“ඒව මෙහෙ බෑ මචං” – නිශාන්ත කමලදාස

 මේ පොතක නමකි. පෙබරවාරි 19 දින ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී දොරට වැඩි පොතක නමකි. පොතේ කර්තෘ ජිනසිරි දඩල්ලගේ මහතා ය. එතුමා පරිපාලන සේවයේ සිටි ජේෂ්ඨ නිලධාරියෙකි. කලක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස ද කටයුතු කළ කෙනෙකි. ඊට අමතරව සිය පවුල සමග කැනඩාවට සංක්‍රමනය වී කලක් එහි ගත කළ කෙනෙකි. සිය සේවා කාලය තුළ බොහෝ රටවල ඇවිද ඒවා පිළිබඳව ඒ රටවල භාවිතා කරන විවිධ පරිපාලන හා රාජ්‍ය ක්‍රම පිළිබඳව ද ඒවා මෙහෙයවෙන ප්‍රතිපත්ති පිළිබඳව ද හොඳින් අධ්‍යයනය කළ කෙනෙකි.

අපේ රටේ බොහෝ රාජ්‍ය නිලධාරීන්ට පිටරට සවාරි යෑමට අවස්ථාව තිබේ. ඇතැම් ඒවා දීර්ඝ කාලීන පුහුණු වීම් සඳහා ය. මේ බොහෝ දෙනෙකු ඒ රටවල භාවිතා කරන විවිධ ක්‍රම හා ක්‍රියාවලි ගැන දැනුවත් ව පැමිණෙති. ඊට අමතරව බොහෝ ලාංකික වෘත්තිකයන් දැන් සේවය කරන්නේ වෙනත් රටවල ය. ඔවුන් වරින් වර ලංකාවට පැමිණෙන්නේ ඒ රටවල දී තමන් ලබා ගත් අත්දැකීම් ද සහිත ව ය.

මේ දෙවර්ගයේම අය එක් වන තැනක බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ ඒ රටේ නම් එහෙමයි මෙහෙමයි කියන කතා ය. ඒ හැම විටම අප කම්පා කරන්නේ අපට එසේ නොවිය හැකි ව ඇත්තේ මන්දැයි යන ප්‍රශ්නයෙනි. බොහෝ සංවාද අවසන් වන්නේ “ඒව මෙහෙ බෑ“ යනුවෙන් නිගමනයක් ද සමග ය.

මේ අප අත්දකින දේ දඩැල්ලගේ මහතා ද අත් දැක තිබේ. වෙනස අප මෙන් එය කම්පා වීමකට සීමා නොකර පොතකට ගොනු කිරීමට ඔහු විසින් තීරණය කිරීම ය. එසේ නිගමනය කිරීමෙන් සියල්ල නිමා වන අපේ සංවාද ගැන ඔහු කම්පා වන්නේ ය. දඩැල්ලගේ මහතා අභියෝග කර සිටින්නේ ඒ අවසානයට ය. ඔහු සිය පොත මගින් ඉන් එහාට පියවරක් තැබීමේ අවශ්‍යතාවය අපට ඉදිරිපත් කරයි.

දඩල්ලගේ මහතාගේ කර්කෂ විවේචනයට මුලින් ම හසු වන්නේ මෙරට අධ්‍යාපනය යි. හොඳම පාසල ළඟ ම පාසල ලෙස දැක්වුව ද එය තවමත් පවතින්නේ සිහිනයක් ලෙස ය. කටකහනවාට කියනවා විනා එය යථාර්ථයක් බවට පත් කරන්නට උනන්දු වන අය අඩු ය. දෙමව්පියන් උත්සුක වන්නේ නගරයේ ජාතික පාසලකට ළමයෙකු ඇතුළත් කර ගැනීමට ය. ඒ ගැන ගන්නා වෙහෙස හා කරනා බොරු ඔහුගේ උපහාසයට ගොදුරු වෙයි. ඉන් අනතුරුව කුඩා දරුවාගේ නින්ද අහිමිකරමින් උදෑසන නැගිටුවා බොහෝ විට කුසගින්නේ ම ඉතිරි පැය එක එකහමාර නගරයේ දුමාරය මැදින් යන දුෂ්කර ගමනට යොමු කරන දෙමාපියන් ඒ වෙහෙස දෙවැනිවරට ද විඳ පැමිණෙන දරුවන් නැවත පන්ති දක්කවා උන්ගේ ළමා විය ද උදුරා ගෙන කරන විගඩම ඔහු සෝපාහසයෙන් සඳහන් කරයි. කැනඩාවේ තම දරුවන්ට පාසල් ලබා ගත් සරල ආකාරයත් ළගම පාසල වෙත ගොස් එහි ලද සිප් සතරත් පිළිබඳව ද ඔහු දීර්ඝ විස්තරයක නියැලෙයි.

අධ්‍යාපනයේ නිදහස

සරසවියට ඇතුළු වීම අරගලයක් වන සැටිත් අරගලයකින් ඇතුළට ගිය ද ඒ තුළ ඇති සීමාසහිතකමුත් ඔහුගේ ලේඛනයට හසු වෙයි. ඊට ප්‍රතිපක්ෂව ඔහු දුටු කැනේඩියානු අත්දැකීම කොතරම් වෙනස් දැයි ඔහු කියයි. එහි සරසවි අධ්‍යාපනයට මුදල් ගෙවිය යුතු නමුත් එය බොහෝ සෙයින් නිදහස් එකක් වන්නේ කෙසේදැයි ඔහු පහදයි. නිදහස් අධ්‍යාපනය රැක ගන්නට පෙළපාලි යන අය අධ්‍යාපනයේ නිදහස අවුරන්නේ කෙසේ දැයි ඔහු පැහැදිලි කරයි. අධ්‍යාපනයේ නිදහස ගැන කියන ඔහුගේ වචනවලට අපි සවන් දෙමු.

“උසස් පෙළ සහතිකයෙන් පසු උපාධියක් ලබා ගැනීමට එක් විශ්ව විද්‍යාලයක ලියාපදිංචි වුවත් වෙනත් පහසු විශ්ව විද්‍යාලයකින් අදාල විෂයන් සමත්විමට ද අවස්ථාව ලබා දී ඇත…..ලියාපදිංචි වූ පසු අර්ධකාලීන රැකියා කරමින් හෝ වසර ගණනාවකින් වුව ද උපාධිය ලබා ගැනීමේ ඉඩකඩ ඇත. කෙසේ වුව ද විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලයේ ලබා දෙන එකක් නොවන අතර ඕනෑම අයෙකුට ඕනෑම වෙලාවක විශ්ව විද්‍යාලයට ඇතුළත් විය හැකි ඉවත් විය හැකි නැවත පැමිණිය හැකි නිදහස් අධ්‍යාපන ක්‍රමයකි.“

මුදල් අයකරන්නේ වුව ද එම අධ්‍යාපනය ලබා ගැනීමට මුදලින් ද උදව් ලැබෙන බව ඔහු කියයි.

“මගේ වැඩිමහල් දියණිය කැනඩාවේ උපාධිය ලබා ගැනීම සඳහා රජය මගින් ලබා දෙන ණය මුදල භාවිතා කළා ය. විශ්ව විද්‍යාල වියදම් මෙන්ම ඇයගේ ජීවත්වීමට මෙන්ම අධ්‍යාපනය සඳහා අවශ්‍ය අනෙකුත් වියදම් සඳහා ද ප්‍රමාණවත් ණය මුදලක් ලබා ගත හැකි විය.“

විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මුදල් අයකිරීමේ වැදගත් කම ඒ මගින් ශිෂ්‍යයා වගවීම ය. වෙනත් රැකියා කරන ගමන් අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වන සේ නම්‍යශීලි ලෙස පාඨමාලා තෝරාගත හැකි නිසා ම ණයක් නොමැතිව වුව ද තරමක් කල් ගත කොට අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමේ ඉඩකඩ එහි තිබේ.

ලංකාවේ නිකම් අධ්‍යාපනය දුන්නා මදිවාට ඉන්පසු රැකියාවක් සැපයීමේ වගකීම ද රජය විසින් දැරිය යුතු ය. කැනඩාවේ එවැනි වගකීමක් රජය නොදරන බව ද ඔහු කියයි.

“උපාධිය සමත් වූ පසු රැකියාවක් ලබා දීමට රජය හෝ විශ්වවිද්‍යාලය හෝ බැඳීමක් නැත. කෙසේ වුව ද ඒ සඳහා මග පෙන්වීමට හා සූදානම් කිරීමට විශ්වවිද්‍යාල බොහෝමයක් විසින් කටයුතු යොදා තිබේ. ඊට අමතරව විශ්වවිද්‍යාල සමයේ ද අර්ධ රැකියා වල නිරත වීම නිසා ඒ ස්ථාන වලම රැකියා ලබා ගැනීමේ ඉඩකඩ ද තිබේ.“

කැනඩාවේ තරුණ තරුණියන් රැකියා ගැන ම බලා සිටින්නේ නැත. ඔවුහු තමන්ගේ ව්‍යාපාරයන් ආරම්භ කිරීමට ද යොමු වෙති. ඒ ගැන ඔහු කියන්නේ මෙසේ ය. ඒ රජය නොකියා කියන ආකාරයක් දක්වමිනි. එය පැත්තකින් අපේ රජය හා ජනතාව කරන දෙය උත්ප්‍රාසයට ද නංවමිනි.

රජය නොකරන දේ

“ඔබට රැකියාවක් කළ නොහැකි නම් ව්‍යාපාරයක් කළ හැකි ය. ඒ සඳහා ඔබගේ වැඩ පිළිවෙළ කුමක් ද? ඔබ නිශ්පාදනය කරන දේ අපට නම් මිලදී ගත නොහැකි ය. ඒ ගැන ඔබ කල් ඇතිව සිතිය යුතු ය. ඔබේ වැඩපිළිවෙළ බැංකුවකට ඉදිරිපත් කරන්නේ නම් ඔබට අවශ්‍ය ම ණය මුදල ඔවුන් ලබා දෙනු ඇත. ඔබ අවශ්‍ය ණය මුදල ඉක්මවා වැඩිපුර ණය ගෙන ඇත්නම් එයට ඔබ වගකිව යුතු ය. රජය ඔබගේ ණය මුදල් තොග වශයෙන් කපා හරින්නේ නැත. ඔබේ නිශ්පාදනය විකුණා ගත නොහැකි නම් ඒවා පාරවල් දිගේ නොහලන්න. ඒවා විකුණා ගැනීමට බැරිව විසි කරනවා නම් නිසි තැනකට ගොස් දමන්න.“

කිසිදු පිළිවෙලක් හෝ ඉලක්කයක් නැති ලංකාවේ සහනාධාර ක්‍රමය ඔහුගේ විමසුමට ලක් වේ.

“මෙම කර්මකාරක සහනාධාර ප්‍රවේශය තුළ නිර්මාණය වී ඇති පිළිකාව නම් සමාජය තුළ බලවත් සේ පැලපදියම් වී ඇති යැපිම් මානසිකත්වය යි. සෑම දෙයක් ම රජය මගින් ලබා දිය යුතුය යන ප්‍රබල ජනතා මතය හැම තැනකම පැලපදියම් ව ඇත. … සෞඛ්‍ය අධ්‍යාපනය උසස් අධ්‍යාපනය පොත්පත් ඇඳුම් වැසිකිලි නිවාස රැකියා සිල් රෙදි සපත්තු බීජ ඇට පැල සියල්ල ලබා දිම රජයේ වගකීමක් බවට පත් ව ඇත. මේවා බෙදීම සඳහාවන උත්සව දේශපාලන මතය ජනතාව අතරට ගෙන යෑමේ ප්‍රවේශය බවට පත් ව ඇත. රාජ්‍ය සේවය ද මේ සඳහා ගොදුරු වී ඇත. රජය බෙදන්නන් හා ජනතාව බෙදිමට ලක්වන්නන් ලෙස කර්ම කාරක සහනාධාර ක්‍රමෝපායන් වර්ධනය වී ඇත. එම සංකල්ප ඉදිරියට එන්නේ ඡන්ද දිනන්න නම් ආණ්ඩුව මොනවා හෝ දෙන්න ඕනෑ යන ප්‍රබල අවශ්‍යතාවය මත ය.“

කොටි වලිගයක්

මෙය කොටි වල්ගයක් වී ඇති බව ද ඔහු ලස්සණට පැහැදිලි කර දෙයි.

“ඒවා තම සමාජ ආර්ථික දියුණුවට එපමණ බලපෑමක් හෝ ප්‍රයෝජනයක් නැතත් ජනතාවට ඒවා අවශ්‍ය වේ. ඒවා එකක් හෝ අඩු කිරීමට හෝ කපා දැමීමට නොහැක. එය ඇති කරන්නේ විශාල සමාජ අර්බුදයකි. සංවිධානය කරන උද්ඝෝෂණ දකින්නට ලැබේ. පාරේ ටයර් පුළුස්සනු ඇත. ඊළගට ඡන්දයට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතමින් අමාරුවෙන් හෝ ඒවා නැවත දීමට සිදු වේ…. ආපසු හැරෙන්නට නොහැක. දේශපාලනය සමග ඇති ඍජු සම්බන්ධය නිසා අඩුකිරිමට හෝ නැවත සමාලෝචනයට ඉඩක් නැත. අනිවාර්යයෙන්ම සිදු වන්නේ මේ සඳහා තවත් එකතු කිරිම පමණකි. කලින් රජයක් ලබා දී තිබූ හෝ ඉදිරිපත් කර ඇති දෙයක් ඊළග රජය වෙනස් කිරීමට හෝ ප්‍රතිසංවිධානය කිරීමට මැලි වන්නේ එය දේශපාලන සිය දිවි නසා ගැනීමක් බැවිනි.“

මේ තියුණු විශ්ලේෂණය අතරේ ඔහු අපට උත්ප්‍රාසය ද රැගෙන ඒමට සූදානම් ය. ඒ ලැබෙමින් පවතින සැබෑ තොරතුරු හරහා ය.

“දැනට ඉදිරියට යමින් පවතින එකක් නම් පාසල් සිසුන්ට වසරකට සපත්තු කුට්ටම් දෙකක් දිමේ සංකල්පය යි. එලෙස සංකල්පයක් ලෙස දියුණු කරන හෝ ඉදිරිපත් කරන දේශපාලන නායකයා සපත්තු දුන් බාප්පා ලෙස සමාජ ගත විය හැකි ය.“

මේ දේශපාලන අවශ්‍යතාවයනට අනුව රාජ්‍ය යාන්ත්‍රණය ද මේ වන විට නැවත සකස් වී හමාර ය. ඒ තුළ ආයතන ගණන ද නිලධාරීන් ගණන ද එක දෙක වී මේ වන විට දෙක හතර ද වී හමාර ය.

“මේවා සියල්ල බෙදීම රජයේ සේවය හරහා සිදු වේ. මේ අනුව රාජ්‍ය සේවය බෙදීම සඳහා වූ යාන්ත්‍රණයක් බවට පත් ව තිබේ. ප්‍රාදේශීය ලේකම් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පද්ධතිය මෙන්ම අදාළ දෙපාර්තමේන්තුවල ප්‍රධාන කාර්යය වන්නේ විවිධ වර්ගයේ බෙදීම් සඳහා කටයුතු කිරීම ය. ග්‍රාම නිලධාරීන් ද ප්‍රමාණවත් නොවී තවත් ගමට නිලධාරීන් පත් වේ. සංවර්ධනයේ නාමයෙන් උපාධිධාරීන් ද මේ කටයුත්තට එක් වේ. මේ අනුව රජයේ බෙදීමේ වැය බරට අමතරව බෙදීමේ යාන්ත්‍රණය ද පුළුල් වේ. මේ සඳහා විශාල දෙපාර්තමේන්තු ද බිහිව ඇත. ජන සවිය දෙපාර්තමේන්තුව, සමෘද්ධි අධිකාරය, දිවිනැගුම දෙපාර්තමේන්තුව යනාදි වශයෙන් ශක්තිමත් හා බලවත් ආයතන රටාවක් මේ අනුව ගොඩ නැගී ඇත.“

මේ බෙදා දීමට සම්බන්ධ වුනු රජයේ ඉහළම නිලධාරියා සිල්රෙදි බෙදා දීම නිසා බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරයට නියම වූ බව සැබෑ ය. ඒ තාක්ෂණික හේතුවක් උඩ ය. ඒ තීන්දුව නිසා බෙදීමේ වැඩ සටහන්වලට අබමල් රේණුවක හානියක් නොවනු ඇතැයි ඔහු කියයි. මින් ඉදිරියට එක් පියවරක් පමණක් අනුගමනය කිරිමෙන් එවැනි වැරදි වලින් බේරී යා හැකි ය. ඔහුගේ ම වචන වලින් ඒ කෙසේ දැයි අපි අසමු.

“සිල් රෙදි බෙදා දී රජයේ ඉහළම නිලධාරියා බරපතළ වැඩ ඇතිව වසර 3 ට බන්ධනාගාර ගත වූ බැවින් රජයේ නිලධාරීන් බෙදීමට බිය වෙනු ඇතැයි මතයක් තිබේ. එහෙත් මැතිවරණ කොමසාරිස් එය ප්‍රශ්නයක් කර ගනු ලබන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු බෙදන්නේ නම් පමණි…. එම සංකල්පය මත මැතිවරණ දින ප්‍රකාශයට එක් දිනක් හෝ පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත හෝ සම්මත වූ පනතක් ඇසුරෙන් බෙදීම පිළිබඳව කිසි දු නිලධාරියෙකු බිය විය යුතු නැත.“

සහනාධාර කුමටද?

වෙනත් රටවල ද සහනාධාර ක්‍රම ඇතැයි කියන ලේඛකයා ඒවා හරයාත්මකව වෙනස් බවත් ඒවා දේශපාලනය ඉලක්කවලට ඉහළින් තිබෙන බවත් පෙන්වා දෙයි. ඒ සහනාධාර මිනිසුන් යැපෙන මට්ටමේ පවත්වා ගෙන යෑමට දෙන සහනාධාර නොව ඔවුන් එයින් මුදවා ගැනීමට, සංවර්ධනයට දායක කර ගැනීමට හා ඔවුන් බලාත්මක කිරීමට දෙන සහනාධාර ලෙස හඳුනා ගනී.

“දරුවන්ගේ අධ්‍යාපනය සෞඛ්‍ය හා පෝෂණය අනාගත ආයෝජනයක් බැවින් එය හැම දෙනාට ම ලබා දේ. එය අවශ්‍ය නොවේ නම් අදාළ පෝරම පුරවා ඉදිරිපත් නොකර සිටීම සෑහේ. ඒ අනුව එය ද ලබා දෙන්නේ අවශ්‍ය අයට පමණි. එය අන්තර්ජාලය ඔස්සේ හෝ “Service Canada” – සර්විස් කැනඩා නමින් ඇති කුඩා රජයේ කාර්යාලයකට ඉල්ලුම්පතක් ලබා දීමෙන් පහසුවෙන් ලබා ගත හැකි ය…. ඔබ රැකියාවක් කළ යුතු ය. එය ඔබගේ අවශ්‍යතාවයකි. … ඔබට රැකියාවක් කිරීමට අපහසු නම් ඒවා ඔප්පු කර සහනාධාර ලබා ගත යුතු ය. ඔබ එම කාර්යාලයට යා යුතු ය. ඔබ එහි දි සත්‍යය ප්‍රකාශ කළ යුතු ය. ඒ අනුව ඔබට කාලයක් ඒ සහනාධාර ලැබෙනු ඇත. ඔබ අබාධිත නම් ඔබ එය ඔප්පු කළ යුතු ය. ඔබගේ ස්වාමි පුරුෂයා ඔබ අතැර ගොස් ඇත්නම් හා කුඩා දරුවන් නිසා ඔබට රැකියාවක් කළ නොහැකි නම් ඔබ ඉදිරිපත් වන්න. ඔබට රජය සහය වනු ඇත. මේ සඳහා දේශපාලන වාසි ලබා ගන්නා අතරමැදියෙකුගේ සේවය අවශ්‍ය නොවේ. “

නිදහස් යැයි කියන අපේ රටේ සෞඛ්‍ය සේවය ද ඔහුගේ විමසිල්ලට ලක් වේ.

සෞඛ්‍ය සේවයේ හැටි

“දීර්ඝ කාලයක් තිස්සේ රජයේ රෝහල්වල පවතින වැඩ වර්ජන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගවල හිඟය අදාළ පරීක්ෂණ කිරීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති කම එලෙස තිබුණත් කලට වේලාවට ඒ පහසුකම් ලබා ගත නොහැකි වීම වැනි කුමන හෝ හේතු නිසා පෞද්ගලික වෛද්‍ය සේවාව වෙත නැඹුරුවක් දක්නට ඇත. … පවතින බොහෝ දුෂ්කරතා මත තමා සතුව පවතින රත්තරන් භාණ්ඩයක් උගස් කොට හෝ විකුණා තමාගේ හෝ තම ඥාතියාගේ රෝගය සඳහා පවතින රජයේ වූ ද පෞද්ගලික වූ ද ඒ දෙකට මැදි වූ ද වෛද්‍ය පහසුකම් වලින් තම කාර්ය කර ගැනීමට ජනතාව පෙළඹී සිටී. ඒ අනුව ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සත්‍ය වශයෙන් ම කොපමණ ප්‍රතිශතයක් නිදහස් ද යනුවෙන් විග්‍රහ කිරීමට කිසිවෙකු කටයුතු කර නොමැත….. රජයේ රෝහල් වටා තවත් සුවිශාල පෞද්ගලික රෝහල් මෙන්ම වෛද්‍යවරුන්ගේ නාම පුවරු සහිත පෞද්ගලික චැනල් සේවාවන් ද පෞද්ගලික වෛද්‍ය පර්යේෂණ ආයතන ද එකිනෙක ආසන්නයේ පිහිටා තිබීම ඉහත කී විස්තරයට සාක්ෂි සපයනු ඇත.

කැනඩාවේ අත්දැකිම් ගෙන හැර පාමින් දඩල්ලගේ මහතා කියන්නේ එහි සෞඛ්‍ය සේවය මුදල් ගෙවා ලබා ගත යුතු වුව ද දුප්පතුන්ට හිතවත් එකක් බව ය. ඒ රෝගියා වෙනුවෙන් මුදල් ගෙවන්නේ රක්ෂණ සමාගම බැවිනි. සෑම කෙනෙකුම සෞඛ්‍ය රක්ෂණයක් ගත යුතු නමුත් ඒ රක්ෂණය දුප්පත් අය සඳහා රජය විසින් නොමිලයේ ලබා දේ. සෙසු අය ඒ සඳහා කැනේඩියානු ඩොලර් 108 ක මුදලක් පෞද්ගලිකව ගෙවිය යුතු ය. දෙගොල්ලන්ට ම ලැබෙන්නේ එකම සේවයක් වන අතර තමන්ට කැමති තැනකින් ප්‍රතිකාර ගත හැකි නමුත් ඒ ඊට ප්‍රථමයෙන් ප්‍රදේශයේ පවුලේ වෛද්‍යවරයා හමු වී ඔහුගේ උපදෙස් ඉල්ලා සිටීමෙන් පසු ය. විශේෂඥ වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම් ඔහු විසින් රෝගියාගේ කැමැත්ත අනුව එවැනි විශේෂඥයින් සිටින රෝහලකට රෝගියා යොමු කරනු ඇත. වෛද්‍ය ගාස්තු ද ඖෂධ ගාස්තු ද පරීක්ෂණ ගාස්තු ද රක්ෂණයෙන් ආවරණය වේ. ඒ නිසා රක්ෂණ ගෙවීමට අමතරව විශාල ගණන් ගෙවීමට කිසිදු රෝගියෙකුට සිදු නොවේ.

එවැනි ක්‍රමයක් ලංකාවට හඳුන්වා දෙන්නට ගියොත් සිදු වන දේ කවරක් විය හැකි දැයි ඔහු ප්‍රශ්න කරන්නේ මෙසේ ය.

අපට එය අවශ්‍ය නැත්තේ ඇයි

“එවැනි තත්වයක් ගොඩ නැගීමේ දේශපාලන හා කළමනාකරණ වුවමනාවන් අපට නොමැත්තේ ඇයි? එවැනි යහපත් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් අප හඳුන්වා දීමට යන්නේ නම් නිදහස් සෞඛ්‍ය සේවය මුදලට විකුණනවා යැයි කි දෙනෙක් සටන් මගට බසිනු ඇත් ද? මේ පිළිබඳ කතිකාවතක්වත් අපට ගොඩ නැගිය නොහැක්කේ මන්ද?“

පවුල් හා පුද්ගල තොරතුරු පද්ධතියක අවශ්‍යතාවය ඔහු අවධාරණය කරන්නේ එවැන්නක් නිසා කැනඩාව ලබා ඇති පහසුව හා දියුණුව ගැන තොරතුරු අප වෙත ගෙන එමිනි. කෙනෙකු ලබා ඇති අධ්‍යාපනික හා වෙනත් සුදුසුකම්, ඒ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වය හා එහි ඉතිහාසය, රියැදුරෙකු ලෙස ඔහුගේ චර්යාව, ණය කරුවෙකු හා ගනුදෙනු කරුවෙකු ලෙස ඔහුගේ පැටිකිරිය, ඇය සතු වත්කම් යාන වාහන ඉඩම් නිවාස, උත්පත්තිය හා මරණය, පවුලේ සාමාජික සංඛ්‍යාව, විවාහ හා දික්කසාද තොරතුරු වැනි නොයෙකුත් පුද්ගල තොරතුරු ඒ ජාලය ඔස්සේ ලබා ගත හැකි ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ හඳුනාගැනීමේ අංකය පමණකි. හැම දෙයක්ම ජාල ගත කර ඇති නිසා කිසි දු සේවාවක් ලබා ගැනීමට යන කෙනෙක් ලිපි ගොනු හෝ කඩදාසි ගෙන යෑම අවශ්‍ය නොවේ. වැඩ ද්විගුණය වීමක් සිදු නොවන අතර යමක් තහවුරු කිරීමේ වගකීමෙන් බොහෝ දුරට පුද්ගලයා නිදහස් කර තිබේ.

පොතේ තව බොහෝ දේ තිබේ. ඒ සියල්ල ලිවීමට නම් පොත නැවත ලිවිය යුතු වෙයි. ඒ නිසා මේ සටහන මෙසේ නිම කරන්නෙමි.

ලංකාව කෙසේ වෙනස් විය යුතු ද ඒ සඳහා බාහිර ලෝකයෙන් ගත හැකි පාඩම් මොනවාදැයි හොයන කෙනෙකුට මේ පොත මහගු සම්පතක් වනවා ඇත.

නිශාන්ත කමලදාස

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *