අගමැති හා ආණ්ඩුව වෙනස්විය යුතුයයි කියන්න මැතිවරණ ප්‍රතිඵල බලපාන්නේ නැහැ – මහාචාර්ය රෝලන්ඩ් අබේපාල

සෑම මැතිවරණයකම අවසාන භාගයවෙද්දි මැතිවරණ ප්‍රතිඵල මේසේ වේ යැයි උපකල්පනය කරනවා. පසුගිය ප්‍රාදේශීය සභා ඡන්දයේදී ඔබටත් අදහසක් දිබුණද මේ වැනි ප්‍රතිඵලයක් ලැබෙයි කියල.

කොහෙත්ම නෑ. මෙවන් ප්‍රතිඵලයක් ලැබෙයි කියල කවුරුවත් හිතන්න නැතුව ඇති. කවුරුත් බලාපොරොත්තු නොවුන පුතිඵලයක් තමයි ලැබුණෙ.

ජනතාව විශාල බලාපොරොත්තු තියාගෙන තමයි බොහොම අමාරුවෙන් යහපාලන ආණ්ඩුවක් බිහිකර ගත්තේ. අවුරුදු තුනක් ඉක්මයන විට යහපාලන ආණ්ඩුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්වෙලා තියෙනව. යහපාලන ආණ්ඩුව එතනට ඇදවැටුණෙ කොහොමද?

ඒකට ප්‍රධාන හේතුව ජනතාව බලාපොරොත්තුවුන බලාපොරොත්තු ඉටු නොකිරීම. මේ ආණ්ඩුව බලයට ආවේ ජනතාව තුළ විශාල බලාපොරොත්තු ඇති කරමින්. විශේෂයෙන්ම මහින්ද පාලනයේ ඇති වූවායැයි කියන විශාල ප්‍රමාණයේ දූෂණ අක්‍රමකතා, මානව හිමිකම් කඩවීම්, මිනීමැරුම් පිළිබඳ සොයාබලා ඒ වැරදි කරුවන්ට දඬුවම් දී ඔවුන් කොල්ලකෑ ජාතික ධනය යළිත් ජනතාව සතුකරන බව පවසමින්. ඒත් ඒ කිසිවක් සිදු වූණේ නැහැ. නෑ ඒ බලාපොරොත්තු කඩවීම මේ පරාජයට මූලික හේතුවක් බවට පත්වුණා.

වැරදිකරුනට දඬුවම් දීමට ආණ්ඬුව මූලික පියවරයන් තැබුවා. ඔවුන් වැරදිවලින් නිදහස් නොකරන බව කියද්දිත් ජනතාව ඇයි මේ විදිහට ආණ්ඩුව පුතික්ෂේප කෙරුවේ ඇයි?

ආණ්ඩුව වැරදි කරුවන්ට දඬුවම් දෙන බව පැවසුවා. ඔවුන් කොල්ලකාගත් මුදල ආපසු අයකරන බව පුන පුන කීවත් ඒ එකක්වත් කෙරුණෙ නෑ. කෙරෙනපාටක්වත් පෙනුණෙ නෑ. කතාවෙන් නම් මේ ආණ්ඩුව බොහොම ඉස්සහින් තිබුණත් ක්‍රියාවෙන් බොහොම අසමත් ආණ්ඩුවක් බවයි පෙන්නුම් කෙරුණෙ.

ආණ්ඩුව අවුරුදු තුනක් ගෙවිලත් සාධනීය පියවරයන් එකක්වත් ගත්තෙ නැද්ද?

ගත්තා. සාධනීය පියවර රැසක් ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, මාධ්‍ය නිදහසට බාදා නොකිරීම, පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම ආදී කොමිසන්සභා පත්කිරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම තුළින් ජාතින් අතර සමානාත්මතාවයක් ඇති කරන්න උත්සාහ කෙරුවා. නව මැතිවරණ ක්‍රමයකින් මනාප පොරය වැනි මැතිවරණ ප්‍රචණ්ඩත්වයට ඇති ඉඩකඩ නැතිකෙරුවා. ජත්‍යන්ත‍රයේ අපකීර්තිය පත් වී තිබූ ‘ශ්‍රී ලංකිව’ කියන නාමය යළි ඔසවා තැබුවා, ඒ වගේ සාධනීය වැඩ කොටසක් කෙරුවා.

ජනතාව ඇයි ඒ පිළිබඳව තක්සේරුවක් නොකෙරුවේ?

ඒ වැඩපිළිවෙල ජනතාවට ඝෘජුවම දැනෙන දෙයක් නෙවෙයි. ඝෘජුව දැනෙන්නෙ එදිනෙදා ජීවන වියදම. මැතිවරණ සමය ළංවෙනවිට ඒ තත්ත්වය උග්‍ර වුණා. හාල් පොල් මිල ඉහළ ගියා. ලංකාවෙ ඉන්නෙ රට ගැන හිතන ජාතියක් නෙමෙයි. බඩ ගැන හිතන ජනතාවක්. ජනතාවට මේ ආණ්ඩුව එපා වෙන්න ප්‍රධාන හේතුවක් ඒක. මැතිවරණ සමය ළං වෙනකොටවත් බඩුමිල අඩුකරන්න ආණ්ඩුව උත්සාහ ගත්තෙ නැහැ.

ආණ්ඩුව කරපු හොඳ වැඩ මොනවද? ඒවායින් රටට ලැබෙන ප්‍රතිඵල මොනවාද? යන්න පවා ජනතාවට සංනිවේදනය කරන්න ආණ්ඩුව අපොහොසත් වූ බව කියනවා නේද?

ඒකෙ ඇත්තක් තියනනවා. මුල ඉඳලම ආණ්ඩුවෙ සංනිවේදන ජාලය අවිධිමත්, බොළඳ දේවල් විකුණන්න උත්සාහ කළා මිසක් වටිනා දේවල්වලට ඉල්ලුමක් ඇති කළේ නැහැ. ආණ්ඩුව සතු සන්නිවේදන ජාලා කීපයක් තියනවා. මුද්‍රිත හා විද්‍යුත් වශයෙන්. ආණ්ඩුව යහපාලන ප්‍රතිපත්ති අනුව යමින් ඒ වා සිය ප්‍රචාරය සඳහා යොදාගන්න හිතුවෙ නැද්ද කියල කියන්න බැහැ.‍‍

ජයග්‍රාහි පොදු ජන පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වුණේ අලුත් ඡන්ද ලකුණකින්, අලුත් නමකින් ඒක තෙමසකට අඩු කාලයක් ජනතාවට සන්නිවේදනය වූ බවක් පෙනෙනවා. එහෙම රටපුරා ජනතාවක් අලුත් ඡන්ද ලකුණක් ග්‍රහණය කරගන්න තරම් ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාවය දියුණු මට්ටමක තියනවද?

සන්නිවේදන මෙවලම් වල දියුණුවත් සමඟ ජනතාවට එවන් දෙයක් ඉක්මනින් ග්‍රහණය කරගැනීමේ හැකියාව තියෙනව. ඊටත් වඩා ජනතාවගේ දේශපාලන ඕනෑකම උඩ එය ග්‍රහණය කරගන්න ඇති කියල හිතන්න පුළුවන්.

දැනට තිබෙන්නේ රට ස්ථාවරත්වයක කියල කියනව. මැතිවරණයෙන් පසුව රට ස්ථාවර වෙලා තියෙනවද?

ප්‍රාදේශීය සභාවකට නියෝජිතයන් තෝරන මැතිවරණයකින් ආණ්ඩුව පැරදුනා කියල රට ස්ථාවර වෙනවා කියනවනම් ඒක පදනමක් නැති කතාවක්. මේ මැතිවරණයෙන් පස්සෙ පක්ෂවල අභ්‍යන්තරයේ හැල හැප්පීම් ඇති වෙලා තියෙනව. නායකත්වය පිළිබඳව පාක්ෂිකයන්ට ගැටළු ඇතිවෙලා තියෙනව.

නායකත්වය පිළිබඳ ගැටළු ඇතිවෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ පිළිබඳවයි. ඔහු අගමැතිකමින් වගේ ම ඔහු නායකත්වයෙන් ඉවත්වියයුතු යයි හඬක් නැඟෙනවා.

රනිල් කියන්නේ මේ ර‍ටේ ඉහළ ධනපති පංතියේ නායකයා. ඔහු නියෝජනය කරන්නේ දේශීය විදේශිය ධනපති පංතිය. ඔහු නායකත්වය දෙන්නේ ඔවුන්ගේ පක්ෂයට. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ය. ඔවුන්ට ඕනකමක් නෑ රනිල් නායකත්වයෙන් අයින් කරන්න. එක්සත් ජාතික පක්ෂය වටා සාමාන්‍ය ජනතාව ඒකරාශි වෙලා හිටියත් එක්සත් ජාතික පක්ෂය ලංකාවේ තියෙන ධනපති පක්ෂ. ඒ පක්ෂයට ගැලපෙන නායකයා රනිල්.‍

අගමැති හා ආණ්ඩුව වෙ‍නස් වියයුතුද?

අගමැති හා ආණ්ඩුව වෙනස්විය යුතුයයි කියන්න මේ මැතිවරණ ප්‍රතිඵල බලපාන්නේ නැහැ. යහපාලන ආණ්ඩුව පත්වුණේ වසර පහකට. තව වසර දෙකක කාලයක් ඔවුන්ට රට පාලනය කරන්න පුළුවන්. අගමැති වෙනස්විය යුතුයි, ආණ්ඩුව වෙනස්විය යුතුයි කියන්නේ එක් එක් පුද්ගලයන්ගේ හා මාධ්‍යයන්ගේ ඕනෑකමටයි. ඇතැම් මාධ්‍ය ජනතා න්‍යායපත්‍රය නෙමෙයි ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ න්‍යායපත්‍ර.

මනෝජ් රූපසිංහ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *