ව්‍යාපාරයක් ම නොවන ව්‍යාපාර – නිශාන්ත කමලදාස

 බසයකට ගොඩ වැදුනොත් බොහෝවිට මුණ ගැහෙන චරිතයක් තිබේ. ඒ සුළු පරිමාණයේ ව්‍යාපාරිකයෙකි. ඔහු බොහෝවිට ව්‍යාපාරය ගෙනියන්නේ තනිවම ය. නිශ්පාදනය හා අලෙවිය දෙකම කරන්නේ ඔහු ම ය.

වරෙක ඔහු විකුණන්නේ හඳුන්කූරු ය. ඒ බැලූ බැල්මට ය. එහෙත් ඔහු දක්ෂ අලෙවි කරුවෙකි. හඳුන්කූරු ගන්නට කැමැත්තක් නොදක්වන අයට ඔහු හෙමින් සීරුවේ ඔහුගේ දුක ද විකුණන්නේ ය. සිය පවුල ගැන ඔවුන් විඳින දුක් ගැහැට ගැන ඔහු සිහිපත් කරන්නේ ය. ඊළග අදියරේ ඔහු විකුණන්නේ ඔබට පිනක් අත් කර ගත හැකි අවස්ථාවකි. ඒ හඳුන්කූරු මිලට නොගන්නේ නම් ආධාරයක් කිරීම හරහා ය.

තවත් විටෙක ඔහු විකුණන්නේ විරිඳු ය. නිකම් විරිඳු නොවේ. සාදාචාරාත්මක විරිඳු ය. බණ පදයක් ද අඩංගු විරිඳු ය. ඒ සමගම ඔහුගේ හා පවුලේ දුක ද කළවම් කිරීමට ඔහු වග බලා ගන්නේ ය. එක විට සමාජ ශෝධකයෙකු ද ධර්ම දේශකයෙකු ද ගායකයෙකු ද හිඟන්නෙකු ද පින් ලබා ගැනීමට ඔබට අත හිත දෙන කෙනෙකු ද වීමට ඔහු වග බලා ගන්නේ ය.

බසයට මෙසේ නගින්නේ සුළු ව්‍යාපාරිකයන් පමණක් නොවේ. මධ්‍යම පරිමාණයේ නැතිනම් මහා පරිමාණයේ ව්‍යාපාරිකයෝ ද බසයට නගිති. ලෝකයේ ලොකුම සෙල් මුවා බුදු පිළිමය ඉදිකිරීමට ආධාර දෙන පත්‍රිකාවක් ඔබ වෙත දෙන තරුණයෙකි. ඒ සඳහා මුදල් ඉල්ලීමක් එක වර නොකෙරේ. මුලින් කෙරෙන්නේ ටිකට් බෙදා ගෙන යෑමය. ඒ අතරේ ඒ ගැන විස්තරයක් කරන තවත් තරුණයෙකි. දෙදෙනාම ඇඳ සිටින්නේ බෞද්ධ කොඩිය සහිත ටී ෂර්ට් ය. ටිකට් පතේ මිල රු 100 කි. ඔබ දායක වන්නේ මහාර්ඝ පින් කමකට ය. ඉන්පසු තිබෙන්නේ ඔබේ වාරය ය. ටිකට් පත නැවත දෙනවා ද නැතිනම් රු 100 ක් දෙනවා ද යැයි ඔබ සිතමින් සිටියි. ටිකට් පත් එකතු කරන වාරය එන්නේ ඊලගට ය. බොහෝ දෙනෙක් රු 100 ක් දෙන්නේ මේ පින්කමට සහභාගී වීමට අවස්ථාව සලසා දීම ගැන මේ සැදැහැවත් තරුණයන්ට පින් දෙමිනි. එහෙත් රු 100 සමග ටිකට් පත ද එකතු කර ගැනේ. ඒ ඊළග ගොදුරට ඇම දැමීමට ය.

මෙහෙම බැලුවහම බස් එකේ ගමන ද ලෙහෙසි නැත. ගාස්තුවට අමතර ව මෙවැනි ගාස්තු ද තිබෙන නිසා ය. එහෙම හිතන්නේ ඍණාත්මකව ලෝකය දෙස බලන අය ය. ඇත්තට ම නම් සිදු ව ඇත්තේ ගමනට අමතරව පින් ලබා ගැනීමේ අවස්ථාව සළසමින් බෝනස් එකක් ද මේ බස් රථ විසින් ලබා දෙන බව ය. ඒ සමගම අතිශයින් නිරස රස්තියාදු කාර ගමනකට වටිනා ආතල් එකක් ද ලබා දෙන බව ය.

ව්‍යාපාරික ඥානය

ඔබටත් මටත් නැති මේ ව්‍යාපාරික ඥානය නිසා පවුල් පිටින් ගොඩ යන අය බොහෝ ය. පුංචි රැකියාවක් කරනවාට වඩා මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීම ලාභ දායක ය. වාලම්පූරියක් රුපියල් දහස් ගණන්වලට විකුණන ව්‍යාපාරිකයන්ට වඩා මේ ව්‍යාපාරිකයන්, විශේෂයෙන් අප සඳහන් කළ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, අහිංසක යැයි කෙනෙකුට කිව හැකි ය. අඩු වශයෙන් අපේ සේසතම කඩා ගන්නා බස්වල රජ කරන පික්පොකට් කාරයින්ට වඩා ඔවුන් අහිංසක ය.

බස් ඉලක්ක කරගෙන සිය ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් සිය ඉලක්ක ප්‍රජාව හැටියට තෝරාගන්නේ බස් මගීන් පමණක් නොවේ. බස් අයිතිකරුවන් රියැදුරන් හා කොන්දොස්තර වරුන් ද ඒ අතර වෙයි. ඒ ගැන දැනගන්නට රියැදුරු අසුනට උඩින් තිබෙන ලයිට් පත්තු වෙන බුදුන් වහන්සේ සමග හරි හරියට වැඩ සිටින දෙවිවරුන්ගේ තොරණ බැලුවහම ඇති ය. ඊට අමතරව බුදුන් වහන්සේගේ ලොකු පින්තූරයක් ද බොහෝවිට දක්නට ලැබෙන්නේ රියැදුරුට පිටුපස ඇති පුවරුවේ ය. මේ සියල්ල ද මේ සුළු ව්‍යාපාරිකයන්ට අවශ්‍ය මනෝභාවයන් බසය තුළ නොමිලේම නිර්මාණය කර දෙන්නේ ය.

මේ හැම දෙනෙකුගේම ඉලක්ක පාරිභෝගිකයන් වන්නේ පිනට ලැදි මිනිසුන් ය. අපායට බිය මිනිසුන් ය. තමන් කර ඇති පව් සමා කර ගැනීමට මාවතක් හොයන මිනිසුන් ය. ඒ අය ගණනින් වැඩි ය. ඒ නිසා මොන ව්‍යාපාර වැටුනත් මේ ව්‍යාපාර නම් වැටෙන්නේ නැත.

ඔවුන් කිට්ටු රක්ෂණ සමාගම් වලට ය. අපට පත් විය හැකි අනතුරු පිළිබඳව අනතුරු අගවා ඊලග ආත්මයේ උපත ලැබිය හැකි ප්‍රේත ලෝක මවා එ්වායින් ආරක්ෂා වීමට රැකවරණය සලසන ඊළග කණ්ඩායම මේ සුළු ව්‍යාපාරිකයන් ය.

ආගමික ව්‍යාපාර

බස් රථ ඉලක්ක කර ගෙන සටහන ආරම්භ කළ ද මේ බිය මත පදනම් ව අලෙවි කරණයේ යෙදෙන සුළු ව්‍යාපාරිකයන් සිටින්නේ බස්රථ වල පමණක් නොවේ. පල්ලි පන්සල් කෝවිල් දේවාල ඇසුරේද ඔවුහු වෙසෙති. ඒවායේ ඇතුළේත් පිටතත් ඔවුහු සිටිති.

බස් රථයේ ඉන්නා සුළු ව්‍යාපාරිකයන් තරමට මේ ව්‍යාපාරිකයන් අහිංසක නැත. එයට හේතුවක් තිබේ. බස් රථයට ගොඩ වදින්නේ ගොදුරු සොයන ව්‍යාපාරිකයින් වන විට මේ ඉන්නේ ගොදුර තමන් ලගට පැමිණෙන වඩා වරප්‍රසාද ලාභී ව්‍යාපාරිකයන් වීම නිසා ය.

මේ ඇතැම් දේවාලයක් ලග රථ ගාල් තිබේ. ඒවා ළග එක දිගට පළතුරු මල් හා පූජා භාණ්ඩ විකුණන කඩ තිබේ. ඔබට රථය එවැනි කඩයක් අභියස රථ ගාල තුළ නැවැත්විය හැක්කේ ඒ කඩයෙන් ඔබේ අවශ්‍යතා මිලදී ගන්නේ නම් පමණකි. ඔබ රථය නවත්වා යන විට ඒ බව ඔබට දැනුම් දෙනු ලැබේ.

ඔබට කළ හැක්කේ එක්කෝ රථය එතැනින් ඉවත් කර ගෙන වෙනත් කඩයක් ඉදිරිපිට නවත්වා ඒ කඩයේ බඩු ගැනීම ය. නැතිනම් රථය අනතුරේ හෙලීම ය. කොහොමටත් යම් කඩයකින් මිල දී ගැනීමෙන් වැළකී සිටීමට ඔබට බැරි ය. වඳින්න ගිය දේවාලෙ හිසේ පාත් වුනා ය කියන්නේ මෙවැනි අකරතැබ්බ වලට ය. ඇතුළේ දී ඔබ අනිවාර්යයෙන්ම අසුවන උගුලට පෙරොතුව මේ උගුලට අසු විය යුතු ය. නැතිනම් ඇතුළට යෑම බොරු ය.

එහෙම නැතත් මේ කඩයකින් ගත් පළතුරු වට්ටියක් නැතිව ඔබේම එකක් අරගෙන යන්නේ නම් ඇතුළේ දී කුඩම්මාගේ සැළකිලි බලාපොරොත්තු විය යුතු ය. සිදුවන්නේ ඉතිරි සියලු වට්ටි ගන්නා මුත් ඔබේ වට්ටිය කපු මහත්තයාට නොපෙනී යෑම ය.

ඔබ යන්නේ සෙත් කවියක් කියවා ගැනීමට විය හැකි ය. එහි ගාස්තුව ඉහළ ය. ඒත් ඔබට සහනයක් ලැබීමට නියමිත ය. ඒ අතිරේඛ තව සේවාවන් රැසක් තව බොහොම පොඩි අමතර ගණනකට ලබා ගැනීමට ඉඩ ඇති නිසා ය. පැළඳිය හැකි සුරයක්, විශේෂ පූජාවක්, කන්නලව්වක් වැනි දේ ඒ අතර තිබිය හැකි ය. පොඩි වුණාට සියල්ල එකතු වුණහම ලොකු ය. ඒ ඔබට අත්හැරීම පුරුදු පුහුණු කරනු සඳහා ය.

සැක සංකා

ඔබ දෙවියන්ගෙන් ඕනෑම දෙයක් ඉල්ලන්න. ඒ සියල්ල කපු මහත්තයා දෙවියන් ඉදිරියේ තබනු ඇත. අමතර ගාස්තු ඇත්නම් ඒ දෙවියන්ට දැනෙන්නට කීමට ය. එහෙම නැතිව වුණත් දෙවියන් ඔබේ කන්නලව්ව අහන්නට පුළුවන් ය. මේ වැඩි හොඳට ය. ඔබට ඒ වියදම දැරිය හැකි නම් එය නරකක් විය නොහැකි ය. හැම විටකම කල්පනා කළ යුත්තේ සාධනීය ව ය.

ඔබ පූජා කරන පූජා වට්ටිය ඔබ එය මිලට ගත් කඩයටම නැවත විකිණෙන බවත් ඔබ පන්සලට පූජා කරන පිරිකර අට පිරිකර තරමට ම ඒවා ද නැවත නැවතත් ප්‍රතිචක්‍රීය වන බවත් ඔබ දැන ගත යුතු නැත. එසේ දැන ගත්තා වුව ද ඔබට කරන්නට තිබෙන්නේ නාස්තියකින් තොරව ප්‍රතිචක්‍රීයකරණය කිරීම ගැන දෙවියන්ට හා ශාසනයට ස්තුති වන්ත වීමට ය. හැම දෙයක් ම නාස්ති කරන්නාවූ රටක එවැනි ආරංචියක් වුව සතුට ගෙන දෙන්නක් ලෙස සැලකීමට ය.

ඔබ යන්නේ ඔබේ දුක්ගැනවිල්ලක් කියන්නට ය. නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට ය. දේවාලයේ යමක් නැති වුණහම කපු මහත්තයා ඒ දුක් ගැනවිල්ල පොලීසියට කියන්නේ ඇයි දැයි ඔබ නොඇසිය යුතු ය. එවැනි කට කැඩිච්ච කතා නිසා ඔබට සිදු වනු ඇත්තේ අනතුරකි. සිතින් වත් ඒ ප්‍රශ්න නොනැගිය යුතු ය. ඔබ ඇතැම් විට නොදන්නවා වුණා ට දෙවියන්ට ඔබේ සිත කියවීමට හැකියාව තියෙන්නට පුළුවන. එතකොට දෙවියන් ඔබ අතරමං කර දමන්නට හෝ වෙනත් දඩුවමකට යටත් කරන්නට පුළුවන.

ඔබ සෙත් කවියක් කියන්නට යන විට තව කෙනෙකු යන්නේ වස් කවියක් කියන්නට ය. ඒ ගැන ඔබ කුකුසක් ඇති කර ගත යුතු නැත. දෙවියන් සැදී පැහැදී ඉන්නේ ඔබේ අවශ්‍යතාවය ඉටු කරන්නට ය. එතුමා තරම් ව්‍යාපාරික ඥානයක් ඇති කෙනෙක් ඔබට මුණ ගැසෙන එකක් නැත.

සොඳුරු ව්‍යාපාරිකයා

ඔබට ගැටළුවක් ඇතිවන තැනක් තිබේ. ඒ ඔබ සෙත් කවියක් කියන්නට යන අල්ල පනල්ලේ ඔබේ සතුරා ඔබට වස්කවියක් කියන්නට දේවාලයට මුලින් ගිය බව ඔබ දැකීම නිසා ය. දැන් දෙවියන් කුමක් කරනු ඇද්ද? මේ ඔබට වද දෙන ප්‍රශ්නයට යථාර්ථ වාදී උත්තරයක් තිබේ.

ඔබෙන් කවරෙකු දෙවියන්ව ඒත්තු ගැන්වූයේ ද යන්න ය. ඒ සඳහා යොදා ගත හැකි එක් නිර්ණායකයක් වන්නේ ඔබ හා ඔහු විසින් දෙවියන්ට ඔප්පු කළ පඩුරු පාක්කුඩම් වලින් කුමක් වඩා වටින්නේ ද බර ද යන්න ය. ඔබ දෙදෙනාගෙන් එකකු තෝරා ගැනීමට වෙනත් නිර්ණායකයන් නැති තැනක එවැන්නක පිළිසරණ පැතීම ගැන ඔබට දෙවියන් හා උරණ වන්නට බැරි ය (උරණ වුනාට වැඩක් නැති වීම අතුරු කාරණයකි).

මෙය ව්‍යාපාරිකයන්ට පළු යන්න බණින රටකි. ඔවුන් අපේ රීරී මාංශ උරා ගන්නට බලන් ඉන්නා පිරිසක් ලෙස සූරාකන පිරිසක් ලෙස අර්ථ ගන්වා ඇති රටකි. එහෙව් රටක දහස් ගණන් ජනයා මේ අප කතිකා කළ ව්‍යාපාරිකයන් දෙස බලන්නේ උන්ගේ ගැලවුම්කරුවන් ලෙසිනි. එහෙම බැලුවහම මෙවැනි ව්‍යාපාරයක් කර ගෙන යෑම ඇගට ද සිතට ද ගුණ ය. ඒ නිසා එවන් ව්‍යාපාරයකට ද ඒ ව්‍යාපාරිකයාගේ පොකට්ටුවට ද මේ තත්වය අපමණ අගයක් ලබා දෙන්නේ ය.

හැමදාම “දෙන“ තැනම ඔබ සිටිය යුතු යැයි කියා නියමයක් නැත. ඔබට ගන්නා තැනටත් හෙමින් සිරු මාරු විය හැකි ය. ඒ කියන්නේ මේ පදනම මත ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි බව ය.

ඒ සඳහා ඇති එක් බාධකයක් නම් දැනටමත් මේ ව්‍යාපාර ආරම්භ කර පවත්වා ගෙන යන අය ඉන්නා නිසා අලුත් ව්‍යාපාරයකට ඇති ඉඩ අඩු වීම ය. ඔබ දක්ෂ ව්‍යාපාරික ඥානයක් ඇත්තේ නම් පසු බසින්නේ නැත. ඕනෑ ම ව්‍යාපාරයක සාර්ථක බව තියෙන්නේ අලෙවි කරණය තුළ ය. ඔබ කළ යුත්තේ ඔබේ ව්‍යාපාරයේ අලෙවි කරණය සඳහා විය පැහැදම් කිරීම ය.

ඒ කියන්නේ ඔබේ ව්‍යාපාරික ස්ථානය අන් සියලු තැන් අභිබවමින් අනුහස් ඇති තැනක් බවට ජන මනස තුළ ස්ථාන ගත කිරීම ය. ඒ සඳහා ටික දෙනෙකුට තමන්ගේ මුව විවර කිරීමට දිරි ගැන්වීම ය. අවශ්‍ය නම් මුදල් ටිකක් විසි කිරිම ය. ගෙන එන පාරිභෝගිකයන් වෙනුවෙන් ඔවුන්ට කොමිස් මුදලකින් සංග්‍රහ කිරීමට ය. පාරිභෝගිකයන් ගෙන ඒමට දිරි දීමට ඔබම නිශ්පාදනය කළ ඔබේ ස්ථානයේ අනුහස් පිළිබඳ කතා වලින් මේ ඒජන්තයින් දැනුවත් කිරීමට ඔබට පුළුවන. ඔබ දෙන කොමිස් මුදල හොඳ නම් ඔවුන් ද අතින් පලිප්පු දමා ඊටත් හොඳින් ඔබ වෙනුවෙන් ඒ රාජකාරිය අකුරටම ඉටු කරනු ඇත.

බොරුකාරයන්

අලෙවිකරණයේ දී ඔබ විසින් කියා සිටිය යුත්තේ මේ ක්ෂේත්‍රය තුළ බොරු කාරයින් බහුල බවත් ඔවුන් බොහෝ දෙනෙකු ශාස්ත්‍රය හරිහැටි නොදන්නා බවත් පිරිසිදු ශාස්ත්‍රය ඇත්තේ ඔබ ළඟ බවත් ය. අනුහස් ඇති බව ඔප්පු කර ලීම සඳහා ඔබ මිනිසුන් පුදුමයට පත් කළ හැකි මැජික් ශාස්ත්‍රය ද ටිකක් හෝ උගත යුතු ය.

ඕනෑ ම ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා සන්නිවේදනය අවශ්‍ය ය. ඍජු සන්නිවේදනයට අමතරව වක්‍ර සන්නිවේදනය ද ඒ සඳහා අවශ්‍ය ය. අප ඉහත සඳහන් කළ ව්‍යාපාරිකයන් සියල්ලටම ඒ හැකියාව තිබුණේ ය.

එය හැමෝටම කළ නොහැකි ය. එක්කෝ සහය ලබා ගත යුතු ය. නැතිනම් එසේ කළ හැකි කෙනෙකුගේ සහායකයෙකු විය යුතු ය.

ඔබට මෙවැනි ව්‍යාපාරයක් තනිවම ආරම්භ කළ නොහැකි නම් කරන්නට තිබෙන්නේ දැනටමත් එවැනි ව්‍යාපාරයන් ආරම්භ කර ඇති තැනකට සෙට් වීමට ය. ශබ්දෝපකරණ යන්ත්‍ර සැපයීමට, මුද්‍රණ කටයුතු සඳහා ඕඩර් බාර ගැනීමට, පූජා භාණ්ඩ නිශ්පාදනය හා අලෙවියට, පිළිම නිශ්පාදනයට හා අලෙවියට, කොඩි නිශ්පාදනය හා අලෙවියට වශයෙන් විවිධ ආකාරයෙන් මේවාට දායක විය හැකි ය. නැතිනම් බස් එකේ මට මුලිච්චි වූ තරුණයන් මෙන් එහෙම තැනකට ආධාර එකතු කිරීමේ ස්වයං රැකියාවකට පවා යොමු විය හැකි ය.

මිනිසුන් සතුව බිය පවතින තාක් කල් මේ ව්‍යාපාරික අවස්ථා නම් නැති වන්නේ නැත. ඔබ මේ මායිම් රේඛාවෙන් මොන පැත්තේ සිටගත්තත් ඔබට බුදුන්ගේ සරණ ය. දෙවියන්ගේ පිහිට ය.

නිශාන්ත කමලදාස

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *