී හමුදා නිලධාරින් ගමන්ගත් බස් රථයක පුපුරා ගිය බෝම්බය කොටි බෝම්බයක් කරන්නටද මෙරට ඇතැම් දේශපාලනඥයෝ මහන්සි ගත්හ. ඒ සඳහා කෙස් පැළෙන තර්කද ගෙනාවෝය. දැන් එය කාගේ වැඩක් දැයි හෙළිදරව් වී ඇත. බෝම්බය ගෙනා සෙබළාම ඒ ගැන පාපොච්චාරණය කර ඇත. මෙය කොටි බෝම්බයකැයි කියන්න හැදූ දේශපාලනඥයන් එසේ කළේ ජනවර්ග අතර ගැටුම් ඇති කරන්නටය. සිංහලයන් අතර බියක් ඇති කරන්නටය.

ජාතිවාදයෙන් ය‍ැපෙන මෙම දේශපාලන බලවේගවලට නිතරම සතුරකු මවාගැනීම අවශ්‍යය. ඒ සඳහා කුමන හෝ සිදුවීමක් උපයෝගී කරගැනීමට ඔවුහු නොපැකිලෙති. දෙමළ ජනයාට එරෙහිව සිංහලයන් අවුස්සන්නට හේතු නැතිවිට ඉලක්ක කරගන්නේ මුස්ලිම් ජනතාවයි. බොරු වපුරන්නේ ඒකටය. එ‍යත් සාර්ථක නොවුණහොත් මෙරට කතෝලික හෝ ක්‍රිස්තියානි ප්‍රජාව සමඟද ගැටුම් ඇතිකරන්නට උත්සාහ දැරීමට ඉඩ ඇත. එලෙස කුමන හෝ සතුරකු නැතහොත් බිල්ලකු මවන්නේ නැතිව මෙවැනි බලවේගවලට පැවැත්මක් නැත.

මහනුවර දිගන හා තෙල්දෙණිය ප්‍රදේශවලින්ද වාර්තා වූයේ එබඳු තත්ත්වයකි. පුද්ගලයන් පිරිසක් අතර ගැටුමක් දුරදිග ගෙනයන්නට හැදුවේ ජනවර්ග ගැටුමක් බවට පත්කරමිනි. ඒ සඳහා පිටස්තර ප්‍රදේශවලින්ද පිරිස් පැමිණ ඇති බව කියති. මෙහිදී ප්‍රචාරය කළ කටකතා බොරු ප්‍රචාර ගැන හෙට අනිද්දා වනවිට හෙළිදරව් වනු ඇත. මේ හදන්නේ රට ගිනි තියන්නටය. පසුව එම වීරයෝ පලා යති. ඉතිහාසයේ හැටි එහෙමය.

වගකීම ගන්න වීරයන් නෑ

මෙබඳු ජාතිවාදී ගැටුම් අතීතයේදී වරින්වර මෙරට ඇතිවූයේ මේ වර්ගයේම පටු ජාතිවාදීන් හා දේශපාලනඥයින් නිසාය. 83 කළු ජූලිය ඒ දේශපාලනයේ ප්‍රතිඵලයකි. එයින් රටම ගිනිගත්තේය. ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත්විය. රට ගිනිගත්විට එහි වගකීම භාරගන්නට වීරයෝ කිසිවෙක් නොවූහ. තිස් වසරක යුද්ධයකට රට තල්ලුකර මෙරටට කළ විනාශයට වගකිව යුත්තකු නැත. මෙබඳු පටු දේශපාලන කටයුතු කරන්නෝ ජනතා ද්‍රෝහියෝ යැයි කිවයුත්තේ ඒ නිසාය.

මේ වැඩේ කරන උදවිය විවිධ තලවල සිටිති. පිරිසක් මේ වැඩේම කරන්නේ ටයිකෝට් හැඳගෙනය. මෑතකදී කී එබඳු කතාවක් නම් මේ රටේ රෝහල්වල රෙදි සේදීම ඉන්දියාවට දී ඇති බවකි. ඒ කියන්නේ මෙරට රෝහල්වල ඇඳ ඇතිරිලි හා වෙනත් රෙදිපිළි ජීවානුහරණය ‍ෙකාට විධිමත් ලෙස පිරිසිදු කිරීමේ කටයුත්ත ඉන්දියානුවකුට අයිති මෙරට සමාගමකට හිමිවීමය. එය බීඕටී හෙවත් ගොඩනඟා ක්‍රියාත්මක කොට භාරදීමේ ව්‍යාපෘතියකි. නව තාක්ෂණයෙන් රෙදි ජීවානුහරණය කිරීමේ කර්මාන්තශාලාව ඉදිකොට වසර පහළොවක කාලයකින් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයට එය අයිති වෙයි. මෙය ‍මීට වසර තිස් පහකට පමණ පෙර මොබිටෙල් ආයතනය බිහිකළ ක්‍රමයයි. එය දැන් ශ්‍රී ලංකා රජයට හිමිවී ඇත. රෙදි සේදීමේ ව්‍යාපෘතියද එවැන්නකි. දැන් එයටද ලෙඩ දමන්නට හදන්නේ ඉන්දියානු විරෝධයක් ඇදගෙනය.

බොරු කියන්න ලැජ්ජා නෑ

ඉන්දියාවෙන් පැමිණ මෙරට ජනයාට ස්වේච්ඡාවෙන් සේවය කරන වෛද්‍යවරුන් පිරිසකටද රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විරෝධය පළකොට ඇත. ඔවුන්ට අනුව නම් මේ රටේදී ඔවුන්ට හැර කිසිවකුට වෛද්‍ය වෘත්තිය කළ නොහැකිය. මෙරටට ස්වේච්ඡාවෙන් පැමිණ වෛද්‍ය ආධාර උපදෙස් දීම අතීතයේ සිට සිදුවී ඇත. රතුකුරුස සංවිධානය ඇතුළු විවිධ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද එබඳු කටයුතු සම්බන්ධීකරණය කොට ඇත. පසුගියදා ඇති වූ මහා ගංවතුර මොහොතේදී ද ඉන්දියානු වෛද්‍යවරු පැමිණ ප්‍රතිකාර කළහ. අපේ වෛද්‍ය නිලධාරින්ගේ නීතිය අනුව නම් ඒ සියල්ල නීති විරෝධීය. ආවෙ ඉන්දියාවෙන් නම් අනිවාර්යෙන් එය ආක්‍රමණයකි. මොවුන් කියන්න හදන්නේ එහෙමය. එයින් කරන්න හදන්නේ මහා බිල්ලෙක් මැවීමය. ඒ පිටුපස්සේ තිබෙන්නේ වෘත්තීය කෑදරකමකි. එය දැන් මෙරට ජනතාවට ඕනෑවටත් වඩා ප්‍රදර්ශනය වී හමාරය. ඒත් මේ තක්කඩි කල්ලිය තවමත් ඒ ජනතා ද්‍රෝහී කතා වපුරන්නේ කිසිදු ලජ්ජාවක් නැතිවය.

මෙරටට ගිලන් රථ සේවාවක් ලබාදීමට ඉන්දීය රජය ක්‍රියා කළ විටද මේ කණ්ඩායම විරුද්ධ වූයේ එමඟින් ඉන්දියානු රෝ ඔත්තු සේවයට මෙරට ජනයාගේ සෞඛ්‍ය දත්ත ලබාගත හැකි වන බව ආදී පට්ටපල් බේගල් ඇදබාමිනි. මෙම ගිලන් රථවල ගමන් කරද්දී රෝගීන් මැරෙන බවද කීහ. ඉන්දියාව මේ කරන්නේ මෙරට ජනයාගේ ජානමය තොරතුරු රැස්කරගෙන පසුව එමඟින් ජාන විද්‍යාත්මක ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කිරීමත් බවද කීහ. මෙලෙස වරින්වර කී බේගල් ප්‍රමාණය අතිවිශාලය.

ඔවුන් එලෙස කී මහා භයානක ගිලන් රථ සේවය දැන් ක්‍රියාත්මකය. එයින් මෙරට ජනයාට ලැබෙන පිහිට අපමණය. පසුගිය කාලයේ හදිසි අවස්ථා ගණනාවකදී ජනයාට ඉතා ඉක්මනින් පිහිටට ආවේ මේ ගිලන් රථ සේවයයි. එසේ වූයේ මේ පණ්ඩිත මහත්වරුන්ගේ විරෝධය තුට්ටුවකට නොතකා එම සේවය ක්‍රියාත්මක කරන්නට මෙරට රජයට කොන්දක් තිබූ නිසාය. එසේ නොවුණේ නම් මෙරට දහස් ගණනක් ජනයාගේ ජීවිත රැකගැනීමට තිබූ අවස්ථාව අහිමිවන්නට ඉඩ තිබිණි.

වෙළෙඳ ගිවිසුම් විරෝධය

ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම සම්බන්ධයෙන් කතාවද දැන් යළිත් කරළියට එමින් තිබේ. මෙම ගිවිසුම මෙතෙක් අත්සන් කර නැත්තේ තවමත් ගිවිසුම කෙටුම්පත් කරගන්නට බැරිවීම නිසාය. එනම් තවමත් සාකච්ඡා දික්ගැසෙමින් තිබෙන්නේ විසඳාගන්නට ප්‍රශ්න තිබෙන නිසාය. වෙළෙඳ ගිවිසුම් සකස් කිරීම පහසු නොවන්නේ ඒකය. රටවල් දෙකම තම රටේ අවශ්‍යතාවලට මුල්තැනදී කටයුතු කරනු ඇත. දෙරටම තවමත් ආරක්ෂාවාදීය. එම නිසා ගිවිසුම ප්‍රමාදය.

මේ ගිවිසුම තුළ විසඳා ගැනීමට විවිධ ප්‍රශ්න ඇති බව කියති. විශේෂයෙන්ම ප්‍රශ්න ඇත්තේ බදු නොවන විවිධ වෙළෙඳ බාධක නිසාය. ඉන්දියාවට ආහාර ද්‍රව්‍ය යවනවිට දැන් තිබෙන ක්‍රමය නම් ආහාර ද්‍රව්‍යය යැවූවිට නැවෙන් සාම්පල් අරගෙන ‍එරට තවත් නගරයක තිබෙන පරීක්ෂණාගාරයකින් පරීක්ෂාකොට අනුමැතිය ලබාගැනීමයි. ඒ අනුමැතිය ලබාගන්නාවිට ආහාරවල කල් ඉකුත්වී හමාරය. එයට විසඳුම් ලෙස දෙරටෙහි යම් පරීක්ෂණාගාරවල සහතික පිළිගැනීමේ ක්‍රමවේදයක් සකසාගත යුතුය. එවැන්නකදී ඇතිවන අතුරු ප්‍රශ්නද විසඳාගත යුතුය. වෙළෙඳාම ප්‍රවර්ධනයේදී මෙවැනි ක්‍රමවේද අවශ්‍යය. එය දෙරටේම ආර්ථිකයන්ට ශක්තියකි. එම ප්‍රශ්න විසඳාගන්නා තෙක් ගිවිසුම අවසන් නැත. අත්සන් කළ නොහැකිය.

එලෙස එට්කා ගිවිසුම සකස් කර නැතත් අප රටේ ඇතැම් වෘත්තීයවේදීහු එයට විරුද්ධ වෙති. ඒ සඳහා විවිධ කතා කියති. එට්කා ගිවිසුම අත්සන් කළොත් ඉන්දියාවේ බාබර්ලාට පවා මෙරටට පැමිණ රැකියා කළ හැකිවන බවත් අපේ අයට රැකියා නැතිවන බවත් මොවුහු කීහ. ඒ සියල්ල අතේ රෝල් හා පච මිස සත්‍යය නොවන බව පැහැදිලිය.

මොවුන් මේ හදන්නේ මෙරට ජනයා බය කරන්නටය. ඒ සඳහා මොනවා හෝ බියකරු දෙයක් සිදුවන බවකිව යුතුය. ගිලන් රථ සේවයකින් ඔත්තු ලබාගන්නවා කීවා සේම මෙරට ජනයාගේ ජාන දත්ත ලබාගන්නවා කීවා සේම මොකක් හෝ කියනු ඇත.

ඇතැම්විට කියන්නේ කෝඳුරු තෙල් හත් පට්ටයක් අවශ්‍ය වන කතාවකි. එනම් පළමුවෙන් මෙරටට වෙළෙඳ ප්‍රතිපත්තියක් හැදිය යුතු බවයි. එවැන්නක් ඉදිරිපත් කළවිට එයද හෑල්ලු කරයි. ඒකටත් කොන්දේසි දමයි. එසේ කරන්නේ වැඩේ නොකරන්නටය. මීට පහළොස් වසරකට පෙර ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම සකස් කරනවිටද කීවේ මේ කතාවමයි. එය මහා භයානක වැඩක් බවද කීහ. දැන් එම ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මකය. මෙරට සමාගම් රාශියකට එමඟින් අවස්ථා උදාවී ඇති නිසා එයට විරුද්ධවීම අමාරුය. දැන් හදන්නේ එට්කා නවත්තන්නටය. එට්කාව බිල්ලෙක් කරන්න හදන්නේ ඒකටය.

මේ සියල්ල පසුපස ඇත්තේ එකම අරමුණක් බව පෙනෙන්නට තිබේ. එය නම් මෙරට ජනතාව තුළ ජාතිවාදය හෝ අනාරක්ෂිත බව හෝ පිළිබඳ හැඟීමක් ඇතිකොට ගැටුම්, උද්ඝෝෂණ ඇති කිරීමය. එමඟින් රටේ සංවර්ධනය කඩාකප්පල්කොට මහජනයා පීඩාවට පත්වන තත්ත්වයක් නිර්මාණය කිරීමයි. එවිට ඇතිවන මහජන විරෝධය තම දේශපාලන අරමුණුවලට යොදාගැනීමයි. ජනතාව මුළා කරන්න හදන්නේ ඒකටය. මෙය නම් ජනතා ද්‍රෝහී ක්‍රියාවකි. එම ජනතා ද්‍රෝහී උත්සාහයන් පරාජය කිරීමට පෙරට ඒම මෙරට ප්‍රගතියට ලැදි සැබෑ මහජනයාගේ වගකීමයි.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *