කැබිනෙට් සංශෝධනය මොකටද ? – අකුරැස්සේ වින්සන්ට් ප්‍රනාන්දු

කැබිනට් සංශෝධනය නැවත වතාවක් ආණ්ඩුවේ අර්බුදය වෙනත් මුහුණුවරකට විතැන් කර ඇති බවයි පෙනෙන්නෙ. කැබිනට් සංසෝධනය ගැන අප්‍රසාදය පළ කරන දෙපිරිසක් දක්නට ලැබෙනව. එක් කොටසක් තමයි එක්සත් ජාතික පක්යෙ මන්ත්‍රි පිරිස. අනිත් පිරිස සමාජ ක්‍රියාකාරිකයන් ඇතුළු ජනතාව. රවී කරුණානායක මන්ත්‍රිවරයා කියා තිබුණෙ එය විහිළුවක් නැත්නම් ‘ජෝක් එකක්’ බවයි. පාලිත රංගෙ බණ්ඩාර විරෝධය පල කර තිබුණේ පුත්තලමේ ඉන්නේ බූරුවන් බව කියමින්, වසන්ත සේනානායක ඉන්නේ සතුටින් නොවන බවයි පෙනෙ‍න්නේ. ඒ ඔහුට ඇමතිකමක් නොලැබුණ නිසයි. යහපාලන ආණ්ඩුව පත් වූ‍ වෙලාවෙ වැඩ කළ හැකි අමාත්‍යාංශයක් ලැබෙයි කියල බලාපොරොත්තු වුණ නමුත් නොලැබුණ බව ඔහු කියල තිබුණ. ‘වැඩ කළ හැකි’ යන්නෙන් ඔහු අදහස් කරන්නේ රැකියා දියහැකි අමාත්‍යංශයක් බවයි පෙනෙන්නේ.

යහපාලන ආණ්ඩුවක් ගැන, මේ ආණ්ඩුව පත්වන්නට පෙර කතා කළ ඒ සඳහා වැඩ කළ සමාජ සංවිධානවල අදහස තිබුණෙ කැබිනට් මණ්ඩලය 30කට 35කට සීමා විය යුතු බවයි. ජනවාරි අටට පෙර තිබුණු ආණ්ඩුවට එල්ල වුණු එක චෝදනාවකට හේතුව ඔවුන්ගේ ‘මෙගා’ කැබිනට් එක බව කවුරුත් දන්නව.

යහපාලනය යටතෙත් මෙගා කැබිනට් එක වෙනස් වුණේ නැහැ. පක්ෂ දෙකේ එකමුතුව පවතිනතුරු මෙගා කැබිනට් එක වෙනස් නොකළ යුතු බවට තීරණය වුණා. මෙගා කැබිනට් එකක් යහපාලනයටත් අවශ්‍ය වුනේ ඇයි? රට සීග්‍රයෙන් සංවර්ධනය කරන්නද? උත්තරය නැහැ‍! යන්නයි. මෙගා කැබිනට් එකක් මේ ආණ්ඩුවට අවශ්‍ය වුණු මූලික හේතුව බලය ආරක්ෂා කර ගන්නයි. කෙටියෙන් කිව්වොත් එක්සත් ජතික පක්ෂයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් දෙපිරිසම ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් දීල සතුටුකරල කැමත්ත දිනාගෙන ආණ්ඩුව පවත්වගෙන යන්නයි.

ඇමතිකම් බලාපොරාත්තුවෙන් ආණ්ඩුවට සහය දෙන පිරිසක් ලංකර ගැනීමෙන්ම යහපාලන අරමුණු විකෘතිවූණාය කීවොත් වැරදිද? එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකමුතු වුණේ රට හදන්න අවංක චේතනාවෙන් නම් ඒකට ඇමතිකම් ‍මොකටද? ඇමති මණ්ඩලය 35ක් කරල විද්‍යාත්මක ක්‍රමයකට විෂය පථ බෙදල ජනතාවට බරක් නෙවී ආණ්ඩුව ගෙනියන්න තිබුණෙ නැද්ද?

හරීන්ල, වසන්තල, රංගෙබණ්ඩාරල කතා කරන්නේ රස්සා දෙන්න ඇමතිකම් ඕන කියලයි. ඔවුන් කියන ආකාරයට මුළු මන්ත්‍රි මණ්ඩලයම ඇමති මණ්ඩලයක් කළොත් රටේ රැකියා ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද? ඒ තර්කයේ අනිත් පැත්ත රස්සා දෙ‍න්නෙ ඇමතිවරුන්ගෙ හෙන්චයියන්ට, ඉඅනුගාමිකයින්ට විතරයි කියන එක නේද? උස අයට සිකියුරිටි, ‍මිටි අයට වෙනත් රැකියා, පාක්ෂිකයන් විතරක් ඉල්ලුම් කරන්න. වගේ සටන්පාඨ ඉදිරියට ආවෙත් මේ තර්කයෙම දිගුවක් විදිහට නේද?

තවත් අතකින් ගත්තම මහින්ද රෙජීමය පෙරළල යහපාලනය ගෙනෙන්න උදවු වුණේ වැඩ කළේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විතරද? මධ්‍යස්ථ මතධාරින් ඊට සහයෝගය දුන්නෙ නැද්ද? රස්සා බෙදන්නෙ පාක්ෂිකයන්ට සලකන්න නම් මධ්‍යස්ථ මතධාරින්ට අත්වෙන ඉරණම කුමක්ද? පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්සත් ජතික පක්ෂටත් අත්වුණු ඉරණමට පක්ෂිකයන්ට සැලකීම ආදිය හේතුවෙන් මධ්‍යස්ථ මතධාරින්ගේ කළකිරීම බලපෑවාද? නැද්ද?

තවත් පැත්තකින් ගත්තම කිරිඇල්ලගෙයි කබීර් හෂිම්ගෙය් පුටු මාරුවුණා කියල ප්‍රශ්නය නිරාකරණය වෙනවද? රටේ නීතිය සහ සාමය ක්‍රියාත්මක වුණේ නැත්තෙ සාගල රත්නායකගෙ වරදක් නිසාද? ප්‍රශ්නවලට හේතුව කබීර්ගෙ කිරිඇල්ලගෙ සාගලගෙ පෞද්ගලිකත්වය ද? ඇමතිවරු ඉන්නෙ ඒ ඒ අංශවල රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නෙමෙයිද? උදාහරණයක් වශයෙන් සාගල රත්නායක නීතිය හා සාමය ඇමති වුණාම පොලිසිය ආදි ආයතන එයාගෙ ඕන එපාකම් අනුව හසුරුවන්නට යාම සාධාරණද? ඒ කියන්නෙ ඇමතිකෙනෙකුට තමන්ගෙ අමාත්‍යංශය තමන්ගෙ ගෙදර කියල හිතාන වැඩ කරන්න පුළුවන්ද? ඇමතිකමක් කියන්නෙ සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයෙ එක වීල් එකක් නෙමේද? යම් ආකාරයකින් පැවරුණු සාමුහික වගකීමෙ කොටසක් නිසි ආකාරව ක්‍රියාත්මක නොකළ කෙනෙකුට කළ යුත්තෙ ඔහු වගකීම්වලින් ඉවත් කිරීමද? නැතිනම් ඉරුවාරදයට කොට්ට මාරු කරන්නා සේ තනතුරු මාරු කිරීමද?

යහපාලන ආණ්ඩුව බලයට ‍පත්කිරීමේ කටයුත්තේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ වත්මන් නායක මහාචාර්ය සරත් විජේසූරිය 2018.02.17 දිනපතා පුවත්පතකට ලිපියක් ලියමින් කැබිනට් සංශෝධනය ගැන තමන්ගෙ කනස්සල්ල ප්‍රකාශ කරල තිබුණ. එතුමාගෙ මතය අනුව කැබිනට් මණ්ඩලය පත්කිරීම යනු රටට වැඩකරන්නට ඇමතිවරු පත්කිරීම නෙමෙයි. ඒ වෙනුවට ප්‍රධානින් උත්සාහ කරල තියෙන්නෙ පක්ෂයේ ප්‍රවීණයන්ට සහ නායකයන්ගෙ හිතවතුන්ට සලකන්නටයි. මහාචාර්ය තුමාගේ මතය අනුව පක්ෂයේ නවකයන් එනම් රංගේබණ්ඩාර, වසන්ත  සේනානායක වැනි අයගෙ චෝදනා සහ කලකිරීම අසාධාරණ නැහැ. බුද්ධික පතිරණට සිදුවුණු දෙයක් ගැනත් එතුමා ඒ ලිපියේ සඳහන්කර තිබුණ. මහාචාර්යතුමාගෙ ප්‍රකාශයෙන් පෙනෙන්නේ වත්මන් ආණ්ඩුව පත්කරන්නට දායකවුණු බුද්ධිමතුන් කැබිනට් සංශෝධනය ගැන සැහීමකට පත් නොවන බවයි.

කැබිනට් සංසෝධනය ගැන දාස හපුවලාන කාටුනයක් ඇඳල තිබුණ. ඉන් දැක්වුණේ ඡන්දදායකය අංතට්ටුවකුත් දාගෙන කැබිනට් සංසෝධනය දිහා රූපවාහිනියෙන් බලා සිටින ආකාරයයි. ඇත්තෙන්ම බැලුවොත් වෙලා තියෙන්නෙ ඒකම තමයි. මහින්ද රාජපක්ෂගෙ මෙගා කැබිනට් එක වෙනුවට රනිල්ගෙයි මෛත්‍රිගෙයි මෙගා කැබිනට් එකක් දැන් අපට තියෙනව. මහින්දගෙ මෙගා කැබිනට් එකෙයි මෛත්‍රි – රනිල් මෙගා කැබිනට් එකෙයි එකම වෙනස, මහින්දගෙ කැබිනට් එකේ කුලල්කාගැනීම් නැහැ. යහපාලන කැබිනට් එකේ කුලල්කාගැනීම් ඕනවටත් වැඩියි.

ඇමතිකම් ඉල්ලලා කලබල කරන අයවයි, ඇමතිකම් මදිව කෑකෝගයන අයවයි එකැතැනකට ගෙනල්ල කටවල්වලට ප්ලාස්ටර් ගහල ඇමති මණ්ඩලය 35 කරල විද්‍යාත්මක ක්‍රමයකට සුදුසු සහ දක්ෂ අයට වගකීම් පවරල ඉස්සරහට යන ආණ්ඩුවක්නෙමෙයිද ජනතාව බලාපොරෝත්තු වුණේ, ඒත්….!

අකුරැස්සේ වින්සන්ට් ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *