බ්‍රිගේඩියර් ප්‍රශ්නය – අනුර සූරියබණ්ඩාර

ලන්ඩන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පැවති නිදහස් දින උත්සවයත්, එදින ලන්ඩන් ශ්‍රී ලංකා විරොධී (දෙමළ ඩයස්පෝරා) විරෝධතාවයත් එකී විරෝධතාවයට ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා දැක් වූ ප්‍රතිචාරයත් ඊට සමගාමීව මෙරට විදේශ අමාත්‍යාංශය ගත් පියවරත් එම පියවර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආපසු හැරවීමත් පසුගිය දිනවල මෙරට ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේද බලවත් කතා බහට ලක් විය. පැහැදිලිවම පෙනෙන්නට තිබුණේ එහි දී සිංහල මාධ්‍ය කොන්දේසි විරහිතව බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා කටයුතු කරන ආකාරයයි. එපමණක් නොව බ්‍රිගේඩියර් වරයාගේ හැසිරීම වීරත්වයට නැංවීමක්ද එහි දී මැනවින් ප්‍රදර්ශනය විය. ඊට අමතරව ඔහු ඊලාම් යුද්ධයේ දී කළ සේවය එහි දී මහත් උත්කර්ෂයට නංවා තිබෙනු දක්නට හැකි විය.

ඉහත කී විරෝධය සංවිධානය කර තිබුණේ එල්.ටී.ටී.ඊ  හිතවාදි පිරිසක් බවත් එල්.ටී.ටී.ඊ යනු මෙරටත් බ්‍රිතාන්‍යයෙත් තවත් රටවලත් තහනම් සංවිධානයක් බවත් තර්කයකින් තොරවම පිළිගත යුතුය. එසේම එකී විරෝධයේ දී අදාළ කණ්ඩායම ශ්‍රී ලංකා කොඩිය බිම දමා පෑගීම, එල්.ටී.ටී.ඊ. කොඩිය ප්‍රදර්ශනය කිරීම ආදී මෙරට නීතියට අනුව වරදකාර ක්‍රියාවන්හි යෙදුණු බවද පිළිගත යුතුය. එපමණක් නොවේ පුවත්පත් වාර්තා කර තිබුණු ආකාරය අනුව විරෝධාතාකරුවන්, ‘අපේ ඉඩම් කොල්ල කෑම නවතපියව්! හමුදාව උතුරෙන් පිටකරවු!’ ‘හොඳින් නැත්නම් නරකින් ඊළම අපි ගන්නවා!’ යනාදි සටන් පාඨ ඉංග්‍රිසියෙන් ලියූ පොස්ටර් ද රැගෙනවිත් තිබී ඇත. අපි තොට වෙඩි තියල මරල හයිඩ් පාර්ක් එකේ (ලන්ඩන් හයිඩ් පාර්ක්) එල්ලනවා කියා ඔවුන් බ්‍රිගේඩියර් වරයාට බැණ තර්ජනය කළ බවත් සඳහන් විය. විරෝධතාකරුවන් අතර (පුවත්පත් ඔවුන් හදුන්වා තිබුණේ ඩයස්පෝරා කොටි අනුගාමිකයන් වශයෙනි. ඔවුන් ඩයස්පෝරාවේ සාමාජිකයන් බව පිළිගත හැකිවන්නේ විදේශයක පදිංචිව සිටින නිසාය. කොටි අනුගාමිකයන් බවද ඔවුන් ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය බිමදමා පෑගීම කොටි කොඩිය ප්‍රදර්ශනය කිරීම ආදිය ඔස්සේ පැහැදිලිය)  ඉන්දීය දෙමළ පිරිසක් සිටි බවත් ඔවුන් තමිල්නාඩුවේ දෙමළ ධීවරයන් 200ක් පමණ ශ්‍රී ලංකා හමුදාව වෙඩි තබා මැරුවේ ආයි ද යන්න පිළිබඳ වඩාත් උනන්දු වූ බවත් පුවත්පත් වාර්තා කර තිබුණි.

පුවත්පත් පසවන ආකාරයට එවිට බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු එය අමූලික බොරුවක් බවත් ශ්‍රී ලංකා හමුදාව එසේ මිනිසුන් මරන්නේ නැති බවත් ඔවුනට ඒත්තු ගන්වන්නට උත්සාහ කර තිබේ. ශ්‍රී ලංකා රජය සිංහල ජනතාව උතුරේ බලෙන් පදිංචි කරනවා කියන කතාවත් සත්‍ය නොවන බව බ්‍රිගේඩියර් වරයා පුන පුනා කීවද ඉඩයස්පෝරා අනුගාමිකයෝ එය පිළිගැනීමට සූදානම් වී නැත. මේ සියලු කරුණු උපුටා දැක්වීමෙන් අදාළ පාර්ශව එනම් ජනමාධ්‍ය සහ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදය වැන්නන් උත්සාහ දරන්නේ බ්‍රිගේඩියර්වරයාගේ නිවරද්‍යතාව පෙන්වා දීමටය. මෙහිදී අප මතක තබා ගත යුත්තේ කොඩි ඩයස්පෝරාව හෝ කවුරු හෝ විරෝධතා දක්වා ඇත්තේ ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කර්යාලය තුළ නොව ඒ ඉදිරිපිට මහා මාර්ගයේ එනම් බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින භූමි ප්‍රදේශයේ දී බවයි. විරෝධතා කරුවන්ගෙන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට හෝ එහි සේවක මණ්ඩලයට අනතුරක් ආක්‍රමණයක් සිදු වූයේ නම් ඒ පිළිබඳ කටයුතු කිරීමට ලන්ඩන් පොලීසිය ද එතැන සිටියේය. උද්ඝෝෂකයන් ආක්‍රමණශිලි වන විට ලන්ඩන් පොලීසිය විසින් ස්කොට්ලන්ඩ් කැරලි මර්දන පොලිස් බලකායද එතැනට කැඳවා තිබේ. පොලිස් විමර්ශන බලකායේ හෙළිකොප්ටර් දෙකක් ද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ අහසේ තිබී ඇත. සියල්ලෙන් පැවසෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා මහ‍‍‍කොමසාරිස් කාර්යාලයට අවශ්‍ය ආරක්ෂාව නොමදව සපයා තිබූ බවයි. එසේම එය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යා‍ලයේ ආරක්ෂක අංශයට හෝ එහි ආරක්ෂක උපදේශකට අයත් කාර්යක්ද විය නොහැකිය. කාර්යාල භූමි‍යෙන් පිටත කටයුතු මහ කොමසාරිස්වරයාට හෝ එහි ආරක්ෂක අංශවලට අයත් යැයි සිතිය නොහැකි බැවිනි. ඩයස්පෝරාව හෝ එල්.ටී.ටී.ඊ. ය හෝ කවුරු හෝ යම් මහකොමසාරිස් කාර්යාලයක් ඉදිරිපිට හෝ තනාපති කාර්යාලයක් ඉදිරිපිට උද්ඝෝෂණ උපවාස කරන විට අදාළපාර්ශ්වයට කරුණු පැහැදිලි කිරීම පැවරෙන්නේ මහකොමසාරිස්වරයාට හෝ තනාපතිවරයාට ද නැතිනම් ආරක්ෂක උපදේශකවරයාට ද යන ගැටලුව ද මෙහි දී මතුවේ.

තානාපතිකාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ උපවාසය කළ අතීතයක් මෙරටට තිබුණි. එහෙත් මෙරට ජනාධිපති ම ගොස් තැඹිලි පෙවා උපවාස නතර කළා මිස එම රටවල තනාපතිවරු හෝ තනාපති කාර්යාලවල ආරක්ෂක අංශ පාරට පැන උද්ගෝෂකයනට කරුණු පැහැදිලි කරන්නට ගියවගක් අපට මතක නැත. එම තානාපති කාර්යාලවල නිලධාරින් උද්ඝෝෂකයන්ට ‘බෙල්ල කටින්’ ඇක්ෂන් දමා මේ රටේ නීතිය උද්ඝෝෂකයනට පැහැදිලි කළේද නැත.

අනෙක් කරුණ ‍වන්නේ ‘බෙල්ල කටින්’ ඇක්ෂන් එකේ තේරුම විවිධ අය විවිධ ආකාරයට තේරුම් කරන්නට යාමය. එක් අයෙකුට එය “බ්‍රිතාන්‍ය ඇතුළේ උන්දෙන්නා තමාව මැරුවොත් මේ රටේ නීතිය අනුව ඔවුන්ගේ බෙල්ල වටේ තොණ්ඩුවක් වැටෙන බව” කීමය. තවත් මතයකට අනුව “ශ්‍රී ලංකා ධජය ඔවුන්ට පෙන්වා අපේ රට ප්‍රභාකරන්ගේ ගෙල මුළුමනින්ම සිද දමා ඇති බවට නිරූපණය කිරීමය. දෙකෙන් නිවැරදි කවර අර්ථකථනයද යන්න මාධ්‍යස්ථ මතධාරින්ට ගැටලුවකි.

කුමක් වුවත් අපේ දැනුමේ හැටියට වැටහෙන්නේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු අනවශ්‍ය දෙයකට මැදිහත්වන්නට ගොස් සිය හික්මීමක් නැතිකම ප්‍රදර්ශනය කර ඇති බවය. උද්ඝෝෂකයනට ඔවුන්ගේ නොහික්මුණු බව නීති විරෝධි ක්‍රියා ඒ ආකාරයෙන් ප්‍රදර්ශනය කරන්නට ඉඩ හැර මහත්මාලීලාවෙන් හැසිරිමට නොහැකිවීම ඔහුගේ හමුදා නිලයට මෙන්ම ශ්‍රී ලංකා හමුදාවටත් කැළලක් නොවන්නේ ඇයි දැයි විමසා බැලිය යුතුය.

විනය පරීක්ෂණයකින් තොරව ඔහුගේ සේවය අත්හිටුවීම වරදක් විය හැකි නමුත් විනය පරීක්ෂණයකින් පවා තොරව ඔහුට යළි සේවයේ යෙදීමට අවසර දීම ද මෙරට රාජ්‍යතාන්ත්‍රික සේවයට ගැලපෙන්නේ ද යන්න විවෘත සංවාදයකට ලක්විය යුතුය. ජනාධිපතිවරයා බ්‍රිගේඩියර්වරයා සම්බන්ධයෙන් අනුගමනය කළේ මැතිවරණ ව්‍යාපාරයක් අතළඟ තිබිය දී මහින්දවාදී පිළිවෙතක් ද යන්න ද පැහැදිලි නැත. එසේනම් දැන් ඒ ගැටලුවත් නිරාකරණය වී තිබේ. මහින්දගේ චරිතය රඟදක්වන්නට මෛත්‍රිට වඩා මහින්ද ම හොඳ බව ද ඡන්ද ප්‍රතිඵල අනුව පැහැදිලි වී ඇති නිසාය.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *