ගොයම් කපයි සහල් ගෙනෙයි – සම්පත් අමරසිංහ

ආණ්ඩුවේ යම් යම් දේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ වියයුතු හොඳම ආකාරයෙන් නොවන බව පෙනෙන්නට තිබේ. එක් නිදසුනක් වශයෙන් පොහොර සහනාධාරය පිළිබඳ ප්‍රශ්නය ගත හැකිය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර  පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරුනේ සාපේක්ෂව සරල ක්‍රමයක් බව කියන්නට පුළුවන. එනම් ගොවියාට අවශ්‍ය පොහොර ප්‍රමාණය අදාළ  ආයතනය හෝ ගොවිනියාමකවරුන් වැනි ගොවියාට සමීපතම නිලධාරින් හරහා බෙදා දීමයි. අලුත් ආණ්ඩුව ඒ ක්‍රමය වෙනුවට මුදල් ලබා දීමේ ක්‍රමයක් හදුන්වා දුන් අතර එහි දී ලබාදුන්නේ පෙහොර සඳහා වැයවන මුලු මුදලම ද නොවේ. එසේ ලබාදුන් මුදල ලබා ගැනීම සඳහා බැංකු ගානෙ රස්තියාදු වීම ආදිය ගොවියාට දැනුණේ නැති හිසරදයක් තමා පිට පැටවීමක් වශයෙනි. යැපුම් කෘෂිකර්මයේ නියැලෙන මෙරට සාමාන්‍ය ගොවියාට බැංකු ක්‍රම ආදිය තාමත් දුරස්ථබව වටහා නොගැනීම මෙහි දී ආණ්ඩුව දැක්වූ අසමත් කමයි. මැතිවරණ ප්‍රතිඵල නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ මේ වන විට ආණ්ඩුව පොහොර සඳහා මුදල ඉක්මනින්ම ගොවියාට ලබා දීමට තීරණය කර අතැයි පැවසේ, එතැනදී ද පෙර පැවති අඩුපාඩුව වන බැංකුවට යාමේ කරදරයෙන් ගොවියා නිදහස් කිරීමක් සිදුව ඇති බවක් පෙනෙන්නේ නැත. මුදල් වෙනුවට පොහොරම ගොවියා අතර පත් කරන්නටත් උසස් මට්ටමේ පොහොර පමණක් ගොවියා අතර පත් කරන්නටත් අවශ්‍ය යාන්ත්‍රණය ආණ්ඩුව සතුව පවතිද්දී සිදු කරන මේ ‘වටේ යාම’ කුමක් අරභයාද යන්න පැහැදිලි නැත. පොහොර සහනාධාරය වෙනස් කිරීමේ දී ආණ්ඩුව පැත්තෙන් මතු කළ අදහසක් වූයේ රසායානික පොහොර වෙනුවට ගොවියා කාබනික පොහොරවලට යොමුකරන්නට ඉන් බලාපොරොත්තු වන බවයි.  ආණ්ඩුව අවුරුදු තුනක් සම්පූර්ණ වන විට මෙරට කාබනික පොහොර භාවිතයෙන් සැලකිය යතු වර්ධනයක් සිදුව ඇත්දැයි අප දන්නේ නැත. තවත් අතකින් ගත්කල මහාපරිමානයෙන් ගොවිතැන් කෙරෙන ගොවිජනපද ව්‍යාපාර ප්‍රදේශ ආදින්හි දී කාබනික ගොවිතැන කොතරම් ප්‍රායෝගිකද යන්න වෙනම සොයා බැලිය යතු කරුණකි. පොහොර ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව ඒ ආකාරයෙන් හෝ පියවර ගත්තේ ප්‍රශ්නය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ගැඹුරට ගිය පසුව බව කිව හැකිය. ඒ ද ප්‍රශ්නය කාලයක් පුරා පවතින්නට ඉඩහැරීමෙන් පසුවය. අලුත්ම තත්ත්වය වන්නේ අලුත් කන්නයේ වී අස්වැන්න මිල දී ගැනීමේ ගැටලුවට අස්වැන්න නෙළීම ආරම්භ වනතුරුත් විසදුමක් ලබා දී නොමැති වීමයි.

පෙරවාරි 25 ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක පුධාන ප්‍රවෘත්තියෙන් හෙළිදරව් කර තිබුනේ වී අස්වනු ලැබෙමින් පවතින තත්ත්වයකත් සහල් ආනයනය නතර වී නැති බවයි. එනම් කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය තවමත් සහල් පිටරටින් ගෙන්වමින් සිටින බවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සිසිර කුමාර මහතාගේ අදහස වන්නේ සහල් ආනයනය වහා නතර කළ යුතු බව වුවත් එය එසේ සිදු වී නැත. ඒ නියං කාලගුණ තත්ත්වය හමුවේ පවා මෙවර මහ කන්නයෙන් මාස හයකට ප්‍රමාණවත් වී අස්වැන්නක් ලැබිය හැකි බව අදාළ අංශවල තක්සේරුවයි.

ගොවීන් පවසන ආකාරයට වී අලෙවි මණ්ඩලය මෙතෙක් වී මිල දී ගන්නට සූදානමක් නැත. එසේම, වී මිල ද මෙතෙක් වී අලෙවි මණ්ඩලය විසින් තහවුරු කර නැත. සහල් ආනයනය නතර නොකරන්නේ නම් තමන්ගේ වී අස්වැන්නට සතුටු දායක මිලක් නොලැබෙනු ඇතැයි ගොවීහු කනස්සල්ල පළ කරති.

වී අලෙවි මණ්ඩලය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පෞද්ගලික මෝල් හිමියන්ට වාසි දායක වටපිටාවක් ගොඩනැඟී ඇති බව ගොවීන්ගේ අදහසයි. වී අලෙවි මණ්ඩලයේ නාඩු කිලෝවක මිල රුපියල් 38ක් සහ  සම්බා කිලෝවක මිල රුපියල් 41ක් වුව ද රුපියල් 17ත් 29ත් අතර මිලකට වී පෞද්ගලික අංශයට විකිණීමට සිදුව ඇතැයි ගොවීහු කියති. ගොවියාට සාධාරණ මිලක් වී වලට ලැබෙන්නට නම් වී අලෙවි මණඩලය ක්‍රියාත්මක විය යුතු බව ගොවීන්ගේ අදහසයි. කන්තලේ ගොවි ව්‍යාපාරයේ සභාපති ඉන්දික පරණවිතාන මහතා ඉහත කී පුවත්පතට පවසා තිබුණේ වී අලෙවි මණ්ඩලයේ වී මිල හා මිල දී ගන්නා ස්ථාන නියම කරන තෙක් අඩු මුදලට මෝල් හිමියනට වී විකිණීමට ගොවියනට සිදුවනු ඇති බවයි. ඉහත පුවත්පතට අදහස් දක්වමින් වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී.දිසානායක මහතා පවසා තිබුණේ වාරිමාර්ග කුඹුරුවල අස්වනු නෙලීම ඇරඹුණු පසුව වී මිලදී ගැනීම ආරම්භ කරන බවකි. එසේම, ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා වී මිලද දී ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට ද අපේක්ෂා කරන බවයි.

වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ඇරඹීමට වාරි කුඹුරුවල අස්වැන්න දෙස බලා සිටින්නේ මන්ද යන්න ගැටළුවකි. වාරි කුඹුරේ හෝ වේවා අහස් ලියැද්දේ හෝ වේවා අස්වැන්න නෙළීම ආරම්භ වූ වහා වී මිලදී ගැනීමට යොමුවීමේ හැකියාව වී අලෙවි මණ්ඩලයට තිබිය යුතුයි. අස්වැන්න නෙළීම ආරම්භ වූ වහා වී මිල දී ගැනීමට යොමුවීමේ හැකියාව වී අලෙවි මණ්ඩලයට තිබිය යුතුය. අස්වැන්න නෙළීම ආරම්භ වූ වහා වී මිල දී ගැනීමට ඔවුන් සූදානම් වී සිටිය යුතු වුවත් ගොවීන්ගේ සහ නිලධාරින්ගේ ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ එය එසේ නොවන බවයි. සියල්ල අවසන් වන්නේ නැවත වතාවක් ආණ්ඩුව අපහසුතාවට පත්කරන ප්‍රශ්නයක් බවට වී ඇස්වැන්නද පත්වීමෙන් විය හැකිය.

සෑම කන්නයකම වී මිලදී ගැනීමට එනම් ගොවියාගේ පාර්ශ්වයෙන් වී අලෙවිකර ගැනීම ප්‍රශ්නයක් බවට පත්ව උද්ඝෝණ පොලීම් මැද අවසන්වන බව ඉතිහාසිය පුරාම දක්නට ලැබෙන කරුණකි.

නිලධාරින් අටෝරාසියක් සිටියද අමාත්‍යාංශ කොතෙක් තිබුණ ද කටයුතු සිදුවන්නේ සිදුවිය යුතු හොඳම ක්‍රමයට නොවේ. එකී වරද නිවැරදි කර ගන්නට කිසිවතු උත්සාහ කරන බවක්ද පෙනෙන්නට නැත.

සම්පත් අමරසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *