අවස්ථාවාදීන්ගේ කැබිනට් මේනියාව – භාතිය බරුකන්ද

“ජයග්‍රාහකයාට පියවර සියයයි – පරාජිතයා අවජාතකයි” කියලා කතාවක් අප අතර තිබෙනවා. මේ කතාව දේශපාලනයේදී තරම් වෙන කිසිදු තැනක ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවයි දැකිය හැකි වන්නේ. එය මිනිසා දේශපාලනය ආරම්භ කළ දා සිට අඛණ්ඩව, සෑම තැනම ක්‍රියාත්මක වෙනවා. එහෙත් ප්‍රශ්නය වන්නේ “ආඬි කැඳ ඉව්වා වාගේ ” වැඩ කරලා අවසානයේ “වාසි පැත්තට හෝයියා” කියන අවස්ථාවාදීන් බහුල ලංකාවේ දේශපාලනය තුළ පරාජිතයා අවජාතක වීම පමණක් නොව පරාජිතයාට සියල්ල අහිමි කරවීම සඳහා ද එකට කැඳ ඉව්ව අර ආඬි රැළ නිතර නිතර උත්සාහ කිරීමයි. එක්සත් ජාතික පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍යධූරයෙන් පලවා හැරීම ගැන උත්සාහයක් යළිත් දියත් වෙමින් තිබීමෙන් ද ඉහත සඳහන් කතාව මනාව පැහැදිලි වෙනවා.

මේ අතර එක්සත් ජාතික පාක්ෂිකයන් පමණක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සෙසු පාක්ෂිකයන් අතර ද පවතින ගැටලුව වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් පලවා හැරීම සඳහා අවශ්‍යව ඇත්තේ කාටද ? යන්නයි. විශේෂයෙන් මේ ගැටලුව “කැපුවත් කොළ” එජාප පාක්ෂිකයන් තුළ ප්‍රබල ආකාරයෙන් තිබෙනවා.

අවස්ථාවාදයේ පහසු ගොදුරක් වීම

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (මහින්ද රාජපක්ෂ මහතා) විසින් සාපේක්ෂව ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය එජාපයේ ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යාම සමග ඇති වූ කෘත්‍රිම දේශපාලන කුණාටුව (ඉතාම සැලසුම් සහගතව සහ තීක්ෂණ ආකාරයෙන් පොහොට්ටුව විසින් නිර්මාණය කළ) එජාපයේ වත්මන් දේශපාලන අර්බුදයේ බීජය වශයෙන් අපට පහසුවෙන් ම හඳුනාගත හැකියි. එහෙත් මේ ලේඛකයාගේ පමණක් නොව මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කළ බොහෝ මධ්‍යස්ථ විචාරකයන්ගේ අදහස වුණේ මාධ්‍ය සහ පොහොට්ටු කල්ලිය විසින් නිර්මාණය කළ තරමේ දේශපාලන විජයග්‍රහණයක් හෝ ආණ්ඩුවට එරෙහි ජනමතයක් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මගින් ප්‍රකාශයට පත් නොවූ බවයි. ඒ බව වත්මන් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුට (එජාප – ශ්‍රීලනිප) සේම ආණ්ඩුව සමග පාර්ලිමේන්තුව තුළ අවබෝධයෙන් සහ සහයෝගයෙන් කටයුතු කරන දමිළ ජාතික සන්ධානය ලබාගත් ඡන්ද ප්‍රතිශතය අනුව ඉතාම තාර්කිතව සේම ප්‍රායෝගිකව ද තහවුරු කරගත හැකියි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම ආණ්ඩුව ඉතාම පැහැදිලි ආකාරයෙන් මෙම මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කරමින් ප්‍රතිඵල විශ්ලේෂණයක් ජනතාව හමුවට ගෙන ගියා නම් ආණ්ඩුව තුළ හෝ එජාපය තුළ මේ ආකාරයේ දේශපාලන අර්බුදයක් සේම අවස්ථාවාදීන් ශක්තිමත් වීමක් සිදුවන්නේ නැහැ. එහෙත් කනගාටුවට කරුණ වන්නේ දෙමළ ජාතික සන්ධාන නායක අර්. සම්බන්ධන් මහතාට තිබූ දේශපාලන දැක්ම ආණ්ඩුවට සම්බන්ධ බොහෝ නායකයන් තුළ නොවීමයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම සමස්ත ප්‍රතිඵල විග්‍රහය තුළ යහපාලන බලවේග, එසේ නැතිනම් මහින්ද විරෝධී පාර්ශ්ව ලැබූ සමස්ත ඡන්ද සංඛ්‍යාව, ප්‍රතිශතය හා පළාත් පාලන ආසන සංඛ්‍යාව පිළිබඳ නිරවුල් විග්‍රහයක යෙදීම ආණ්ඩුව විසින් සිදු කළා නම් පොහොට්ටුවේ ඊනියා ජයග්‍රහණයේ සැබෑ තත්ත්වය මනාව හෙළි කිරීමට අවස්ථාව තිබුණා.

ඒත් අපි එවැනි ශක්තිමත් හා දූරදර්ශී ප්‍රවේශයක් වෙනුවට දැක්කේ කුමක්ද ? ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිපය පාර්ශ්වයේ කිහිප දෙනකු මෙතෙක් කාලයක් (ආණ්ඩුවට එක් වූ දා සිට) එළිපිට ප්‍රදර්ශනය කිරීමට නොගිය තම අවස්ථාවාදී අරමුණු වහාම එළියට ගෙන ආණ්ඩුව තුළ කෘත්‍රිම එජාප විරෝධයක්, විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ විරෝධයක් නිර්මාණය කිරීමයි. ඒ හරහා ඔවුන් ඉතාම සටකපට ආකාරයෙන් බලාපොරොත්තු වුණේ ආණ්ඩුව තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරමින් යළි මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා පාවඩ එළිමටයි. යම් කිසි ආකාරයකින් ජනාධිපතිවරයා ද මේ අවස්ථාවාදයේ ගොදුරක් බවට පත් වූවේ නම් මේ මොහොත වන විට ලංකාවේ එතෙක් මෙතෙක් සිදු නොවූ සංකීර්ණම දේශපාලන අර්බුදය සේම රාජ්‍ය අරාජිකත්වයට නිර්මාණය වීමට පහසු අවස්ථාවක් තිබුණා.

ආණ්ඩුවෙන් එජාපය පලවා හැර පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් මගින් ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමේ මුවාවෙන් යළි මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමේ ක්ෂණික සැලසුම අනපේක්ෂිත ආකාරයෙන් බිඳ වැටීම සමග මේ අවස්ථාවාදීන් වෙනත් පහසු ප්‍රවේශයක් වෙත යොමු වන ස්වභාවයක් අපට මේ වන විට දැකිය හැකි වෙනවා. ඒ එජාපය තුළ යළි නායකත්ව අර්බුදයක් නිර්මාණය කරමින් එජාපය දුර්වල කිරීමට පියවර ගැනීමයි. එමඟින් ආණ්ඩුව දුර්වල කිරීම සහ ආසන්නයේ පවතින පළාත් සභා මැතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කර 2020 රැල්ල නිර්මාණය කර ගැනීමයි ඔවුන්ගේ සැලසුම බව අපට පහසුවෙන් අවබෝධ කරගත හැකියි.

රංගේ බණ්ඩාර දඩමීමා කර ගැනීම

මේ තත්ත්වය තුළ ඒකාබද්ධ විපක්ෂයට (පොහොට්ටුවට) වඩාත්ම පහසු සහ ඵලදායී ප්‍රවේශය එජාපය තුළ යළි නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය කර එය කෙටි කාලයක් දක්වා හෝ පවත්වා ගෙන යාම (පළාත් සභා ඡන්දය දක්වා) බවයි අපට පැහැදිලි වන්නේ. අද පාලිත රංගේ බණ්ඩාර හා වසන්ත සේනානායක හරහා එළියට පැමිණ තිබෙන්නේ පොහොට්ටුව විසින් ඉතාම සැලසුම් සහගතව නිර්මාණය කළ මේ කුමන්ත්‍රණය බව අප වටහා ගත යුතුයි.

එනිසා එජාප නායකත්වය සම්බන්ධයෙන් පාලිත රංගේ බණ්ඩාර හා වසන්ත සේනානායක හරහා (ඔවුන් දැන හෝ නොදැන විය හැකිය) ප්‍රකට වෙමින් තිබෙන රනිල් විරෝධය අපට සැලකිය හැකි වන්නේ 1994 සිට අඛණ්ඩව ශ්‍රීලනිපය විසින් බලය අල්ලා ගෙන සිටීම සඳහා එජාපය දුර්වල කොට භේද බින්න කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයේ නූතන ප්‍රවේශය වශයෙනුයි.

මෙහිදී එක්සත් ජාතික පාක්ෂිකයින් තුළ වඩාත්ම කනස්සල්ලක් ඇතිව තිබෙන්නේ පාලිත රංගේ බණ්ඩාර වැනි උපන්ගෙයි යූඑන්පි කාරයෙක් අද පොහොට්ටු කල්ලියේ දඩමීමෙක් බවට පත්වීමයි.

ආණමඩුව ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුව සිටියදී ආණමඩුවේ දේශපාලන බලවතා වූ (ශ්‍රීලනිප) ද.මු. දසනායකගේ (කොටි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඝාතනය වූ) දැවැන්ත මර්දනයට එරෙහිව යුනිෆෝම් ගලවා දමා එජාපයෙන් දේශපාලනයට පිවිසි පාලිත රංගේ බණ්ඩාර පසුගිය කාලය තුළ එජාපය වෙනුවෙන්, විශේෂයෙන් පුත්තලමේ එජාප දේශපාලනය වෙනුවෙන් කළ මෙහෙවර එජාප පාක්ෂිකයන් කිසිදාක අමතක නොකරන බව ඉතාම පැහැදිලියි.

එහෙත් වසන්ත සේනානායක වැනි මෑතකදී ආණ්ඩුවට එක් වූ අයෙකු සමග පාලිත රංගේ බණ්ඩාර අත්වැල් බැඳ ගැනීම එජාප පාක්ෂිකයන් තුළ විස්මයක් ඇති කිරීමට සමත් වෙලා තිබෙනවා. මෙහිදී එජාප පාක්ෂිකවන් දැඩිව විශ්වාස කරන්නේ රංගේ බණ්ඩාර යම් කිසි කුමන්ත්‍රණ කල්ලියක පහසු ගොදුරක් බවට පත්ව සිටින බවයි. ඔවුන් එසේ විශ්වාස කිරීමට ඉතාම පැහැදිලි හේතු රැසක් තිබෙනවා. ඒ පාලිත – වසන්ත කැරැල්ලට හේතු වූයේ පසුගිය කාලයේ සිදු වූ ආකාරයේ ප්‍රතිපත්තිමය ගැටලුවක් නොව හුදු කැබිනට් ඇමැති පදවියක් සම්බන්ධ ගැටලුවක් වීමයි.

මෙහිදී මෙම ලේඛකයාගේ අදහස වන්නේ රාජපක්ෂවාදී මාධ්‍ය විසින් ඉතාම සැලසුම් සහගතව නිර්මාණය කළ ප්‍රවාදයක, කුමන්ත්‍රණයක පහසු ගොදුරක් බවට පාලිත – වසන්ත පත් වූ බවයි.

“පුත්තලමට කැබ්නට් ඇමැති ධූරයක් ” ඉල්ලමින් පාලිත කරන අරගලය කිසියම් ආකාරයකින් සාධාරණීකරණය කළ හැකි වුවත් “පොළොන්නරුවට කැබිනට් ඇමැතිකමක් ” ඉල්ලමින් වසන්ත සේනානායක කරන අරගලය කිසිවකුගේ ප්‍රසාදයට හේතු වන්නේ නැහැ. ඒ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සම්බන්ධ ගැටලුව නිසා පමණක් නොවෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිජබිම වන පොළොන්නරුවේ දේශපාලන බල අරගයක් නිර්මාණය වීම මේ මොහොතේ සිදු නොවිය යුතු නිස්සාර දෙයක් වශයෙන් බොහෝ දෙනකු සලකන නිසයි.

එමෙන්ම ජනාධිපතිවරයා තම වැඩි අවධානයක් පොළොන්නරුවට යොමු කරමින් (දීර්ඝ කාලයක් පොළොන්නරුව රජයේ ඍජු අවධානයෙන් ගිලිහී තිබූ බව අමතක නොකරන්න) පොළොන්නරුව ප්‍රමුඛ රජරට ප්‍රදේශවල සිදුකරන දැවැන්ත සංවර්ධන කාර්යයට එජාපයෙනුත් හවුලක් අවශ්‍ය නොවන බවයි බොහෝ දෙනකුගේ අදහස වන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ වසන්ත සේනානායකගේ ඉල්ලීම අවස්ථාවාදී බොළඳ එකක් වනවාට අමතරව ප්‍රායෝගික එකක් වන්නේද නැහැ.

යථාර්ථය වටහා නොගැනීම

අනෙක් අතින් පාලිත – වසන්ත විසින් වටහා ගත යුතු තවත් කරුණක් ද තිබෙනවා. ඒ වත්මන් ආණ්ඩුව තුළ කැබිනට් මණ්ඩලය එජාප – ශ්‍රීලනිප වශයෙන් ඉතාම පැහැදිලිව හවුල්කාරිත්වයක් තුළ බෙදී ගොස් තිබෙන බවයි. ඒ අනුව එජාපය – ශ්‍රීලනිපය ආරම්භයේදී ඇති කරගත් එකඟතා අනුව කැබිනට් අමාත්‍යාංශ ඒ ඒ පක්ෂවල අනන්‍යතාව සහ ශක්තිය මත බෙදා ඇති බවක් දැකිය හැකියි. ආර්ථිකය සංවර්ධනට අදාළ කැබ්නට් පදවි මුළුමනින්ම පාහේ එජාපයට ලැබෙන විට කෘෂිකර්මාන්තය, පරිසරය ආදිය ශ්‍රීලනිපයට හිමිව තිබෙනවා. මේ තත්ත්වය තුළ එජාපයට අලුතින් කැබිනට් ඇමැති පදවි නිර්මාණය කර ගැනීමේ ප්‍රායෝගික සේම ව්‍යවස්ථාපිත සීමා කිරීම් ද තිබෙනවා. මේ තත්ත්වය සරලව පැහැදිලි කළහොත් පසුගිය ආණ්ඩුවල මෙන් “මෙගා කැබිනට්” බිහි කිරීම දේශපාලන එකඟත්වය මත සේම ව්‍යවස්ථාපිත සීමා කිරීම්වලින් ද දුර්මුඛ කර තිබෙනවා.

මේ දේශපාලන යථාර්ථය තුළ තමයි ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් වනවාට අමතරව පසුගිය ආණ්ඩුවල බලවත් කැබිනට් ඇමැතිකම් කළ ඒ.එච්.එම් ෆවුසි, ආචාර්ය සරත් අමුණුගම, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා ආදී ශ්‍රීලනිප ප්‍රබලයින් අද රාජ්‍ය ඇමැති පදවි දරමින් සිටින්නේ. එජාපයෙන් කැබිනට් ඇමැති පදවි ඉල්ලමින් බොරදියේ මාළු බෑමට සූදානම් වන කිහිප දෙනා විසින් ඉතාම පැහැදිලිව මේ දේශපාලන යථාර්ථය වටහා ගත යුතුයි.

බෙදී ගියොත් වන හානිය වටහා ගන්න

“පාලිත – වසන්ත කැබිනට් මේනියාව” මගින් උත්කර්ෂයට නංවන ලද එජාප නායකත්ව අර්බුදය, එසේ නැතිනම් රනිල් පළවා හැරීම පාලිත – වසන්ත හවුලෙන් පිට කලාපය කරා ගමන් නොකරන බව පැහැදිලි තත්ත්වයක් යටතේ වුවත් මෙවැනි අවස්ථාවාදී කුමන්ත්‍රණවලින් එජාපයට සිදුවන හානිය නම් කිසිසේත් සුළු කොට තැකිය නොහැකියි. ඒ බව 1947 සිට මේ දක්වා කාලය තුළ එජාප නායකත්ව අර්බුදයෙන් මනාව පැහැදිලි වූ තත්ත්වයක්.

පසුගිය කැබ්නට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කළ පරිදි ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය තුළ කාලයෙන් කාලයට නායකත්වය සම්බන්ධයෙන් අර්බුද, විවේචන හා කලකිරීම් ඇති වීම නොවැළැක්විය හැකියි.

ඒ බව අගමැති ඩී.එස්. සේනානායක මහතාගේ හදිසි අභාවයෙන් පසු අග්‍රාමාත්‍ය පදවිය සම්බන්ධයෙන් ඩඩ්ලි – සර් ජොන් අතර ඇති වූ ආරම්භක අර්බුදයේ සිට වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය මහතා අතර අතර ඇති වූ අර්බුදය දක්වා පැහැදිලිව ප්‍රකට වෙනවා. ඒ වගේ ඩඩ්ලි – ජේ.ආර් ජයවර්ධන වැනි එජාප ආරම්භ යෝධයන් අතර ද ආර්. ප්‍රේමදාස මහතා සහ ලලිත් – ගාමිණි පිල අතර ද ඇති වූ බව අප මතක් කරගත යුතුයි.

එහෙත් ප්‍රතිපත්තිමය හෝ පුද්ගලික වුවමනා එපාකම් මත හෝ සිදු වූ මේ සියලු දේශපාලන බල අරගල එජාපයේ දැවැන්ත ශක්තිය තාවකාලිකව දුර්වල කරමින් ශ්‍රීලනිපයට බලය ලබා දුන් බව අප විසින් කිසිසේත් අමතක නොකළ යුතුයි. උදාහරණයක් ලෙස ඩඩ්ලි – සර් ජෝන් බල අරගලයේ අවසානය නිමා වුණේ 1956දී එජාපයට අන්ත පරාජයක් ලබා දෙමිනුයි. ඩඩ්ලි – ජේ.ආර් බල අරගලය 1960 – 70 දක්වා කාලය තුළ එජාපයට සිදු කළ බලපෑම ගැන අපගේ අවධානය යොමු කළ යුතුයි. 1989-93 කාලය තුළ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා සමග එජාප ජ්‍යෙෂ්ඨයින් වන ලලිත් ඇතුළත් මුදලි, ගාමිණි දිසානායක ඇතිකර ගත් අර්බුදය 1993 පළාත් සභා මැතිවරණය (බස්නාහිර පළාත් සහ දකුණු ප්‍රධාන කොට) ශ්‍රීලනිපයට යළි නැගී සිටීමට ස්වර්ණමය අවස්ථාවක් නිර්මාණය කළා පමණක් නොව 1994 දී එජාපයේ 17 වසරක පාලනය නිමා කරමින් මේ දක්වා විධායක ජනාධිපති ධූරයක් එජාපයට ලබා ගැනීමට නොහැකි දුෂ්කර වාතාවරණයක් නිර්මාණය කළ බව අප අමතක නොකළ යුතුයි.

රනිල්ට එරෙහි කුමන්ත්‍රණ රැල්ල

1994 පරාජයන්ට කිසිදු වගකීමක් නැති වුවත් 1994දී එජාපයේ නායකත්වයට පත් රනිල් වික්‍රමසිංහ මහතා තරම් නායකත්ව අර්බුදයන්ට සහ කුමන්ත්‍රණයන්ට මුහුණ දුන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ නායකයෙකු ලෝකයේම සිටිය නොහැකියි. මේ කුමන්ත්‍රණ හා සැලසුම් කොතරම් දුරට අඛණ්ඩව හා ශක්තිමත් වුවාද යන්න අපට පැහැදිලි වන්නේ 1994 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්තීවරුන් 96 දෙනාගෙන් අති විශාල ප්‍රමාණයක් විවිධාකාර හේතු ඉදිරිපත් කරමින් ආණ්ඩුවට එක්වීම සමගයි.

විජේපාල මෙන්ඩිස්, ආචාර්ය සරත් අමුණුගම, සුසිල් මුණසිංහ ආදී එජාප ප්‍රබලයන්ගෙන් ආරම්භ වූ මේ සවාරිය මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේදී එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය දක්වා දිගු වුණේ එජාපය සදාකාලික විපක්ෂයට සීමා කරමිනුයි. මේ තත්ත්වය තුළ එජාපයට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි මැතිවරණ රැසක ජයග්‍රහණය අහිමි වූවා පමණක් නොව ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ද වළට ගිය බව අප අමතක නොකළ යුතුයි. විශේෂයෙන් 2005 – 2015 දක්වා යුගයේදී මේ තත්ත්වය වඩාත් උග්‍ර වුණා. කුප්‍රකට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම තැබීමට එදා පාලකයන්ට හැකි වන්නේ එජාප නායකත්වයේ නාමයෙන් දියත් වූ මේ ඊනියා කුමන්ත්‍රණ නිසයි. එනිසා අප එජාප නායකත්වයට එරෙහිව විටින් විට දියත් වන ඊනියා බල අරගල, විරෝධතා සහ විවේචනවල සැබෑ තත්ත්වය මනාව වටහා ගත යුතුයි. එජාප නායකත්වයට එරෙහිව මේ සියලු කුමන්ත්‍රණ සිදුවන්නේ ඉතාම පැහැදිලිව හඳුනාගත හැකි දේශපාලන මූලයකින් හා න්‍යාය පත්‍රයකින් බව අප වටහා ගත යුතුයි.

අවධානයට ගත යුතු දේ

එජාපයට සේම එජාපය සම හවුල්කාරිත්වය දරන සම්මුතිවාදී ආණ්ඩුවේ දේශපාලන හා බල සුජාතභාවය යළි පරික්ෂාවට ලක්වන පළාත් සභා මැතිවරණය මේ වසරේ මධ්‍ය භාගය වන විට කැඳවීමට නියමිතයි. මේ මැතිවරණයෙන් එජාපය ලබන ප්‍රතිඵල මත ඉදිරි ජාතික මැතිවරණය වන ජනාධිපතිවරණ ප්‍රතිඵල තීරණය වන බවත් අප අමතක නොකළ යුතු දේශපාලන සත්‍යක්. ඒ වගේම පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල එජාපයට අවාසි සහගත වුවහොත් ආණ්ඩුවේ බලය සම්බන්ධයෙන් පවතින දේශපාලන සුජාතභාවය ද දැඩි ප්‍රශ්න කිරීමකට ලක්වන බව අප අමතක නොකළ යුතුයි. එය ඇතැම් විට දේශපාලන අරාජිකත්වයක් දක්වා රට ගෙන යාමක් ද විය හැකියි.

මෙවැනි අවදානමක් ශ්‍රීලනිපයට නැති බව එජාප නායකයන් සේම කැරැලිකරුවන් ද මනාව වටහාගත යුතුයි. ඒ පොහොට්ටු කල්ලිය සේම වත්මන් ශ්‍රීලනිපය ද ජනාධිපතිවරයාගේ බල සුජාතභාවය ප්‍රශ්න කිරීමකට නොයන නිසයි. එ මෙන්ම ඉදිරි සියලුම මැතිවරණ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ ධජය යටතේ යළිත් සමස්ත ශ්‍රීලනිප පාක්ෂිකයින් ම ගොනුවන තත්ත්වයක් නිර්මාණය වීම ද එජාපයට කිසිසේත් බැහැර කළ නොහැකියි. ඒ නිසා අද එජාපය හමුවේ පවතින අභියෝගය වන්නේ ඊනියා අවස්ථාවාදීන්ගේ පහසු ගොදුරක් වී සාදාකාලිකව විපක්ෂයේ සිටිනවාද ? එසේ නැතිනම් පක්ෂය තුළ සැබෑ ප්‍රතිසංස්කරණ අනුගමනය කරමින් බලය තහවුරු කර ගන්නවාද ? යන්න පමණයි. එජාපය ගන්නා මේ තීරණය අනුව පක්ෂයේ ඉරණම සේම රටේ ද ඉරණම තීරණය වේවි.

 

සටහන
භාතිය බරුකන්ද 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *