සුද්දා අපෙන් නිදහස් වී වසර හැත්තෑවයි – අනුර සූරියබණ්ඩාර

නිදහසේ 70 වන සංවත්සරය සමරන මොහොත වන විට අප පසුවන තත්ත්වය ගැන හිතාබලන්නට මේ හොදම කාලය බව අමුතුවෙන් කිවයුතු නැත. නිදහස ගැන කතා කළ මගේ මිතුරෙක් උපහාසයෙන් කීවේ ලංකාවෙන් නිදහස් වීමේ සතුට සැමරීමට මහා බ්‍රිතාන්‍යයත් උත්සවයක් සංවිධානය කර තිබූණා කියාය.

ඇත්තෙන්ම කියන්නේ නම් කරුණු එක දෙකක් හැරුණු විට නිදහසින් 70 වසරක් ඉක්මයන අප විට සිටින්නේ සතුටු විය යුතු තත්ත්වයක නොවේ. නිදහස නොලබා සුද්දාගේ පාලනය තිබුණා නම් යහපත් යැයි සිතෙන මට්ටමක ය. එසේ සතුටු විය හැකි තත්ත්වයන් වශයෙන් සැලකිය හැකි හේතු කිහිපයක් මෙසේය. නිදහස ලබන විට අපේ ආයු අපේක්ෂාව පැවතියේ පිරිමින්ගේ අවුරුදු 46ක් සහ කාන්තාවන්ගේ අවුරුදු 44ක් වශයෙනි. මේ වන විට එය පිරිමින්ගේ අවුරුදු 77ක් සහ කාන්තාවන්ගේ අවුරුදු 78ක් දක්වා වර්ධනය වී තිබේ. නිදහසින් පසු මෙරට අත්පත් කරගත් උසස් ජීවන ත්ත්වයට එය එක් නිදසුනකි. ඊට අමතරව අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, සෞඛ්‍ය, පෝෂණය, ළදරු මරණ අනුපාතය, මාර්ග, ප්‍රවාහනය, ග්‍රාමීය විදුලි බලය, පවුල් සැලසුම, නිවාස කම්කරු අයිතිවාසිකම් ආදි අංශවලින් සැලකියයුතු දියුණුවක් ප්‍රදර්ශනය කරන්නට සමත් වී ඇති බවත් පිළිගත යුතුය. නමුත් ඒ දියුණුව සතුටු දායක මට්ටමින් සිදු වී ඇතිද? වියයුතු හොදම ආකාරයෙන් ඒවා සිදුවී ඇතිද? යන්නත් ගැටලුවකි. එසේ කියන්නට හේතුව අපට පසුව නිදහස ලබාගත් කලාපයේ අනෙකුත් රටවල් බොහෝමයක් එකී අංශ වලිනුත් අප ඉක්මවා ගොස් ඇති බැවිනි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත් කල නිදහස් අධ්‍යාපන පිළිවෙත හේතුවෙන් මෙරට ඇති හැකි අයටත් නැති බැරි අයටත් හැමෝටම එකවර නොමිලයේ අධ්‍යාපනය දීමට උත්සාහ කිරීම අප වැනි රටකට කොතරම් දුරට ගැලපෙන්නේ ද යන්න සිතා බැලිය යුතුය. එසේ නොමැතිව ධනවතුන්ට යම් මුදලකටත්, නැති බැරි ස්ථරවලට නොමිලයේත් අධ්‍යාපනය ලබාදෙන පිළිවෙතකට යාමට අපට මුලදීම හැකි වූයේ නම් අධ්‍යාපනය වෙනුවෙන් රජයට දරන්නට සිදුව ඇති වැය බර මහත්සේ පහත්කර ගන්නට අපට තිබුණි. එවැනි දෙයකට නොයාම හේතුවෙන් අධ්‍යාපනයේ පිරවිය නොහැකි ඇති නැති පරතරයක් මේ වන විට ගොඩනැඟී ඇති බව පැහැදිලිය. පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී පාසලක් ලබාගන්නට මවුපියන් අතර ඇති මරාන්තික සටන හදුනාගත හැක්කේ අදූරදර්ශි නිදහස් අධ්‍යාපනයේ එක් ප්‍රතිඵලයක් වශයෙනි. ඊළඟ  උදාහරණය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත්වීම සඳහා උසස් පෙළ විභාගයේ දී පවතින තරගයයි. ඒ තරගයට විසදුම් ලබාගැනීමට ගෙනා ඉසෙඩ් ලකුණු ක්‍රමය ගම්බදට වාසියක් වුවත් ඉන් නාගරික පුදේශවල දක්ෂ ශිෂ්‍යන්ට සිදු වී ඇත්තේ බලවත් අසාධාරණයක් බව පැහැදිලිය. පාසල් අතර ඇති ඇති නැති පරතරය පියවීමට එනම් නාගරික ප්‍රෙද්ශවල පාසල්වලට ඇති පහසුකම් ග්‍රාමීය ප්‍රදේශවලට ලබා දීමට නොහැකි වීම මකාදමන්නට ගෙනා ඉසෙඩ් ලකුණු ක්‍රමය අනෙක් පැත්තෙන් නගරයට අසාධාරණයක් බවට පත් වී තිබේ. සියල්ල නොමිලයේ දීම වෙනුවට අවශ්‍ය අයට නොමිලයේ අධ්‍යාපනය දෙන පිළිවෙතකට යාමට මුලින්ම අපට හැකි වූයේ නම් ඇති නැති අයගෙන් අයකරන මුදලින් නැති බැරි අයට අවශ්‍ය පහසුකම් සපයා අධ්‍යාපනයේ ඇති නැති පරතරය එනම් නාගරික හා ගම්බද පාසල් අතර පරතරය සමනය කළ හැකිව තිබුණි. විග්‍රහයේ පහසුව පිණිස ග්‍රාමීය නාගරික වශයෙන් වෙන් කළත් කොළඹ නගරයේ පවා පාසල් අතර පහසුකම් වශයෙන් අතින් ඇත්තේ විශාල පරතරයක් බව මතක තබා ගත යුතුය.

ඊළඟ කරුණ බටහිර ජාතීන් මෙරට පැළ කළ අධ්‍යාපනය නිදහසින් පසුව රටට අවශ්‍ය පරිදි සකස්කර ගැනීමට අප දැක්වූ අසමත් කමයි. රටේ පවතින උග්‍ර විරැකියාවට මූලික හේතුව එයයි.

සෞඛ්‍ය අංශය සම්බන්ධයෙන් පවා සියල්ලන්නට සියල්ල නොමිලයේ දෙන පිළිවෙත රටේ අනාගත ගමනට මහත් බාධකයක්ව ඇති බව පිළිගත යුතුය. වෙනත් රටවල සෞඛ්‍ය අංශයේ වියදම් පිරිමසාලීම සිදුවන්නේ රජයේ අරමුදල් වලින් නොව සෞඛ්‍ය රක්ෂණ ක්‍රම ආදිය හරහායි. එකල අපලෝ රෝහල නමින් හැඳින් වුණු අද ලංකා හොස්පිටල් ආයතනය ආරම්භ කළ මොහොතේ විදෙස් හිමිකාරිත්වය වෙනුවෙන් අදහස් දැක් වූ නියෝජිතයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය රක්ෂණ දුර්වල වීම බරපතළ ගැටලුවක් බවයි.

ප්‍රවාහනය සම්බන්ධයෙන් ගත් විටද බස් ජනසතුව වැනි ජනප්‍රිය තීරණවල අවසන් ප්‍රතිඵලය වී අත්තේ එතෙක් ලාබ ලබන ව්‍යාපාරයක් වශයෙන් පැවති ප්‍රවාහනය ජනසතු කර බිහිකළ ලංගමය මේ වන විට ආර්ථිකය මත පැටවුණු සුදු අලියෙක් බවට පත් වීමයි. එනම් මහා භාණ්ඩාගාරයටත් අවසන ජනතාවට බදු වශයෙනුත් බරක් බවට පත් වීමයි. පසු කලෙක ප්‍රවාහනය යළි පෞද්ගලික අංශයට පත් කිරීම වුවද සිදු වූයේ මුදලාලිකරණ ව්‍යාපාරයක් වශයෙනි. පුද්ගලයන්ට බස් දිවීමට අවසර දීම වෙනුවට බස් සමාගම් බිහිකොට සංවර්ධනය කරන පිළිවෙතකට යොමු වූයේ නම් මෙයට වඩා මගීනට ලාභදායි සහ රටට බදු මුදලක් විධිමත්ව ලබාගත හැකි ව්‍යාපාරයක් බවට ප්‍රවාහන කර්මාන්තය පත් කළ හැකිව තිබුණි.

වතු ජනසතුකරණයද ගතයුත්තේ එවැනි ජනප්‍රිය එහෙත් අනුවණ කටයුත්තක් වශයෙනි. වතු සමාගම් ජනසතුව මේ වන විට කෙළවර වී ඇත්තේ දේශපාලන හිතවතුන්ට වතු හසුරුවන්නට අවස්ථාව සලසමිනි. එදා ලාභදායි ව්‍යාපාරයක් වශයෙන් පැවති වැවිලි කර්මාන්තය අද ආණ්ඩුවෙන් සහනාධාර ඉල්ලන තත්ත්වයකට පත් වී තිබේ.

ශ්‍රී ලංකාව යනු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයැයි අපි උදම් අනන්නෙමු. සුද්දා එන විට මෙරට පැවතියේ රාජාණ්ඩුක්‍රමයක් බව කුඩා දරුවා පවා දනිති නීතිය පැවතියේ බලවතාගේ කැමැත්තට අනුව ක්‍රියාත්මක වන තත්ත්වයකය. විධිමත් නීති පද්ධතියක් සමානාත්මතා පදනම මත ක්‍රියාත්මක වන රටක් බවට ලංකාව පත්කිරීමේ ගෞරවය සුද්දාට දිය යුතුය. නමුත් සුද්දාගෙන් පසුව අප ගමන් කළ දිසාව පිළිබඳ අවංකව සුතුටු විය හැකි දැයි කල්පනා කළ යුතුය. ජනරජ ව්‍යවස්ථාවෙන් ආණ්ඩුවට ආගම ගැටගැසීමේ අවුල අපි අද අත්විඳිමින් සිටිමු. 1978 ව්‍යවස්ථාවෙන් බිහි කළ විධායක ජනාධිපති ක්‍රමය ඒකාධිපති, නරපති, මහරජෙකු බිහිවන තත්ත්වට පත් නොවූයේ අනූනමයෙනි. ඒ ව්‍යායාමය නතර කරන්න්ට මෙරට ජනතාවට ගෙවන්නට සිදු වූ වන්දියද සුළුපටු නැත.

එතෙක් ප්‍රාදේශීය පාලන ඒකක වශයෙන් පැවති රට එක්සත් කිරීමේ ගෞරවයද යුන්නේ සුද්දාටමය. නමුත් ඒ එක්සේසත් කම රැකගන්නට පසුකලෙක අපට අවුරුදු තිහක් රටේම සහෝදර ජනතාවක් සමග කුරිරු යුද්ධයක නියැලීමට සිදුවීම පිළිබඳ අපට ආඩම්බර විය හැකිද?

ලේ නොහලා ලබාගත්තේ යැයි ආඩම්බරයෙන් කියන නිදහස දිනාගැනීමේ ව්‍යාපාරයට (අපට ඇත්තේ ඉන්දියාවේ මෙන් නිදහස සටනක් නොවේ. සුද්දාගෙන් නිදහස ඉල්ලා පින්සෙන්ඩු වීමේ ව්‍යාපාරයක් බව කාගේ සිත් රිදුණත් කිවයුතුව තිබේ) එක්ව කටයුතු කළ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අද සිටින්නේ එකිනෙකා කෙරෙහි සැකයෙනි. ඇතැම් විට වෛරයෙනි. එයද සිංහල රාජ්‍ය භාෂාව කිරීම වැනි අමනෝඥ ජනප්‍රියවාදී තීරණවල පුතිඵලයක් වශයෙනි.

නිදහසින් පසුව මේ රට වැටී ඇති සැබෑ තත්ත්වය පිළිබිඹු කරන කැඩපත අපේ පාර්ලිමේන්තුව යැයි කිව හැකිය. නිදහස ලබද්දී සර් ඩී.බී. ජයතිලක, ඇන්.එම්. පෙරේරා වැන්නවුන්ගෙන් නියෝජනය වූ පාර්ලිමේන්තුව අද චෝකා මල්ලිලායේ බයිලා පොළක් බවට පත් ව තිබීම පිළිබඳ අප අතිශයින් සතුටු විය යුතුය.

නිදහසින් අවුරුදු 70 පිරීම අප සමරන්නේ පෙබරවාරී 10 වෙනි දිනට යෙදෙන පළාත් පාලන මැතිවරණයෙනි. අපේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය, සර්වජන ඡන්ද බලය සුද්දාගේ කාලයට වඩා කොතරම් දියුණුවෙන් දියුණුවට පත්ව තිබේ දැයි කියන්නේ නම්, සියලුම පක්ෂවලින් විවිධ අපරාධ චෝදනාවලට ලක් වූ දූෂිත අපේක්ෂකයන් 67ක් තරග වැදී සිටින බව හෙළිදරව් වී තිබේ. සුද්දා මේ රට පාලනය කළේ නම් මෙවැනි දියුණු ප්‍රජාතනත්‍රවාදයක් අපට හිමි වන්නේ නැත. සුද්දාගෙන් නිදහස් වීමට මහ ඉහළින් සැමරීමට එය පමණක් වුව ප්‍රමාණවත් ය.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *