අන්තරේට පිස්සුද? හැටිද? – වෛද්‍ය එච්.රණසිංහ

අධ්‍යාපනය ලැබීමට සිටින අය අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම සම්බන්ධයෙන් කටයුතු කිරීම උචිත නොවන්නකි. සය­ිටම් දරුවන් අපේ රටේම දරු පිරිසකි. ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට නිදහසක් තිබිය යුතුය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටට තව දුරටත් අවශ්‍යයද නැද්ද යන ප්‍රශ්නය සයිටම් සිද්ධියත් සමඟ යළි කතා බහට ලක්ව තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ වසර 2009 දී ආරම්භ කළ සයිටම් ආයතනය සම්බන්ධයෙන් පැවැති විශ්වාසය මත එයට තම දරුවන් ඇතුළු කිරීමට මවුපියෝ පෙළඹුණහ. ළමුන් 800 දෙනකු පමණ සයිටම් ආයතනයට ඇතුළත්ව අධ්‍යාපනය ලැබුවද වසර 09 ක් යන තුරුත් ඔවුන්ට වෛද්‍ය උපාධිය ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ මෙරට කිසිඳු ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් විධිමත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොතිබීම නිසාය.

රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළු වීම සඳහා ඉසෙඩ් ස්කෝර් ඉහළින්ම සලකා බැලෙන කොළඹ,මහනුවර,ගාල්ල,මාතර වැනි ප්‍රධාන නගරවල උසස් පෙළ ඉහළින්ම සමත් වූ දරුවන් අධ්‍යාපනය ලබන බව කවුරුත් දන්නා කරුණකි. උසස් පෙළ ඒ සමාර්ථ තුනක් සහිතව සමත් වුවත් වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීම පිණිස රජයේ විශ්වවිද්‍යාලයකට මෙම දරුවන්ට ඇතුළත් වීමට නොහැකි වූයේ ඔවුන් අදක්ෂ නිසා නොව වෛද්‍ය පීඨයට තෝරා ගන්නා සිසු ප්‍රමාණය සීමා සහිත වීම හේතුවෙනි. දුෂ්කර පළාත් ලෙස නම් කර තිබෙන ප්‍රදේශවල පාසල් දරුවන් සඳහා සහනයක් ලෙස ලබාදෙන කෝටා හේතුවෙන් පහසුකම් සහිත දිස්ත්‍රික්කවල ඉසෙඩ් ස්කෝර් අගය ඉහළින් සලකා බැලීම මෙරට විශ්වවිද්‍යාල සඳහා දරුවන් තෝරා ගැනීමේදී රජය අනුගමනය කරන ප්‍රතිපත්තියයි. මේ ප්‍රතිපත්තිය හේතුවෙන් උසස් පෙළ ඒ සමාර්ථ තුනක් සහිතව සමත්වන දක්ෂ දරුවන් රැසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වන අවස්ථා බහුලය.

එම දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා රටක ඉඩක් තිබිය යුතුය.මේ රටට එවැන්නක් අවශ්‍ය. නොමැති නම් ඒ පිළිබඳ කතා කරන්නටද අපි කැමැති නැත.

මෙරටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද නැද්ද යන්න රජය තීරණය කළ යුතුය. ලෝකය දිනෙන් දින දියුණු මට්ටමට ගමන් කරද්දී බොහෝ රටවල් පෞද්ගලික අධ්‍යාපනය සඳහා ඇති අවකාශ පුළුල් කරත්දී අප රටක් ලෙස එම අවකාශය සංකෝචනය කිරීම කෙතරම් දුරට නුවණැති ක්‍රියාවක්ද යන්න සිහි බුද්ධියෙන් කල්පනා කර බැලිය යුතුව තිබේ. කාලයක් තිස්සේ සයිටම් දරුවන් වෙනුවෙන් හඬ නැගූ පිරිස් රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නත් දේශපාලනික වශයෙන් රට තුළ පවත්නා කඹ ඇදිල්ල තුළ සත්‍ය යටපත්ව අසත්‍ය උඩ මතුවන තත්ත්වයක් පැහැදිලිව දක්නට ලැබේ. මේ නිසා තවදුරටත් එම අවශ්‍යතාව පිළිබඳව කතා කිරීම ඇත්තෙන්ම ප්‍රතිඵල විරහිත ය. දැන් කළ යුතුව ඇති එකම දේ සයිටම් දරුවන්ට සාධරණයක් ඉටු කිරීමය.ඉන් පසු මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තව දුරටත් පවත්වා ගෙන යායුතුද නැද්ද සම්බන්ධව තීරණයක් ගැනීම රජයට බාරය.

පාඨමාලා කාලය

පෞද්ගලික වෛද්‍ය උපාධිය ලැබීමට මෙරට ලියාපදිංචි වූ දරුවන් වසර නවයක් තිස්සේ ලක්වූ පීඩනය අති මහත්ය.ඇතැම් විට මේ දරුවන් දේශපාලනඥයින්ගේ බයිට් එක විය.අපහාසයට මෙන්ම උපහාසයට ලක්වූ මේ දරුවන් මුදල් ගෙවා පෞද්ගලික අධ්‍යාපනය ලැබීමට යොමුවූ පමණින් ද්‍රෝහීන් ලෙස සැලකීම කිසිසේත් සදාචාරවත් නොවන්නේය.

පෞද්ගලික වෛද්‍ය උපාධිය සඳහා ලියා පදිංචිවූ දරුවන් තමන්ට එරෙහිව නොයෙක් ගැරහුම් එල්ල වෙත්දීත් කිසි විටෙකත් මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ ක්‍රියාවන්ට යොමු වූයේ නැත. ඔවුන් සෑම විටම නීතියට ගරු කරමින් කටයුතු කළ බව අප අමතක නොකළ යුතුය. පසුගිය රජය සමයේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමෙන් පසු ඊට ඇතුළත්ව අධ්‍යාපනය ලද සිසුන් පාඨමාලා කාලය අවසන් කර ඉන් පිටතට පැමිණීමට නියමිතව සිටියේ වත්මන් රජය බලයට පැමිණි අවධියේ ය. රජයන් දෙකක පාලන කාලය තුළ පාඨමාලා ආරම්භයත් අවසානයත් සනිටුහන් කිරීමට සිදු වීමෙන් සයිටම් සිසුන් කිසියම්වූ දේශපාලන ක්‍රියාවලියක ගොදුරක් වූයේද යන සැකය බැහැර කළ නොහැකි සත්‍යයකි.

ශිෂ්‍ය සංගම්

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සයිටම් සිසුන්ගේ සුදුසුකම් අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධිත වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා,කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ඇතුළු සෙසු පීඨාධිපතිවරු සමඟ කළ සාකච්ඡාවකින් පසු ජනපතිවරයා අදාළ තීරණයට එළඹ ඇතත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් යළිත් සුපුරුදු පරිදි ඊටද එරෙහි වී ඇත.සයිටම් විරෝධී සටන තුළ ක්‍රියාකාරී වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා මෙහිදී තරමක් සුබවාදී පියවරක් අනුගමනය කරත්දී විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් මතයම දරමින් කටයුතු කිරීම ප්‍රශ්නය තවත් අවුලක් වෙත කැඳවා ගෙන යාමකි. සයිටම් ආයතනය පාලනය වන්නේ උසස් අධ්‍යාපන අමත්‍යාංශය යටතේය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වෙයි. ගැසට් නිවේදනයක් මඟින් සයිටම් අහෝසි කර එම දරුවන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීම දැන් කළ යුතුව තිබේ. එය පියවර ගණනාවක් ඔස්සේ කළ යුතු වැඩපිළිවෙළකි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සයිටම් දරුවන්ගේ ප්‍රශ්නයට අවංකව විසඳුමක් දෙන්නට උත්සාහ කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එතුමාගේ කකුලෙන් අඳින්නට උත්සාහ කරන පිරිසක් සිටින බව පෙන්වා දීමට කැමතිය.

ජනපතිවරයා මෙම ගැටලුවට විසඳුම් දෙන්නට උත්සාහ ගත් අවස්ථා කිහිපයක් දක්නට ලැබිණි. එම සෑම අවස්ථාවකදීම අදාළ විසඳුම් මඩේ ගිල්වා දැමීමට කුහක දේශපාලනයට හැකි විය. මේ වන විට සයිටම් සිසුන් 82 ක් වෛද්‍ය උපාධිය සමත්ව සිටිති. මතුවූ ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරයකු ලෙස සේවය කිරීමට අවකාශ ඉල්ලා ඔවුන්ට අභියාචනාධිකරණයට යෑමට සිදුවිය. එමඟින් සිසු අයිතිය තහවුරු කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබේ. මෙම සිසුන් 82 දෙදෙනා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට යොමු කිරීම සහ සෙසු සිසුන් ඊට යොමු කිරීම ඇත්තෙන්ම කාරණා දෙකකි. අවසන් විභාගයට පෙනී සිටි සිසුන් හා නොසිටි සිසුන් එකම තරාදියකට දමා කිරීම තුළින් විභාගය ලියූ දරුවන්ට අසාධරණයක් සිදුවෙයි. ඒ සම්බන්ධවද රජය අවධානය යොමු කළ යුතුව තිබේ.

දේශපාලන වාසි

තම දරුවන්ට මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය මෙරටදී ලබා දීමට මවුපියන් පෙළඹුණේ යහමින් මුදල් ඇති නිසා නොවන බව අපි ගත යුතුව ඇත්තෙමු. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට යොමුවූ මෙම දරුවන් රටේ පුරවැසියන්ය. අද ඇතමුන් කටයුතු කරන්නේ ඔවුන් මෙරට පුරවැසියන් නොවන ගාණටය. ජනපතිවරයා මෙම දරුවන්ගේ තත්ත්වය පැහැදිලිව හඳුනා ගෙන තිබීම වාසනාවකි. එතුමා දේශපාලන වාසි නොතකා ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට අවංක උත්සාහයක් ගනිමින් සිටියි. රටක අධ්‍යාපන නිදහස සුරැකිය යුතු සේම අධ්‍යාපනයට ඇති අයිතියද සුරක්ෂිත විය යුතුය. සයිටම් දරුවන්ට අද අහිමිව තිබෙන්නේ එයම අයිතියයි.

ඔවුන් මෙරටට වැඩදායී යමක් සිදු කරන මවුපියන්ගේ දරුවන්ය. නිදහස් අධ්‍යාපනය රජයේ පාසල් පද්ධතිය තුළින් ලැබුවද උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් අතරින් අති බහුතරය පෞද්ගලික පන්ති මඟින් තම දැනුම මුවහත් කර ගන්නා බව රටම දන්නා කරුණකි. සන්නිවේදනයේ හා ප්‍රවාහන අංශවල දියුණුව තුළින් අද දුෂ්කර පළාත්වල දරුවන් පවා ස්වයං අධ්‍යයන කටයුතුවල නිරතවන අතර ඔවුහු නගරයේ ප්‍රමුඛ පෞද්ගලික පන්තිවලින් දැනුම ලබා ගනිති.

පාසල් පද්ධතිය තුළින් උසස් පෙළ විෂය දැනුම ලබාගැනීම පසෙක තබා දරුවන් පෞද්ගලික පන්ති සඳහා යොමුවී‍ම කලක පටන් පවතින්නා වූ ප්‍රවණතාව නිසා බදුල්ලේ දරුවාද මහනුවර දරුවාද එකම පෞද්ගලික පන්තියක අධ්‍යාපනය ලබති. එය කිසිසේත්ම වැරදි නොවන නමුත් මෙම දරුවන් දෙදෙනාගෙන් වඩා හොඳ ප්‍රතිඵල පෙන්වන නාගරික දරුවාට විශ්වවිද්‍යාල වරම් අහිමිවත්දී අනෙක් දරුවා වෛද්‍ය පීඨයට ඇතුළුවීම තුළ සමාජ සාධාරණත්වය කෙතරම් දුරට ආරක්ෂාවන්නේද යන්න නම් ප්‍රශ්නයකි. වාර්ෂිකව උසස් පෙළට පෙනී සිටින දරුවන් අතරින් 149000 ක් දෙනා වෛද්‍ය පීඨයට ඇතුළු වීමට සුදුසුකම් ලබති. මේ අතරින් මෙරට විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨවලට බඳවාගනු ලබන්නේ 1100 ක් තරම් සුළු පිරිසකි. මෙම දත්ත අනුව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට ඇතුළුවීමේ වරම් ලබන බොහෝ සිසු සිසුවියන්ට වඩා ප්‍රතිපල ඉහළින් වාර්තා කරන ළමුන් 2500 ක් පමණ පිටත ඉතිරිවෙයි.

වෘත්තීන් ලෙස සමා‍ජයේ ඉහළ පිළිගැනීමක් ඇති වෛද්‍යය හෝ ඉංජිනේරු ක්ෂේත්‍රයට තම දරුවා යොමු කිරීමට මෙරට අති බහුතර මාපියන්ගේ අපේක්ෂාවයි.එම ඉලක්කය සපුරාගැනීම පිණිස මෙරට රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළුවීම සඳහා දරුවකු උසස්පෙළ විභාගය ඉහළ ඉසෙඩ් ස්කෝර් අගයක් හිමිකර ගනිමින් සමත්වීය යුතුමය.

ඉසෙඩ් ස්කෝර්

දිස්ත්‍රික් පදනම මත මෙම බඳවා ගැනීම් සිදුකිරීම තුළ පහසුකම් ඇතැයි සැලකෙන කොළඹ,මහනුවර,ගාල්ල,මාතර ආදි ප්‍රදේශවල දරුවන් වෛද්‍ය පීඨය සඳහා ඇතුළුවීමට නම් 1.8 ක පමණ වූ ඉහළ ඉසෙඩ් ස්කෝර් අගයක් ගත යුතු වුවත් බදුල්ල,මොණරාගල,නුවරඑළිය වැනි අඩුපහසුකම් ඇතැයි කියන ප්‍රදේශවල දරුවන් 0.9 වැනි ඉසෙඩ් ස්කෝර් අගයක් ලබා තිබියදීත් අදාළ අපේක්ෂා ඉටුකර ගනිති.එවැනි සංසන්දනයක් තුළින් කිසි ලෙසකින් හෝ එම දරුවන් අවතක්සේරු කිරීමක් සිදු නොකෙරෙන අතරම වඩා ඉහළ ඉසෙඩ් ස්කෝර් අගයක් ලබා තිබියදීත් වෛද්‍යවරයකු වීමේ අරමුණ හකුලා ගැනීමට සිදුවන දරුවන් කෙරෙහි සානුකම්පිතව බැලීම කාගේත් යුතුකමකි.

ප්‍රතිපත්ති

ගැටලුවක් මතුවූ විට ඊට සම්බන්ධ සියලු පාර්ශව සතුටු වන උත්තර දීමට කිසියකුට පුළුවන් කමක් නැත.වඩා සාධාරණ විසඳුම් වන්නේ ඊට එරෙහිවූ බහුතරය එකඟවන විසඳුමකට යෑමය. ජනපතිවරයා කර තිබෙන්නේද එයයි. තොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සයිටම් දරුවන් ඇතුළත් කර ඔවුන් මුහුණදී තිබෙන ගැටලුවට විසඳුමක් ලබාදීම ජනපතිවරයාගේ අදහසවී තිබේ. එයට සයිටම් ප්‍රශ්නයේ පාර්ශ්වකරුවන් වැඩි දෙනා එකඟතාව පළකර ඇත. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී එකමුතුව දැන් එයටද විරෝධය පළකර තිබේ.

අධ්‍යාපනය ලැබීමට සිටින අය අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම සම්බන්ධයෙන් කටයුතු කිරීම උචිත නොවන්නකි. සය­ිටම් දරුවන් අපේ රටේම දරු පිරිසකි. ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට නිදහසක් තිබිය යුතුය. නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට උනන්දු වන විශ්වවිද්‍යාල දරුවන් අධ්‍යාපනයට ඇති නිදහසට බාධා කරන්නේ නම් එයද වරදකි.

සයිටම් ප්‍රශ්නයේදී එකට සිටි කණ්ඩායම්වලට දැන් වගකීමක් පැවරී තිබේ. රජය පිළිගත හැකි විසඳුමක් ලබාදී තිබෙන මෙම අවස්ථාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් එය පිළි ගැනීමට නොහැකි යැයි කියන්නේ නම් එම මතයට එරෙහි හඬක් නැඟීමට ඔවුන්ට හැකියාව තිබිය යුතුය. එසේ නොවුණ හොත් මේ තුළ ඇත්තේ දේශපාලනයක් මිස වෙනත් ක්‍රියාවක් නොවන බව බැහැර කළ නොහැකි වනු ඇත.

අසේල කුරුළුවංශ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *