|

වෙන්ව යන බව පොහොට්ටුව කියයි; එජාප ප්‍රතිසංවිධානය කමිටු තුනකින්

 

යහපාලන ආණ්ඩුවේ දෙවන කැබිනට් සංශෝධනය පසුගිය ඉරිදා සිදුකරනු ලැබුවා. කැබිනට් ඇමැතිවරුන් හයදෙනෙක් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරුන් හතර දෙනෙක් එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. එම අවස්ථාවේදී ජනාධිපතිතුමා කීවේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව ආණ්ඩුවේ යම් කිසි ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව පෙනීගිය බවයි. එයින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇමැති තනතුරුවල සංශෝධනය මෙදින සිදුකරන බවත් අනෙක් පාර්ශ්වය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමැතිධුර සංශෝධනය සති දෙකකින් සිදුකරන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නීතිය හා සාමය විෂය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමිවනු ඇතැයි ප්‍රචාරය වී තිබුණද එම ඇමැතිධුරයේ වගකීම පැවරුනේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙතයි. එයට හේතුව නම් සරත් ෆොන්සේකා මහතා පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විරෝධයක් එල්ලවී තිබීම බව ප්‍රකාශ වුණා. කෙසේ වෙතත් ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ තිබෙන ප්‍රශ්න විසඳාගැනීමෙන් පසුව සති දෙකකින් එම ඇමැතිධුරය සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන බවයි.

ඉදිකිරීම් කර්මාන්තයේ දක්ෂතා දක්වූවන්ට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය ඉරිදා හවස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. එම සම්මාන ප්‍රදානයට එක්වූ ජනාධිපතිතුමා නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකාරිත්වය අගය කළා.

පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සඳුදා පැවැතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දිසාපතිතුමා සහ රජයේ සියලු ආයතනවල දිස්ත්‍රික් ප්‍රධානීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මෙයට එක්ව සිටියා. පොළොන්නරුවේ සංවර්ධනය සම්බන්ධයෙන් එහිදී සිදුවූ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා කීවේ රටට ඔරොත්තු දෙන ආකාරයට සංවර්ධන සැලසුම් සකස් කරන ලෙසයි. ඔරොත්තු නොදෙන අධික වියදම් සහිත ව්‍යාපෘති සැලසුම් නොකරන ලෙසත්, පොළොන්නරුවේ ඓතිහාසික උරුමය රැකෙන ආකාරයට සංවර්ධන සැලසුම් ක්‍රියාවට නගන ලෙසත් ජනාධිපතිතුමා එහිදී උපදෙස් දුන්නා.

මේ දිනවල රජරට ප්‍රදේශයේ ගොවිතැනට ප්‍රමාණවත් ජලය නොලැබීමේ ප්‍රශ්නය ගැනද මෙහිදි අවධානය ‍යොමුවුණා. ප්‍රශ්නය තදින්ම බලපා තිබුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි. එම ප්‍රදේශයේ වැව්වලට මොරගහකන්ද ජලාශයේ ජලය මුදාහරින ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති කාර්යාලය යටතේයි. එය මෙහෙයවීම භාරව සිටින්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. එම අංශය විසින් නිපදවා ඇති චිත්‍රපටයක් තිරගත කිරීමේ උලෙළක් පසුගිය අඟහරුවාදා , කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වුණා. ‘තුන් දෙනෙක්’, ලෙස නම් කොට තිබූ එම චිත්‍රපට අධ්‍යක්ෂණය කොට තිබු‍ණේද දිවයිනේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් තිදෙනෙක් විසින්, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම එම අධ්‍යක්ෂවරුන් තිදෙනායි. මෙම චිත්‍රපට තිරගතවීම නැරඹීමටද වැදගත් අමුත්තන් තිදෙනකු පැමිණ සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එම තිදෙනායි. එම තිදෙනා එකට සිට ‘තුන් දෙනක්’ චිත්‍රපට නැරඹුවා. ජනාධිපතිතුමාගේ දකුණු පසින් රනිල් වික්‍රමසිංහ මහතාත්, වම් පසින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් වාඩි වී සිටියා.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව අගමැතිවරයාගේ ධූරය මෙන්ම ආණ්ඩුවේ ස්ථාවරබව පිළිබඳව විවිධ කතා හා මෙහෙයුම් දියත් වුවද ඒවා සියල්ල යටයමින් තබෙනවා.

මේ අතර රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර ආනමඩුවේදී කට හඬ අවදි කරමින්

‘මට සාධාරණය ඉටුවුණේනෑ. තවත් එහෙම අය ඉන්නවා. ඒවා නිවැරදි නොකරණ නිසා අගමැතිට එරෙහි විශ්වාසභංගයක් ගේනවා’ පාලිත රංගෙ බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

“අගමැති හොදින් හෝ නරකින් ඉවත් කළ යුතුයි” තමාටද කිසිදු සාධාරණයක් නොවූ බව කියමින් නියෝජ්‍ය ඇමති වසන්තසේනානායක මහතාද එක් වුණා.

එහෙත් ඊට අදාළ විශ්වාසභංගයට අත්සන් තැබීමට මෙතෙක් කිසිදු මැති ඇමති කෙනෙකු ඉදිරිපත් නොවීම තුළ එකී උත්සහයන් ඵල දරන බවක් පෙනෙන්නට නැහැ. ජනමාධ්‍ය මේවා ලොකු අකුරින් වාර්තා කළද අගමැතිවරයා සුපුරුදු සැහැල්ලු බවකින් මුහුණ දෙන අයුරු දක්නට ලැබුණා. අගමැතිවරයා බදාදාද සුපුරුදු රාජකාරි සඳහා අරලියගහ මැදුරට පැමිණියා.

“එජාපයේ සහ ශ්‍රිලනිපයේ ඇමති සංශෝධන දෙකම එකටයි කරන්න තිබුණේ. ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

” ශ්‍රීලනිප කවුරුවත් සංශෝධනවලට කැමති නැති කතාවකුත් තියනවා. මේ වෙලාවෙ කරන්න බැරි සංශෝධන පහුවෙලා නම් කරන්න බැරිවේවි. එජාපයට ශක්තිමත්සංවිධානයක් තියෙන නිසා සංශෝධන කළා. එහෙම හයියක් නැති පක්ෂයක මේවා කරන්න අමාරුයි” වජිර අබේවර්ධන කීවා.

“ආණ්ඩුවේ පසුබෑමට හේතුව සමෘද්ධි හා කෘෂිඅමාත්‍යාංශයේ පොහොර ඇතුලු ප්‍රශ්නයයි. අපේ නීතිය හා සාමයත් ශ්‍රී ලංකන් ප්‍රශ්නයත් නිසා ඒ ඇමතිකම මාරු කළා. හරිනම් ශ්‍රීලනිපයේ කෘෂි හා සමෘද්ධියත් මාරු කළ යුතු බව මිනිස්සු කියනවා” බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළා.

“අපේ දක්ෂ තරුණ අයට මීට වඩා වගකීම් ආණ්ඩුවේ හා පක්ෂය තුළ ලබාදීම කරන්න යන එක වටිනවා” දයාගමගේ මහතා කිව්වා.

“දූෂණ වංචා සෙවීම සඳහා කමිටුවක් ඇතුලු ප්‍රධාන කමිටු 03ක් දැම්මා.ඒවා කඩිනමින් වැඩ කරාවි. ඊළඟට ජේ.සී.අලවතුවලගෙ ප්‍රධානත්වයෙන් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ට ජනතා ප්‍රශ්න විසඳීමට වැඩපිළිවෙළක් සකස් කරලා පහසුකම් දීම ගැනත් පත් කළ කමිටු වාර්තාව අලවතුවල මට ලබා දුන්නා. සජිත් නවීන් අජිත් හර්ෂලගෙ කමිටුව හරහා තරුණ ඇමතිවරුන්ගේ වැඩපිළිවෙළ ශක්තිමත් කරන නිර්දේශ හෙට ලැබේවි. ඒ හරහාත් ජනතාවගේ මූලික ප්‍රශ්නවලට විසඳුම් දෙනවා.රුවන් විජේවර්ධනගෙ ප්‍රධානත්වයෙන් එජාප ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු නිර්දේශ සඳුදා ලැබේවි. මේ සියලු කමිටුවල නිර්දේශ එකතු කරලා එක වැඩපිළිවෙළක් කඩිනමින් දියත්කරනවා” අගමැතිවරයා කිව්වා.

“අම්පාරේ වඳ පෙති කථාව මොකක්ද? ඒ පලාතෙ පොහොට්ටුවේ අය රට ගිනි තියන්න මඩ ප්‍රචාරයක් ගෙනියනවා කියලත් ආරංචියි”වජිර අබේවර්ධන ඇසුවා.

“කෑම ඇදුම් ආදියට දාන්න පුළුවන් වඳ පෙති ජාතියක් නැහැ කියලා ලෝකේ ඉහළම වෛද්‍යවරු තහවුරු කරලා තියෙද්දි සමහරු බොරු ප්‍රශ්ණ ඇති කරනවා. පෙත්තක් හමුවුණාලු. ඒක වද පෙති කියලා තහවුරු වෙලා නෑ. අවස්ථාවාදීන් මේ වගේ දේවලුත් පටු දේශපාලනයට යොදා ගන්නවා. සිංහලයා වද කරන්න කවුරු හරි හදනවා නම් ඒක තරම් විහිලුවක් තවත් තියනවද”දයා ගමගේ කීය.

“අගමැතිතුමාගේ ආර්ථික කමිටුව ගැන ජනාධිපතිතුමා ගිය කැබිනට් එකේදි ප්‍රශ්න කළා. ඒ කමිටුවේදී වැඩ හිරවෙන බවට යම් මතයක් තිබෙනවා. ඒනිසා කමිටුවේ වැඩ කඩිනම් කිරීම වටිනවා”වජිර අබේවර්ධන මහතා කිව්වා.

“කමිටුවේ වැඩ නවත්තන්න තීන්දු කළේ නෑ. දූෂණය වලක්වන්නයි ඔය කමිටුව හැදුවේ. හැම දෙයක්ම හොයලා තීන්දු දෙන්න ගියාම සුලු ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාද නැති කරන්න වහාම පියවර ගන්නවා” අගමැතිවරයා පිළිතුරු දුන්නා.

“අනික ජනාධිපතිතුමා ඔය කමිටුවේ ප්‍රමාදවීම් ගැන දුන් සමහර උදාහරණවලට කමිටුව නෙමෙයි වෙන වෙන අමාත්‍යාංශ වගකිව යුතු බවයි මට ඉහළ නිලධාරීන් කීප දෙනෙක් කිවුවේ” ජේ.සී අලවතුවල මහතා කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළා.

“චම්පික රණවක මහතාගේ නාගරික නිවාස වැඩපිළිවෙළ හිරවුණේ කමිටුවෙන් නෙවෙයි මුදල් හිගකම නිසයි”එතැනි සිටි නිලධාරියෙක් කිව්වා.

“චම්පිකට අපි මුදල් සොයලා දෙනවා. එජාප ප්‍රමුඛ ආර්ථික න්‍යාය පත්‍රය හා ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රීලනිප අදහස් හා යෝජනා මත ආර්ථිකය වේගයෙන් ඉදිරියට තල්ලු කරනවා”අගමැතිවරයා කිව්වා.

“විගනණ පනත කැබිනට් එකේ සම්මත කිරීම වටිනවා. මේ පනතට සංශෝධන තිස්ගණනක් ආවා. දේශපාලකයන්ට වඩා සමහර නිලධාරීනුයි මේක ප්‍රමාද කළේ”ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීදේ අගමැතිවරයා ඇතුළු සියලු දෙනා අනුමත කළා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ පැවැති වර්ණවත් උත්සවයක් වූයේ බණ්ඩාරනායක සමරු සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය් පැවැති 2017 ජාතික ඉදිකිරීම් සම්මාන ප්‍රදානෝත්සවයයි. එහි දී තේමාවන් 6ක් යටතේ සම්මාන 32ක් පිරිනැමීම එහි දී සිදු වුණා. ආරාධිත අමුත්තන් වෙනුවෙන් සකස් කර තිබූ විශේෂ වීඩියෝ චිත්‍රපටයෙන් වත්මන් ඉදිකිරීම් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින බරපතළ ගැටලු ගැන ද අවධානය යොමු කර තිබුණා.

ඒ පිළිබඳ බෙහෙවින් සංවේදීව සිටි ජනාධිපතිවරයා කීවේ ‘සජිත්, ඉදිරි සති 2 ඇතුළත මේ ගැටලු සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වන සාකච්ඡාවේ දී ඒවාට විසඳුම් ලබා දෙන බව ඔයාගේ කතාවේදී එළිපිටම ප්‍රකාශ කරන්න‘ කියා ය. ‘මේ ගැටලුවට විසඳුම් ලබා දෙනවා නම් සර් ඒක ක්ෂේත්‍ර‍ෙය් ඉන්න අයට ලොකු ශක්තියක්‘ සජීත් කීවා. අනතුරුව සජිත් කීවේ ‘තවත් බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් පවතින නිසා පිටරටින් පුහුණු හ්‍රමිකයන් ගෙන්වන්න කොන්ත්‍රාත්කරුවෝ අවසර ඉල්ලනවා.

මම ඒකට එකඟ නෑ මේ රටේ ඉන්න තරුණ තරුණියන්ට ඉදිකිරීම් වෘත්තීය පුහුණුව ලබාදීලා ඒ අයට අවස්ථාවත් ලබාදීමයි වැදගත්‘ කියායි. ‘බොහෝම හොඳයි‘ යනුවෙන් ජනාධිපතිවරාය ද ඊට සිය එකඟතාව පළ කළා. ‘ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ‘ශිල්ප සවිය‘ වැඩසටහන යටතේ අපි දැනටමත් 12,000කට ඉදිකිරීම් පුහුණුව ලබා දීලයි තිබෙන්නේ‘ සජිත් පැහැදිලි කළා. ‘ ඒ විතරයි නොවෙයි සර්, කර්මාන්ත සංවර්ධන අරමුදල ක්‍රියාත්මක කිරීමට මම දැන් අවුරුදු 3ක් තිස්සේ මහන්සි වුණත් ඒකට විවිධ බාධක එල්ල වෙනවා‘ යයි සජිත් කියද්දී ජනාධිපතිවරයා ඇසුවේ ‘මොනවද ඔයා ඔය අරමුදලින් කරන්න සැලැසුම් කලා තිබෙන්නේ?‘ කියායි.

සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පුහුණුව, මූල්‍ය ප්‍රාග්ධනය ලබාදීම, පුහුණු වන ශිල්පීන්ට රක්ෂණාවරණයක් සැපයීම හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම වැනි අරමුදලේ ප්‍රධාන අරමුණු සජිත් පැහැදිලි කරද්දී ජනාධිපතිවරයා විමතිය පළ කරමින් කීවේ ‘අයියෝ, ඇයි මේක මෙච්චර පරක්කු වුණේ? ඒ ටිකත් අපි ඉක්මනින්ම කරමු‘ යනුවෙන්.

පසුගිය සිකුරාදා (23) උදෑසන නෙළුවට ගිය ඇමති වජිර අබේවර්ධන අැමති වරයා නෙළුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා සිව්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල් තැබුවා. ඒ රුපියල් ලක්ෂ 685ක වියදමින්. එහි දී අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ රජය නොවෙනස්ව ඉදිරියට යන බවයි. එමෙන් ම පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ යම් යම් දුර්වලතා දැන් පැහැදිලිව දක්නට ඇති බව ද මේ වැරදි නිවැරදි කිරීමට එම පනත යළි සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ද කී ඇමතිවරයා 2015 ජනවාරි 08 දා ලැබූ ජනවරමට අනුව විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩුකර ඇති බව ද ප්‍රකාශ කළා.

රාමඤ්ඤ නිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අභාවයට දැනගත් මොහොතේ ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට කතා කර නාහිමියන්ගේ ආදාහනෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරන්ට යැයි උපදෙස් දී තිබුණා.

මේ අනුව ක්‍රියාත්මක වූ ස්වදෙශ කටයුතු ඇමති වජිර අබේවර්ධන ආදාහන පූජෝත්සවයේ කටයුතු සංවිධානය කළා. සෙනසුරාදා ඇමති වජිර නා හිමියන්ගේ ආදාහනෝත්සවයට ගියේ අගමැතිතුමා සමග හෙලිකොප්ටරයෙන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ද මේ උත්සවය සංවිධානය කිරීමට ඇමති වජිරට විශාල සහයෝගයක් දී තිබූ අතර ආදාහන උත්සවය ඉතා ගාම්භීර ලෙස වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

අනුරාධපුරයෙන් ගුවනට නැගුණු අගමැතිතුමාත් වජිර ඇමතිවරයාත් රැගත් හෙලිකොප්ටර් යානය කෙළින්ම පියාසර කළේ ගාල්ලේ උඩුගමට. උඩුගම බොධිරාජ විහාරයේ වාර්ෂික පෙරහර මංගල්‍යය 32 වැනි වරටත් සංවිධානය කර තිබුණේ අලි ඇතුන් රැසකගේ ද සහභාගීත්වයෙන්. දිවයින පුරා පාරම්පරික කලා ශිල්පීන්ගේ නර්තන අංගයන් රැසක් ද එයට එක්කර තිබුණා.

පසුගිය ගංවතුර ආපදාවෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදහත්වීමෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදුන් මූල්‍ය ආධාරයකින් රුපියල් ලක්ෂ 50ක මුදලක් යොදවා වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයක් මත බෝධිරාජ විහාරයේ ඉදිකෙරුණු සුරක්ෂිත මධ්‍යස්ථානය විවෘත කිරීම එදින සිදු කෙරුණා.

සඳුදා ගාල්ලේ දිසාපති, ප්‍රාදේශීය ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් රැසක් අරලියගහ මන්දිරයට කැඳවා තිබුණා. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ මිශ්‍ර සංවර්ධන සැලසුම ගැන සාකච්ඡා කිරීමටයි. චීන රජයේ නියෝජිත පිරිසක් ද මේ සඳහා එක්ව සිටියා. ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශය ඉදිරි වර්ෂ 100ට වඩා එහා පැත්ත ගැන සිතා සංවර්ධනය කිරීමටත් මේ සඳහා සියලු පාර්ශවයන්ගෙන් ලැබෙන යෝජනා සැළකිල්ලට ගැනීමටත් තීරණය කෙරුණා. වාරිමාර්ග දෙපාර්තමෙන්තුවේ ගාල්ල හා මාතර වාරිමාර්ග අධ්‍යක්ෂිකා ඉංජිනේරු දීපිකා ත්‍රිමහවිතාන මහත්මිය එහි දී අදහස් දක්වමින් කියා සිටියේ දැනට ගිං ගඟේ ජලය හම්බන්තොට දිස්ත්‍රික්කයට ගෙන යාමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

මේ අවස්ථාවේ ඇමති වජිර අබේවර්ධන එකහෙලාම එයට විරුද්ධ වූණා.

”ඒ ව්‍යාපෘතිය වැරදියි. ගිං ගඟ වියලි කලාපයක් කරලා වෙන වියළි කලාපයක් තෙත් කරන ව්‍යාපෘතිවලට අපි ඉඩ දෙන්නේ නැහැ. මේක පහුගිය ආණ්ඩුව අන්තිම දවස් ටිකේ කැබිනට් එකට දාලා හදිසියේම සම්මත කරගෙන මුදල් ගෙවපු ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ගිං ගඟේ වතුර හම්බන්තොටට ගෙනියන්න බැහැ. ”යැයි කීවේ එයට කිසිසේත්ම එකඟ විය නොහැකි බව පවසමින්.

බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව විසින් ලංකාවේ පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවට ආරාධනයක් කර තිබුණේ ගිණුම් කාරක සභා මගින් සිදුවන කටයුතු පිළිබඳව අධ්‍යනයක් සඳහායි. මේ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක යන මන්ත‍්‍රීවරුන් සහභාගි වුණා. ඊට අමතරව ලක්ෂ්මන් සෙනෙවිරත්න, මහින්දානන්ද අලූත්ගමගේ එජනිස නියෝජනය කරමින් සහභාගි වී සිටියා. එක්සත් ජාතික පක්ෂයේ අශෝක අබේසිංහ සහ අජිත් පෙරේරා සංචාරය සඳහා සහභාගි වීමට නියමිතව තිබූ නමුත් සහභාගි වුණේ නෑ. මෙම වැඩසටහන පසුගිය විසිවෙනි දින සිට පැවැත් වුණා. මෙහිදී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර අදහස් හුවමාරු කිරීමක් සිදු වුණා.

ලංකාවේ කෝප් කමිටුවට කැඳවිය හැක්කේ රජයේ අයිතිය 51%කට වැඩි ආයතන පමණක් බවට නීතියක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් සිය විමතිය පළකළා. ”අපේ ගිණුම් කාරක සභාවට ඕනෑම ආයතනයක් කැඳවන්න පුළුවන්. පෞද්ගලික ආයතන හෝ රජයේ ආයතන කියලා වෙනසක් නැහැ. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන යටිතල පහසුකම්, භූමිය, ඉඩම් භාවිතා කරන ඕනෑම ආයතනයක් අපේ පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෑ.” බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා. මේ දිනවල බ්‍රිතාන්‍යයේ පුද්ගලික සමාගමක මූල්‍ය විමර්ශනයක්ද උදාහරණ ලෙස ඔවුන් පෙන්වා දුන්නා. එමෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවේ විමර්ශන මාධ්‍ය මගින් සජීවි වාර්තාකරණයට ඉඩ සලස්වා තිබෙනවා.

මේ මගින් ආණ්ඩුවේ ඇමැතිවරුන් පවා ප්‍රශ්න කිරීමට ලක්වන අවස්ථා සජීවි ලෙස ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව උදා කර තිබෙනවා. මේ මගින් වංචා දූෂණ අවම කර ගැනීමට උපරිම ආකාරයෙන් කටයුතු කිරීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අරමුණ බව ඔවුන් පෙන්වා දුන්නා. ලංකාවේ මන්ත්‍රීවරුන්ට මෙම අත්දැකීම් සජීවීව දැක බලාගැනීමට අවස්ථාව උදා වුණා. ”මේවා ගැන අපි සජීවී අත්දැකීම් ගත්තට ලංකාවේ කෝප් කමිටුවේ ක්‍රියාත්මක කරන එක තමයි අමාරුම වැඩේ. නමුත් මේ ගැන සාමාජිකයින් දැනුවත් කරලා මේවා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මේ වගේ සංචාරවලින් රටට වෙන වැඩක් නම් නැහැ” සුනිල් හඳුන්නෙත්ති අනෙකුත් මන්ත්‍රීවරුන් සමඟ කියා සිටියා.

මේ සංචාරය අතරතුර ජවිපෙ මන්ත්‍රීවරුන් දෙදෙනා බ්‍රිතාන්‍යයේ, ස්වීඩනයේ සහ ප‍්‍රංශයේ ජවිපෙ විදෙස් කමිටු මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණ සහ සුහද හමු කිහිපයකටද සහභාගිවුණා. එහිදී පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සහ ලංකාවේ ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලාංකිකයින් දැනුවත් කළා.

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් කිහිපදෙනෙකුගේ තනතුර වෙනස් කළ කැබිනට් සංශෝධනය සිදු වූ පසුගිය ඉරිදා මහින්ද රාජපක්ෂ මහතා සිටියේ මහනුවර ප්‍රදේශයේයි. දළදා වහන්සේ වැඳ පුදාගෙන මහනාහිමිවරුන්ද මුණගැසුණු රාජපක්ෂ මහතා, මහනුවර සිටම මාධ්‍යයට ප්‍රකාශයක් කළා. ඔහු කීවේ මෙම කැබිනට් සංශෝධනය විහිළුවක් බවයි. තිබෙන කුට්ටම එහාට මෙහාට ඇනීමෙන් වැඩක් නොවන බවද මහින්ද රාජපක්ෂ මහතා කීවා. ඒ මහතා මාධ්‍යවේදීන් අමතා නැවතත් කීවේ පළාත් පාලන ආයතනවල මැතිවරණ ප්‍රතිඵලය අනුව ආණ්ඩුව මහ මැතිවරණක් කැඳවිය යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනයට තම පක්ෂයේ ආධාරය දෙන බවද රාජපක්ෂ මහතා කීවා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැඳී සිටීම හා ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පෙනී නොසිටීම ගැන බොහෝදෙනා ප්‍රශ්න කරන තත්ත්වයක් තිබෙනවා. මේ කණ්ඩායම් දෙක අනාගතයේ නැවත එකතු වී එකට තරග කිරීම ගැනද කතාබහ සිදුවුණා. එයට පිළිතුරක් ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ලබාදුන්නා. ඒ මහතා කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු දැන් වෙනම දේශපාලන ධාරාවක් බවයි. එය අනාගතයේ සියලු මැතිවරණ සඳහා වෙනම තරග කරන බව පීරිස් මහතා ප්‍රකාශ කළා. මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව ගමනක් නැති බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ නිවසේදී පැවැත්වුණා. අඟහරුවාදා සවස පැවැති එම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සහභාගී වී සිටියා. පළාත් පාලන මැතිවරණයේ ලැබු ජයග්‍රහණයත් සමඟ වෙනස් වූ දේශපාලන තත්ත්වය ගැනත් ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳවත් එහිදී සාකච්ඡා වුණා. පළාත් සභා මැතිවරණවලදී මෙම ජයග්‍රහණය තහවුරුකර ගැනීමේ හැකියාව ගැනද සාකච්ඡා වුණා. කෙසේ වෙතත් ලබන වසරේදී ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් ලෙස ජනාධිපතිවරණයට පළමුව මුහුණදීමට සිදුවුවහොත් එය අවාසිදායක විය හැකි බවද එහිදී සාකච්ඡා වුණා.

විධායක ජනාධිපති ධුරය අහෝසිකරන ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුව තල්ලු කිරීමේ හැකියාව ගැනද එහිදී සාකච්ඡා වුණා. තමන්ට වඩා වාසිදායක වන්නේ මහ මැතිවරණයකට මුහුණදීම බවත්, එවිට මැතිවරණ සටන මෙහෙයැවීම මහින්ද අගමැති කිරීමේ සටන් පාඨය යටතේ පහසුවෙන් කළ හැකි බවද ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ අදහස වී තිබෙනවා.

 

ගොසිප්ලන්තය – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *