පටු අවස්ථාවාදයට යට නොවෙමු – භාතිය බරුකන්ද

ඉතාම පැහැදිලි නෛතික සීමා කිරීම් තිබියදී පවා තම පටු හා අවස්ථාවාදී වුවමනා එපාකම් හා අවස්ථාවාදී පටු න්‍යාය පත්‍ර වෙනුවෙන් රටේ සමස්ත ජනතාවගේ අති බහුතර ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථා උගුලක සිර කිරීමට ඇතැම් කල්ලි හා කණ්ඩායම් ගන්නා මේ අනීතික හා සාවද්‍ය ප්‍රයෝග ගැන ජනතාව වඩාත් සංවේදී විය යුතුය.

“නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවේ” කියන කතාව අපි කවුරුත් අහලා තියෙනවා. ඒත් අපෙන් අති බහුතරයකට නීතිය ගැන මූලික දැනුමක් පවා නැහැ. ඒ වගේම සමහරු දැන දැනම නීති කඩනවා. ඒ ඔවුන් නීතියට බියක් නොදක්වන නිසා පමණක් නොවෙයි පුරුද්දට වාගේ. ඔවුන් නීතිය කැඩීම මගින් කිසියම් මානසික තෘප්තියක් ලබනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය දෙස සියුම්ව විමසා බලන විට අපට පැහැදිලිව පෙනී යන තත්ත්වයක් තමයි ජනතාවගෙන් පමණක් නොවෙයි දේශපාලනඥයන්ගෙන් ද අති බහුතරයක් රටේ නීතිය ගැන මෙලෝ හසරක් නොදන්නා බව. ඒත් ඇතැම් නීතිවේදීන් කියන්නේ ජනතාව මූලික නීතිය ගැන නොදැන සිටීම එතරම් ප්‍රශ්නයක් නොවුණ ද මේ නීති සම්පාදනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මූලික නීතිය ගැන නොදැන සිටීමට කිසිම හේතුවක් නොමැති බවයි. ඒ වගේම ඔවුන් ඒ ගැන නොදැනුවත්නම් ඔවුන්ට ඒ සඳහා සමාවක් ද දිය නොහැකි බවයි. ඊට හේතුව වන්නේ තමන් විසින් සම්පාදනය කර පනවන නීතිය ගැන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොදැන සිටීම බරපතළ වරදක් නිසයි.

ජනමතයට අභියෝග කළ වැඩවසම් ඉතිහාසය

නීතියේ ආධිපත්‍යයෙන් තොර වැඩවසම් තත්ත්වය පරාජය කරමින් 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ලක්ෂ 62ක් වන අති බහුතර ජනතාවක් විසින් යළි නීතියේ ආධිපත්‍ය රට තුළ ස්ථාපිත කර තහවුරු කළා. එහි ධනාත්මක ප්‍රතිඵල අප පසුගිය තෙවසරක කාලය තුළ අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියෙන් ලබා ගත්තා. මෙහිදී අප දැක්ක ප්‍රධාන දෙයක් වුණේ පරණ ගමන් මගින් සම්පූර්ණයෙන් බැහැර වෙමින් යහපාලන ආණ්ඩුවේ විධායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම නීතියේ ආධිපත්‍යයට ගරු කිරීමට, හිසනැමීමට යොමුවීමයි.ඒත් මෙහිදී ද අප පරාජිත රෙජිමය සුපුරුදු ආකාරයෙන් නීතියේ ආධිපත්‍යයට හා ජනමතයට අභියෝග කරන ආකාරයක් පැහැදිලිව දැක්කා. ඒ අතර ප්‍රමුඛ කරුණ වුණේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පරාජිත රෙජිමය ජනවාරි 08 වැනිදා මෙරට ලක්ෂ 62ක් වන සමස්ත පොදු ජනතාවගෙන් අති බහුතරය ලබා දුන් තීන්දුව නොපිළිගෙන එයට අභියෝග කිරීම හෝ එම තීන්දුවට නිගරු කිරීමයි. ඔවුන් 62 ලක්ෂයක් ඡන්ද ලබාගත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් පිළිගැනීමට සූදානම් වුණේ නැහැ. ඒ වෙනුවට සිදු වුණේ මේ ඓතිහාසික ජයග්‍රහණය “අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්” “දමිළ ඩයස්පෝරා උගුලක්” ලෙස ලඝු කරමින් ජනමතයට නිගරු කිරීමයි.

බහුතර ජනමතයට අභියෝග කිරීමේ, නිගරු කිරීමේ මේ පුරුදු සුපුරුදු පිළිවෙත 2015 අගෝස්තු මහ මැතිවරණයේදී ද අපට ඉතාම පැහැදිලිව දැකගත හැකි වුණා. එහිදී එක්සත් ජාතික පක්ෂය විසින් ලබාගත් මන්ත්‍රී ධුර 106ක බහුතරය නොපිළිගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ලබාගත් මන්ත්‍රීධූර 95 ඉහළට ඔසවා තබමින් පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් කිරීමට පවා පරාජිත රෙජිමය සූදානම් වුණා. මෙවැනි ඉතිහාසයක් හිමි පරාජිත රෙජිමය යළිත් පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ලබාගත් සියයට 44ක ඡන්ද ප්‍රතිශතය යහපාලන බලවේග විසින් පොදුවේ ලබාගත් සියයට 56ක අති බහුතරයට ඉහළින් ඔසවා තැබීමට ගන්නා ප්‍රයත්නය ගැන අප පුදුමයට ද පත්විය යුතු නැහැ. ඒ ඔවුන් ඉතිහාසය පුරාම ජනමතය නොසලකා අධිපතිවාදී, ෆැසිස්ට්වාදී මානසිකත්වයෙන් ක්‍රියාකළ නිසයි. ඉදිරියේදී ද එවැනි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි නිසයි.

නීතිය දැන දැන කරන වංචාව

මේ සමඟ අපට පහසුවෙන් දැකගත හැකි තවත් ප්‍රධාන කරුණක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අභියෝග කරමින් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පනවා ඇති ප්‍රතිපාදන වසන් කරමින් ජනතාව හමුවේ මිත්‍යාවන් වැපිරීමට පොහොට්ටු පක්ෂය (ඒකාබද්ධ විපක්ෂය)සහ ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් ගන්නා වංක උත්සාහයයි. ඒ අතර ප්‍රධාන වන්නේ ආණ්ඩුව විසුරුවා හැර කඩිනම් මහ මැතිවරණයකට යන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බල කිරීම සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධූරයෙන් නෙරපා හරින ලෙස කරන ඉල්ලීමයි.

ආණ්ඩුව විසුරුවා හැරීම සහ අගමැති පදවිය වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ ඉදිරිපත්ව ඇති මේ ඉල්ලීම් ගැන විමසා බලන විට අපට ඉතාම පහසුවෙන් අවබෝධ වන්නේ මේ සියලු පාර්ශ්වයන් තමන් විසින් සම්මත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන ගැන සම්පූර්ණයෙන් නොසලකා හරිමින් ජනතාව නොමඟ යැවීම සඳහා මේ වංක ප්‍රයත්නය ගන්නා බවයි. අප එසේ සඳහන් කරන්නේ “මහින්ද අගමැති කරමු” “ගෝඨා විධායක ජනාධිපති කරමු” “ආණ්ඩුව විසුරුවනු” වැනි සටන් පාඨ ජනතාවගේ අවධානය දිනා ගැනීමට කරන ආකර්ෂණීය සටන් පාඨ වීමෙන් ඔබ්බට ගමන් නොකරන නිසයි. ඊට හේතුව වන්නේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට, අගමැති පදවිය සඳහා මන්ත්‍රීවරයෙකු පත් කිරීමට සහ ඇමැති මණ්ඩලය පත් කිරීමට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට ලබාදී තිබූ අසීමිත බලතල 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉවත් කර ඇති නිසයි. තවදුරටත් පාර්ලිමේන්තුව හෝ අගමැති පදවිය ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට පාලනය කළ හැකි රූකඩයක් නොවන නිසයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා අත එසවූ ශ්‍රීලනිප ඇමැතිවරුන් විසින් මේ අවස්ථාවේ “අගමැතිවරයෙකු මැති සබෙන් පත් කරන්න” යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම අපට සැලකිය හැකි වන්නේ ආණ්ඩුව පමණක් නොව ජනාධිපතිවරයා පවා හිතාමතාම අර්බුදයකට, ව්‍යවස්ථා අර්බුදයකට පත් කරන සාවද්‍ය උත්සාහයක් ලෙසයි. මන්ද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අගමැති හා ඇමැතිවරුන් පත් කිරීමට ජනාධිපතිවරයාට පෙර පැවැති අභිමතානුසාරී බලය ඉතාම පැහැදිලිව ඉවත් කර තිබෙනවා. ඒ බව මේ යෝජකයන් පමණක් නොව ව්‍යජ හා සාවද්‍ය පුවත් හමුවේ නොමඟ ගොස් සිටින ජනතාව ද නිසි පරිදි අවබෝධ කරගත යුතුයි.19 වැනි සංශෝධනයෙන් පසු

යහපාලන ආණ්ඩුව විසින් සම්මත කර ගන්නා ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් වන ව්‍යවස්ථා ප්‍රතිපාදනය දක්වා තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 ව්‍යවස්ථාව යටතේයි.

47 ව්‍යවස්ථාව : අගමැතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් හෝ වෙනත් යම් අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්,

(අ) ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවොත් : හෝ

(ආ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් අස්වුවහොත් : හෝ

(ඇ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුණහොත් හෝ මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද ඒ තාක්කල් ස්වකීය ධුරය දරන්නේය”

මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබාදී තිබූ අසීමිත බලතලයි. මේ බලතල අනුව 1978 – 2015 දක්වා මෙරට පාලනය කළ සියලුම ජනාධිපතිවරුන් තමන්ට අවශ්‍ය ආකාරයට අගමැති පදවියට මන්ත්‍රීවරයෙක් පත් කිරීම වගේම ඇමැති පදවිවලට මන්ත්‍රීවරුන් පත් කිරීමත් සිදු කළා. කොටින්ම අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විධායක ජනාධිපතිවරයාගේ කැමැති ඇති තාක්කල් පමණක් ඒ ඒ ධුර දැරුවා.

එහෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රමුඛම හා වර්ණවත්ම මැතිවරණ පොරොන්දුව බවට පත් කරගෙන බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා සතුව තිබූ මේ අසීමිත බලය සීමා කළා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිවරයා සහ ඇමැතිවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ අසීමිත බලතල වර්තමාන පාර්ලිමේන්තුව විසින් සම්මත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව කප්පාදු කර ඇති ආකාරයට අපට 46(2) ව්‍යවස්ථාව මගින් දැකගත හැකියි.

46(2) ව්‍යවස්ථාව : අගමැතිවරයා ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යොමුකරනු ලබන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් අස්වුවහොත්, හෝ තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුවහොත් හෝ මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද ඒ තාක්කල් ස්වකීය ධුරය දරන්නේය”

මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සම්මත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව දක්වා ඇති ප්‍රතිපාදනයයි. මේ වන විට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පන්නා දමා පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාසය දිනා ගතහැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කර නව රජයක් පිහිටුවිය යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජනාධිපතිවරයාට යෝජනා කරන නෛතික පදනම කුමක්දැයි ජනතාවට වටහා ගත නොහැකියි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායකයේ ආධිපත්‍යයෙන් මිදී සිටීමේ රැකවරණය අගමැතිවරයාට පමණක් නොව සෙසු ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට ද හිමි බව අද එජාප අගමැතිවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය විසුරුවා හැර ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කරන, සැලසුම් කරන ප්‍රබලයන් වටහා ගත යුතුයි. ඒ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 46(3) ව්‍යවස්ථාව යටතේ දක්වා ඇති ප්‍රතිපාදන අනුවයි.

46(3) ව්‍යවස්ථාව : අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් නොවන අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවනු ලබන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත් හෝ ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත්, හෝ තව දුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුවහොත් හෝ මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද ඒ තාක්කල් ස්වකීය ධුරය දරන්නේ”

මේ අනුව අපට පෙනී යන නීතිමය තත්ත්වය කුමක්ද ? කුමන තත්ත්වයක් මත හෝ අගමැතිවරයා ඉවත් කිරීමට ව්‍යවස්ථාපිත බලයක් 46(2) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට නැති අතර අමාත්‍යවරයෙකු ඉවත් කිරීමට ද අද ජනාධිපතිවරයාට බලය ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පමණක් බව 46(3) ව්‍යවස්ථා අනුව දැක්වෙනවා. (අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ, මුදල් ඇමැති රවි කරුණනායක මෙන්)

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුව අමාත්‍ය මණ්ඩලය තවදුරටත් ශක්තිමත් වන ස්වභාවයක් අපට දැකිය හැකියි. 48(1) ව්‍යවස්ථා විධිවිධාන යටකේ අග්‍රාමාත්‍යවරයාගේ ධුරය හිස් වුවහොත් විනා, යම් කිසි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට මාරු වුව ද විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමට හෝ ප්‍රමාණවත් බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ නොපෙන්වුවහොත් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට අද කිසිදු ව්‍යවස්ථානුකූල බලයක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබාදී නැහැ.

අද ඇතැමුන් යෝජනා කරන ආකාරයට පෙර සිටි ජනාධිපතිවරුන්ට මෙන් එක් පෑන් පාරකින් අගමැති, කැබිනට් ඇමැතිවරයෙක් පමණක් නොව නියෝජ්‍ය ඇමැතිවරයෙක් පවා ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට නෛතික බලයක් නොමැති බවයි.

මෙවැනි ඉතාම පැහැදිලි නෛතික සීමා කිරීම් තිබියදී පවා තම පටු හා අවස්ථාවාදී වුවමනා එපාකම් හා අවස්ථාවාදී පටු න්‍යාය පත්‍ර වෙනුවෙන් රටේ සමස්ත ජනතාවගේ අති බහුතර ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථා උගුලක සිර කිරීමට ඇතැම් කල්ලි හා කණ්ඩායම් ගන්නා මේ අනීතික හා සාවද්‍ය ප්‍රයෝග ගැන ජනතාව වඩාත් සංවේදී විය යුතුය. මන්ද මුළු රටම එක් ඡන්ද කොට්ඨාසයක් බවට පත් කරමින්, ජාති, ආගම්, කුල, හා ප්‍රාදේශීය සීමාවන් ගෙන් ඔබ්බට ගිය, ජනාධිපතිවරණයකින් බලයට පත් ජනාධිපතිවරයාව අතිශයින්ම පටු හා අවස්ථාවාදී පදනමින් ක්‍රියාත්මක වූ දකුණේ සිංහල බෞද්ධ ජනමතය තුළින් පමණක් බහුතරයක් ලබාගෙන ජාතික වශයෙන් පරාජිත පක්ෂයක ඊනියා ජනමතයට යහපාලන අපේක්ෂාවන් බිලිදීම කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන නිසයි.

ආණ්ඩුව විසුරුවා කඩිනම් මැතිවරණයක් ඉල්ලීම

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් නෙරපා හැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වන ඉල්ලීම්වලට සමගාමීව ආණ්ඩුව විසුරුවා හැර කඩිනම් මහ මැතිවරණයකට යන ලෙස ද ජනාධිපතිවරයාට විවිධාකාර පාර්ශ්ව හරහා බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද කඩිනම් මහ මැතිවරණයක් තමාගේ නොව ජනතාවගේ ඉල්ලීම බව පවසා තිබුණා.

කඩිනම් මහ මැතිවරණයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ද අපට ඉතාම පැහැදිලිව ප්‍රකාශ කිරීමට සිදුවන්නේ තමන් අකමැති අනෙකා බලයට දැරීම දරාගත නොහැකි වන විට ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමේ (2001 දෙසැම්බර් 05 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් බලයට පත් එජාප ආණ්ඩුව 2004 ජනවාරි මස විසුරුවා හැරි ආකාරයෙන්) හෝ තැටිය රත් වුණ විට රොටිය පුච්චා ගැනීමට තමන්ට වාසිදායක අවස්ථාවක මහ මැතිවරණයකට යාම සඳහා විධායක ජනාධිපතිවරයාට තිබූ අසහාය බලය (70(1) ව්‍යවස්ථාව අනුව)19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර ඇති බවයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සංශෝධනය කළ 70(1) නව ව්‍යවස්ථා විධිවිධානවලට අනුව,

70(1) ව්‍යවස්ථාව : ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය. එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් 3/2 කට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කර ගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුතුය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව සිදුව ඇත්තේ කුමක්ද ? ජනාධිපතිවරයාට අභිමතානුසාරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කිරීමට අමතරව සාමාන්‍ය බහුතරයක යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර තිබූ හැකියාව අද අහිමිව ඇත.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් දක්වා ඇති පැහැදිලි නීතිමය ප්‍රතිපාදනයි. මේ අනුව අපට ඉතාම පැහැදිලිව සඳහන් කළ හැකි වන්නේ 2001 දෙසැම්බර් 05 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් බලයට පත්ව 2002 මාර්තු 20 පැවැති පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන 222 අත්තනගල්ල පවා දිනා ගත් එජාප ආණ්ඩුව 2004 දී හදිසියේ විසුරුවා හරින ලෙස ජනපතිනියට බලකළා සේ 2015 අගෝස්තු මස පැවැති මහ මැතිවරණයෙන් බලයට පත් යහපාලන ආණ්ඩුවට අකල් මරණයක් හිමිකර දීමට කිසිදු ව්‍යවස්ථාමය, නෛතික අවකාශයක් අද කිසිවකුට නොමැති බවයි.

ජනතා අපේක්ෂාව

නොසිතූ ලෙස ඇති වූ මේ අසීරු හා සංකීර්ණ අවස්ථාවේ 2015 ජනවාරි 08 වෙනස වෙනුවෙන් ඇප කැප වූ සියලුම යහපාලන බලවේගවල පොදු අපේක්ෂාව වන්නේ යහපාලනයේ ප්‍රධාන බල පුරුක වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එදා ජනතාවට ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරමින් යහපාලනය සහතික කරනු දැකීම මිස දෙවරක් නොව තෙවරක් තීරණාත්මකව පරාජයට පත් කළ අවස්ථාවාදී හා අන්තවාදී බලවේග යළි ඔසවා තැබීමට පහසු වාතාවරණයක් ඇති කරනු දැකීම නොවෙයි.

ඒ වෙනුවෙන් යළිත් සියයට 55ක් මෙරට අති බහුතර ජනතාව පටු ජාති, ආගම් භේදයෙන් තොරව තම අනන්‍යතා ප්‍රකට කරමින් ඇපකැප වූවාසේ සියලු යහපාලන බලවේග පොදු සතුරා ඉදිරියේ අභීතව නැගී සිටිනු දැකීම අප සැමගේ එකම අපේක්ෂාවයි.

භාතිය බරුකන්ද 

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *