|

මැතිවරණයේ ගාල ගෝට්ටිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පළාත් පාලන මැතිවරණයෙන් පසු කාලය අතිශයින්ම කාර්යබහුල වුණා. මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව මතුපිටින් ජයග්‍රහණයක් තිබුණද ඔහුගේ ඡන්ද අඩු වී ඇතත් එය මැතිවරණ ප්‍රතිඵලයෙන් එකවර පෙනෙන්නට තිබුණේ නැහැ. පෙනෙන්නට තිබුණේ ආණ්ඩුවේ පක්ෂ දෙකේ පසුබෑමක් ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමේ පසුබෑමක් පෙනෙන්නට තිබුණා. මේ තත්ත්වය ගැන ජනාධිපතිතුමාගේ කිට්ටුවන්තයින් අතර කතාබහට ලක්ව තිබුණා. ඔවුන් කීවේ 2015 ජනාධිපතිවරණයේ ජනාධිපතිවරයාට ඡන්දය දුන් අය ආපසු මහින්ද රාජපක්ෂ මහතා වෙත ගොස් නැති බවයි‍. එම ඡන්ද බෙ දී තිබෙන ආකාරය ඔවුන් පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඉරිදා පැවැත්වුණේ මෙම තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා යි. එහි දී අමාත්‍යවරුන්ගේ අදහස වූයේ වත්මන් තත්ත්වය යටතේ ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි බවයි. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමා ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකු කීවේ තමන් විපක්ෂයට යාමට සූදානම් බවයි. තවත් පිරිසක් කීවේ ආණ්ඩුවේ කැපී පෙනෙන වෙනසක් සිදු කරමින් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යා යුතු බවයි. අගමැතිතුමා සමඟ සාකච්ඡා කර ආණ්ඩුවේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට ජනාධිපතිතුමාට පැවරීමෙන් සාකච්ඡාව අවසන් වුණා.

එදින හවස ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර හමුවක් පැවැත්වුණේ පැජට් පාරේ ජනාධිපතිතුමාගේ නිල නිවසේදී.

එහි දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ යහපාලන ආණ්ඩුව ඉදිරියට නොයන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවන ලෙස තම පක්ෂයේ ඇමැතිවරුන් ඉල්ලා සිටින බවයි. එවිට ජනාධිපතිතුමා කීවේ කුමක් කළත් තමන්ට එකට වැඩ කිරීමට සිදුවන බවයි. එම නිසා කරන දේ සියල්ලන්ට එකඟ විය හැකි ලෙස කළ යුතු බව ජනාධිපතිතුමා කීවා.

සඳුදා රාත්‍රියේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එයට දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් ඇමැතිවරුන්ද නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාද එක්ව සිටියා. නව ආණ්ඩුවක් පිහිටුවීමේ ගැටලු සම්බන්ධයෙන් මෙන්ම විය යුතු වෙනස්කම් පිළිබඳවද දිගු ලෙස සාකච්ඡා වුණා. සලකා බැලිය හැකි විකල්ප ගැන සාකච්ඡා වුවද එකඟත්වයක් වූයේ නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් හා ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් අඟහරුවාදා රාත්‍රියේ නැවතත් පැවැත්වුණා. එහි දී එජාප කණ්ඩායම කීවේ තම පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සූදානම් බවයි. කෙසේ වෙතත් සාකච්ඡාව අවසන් වූයේ ආණ්ඩුවක් පිහිටුවීම ගැන තීරණ ගැනීමට දෙපාර්ශ්වයෙන් කමිටු දෙකක් පත් කළ යුතු බවයි.

බදාදා සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුවද ශ්‍රීලනිප අමාත්‍ය කණ්ඩායම හා ජනාධිපතිතුමා අතර තවත් සාකච්ඡාවක් පැවැත්වුණා. එහි දී විපක්ෂයට යෑමට ඇමැතිවරුන් පිරිසක් යෝජනා කළ ද තව පිරිසක් එයට විරුද්ධ වුණා. විපක්ෂයට යන පිරිසටත් ආණ්ඩුවේ ඉන්න පිරිසටත් ඔවුන්ට කැමැති ලෙස ක්‍රියා කරන්න ඉඩ දෙන බව ජනාධිපතිතුමා කීවා. ආණ්ඩුවේ ඉන්න පිරිස් එම ආණ්ඩුව ගොඩනගන ආකාරය හා මහජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන ආකාරය ගැන විධිමත් වැඩ පිළිවෙළකට එකඟ වී ආණ්ඩුවට සම්බන්ධ විය යුතු බව ද තීරණය වුණා. අවශ්‍ය ව්‍යූහාත්මක වෙනස්කම් පිළිබඳවද සාකච්ඡාකොට එකඟතා ඇති කර ගත්තා.

මේ අතර ජනාධිපතිතුමාට සිවිල් සංවිධාන නායකයන් දේශපාලන පක්ෂ නායකයන් මෙන්ම විදේශ තානාපති සේවා නිලධාරීන්ගෙන්ද දිගින් දිගට ඇමැතුම් ගලා ආවා. ඇතැම් අය හමු වී සාකච්ඡා කිරීමටද සිදු වුණා. සියලු දෙනා කීවේ අර්බුදය විසඳගෙන ආණ්ඩුව පවත්වාගෙන යා යුතු බවයි.

2018 පෙබරවාරි 10 දා මේ ජනපති, අගමැති ආණ්ඩුව සිය පළමු මැතිවරණ උරගා බැලීමට බැලීම සිදු කළ අතර, එහි දී එජාපය ශ්‍රීලනිප හා පරදවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයක් ලැබුවා. එහෙත් එමපක්ෂයට 44% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙද් දී ඔවුන්ට විරුද්ධ සියලු පක්ෂවලට 56% ක ප්‍රතිශකයක් ලැබී තිබෙනවා. එම ප්‍රතිඵලයෙන් අනතුරුව රට යම් දේශපාලන අස්ථාවර බවක් ලැබුවේ, අගමැති මෙන් ම ආණ්ඩුව ද ගෙදර යා යුතු බවට මතවාද එළි දුටු නිසයි. එහෙත්, ව්‍යවස්ථාව අනුව පළාත් පාලන මැතිවරණ පසුබැසීමකින් පසුව ජනපති හෝ මධ්‍යම ආණ්ඩුව ඉවත් විය යුතු ය යනුවෙන් කිසිදු ප්‍රතිපාදනයක් නැහැ.

අගමැති හා ආණ්ඩු මාරුව සඳහා විවිධ මෙහෙයුම් දියත්ව තිබෙනවා. ඡන්ද ලක්ෂ 36 ක් ලැබූ අගමැති රනිල් ඉවත් කර, ඡන්ද ලක්ෂ 13 ක් ලැබූ ශ්‍රිපනිප අයකු අගමැති කළ යුතු ය යන එජනිස ඉල්ලීමක් ඉදිරිපත් වුණා.

අගමැති රනිල් 113 පෙන්වා 2015 දී අගමැති වූ අතර, ඔහුට යළිත් වරක් 113 පෙන්වීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද නීති අංශවල අර්ථ දැක්වීමයි. ඒ අතර ශ්‍රීලනිපයේ අයකු අගමැති කළ යුතු බවට සන්ධාන මහ ලේකම් හා සුසිල් ප්‍රේම ජයන්ත මහත්වරුන් ජනපතිට ලබා දුන් ලිපියට අනුව, සිකුරාදා සවස වන විට දිව්රුම් ප්‍රකාශ මගින් මන්ත්‍රීවරු 113 දෙනකු තමන්ට සිටින බවට ශ්‍රීලනිපය ඔප්පු කළයුතු බවට ජනපතිවරයා කල් දී තිබුණා.

කෙසේ වෙතත් අගමැති රනිල් අගමැති ධූරයෙන් ඉවත් වී, කරු ජයසූරිය මහතා හෝ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැනි ජේෂ්ඨයකුට අගමැතිකම බාර දී ඉදිරි වසර 02 තුල එජාප ආණ්ඩුව රැක ගත යුතු බවටද විවිධ මත එජාප අභ්‍යන්තරය තුල එලි දකිමින් තිබුණා.

ඒ අතරේ බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා හා ජනපති අතර තවත් තීරණාත්මක හමුවක් පැවැත්වුණා. අනතුරුව අගමැතිවරයා අරලිය ගහ මැදුරට ආවේ විශේෂ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකටයි.

“19 වන සංශෝධනය අනුව අගමැතිඉවත් කරන්න බැහැ. තව දින කීපයකින් මම මියයාවිද දන්නේ නෑ. එහෙම වුණොත් අගමැති ධූරයට වෙන කෙනෙක් පත් කළ හැකියි. මට ඉල්ලා අස් වීමට හේතුවකුත් නෑ. ඉල්ලා අස්වෙන්නෙත් නෑ. ඒ තුළ අගමැතිධූරයත් එජාප ආණ්ඩුවත් මම රැකගන්නවා. සිදුවූ වැරදි නිවැරදි කරලා ජනතාවට සහන හා තරුණ පරපුරට රැකියා දී ගිය වසර 03 තුළ ඇතිවූ අඩු පාඩු හදාගන්නවා” අගමැතිවරයා කිව්වා.

එහි දී එජාප නීති අංශ ප්‍රධානියෙක් ද 19 වැනි සංශෝධනය ගැන වැදගත් අර්ථ දැක්වීමක් කළා.

“ජනාධිපතිට දෝෂාභියෝගයක් ගෙනැත් ඉවත් කළ හැකි වුවත් අගමැති ඉවත් කරන ක්‍රමයක් 19 තුළ නැහැ. විශ්වාසභංගයකින් අගමැති පරාද කළත් ඊට බලපෑ හේතුව නිවැරැදි කිරීම විනා අගමැති ඉවත් විය යුතු නැහැ” ඔහු කිව්වා.

“19 වෙනස් කරලා අගමැති ඉවත් කරන ක්‍රමයක් ඊට දැන් ඇතුළු කළ හැක්කේත් එජාපයට විතරයි. එජාපයට ඊට අඩු ඡන්ද සුලු සංඛ්‍යාවක් විතරයි. 19 එන්නට පෙර ජනාධිපති විසින් පත් කරන අගමැති ජනාධිපතිටම ඉවත් කළ හැකියි. දැන් එහෙම බෑ. ඇමතිවරු පත් කිරීම හෝ ඉවත් කිරීමත් ජනපති කළත් ඒ සියල්ලට අගමැතිගේ එකගත්වය නැතිව කරන්නත් බැහැ” නීති අංශ ප්‍රධානියා තවදුරටත් කිව්වා.

“2015 ජනාධිපතිවරණය හා මහා මැතිවරණය දිනූ පක්ෂ දෙක පළාත් පාලන මැතිවරණයක දී පරාද වුණාම අගමැති හා ආණ්ඩුව විතරක් නෙවෙයි එහෙනම් ජනාධිපතිත් ගෙදර යා යුතුයිකියල දඹර අමිල හිමි රට හමුවේ මාර තර්කයක් මතු කරල” ලක්ෂ්මන් කිරිඇල්ල, දයා ගමගේ, වජිර අබේවර්ධන මෙන්ම ගයන්ත කරුණාතිලක මහත්වරුන් කීවේද එකම කතාවකි.

අනතුරුව ආණ්ඩු පක්ෂ රැස්වීම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණා.

“ මම උදේ ජනාධිපතිතුමා හමු වුණා.සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න අපි දෙදෙනා තීන්දු කළා. ශ්‍රීලනිපයේ යන අයට මහින්ද ලගට යන්න කියල කියනවා කියලත් ජනාධිපතිතුමා කිව්වා. අනිත් අය දිගටම ආණ්ඩුවේ ඉන්නවා. ඒ අනුව ඉතා මහන්සිවෙලා ඉදිරි අනාගතයේ රටට වැඩ කරන්න සූදානම් වෙන්න.”අගමැතිවරයා කීවා.

“ ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර මුල් කාලේ තිබුණ බැඳීම ඒ විදියටම රැක ගන්න. සුළු දුරස් වීම් ලොකු ප්‍රශ්නවලට මඟ පාදන බව මෑතක සිද්ධිවලින් පේන නිසා, පාර්ශ්ව දෙකම විශ්වාසය හා සුහද බව තහවුරු වන ලෙස එකිනෙකා දැනුවත්ව වැඩ කරන්න.” ඇමැති රාජිත මෙන් ම ඇමැති සජිත් ද කීවේ එක ම කතාවක්.

“ පක්ෂයේ වගකීම තරුණ අයටත් පවරන්න අගමැතිතුමාගේ වටේ ඉන්න සුළු පිරිස අතරට දක්ෂයනුත් ළංකර ගන්න .”අජිත් පෙරේරා මහතා කිව්වා.

“ මේ ආණ්ඩුව වැටෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දූෂිත හා දුෂ්ඨ දේශපාලන බලවේගවලට ඔළුව උස්සන්න නො දී, එජාප ආණ්ඩුව රැක ගනිමු. ජනතාවට මීට වඩා සහන දෙමු. ජනතාව හා තරුණ පරපුර බලා ගනිමු. සංවර්ධනය වේගවත් කරමු.” සුළු ජාතික පක්ෂවල නායකයන් වන රාවුෆ් හකීම්, රිෂාඩ් බද්යුදීන්, දිගම්බරම්, මනෝ ගනේෂන් මෙන් ම, හෙළ උරුමයේ නායක ඇමැති චම්පික රණවක මහත්වරුන් ද කිව්වා.

මැතිවරණය පැවැති පසුගිය 10 වෙනි සෙනසුරාදා උදෑසන ම වජිර අබේවර්ධන ඇමතිවරයා සිය බිරිය සමඟ මඩවලමුල්ල සද්ධාතිස්සාරාමයට ගියේ ඡන්දය ප්‍රකාශ කිරීමටය. අනතුරුව සිය උළුවිටිකේ කාර්යාලයට ගොස් ඡන්ද ප්‍රකාශ වීම පිළිබදව සොයා බැලුවා.

ඉරිදා උදෑසන වන විට නොනිල වශයෙන් මැතිවරණ ප්‍රතිඵලය ලැබෙමින් තිබුණා. එහි විශේෂත්වය වුයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන එක්සත් ජාතික පක්ෂයට අහිමි වෙමින් තිබිය දී, ඇමැති වජිර සංවිධායකත්වය දරන ගාල්ල ආසනයේ ගාල්ල මහනගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමයි.

අවසන් වරට එජාප ය ගාල්ල මහනගර සභාව ජයග්‍රහණය කළේ 2002 දීයි. ඉන් අනතුරුව වසර 16 කට පසු එජාප යට ගාල්ල නගර සභාවේ බලය ලබාදීම පිළිබඳව නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට ඇමැති වජිර විශේෂ ස්තුතියක් ද පිරිනැමුවා.

කාර්යක්ෂම එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ පදිංචි සියලු ජනතාව මුහුණ දෙන අර්බුද සඳහා පිළියම් ලබාදීමට ක්‍රියා කරන බව මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම අවසානයේ දී ඇමැති වජිර මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී නිහඬව ගෙවුණු පැය කීපයෙන් පසු සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ දුරකථනයට නොකඩවා ගලා එන්නට වූයේ ඉතා අවාසනාවන්ත සිද්ධීන් වැලක් පිළිබඳ තොරතුරුයි. පාක්ෂිකයන්ගේ නිවෙස්වලට රතිඤ්ඤා විසි කිරීමේ, මහ මඟ රැක සිට තර්ජනය කර පහර දීමේ පටන් වෙළඳසල්, නිවාස හා රථ වාහනවලට බරපතළ අලාභහානි කිරීම්වලින් නොනැවතී රජයේ පොදු දේපොළ විනාශ කිරීම දක්වා ඒවා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගත්තා. අගතියට පත් පුද්ගලයන්ට සාධාරණයක් ඉටු කරනු වෙනුවට ප්‍රදේශයේ ඇතැම් පොලිස් ස්ථාන ජනමාධ්‍ය වෙත සිද්ධීන් වසං කිරීමට කටයුතු කරන බව පෙනී ගියා. මේ අතර අසනී‍පයෙන් පසුවුවත් සජිත් මේ සිද්ධිවලට මුහුණ දුන් පුද්ගලයන්ගෙන් අදාළ තොරතුරු පෞද්ගලිකවම ලබා ගැනීමට වෙහෙසුණා. ලුණුගම්වෙහෙර, පුංචිඅප්පුජදුරේ මහේෂ් ලක්මාල් නැමති ස්වයං රැකියාවක් කළ තරුණයෙකුගේ කුඩා ලොරිය ගිනිබත් කර ඔහු සතු මාලු දැල් ආම්පන්න ගිනි තබද් දී ගින්න නිවසේ කොටසකටද පැතිරී විශාල අලාභහානියක් සිදු වී තිබුණා. සජිත් විශාල වශයෙන් උපකාර කර තිබූ දෙබරවැව ජාතික පාසලේ විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ අලංකාර පුවරු කඩා බිඳ දමා තිබුණු අතර ප්‍රදේශයේ ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීම සඳහා සංවර්ධනය කළ ග්‍රාමීය ප්‍රජා ජල ව්‍යාපෘතිවල පුවරු සියල්ලද විනාශ කර තිබිණ. පුද්ගලයන්ට සහ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයට හිතැති පවුල්වල රැකවරණය වෙනුවෙන් ආරක්ෂක පියවර රැසක් ගත් සජිත් ඊළඟට සොයා බැලීමට වෙහෙසුණේ ඒ ඒ පුද්ගලයන්ට සිදු වී ඇති අලාභහානිවල ප්‍රමාණය කොතරම් ද යන්නය. රක්ෂණයකින් හෝ ආවරණයක් ලැබිය නොහැකි අහිංසක පුද්ගනයන්ට කිසියම් සහනයක් සලසා දිය හැකි ආකාරයක් ගැන සිතූ සජිත් සිය ව්‍යාපාරික හිතවතුන්ගෙන් ඉල්ලීමක් කළා. “මං වෙනුවෙන් කැපවෙලා වැඩ කරපු ගම්වල අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් දොරවල්, ස්වයං රැකියා මාර්ග විනාශ කරලා. ඒ අයට නැඟිටින්න උදව්වක් දෙන්න ඕනෑ.” ඉල්ලීමට ඉහළ ප්‍රතිචාරයක් ලැබිණ.

පළාත්පාලන මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය දාහතරවෙනිදා පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත් වුණා. ”බොහෝ අය අවසන් ප්‍රතිඵලයට කලින් ජවිපෙ ගැන හිතාගෙන හිටියේ මැතිවරණයෙන් පසුබැහැලා කියලා. නමුත් ප්‍රතිඵල සියල්ල වාර්තාවීමෙන් පසුව ඒ කතා බහ වෙනත් පැත්තකට හැරිලා තියෙන්නේ. සමහරු ප්‍රතිඵල විග්‍රහ කරනකොට ජවිපෙ ගැන අතහැරලා යන්නේ. මොකද අපි ප්‍රගතියක් ලබලා කියලා එයලෙට කියන්න වුවමනාවක් නැති නිසා. බැරිවෙලා හරි ඡුන්ද අඩු වුණානම් තත්ත්වය කොහොමද කියලා බලන්න තිබුණා.” ලාල්කාන්ත කියා සිටියා. ”ඇත්තටම අවසන් ප්‍රතිඵලවල ප්‍රශ්නයක් තියෙනවා. පත්තරවල, වෙබ්සයිට්වල තියෙන අවසන් ප්‍රතිඵල ඇත්ත ප්‍රතිඵලයට වඩා අඩු අගයක්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කරපු ප්‍රතිඵල ලේඛනවලට ජවිපෙට ඡුන්ද හත්ලක්ෂ පහළොස්දහසක ප්‍රමාණයක් තියෙනවා. මන්ත්‍රී ධුර 434ක් ලැබිලා තියෙනවා. අපේ මන්ත්‍රී ධුර 74සිට 434 දක්වා වැඩිවෙලා. මහ මැතිවරණයට වඩා ඡුන්ද ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් වැඩිවෙලා. මැතිවරණ කොමිසමෙන් අවසන් ප්‍රතිඵල එනතෙක් හරිම ඉලක්කමක් කියන්න අමාරුයි. නමුත් මේ වෙලාවේ මාධ්‍යවල වාර්තා වෙලා තියෙන ඡන්ද ප්‍රමාණය අඩු අගයක්.” ටිල්වින් සිල්වා ඇති වී තිබෙන තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළා.

”මේ මැතිවරණයේ දී ජනතාව එකසැරේ හරි වැඩකුත් වැරදි වැඩකුත් දෙකම කරලා. මොකද ආණ්ඩු විරෝධයක් තිබුණා. ඒක ප්‍රකාශ වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවට විරුද්ධව ඡුන්දය පාවිච්චි කරන්න තෝරගත්ත තැන වැරදියි. හොරුන්ට දඩුවම් දුන්නේ නැහැ කියලා හොරුන්ටම ඡන්දය දෙන එක හරි දෙයක්ද? ඒ නිසා මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන සංවාදයක් හදන්න ඕනෑ.” ලාල්කාන්ත කීවා. ”බොහෝ අය අපේ වර්ධනය ගැන හොඳ ස්ථාවරයක ඉන්නවා. මැතිවරණයට කලින් තිබුණ බලාපොරොත්තුව ඒ විදියටම ඡුන්දෙදි නැති වීම ගැන කණගාටුවක් තිබෙනවා. නමුත් අපි ගැන බලාපොරොත්තු තියපු විවිධ කණ්ඩායම් ඇතිවී තිබෙන තත්ත්වය තේරුම් අරගනිමින් ඉන්නවා.” සුනිල් හඳුන්නෙත්ති කීවා. ”බොහෝ දෙනෙක් බණ්ඩාරවෙල ප්‍රතිඵලය ගැන නම් දුකෙන් කතා කරනවා. මේ තරම් විනාශයක් කරපු මහින්ද රාජපක්ෂ උඩින්ම තියලා විනාශයට එරෙහිව සටන් කරපු සමන්ත විද්‍යාරත්න පරාජය කරලා කියලා. ඇත්ත ගත්තාම ඒ වගේ සටනක් දැන් ඉදිරියට කරගෙන යෑම වලංගුද කියලා සමහරු අපෙන් අහනවා. ඒ තරමට ඒ සටන සාධාරණ සටනක් වුණා. නමුත් බණ්ඩාරවෙල ජනතාව ඒක තේරුම් අරගෙන නැති බව තමයි පේන්නේ” විජිත හේරත් ප්‍රකාශ කළා.

”පළාත්පාලන ආයතනවල ඔළුගෙඩි සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි. ජනතාව දුන්න ජනවරම අනුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න ඉඩ දෙන්න ඕනෑ. ඔළු ගෙඩි සෙල්ලම් කරලා සභා පිහිටුවන්න අපි ඉඩදෙන්න හොඳ නැහැ. ඒ වගේම අපේ මන්ත්‍රීවරු සභාවල උපරිම ආකාරයෙන් ජනතා සේවයට කැපවෙන්න ඕනෑ. අපි ගැන විශ්වාසය තියපු ජනතාවට අපි අපේ වගකීම ඉටු කරන්න ඕනෑ.” අනුර දිසානායක කියා සිටියා.

ජවිපෙ පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල මැතිවරණයෙන් පසුව උසාවි බිමේ දී මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව විවිධ පක්ෂවලට සහය දුන් අය සමඟ කතා බහක නිරත වුණා. එක්සත් ජාතික පක්ෂයේ සමීපතමයෙකුද මේ කතා බහට එක්වුණා. ”ඉතිං කොහොමද ඡන්දෙන් පස්සේ යූඑන්පීකාරයෝ මොකද කියන්නේ.” වටගල විමසා සිටියේය. ”මම නම් දුන්නේ මෝටර්සයිකලේට” එජාපයේ සාමාජිකයෙක් වූ නීතිඥයා කියා සිටියා. ”ඒක පුදුම වැඩක්නේ.” සුනිල් වටගල කීවා. ”අපි ආණ්ඩුවට සිග්නල් එකක් දුන්නා. එච්චරයි” එජාප සාමාජිකයා කියා සිටියා. ”මහරගම බයිසිකලෙන් ඡන්දය ඉල්ලපු අපේක්ෂකයෝ කවුද කියලා ඔයා දන්නවද? දැන් එතකොට මොහාන් පීරිස් නැවත අගවිනිසුරුකමට එනවට ඔයා කැමතිද? කලින් හොරුම රට පාලනය කරනවට කැමතිද?” සුනිල් වටගල ඔහුගෙන් ඇසුවා. ”මම ඒවට විරුද්ධයි. නමුත් අපි ආණ්ඩුවට සිග්නල් එකක් දුන්නා” කියමින් නීතිඥයා කතාව කෙටියෙන් අවසන් කළා.

පොහොට්ටුවේ ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය හමුවකට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව කළ යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාම බවයි. අගමැතිකම භාර ගැනීමකට තීන්දුවක් නැතැයි ද එය සිදු නොවන දෙයක් ‍බව ද ඒ මහතා කීවා.

තම ජයග්‍රහණයෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පෙදෙසේ නිල නිවසේ දී පැවැත්වුණා. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හා මන්ත්‍රීවරුන් එයට එක්ව සිටියා. ඒ අවස්ථාවේ දී ජයග්‍රහණය සැමරීමට විශේෂයෙන් සකස් කළ කේක් ගෙඩියක් කැපීම ද සිදුවුණා. එම කේක් ගෙඩිය මැද විශාල පොහොට්ටු ලකු‍ණක් නිර්මාණයකොට තිබුණා. එම පොහොට්ටු කේක් ගෙඩිය කැපීම මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවෙද් දී ඔහු අසලින්ම සිටියේ වාසුදේව නානායක්කාර මහතායි. පොහොට්ටු පක්ෂයේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සිටියේ වාසුදේව මහතාට පිටුපසින්. මහින්ද කේක් ගෙඩිය කපා සියලු දෙනාට කවා ජය සැමරුවා.

මෙම අවස්ථාවට පැමිණ සිටි පොළොන්නරුවේ රොෂාන් රණසිංහ මහතාට රැස්වීමේ දී මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ස්තුතියක් කළා. ජනාධිපතිතුමාගේ ගම් ප්‍රදේශයේ ආයතන හතරක් ජයගැනීමට රොෂාන් රණසිංහ මහතාට හැකිවීම මෙම විශේෂ ස්තුතියට හේතු වුණා. ජයග්‍රහණයට දායකවූ සැමට මහින්ද සිය ස්තුතිය ප්‍රකාශ කළා.

මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව ජනාධිපතිතුමා හා අගමැතිතුමා ගතහැකි ක්‍රියාමාර්ග ගැන ද රැස්වීමේ දී අදහස් ප්‍රකාශ වුණා. ඒ අනුව තමන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනද සාකච්ඡා කළා. තමන්ට වඩා වාසිදායක වන්නේ ඉක්මනින් මහ මැතිවරණයක් ලබාගැනීම බව ඒ අවස්ථාවේ දී තීරණය වුණා. ජනාධිපතිවරණයකට මුහුණ දීම අවාසිදායක බව ද කියැවුණා. කෙසේ වෙතත් තමන් ඉදිරියේ දී ක්‍රියාකළ යුතු ආකාරය ගැන තීරණ ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගෙන් යුතු කමිටුවකට පවරනු ලැබුවා.

මෙහි දී සවස කමිටුවක් පත්කරනු ලැබුවා. එයට පවරනු ලැබුවේ සමානුපාතික ක්‍රමයෙන් සභාවලට පත්වන සභිකයන් ගැන තීරණය කිරීමට හා සම්පූර්ණ බලයක් නැති ආයතනවල බලය පිහිටුවීම ගැන තීරණ ගැනීමයි. එම කමිටුවේ නායකත්වය චමල් රාජපක්ෂ මහතාට පවරනු ලැබුවා.

එදින සවස මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව කළ යුත්තේ ජනාධිපතිවරණය හා මහමැතිවරණය එකවර පැවැත්වීම බවයි. එයට අවශ්‍ය නීති සම්පාදනයට පාර්ලිමේන්තුවේ පනත් සම්මත කිරීම සඳහා තම සහාය ලබාදෙන බව ද රාජපක්ෂ මහතා කීවා.

මේ අතර විදුර වික්‍රමනායක මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසුවේ තමන් හැරගිය කිසිවෙක් නැවත භාරගත යුතු නැති බවයි. මෙය අලුත් පක්ෂයක් බවත් ශ්‍රීලනිපය නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

Email Facebook Twitter Google+ Pinterest PrintFriendly

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *