පුංචි ඡන්දයෙන් මහින්දට බලය නොදී, මේ ආණ්ඩුවට පාඩමක් උගන්නලා තියෙනව. ඒක ඡන්දදායකයගෙ බුද්ධිමත් තීරණයක් – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

විශාල බලාපොරොත්තු ඇතිව පත්කරගත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන්, වසර දෙක හමාරක තුනක කාලයක් ගෙවෙද්දි පවත්වපු පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල දිහා බැලූ බැල්මට පෙනෙන්නේ ආණ්ඩුව ජනතාවට එපා වී ඇති බවයි. ඔවුන් යළි බලයට පත් කරන්න සූදානම් වන්නේ පරාජය වුණු, දූෂිත මහින්ද රෙජිමයයි හඳුන්වාදුන් කණ්ඩායමයි. මේ තත්ත්වය පිළිබඳ ඔබේ විග්‍රහය මොනවගේ එකක්ද?

2015 ජනවාරි සහ අගෝස්තු බලයට පත්කරපු ජනපති සහ ආණ්ඩුව ජනතාවට එපා වුණා කියලම කියන්න අමාරුයි. ඡන්ද ක්‍රම දෙකක් යටතේ පවත්වන ලද ඡන්ද දෙකකුයි මෙතනදි බොහෝ අය සංසන්දනය කරන්නේ. පසුගිය පළාත් පාලන ඡන්දය පැවැත්වුණේ මුළු රටේම අටදහස් ගණනක් පළාත් නියෝජිතයින් පත්කර ගන්න.

සමස්ථ ඡන්ද ප්‍රතිඵළය බැලුවම මහින්ද රාජපක්ෂට පක්ෂව ලැබිල තියෙන්නෙ පාවිච්චි කරනලද මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 44.66%ක ප්‍රමාණයක්. එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (බුලත් කොළය සහ අත) ඒවගේම තමිල් අරසු කච්චි, ජේ.වී.පී. අරගෙන තියනවා පාවිච්චි කරනලද ඡන්ද සංඛ්‍යාවෙන් 55.35%ක්.  ඒ විදිහට පාර්ලිමේතුවේ බලයට කිසිම බලපෑමක් වෙලා නැහැ.

නමුත්, ඒ එක්කම අපි පිළිගන්න ඕනැ, අපි බලාපොරොත්තු වුණ විදිහටම ජනවාරි 08වෙනිදා මේ රටේ බලාපොරොත්තු වෙච්ච දූෂණය නැති කිරීම, දූෂිතයන්ට දඬුවම් කිරීම, ජාතික සමගිය ඇති කිරීම, නීතියේ පාලනය ඇති කිරීම කියන එකක්වත් සිද්ධ වුණේ නෑ. ඒ විතරක් නෙමෙයි මේ ආණ්ඩුවමත් විශාල වංචාවකට අසුවෙලා තියනවා මහ බැංකුවෙ. එකෙන් වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහට කොහොමවත් ගැලවෙන්න බෑ.

කොහොම නමුත් ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ රටේ අවිනිශ්චිතභාවයක් ඇති වෙලා තියෙනව නේද?

අතිවෙලා තියෙන අවිනිශ්චිතභාවයක් නෙවෙයි, ඇතිකරන ලද අවිනිශ්චිතභාවයක් කියල කිව්වොත් වඩාත් හරි. එක අතකින් මාධ්‍ය මගිනුත්, නැවත බලය ඒමට කැසකවන පරාජිත බලවේග විසින් නිර්මාණය කරනලද අවිනිශ්චිතභාවයක් නැත්නම් අවුලක් තමයි මෙතන තියෙන්නේ.

කොහොම වුනත් එම අවුල මේ මොහොත වනවිටත් ලිහිලා නෑ නේද? මෙයට ගත යුතු පිළියම කුමක්ද?

මගේ අදහසේ හැටියට නම් මේ පවතින ආණ්ඩුව පැවති පිළිවෙලටම ඉදිරියටත් කරගෙන යායුතුයි. ඒ කරගෙන යන අතරම වහාම ආණ්ඩුව බලයට එද්දි පොරොන්දු වෙච්ච මෙතෙක් නොකරන ලද දේවල් සම්පූර්ණයෙන්ම ඉටු කරන්න ඕනැ.

නොකරන ලද දේවල් මොනවද? අපි නැවත මතක්කරල දෙමු නේද?

දූෂිතයන්ට දඬුවම් දියයුතුයි, ජාතික සමගිය ඇති කළ යුතුයි, උතුරු නැගෙනහිර ඉඩම් අහිමි වූවන්ට ඉඩම් දියයුතුයි, ඔවුන්ගේ රැකියා ඇතුළු අවශ්‍යතාවයන් සපුරාලිය යුතුයි, නීතියේ පාලනය ඇති කළ යුතුයි. ඉදිරි අවුරුදු දෙක තුන මේව සම්පූර්ණ කළොත්, ඉදිරි අවුරුදු දෙක අවසානයේ දී මේ ඇති වුණ තත්ත්වයේ වෙනස් ඇති කරගන්න බැරිවෙන එකක් නැහැ.

ජනතාව ආණ්ඩු බලය ලබා දුන් අවුරුදු පහක කාලයෙන් වැඩි කාලයක් ගෙවී ගොස් අවසන්. ඉදිරි අවුරුදු දෙකක කාලයකින් ඔය සියලු වැඩකටයුතු කළ හැකියයි විශ්වාස කරන්න පුළුවන්ද?

අවුරුදු දෙකකින් සම්පූර්ණයෙන්ම කරල අවසන් කරන්න බැරිවෙයි. නමුත් හරි ආරම්භයක් ගන්න පුළුවන්. මෙතෙක් හරිආරම්භයක් නියම විදිහට වුණේ නෑ කියල කියන්න පුළුවන්. ඊට හාත්පසින්ම වෙනස් දේවල් තමයි කෙරුවෙ. ඒ තත්ත්වය වෙනස් කරගෙන, පොරොන්දු වූ දේවල් කරන්න පටන්ගත්තොත් ඒකෙන්ම මහජන මතයේ වෙනසක් දකින්න පුළුවන් වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයකදී මොනවගේ තත්ත්වයක් නිර්මාණය වෙයිද?

ජනාධිපතිවරණයක දී සටනක් ඇති වෙන්නෙ බොහෝ විට දෙන්නෙක් අතර නැත්නම් තුන්දෙනෙක් අතර. එතකොට ඡන්ද බෙදෙන්නෙ මේ විදිහට නෙමෙයි. මහින්ද පාර්ශ්වය මිනිස්සු ප්‍රතික්ෂේප කෙරුවා ආඥාදායකත්වය, මිනී මැරීම, දූෂණය වගේ හේතුමත. ඉදිරි ජනාධිපති මැතිවරණයකදිත් ඒක වෙනස් වෙයි කියල මම හිතන්නෙ නැහැ.

මේ ඡන්ද පුතිඵලයෙන් එහෙම පෙනෙන්නෙ නැහැ නේද?

මේකෙදි මිනිස්සු දන්නවා මේ ඡන්ද ප්‍රතිඵලයෙන් ආණ්ඩුමාරු වෙන්නෙ නෑ කියල. මේක ඡන්දදායකයනට ලැබුණු හොඳ අවස්ථාවක්. මහින්ද බලයට ගේන්නෙ නැතුව, ආණ්ඩුව යන ගමන්මගට විරෝධය පාන්න ජනතාවට ලැබුණු හොඳ අවස්ථාවක් මේක. ඒ කාර්ය ඉතාම දක්ෂ විදිහට මේ ඡන්දදායකයො කරල තියෙනව. මෙතනදි ඡන්දදායකයා බුද්ධිමත් නෑ කියල කියන බෑ. මහින්දගෙ පාලනය නැවත ගේන්නෙ නැතුව මේ ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරල තියනව. ඒක ඡන්දදායකයාගේ බුද්ධිමත් තීරණයක්.

ඒක අපිටත් හොඳ පණිවිඩයක්. යහපාලනයට උර දීපු, පසුගිය අවුරුදු තුන තිස්සෙ ආණ්ඩුව යන මඟ බලාගෙන හිටපු අපිටත් දුන්න හොඳ පණිවිඩයක්. තවත් ප්‍රමාද නොවී යහපාලන පොරොන්දු ඉටු කරන්න කියල හොඳ පණිවිඩයක් දීල තියෙනවා, මේ ඡන්ද ප්‍රතිඵලයෙන්.

ඒ පණිවිඩය ආණ්ඩුව තේරුම් ගනීද? ඒ අනුව වැඩකරයි කියල හිතනවද?

අනිවාර්යෙන්ම ඒ අයට එහෙම කරන්න සිද්ධ වෙනව. නැත්නම් එයාලගෙ දේශපාලන අනාගතය ඡන්දදායකයා තීරණය කරාවි. අපි හිතන්නෙ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් දෙන, නීතියේ ආදිපත්‍ය රකින රජයක් පත්විය යුතුයි කියලයි. ඒ සඳහා ආරම්භයක්වත් මේ අවුරුදු දෙකේදිවත් මේ රජය කරනව නම්, ඒක තමයි මහජනයා උගන්නපු දෙයින් මේ ගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන හොඳම පාඩම.

එ.ජා.ප. යේ නායකත්වයට විවේචනය එල්ල වෙනව නේද? එය එ.ජා.ප. පැවැත්මට කෙසේ බලපායිද?

එ.ජා.ප. වත්මන් නායකයාව මිනිස්සු නම් කරල තිබුණෙ මිස්ටර් ක්ලීන් කියල. මිනිස්සු තවදුරටත් ඒක විශ්වාස කරයි කියල හිතන්න අමාරුයි. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ගෙ දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් ඒ ගොල්ලන්ට වෙන නායකයෙක් පත්කර ගැනීම වඩා උචිතයි.

ඔබ කියන විදිහට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයක් බාර ගන්න දෙවන පෙළ නායකත්වයක් ගොඩ නැගිල තියෙනවද? ජනතාව අතර විශේෂයෙන්ම පාක්ෂිකයන් අතර මතයක් තියෙනව නායකත්වය විසින් දෙවන පෙළ නායකත්වයක් ගොඩනැගෙන්න දෙන්නෙ නැහැ කියල.

නායකත්වයක් සඳහා සුදුසුකම් තියෙන අය නැත්තෙ නැහැ. ඉන්නවා. නම් වශයෙන් කියනව නම් හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා වගේ පිරිසක් ඉන්නවා. දූෂණයට විරුද්ධ, නීතියේ පාලනය ඇති කරන්න ඕනැ කියන, නවීන අදහස් තියෙන අය ඉන්නව. ඒ අය මෙතෙක් කල් කිසියම් හේතුවක් හින්දා නායකයාගේ උවමනාවන් විදිහට තමයි හැඩගැසුනෙ. කාටවත් බැරිවුණා නායකයා කරන වැරදි කියල දෙන්න. ඔවුන්ටත් හොඳ පාඩමක් මේ ඡන්ද ප්‍රතිඵලය. පක්ෂය රැකගන්න නම්, ඔවුන්ගේ වුවමනාව රැකගන්න නම්, ඔවුනුත් නායකයින් වශයෙන් ගොඩනැගෙන්න ඕනැ කියන සිතුවිල්ල සිතට අරගෙන නායකත්වයේ වැරදි විවේචනය කරමින් නායකත්වයට සහයෝගයක් දෙන්න ඕනෑ.

එජාප නායකත්වයට ඔබ යොජනා කරපු නම් තුන අතර සජිත් ප්‍රේමදාස නෑ. ඒ වුණත් ජනතාවගෙන් කියැවෙන්නෙ සජිත් නායකත්වයට ගේන්න ඕනැ කියන එක නේද?

එහෙම මතයක් සමහර අය විසින් ඇති කරල තියෙනව. ඒත් මම පුද්ගලිකව හිතන්නේ ඒ සඳහා සුදුසු පරිනත භාවයක් සජිත්ගෙ තවම නැහැ කියලයි.

එක්සත් ජාතික පක්ෂය කියන්නෙ දීර්ඝ ඉතිහාසයක් තියෙන මේ රටේ ධනපති පන්තිය නියෝජනය කරන පක්ෂය, ඒ වගේ පක්ෂයකට නායකත්වය දෙන්න සජිත්ට තාම පුළුවන්ද කියන එක ගැන මට තාම සැකයක් තියෙනව. සජිත් ගේ පියා ආර්. ප්‍රේමදාස පිළිබඳවත් ජනතාවගෙ ඒ වගේ සැකයක් තිබුණ. ඒත් ඔහු සෑහෙන දුරකට නායකත්වයක් දුන්නා. එය ඇති කරගත යුතු දෙයක්.

අපි අමතක නොකළ යුතුයි එක්සත් ජාතික පක්ෂය වටා සාමාන්‍ය ජනතාව එකතුවෙලා හිටියට එක්සත් ජතික පක්ෂය ධනපති පංතියෙ උවමනාවල් ඉෂ්ඨ කරන පක්ෂයක් බව.

ධනපති වුවමනාවන් මත පක්ෂය මෙහෙයවීමෙන් පොදු ජනතාවට සෙතක් වෙයි කියල විශ්වාස කරන්න පුළුවන්ද? ජනතාවගේ එදි නෙදා ජීවන වියදමත් මේ ඡන්ද ප්‍රතිඵලයට සැලකිය යුතු අන්දමින් බලපෑම් ඇති කෙරුව.

මේ රජය ආර්ථිකය හැසිරවීමේ දී නව ලිබරල්වාදී ප්‍රතිපත්ති අනුව යන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙ ආර්ථික ප්‍රතිපත්ති අතරත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ තුළ ආර්ථිකය හැසිරවිය යුතුයයි විශ්වාස කරන මෛත්‍රිපාල සිරිසේනගෙ ආර්ථික පුතිපත්ති අතර ගැටුමකුත් තියෙනව.

ඔබ හිතන්නේ අපේ රටට ගැලපෙන අර්ථ ක්‍රමය කුමක්ද?

මම හිතන්නේ අපේ රටට ගැලපෙන්නේ සමාජවාදි යහපාලනයක් කියලයි.

නව ලිබරල්වාදය ලෝකයෙන් ප්‍රතික්ෂේප වෙමින් තියෙනව නේද?

නව ලිබරල් වාදය අපේ රටේ විතරක් නෙමෙයි ඇමරිකාවෙනුත් ප්‍රතික්ෂේප වුණා. නව ලිබරල් වාදය කරන්න ගිය ගොඩක් රටවල ආර්ථිකය කඩාගෙන වැටුණ. නවලිබරල් ක්‍රමයේ එක් අංගයක් වූ ගොලීයකරණය සම්පූර්ණයෙන්ම අතඇරල ඇමරිකානු රජය ආර්ථික කටයුතුවලට අත තිබ්බා ඔබාමගෙ කාලෙම.

චීනය ආර්ථිකය කළමණාකරණයේ දී ඉස්සරහට ඇවිත් තියෙනව නේද?

ඔව්. පැරණි සිල්ක් රෝඩ් නැත්නම් සේද මාවත නැවත විවර කරල ඔවුන් ලෝකය පුරා ව්‍යාපාර ප්‍රවර්ධනය කරගෙන යනව.  ඔවුන් උපක්‍රමශිලිව ආසියාවේ, අප්‍රිකාවේ ව්‍යාප්ත වීම මගින් එක්තරා ආධිපත්‍යයක් ඇතිකර ගෙන තියෙනව.

දැනට මේ මොහොත වෙනවිට රටේ ඇතිවෙලා තියෙන්නෙ අස්ථාවර තත්ත්වයක් කියල අසන්න ලැබෙනව. මේ තත්ත්වය දිගටම පැවතීම රටකට හොඳ නැහැ නේද?

අස්ථාවර තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඇති කරල තියෙනව. මේ ආණ්ඩුව යටතේ මහජනයා ඉල්ලපු යහපාලනයට විරුද්ධ, කලින් බලයේ සිටි එකාධිපති බලවේග විසින් තමයි එසේ අරාජික තත්ත්වය ඇතැයි කියල කියන්නේ.

ලෝකයේ අත්දැකීම් එක්ක බලනකොට මෙවැනි අස්ථාවර තත්ත්වයක් දිගින් දිගටම තිබීමෙන්, ලෝක බලවතුන්ගේ අත පෙවීම් මත අභ‍්‍යන්තර ගැටුම් නිර්මාණයකර, විවිධ පාර්ශ්වයන්ට ආයුධ සපයා සිවිල් යුධ තත්ත්වයක් නිර්මාණය කළ තත්ත්වයන් තියෙනව. එසේ ගැටුම් නිර්මාණය කිරීමෙන් පසු එම රාජ්‍යන්හි ගැටුම් සමනය කිරීමට කියා පැමිණි ලෝක බලවතුන් එම රටවල් ඔවුන් වෙත නතුකර ගෙන තියෙනව. ඒක නරක පූර්වා දර්ශයක්. එහෙම තත්ත්වයකට අප රටටත් මුහුණ දීමට සිදුවෙයිද?

අද ලංකාවේ පවතින තත්ත්වය අනුව එවැනි සන්නද්ධ අරගල තත්ත්වයකට යයි කියල මම විශ්වාස කරන්නේ නැහැ. 71 සහ 88-89 යන කාලවල තරුණ සිංහල තරුණ පිරිස් විසින් කරන ලද අරගල දෙකක් අසාර්ථක වූ තත්ත්වයක හා උතුරේ තිස් වසරක යුද්දය පරාජය කරපු තත්ත්වයක එවන් තත්ත්වයක් ඇතිවේයැයි විශ්වාස කරන්න අමාරුයි. දැන් රටට ශක්තිමත් හමුදාවක් ඉන්නව. ඒ නිසා එවැනි තත්ත්වයක් නිර්මාණය වෙයි කියල කියන බෑ කොහොමටවත්.

මම අදහස් කළේ අභ්‍යන්තර අරගල තත්ත්වකයට වඩා විදේශ බලපෑම් මත එවැනි තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ කඩ නැතිද? යන්නයි.

නැහැ. එවැන්නක් නිර්මාණය වෙන්න ඉඩකඩ නැහැ. හැමෝටම ඕනැ යුද්ධයක් නෙමේ බල ආධිපත්‍ය මෙන්ම වෙළඳපොළයි. චීනය හා ඉන්දියාව දෙකම ඇහැ ගහගෙන ඉන්නේ ඒ කරුණු ගැනයි. දෙගොල්ලන්ගේම අවශ්‍යතාව තේරුම් ගනිමින් ඒ තත්ත්වය අපේ රට දියුණු කරන්න පාවිච්චි කරන්න පුළුවන්.

දැනට තියෙන්නේ බලඅරගලය නිමාවිය යුත්තේ කෙසේද? කවුද අගමැති? මොන කණ්ඩායමටද ආණ්ඩුබලය දිය යුත්තේ? කියල මතයක් ගොඩනගා තියෙනව.

මම නම් හිතන්නේ මේ අරගල තත්ත්වය තවදුරටත් ඉදිරියට යානොදී, පැවති විදිහටම යහපාලන ඉදිරියටත් ගෙනයායුතුයි. මේ ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යායුතුයි. පළාත් පාලන ප්‍රතිඵල මත ආණ්ඩුව වෙනසක් කිරීමට කිසිම හේතුවක් පෙනෙන්නේ නෑ.

මහින්ද පාලනයේ වැරදි වලට, මහින්ද පිලට දඬුවම් කරනවට ජනතාව කැමතිවෙයිද? මේ ඡන්ද ප්‍රතිඵලයෙන් ඔවුන් නිර්දෝශී කළ බවයි හැඟෙන්නේ.

නෑ. එහෙම දෙයක් මේ මැතිවරණ ප්‍රතිඵළ වලින් ගම්‍ය වෙන්නේ නැහැ. පහුගිය ජනාධිපතිවරණයේ දීත්, මහමැතිවරණයේ දීත් ගත්ත ඡන්ද ප්‍රමාණයට අඩු ප්‍රමාණයක් තමයි මහින්ද රාජපක්ෂ පිල අරගෙන තියෙන්නේ. 47%කට වැඩි ප්‍රමාණයක් ගත්තා පසුගිය මහ මැතිවරණයේ දී. මෙම මැතිවරණයේ දී අරන් තියෙන්නේ 44.66%ක ප්‍රමාණයක් විතරයි. අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදි විදිහට බැලුවොත් මේ රටේ බලය ඔවුන් සතු නැහැ.

නමුත් මාධ්‍ය තුළින් හා ඔවුන්ගේ හැසිරීමෙන් පිළිබිඹුවෙන්නේ වෙන දෙයක්. ජනතාව ඔවුන්ට බලය දී ඇති බවයි.

සමහර මාධ්‍ය ඔවුන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර අනුව කටයුතු කිරීම නිසා එහෙම පෙන්නවා. එකෙන් ඔවුන් උදව් කරන්නේ පහුගිය කාලේ ඔවුන්ට පහර දුන්න උදවියටම නේද කියල ඔවුන් හිතන්නෙ නෑ. බොහෝ ජනමාධ්‍ය තත්ත්වය ගැඹුරින් නොසිතායි කටයුතු කරන්නේ. එයින් වෙන්නේ නැවතත් දූෂිත බලවේගවලට හිස එසවීමට මඟපාදාදීමක් කියා ඔවුන් හිතන්නේ නෑ.

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *