පරමාධිපත්‍යට නිසි ගරුත්වය දෙන්න – භාතිය බරුකන්ද

පළාත් පාලන මැතිවරණය, එහෙම නැතිනම් ගමේ ආණ්ඩුවට මන්ත්‍රීවරුන් තෝරා ගන්නා මැතිවරණයට තව තිබෙන්නේ එකම දිනයක් පමණයි. සිංහල අලුත් අවුරුද්දට පෙර පරණ අවුරුද්ද දා පවතින ආකාරයේ අපූරු නිහැඬියාවකින් මුළු රටම වෙලී ගිහින් කියලා බැලූ බැල්මට පේනවා. ඒ නිසා වෙනදාට දැවැන්ත මාධ්‍ය අවකාශයක් අත්පත් කර ගන්නා, ඉතාම බලවත් තැනක සිටි මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන රාජ්‍ය නොවන සංවිධානවලට මේ ඡන්දයේදී සැලකිය යුතු මාධ්‍ය ආවරණයක් ද ලැබුණේ නැහැ. ඒ වාර්තා කළ හැකි තරමේ සැලකිය යුතු ප්‍රචණ්ඩ ක්‍රියා හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදු නොවුණු නිසා.

මීට පෙර මෙවැනි නිහැඬියාවක්, සන්සුන්බවක් මැතිවරණයකට පෙර දිනයේ තිබුණේ නැහැ. ඒ වෙනුවට මුළු රටම වෙළාගෙන තිබුණේ දැවැන්ත ප්‍රචණ්ඩත්වයක භීතිය, රාජ්‍ය මාධ්‍ය විසින් අසීමිතව, අඛණ්ඩව සහ ඒකපාර්ශ්වික ප්‍රචාරය, මඩ ගැසීම්. මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් බලයේ සිටින ආණ්ඩුව මැතිවරණ දිනයේත් දැවැන්ත ලෙස රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය සම්පත් භාවිතා කළා. පෝස්ටර්, කටවුට්වලින් මුළු රටම වසා දැම්මා. විපක්ෂයේ ඡන්ද පොළ නියෝජිතයන් සොය සොයා ගොස් ඔවුන් භීතියට පත් කරමින් ඡන්දපොළට නොයන ලෙස තර්ජනය කළා. ඒ අතරේ විපක්ෂයේ ඡන්දදායකයන්ටත් තර්ජනය කිරීම් එළිපිට සිදු වුණා. කොටින්ම පසුගිය දශක කිහිපය පුරා ජනතාවට දැකිය හැකි වුණේ රාජ්‍ය බලය අතේ තිබෙන දේශපාලන පක්ෂය විසින් හෝ සන්ධානය විසින් සිදුකළ ඒකපාර්ශ්වික මැතිවරණ ව්‍යාපාරයක්. ඡන්දයක් වෙනුවට යුද්ධයක්.

වෙනස සිදු කළ හැටි

ලංකාවේ පළාත් පාලන මැතිවරණය එංගලන්තය, ප්‍රංශය වාගේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල මැතිවරණයක දක්නට ලැබෙන සාමකාමීභාවයක් කරා ගමන් කිරීම හුදු අහම්බයක් හෝ හුදකලා සිදුවීමක් නොවෙයි. ඒ සඳහා දැවැන්ත කැප කිරීමක්, අවදානමක් දැරීමට මෙරට ජනතාවට සිදු වුණා. ජනතාව මේ අවදානම, කැප කිරීම කළේ මීට අවුරුදු තුනකට පෙර, 2015 ජනවාරි 08 වැනිදා. එදා සියලුම බාධා බිඳගෙන ප්‍රජාතන්ත්‍රවාදය යළි ඔසවා තැබීම වෙනුවෙන්, වඩා යහපත් රටක්, අනාගතයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් මෙරට අතිබහුතරයක් ජනතාව තමන්ගේ ඡන්දය භාවිත කළ හෙයින් අද අපට නිදහස් හා සාමකාමී මැතිවරණයක් ලැබී තිබෙනවා. ජනතාවට කිසිදු භීතියකින්, තර්ජනයකින් හෝ නොමඟ යැවීමකින් තොරව තමන්ගේ පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් ලංකාවේ ජනතාවට කිසිදා උදා වෙතැයි කියා මීට අවුරුදු තුනකට පෙර කිසිවෙකු විශ්වාස කළේ නැහැ. මොකද ඒ වන විට ලංකාවේ ජනතාව දැක තිබුණේ “හිට්ලර් පන්නයේ ” එහෙම නැතිනම් ඒකාධිපති රටවල පවතින ආකාරයේ තනි අශ්වයාගේ තරගයක් පමණයි. සැලසුම් සහගතව මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට බොහෝ කාලයකට පෙර ඒක පාර්ශ්විකව ආරම්භ වුණ ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එදා මුහුණ දීමට විපක්ෂයට කිසිදු හැකියාවක් හෝ ශක්තියක් තිබුණේ නැහැ. දැවැන්ත රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය බලය, මූල්‍ය ශක්ති හමුවේ එදා විපක්ෂයට සිදු වුණේ ස්වේච්ඡාවෙන්ම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයෙන් ඈත්ව සිටින්නයි. ඒ නිසා මේ ආශ්වාදනීය, ආකර්ෂණීය මැතිවරණ වාතාවරණය රටට උරුම කර දුන් සියලුම පාර්ශ්වවලට ජනතාවගේ නිසි ගෞරවය හිමිවිය යුතුයි. මොකද ඔවුන් මේ වෙනස සිදු නොකළා නම් ජනතාවට නිදහස් වාතාවරණයක් තුළ තමන්ගේ සැබෑ කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ. අාබාධව තමන්ගේ පරමාධිපත්‍ය අභ්‍යාස කිරීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

අපේ පුංචි ඡන්දය ලෝක වාර්තාවක් ද කියලා සොයා බලන්න කියලා ඒ ගැන උනන්දුවක් දක්වන පාර්ශ්වවලට අවස්ථාවක් තිබෙනවා. මොකද ලක්ෂ 150ක් පමණ වන ඡන්දදායකයන් වෙනුවෙන් අපේක්ෂකයන් 52,000ක් පමණ ඉදිරිපත් වුණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් මේ දක්වා ලෝකයේ පවත්වා තිබුණා ද ? යන්න ගැන ඇතිවන විශ්මයක් බොහෝ දෙනකු තුළ තිබෙනවා. ඒ අතර මෙතරම් අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත්ව සිටියදීත්, මේ පුංචි ඡන්දය යළි මධ්‍ය ආණ්ඩුවේ බලතුලනය කෙරෙහි තීරණාත්මක වන බව ඉතාම පැහැදිලිව තිබියදීත් මේ දක්වා පවතින මේ නිදහස් හා සාමකාමී වාතාවරණය ජනතාව තුළ පමණක් නොවෙයි. ලංකාවේ පසුගිය කාලයේ පැවැති මැතිවරණ නිරීක්ෂණය කළ, ඒ ගැන උනන්දු වූ ජාත්‍යන්තර ප්‍රජාව තුළත් විස්මයක් ඇති කර තිබෙන නිසයි.

නීති රැකුණා – නීති රැක්කා

පසුගිය කාලයවල පැවැති සියලුම මැතිවරණවලදී විස්සයි විස්ස ක්‍රිකට් තරගයකදී වාගේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල සංඛ්‍යාව, මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම් වාර්තා කළ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තම අතීත අත්දැකීම් අනුව මේ ඡන්දය දකින්නේ ඉතාම සාධනීය හා සාමකාමී මැතිවරණයක් විදහටයි.

මේ තත්ත්වය ගැන “කැෆේ” සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් කරන පැහැදිලි කිරීම අතිශයින් වැදගත්. ඔහුට අනුව මේ මැතිවරණයේදී වෙනදාට වඩා මැතිවරණ නීතිරීති ආරක්ෂා වෙලා තිබෙනවා. කැෆේ විධායක අධ්‍යක්ෂවරයා එහි ගෞරවය ලබා දෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රමුඛ මැතිවරණ කොමිෂමට සහ පොලිසියටයි. ඒ වගේම එම ගරුත්වය රාජ්‍ය නිලධාරීන්ටත් ලබා දෙන්න තෙන්නකෝන් මහතා පැකිළෙන්නේ නැහැ.

“මැතිවරණ නීති උල්ලංඝණය කිරීම පිළිබඳ පැමිණිලි ලැබුණාම ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට එක හා සමානව සලකන බවක් මේ මැතිවරණයේදී දැකිය හැකියි. මේ වන විට මැතිවරණ නීති උල්ලංඝණය කළ හැම පක්ෂයකම වාගේ අපේක්ෂකයෝ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒකෙන් පේනවා ශ්‍රී ලංකා පොලිසිය නීතිය ආරක්ෂා කරනවා කියලා. වෙනදා තිබුණ මහා පරිමාණ මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ මැතිවරණයේදී දකින්න නැහැ. එදා තිබුණු දැවැන්ත ප්‍රචණ්ඩ ක්‍රියා මේ මැතිවරණයේදී දකින්න නැහැ. දේපොළ හානි නැහැ. අතීතයේ තරම් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් දකින්න නැහැ. මේ තත්ත්වය තුළ පසුගිය මැතිවරණත් එක්ක බැලුවාම ප්‍රචණ්ඩ ක්‍රියා ඉතාමත් අවම මට්ටමක තමයි තිබෙන්නේ ” කීර්ති තෙන්නකෝන් මහතා තමාගේ අතීත අත්දැකීම් ද සමඟ තම නිරීක්ෂණය ඉදිරිපත් කරනවා.

මේ අනුව අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින නිලධාරීන්ට පමණක් නොවෙයි. මැතිවරණ අපේක්ෂකයන්ට පවා නිසි මඟපෙන්වීමක් හා නායකත්වයක් ලැබේ නම් (කකුළු න්‍යාය අනුව නොයමින්) ඔවුන් නීතිය රැකීමට දැඩි උනන්දුවක් දක්වන බවයි. දශක ගණනාවක් නොපැවැති මේ නායකත්වය හා මඟ පෙන්වීම ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය මනාව අභ්‍යාස කරන වත්මන් පාලකයන් වෙතින් බව අප ඔවුන්ට ලබාදෙන ගෞරවයක් වශයෙන් සඳහන් නොකිරීම කුහකකමක් මිස අවංකකමක් නොවෙයි. මොකද රාජ්‍ය නායකත්වය විසින් පසුගිය කාලය තුළ දක්වන ලද දේශපාලන අවංකභාවය හා ප්‍රජාතන්ත්‍රවාදීභාවය පසුගිය කෙටි කාලය තුළ සමස්ත පරිපාලන යාන්ත්‍රණය තුළ ධනාත්මක වෙනසක් කළ බව අපට ඉතාම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි නිසයි.

ඡන්ද පොළට යන්න – පරමාධිපත්‍ය අභ්‍යාස කරන්න

පුංචි ඡන්දයේ උණුසුම, උද්යෝගය තිබෙන්නේ බල අරගලය තුළ සිටින සීමිත පිරිසක් අතර බවත් සාමාන්‍ය ජනතාව ඡන්දය ගැන එතරම් උනන්දුවක් නොදක්වන බවත් ඇතැමුන් සඳහන් කරනවා. ඒත් දේශපාලන නිරීක්ෂකයන් සහ මැතිවරණ නිරීක්ෂකයන් නම් කියන්නේ එය සාවද්‍ය තර්කයක් බවයි.

“මේ මැතිවරණයට ජනතාවගේ උද්යෝගයක් නැහැයි කියන එක සාවද්‍ය කතාවක්. සාමාන්‍ය තත්ත්වයක් යටතේ ලංකාවේ පළාත් පාලන මැතිවරණයකදී ඡන්දය භාවිත කරන්නේ සියයට 60ක් වැනි ප්‍රතිශතයක්. මේ මැතිවරණය ආරම්භයේදී සාමාන්‍ය ජනතාව තුළ එතරම් උනන්දුවක් දැකිය නොහැකි වුණත් මේ වන විට අපේ නිරීක්ෂණය වන්නේ ජනතාව තුළ මැතිවරණය සම්බන්ධයෙන් ඉහළ උනන්දුවක් තිබෙන බවයි. ඔවුන් දැඩි උනන්දුවකින් මැතිවරණයට සූදානම් වෙමින් සිටිනවා” කීර්ති තෙන්නකෝන් මහතා කියනවා.

තෙන්නකෝන් මහතා කියන මේ තත්ත්වය අපට ද පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. මේ සුවිශේෂ උනන්දුව සඳහා ජාතික දේශපාලනය සේම ගමේ දේශපාලනයක් ප්‍රබල හේතුවක් වෙලා තිබෙනවා.

“මේ ඡන්දේ අපිට තීරණාත්මක වෙන හේතු දෙකක් තිබෙනවා. එකක් අපි ඡන්දපොළට නොගියොත් වෙනදා වගේ අපේ ඡන්දය වෙනත් කෙනෙක් දායි කියලා මේ පාර නම් කිසිම බයක් නැහැ. ඒත් අපි ඡන්ද පොළට නොගියොත් අපි දිනා ගත්ත සියලුම දේවල් අහිමිවීමේ අවදානමක් තිබෙනවා. අපි අපේ ඡන්දයෙන් පරාජය කළ ප්‍රතිගාමීත්වය යළිත් හිස ඔසවමින් ඉන්නවා. එහෙම වුණොත් අපිට ඡන්දෙන් කරන්න පුළුවන් දෙයක් අනාගතයේදී ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන් ඡන්ද පොළට යනවා. ඒ පක්ෂය වෙනුවෙන්. රටේ අනාගතය වෙනුවෙන්. ඒ වගේම අපි ඡන්දපොළට නොගියොත් අපේ ගමේ මිනිහට (අපේක්ෂකයට) මූණ දෙන්නේ කොහොමද ? අපිට ජීවිතේ පළමු වතාවට අපේ ගමේ, අපි දන්න කියන නියෝජිතයෙක් පත්කර ගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා අපි අපේ ඡන්දය පාවිච්චි කරනවාම තමයි”

මේ ලියුම්කරු සමඟ අදහස් දැක්වූ හොරණ ප්‍රදේශයේ ජීවත්වෙන වෛද්‍යවරයෙක් කී කතාවක්. මෙවැනි කතා අපට හැමතැනකදීම ඇසිය හැකියි. අද ඔවුන් අතිබහුතරය ඉන්නේ දිනාගත් නිදහස තහවුරු කර ගැනීම කළ යුතුයි කියන දැඩි මතයේ. ඒ වගේම ජීවිතේ මුල්වරට ලැබෙන මැතිවරණ නිදහස අභ්‍යාස කිරීමේ අදහසේ.

මේ අතර සුපුරුදු “කළකිරීම” ගැනත් යම් යම් ප්‍රතිගාමී නැතිනම් ඡන්දදායකයන් දුර්මුඛ කරන අදහස් පැතිරීමක් ඉතාමක් සංවිධානාත්මකව සිදුවන බවක් ද දැකිය හැකියි. ඒ සඳහා ඍජුව ඉලක්ක වෙලා තිබෙන්නේ මේ නිදහස් හා ගෞරවාන්විත වාතාවරණ උදාකර ගැනීම සඳහා තමන්ගේ ඡන්දය භාවිත කළ පුරවැසියන්වීම අපගේ අවධානයට යොමු විය යුතුයි. ඔවුන් මේ සඳහා ප්‍රබල තර්කයක් වශයෙන් ඉදිරිපත් කරන්නේ පසුගිය මැතිවරණයේදී සුවිශේෂ භූමිකාවක් නිරූපණය කළ තැපැල් ඡන්දදායකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් ඔවුන්ගේ තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ බවට මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා කළ ප්‍රකාශයයි.

“තැපැල් ඡන්දදායකයෝ තමන්ගේ ඡන්දය දාන්නේ නැහැ කියලා කියන්නේ නිකං නෙමෙයි ” මේ ප්‍රතිගාමීන්ගේ පහසු තර්කය වන්නේ මෙයයි.

ඡන්දය වර්ජනය කිරීමේ, කුරුටු ගෑමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් අවස්ථා කිහිපයකදීම අපේ රට තුළ ක්‍රියාත්මක වුණ වාතාවරණයක් තුළ යළි මෙවැනි අගතිගාමී, ප්‍රතිගාමී ප්‍රවණතාවක් බිහි වුණොත් එය සියලුම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් යළි විනාශ මුඛය කරා යන, ජනතා පරමාධිපත්‍ය යළි වළට යන යුගයක් බිහි කරන බව අප විසින් වටහාගත යුතුයි.

“ඡන්ද බලය හිමි සියලු දෙනාම තමන්ගේ ඡන්දය පාවිච්චි කළ යුතුයි. කළකිරීම හෝ වෙනත් හේතුවක් නිසා ඡන්දය නොදී සිටීම සුදුසු නැහැ. මොකද එහෙම වුණොත් නරකම පුද්ගලයා තේරෙන්න ඉඩ තිබෙනවා. කවුරු කොහොම කෑ ගැහුවත් ජනතාව ඒ හැමෝටම ඉදිරියෙන් ඉන්න බව අපට පැහැදිලිව පේනවා. ඔවුන් තීන්දු තීරණ ගන්නේ ස්වාධීනවයි. ඒ සඳහා අවශ්‍ය නිදහස් හා සාමකාමී වාතාකරණයක් වෙන කිසිදු මැතිවරණයකට වඩා මෙවර තිබෙනවා. ඒ නිසා ප්‍රායෝගිකව බැලුවොත් ගමේ මිනිස්සු ඡන්දය දෙන්නේ ගමේ ඉන්න හොඳම මිනිහට කියලා ඡන්දෙන් පස්සේ පෙනෙයි” කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා ඡන්දය භාවිත කිරීමේ වටිනාකම අවධාරණය කරනවා.

හොඳම අපේක්ෂකයා තෝරා ගන්න

පුංචි ආණ්ඩුව අල්ලා ගෙන මහ ආණ්ඩුව හොල්ලන්න පුළුවන් බවට ඇතැම් පුද්ගලයන් හා පක්ෂ වාචාල කතා කිවුවත් පුංචි ඡන්දේ නියම වටිනාකම ජනතාව මේ වන විට මනාව වටහා ගෙන තිබෙනවා. මොකද ඔවුන්ට ඒ සඳහා නිදහසේ, නිරවුල්ව කල්පනා කරන්න පුළුවන් නිදහස් වාතාවරණයක් මේ මැතිවරණයේදී ලැබී තිබෙනවා. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසන් මොහොත නොව මැතිවරණය දා ද ක්‍රියාත්මක වුණ දැවැන්ත රාජ්‍ය ප්‍රචාරක යාන්ත්‍රණය තීරණාත්මකව නිහඬව තිබෙන හෙයින් ද, අල්ලස්, බිය ගැන්වීම්, තර්ජනය කිරීම් හෝ නොමඟ යවන කතා මගින් මනස අවුල් කරන, ජනමතය නොමඟ යවන සාවද්‍ය වාතාවරණයක් නොමැති හෙයින් ද අද ජනතාවට නිවැරදි තීන්දුවක් ගන්න ඉතාමත් පහසු අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා.

ඔවුන් එය පසුගිය කාලය තුළ මැතිවරණ වේදිකා දෙවනක් කරමින් ඇද බූ චේතිය කතා සමඟ, අවස්ථා ගණනාවකදී හිතාමතා නිර්මාණය කළ බිල්ලන් ගැන, අති දැවැන්ත අවභාවිතයන් ගැන නිවැරදිව, තුලනාත්මකව විමසා බලමින් ගන්නා ඍජු තීරණයක් බවට පත්වේවි. එමෙන්ම ගමේ ආණ්ඩුවට පත්කර යවන නියෝජිතයා තමන්ගේ වුවමනා එපාකම් සේම තමන්ගේ අභිමානයට ද හේතුවන පුද්ගලයෙක් ද යන්න ගැන මෙවර ජනතාව දැඩි තීන්දුවක් ගන්නා බව සහතිකයි. මන්ද අප පසුගිය කාලය පුරාම දැක්කේ හැකි තරම් කළු සල්ලි විසි කරමින්, සාවද්‍ය හා දූෂිත ජනමතයක් මගින් පත්ව ගිය ජනතා නියෝජිතයන් කළ දහසකුත් එකක් අවකල් පමණයි. ඔවුන්ගෙන් පීඩාවට, ලැජ්ඡාවට මෙන්ම අගතියට පත් ජනතාව මෙවර ලැබුණු මේ අවස්ථාව තමන්ගේ ගමට, නගරයට ඉතාම සුදුසු, තමන්ගේ ගරුත්වය, අභිමානයට හේතුවන අපේක්ෂකයෙක් තෝරා පත්කර යැවීම වෙනුවෙන් නිවැරදිව භාවිත කරනු ඇති බවක් දැකිය හැකියි. එහිදී “පරණ තෝම්බු” බැලීම ඉතාම පැහැදිලිව සිදු වේවි.

“පක්ෂ, පාට නොබලා ගමට හොඳම කෙනා පත්කර ගන්න. ගමේ ඉදිරිපත් වන අපේක්ෂක ලැයිස්තුව ගන්න. අධ්‍යාපනය ලැබුවෙක්ද, වෘත්තිකයෙක්ද, ගමට වැඩක් කරන්න පුළුවන්ද, නිර්මාණශීලී කෙනෙක්ද, යන ආකාරයේ නිර්ණායක කිහිපයක් ඔස්සේ ඔවුන් පෙළ ගස්වා හොඳම කෙනා තෝර ගන්න. කළකිරීම් නිසා ඡන්දය පාව්ච්චි නොකර ඉන්න එපා. කොට්ඨාස ක්‍රමයට ඡන්දය තිබෙන නිසා එක් ඡන්දයකට පවා කොට්ඨාසයේ අවසන් ප්‍රතිඵලය කෙරෙහි දැඩි බලපෑමක් කළ හැකියි. ඔබ ඡන්දය නොදී හිටියොත් ඔබ අකමැතිම කෙනා ගමේ නියෝජිතයා ලෙස පත් වෙන්න පුළුවන්” පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියනවා.

මේ තත්ත්වය තුළ අපට අවධාරණය කරන්න සිදු වෙන්නේ යම් යම් සිත් රිදවීම්, කළකිරීම් වගේම පටු පුද්ගලික කාරණා හේතුකොට ගනිමින් ඡන්දය පාවිච්චි නොකිරීමට ගන්නා තීරණය “මූණත් එක්ක තරහා වෙලා නහය කපා ගැනීමක් ” වනු ඇති බවයි. මේ නහය කතා ගැනීමේ අවසානය ප්‍රතිඵලය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජනතා පරිමාධිපත්‍යයේ “බෙල්ල කපා දැමීමක්” දක්වා අහම්බෙන් හෝ පත් වුණොත් සිදුවිය හැකි හානිය ගැන ද අප දැඩිව සංවේදී විය යුතුයි.

ගමේ ඡන්දය සහ රටේ ඉරණම

පළාත් පාලන ඡන්දය මගින් සිදුවන්නේ ගමට වැඩක් කළ හැකි පුද්ගලයා තෝරා ගැනීම වුණත් යම් යම් හේතු මත මේ වුවමනාව දැඩි විකෘතියකට ලක් වුණා. ඒ නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට පුංචි ඡන්දයට ජාතික මැතිවරණයක ලක්ෂණ ආරෝපණය වුණා. ඒ නිසා අපට ජාතික වශයෙන් පමණක් නොවෙයි ගම් මට්ටමින් පැවැත් වූ කුඩා කණ්ඩායම් රැස්වීම්වලදී පවා ඇසීමට ලැබුණේ ඉතාම පටු හා අහඹු සිදුවීමක් සම්බන්ධ අතිශයෝක්තියට නංවන ලද කතාවක් පමණයි. ගමේ ඉරණම වෙනුවට රටේ ඉරණම කෙසේ වෙතත් තමන්ගේ ඉරණම යළි ලියා ගැනීමට අවස්ථාවාදීන් ගත් මේ වෑයම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා උත්කර්ෂයට නංවනු අපි පසුගිය කාලය තුළ දැක්කා. ඒත් දැන් ජනතාවට මේ අතිශයෝක්තියට නංවන ලද ප්‍රචාරණයන්ගෙන් මිදී නිවී සැනසිල්ලේ කල්පනා කරමින් තමන්ගේ වටිනා ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා. ඒ සඳහා ඔවුන් යළිත් නිවැරදිම තීන්දුව ගනු ඇති බව ඉතාම පැහැදිලියි. ඔවුන් තමන්ගේ පරමාධිපත්‍ය බලයට යළිත් සැබෑ වටිනාකමක් ලබා දෙනු ඇති බව පැහැදිලියි.

ඔබ ඔබේ ඡන්දය භාවිත කරන්න. එයට වටිනාකමක් ලබා දෙන්න. යළි නොහැරෙන්න.

 

සටහන- භාතිය බරුකන්ද 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *