ව්‍යවස්ථානුකූල පාලනය කොයිබටද? – එම් ඕ ඒ ද සොයිසා

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ පදනම වන්නේ ව්‍යවස්ථානුකූල පාලනයයි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කරගෙන රාජ්‍ය පාලන බලතල ක්‍රියාවට නැංවීමය. ව්‍යවස්ථානුකූල පාලන ක්‍රමයක පවතින එක් වාසියක් වන්නේ ජනතා පරමාධිපතිත්වය මුල්කොට ගෙන රාජ්‍ය පාලන කටයුතු කරගෙන යාමට හැකිවීමය. තවත් වාසියක් වන්නේ දේශපාලන ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයන්ට පිළිගත් පොදු නීතිමය රාමුවකට යටත්ව තමන්ගේ ක්‍රීඩාව කරගෙන යාමට අවශ්‍ය නෛතික පදනම එමඟින් සැපයීමට හැකිවීමය. දේශපාලන ක්‍රමයට මෙන්ම එහි ක්‍රියාකාරිත්වයටද සුජාතභාවය හිමිවීම තුන් වැනි වාසිය වේ. පාලකයන්ට නීතියට අනුව ක්‍රියා කිරීමට සිදුවන බැවින් සහ එසේ කිරීමට නීත්‍යනුකූලවම බැඳී සිටින බැවින් හිතුවක්කාරී සහ අත්තනෝමතික ලෙස රාජ්‍ය බලය අවභාවිත කිරීමට පාලකයන්ට නොහැකි වීම සිව්වන වාසිය වේ. තීතියේ අධිපතිත්වය මත රාජ්‍ය පාලනය ක්‍රියාත්මක වීම පස්වන ලක්‍ෂණය ලෙස දැක්විය හැකිය .

ව්‍යවස්ථානුකූල පාලන ක්‍රමයක් ගොඩනැ‍ඟී ඇති මේ මූලිකාංග අතරින් කුමක් හෝ කඩ වන්නේද එහි නියත ප්‍රතිඵලය වන්නේ ව්‍යවස්ථානුකූල පාලනය බිඳ වැටී අත්තනෝමතික හා හිතුවක්කාරී පාලන ක්‍රමයක් කරා ව්‍යවස්ථානුකූල පාලන ක්‍රමය විතැන්වීමේ අනතුරුදායක තත්ත්වය ඉස්මතු වීමය. අද ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඉස්මතු වී තිබෙන්නේ එවැනි තත්ත්වයක්ය. ඒ කෙරෙහි බලපා තිබෙන මූලිකම හේතුව වන්නේ පසුගිය 10 වැනි දින පැවැත්වුණ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයයි.

මැතිවරණය පැවැත්වූයේ පළාත් පාලන ආයතන 340ට ජනතා නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහාය. එසේ වූවද මැතිවරණ ප්‍රතිඵල මඟින් උද්ගත කළේ නිදහසින් පසු ගෙවී ගිය වසර 70ක කාලය තුළ මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ කිසිම අවස්ථාවක ඇති නොවුණ අතිශය සංකීර්ණ දේශපාලන අර්බුදයක් කරා රට ඇද ගෙන යාමය. මෙම අර්බුදයට එක් අතකින් බලපෑවේ මැතිවරණ ප්‍රතිඵලවලින් ඉහවහා ගොස් උද්දාමයට පත්වූ සමහර කොටස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන විධිවිධාන නොසළකා හරිමින් සහ එම විධිවිධානවලට පටහැනිව කටයුතු කරමින් ව්‍යවස්ථා විරෝධී දේශපාලන ඉල්ලීම් ඉදිරිපත් කිරීමය. අනෙක් අතින් බලපෑවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතිය නීතියට අනුව නොව මම හිතන හැටියට නැති නම් මට හිතෙන හැටියට එසේත් නැතිනම් මම කල්පනා කරන විධියට යනා දී වශයෙන් අර්ථකථනය කරමින් පැන නැ‍ඟී ඇති අර්බුදය විසඳීමට නොව එය තව තවත් අවුල් කිරීමට නීති විශාරදයන් යැයි කියන සමහරුන් තමන්ගේ පාර්ශ්වීය දේශපාලන සම්බන්ධතා අනුව විකෘති අර්ථකථන ඉදිරිපත් කිරීමය.

වර්තමාන දේශපාලන අර්බුදයේ පැතිකඩ දෙකක් හඳුනා ගත හැකිය. මෙයින් එකක් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයක් පවත්වා ඒ අනුව තීරණය වන බල සංයුතිය පදනම් කරගෙන අලුත් ආණ්ඩුවක් ස්ථාපනය කළයුතු බවට මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම ඉදිරිපත් කරන යෝජනාව හරහා මතු වී තිබෙන අර්බුදයයි. මෙම ඉල්ලීම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන සමඟ නොගැලපෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. හේතුව මහා මැතිවරණයකින් පසුව තේරී පත්වන පාර්ලිමේන්තුවක් . . . ‘පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතයක් මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වනතෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය’ යන ව්‍යවස්ථා විධිවිධානයයි (ව්‍යවස්ථාවේ 70.1 වගන්තිය) මෙයින් පෙනී යන්නේ මේ අවස්ථාවේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැර අලුත් මැතිවරණයක් පැවැත්වීම ව්‍යවස්ථාවට අනුව කිසිසේත්ම කළ නොහැකි බවය.

වර්තමාන දේශපාලන අර්බුදයේ දෙවන පැතිකඩ වන්නේ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටලුවයි. එනම් අග්‍රමාත්‍යවරයා තනතුරින් ඉවත් වී නව අගමැතිවරයෙකුගේ නායකත්වය යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට අවස්ථාව සලසා දිය යුතු බවට ඉදිරිපත් වී තිබෙන අර්බුදකාරී යෝජනාවයි. මේ යෝජනාව තවත් ගැටලු දෙකක් පැන නැගීම කෙරෙහි බලපා ඇත. මෙයින් එකක් වන්නේ අගමැතිවරයාට තනතුරින් ඉවත්වන ලෙසට යෝජනා කරන්නේ කුමන පදනමක් යටතේද යන්නය. දෙවැන්න වන්නේ අගමැතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කොට දිගටම තනතුරේ රැඳී සිටීමට තීරණය කරන්නේ නම් එහි දී ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග මොනවාද යන්නය.

මෙයින් පළමු කරුණ සළකා බලන්නේ නම් අගමැතිවරයාට තනතුරින් ඉවත් විය යුතු බවට යෝජනා කරන්නේ සහ බලපෑම් කරන්නේ පළාත් පාලන මැතිවරණයේ දී තමන්ගේ පක්‍ෂය ජයග්‍රහණය කරවීමට ඔහුට නොහැකි වූ බවට එල්ල වන චෝදනාව පදනම් කර ගෙනය. මෙම චෝදනාව සාධාරණ සහ යුක්ති සහගත එකක්ද යන්න මෙහි දී විමසා බැලිය යුතුය. ප්‍රථමයෙන්ම කිව යුත්තේ මැතිවරණයේ දී ලත් පසුබෑම සම්බන්ධයෙන් නායකයාට වඩා වගකිව යුත්තේ නායකයා වටා සිටින සමහර අදෘශ්‍යමාන පුද්ගලයන් සහ පක්‍ෂයේ අනෙකුත් වගකිව යුතු සෑම අයෙක්ම බවය. පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙම චෝදනාවට විශේෂයෙන්ම ලක් විය යුතුය.

සාමූහිකව කරන ලද ක්‍රියාවක අවසාන ප්‍රතිඵලය පිළිබඳ එයට සම්බන්ධ සියලු දෙනාම සාමූහිකව වගකිව යුතු තත්ත්වයක් පැන නැගුන විට එයට මුහුණ නො දී නායකයා පාවා දී පලායාම නායකයාට මෙන්ම පක්‍ෂයටද කරන බරපතළ ද්‍රෝහිකමක් බව අමුතුවෙන් කිවයුතු නැත. දෙවන කරුණ වන්නේ පළාත් පාලන මැතිවරණයක නැති නම් ගමේ ගොඩේ භාෂාවෙන් කියනවා නම් ගම් සභා මැතිවරණයක ප්‍රතිඵල රටේ වැදගත්ම දේශපාලන තනතුරක් වන අගමැති තනතුරේ පැවත්ම තීරණය කිරීමට තරම් බරපතළ නිර්ණායකයක් ලෙස යොදා ගැනීමට දරන උත්සාහයට ඇති තාර්කික පදනම කුමක්ද යන්නය. ගම්සභා මැතිවරණයේ ප්‍රතිඵල මඟින් පෙන්වන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පමණක් නොව මැතිවරණයට ඉදිරිපත් වූ අනෙක් සෑම ප්‍රධාන දේශපාලන පක්‍ෂයක්ම පසුබෑමට ලක්ව තිබෙන බවය.

ආචාර්ය නාලක ගොඩහේවා ඉදිරිපත් කර තිබෙන තර්කයකට අනුව පසුගිය 10 දා පැවැත්වුණ ගම්සභා මැතිවරණයේ ප්‍රතිඵල අනුව මේ රටේ මුළු ඡන්දදායකයන්ගෙන් 55.35% ක් මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇත. 67.39% ක් විසින් එක්සත් ජාතික පක්‍ෂය ප්‍රතික්ෂේප කර ඇත. 86.62% ක් විසින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇත. 93.73% ක් විසින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කර ඇත. මෙම ප්‍රතිඵල පදනම් කරගෙන දේශපාලන නායකයන්ගේ දේශපාලන ජීවිතය තීරණය කරනවා නම් ප්‍රථමයෙන්ම දේශපාලනයෙන් විශ්‍රාම යා යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය. ඊළඟට විශ්‍රාම යා යුත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාය. තුන්වෙනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාය. අවසාන වශයෙන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාය.

තත්ත්වය මෙසේ නම් රනිල් වික්‍රමසිංහ පමණක් දංගෙඩියට දීමට ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් උත්සාහ ගන්නේ ඇයිද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. හේතුව වෙන කිසිවක් නොව 2020 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමහරු දකින සිහින බොඳ කරන එකම බාධකය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වීමය.

අගමැතිවරයා හා සම්බන්ධ ප්‍රශ්නය සමඟ බැඳී පවතින දෙවන අර්බුදකාරී කරුණ වන්නේ අගමැතිවරයා තනතුරෙන් ඉවත් නොවන්නේ නම් එහි දී ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද යන්නය. මෙහි දී අදාළ වන්නේ මනෝමූලිකව ගොඩනගන අර්ථයක් නොමැති පාර්ශ්වීය දේශපාලන තර්ක නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම කරුණ හා සම්බන්ධව දැක්වෙන ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයන්ය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගමැති තනතුර සම්බන්ධයෙන් පවතින බරපතළම අර්බුදය වන්නේ අගමැති තනතුරට පත් වූ අයකු එම තනතුරින් ඉවත් කරන්නේ කෙසේද යන්න හා අදාළ ක්‍රමවේදය දක්වා නොතිබීමය. ව්‍යවස්ථාවේ 42.4 වගන්තියට අනුව ජනාධිපතිවරයා විසින් අගමැති තනතුරට යම් අයකු පත්කළ යුත්තේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයාය. මෙය අවුල් සහගත වගන්තියක් වූවද මෙයින් එළඹිය හැකි නිගමනය වන්නේ බහුපක්‍ෂ ක්‍රමයක් මත නියෝජන සංයුතිය සකස් වී ඇති පාර්ලිමේන්තුවක බහුතර විශ්වාසය දිනාගත් මන්ත්‍රීවරයා ලෙස සැළකිය යුත්තේ මහා මැතිවරණයකින් පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්‍ෂයේ නායකයා හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා වන බවය. එකම පක්‍ෂයක නායකයා ජනාධිපති තනතුර දරන විට සහ එම පක්‍ෂයට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් හිමි වූ විට අගමැතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අභිමතානුසාරී බලයක් හිමිවූවද පාර්ලිමේන්තුවේ බහුතර බලය ජනාධිපතිවරයාට අයත් නොවන විට ඔහුට අගමැතිවරයා පත්කිරීමේ බලය අභිමතානුසාරී ලෙස යෙදවිය නොහැකි අතර එම නිසයි එවැනි තත්ත්වයක දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළ ඒ ඒ දේශපාලන පක්‍ෂවල සාපේක්‍ෂ ශක්තිය සැළකිල්ලට ගත යුත්තේ.

අග්‍රමාත්‍ය තනතුරට රනිල් වික්‍රමසිංහ පත්කර තිබෙන්නේ මෙම පදනම මතය. මෙයාකාරයට ව්‍යවස්ථානුකූලව අගමැතිධුරය සම්බන්ධයෙන් කරන ලද පත්කිරීමක් පවතින ව්‍යවස්ථානුකූල රාමුව තුළ ජනාධිපතිවරයාට තම අභිමතයට අනුව වෙනස් කළ නොහැකිය. ඒ අතර එවැනි වෙනස් කිරීමක් කළ හැකි එකම ක්‍රමය වන්නේ අපට බහුතර බලය තිබෙනවායැයි එක් එක්කෙනා ඉදිරිපත් කරන කොළ කැබලි පදනම් කරගෙන නොව පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්කරන විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පමණි.

මෙයින් පෙනී යන්නේ අගමැතිවරයකු තනතුරින් ඉවත් කිරීමේ පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස ජනාධිපතිවරයාට නොවන බවය. අගමැති තනතුර හා සම්බන්ධ කථිකාවතේ තවත් මාතෘකාවක් වන්නේ අමාත්‍ය මණ්ඩලය විසිරවීම සහ එසේ වුවහොත් අගමැති තනතුර හිස්වන බවය. අමාත්‍ය මණ්ඩලය විසිරවීම පිළිබඳ සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 වන වගන්තිය තුළය. එයින් කියවෙන්නේ ස්වකීය කැමැත්තෙන් ඉල්ලා අසවීමෙන් හෝ පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පසුව තනතුරින් ඉවත් කිරීම හේතුකොට ගෙන හෝ මරණයට පත්වීමෙන් හෝ අගමැති තනතුර හිස්වුව හොත් අමාත්‍ය මණ්ඩලය විසිරී යන බවය.

එසේ නොමැතිව ජනාධිපතිවරයාට අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමට ස්වකීයම වූ බලයක් ගැන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නැත. මෙයින් අදහස් වන්නේ අගමැති තනතුර දරන අයකු එම ධුරය දරන්නේ යම්තාක් කල් දුරකටද ඒ දවක්වාම අමාත්‍ය මණ්ඩලය විසිරවීමක් සිදු නොවන බවය. එසේ වූවද ව්‍යවස්ථාවේ 43, 44 සහ 45 වගන්තිවල දැක්වෙන ආකාරයට අගමැතිගේ අදහස් විමසීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ අවශ්‍යයැයි සිතන වෙනස්කම් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබේ. නමුත් වෙනස්කම් කිරීම විසිරවීමක් ලෙස අර්ථකථනය නොකළ යුතුය. ජනාධිපතිවරයා විසින් සියලුම අමාත්‍යවරුන් එකවර අස් කළද අගමැතිවරයා වෙනස් කිරීමට නොහැකි බැවින් අමාත්‍ය මණ්ඩලය නොවිසෙරෙන අතර එහි දී ජනාධිපතිවරයාට කළ හැක්කේ ඉවත් කළ අමාත්‍යවරුන් වෙනුවට නව අමාත්‍යවරුන් පත් කරමින් අමාත්‍ය මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පමණි.

අවසාන වශයෙන් කිව යුත්තේ රට පාලනය කළ යුත්තේ කොළ කැබලි ඉල්ලීම් අනුව හෝ හැඟීම් හා ආවේග මත කරන හරසුන් ඉල්ලීම මත නොව රටේ පිළිගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන විධිවිධානවලට අනුව බවය. මෙහි දී ව්‍යවස්ථාව අර්ථකථනය කළ යුත්තේද එම නියමයට අනුව විනා මට හිතෙන හැටියට හෝ මට හැඟෙන ආකාරයට හෝ මම කල්පනා කරන ආකාරයට නොවන බව උගත් නීතීඥවරුන්ද අවබෝධ කරගත යුතුය. රට පාලනය කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවය. ව්‍යවස්ථානුකූල පාලනය බල්ලට ගියවිට ඇතිවන්නේ අරාජිකත්වයයි. අරාජිකත්වයේ අවසානය ආඥාදායකත්වයයි. අද සමහරු උත්සහ කරන්නේ එම කුරිරු ආඥාදායකත්වය යළිත් වරක් අපේ රටට උදාකර දී එම දුර්දාන්ත පාලනයට රටේ ජනතාව යටත් කිරීමටද?

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *