දේශ ද්‍රෝහීන්ගේ ගොඳුරු නොවී බුද්ධිමත්ව කටයුතු කරන්නැයි අගමැති සියලු දෙනාගෙන් ඉල්ලයි.

ජාතිවාදය මතින් තම අරමුණු ඉටු කර ගැනීමට මාන බලන දේශ ද්‍රෝහීන්ගේ ගොඳුරු බවට පත් නොවී ඉවසිලිවන්තව, බුද්ධිමත්ව හා විචක්ෂණශීලීව කටයුතු කරන ලෙස රටේ සියලුම ජනතාවගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(06) දින පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය. රට තුළ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයේදී ඉතා ඉවසිලිවන්තව හා බුද්ධිමත්ව කටයුතු කොට තත්ත්වය පාලනය කිරීමට කැපවූ මහා සංඝරත්නය, මුස්ලිම් මවුලවිවරුන් ඇතුළු පූජ්‍ය පක්ෂය, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම අනෙකුත් සියලු ජන කොටස් වෙතටත් තමාගේ විශේෂ ස්තූතිය පිරි නමන බව ද මෙහිදි අගමැතිවරයා සඳහන් කළේය. එසේම අවාසනාවන්ත සිද්ධීන් හේතුවෙන් හානි වූ ජීවිත හා දේපළ වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදීමට ද රජය විසින් කටයුතු කරන බව ද අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
“මෙම සියලු ජාතිවාදී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් රජයක් වශයෙන් අප තරයේ හෙලා දකිනවා. වගකිව යුතු රජයක් වශයෙන් මෙවැනි නීතිවිරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කිරීමට කිසිදු හැකියාවක් නැහැ.  තිස් වසරක කුරිරු යුද්ධයකින් පීඩා විඳි රටක් වශයෙන් සාමයේ, එකමුතුකමේ හා නිදහසේ වටිනාකම අප සියලු දෙනා ඉතා හොඳින් දන්නවා.  දේශපාලන බල තණ්හාවෙන් සිටින සමහර කොටස් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමට විවිධ උපක්‍රම, විවිධ කඩාකප්පල්කරී ක්‍රියාවන් සැලසුම් කරමින් සිටින බව පෙනෙන්ට තිබෙනවා.  ඔවුන්ගේ එකම තුරුම්පුව ජාතිවාදය ඇවිස්සීමයි. රට තුළ භීෂණය ඇති කොට ජන ජීවිතය කඩාකප්පල් කොට හෝ බලය ලබාගැනීම ඔවුන්ගේ එකම අරමුණයි.  ජාතීන් අතර වෛරී හැඟීම් ඇති වන ආකාරයේ නොමඟ යවන සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම, විශේෂයෙන්ම සමාජ ජාලා හරහා විකෘති තොරතුරු පතුරුවා හැරීම වැනි ක්‍රියා සංවිධානාත්මකව සිදුවන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එක් කණ්ඩායමක් සමාජ මාධ්‍ය හරහා සැලසුම් සහගතව පසුගිය මාස 09 තුල මුස්ලිම් ජාතියෙන් සිංහල ජාතියට තර්ජනයක් සිදු වන බවට ප්‍රචාරයක් සිදු කර තිබෙනවා.  ඒ සඳහා අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කොට තිබෙනවා. සමහර මුස්ලිම් සංවිධාන මෙයට පිළිතුරු දී තිබෙනවා.  දීර්ඝ කාලයක් තුළ මේ කණ්ඩායම ජාතිවාදය පතුරා තිබෙනවා. මෙයින් උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා.  මේ රටේ බහුතරය සිංහල බෞද්ධයින්. සිංහල බෞද්ධයින් ලෙස අපි ඒ උරුමය ආරක්ෂා කරනවා. ඒ උරුමයට හෝ අයිතිවාසිකම්වලට හානියක් වෙලා නැහැ. තර්ජනයක් වෙලා නැහැ. එසේ සිදු වීමට අපි ඉඩදෙන්නේ නැහැ.  ශ්‍රී ලාංකිකයින් ලෙස වෙනත් ජාතීන් හා ආගම් මේ රටේ ජීවත් වෙනවා.  සියලු ජාතීන්ට හා ආගම්වලට කිසිම හිරිහැරයක් නැතිව තමන්ගේ සංස්කෘතිය භුක්ති විදීමටත්, ආගම ඇදහීමටත් අයිතියක් තිබෙනවා.  මේ තමයි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සිට ශ්‍රී ලාංකික සංකල්පය. අපි එය ආරක්ෂා කරනවා. එබැවින් මුස්ලිම් දේවස්ථානවලට සිදුවූ හානිය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.  මෙම සංවිධානාත්මක හා කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිසේත් පසුබට වන්නේ නැහැ.“

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *