අත් බෝම්බය සහ ගස්තර දේශපාලනය – අනුර සූරියබණ්ඩාර

2018 පෙබරවාරි 21 දින බණ්ඩරවෙල සිට දියතලාව දක්වා ධවනය වූ බස්රථයක් තුළ සිදු වූ බෝම්බ පිපිරීම මෙරට ජාතිවාදී දේශපාලකයන් විසින් සිය මල්ල පුරවා ගන්නට උපයෝගී කර ගනිමින් තිබෙන බව පැහැදිලිය. ඔවුන් අතිශය නිර්ලජ්ජිත ලෙස සහ කාලකණ්ණි ලෙස උත්සාහ කරන්නේ එම බෝම්බය ත්‍රස්තාවාදි ක්‍රියාවක් ලෙස හුවා දක්වන්නටය. මෙරට සිටින ඉතාම පහත් පෙළේ ජඩ අවස්ථාවාදී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලකයන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සරත් වීරසේකර ආදින් එකී කටයුත්තේ පෙරමුණ ගෙන සිටිති. ඔවුන් උත්සාහ ගන්නේ බෝම්බය උපයෝගීකර ගනිමින් මහින්දවාදය තවත් වටයකින් පෝෂණය කරන්නට බවට සැකයක් නැත.

බස් රථයේ පිපිරුම එල්.ටී.ටී.ඊ. සමඟ ගැටගසන්නට ඔවුන්ට පහසුවී ඇත්තේ කරුණු කීපයක් නිසාය. එකක් මීට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් බස්වල බෝම්බ පිපිරවීම සිදුකර කිබීමය. දෙවැනි කරුණ බස්රිය යාපනයේ සිට පැමිණි බවට මුලින් කියැවුණු අදහසය. තෙවැන්න බෝම්බය පිපිරුණේ හමුදා කඳවුරු පිහිටි ප්‍රෙද්ශයක්වන දියතලාව කඳවුරු ප්‍රදේශය ආසන්නයේ වීමය. සිව්වැනිව එම බස්රියේ හමුදා සෙබළුන් වැඩි පිරිසක් ගමන් කරමින් සිටීම සහ තුවාල ලැබූ පිරිසට හමුදා සෙබළුන්ද අයත්ව සිටීමය.

එකී කරුණු අතරින් දෙවැන්න එනම් බස්රිය යාපනයේ සිට පැමිණි එකක්ය යන්න මේ වන විට අමූලික බොරුවක් බවට පත්ව තිබේ. ඇත්ත වන්නේ යාපනයේ සිට පැමිණි බසයෙන් පැමිණි පිරිස වෙනත් බස්රථයකට මාරු කළ පසුව එම බසයේදී බෝම්බය පුපුරා ඇති බවයි. එහෙත් බොම්බය එල්.ටී.ටී.ඊ. එකක් යැයි කියන්නට අඹුඩය ගසන ඊනියා ජාතිවාදිහූ යාපනයේ සිට පැමිණි බසයෙන් වෙනත් බසයකට සෙනඟ මාරු කළ කතාව හිතා මතාම අමතක කරති. බෝම්බය පිපිරුණේ යාපනයේ සිට පැමිණි බසය තුළ නොවන බව හැරිහැටි සමාජයට කියන්නට ආණ්ඩුවටද වැඩ පිළිවෙළක් නොතිබීම මේ රටේ අවාසනාවකි.

ජාතිවාදීන් උත්සාහ කරන්නේ බසය තුළ පිපිරුණේ අත් බෝම්බයක් නොව ත්‍රස්වාදීන් විසින් ඇට වූ බෝම්බයක්ය කියන අදහස සමාජගත කරන්නටය. බෝම්බය පිපිරුණේ බණ්ඩාරවෙල සිට හෙබරව දක්වා බණ්ඩාරවෙලින් ගමන් ආරම්භ කළ බසයක් තුළය. බෝම්බයක් අටවා තිබුණේ නම් ඒ බණ්ඩාරවෙලින් ගමන පටන් ගත් බසය තුළය. එවිට එය යාපනයේ දී ඇටවූ බෝම්බයක් වන්නට පුළුවන්කමක් නැත. බෝම්බය ඇටවිය යුත්තේ බණ්ඩාරවෙල දී බැවිනි. විමල් වීරවංශලා කියන්නේ බණ්ඩාරවෙල දී පෞද්ගලික බසයක බෝම්බ අටවන්නට තරම් එල්.ටී.ටී.ඊ. ය තවමත් ශක්තිමත් බවද? එසේ නම් ඔවුන්ගේ අපුච්චා මහින්ද රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. ය පරාජය කළාය යන කියමනද පිළිගත නොහැකිය. බෝම්බය පිපිරුණු බස් රථයේ අංකය වන්නේ UPNF 9990 බව කියැවේ. එය පෞද්ගලික බස්රථයක් බව අංකය අනුව පැහැදිලිය. පෞද්ගලික බස්රියක් නම් එය ගාල් කෙරෙනු ඇත්තේ ද පෞද්ගලික අංගනයකය. එවැනි තැනකදී බෝම්බයක් සවිකිරීම ප්‍රායෝගිකව එල්.ටී.ටී.ඊ.යට කළ හැකිද?

බසයේ මගීන්ගේ ප්‍රකාශ වලින් පැහැදිලි වන්නේ බසයේ සිටි සෙබළෙක් බෑගයක් ගැනීමට තැත් කරද්දී බිමට වැටුණු යමක් පුපුරා ගිය බවයි. පුපුරා ගියේ අත් බෝම්බයක් බව පරීක්ෂකයන්ගේ මතයයි. හමුදාවේ ඇතැමුන් බෝම්බ පතුරම් ආදිය රහසින් නිවෙස්වලට රැගෙන ඒම හෝ පතාලයට විකිණීම කරන බව රහසක් නොවේ. බණ්ඩාරවෙල දී පුපුරා ගියෙ එවැන්නක් බවට සැකකරන්නට අවශ්‍ය සාධක අවශ්‍ය පුමාණයටත් වඩා තිබේ.

විමල් වීරවංශලා අහන්නේ බිමවැටුණු විට අත්බෝම්බ පුපුරණවාද කියාය. ගල්කටස් විශේෂඥ වීරවංශලාට නොතේරුණා වුව ද සැබෑ බෝම්බ විශේෂඥයක් පවසන්නේ බෝම්බය පුපුරනවාද නැද්ද තීරණය වන්නේ පින් එකේ තත්ත්වය අනුව බවයි. ජාතිවාදීන්ගේ තවත් තර්කයක් වන්නේ අත් බෝම්බයක් පිපිරීමෙන් මෙතරම් හානියක් සිදුවන්නේද යන්නයි. නමුත් බෝම්බ පිළිබද විශේෂඥයන් කියන්නේ හානියට හේතුව බෝම්බයම නොව එය ඉන්දන ටැංකියට සහ එන්ජිමට ආසන්නයෙන් පිපිරීම බවයි.

මෙරට අවසන් වරට බස් බෝම්බයක් පිපිරුණේ 2008 සැප්තැම්බර් 16 වනදා මාර්ග අංක 155 මට්ටක්කුලිය සොයිසාපුර බසයකය. එකී බස් බෝම්බය සඳහා එල්.ටී.ටී.ඊ. ය උපයෝගී කරගෙන තිබුණේ TNT, RDX  වැනි අධිබල පුපුරන ද්‍රව්‍ය බව කවුරුත් දන්නා නමුත් අද ජාතිවාදින් අමතක කරන කරුණකි. බණ්ඩාරවෙල බස්රථය තුළ පිපිරුණේ එවැනි පුපුරන දුව්‍ය යොදා ගැනූ බෝම්බයක් නම් බසයේ සැකිල්ලවත් ඉතිරිවන්නට ඉඩක් නැත. චැසියේ අංකය පවා වෙනස් විය යුතුය. නමුත් එවැන්නක් සිදුව තිබුණේ නැත. අනෙක TNT, RDX වැනි අධිබල පිපිරුම් ද්‍රව්‍ය යොදා ත්‍රස්තවාදින් තැනූ බෝම්බ වලින් අධික කම්පනයක් ඇතිවේ. ඒවා සඳහා යොදා ගැනුණු යකඩ බෝල ආදිය සෑම අත විසිරේ. මිනිසුන් මියයන්නේ කම්පනයෙන් සහ යකඩ බෝල වැදීම හේතුවෙනි. එවැනි බෝම්බයක් මේ බසය තුළ පිපිරුවේ නම් ඉතිරි වනු ඇත්තේ මස් වැදලි සමූහයකි. මිනිසුන් මිය යනු ඇත්තේ ගින්නෙන් නොව කම්පනයෙන් සහ යකඩ බෝල ආදිය වැදීමෙනි. නමුත් මේ බෝම්බයෙන් තුවාල මිස මරණ සිදුවී නැත.

උදය ගම්මන්පිල පවසා තිබුණේ වසර නමයක් සුරක්ෂිතව පුපුරන ද්‍රව්‍ය තබා ගත නොහැකි බවයි. ඉන් ඔහු අදහස් කරන්නේ මේ පුපුරා ගියේ ත්‍රස්තවාදින්ගේ නැවුම් බෝම්බයක් බව නොකියා කියන්නටය. ඔහුගෙන් ඇසිය යුතු සරල ප්‍රශ්නය වන්නේ එල්.ටී.ටී.ඊ.ය අවුරුදු තියක් යුද්ධ කළේ පුපුරණ ද්‍රව්‍ය සඟවා තබාගෙන නොවේද කියාය. ඔවුන් යුද්ධයට අවශ්‍ය ජෙලට්නයිට් ආදිය අපි අහස් කූරු කඩෙන් ගන්නවා මෙන් එදිනෙදා වෙළදපළෙන් ගත්තාද කියාය. ගම්මන්පිලගේ එකී මෝඩ කතාවට පිළිතුරක් එම ප්‍රකාශය පළ වූ පුවත්පතේම එම පිටුවේම පළවී තිබුණේ ඔහුගේ ජාතිවාදි සගයා සරත් වීරසේකරගේ හඬිනි. ඔහු කියන්නේ ඒ අය ළඟ එනම් එල්.ටී.ටී.ඊ.ය ළඟ භූගත ආයුධ ඕනෑතරම් තිබෙනවාය කියාය. ඔහු ඒවා ඇති තැන් දන්නවා විය හැකිය. ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කළ යුතුය. නමුත් ඔහුගේ කතාවෙන් පුපුරන ද්‍රව්‍ය අවුරුදු නමයක් තබා ගත නොහැකිය යන ගම්මන්පිල තර්කය පුස්සක් වේ.

ගම්මන්පිලගේ තර්කය බොරුකරන තවත් මතයක් හමුදාපති මහේෂ් රත්නායක මහතා හෙළිදරව් කර තිබුණි. එනම් පරණ අත් බෝම්බ බිම වැටුණු විට පින් එක කැඩීයාමේ සම්භාවිතාව වැඩි බවයි. බෝම්බය සම්බන්ධව පරික්ෂා කිරීමට යුද හමුදා පොලීසියට අමතරව යුද හමුදා පොලිසියේ මේජර් ජනරාල්වරයකු ඇතුළු පිරිසක් කටයුතු කරති. ඊට අමතරව පොලීසියත්, රසපරීක්ෂක දෙපාර්තමේන්තුවත් වෙනම පරීක්ෂා කරති. බෝබයක් පුපුරණ වේගයෙන් පරීක්ෂණයක ප්‍රතිඵල ලැබෙන්නේ නැත. එතෙක්, පාලුගෙයි වළං බිඳින්නාසේ බෝම්බය ඔස්සේ ජාතිවාදය, භීෂණය වපුරා පටු දේශපාලන වාසි ගන්නට තැත්කරන බඩගෝස්තරවාදින්ට කටකලියා දැමීමටත් ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍යය. නැතහොත් සිදුවන විනාශය බරපතළ වනු ඇත.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *