පුංචි ඡන්දයේ පාඩම

පළාත් පාලන ඡන්දය කෙළවර වී ඇත්තේ මෙරට ආණ්ඩුවටත් ආණ්ඩුව කරවන එක්සත් ජාතික පකෂයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් දරණු අභියෝගයක් ඉතිරි කරමින් බව කිවයුතුය. එසේම ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව නිදහස අගයන බුද්ධිමත් ජනතාවට මේ ඡන්ද ප්‍රතිඵලය ඇඟහිරිවට්ටන තරමට දරුණු ඛේදවාචකයක් බවද අමුතුවෙන් කිය යුතු නැත. ඡන්ද ප්‍රතිඵලය අනුව ගම්‍යවන්නේ මීනිමරු ප්‍රජාතන්‍ත්‍ර විරෝධී දූෂිත බලවේගයක් වශයෙන් පිළිගෙන තිබුණු රාජපක්ෂ රෙජීමය නැවතත් තෝරාගන්නා තැනකට මෙරට ඡන්දදායකයා ප්‍රවිශ්ට වී ඇති බව පැහැදිලි බැවිනි. මේ තත්ත්වයට බල පෑ හේතු කාරණ විශ්ලේෂණය කර ගැනීමට පමාවීමෙන් රට දරුණු අර්බුදයකට යාම වැලැක්විය නොහැකිය.

ඡන්ද ප්‍රතිඵලය තම තමන්ගේ මට්ටම අනුව කපාගන්නට කවුරු කවුරුත් සැරසෙන බව පෙනෙන්නට තිබේ. පොහොට්ටුවේ අය කියන්නේ, ඉන් කියැවෙන්නේ ආණ්ඩුව ගෙදර යා යුතු බව කියාය. එක්අතකින් ගත් කළ මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් බලය තිබීය දී පුංචි ඡන්දයක් පැරදෙනු ජනතාව දුටු පළමු අවස්ථාව මෙයයි. වෙනත් රටක විනිනම් ආණ්ඩුවක් ඉල්ලා අස්වීමට තරම් මෙය බරපතළ තත්ත්වයක් වනු ඇති වුවත් මෙරට එවැනි දේශපාලන සංස්කෘතියක් නොමැති බැවින් ඒ ගැන කිසිවකු කලබලවිය යුතු නැත. 2015 මැතිවරණයෙන් පරාජය වීමෙන් පසුව රාජපක්ෂ රෙජිමය උත්සාහ කළේ ද හමුදා බලය යොදවා බලයේ රැඳී ඉන්නට බව මෙරට ජනතාවට මතක්කර දෙන්නට ද මේ සුදුසුම කාලයයි. අද පුංචි ඡන්දයක් දිනා ආණ්ඩුව ගෙදර යවන්නට හදන ඒ මහත්වරුන්ට තමනගේ අතීත ක්‍රියාකාරකම් මතක නැත. ගැටලුව වන්නේ පොහොට්ටුවට ඒවා අමතක වීම නොවේ. අවුරුදු තුනක් යාන්තම් ගෙවෙද්දී ජනතාවට ද ඒ බව අමතක වී තිබීමය.

තව අතකින් ගත්කල මෙවර ඡන්ද ප්‍රතිඵලය 2015 ට වඩා වෙනසක් ඇත්නම් ඇත්තේ බැලූ බැල්මට අංක ගණිතය අනුවය. මෛත්‍රිපාල නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් එකී මැතිවරණයේ දී යහපාලන පිළිවෙතට සහය දුන් දෙමළපක්ෂත් ගත් ඡන්ද සමස්තය ගත් කල තවමත් මහින්දගේ පංගුව කුඩා බැවිනි. ඒ අනුව ගත් කල 2015 තත්ත්වයක් තුළ මහින්ද තරග කළේ නම් ඔහුට අත්වනු ඇත්තේ එදා අත් වූ ඉරණමමය. නව ඡන්ද ක්‍රමය අනුව නොව සමානුපාත ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වූයේ නම් තත්ත්වය වෙනස් වන්නට තිබුණා යැයි සිතන්නට පුළුවන.

ජනතා විමුක්ති පෙරමුණ සහ පොහොට්ටුව පක්ෂය හැර එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ඡන්ද ප්‍රතිඵල පිළිබද මෙතෙක් අදහසක් දක්වා නැත. එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා කියා තිබුනේ ඡන්ද ප්‍රතිඵල බාර ගන්නා බවකි. කීවද නැතිද ප්‍රතිඵලය බාරගන්නට කාටත් සිදු වී තිබේ. ඒ අතරම ඡන්ද දායකයන්ට ද ඇති වී තිබෙන තත්ත්වය පිළිබද අදහසක් දරන්නට මෙන්ම අදහසක් ඉදිරිපත් කරන්නට ද අයිතියක් තිබේ. මේ උත්සාහය ඒ අයිතිය ක්‍රියාවේ යොදවන්නට ය.

එක්සත් ජාතික පක්ෂය –

2015 මැතිවරණ ජයග්‍රහණය පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේ කේවල ජයග්‍රහණයක් නොවේ. මහින්ද රෙජිමයෙන් කළකිරීමට පත්ව සිටි නොයෙක් ජනතාව ඒ මොහොතේ එක්සත් ජාතික පක්ෂය බලයට පත්කොට මහින්ද ගෙදර යැවීමට එම පක්ෂයට සහයෝගය දුන් බැවිනි. නමුත් එක්සත් ජාතික පක්ෂය උත්සුක වූයේ විජයග්‍රහණයෙන් පසුව ඉහත කී පොදු ජනාතාවට සැලකීමට නොවේ. පාක්ෂිකයාට සලකන්නට ය. රාජ්‍ය ආයතන අර්ධ රාජ්‍ය ආයතනවල එකත්සත් ජාතික පාක්ෂිකයනට තනතුරු උසස්වීම් දීමට ඇති වූ උනන්දුව ඊට නිදසුනකි. ගමක පාරකට කොන්ක්‍රීට් දැමීමක දී වුවද සලකා බැලුනේ අවශ්‍යතාවේ තරමට නොව පාක්ෂික භාවයයි. අපේ ඡන්දයෙන් යූ.එන්.පී. කාරයන් පිම්බී ඇතැයි යන මතයක් ඒ අනුව පොදු ඡන්දදායකයා තුළ නිරායාසයෙන් මතු විය.

ඊළඟ කාරණය බැදුම්කර ප්‍රශ්නය ආදියයි. බැඳුම්කර ප්‍රශ්නය නොවන්නට එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහමැතිවරණයෙන් අද අද පවතිනවාට වඩා වැඩි ආසන සංඛාවක් දිනාගන්නට තිබුණි. මැතිවරණයෙන් පසුව වුව බැඳුම්කර ප්‍රශ්නයේ වැරැද්ද හෝ නිවැරැද්ද රට හමුවේ තබන්නට එක්සත් ජාතික පක්ෂය උනන්දු වනවාට වඩා කළේ මහින්දගේ වැරදි කියමින් මහින්දට ඇඟිල්ල දිගු කරමින් පුශ්නය යට ගැසීමට නැතහොත් ඉන් ලිස්සායාමටය. ඒ අතරතුර මහමාර්ග සංවර්ධනයට භික්ෂු උපදේශක වහන්සේලා පත්කිරීම පැරණි ආණ්ඩුවේ චූදිතයනට ආරක්ෂාව සැපයීම ආදි චොදනා ද එක්සත් ජාතික පක්ෂයට එල්ල විය. එ.ජා.ප. වේදිකාවේ පුංචි මැතිවරණයේදි කතා කෙරුණේ හාල්, පොල් මිල, පොහොර ප්‍රශ්නය නොව වයි ෆයි, ඉන්ටර්නෙට් වීම ද තවත් හේතුවකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ –

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්කර ජනතාව බලාපොරොත්තු වූයේ රාජපක්ෂ රෙජිමයේ වැරදිවලට දඬුවම් දී රට යහමගට ගැනීමයි. එහෙත් බලයට පත් වූ පසුව සිරිසේන මහතා මුල් තැන දුන්නේ රට හැදීමට වඩා පක්ෂය ගොඩනැඟීමටය. නමුත් ඒ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වාසය හෝ කැමැත්ත දිනාගන්නට නොහැකි වී ඇති බව මහින්දගේ ගොඩ ලොකු වීමෙන් දැන් පැහැදිලි ය. ඔහුගේ දූෂණ විරෝධය ද එල්ල වූයේ එක්සත් ජාතික පක්ෂයට පමණි. බැඳුම්කර කොමිසම පත්කරන අතර මෛත්‍රි තමන්ගේ කරට අත දමාගත් අයගේ දූෂණ ටටපත් වන්නට හැරියේය. එපමණක් නොවේ මහින්ද අතින් කෑපීගිය දූෂිතයන් පවා ලංකර ගත්තේතය. බැඳුම්කරයට විරුද්ධ වුවද ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලට විරුද්ධ වූයේ නැත. ඒ අතර තුර සහෝදරයන් ඉහළ නිලවලට පත්කිරීම, දියණියගේ ප්‍රචාරක ආයතනයකට සැලකීම, විද්‍යුත් නාලිකා වලට අනුග්‍රහ දැක්වීම ආදි කටයුතු ද ඔහු අතින් සිදුවිය.

ඊළඟ කරුණ මෛත්‍රි පැරණි රෙජිමයේ දූෂිතයන් සහ මහින්ද නොමග යැවූ ඔහු වටා සිටි තැනැත්තන් ළංකර ගැනීමය. බලයට පත් වූ මොහොතේ පටන් ඔහු උත්සාහ කළේ මෛත්‍රි වීමට නොවේ. මහින්දගේ ජාතිකවාදය අනුගමනය කරන බව පෙන්වා ජනප්‍රිය වන්නටය. ආසන්නම නිදසුන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සිද්ධියට ඔහු මැදිහත් වූ ආකාරයයි.

මැතිවරණයේදී ඔහු උත්සාහ ගත්තේ එක්සත් ජාතික පක්ෂය මැඩ නැඟිටින්නට මිස මහින්ද පරාජය කරන්නට නොවේ. තමා ආණ්ඩුවේ ජනාධිපති බවද අවසන් කාලය වන විට මෛත්‍රිට අමතක වී ගිය බව පෙනුණි. රාජ්‍ය බැංකු බේරාගන්නට දැන්වීම් පළකරන්නට ඔහු පෙළඹුණේ ඒ නිසාය. ඒ දැන්වීම දැන මහින්ද කීවේ, ඔන්න රටේ ජනාධිපතිම බැංකු අනතුරේ කියනවා. ඒවා බේරගන්න මට ඡන්දය දෙන්න කියාය.

ජනතා විමුක්ති පෙරමුණ –

ඡන්දය අවසානයේ ජ.වි.පෙ. කීවේ තමන්ගේ ඡන්ද පුතිශතය වැඩි වී ඇති නමුත් අපේක්ෂා කළ පුතිඵලය නොලැබුණු බවයි. ඔවුන් සිතන්නට ඇත්තේ මහින්ද පරාජය වූ වටාපිටාවක මෛත්‍රීත් රනිලුත් එපා වී  ජනතාව ජනතා විමුක්ති පෙරමුණට වැල නොකැඩී ඡන්දය දෙනු ඇත කියා විය හැකිය. ඇත්තෙන්ම කියන්නේ නම් යහපාලනයට වඩා මහින්ද හොඳය කියන ආකල්පය ජනතාව තුළ ඇතිකිරීමට පළල් මෙහෙවරක් කළේ ජනතා විමුක්ති පෙරමුණය. ඒ ඔවුන්ගේ කෙළවරක් නැති උද්ඝෝෂණ සහ වැඩවර්ජන නිසාය. සයිටම් ප්‍රශ්නය අල්ලාගෙන ඔවුන් ඇතුළු පිරිස රටේ ජනතාවට කළේ සුළුපටු හිරිහැරයක් නොවේ. සයිටම් පටන්ගත් කාලයේ මහින්දට එසේ විරෝධය දැක්වීමට ජ.වි.පෙ. ඇතුළු පිරිසට හැකි වූයේ නම් සයිටම් ප්‍රශ්නයක් යහපාලනයට ඉතිරිවන්නේ නැත. අවසාන කාලය වන විට ජ.වි.පෙ. මහින්දවාදින් සමඟ ද එක පෙළට හිටගෙන වැඩවර්ජනය කළේය. දැන් ඡන්ද ප්‍රතිඵල දැක ටිල්වින්ලා මිනීමරුවන් දූෂකයන්ට ඡන්දය දුන්නේ යැයි ජනතාවට දොස් කියනු ඇසේ. ඇත්ත වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ කළ යුතුව ඇත්තේ කණ්ණාඩියක් ඉදිරියට ගොස් තමාටම බැණ ගැනීම මිස ජනතාවට දොස් කීම නොවේ. අවුරුදු දෙකක මහින්දගේ පක්ෂය ගත් ජයග්‍රහණය අවුරුදු හතළිහක් පමණ දේශපාලනය කරන ජනතා විමුක්ති පෙරමුණට ගන්නට නොහැකි වීම පක්ෂයේ වරද මිස ජනතාවගේ වරදක් නොවේ.

තාමත් පමා නැත. හැදෙන්නේ නම් යහපාලන ආණ්ඩුවට තවත් අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිබේ.

මෙතෙක් කළ ආකාරයට නොකළ යුතු දේ කිරීම වෙනුවට කරනට ආ දේ මතක්කරගෙන වැඩ කරන්නේ නම් මහින්ද යටපත් කිරීමේ ශක්තිය යහපාලන බලවේගයට තිබේ.

2015 වෙනසට හවුල් වූ ඡන්ද දායකයෙක්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *