මහින්ද රාජපක්ෂගේ වාසිය පිණිස රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීති වෙනස් කළ නොහැක.- විපක්ෂ නායක ගරු ආර්. සම්බන්දන්

මෙම විවාදය පිළිබඳව වචන කිහිපයක් පැවසිය යුතු යැයි මම සිතුවෙමි.  ජනතාව විසින් තීන්දුවක් ලබා දී ඇත. ජනතාවගේ තීන්දුවට ප්‍රජාතන්ත්‍රවාදීව ගරු කළ යුතුය.  මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ මන්ත්‍රීවරයා හා එය ස්ථිර කළ මන්ත්‍රීවරයා විසින් විවිධ කරුණු ඉදිරිපත් කර ඇත.  පෙබරවාරි මස 10 වෙනි දින පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව කෙටි විශ්ලේෂණයක් මම මූලික වශයෙන් ඉදිරිපත් කරමි.

 

එම මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රතිශතය 44.69% ක් විය.  එක්සත් ජාතික පක්ෂය 32.61% ක් ලබා ගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය 8.90% ක් ලබා ගත්තේය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 4.48% ක් ලබා ගෙන ඇත.  එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ තුන විසින් ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව එකතු කළහොත් එය 45.99% ක් වන අතර ආසන්න වශයෙන් 46%  කි.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 44.69% වන අතර එය ඉහත පක්ෂ තුන ලබාගත් ඡන්ද ප්‍රතිශතවල එකතුවට වඩා 2% කින් අඩුය.

 

ජනතා විමුක්ති පෙරමුණ 6.26% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි 3.06% ක් ලබා ගත්තේය.  එම පක්ෂ දෙක විසින් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශත, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ ලබා ගෙන ඇති ඡන්ද ප්‍රතිශත සමඟ එකට එකතු කළහොත් මුළු ප්‍රතිශතය 55.31% ක් වනු ඇත.  වෙනත් වචනවලින් කිවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව ඇති පක්ෂ විසින් 55.31% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දිනා ගැනීමට හැකි වී තිබෙන්නේ 44.69% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.  මෙය අවිවාදාත්මකය.

 

2015 දී පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශතය 47.58% ක් විය.  දැන් ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් එතුමා 2015 ජනාධිපතිවරණයේ දී ලබා ගෙන ඇත.  පසුගිය කාලය තුළ දී මැතිවරණ තුනක් පවත්වා ඇත.  ඒවා නම් 2015 ජනාධිපතිවරණය, 2015 පාර්ලිමේන්තු මැතිවරණය හා මේ මස පැවැති පළාත් පාලන මැතිවරණයයි.  එම කිසිදු මැතිවරණයකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට 50% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමට නොහැකි විය.  ජනාධිපතිවරණයේදීත්, පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මෙන්ම පළාත් පාලන මැතිවරණයේදීත් එතුමාගේ ඡන්ද සංඛ්‍යාව 50% කට වඩා අඩු සංඛ්‍යාවක් විය.  එහෙයින් කැලඹීමට කිසිදු හේතුවක් නොමැත.  මැතිවරණ පැවැත්වෙයි.  එහිදී ඇතැම් පක්ෂ ජය ලබයි. ඇතැම් පක්ෂ පරාජය වෙයි.  පළාත් පාලන මැතිවරණය පවත්වා ඇත.  ඔබ එයින් ජය ලබා ඇත.  එහි කිසිදු විවාදයක් නොමැත.  එහෙත් වැදගත් කාරණය වනුයේ, ඔබ දිනා ඇති ඡන්ද ප්‍රතිශතය 44.69% ක් පමණක් වන බවත් ඔබට එරෙහිව 55.31% ක ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශ වී තිබීමත්ය.  එහෙයින් එහි ඇති කැලඹීමට පත් විය යුතු කාරණය කුමක්ද?  එවැනි කිසිවක් එහි නොමැත.  පාර්ලිමේන්තුව ස්ථාපනය වී ඇත්තේ පළාත් පාලන ඡන්දයේදී ප්‍රකාශ වන ඡන්ද මත නොවේ.  පාර්ලිමේන්තුව ස්ථාපනය වනුයේත්, ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලබන්නේත් මෙම රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීති ප්‍රකාරව, එම කාරණා වෙනුවෙන්ම පවත්වනු ලබන ජනාධිපතිවරණයකදී හා පාර්ලිමේන්තු මැතිවරණයකදී ප්‍රකාශ වන ඡන්ද පදනම් කර ගැනීමෙන්ය.  ඔබ අපේක්ෂා කරන ආකාරයට ඔබගේ වාසිය පිණිස පළාත් පාලන මැතිවරණ යටතේ ඔබගේ ඉල්ලීම් ලබා දී, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීති වෙනස් කළ නොහැක.

 

ඔබ අවසර ලබා දෙන්නේ නම්, මෙම මැතිවරණයේ දී කරනු ලැබූ ප්‍රචාරණයේ ස්වභාවය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට මට අවශ්‍යයය. මතභේදයට තුඩු දිය හැකි කිසිවක් කිරීමට මට අවශ්‍ය නැත.  එහෙත්, මැතිවරණයෙන් පසුව දෙමළ ඊළම පිබිදීමට මෙම මැතිවරණය හේතු විය හැකි බවට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් සිය මැතිවරණ රැස්වීම්වල මුල් කාලයේදී පැවසීම සම්බන්ධයෙන් මා තුළ යම් අනතුරු ඇඟවීමක් ඇති වූ බව සඳහන් කළ යුතුව ඇත. ඒ සම්බන්ධයෙන් එතුමා දැක්වූ හේතුව වූයේ නව ආණුඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය වෙමින් පැවතීමත් එමඟින් එවැන්නක් සිදු වීමට ඉඩ ඇති බවට එතුමා අදහස් කිරීමත්ය. 1987 – 1988 තුලදී සම්මත වූ 13 වන සංශෝධනය සිට බලයේ සිටි විවිධ ජනාධිපතිවරුන් හා විවිධ රජයන් විසින් මෙරටට සියලුම පුරවැසියන්ට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලැබෙන ආකාරයකට, 13 වන සංශෝධනයට විධිවිධාන ඇතුළත් කිරීමට උත්සාහ දරා ඇත.  ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ කාලයේ තිබූ මංගල මුණසිංහ පාර්ලිමේන්තු තේරීම් කමිටු යෝජනා තුළින් 13 වන සංශෝධනයෙන් ඔබ්බට ගිය යෝජනා නිර්දේශ කර තිබුණි.  ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියගේ කාලයේදී, අන් කවරෙකු වත් නොව, මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමා විසින්, 2000 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ද, 13 වන සංශෝධනයෙන් ඔබ්බට ගොස් තිබූ අතර, එම යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විවිධ නව අංග ඇතුළත් කර කෙටුම්පතක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

 

ඉන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත්විය.  එතුමා විසින් සර්වපාක්ෂික නියෝජිත කමිටුවේ හා විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීමේ දී කළ කතාව, එතුමා ආවර්ජනය කරන්නේ නම්, එහි දී එතුමා උපරිම බලය බෙදීමක් පිළිබඳව කතා කර ඇත.  එතුමා විසින් පත් කරන ලද විද්වත් කමිටුව විසින් ද වාර්තා ඉදිරිපත් කර ඇත.  13 වන සංශෝධනයෙන් බොහෝ ඔබ්බට ගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා තම වාර්තාව තුළින් ඉදිරිපත් කළ මහාචාර්ය තිස්ස විතාරණ නම් කමිටුවක් ද විය.  මෙම පාර්ලිමේන්තුව පත් වීමෙන් පසු, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා මෙම පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් විය.  ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව මෙම පාර්ලිමේන්තුව තුළ ඒකමතිකව සම්මත කර ගත් යෝජනා සම්මතයකට අනුව පත් කර ගනු ලැබූ මෙහෙයුම් කමිටුවක් ද විය.  ඔබ කිසිවෙක් එයට එරෙහි නොවීය.  මෙහෙයුම් කමිටුවේ කටයුතු වලටද ඔබ සහභාගී විය. කිසිවෙකුත් එයට විරුද්ධ නොවීය.  ඊළම පිළිබඳව කිසිවෙකුත් මෙම පාර්ලිමේන්තුව තුළ කතා නොකළේය.  මෙහෙයුම් කමිටුව තුළදීද කිසිවෙක් ඊළම පිළිබඳව කතා නොකළේය.  ඔබ එය පිළිගෙන ඇත.  එම ක්‍රියාවලිය කරගෙන යාමට ඔබ සහාය දැක්වීය.  එහෙත්,  “ජනතාව අවධානයෙන් නොසිටිය හොත් පළාත් පාලන මැතිවරණයෙන් පසු ඊළම පිබිදීමට ඉඩ තිබේ. ”  යැයි හදිසියේම මහින්ද රාජපක්ෂ මහතා පවසන්නට විය.

මෙම පණිවුඩය ප්‍රචාරය කරනු ලැබ ඇත්තේ මේ රටේ අහිංසක සිංහල ජනතාව අතර බවට මට තොරතුරු ඇත.  “මෙය ඊළම සඳහා පවත්වනු ලබන ජනමත විචාරණයක් , ඔබ රජයට හෝ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දැමුවහොත් එය ඊළමක් බිහිවීමට හේතු වනු ඇත.  එම නිසා ඔවුන්ට ඡන්දය දාන්න එපා. නෙළුම් පොහොට්ටුවට ඡන්දය දාන්න.” යැයි ඔවුන්ට පවසා ඇත.  ඉතා දරුණු ලෙස ගෙන ගිය මෙම ප්‍රචාරණ කටයුතු විශේෂයෙන්ම සිදු කරනු ලැබූයේ දකුණේ සියලුම පන්සල් තුළත් , සියලුම ගම්මාන තුළත් බව මට දැනගන්නට ලැබුණි.  මෙය අවාසනාවක් යැයි මම සිතමි.  නොබෙදුණු, බෙදිය නොහැකි, එක් රටක් යන රාමුව තුළ දේශපාලන විසඳුමක් පිළිබඳව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් මගේ පක්ෂය මෙම මැතිවරණයේදී කතා කළ බව සඳහන් කිරීමට මට අවශ්‍යය.

 

රට බෙදීම පිළිබඳව කිසිම ආකාරයකින් කතා කළ මැතිවරණ ව්‍යාපාරයක්, උතුරේ හා නැගෙනහිර නොවීය.  අප කතා කළේ , එක්සත් නොබෙදුණු, බෙදිය නොහැකි එක් රටක් යන රාමුව තුළ, අපේ ජනතාවට පිළිගත හැකි, සාධාරණ, සැලකිය යුතු තරමකට බලය බෙදී යන විසඳුමක් පිළිබඳව පමණි.  අපේ සියලුම පළාත් තුළ අප ගෙන ගිය ප්‍රචාරණය වූයේ එයයි. අප එසේ කළ විට, මැතිවරණයෙන් පසු ඊළම බිහිවිය හැකි බවට මහින්ද රාජපක්ෂ විසින් පැවසීම කොතරම් ද්වේෂ සහගත වන්නේද?  මෙය හුදෙක් දකුණේ ජනතාව, දකුණේ අහිංසක සිංහල ජනතාව මුළා කිරීම පමණක් නොව, තමා ඇතුළු සියලු දෙනාම රැවටීමකි.

 

මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෙන ගියේ ද්වේෂ සහගත, දුෂ්ට, නොමඟ යවන සුළු අසත්‍යය ප්‍රචාරණයන් බව මේ රටේ සෑම අයෙක්ම දැනගත යුතු වන බැවින්, එය සටහන් කිරීමට මම කැමැත්තෙමි.  ඔබ තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබන්නේ මෙම න්‍යාය පත්‍රය නම්, අප නිසා නොව, ඔබගේ “නෙළුම් පොහොට්ටුව ” හේතුකොට ගෙන ඊළම බිහිවන බව මම කියා සිටිමි.  ඔබගේ “නෙළුම් පොහොට්ටුව ” මඟින් ඊළමක් බිහි කෙරෙනු ඇත.  සිදුවිය හැකි දෙය වන්නේ එයයි. එහෙයින්, පටු දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් එවැනි අසත්‍ය ප්‍රචාරයන් සිදු කිරීමට පෙළඹීමෙන් වළකින ලෙසට මම කාරුණිකව ඉල්ලා සිටිමි.

 

ස්තූතියි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *