|

ජනාධිපති අමාරුවේ දාන්න මහින්දගේ ගේම් එකක්

පසුගිය සතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා කාර්ය බහුල වුණා. එයට හේතුව නම් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ආණ්ඩුවේ සැලකිය යුතු වෙනසක් සිදුකළ යුතු බවට ප්‍රබල මතයක් ප්‍රකාශ වීමයි. මෙහිදී ශ්‍රීලනිප ඇමැතිවරුන් අතර මත දෙකක් පැවතුණා. එක් පිරිසක් කීවේ වත්මන් ආණ්ඩුවේ යම් ප්‍රතිසංස්කරණ සිදුකරමින් දිගටම ගෙන යා යුතු බවයි. අනෙක් පිරිස විපක්ෂයට යාමට සූදානම් වුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග තවදුරටත් කටයුතු කළ නොහැකි බව කියමින්. ජනාධිපතිතුමා දිගටම උත්සාහ දැරුවේ මේ දෙපිරිසම එකට තබා ගැනීමටයි.

මේ අතර ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් වූ, අදහසක් වුයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති ධුරයට පත්කොට ශ්‍රී ලනිප ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවයි. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහාය ලබා ගැනීමට ක්‍රියා කළා. කෙසේ වෙතත් නීතිමය වශයෙන් ප්‍රශ්නයක් මතු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනයට අනුව අගමැති වෙනස් කිරීමේ බලය ජනාධිපතිතුමාට නැති බව පෙනීයාම නිසායි. මෙහිදී ජනාධිපතිතුමා නීතිපති තුමාගෙන්ද උපදෙස් ලබාගත්තා. නීතිපතිතුමා කීවේ බැලූ බැල්මට අගමැතිතුමා බලවත් බවයි. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස නීතිපති තුමා උපදෙස් දී තිබුණා.

මෙම තත්ත්වය තුළ ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රීලනිප කණ්ඩායමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ නිල නිවසේදී පැවැත්වුණා. එම සාකච්ඡාව අවසානයේ ජනාධිපතිතුමා ඇමැතිවරුන්ට කීවේ නීතිමය තත්ත්වය සොයා බලා තමන් සුදුසු පියවරක් ගන්නා තෙක් තවත් මාසයක කාලයක් ආණ්ඩුව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව පවතින ජාතික ආණ්ඩුව දිගටම පවතින බව සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

තත්ත්වය මෙලෙස තිබියදී රට අස්ථාවර නොවීම සඳහා ද අවශ්‍ය පියවර ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළා. පසුගිය සතියේ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ජනාධිපතිතුමා රජයේ සියලු කටයුතු සාමාන්‍ය ලෙස කරගෙන යන ලෙස උපදෙස් දුන්නා.

ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් ආර්ථික කළමනාකරන කමිටුවේ රැස්වීමක් පසුගිය අඟහරුවාදා පැවැත්වුණා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් ඇමැති මංගල සමරවීර මහතා මහබැංකු අධිපතිතුමා ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් එයට සහභාගි වීසිටියා.රටේ පවතින ආර්ථික තත්ත්වය සාකච්ඡාවට ගනිමින් එහිදී තීරණය කෙරුණේ ඉදිරි කාලය සඳහා නව ආර්ථික උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමටයි.

ග්ලයිෆොසේට් වල් නාශකය භාවිතය තහනම් කිරීම නිසා තේ කර්මාන්තය මුහුණදී තිබෙන පසුබැසීම ගැනද මෙහිදී සාච්ඡා වුණා. මෙම වල් නාශකය ලොව පුරා භාවිත වන බැවින් එය තහනම් කළ එකම රට ශ්‍රී ලංකාව බවත් එහිදී කියැවුණා. අවසානයේ තීරණය වූයේ තේ කර්මාන්තයට පමණක් ග්ලයිෆොස්ට් වල් නාශකය භාවිතයට අවසර දීම ගැන සලකා බැලීමටයි.

ජාතික රූපවාහිනියේ ‘සංහිඳියා නාලිකාව’ ඇරඹීමේ උත්සවයට ජනාධිපතිතුමා සහභාගි වූයේ අඟහරුවාදා සවස් වරුවෙයි. මෙය රටේ ජාතික සංහිඳියාව සඳහාම වෙන්වූ නාලිකාවක් ලෙස ක්‍රියාත්මක වනවා. මංගල සමරවීර, මනෝ ගනේෂන්, ඒ. එච්. එම්. ෆවුසි, කරුණාරත්න පරණවිතාන, එම්. ඒ. සුමන්දිරන්, අංගජන් රාමනාදන්, කාදර් මුස්තාපා යන මැති ඇමැතිවරුන්ද මෙම අවස්ථාවට එකව සිටියා.

මහවැලි හා පරිසර අමාත්‍යංශයේ සංවර්ධන සැලසුම් පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා පෙරවරුවේදී පැවැත්වුණා. ඉදිරියේදී ඇතිවිය හැකි වියළි කාලගුණික තත්ත්වයකදී ජල කළමනාකරණය කරන ආකාරය එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් වුණා. වයඹ ඇළ හා ඉහළ ඇළහැර ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද ජනාධිපතිතුමා එහිදී විමසා බැලුවා.

පලාත් පාලන මැතිවරණය හරහා එජාපය අපේක්ෂා කළ තරමේ ජයග්‍රහණයක් නො ලැබුණද පොදු ජන පෙරමුණ ලැබූ 44% ක ඡන්ද ප්‍රතිශතය හා සැසදුවිට එජාප ප්‍රමුඛ රාජපක්ෂ විරෝධී පිලට 56% ක ඡන්ද පදනමක් ලැබී ඇති බවත් එය 2015 ජනවරම යළිත් ජනතාව විසින් සනාථ කිරීමක් බවත් එජාප ප්‍රමුඛ ආණ්ඩුව පාර්ශවයේ මූලික විග්‍රහය වේ.මේ අතර කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත මේ සතියේ කැබිනට් රැස්වීමේදී

“මහින්ද රාජපක්ෂ හැම තැනදීම කළේ ඩබල් ගේම්. ආණ්ඩුව පෙරලා රනිල් ගෙදර යවපල්ලායි ශ්‍රීලනිප කීපදෙනෙකුට ලණු දුන් ඔහු රනිල්ට කතාකොට කියා ඇත්තේ ඔයා පළාත්පාලන පසුබෑම නිසා අගමැතිකමෙන් යන්නෙ මොකටද කියායි. මේ දෙබිඩි පිළිවෙත දඟලන කිහිපදෙනා තේරුම්ගත යුතුයි” යැයි කිවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරිමට තැත් කරන පිරිස ඉලක්ක කර ගනිමින්.

බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලිය ගහ මැදුරට පැමිණි අතර පැමිණ සිටි මැති ඇමතිවරු සමගද සුපුරුදු ලෙස කතා බහ කළා.

“අමාරු ප්‍රශ්න දැන් ඉවරයි. කැබිනට් ප්‍රශ්නත් ඉක්මනින් ඉවර කරගනිමු. මේවා ඕනවට වඩා ඇදෙන්න දෙන්න නරකයි” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මතය සියලු දෙනා අනුමත කළා.

“ ඉක්මනින් ඉවර කරනවා. කැබිනට් මාරුවකදී ඉල්ලීම් වැඩියි. ජ්‍යෙෂ්ඨ අය රකින්නත් ඕනෑ.කැබිනට් තනතුරු නැති දිස්ත්‍රික් ගැනත් බලන්න වෙනවා. ඉහළට දාන්න ඉඩ ඇත්තේ 2 – 3 ක් විතරයි. ශ්‍රීලනිප හා අපේ අවසන් ලැයිස්තු හදල දෙපාර්ශවය කතා කරල අන්තිම තීන්දු ගන්න වෙනවා” අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උත්තර දුන්නා.

“ ශ්‍රිලනිප පැත්තේ සංඛ්‍යාව සුළු නිසා ලොකුවට මාරු කරන්න දෙයක් නෑ. එජාපයට වැඩි සංඛ්‍යාවක් තියෙන නිසා වෙනස්කම් කරන්න වෙන්නේ අපට විතරයි. ශ්‍රිලනිපයට වෙනස්කම් කරන්න අලුත් මුහුණු ඇත්තෙත් නෑනේ” දයා ගමගේ සහ වජිර අබේවර්ධන මහත්වරුන් කිව්වා.

“එජනිස ආණ්ඩුවක් හදන්නයි අගමැති මාරු කරන්නයි ගේම් ගහපු ශ්‍රීලනිප කීප දෙනාට ඇමතිකම් දීම ගැන එජාපය හරිනම් විරුද්ධ වෙන්න ඕනෑ. එහෙම අය මීට පස්සෙ එකම කැබිනට් එකේ රෙදි ඇඳගෙන ඉන්නෙ කොහොමද අනික එජාප ප්‍රමුඛ පිරිස් හදපු ආණ්ඩුවක ඉඳගෙන අගමැති හා මේ ආණ්ඩුව වෙනස් කරන්න කතා කිරීමම සදාචාර හා විනය විරෝධී වැඩක්” “එජාප බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවා.

“අගමැති වෙනස් කළ හැකි දැයි විමසලා ශ්‍රීලනිපයේ සමහරු ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න සූදානම් වුවත් දැන් ඒක යට ගිහින් වගෙයි” ගයන්ත කරුණාතිලක මහතා කිව්වා.

“ජනාධිපතිතුමා වසර 5-6 ද කියල අහල ඒ තීන්දුව අවුල් වූ නිසා 19 සංශෝධනය අනුව අගමැති ඉවත් කළ නොහැකි බව පේන නිසා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම අත හැරල කියලත් ආරංචියි” එජාප නීති අංශ ප්‍රධානියෙක් පැවසුවා.

“ටැබ් පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට දීම නවත්වලා කියල ප්‍රවෘත්ති පළ වුණාම දරුවෝ අවුල් වෙලා කියල හුඟ දෙනෙක් මට කතා කරල කිව්වා. ” නවීන් දිසානායක මහතා කිව්වා.

“ටැබ් ලබා දීම අවලංගු කළේ නෑ. කල් දැම්මා විතරයි. දරුවන්ට බලාපොරොත්තු දීල ඒක කඩන එක හරි නැති බව අපේ වගේම ජනාධිපතිතුමාත් පිළි ගන්නවා. ” අගමැතිවරයා උත්තර දුන්නා.

“ පළාත් පාලන ඡන්දයෙන් ලොකු පණිවිඩයක් ජනතාව අපට දුන්නා. ඉදිරි වසර 02 තුළ රට හදන අතරේ ජනතාවට සැලකීම, ජීවන බර අඩු කිරීම , තරුණයන්ට රැකියා දීම වේගවත් කිරීම අවශ්‍යයි.අනික කෘෂි ක්ෂේත්‍රය හා සමෘද්ධිවල ප්‍රශ්න වහාම නිවැරදි කරන්න ඕනෑ. ගෙවුණු වසර 03 ට එක එජාප කෙනෙකුට සමෘද්ධි දෙන්න ඉඩ ලැබුණේ නෑ” ලක්ෂමන් කිරිඇල්ල මහතා කී දේට සියලු දෙනා එකගත්වය පල කළා.

“ ආණ්ඩුවේ කටයුතු රටට ගෙනියන මාධ්‍ය මෙහෙයුම ඉතා දුබලයි. ආණ්ඩු විරෝධී දේවල් විතරයි අද මාධ්‍යවල යන්නේ. ඒ තත්වයත් වහාම නිවරදි කළ යුතුයි. ” නවීන් දිසානායක සහ ගයන්ත කරුණාතිලක මහත්වරු කිව්වා.

ඉකුත් අඟහරුවාදා සවස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය කාර්යමණ්ඩල ප්‍රධානීන්ට දැනුම් දුන්නේ ශ්‍රී ලංකා කායවර්ධන ශූර “ආසියාවේ කලු සිංහයා” (Black Lion of Asia) යන විරුදාවලි ලත් 35 හැවිරිදි ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් වෙත නිවසක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුදින එනම්, බදාදා උදෑසන වනවිට සූදානම් කළ යුතු බවයි. මොරටුව, අඟුලානේ “සයුරුපුර” සංකීර්ණයේ රුපියල් ලක්ෂ 42ක් වටිනා නව නිවස කායවර්ධන ශූරයා වෙත භාරදීමට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඒ වනවිටත් කටයුතු සූදානම් කර තිබුණාය. බදාදා උදෑසන 10.30 වන විට මේ සිද්ධිය දැකබලා ගෙන වාර්තා කිරීමට පැමිණි විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යවේදීන්ගෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරය පිරුණා.

ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් පැමිණියේ සිය බිරිඳ වන ප්‍රියන්ති කොඩිතුවක්කු සමඟය. එහිදී සජිත් පැමිණ සිටි ජනමාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ පුෂ්පරාජ් තමන්ට හඳුන්වා දෙනු ලැබුවේ අන් කවරෙකු හෝ නොව මුදල් ඇමති මංගල සමරවීර මහතා බවයි. මංගල ඇමැතිවරයාට මේ කුසලතාපූර්ණ තරුණයා පිළිබඳ දැනගැනීමට ලැබී ඇත්තේ ප්‍රසන්න හළඹ – අමෙරිකාවේ ටෙක්සාස් හි ශ්‍රී ලංකා කොන්සල්වරයාගෙන් 2017 දෙසැම්බර් මාසයේදී අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පවත්වනු ලැබූ ලොව වඩාත් ප්‍රචලිත කායවර්ධන ශූරතා තරගාවලිය වන “Mr & Ms Atlas and Fitness Expo – 2017” සඳහා ලූෂන් පුෂ්පරාජ් සහභාගී කරවීම සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන් ටෙක්සාස්හි ‘රියෝකොකෝ වර්ල්වයිඩ් ලංකා පෞද්ගලික සමාගමේ’ සභාපතිවරයා වන්නේ ද ප්‍රසන්න හළඹය. කොළඹට තදාසන්නව පුෂ්පරාජ්ට නිවසක් ලබා දිමේ අවශ්‍යතාව ප්‍රසන්න විසින්ද තමන්ට සිහිපත් කළ බව සජිත් කීවා. පුෂ්පරාජ් මෙතෙක් දිනා ඇති ජාත්‍යන්තර මට්ටමේ කුසලාන, පදක්කම් සියල්ල සජිත් ඉතා උනන්දුවෙන් පරීක්ෂා කර බැලුවා. නිවසේ යතුරු භාර දීමෙන් පසුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පුෂ්පරාජ් කීවේ “මම මේ ජාත්‍යන්තර මට්ටමේ තරගවලට ඉදිරිපත් වුණේ පෞද්ගලික ලාභාපේක්ෂාවලින් තොරවයි. මං ජයග්‍රහණය කරලා ආපහු මේ රටට එනකොට මට මල් මාලා දාලා පිංතූර ගත්තා පමණයි. මම ඉතා අපහසුකම් මැද්දේ රටට හිමිකර දුන් කීර්තියට කෘතවේදීත්වය පළ කරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මා වෙත නිවසක් පිරිනැමීම මා මෙතෙක් ලැබූ ඉහළම ඇගයීමයි” කියා.

පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ ඇති වු දේශපාලන තත්ත්වයත් සමගම විපක්ෂය, මාධ්‍ය මෙන් ම ආණ්ඩුවේ ම ඇතැම් පාර්ශවයන් අගමැති රනිල් විකුමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් විය යුතු බවට දැඩි හඬක් නැඟුවා.ඔවුන්ගේ එම හඬ යටපත් කරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා කාටවත් අවශ්‍ය පරිදි වෙනස් කළ නොහැකි බව ඇමති වජිර පැවසුවා.

ඒ ඉකුත් 15 වැනි දින පැවති මේ වසරේ ප්‍රථම දිසාපති සමුළුවේදී. සමුළුව ආරම්භ වීමට ප්‍රථම පැමිණ සිටි ජනමාධ්‍යයට ඇමති වජිර අබේවර්ධන කරුණු පැහැදිලි කළා.

එහිදි ඇමති වජිර “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව ම දක්වා තිබෙනවා රජයක් පිහිටුවන ආකාරය. ඒක තනි පක්ෂයක ආණ්ඩුවක් නම් කොහොමද කරන්නේ, ජාතික ආණ්ඩුවක් නම් කොහොමද කරන්නේ කියලා හරියටම නීතියේ සඳහන් වනවා. එසේ තිබියදී ඇතැම් මාධ්‍ය රටේ අගමැතිවරයා වෙනස් කරන්න හදනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැති පත් කිරීමට බලය ජනාධිපතිට තියෙනවා. ඉවත් කිරීමට බලයක් නැහැ. ජාතික ආණ්ඩුවක ස්ථාවර බව ඇති කිරීමට වසර 4 ½ක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න හෝ අගමැතිවරයා ඉවත් කරන්න බැහැ. ඉන් පසු ප්‍රතිපාදන පැහැදිලි ම සඳහන් කරල තියෙනවා. රටේ ස්ථාවරභාවය පැහැදිලිව 19 වන සංශෝධනයෙන් සුරක්ෂිත කරල තියෙනවා. අගමැති ඉවත් කරන්න, ආණ්ඩුව ඉවත් කරන්න කියල කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල නැති අයයි ” යැයි කීවා.

මෙහිදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට ද පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසුවේ, ” මේ වන විට සමාජයේ මතයක් ගොඩනගන්න උත්සහ කරනවා මාධ්‍යයෙන්. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒ අනුව විවිධ අදහස්, මත පළ වනවා. සමහරු කල්පනා කරනවා අග්‍රාමාත්‍යවරයා වෙනත් වරමක් හරහා මාරු කරන්න පුළුවන්ද කියලා. එවැනි අවස්ථාවක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ. 78 ව්‍යවස්ථාවෙන් නම් විධායක ජනාධිපතිවරයාට ලිපියක් යවා අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරිමට බලය තිබුණා. නමුත් 19 වැනි සංශෝධනයෙන් එම බලය හිමි වන්නේ නැහැ. ඒ බලය තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා සතුවයි. ඔහු ලිපියක් ලියා අස්විය යුතුයි. 19 වන සංශෝධනය මගින් අග්‍රාමාත්‍යවරයා මාරු කිරීම සඳහා තිබෙන ක්‍රමවේදය එයයි.”

ඉකුත් සතිය පුරාම ඇමති වජිර හමුවීමට පැමිණි හිතවතුන්ට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන මෙය පැහැදිලි කරමින් පැවසුවේ ද , ව්‍යවස්ථාව කියවා තේරුම් ගැනීමට නොහැකි පිරිසක් අගමැතිවරයා ඉවත් කළ හැකි බව පවසමින් කෑ ගසන බවයි. ඔවුන් පිළිබඳව දුක් වෙනවා හැර වෙන කරන්නට දෙයක් නොමැති බව ද ඇමතිවරයා ඔවුන්ට පැවසුවා.

පසුගිය 18වැනිදා පෙරවරුවේ ජවිපෙ දේශපාලන මණ්ඩලය පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී රැස්වුණා. මෙහි දී රටේ නව වාතාවරණය පිළිබඳව සාකච්ඡාවේ දී ජවිපෙ නායක අනුර දිසානායක පෙන්වා දුන්නේ ජාතික ආණ්ඩුවේ වලංගුභාවය ප්‍රශ්න කළ යුතු බවයි. ”ජාතික ආණ්ඩුවේ නිල කාලය අවසන්. ඒ නිසා තවත් ඇමතිකම් වැඩි කරගෙන ඉන්න බැහැ. වහාම අඩු කරන්න ඕනෑ. ජනතාව මත පටවපු බර ඉවත් කරන්න ඕනෑ. මේ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ යුතුයි.” ඔහු වැඩිදුරටත් කීවා.

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අදහස් දක්වමින් කියා සිටියේ, කරුණු නොදන්නා ඇතැමුන් ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීකම් වැඩිවීම පිළිබඳව ජවිපෙට චෝදනා නගන බවයි.පළාත් පාලන ආයතනවල මන්ත්‍රීකම් වැඩිවීමට සම්පූර්ණයෙන් වගකියන්න ඕනැ බැසිල්. එයාලා තමයි කලින් හාරදහස් තුන්සිය ගණනක් විතර තිබුණු මන්ත්‍රී ධුර ගණන 5092ක් වන විදිහට කොට්ඨාසවලට කැඩුවෙ. ඒකට සමානුපාතික කොටසයි, කාන්තා නියෝජනයයි එකතු වුණාම තමයි මේ දෙගුණ වෙලා තියෙන්නෙ. එදා කොට්ඨාස අඩු කරන්න ගියානම් තවත් අවුරුදු දෙකක් විතර ඡන්දය කල්දාන්න වෙනවා. ඒ නිසා තමයි අද ඔය කෑගහන අය එදා ඒක එපා කිවුවෙ.” විජිත හේරත් කරුණු කීවා. ”ඔය ගැටලූව විසඳගන්නකම් පරණ ක්‍රමයට හරිඡන්දෙ තියමු කියලා අපි යෝජනා කළෙත් ඒ නිසා තමයි. දැන් එයාලට මේවා අමතකයි.” ලාල්කාන්ත පැවසුවා.

මාධ්‍ය ඔස්සේ ජවිපෙට එරෙහිව නැගෙමින් ඇති මඩ අවලාද පිළිබඳව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධානය යොමු කළා. ”පරණ හොරුන්ටයි අලූත් හොරුන්ටයි ප්‍රධාන බාධකය ජවිපෙ අපි. ඒ නිසාම දෙගොල්ලම එකතු වෙලා අපිට විරුද්ධව මඩ මාධ්‍ය මෙහෙයුමක් පටන් අරන්.” ඔහු කිවා.

අනතුරුව අවධානය යොමු වූයේ පළාත් පාලන මැතිවරණයේ මහජන නියෝජිතයින් ලෙස පත්වූ අපේක්ෂක අපේක්ෂිකාවන් පිළිබඳවයි. ”පක්ෂයේ කමිටු සහ සංවිධානවලින් කරපු යෝජනා අනුව හොඳම නියෝජිත පිරිසක් තෝරාගෙන තිබෙනවා. මන්ත්‍රීවරු ලංකාව පුරා 434 දෙනෙක් ඉන්නවා කියන්නෙ විශාල හයියක්. ” ටිල්වින් සිල්වා පැවසුවා. ” අපි මේ අය කොළඹට කැඳවලා දැනුවත් කිරීමක් කරමු.” අනුර දිසානායක යෝජනා කළා. ”ඔව් ඒක හොඳ අදහසක්. මේ පිරිසට ලොකු අභියෝගයක් තියෙනවා. මහජනතාවත් එක්ක දේශපාලන සංවාදයක් ආරම්භ කරගෙන රටේ දේශපාලනයෙ ලොකු භූමිකාවක් කරන්න එයාලට පුළුවන්.” ලාල් කාන්ත පෙන්වා දුන්නා. ”මේ නියෝජිතයො ජනතාවට උපරිම සේවාවක් කරන කොට සමහරු දිනුවයි කියපු ‘පොල් ලෙලි’ නිකම්ම කුණු බක්කිවලට යාවි.” විජිත හේරත් කීවේ සියලූ දෙනාගේ සිනා හ`ඩ මධ්‍යයේ.

පළාත් පාලන ආයතන වැඩි ගණනක ජය පොහොට්ටුවට හිමි වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා සිටියේ ජයග්‍රාහී මානසිකත්වයකයි. එසේ වුවද දේශපාලන ක්‍රීඩාවේ දී ඉතා පරිස්සමෙන් ඉත්තන් ඇදීමට රාජපක්ෂ මහතා ක්‍රියා කළා. ඔහු තම හිතවතුන්ට උපදෙස් දුන්නේ අගමැතිකමෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොඹවන ලෙසයි. ඒ අනුව ජනාධිපතිතුමා සමඟ සිටින මහින්ද හිතවාදී ඇමැතිවරුන් ජනාධිපතිතුමාට කීවේ රනිල් සමඟ තවදුරටත් ආණ්ඩුවේ කටයුතු කළ නොහැකි බවයි. තමන් විපක්ෂයට යන බව ද ඔවුන් කීවා.

මේ අතර පසුගිය සිකුරාදා උදේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගිය සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කළා. මහින්ද රාජපක්ෂ මහතා කීවේ එබඳු ආණ්ඩුවකට සහාය දීමට තමන් සූදානම් බවයි. නව අගමැති ධුරය සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නම යෝජනා වුණා.

මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට උපදෙස් දුන්නේ මෙම කාර්යය ඉක්මන් කිරීමට කටයුතු කරන ලෙසයි. ඒ නිසා එදිනම දහවල් එම කණ්ඩායම ජනාධිපතිතුමා හමුවුණා. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එයට සහභාගී වුණා. ශ්‍රීලනිපයේ ආණ්ඩුවකට තමන් සහාය දෙන බවත්, කිසිදු තනතුරක් භාර නොගන්නා බවත් මෙම පිරිස ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඔවුන් ඉල්ලා සිටියේ වහාම රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කොට නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති ලෙස පත්කරන ලෙසයි. කෙසේ වෙතත් මෙහි නීතිමය ප්‍රශ්නයක් ඇති බව ජනාධිපතිතුමා කීවා. අගමැති ඉවත්කරන ක්‍රමය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස් විමසීමට ද එහි දී තීරණය වුණා.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට නිතර රැස්ව සාකච්ඡා කළේ ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් දෙදෙනා අතර ගැටුම වර්ධනය කළ යුතු බවටයි. ජනාධිපතිවරයා විසින් අගමැති ඉවත් කළහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රශ්නයක් වන බව ඔවුන් දැන සිටියා. එවිට එම කාරණයම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙනඒමට ප්‍රමාණවත් වනවා. මහින්ද පිල මේ සැලසුම යෙදුවේ එක ගලින් කුරුල්ලන් දෙදෙනකුම විද ගැනීමේ අරමුණින්. කෙසේ වෙතත් ජනාධිපතිට නීතිපති උපදෙස් දුන්නේ එබඳු පියවරක් නොගන්නා ලෙසයි.

අගමැතිකමින් රනිල් ඉවත්කොට ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න තමන් සහයෝගය දුන්නත් එය එසේ නො‍කොට ජනාධිපති මෛත්‍රී – රනිල් ආරක්ෂා කළ බවට මහින්ද රාජපක්ෂ මහතා පසුව චෝදනා කළා. අගමැති ඉවත් කිරීමට ජනාධිපති පෙළඹවීමේ උත්සාහය මහින්ද පිල තවමත් අත්හැර නෑ.

ගොසිප්ලන්තය

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *