“හොස්ටල්” සයිටම් සහ අන්තරය – සම්පත් අමරසිංහ

 

‘හොස්ටල්’ යනු ඉන්දීය චිත්‍රපටයකි. එහි නිරූපණය කෙරෙන්නේ එරට විශ්වවිද්‍යාලයක තත්ත්වයයි. චිත්‍රපටයේ කතාව සැකවින් මෙසේය.

නවක ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයට පැමිණේ. ඔහු නේවාසිකාගාරයේ කාමරයට යන විට එතුළ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකි. ඔවුහු නවක සිසුවාට අඩම් තෙට්ටම් කරති, ලිංගික හිරිහැර පවා කරති. කප්පම් ගනිති. නවක සිසුවා ඔවුනට විරුද්ධ වීමට උත්සාහ කළ ද ඔහුගේ බැචන් නැතහොත් සමකාලීන සිසුන් අනුගමනය කරන්නේ හීලෑ වීමේ පිළිවෙතයි. අවසානයේ අසාධාරණයට විරුද්ධවන සිසුවා හුදෙකලා වේ. විශ්වවිද්‍යාලය තුළ මාෆියාවකි. විශ්වවිද්‍යාල පරිපාලනය ද ඊට අනුගතය. සහය ලබාදේ. මාෆියාව හසුරුවන ගෝඩ්ෆාදර් කෙනෙකුද සිටී.

චිත්‍රපටයේ දෙවන භාගයෙන් නිරූපණය කරන්නේ ඉහත නවක සිසුවාගේ දෙවන වසරයි. ඒ වසරේද නවක සිසුවකු විශ්වවිද්‍යාලයට පැමිණේ. ඔහු සිය නේවාසිකාගාරයට යන විටද පෙර පරිදිම ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් ඒ තුළ සිටිති. ඒ අප මුලින් කියූ නවක සිසුවාගේ සමකාලීන සිසුන්ය. ඔවුහුද අලුත් නවක සිසුවාට පහර දෙති. අඩන්තෙට්ටම් කරති. ලිංගික හිරිහැර කරති. අසාධාණයට එරෙහි මුල් සිසුවා ඒවාට විරුද්ධවන නමුත් ඵලක් වන්නේ නැත.

කල්ගත වන විට තත්ත්වය තවත් බරපතළ වේ. ගෝඩ්ෆාදර් තවමත් පැරැන්නාය. ඔහුගේ අනුගාමිකයන් දෙවන වසර සිසුන්ය. මුල් සිසුන් තමන්ට කළ දේ ඔවුහු අලුත් නවක සිසුන්ට කරති. දැන් මත්ද්‍රව්‍ය, මත්කුඩු ගංජා ආදියද ඊට ඇතුළත් වී ඇත. දෙවන ව‍සරේ එන නවක සිසුවා සාමූහික ලිංගික අපයෝජනයකට ලක්ව ගෙලවැලලාගෙන දිවි නසා ගනී. චිත්‍රපටය අවසන් වන්නේ මුලින් කී අසාධාරණයට විරුද්ධ සිසුවා අතින් වෙඩිකා ගෝඩ්ෆාදර් සහ අලුත් නවක සිසුවා ලිංගික අපයෝජනයට ලක්කළ පිරිස් මියයාමෙනි.

දෙවන කතාව –

ඔහු මගේ මිතුරෙකි. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. ඔහුගේ දරුවකු සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය හදාරයි. එකී දරුවාගේ විශ්වවිද්‍යාල ජීවිතයට දැන් අවුරුදු නමයකි. මෑත දී ජනාධිපතිවරයා සයිටම් සිසුන් කොතලාවල පීඨයට ඇතුළත් කිරීමට ගත් තීරණය පිළිබඳ ඔහු පසුවන්නේ සතුටිනි. එහෙත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සයටම් සිසුන් කොතලාවල පීඨයට ඇතුළත් කරන තීරණයට එකඟ නැත. සයිටම් ආණ්ඩුවට පවරා ගතයුතුයයි අන්තරය තරයේ කියයි. ඉහත කී විශ්වවිද්‍යාල ආචාර්යවරයා අන්තරයේ ඒ හැසිරීමට විරුද්ධය. ඔහුගේ මතය වන්නේ අන්තරයේ අත්තනෝමතික හැසිරීම හේතුවෙන් සයිටම් සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවයි. නිදහස් අධ්‍යාපනය රැකීමයැයි කියමින් අන්තරය නිදහසේ අධ්‍යාපනය ලැබී‍මේ අයිතිය උල්ලංඝනය කරන බවයි.

ආචාර්යවරයා කොළඹ පදිංචිකරුවෙකි. සයිටම් හි අධ්‍යාපනය ලබන ඔහුගේ දරුවා උසස් පෙළ ඒ සාමාර්ථ තුනක් ලබා ඇති නමුත් රජයේ වෛද්‍යපීඨයකය ඇතුළත් වන්නට නොහැකි වී තිබේ. වෙනත් ප්‍රදේශවලින් ඊට අඩු සාමාර්ථ ඇති දරුවන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය ලබන බවත් ඒ අනුව ගත්විට අන්තරයේ විරෝධය බලවත්සේ අසාධාරණබවත් ඔහු කියයි. ඉසෙඩ් ලකුණු ක්‍රමය සාධාරණ මිනුම් දණ්ඩක් නොවන බව එකී විශ්වවිද්‍යාල ආචාර්යවරයා අදහසයි.

ඉහත කරුණු ප්‍රසිද්ධියේ නොකියන්නේ මන්දැයි, අන්තරය අත්තනෝමතික නම් එයට විරුද්ධ නොවන්නේ මන්දැයි මම ඔහුගෙන් අසුවෙමි. ඔහුගේ පිළිතුර වූයේ, ප්‍රසිද්ධියේ තම මතය ප්‍රකාශ කිරීමෙන් අන්තරයේ උදහසට ලක්වන්නට තමා අකමැති බවයි. ප්‍රසිද්ධියේ තම මතය ප්‍රකාශ කළ හොත් විශ්වවිද්‍යාලයේදී වාහනයට අලාබහානි සිදුවීම පමණක් නොව ශාරීරික පීඩා පවා ඇති විය හැකිය යන සැකයක් ඔහුට තිබේ. එපමණක් නොවේ, සහෝදර විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව අතරත් තමා කොන්විය හැකි යැයි ඔහුට බියක් තිබේ.

තුන්වැනි කතාව –

විශ්වවිද්‍යාලයක වෛද්‍ය ශිෂ්‍යාවකගේ තාත්තා කෙනෙකුගේය. එය උපුටා ගත්තේ දිනපතා පුවත්පතක පළ වූ ලිපියකිනි. ටවුන් හෝල් යනුවෙන් සාමාන්‍ය ව්‍යවාහාරයේ පවතින කොළඹ පුරහල ප්‍රදේශයේ පැවැති විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයකට ජල ප්‍රහාර සහ කඳුළුගෑස් ප්‍රහාර එල්ල විය. ඊට මැදිවී දියබත්ව කඳුළුගෑස් හේතුවෙන් ඇස් රතු වූ විශ්‍රාම වයසේ මහත්මයකි. ඔහුගෙන් ත්‍රි රෝද රථ රියැදුරකු අසන්නේ කඳුළු ගෑස් ජල ප්‍රහාර මගහැර නොගියේ මන්ද කියාය. එවිට ඉහත මහතා පිළතුරු දෙන්නේ තමා පැමිණියේ උද්ඝෝෂණයට සහභාගි වන සිය දියණියගේ ආරක්ෂාවට බවයි. දියණිය පළමු වසරේ සරසවි සිසුවියකි. උද්ඝෝෂණ පෙළපාලි සියල්ලට ඇය බලහත්කාරයෙන් සහභාගි කරවා ගැනේ. ඒවාට සහභාගි නොවුණහොත් සිසුන් අතර කොන්වනු ඇතැයි මතයක් ඇති‍ සේම වරදකට හසුවේය යන බියකින්ද දැරිය පසුවන බව පියාගේ ප්‍රකාශය අනුව පැහැදිලි වේ.

පසුව කී කතා දෙකත් මුලින් කී චිත්‍රපටයත් අතර සමාන කමක් ඇතැයි මට සිතේ. විශ්වවිද්‍යාලයට ඇතුල්වන බහුතර ශිෂ්‍ය ප්‍රජාවට අවශ්‍ය උද්ඝෝෂණ හෝ පෙළපාලි නොව උපාධිය ඉක්මනින් අවසන් කර නිවෙස්වලට ගොස් රැකියාවක් කරමින් නිදහසේ ජීවත් වීමයි. නමුත් අන්තරය ඊට ඉඩ දෙන්නේ නැත. චිත්‍රපටයේ එන කැම්පස් ගෝඩ් ෆාදර් මෙනි.

මුලින් සඳහන් කළ විශ්වවිද්‍යාල ආචාර්යවරයා මෙන්ම ශිෂ්‍යාව හෝ ඇයගේ පියා හෝ ඒ අසාධාරණය හෝ බලහත්කාරය පිළිබද ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැත. හේතුව ශරීරික මානසික පීඩාවනට ගොදුරුවන්නට සිදුවනු ඇතිය යන බියයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය යනු වක්‍රෝතියෙන් පෙරටුගාමී සමාජවාදීන්ය. ජනතා විමුක්ති පෙරමුණට සයිටම් ප්‍රශ්නය අතහැරිය නොහැක්කේ පෙරටුගාමීන් එහි එල්ලී සිටින නිසාය. සයිටම් අතහැරියො හොත් පෙරටුගාමී ගොඩ ලොකු වෙනු ඇතැයි ද තමන්ට දේශපාලන අවාසියක් සිදු වනු ඇතැයි ද ජවිපෙ කල්පනා කරන බැවිනි.

කවුරු කෙසේ කීවද මෙරට උසස් පෙළ සමත්වන සියලු සිසුනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ හැකියාවක කවර ආණ්ඩුවකටවත් ඇත්තේ නැත. සයිටම් උපාධියට විරුදධවනු මිස සැමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දිය හැකි වැඩපිළිවෙලක් ඊට විරුද්ධවන්නන් ඉදිරිපත් කරන්නේ ද නැත.

සමාජවාදි අර්ථයෙන් ගත් විට ධනේශ්වර හෝ ලිබරල් ආර්ථිකය යනු වෙළඳපළ කරණයයි. අධ්‍යාපනයද ඊට අයත්වේ. ඇමරිකාවේ පමණක් නොව රුසියාවේ චීනයේ පවා මේ වනවිට පෞද්ගලික අධ්‍යාපනය යථාර්ථයක් බව පෙරටුගාමීන් හෝ ජවිපෙ හෝ නොදන්නවාද නොවේ. එහෙත් දේශපාලන වාසි තකා ඔවුහු සයිටම් ආයතනය ප්‍රශ්නයක් කොට ගෙන කරතබාගෙන යති.

පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධවන්නකු ඇත්නම් මුලින්ම විරුද්ධ විය යුත්තේ මෙරට මොන්ටිසෝරි හෙවත් පෙර පාසල් අධ්‍යාපනයටය. මේ රටේ පෙර පාසල් පැවතෙන්නේ බෝහෝවිට විභාග අසමත් කතුන් විසින් බැවිනි.  අනෙක ඔවුන් අතරත් අතිශය බහුතරයට නිසි පුහුණුවක් නැත. පිළිගත් සහතිකයක් නැත. තිබුණ ද තිබෙන්නේ විදිමත් නොවන සහතිකයි.

නැවතත් හොස්ටල් චිත්‍රපටයට හැරුනොත් සුළු පිරිසකගේ අමනෝඥ අසාධාරණ අධම ක්‍රියා ඉවසමින් බහුතර විශ්වවිද්‍යාල ප්‍රජාව නිර්‍ඬව බලා සිටිති. අසාධාරණයට විරුදධ සිසුවා වෙඩි තබද්දීද අවශේෂ පිරිස් කරන්නේ බලා හිඳීම පමණි. අප උපුටා දැක්වූ විශ්වවිද්‍යාල අචාර්යවරයාත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවත් ඇගේ පියාත් අයත්වන්නේ එසේ බලා සිටින පිරිසට නොවේද? ඒ අය නිහඬතාවය නොබිඳිනතුරු ගැල පුරුදු ලෙස යනු ඇත. ගැල පුරුදුලෙස යන තුරු ඔවුන්ද නිහඬතාව නොබිඳිනු ඇත.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *