|

ජනමතය – සී. ජේ. අමරතුංග

 දැන් සියලු දේශපාලන නායකයන් කතා කරන්නේ ජනමතය පිළිබඳවය. පළාත් පාලන ආයතන සඳහා වූ මැතිවරණ ප්‍රතිඵලය අනුව පරිපාලනයේ හා ආණ්ඩුවේ වෙනස්කම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ජනමතය තේරුම්ගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කළේය. ඇමැති මණ්ඩලයේ වෙනසක් ද සිදුකළේ නීතිය හා සාමය අමාත්‍යාංශය අගමැති අතට ගනිමිනි. වහාම ක්‍රියාත්මක වෙමින් ඇමැති කමිටුවක් ද පත්කළේ පහුගිය ආණ්ඩු සමයේ සිදුවූ දූෂණ සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කිරීමටය.

රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කළේ නීතිය හා සාමය අමාත්‍යාංශය අගමැතිතුමා යටතට ගත්තේ පසුව එය ‍ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට බවයි. එසේ වුවද එයට යම් පිරිසක් විරුද්ධ බව ද දැනගන්නට ඇත.

මේ සියල්ල සිදුවන්නේ මහජන මතය ගැන කියමින් වුවද එය අර්ථ දක්වන ආකාරය එකිනෙකට වෙනස්ය. පිරිසක් කියන්නේ හොරු නො ඇල්ලීමට ජනතා විරෝධය පළවූ බවයි. තවත් පිරිසක් කියන්නේ රාජපක්ෂ පවුලේ උදවියට ජම්පරය ඇන්දීමට ජනතාව විරුද්ධ බවයි.

බලාගෙන යන විට මේ දෙකම ඇත්තය. පොහොට්ටුවට ලැබුණු සියයට හතළිස් හතර අතර බහුතරය මහින්ද රාජපක්ෂ පාලනයේ අනුගාමිකයෝය. ආධාරකරුවෝය. ඔවුන් රාජපක්ෂ පවුලේ උදවියට ජම්පරය අන්දනවාට විරුද්ධය. අනෙක් අතට ආණ්ඩුවට ඡන්දය නොදී සිටි පිරිස අතර සිටින්නේ 2015 ජනවාරි 08 වෙනසට දායක වූ පිරිසකි. ඔවුන්ගේ කළකිරීම නම් පසුගිය ආණ්ඩුවේ හොරු අල්ලන්නට මේ ආණ්ඩුවේ නායකයන් අසමත්වීමය. ඇත්තටම කන්දිය යුත්තේ එම ජනමතයටය. ඔවුන් ඉල්ලන්නේ හොරු ඇල්ලීම ඒ වැඩේ කරන කෙනෙකුට භාර‍දෙන්නටය. ෆීල්ඩ් මාර්ෂල්ගේ නම ඉදිරිපත් වන්නේ එහෙමය. ඔහුට භාර දී හෝ නොදී හොරු ඉක්මනින් අල්ලනවා නම් යහපාලන හිතවාදීන්ට අවශ්‍ය ඒකය.

හිට්ලර් සහ මුසෝලිනි

කෙසේ වෙතත් අප තේරුම්ගත යුතු වන්නේ ජනමතය කියා සමාජයේ පොදු මතයක් නැති බවයි. එය හැමවිටම නැතහොත් බොහෝවිට බෙදී තිබිය හැකිය. රටේ බහුතර ජනයා එක මතයකට එන, එක මතයක් ප්‍රකාශ කරන අවස්ථා ඇත. එවිට අපි එයට ජනමතය යයි කියමු. එසේ වුවද ඇතැම් විට බලවේග පෙළගැසෙන්නේ එකිනෙකට වෙනස් මත හා හේතු සමඟය. එවිට එම ජනමතය තේරුම්ගත යුතු වන්නේ පරිස්සමෙනි. එහි ඇති විවිධ ධාරා තේරුම් ගැනීම ද අවශ්‍යය.

අනෙක් අතට ජනමතයක් ප්‍රකාශයට පත්වුවද එය හැම විටම නිවැරැදි වන්නේ නැත. ජනමතය නිසා එය පිළිගන්නට සිදුවෙයි. එයින් එන විනාශයට මුහුණදෙන්නට ද සිදුවෙයි. එමෙන්ම ඇතැම් විට තෝරාගන්නට වන්නේ එම ජනමතයේ තීන්දුවට එරෙහිව සටන් වැදීමයි. විනාශය වළකාගත හැකි වන්නේ එවිටය.

ජර්මනියේ හිට්ලර් බලයට පත්වූයේ ජනමතයෙනි. ඉතාලියේ මුසොලීනි ද බලයට ආවේ ජනතාවගේ සහයෙනි. ඔවුන් කළ විනාශයට ද ජනතා සහයක් තිබිණි. එසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදීන්ට සිදුවූයේ මෙම ෆැසිස්ට් දේශපාලනයට එරෙහිව සටන් වදින්නටය.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පක්ෂව බ්‍රිතාන්‍යයේ බහුතර ජනයා ඡන්දය පාවිච්චි කළහ. එය විනාශකාරී තීන්දුවක් බව බොහෝදෙනාගේ පිළිගැනීම වුවද දැන් එය ක්‍රියාත්මකය. අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීම ද එවැනිය. අන්තවාදී අයි. එස්. අයි. එස්. සංවිධානයේ ප්‍රකාශකයකු වරෙක නිවේදනය කොට තිබුණේ අමෙරිකාව විනාශ කිරීමේ අරමුණ තමන් අත්හරින බවකි. එම කාර්යය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකරනු ඇති බව ඔහු කියා තිබිණි.

ජනමතය කුමක් වුවත් එයට ගරුකිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පිළිගැනීමකි. එසේ වුවද ජනමතය හැමවිටම නිවැරැදි බව හෝ උසස් බව හෝ එයින් අදහස් වන්නේ නැත. වැරදි අදහස් මත රට වැරදි දිශාවකට යොමුවන ජනමතයක් නම් එයට එරෙහිව සටන් වැදීම අවශ්‍යය.

පසුගිය පළාත් සභා මැතිවරණයේද ඇතැම් වැරදි හා රටට විනාශකාරී අදහස් මත ඡන්දය ප්‍රකාශ වී ඇති බව පැහැදිලි කාරණයකි. ඡන්දය ගැන කරන විග්‍රහයන්හිදී මත විමසුම්වලදී මෙය පැහැදිලි වෙයි.

ඇත්ත කතාව

මේ ආණ්ඩුවට ඇති ප්‍රධාන චෝදනාවක් නම් රැකියා නොදීමයි. එ. ජා. පාක්ෂිකයන් කියන්නේ තමන්ට රැකියා දුන්නේ නැති බවයි. තමන්ගේ ඇමැතිකමෙන් තමන්ට එක රැකියාවක්වත් දෙන්න බැරිවුණ බව හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මහජනයා ආණ්ඩුවට පාඩමක් උගන්වන්නට තීරණය කළ එක හේතුවක් ඒකය.

මෙහිදී රැකියා කියා කියන්නේ රජයේ රැකියා දීමයි. මේ රජය බලයට පත්වූ පසුව රටේ රැකියා හාරලක්ෂ හැටදහසකට වඩා බිහිකර ඇත. මෑතකදී නිකුත් වූ සංඛ්‍යාලේඛනයකට අනුව රැකියා හාරලක්ෂ අනූතුන්දහසකට ඉල්ලුම්කරුවන් නැත. ඒවා පුරවන්නට බැරිය. ඒ අතර රැකියා නැති උගත් තරුණයෝ තුන්ලක්ෂ හැටදහසක් රැකියා විරහිතව සිටිති. රැකියා වියුක්තිය කියන්නේ ශ්‍රම බළකායෙන් සියයට හතරක තරම් මට්ටමේය.

මෙතෙක් පැවැති ආණ්ඩු කළේ අලුත් රැකියා නිර්මාණය කිරීම නොවේ. රජයේ ආයතනවල රැකියා තම පාක්ෂිකයන්ට දෙමින් ඒවා පිරවීමය. මෙම රැකියාලාභීහු වටිනාකම් නිපදවන්නෝ නොවෙති. මොවුන් නම් මහජන මුදලින් වැටුප් ගෙවා නඩත්තු කරන පරපුටුවන් පිරිසකි. ආණ්ඩුව දැඩි තීරණයක් ගෙන තිබෙන්නේ මේ ගොඩ වැඩි නොකරන්නටය. එය දේශපාලන වශයෙන් අවාසිදායකය. එසේ වුවද රටේ ආර්ථිකය ගොඩගෙන සමෘද්ධිමත් රටක් බිහිකරන්නට නම් මෙහෙම තීන්දු, තීරණ ගත යුතුමය. එසේ කළ යුත්තේ රටත්, ජනතාවත් ගොඩගන්නටය. ජනතාව කර තිබෙන්නේ එම තීන්දුව ක්‍රියාත්මක කළාට ආණ්ඩුවට දඬුවම් දීමයි. ඔවුන් කියන්නේ රටට කෙළවුණත් අපට ආණ්ඩුවේ රැකියා දීපියව් කියාය. මෙම ජනමතය පිළිගන්නවාද නැතිනම් එයට එරෙහිව සටන් කරනවාද යන්න මෙරට බුද්ධිමත් ජනයා ගත යුතු තීරණයකි.

නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පසුගිය දිනක ප්‍රකාශ කළේ ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ලෝකයේ දෙවැනි විශාලතම රාජ්‍ය සේවය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බවයි. එය දෙවැනි වන්නේ අමෙරිකා එක්සත් ජනපදයට පමණක් බවයි. සැලසුම් කළ යුත්තේ මෙය අඩකින් අඩු කරන්නටය. ජනතාව කියන්නේ මේක තවත් වැඩි කරන්නටය. එම ජනමතය ක්‍රියාත්මක කළහොත් රට තව තවත් වළපල්ලට යනවා මිස ගොඩයාමක් නැත.

පාසල් ළමයින්ගේ නිල ඇඳුම් සඳහා රෙදි වෙනුවට මුදල් දීමටත්, පොහොර සහනාධාරය මුදලින් ලබාදීමටත් ආණ්ඩුව කටයුතු කළේය. එවිට ළමයින්ට හා දෙමව්පියන්ට තෝරා බලා රෙදි ගත හැකිය. රෙදි ආණ්ඩුවෙන් මිලදී ගැනීමේදී සිදුවන ජාවාරම හා කොමිස් ගැනීම නවතිනවාය. පොහොර සහනාධාරයේද තත්ත්වය ඒකය. නියම වටිනාකම අතරමැදි හොරුන්ට නොගොස් ජනතාව අතටම පත්වන්නේය. මේකට විපක්ෂය කියන්නේ පොහොර සහනාධාරය නැවැත්තුවා. පාසල් නිල ඇඳුම් දීම නැවැත්තුවා කියාය. එයට මහජනයා ඡන්දය දුන්නාදැයි අපි නොදනිමු. ඡන්දය දුන්නා නම් එය හොරුන්ට හා දූෂිතයන්ට ඉඩ සැලසෙන ක්‍රමයකට පක්ෂවය. දූෂණය පිටුදකිනවාට විරුද්ධවය. එබඳු ජනමතයක් ගැන ද ප්‍රබුද්ධ ජනයා සිතා බැලිය යුතුය.

දන්සල් ඕනැද?

මහජන මුදලින් දන්සල් දීම හිටපු පාලකයන්ගේ ක්‍රමවේදයකි. අරලියගහ මන්දිරයේ දන්සලකි. විවිධ පිරිස් සඳහා එයින් දන් දුන්නේ ‍රජුන්ගේ මුදලින් නොව මහජන මුදලිනි. එයින්ද ඔවුහු යටිමඩි ගැසූහ. තවත් කෙනෙක් උදලු බෙදූහ. ජීවිතේට උදැල්ලක් අල්ලා නැති අයට උදලු ලැබිණි. වතුර මෝටර් බෙදූහ. රජයේ සේවකයන්ට මෝටර් සයිකල් බෙදූහ. ඔවුන් බෙදා දුන් බීජ ධාන්‍ය ඇට ලැබුණ ඇතැම් අයට ඒවා වගා කරන්නට ඉඩම් තිබුණේ නැත. ඒ සියලු කෙරුවාවන් කළේ තමන්ගේ මුදලින් බව මහජනයා තේරුම්ගෙන සිටියේ නැත. ඛනිජ තෙල් සඳහා අත්‍යවශ්‍ය ආහාර සඳහා විශාල ලෙස බදු පනවා මෙම මුදල් අපේ සාක්කුවෙන් ගත් බවක් දන්නේ නැත. මේ ආණ්ඩුව ඒවා නවතා දැමුවේ රජයේ වියදම් අඩුකොට උද්ධමනය පාලනය කොට රටේ ඇත්ත සංවර්ධනයට මඟපාදන්නටය. ඒකත් මේ රජයට ඡන්දය නොදෙන්නට හේතුවක් වූ බව ඡන්දදායකයෝම කියති. එහෙම ඡන්දදායකයන් සිටින රටකට දෙයියන්ගේම පිහිටයි කියනවා ඇරෙන්නට වෙන කියන්නට දෙයක් නැත.

නිවැරදිදේට එරෙහි වීම

මේ ලියුම්කරු සමඟ කතා කළ ගුරුවරියක කීවේ ගුරුවරුන් මෙවර ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කළ බවයි. එයට හේතුව ලෙස කීවේ ගුරුවරුන් මාරුකිරීමයි. ඒ කියන්නේ නගරයේ ජනප්‍රිය පාසල්වල පැළපදියම් වී වසර පහළොව, විස්ස ඉන්නා ගුරුවරුන් වෙනත් පාසල්වලට මාරුකර යැවීමයි. ආණ්ඩුවේ “ළඟම පාසල හොඳම පාසල” කිරීමේ කාර්යයට නම් මෙසේ කිරීම අත්‍යවශ්‍යය. අධ්‍යාපනයේ විසමතා දුරුකිරීමට මෙය අවශ්‍යය. ගුරුවරුන් ඡන්දය දුන්නේ එම නිවැරැදි ප්‍රතිපත්තියට එරෙහිව නම් එය අවනඩුවකි.

ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව ද ප්‍රබල ජනමතයක් ඇත. එය තිබෙන්නේ දේශීය ව්‍යවසාය හා වෘත්තිකයා ආරක්ෂා කර ගැනීමේ මතවාදයක් වශයෙනි. විදේශීය වෙළෙඳාම වර්ධනය කරන්නට වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගන්නවාට පිරිසක් විරුද්ධය. ඒ අපේ ආර්ථිකය විවෘත කරනවාට විරුද්ධවය. ඇතැම් විට එය සිදුවන්නේ ඇතැම් වෘත්තීන්ට තරගයක් ඇතිවීම වළකාගන්නටය. ඔවුන් කෙස් පැළෙන තර්ක ගේන්නේ ආර්ථිකය විවෘත කරනවාට විරුද්ධවය. රටේ වේගවත් සංවර්ධනයක් සඳහා මෙලෙස ආර්ථිකය විවෘත කළ යුතු බව ආර්ථික විශේෂඥයන් කීවාට, වෙනත් රටවල සාර්ථක අත්දැකීම් මඟින් එය තහවුරු වී තිබුණාට අපේ කට්ටිය ඒවා පිළිගන්න ලෑස්ති නැත. ඔවුන් කියන්නේ ආර්ථික විද්‍යාඥයින් ආර්ථිකය ගැන නොදන්නා බව හා එය දන්නේත් තමන් බවය. දොස්තරට ලෙඩ ගැන දැනුමක් නැතැයි කට්ටඩියකු කියන්නා බඳුය. එසේ වුවද මේ රටේ එමට සිටින්නේ එබඳු කට්ටියය. ජනමතය කියා කියන්නේ මෙබඳු කට්ටියගේ මතවාද නම් ඒවායින් රටට සෙතක් වන්නේ නැත. ඒවාට අවනත වී ක්‍රියා කරන්නේ නම් රට යන්නේ විනාශයකටය. එසේ නම් කරන්නට තියෙන්නේ එයට එරෙහිව සටන් වදින එකය.

පිරිසක් දැන් කියන්නේ මේ ජනමතයට අනුව ආණ්ඩුව හා එහි නායකත්වය වෙනස් විය යුතු බවකි. ඔවුන්ගේ ප්‍රහාරයේ ඉලක්කය වී ඇති නායකයින් හා ඇමැතිවරුන් දෙස බැලූ විට පෙනෙන්නේ ආර්ථිකය මෙම මාවතෙහි ගෙන යන්නට උරදුන්නේ එම නායකකාරකාදීන් බවයි. එයින් ඇත්ත ප්‍රශ්නය පැහැදිලිය.

මේ ඇතැම් නායකයන්ගේ පෞද්ගලික හැසිරීම්වල හා ක්‍රියාකාරීත්වයෙහි ඇතැම් ප්‍රශ්න තිබිය හැකිය. අධිමානය හෝ උද්ධච්චකම් ද තිබිය හැකිය. එසේ වුවද පැහැදිලිව තේරුම්ගත යුතු කාරණය වන්නේ ඇත්ත විරෝධය එල්ල වී තිබෙන්නේ එම පුද්ගලයින්ගේ දුර්ගුණවලට නොවන බවයි. ඔවුන් ක්‍රියාත්මක කරන ආර්ථික පිළිවෙතට බවයි.

ඉදිරියේ ඇති සටන

දැන් තීරණය කළ යුතු කරුණ වන්නේ මේ කියන ජනමතයට අනුව ආණ්ඩුවේ නායකත්වය හා ප්‍රතිපත්ති වෙනස් කිරීම අවශ්‍ය ද? යන්නයි. පෙනෙන්නට තිබෙන්නේ එම වෙනස කළහොත් ආණ්ඩුවට බලයේ සිටිය හැකි බවයි. එසේ වුවද එය ද හරියටම කිව නොහැක්කේ මෙම ක්‍රමය වෙනස්කොට පරණ පාරේ යනවා නම් එයට තෝරාගත හැකි හොඳම නායකත්වය පොහොට්ටුව සමඟ වන බැවිණි.

අනෙක් අතට මෙම ප්‍රතිපත්ති වෙනස්කොට ආණ්ඩුවක් බලයේ සිටියද එයින් රටට වෙන සෙතක් නැත. රට නැවතත් ගමන් කරන්නේ අගාධයකටය. ටික කලෙකදී නැවත වළේ වැටුණු විට ජනතාවට යළිත් සිහිය සැපත්වනු ඇත. එක්කෝ කරන්නට තිබෙන්නේ එම අගාධයට ගොස් නැවත ඉගෙනගන්නට ජනතාවට අවස්ථාව ලබාදීමයි. එසේ නැත්නම් කළ යුතු වන්නේ මහජනයා තුළ ඇති මෙම විනාශකාරී මතවාද වෙනස් කිරීමට සටන් වැදීමයි. ආණ්ඩු බලයේ කුමන වෙනසක් සිදුවුවද මෙම මතවාදී සටන කළ යුතුමය. අනාගතයේ හෝ රට ගොඩගත හැකි වන්නේ ජනතාවගේ ධනය විනාශ නොකරන එබඳු විනයගත විවෘත ආර්ථික ප්‍රතිපත්තියකිනි. එය ජය ගැනීමට සටන් වැදීම මෙරට ප්‍රබුද්ධ ජනයාගේ වගකීමකි.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *