|

සෙනඟ දුටු මහින්ද ‘නයාගේ’ වේදිකාවේ

හැත්තෑවන නිදහස් සමරු උලෙළට පසුගිය ඉරිදා සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට ඉතා වැදගත් පණිවිඩයක් ලබාදුන්නා. නිදහස් දින උලෙළ අමතමින් ජනාධිපතිතුමා කීවේ මේ යුගයේ සැබෑ දේශප්‍රේමය යනු අවංකව හා දූෂණයෙන් තොරව ‍කටයුතු කිරීම බවයි. දූෂණයට එරෙහිව ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. රටක් වශයෙන් සමගි වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා සියලු ජන වර්ගවල, සියලු ආගම්වල ජනයා ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නා.

ගාලුමුවදොර පැවැති මෙම නිදහස් උලෙළ වෙනත් කිසිදාක නොපැවැති ආකාරයෙන් අභිමානවත්ව හා අලංකාරයෙන් යුතුව සංවිධානයකොට තිබුණා. ත්‍රිවිධ හමුදාවේ ශක්තිය පෙන්නුම් කරමින් බොහෝ ප්‍රදර්ශන රථ ගමන් කළ අතර මෙම හමුදාවන්ට අලුතින් එක්කර තිබුණු අංශ ගමන් කිරීම ද බොහෝ දෙනාගේ සිත්ගත් අංගයක් වුණා. එම හමුදා විශේෂ ඛණ්ඩ රාජකාරිය සඳහා අඳින විශේෂ ඇඳුම්වලින් සැරසී රාජකාරි කරන ආකාරයෙන්ම ප්‍රදර්ශනය රථවල ගමන් කිරීම විශේෂයෙන් අවධානයට ලක්වුණා.

නිදහස් දින පෙළපාලියට විවිධ ජන කණ්ඩායම් හා සංස්කෘතීන් නියෝජනය කරන සංස්කෘතික අංගද එක්කොට තිබුණා. විවිධ ජන කොටස්වල අනන්‍යතාවය මෙන්ම ඔවුන්ගේ ශ්‍රී ලාංකික බව ද මෙහිදී පෙනෙන්නට තිබුණා. සිංහල භාෂාවෙන් ජාතික ගීය ගයා ආරම්භ කළ නිදහස් දින උලෙළ දෙමළ බසින් ජාතික ගීය ගයා අවසන් කිරීම ද සංහිඳියාව සඳහා වැදගත් පියවරක් ලෙස පැසසුමට ලක්වුණා.

බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් එඩ්වඩ් කුමරු හා එම කුමරිය සහභාගී වී සිටියා. අගමැතිතුමාත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙයට සහභාගී වී සිටියත් එයට ආරාධනා ලැබ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ආර්යාව වූ හේමා ප්‍රේමදාස මැතිනියද නිදහස් දිනයට එක්ව සිටියා.

නිදහස් දින උලෙළින් පිටව යාමට පෙර ජනාධිපතිතුමා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හා උත්සවය සංවිධානය කළ වජිර අබේවර්ධන ඇමැතිවරයා සමඟ සුහද කතාබහක යෙදුණා.

ගාලුමුවදොර පිටියේ පැවැති නිදහස් දින උලෙළින් පසුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු හා එම කුමරිය මුනගැසී සුහද කතාබහක යෙදුණා.

නිදහස් දිනයේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල‍ය ඉදිරිපිට කොටි හිතවාදී දෙමළ ඩයස‍්පෝරාවේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. තානාපති කාර්යාලයට අනුයුක්තකොට තිබූ ආරක්ෂක උ‍පදේශක බ්‍රිගේඩියර්වරයා එම අවස්ථාවේ විරෝධතාකරුවන්ට අභිනයෙන් තර්ජනය කරන අයුරු අන්තර්ජාලයේ පළවීම නිසා ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවුණා. පසුව වාර්තා වුණේ මේ සිදුවීම නිසා බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම්කොට ඇති බවයි. කෙසේ වෙතත් ජනාධිපතිතුමාගේ නියෝග මත බ්‍රිගේඩියර්වරයා නැවත සේවයේ පිහිට වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළා.

පළාත් සභා මැතිවරණයේ මෙවර කැපීපෙනෙන චරිතය වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ‍දේශපාලන විචාරකයන් කියනවා. ඉතාම ප්‍රහාරාත්මක මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයැවූ ජනාධිපතිතුමා පොළොන්නරුවේ බදාදා පැවැති රැලියෙන් එම මැතිවරණ සටන උච්චතම ස්ථානයකට ගෙන ගියා. එහිදී ජනාධිපතිතුමා දැඩි ලෙස ප්‍රකාශ කළේ මින් පසුව දූෂකයන් සමඟ එක්ව ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැති බවයි. නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, හේමකුමාර නානායක්කාර, උතුරුමැද හිටපු මහ ඇමැති පේෂල ජයරත්න ඇතුළු පිරිසක් රැස්වීමට සහභාගී වී සිටියා.

මසකට අධික කාලයක් රට පුරා එජාප රැලි සියයකට අධික සංඛ්‍යාවක් ඇමතූ අගමැතිවරයා එවන් පසුබිමක වූවද රටේ ආර්ථිකය හා සංවර්ධනයට අදාළ කටයුතු කිසිවක් අතපසු කළේ නෑ. මැතිවරණ සමයේ උදය වරුව රටේ ඉදිරි ගමනටද සවස් වරුව එජාප රැලි සඳහාද වෙන් කර තිබුණා.

මෙවර මැතිවරණයේදී හෙලිකොප්ටර් හා ඇමතිවරුන්ට අයත් රජයේ වාහනවලින් මැතිවරණ කටයුතු සඳහා යන්නේ නම් මුදල් ගෙවා එම අවස්ථා උදාකරගත යුතු බවට අගමැතිවරයා දුන් නියෝගය එජාපයේ සියලු දෙනාම අකුරට ඉටු කළා.

සුපුරුදු ලෙස බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැදුරට ආවේ රාජකාරි ඉටු කිරීමටයි. දෙස් විදෙස් අමුත්තන් හමු වූ ඔහු අනතුරුව පැමිණ සිටි මැති ඇමතිවරු සමඟද පිළිසඳරක යෙදුණා.

“මේ වගේ ඡන්දවල මිනිස්සු ටිකක් අලසයි. සැලසුම් කළ විදියට කට්ටිය ඡන්ද පොළට යැවීමේ වගකීම ඉටුකිරීම අත්‍යවශ්‍යයි” අගමැතිවරයා උපදෙස් දුන්නා.

“නිදහස් උත්සවය සමරන අතරේ හොරු ඇල්ලීමේ මෙහෙයමකුත් ගියා. එදා හොරුන්ට නිදහස නැතිවුණා” වජිර අබේවර්ධන මහතා කිව්වා.

“ඇලෝසියස්ල අල්ලන බවට පණිවිඩය ලැබිල තිබුණා. උදයංග ඩුබායිවලදී ඇල්ලුවා කියන පණිවිඩයයි එක පාරට ලැබුණේ ” අගමැතිවරයා කිව්වා.

“ ඇලෝසියස්ල ඇල්ලුවේ ඇත්තටම බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුවම නෙවෙයි. අගමැතිතුමා 2016 දී නීතිපතිට ලියල මේ ගැන ක්‍රියා කරන්න ඉල්ලීමයි, මේ ගැන පැමිණිලි කරන ලෙස මහ බැංකු අධිපතිට දුන් උපදෙස් මත අධිපති දාපු පැමිණිල්ල අනුවයි අත්අඩංගුවට ගත්තේ. කොමිසන් වාර්තාවත් මේකට හයියක් වුණා.” ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විග්‍රහ කළා.

“අර්ජුන මහේන්ද්‍රටත් 15 ට කලින් වාර්තා කරන්නැයි දන්වල තියෙනවා. සිංගප්පූරුවෙ ඉන්න ඔහුයි දැන අමෙරිකාවෙ ඉන්න ගෝඨාභයයි ඒ රටවල පුරවැසියො නිසා ඒ රටවල අධිකරණවලින් තහනම් නියෝග ගන්න හදනවා කියලත් ප්‍රවෘත්ති පළ වුණා නේද ” ගයන්ත කරුණාතිලක මහතා විමසුවා.

“ඇලෝසියස් ගත්ත එකෙන් හිතපු තරම් ශ්‍රිලනිපයට වාසි වුණාද කියලයි සමහරු ප්‍රශ්න කරන්නෙ.අර්ජුනලත් කොටු කළොත් දඩයමක් කියල මිනිස්සු හිතන්න ඉඩ තියෙන්නෙ පරණ හොරුන්ට තාම නිදැල්ලෙ ඉන්න දීල තියෙන නිසයි.ගෝඨාභයට රට පනින්න ජනාධිපතිතුමා උපදෙස් දුන්නා කියල බස්නාහිර මහ ඇමතිත් කිව්වනේ ” බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කිව්වා.

“ ඒකාබද්ධ අයයි ශ්‍රීලනිපයයි අතර ඩීල් එකක් නිසා පරණ හොරු රැකිල ඉන්නවා කියලත් මිනිස්සු අතර මතයක් තියෙනවා” චමින්ද විජේසිරි මහතා තවදුරටත් කිව්වා.

“උදයංග ඇල්ලීම වටිනවා. එයා ගෙනාවොත් මිග් ගනුදෙනුවේ මහා දූෂණය හා ලසන්ත ඝාතනය ගැන වැදගත් තොරතුරු රැසක් එලිවේවි” පී. හැරිසන් මහතා කතාබහට එක් වුණා. “උදයංග ලංකාවට ගේන එක ටිකක් ලොකු ක්‍රමවේදයකට කරන්න වෙන්නෙ කියල ආරංචියි. ඒත් ලංකාවෙන් යන අයට ඔහුගෙන් ප්‍රශ්න කරන්න ලැබේවි. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් කළ යුතුයි. වෙන නමක පාස්පෝට් එකකින් ඉන්නකොටයි ඔහු අල්ලල තියෙන්නේ. හොරු මොන පක්ෂයක වුණත් උපරිම වෙහෙස දරලා කොටු කරලා දඬුවම් දීම අත්‍යවශ්‍යයි. ජනතාව ඉන්නෙත් එතන” රන්ජන් රාමනායක මහතා දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

“ආරංචි විදියට අර්ජුන සිංගප්පූරු උසාවියකින් රැකවරණ ඉල්ලල නෑ. එයා නීතිඥයො මාර්ගයෙන් ලංකාවෙන් කල් ඉල්ලන්න යනව කියලත් ආරංචියි. පහුවෙලා හරි ඇවිත් ඔහුට ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. චෝදනා නිසා රිමාන්ඩ් වෙන්නත් වේවි” නවීන් දිසානායක මහතා කිව්වා.

“කසුන් පලිසේන පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීලට ලියුමක් ලියල අමුතු කතාවක් කියල තිබුණා. ඔවුන්ගෙ සමාගම් බැඳුම්කර මගින් ලාභ ගත්තත් ඒ හරහා රජයටත් ලාභයක් මිසක් පාඩු වුණේ නැහැ කියලයි එයා විග්‍රහ කරන්නෙ. ඊ.පී.එෆ්. එකට බැඳුම්කර විකුණපු ගාණටම යළිත් මිලට ගන්න සූදානම් වගේ කතාවකුත් ඒකෙ කියල තිබුණා. ඒත් දැන් තියෙන මිල අනුව රාජ්‍ය බැංකු ඒ ගානට මිලට ගන්න සූදානම් නැති බවත් ආරංචියි.” මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කිව්වා.

“ඡන්දය අස්සේ බැඳුම්කරයි, දූෂණ වංචා කොමිසන්වල පාර්ලිමේන්තු විවාදයක් 06 දා තියල රටේ සල්ලි රු.ලක්ෂ 50 ක් විතර අපතේ ගියා. අන්තිමට විවාදෙ ඉල්ලපු මහින්ද සමරසිංහත් ආවෙ නෑ. ” ගයන්ත කරුණාතිලක මහතා කිව්වා. මන්ත්‍රීවරු 15 ක් විතරයි ආවේ.” ඔහු කීවා.

“ දූෂණ වංචා කොමිසමේ නිර්දේශ අනුව මහින්ද රාජපක්ෂගෙ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාවක් තිබුණත් ශ්‍රීලනිපය ඒක ගේන්නෙ නෑ කියල මහින්ද අමරවීර කිව්ව කතාව මොකක්ද” දයා ගමගේ මහතා විමසුවා.

“ ව්‍යවස්ථාව අනුව එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් අගමැතිට විතරයි. එදා සිරිමාවෝ මැතිනියට අදාළ යෝජනාවක් ගෙනාවේ එවකට අගමැති ප්‍රේමදාසයි.” එජාප නීති අංශ ප්‍රධානියෙක් විග්‍රහ කළා.

“ මේ ජනාධිපතිතුමා පත් කරපු කොමිසන් වාර්තාවක් අනුවයි මේ නිර්දේශ ඇවිත් තියෙන්නේ. මේ යෝජනාව මුලින්ම කැබිනට් එක සම්මත කළ යුතුයි. ශ්‍රිලනිපයට වඩා එජාප ඇමතිවරු සංඛ්‍යාව වැඩි නිසා ජනාධිපතිතුමා පත්කළ කොමිසමක නිර්දේශවලට විරුද්ධ විය නොහැකි බව කියල එජාප ඇමතිවරු බහුතරයක් මහින්දට එරෙහි යෝජනාව කැබිනට් එකේදී සම්මත කළොත් අගමැතිතුමාට අනිවාර්යෙන් ඒක පාර්ලිමේන්තුවට ගේන්න වෙනවා නේද” පී හැරිසන් මහතා තර්ක කළා.

“දූෂණ වංචා කොමිසමේ නිර්දේශ පිළිගන්න බැරිනම් ශ්‍රීලනිපය බැඳුම්කර කොමිසමේ නිර්දේශ පිළිගන්නෙ කොහොමද? ඇලෝසියස්ල හිරේ දැම්මනම් ගෝඨාත් හිරේ දාන්න බැරි ඇයි කියල අහන අයත් නැත්තෙ නෑ. මෙයාල ඔක්කොටම තියෙන්නේ දූෂණ චෝදනායි ” රන්ජන් රාමනායක යළිත් කටහඬ එක් කළා.

“හම්බන්තොට වරාය චීනෙට බදුදීම වැරදි නම් මහින්දයි නාමලුයි සජිත් එක්ක චීන තානාපති හමුවෙලා ජනමාධ්‍ය ඉදිරියේ විරෝධය පළකරල පෙන්නන්න කියල අගමැතිතුමා හම්බන්තොටදී කියපු කතාව මසුරං වටිනවා” දයා ගමගේ මහතා කිව්වා.

වජිර අබේවර්ධන ඇමතිවරයාට ඉකුත් 03 වන සෙනසුරාදා අතිශය කාර්ය බහුල දිනයක් වුණා. ඒ පසුදිනට යෙදී තිබුණු 70 වන නිදහස් සමරු උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව සොයා බැලීමට තිබු නිසායි. උදෑසන ම රූපවාහිනි සහ ගුවන්විදුලි සජීවි වැඩසටහන් දෙකකට ද සහභාගි වු ඇමති වජිර අනතුරුව ගාලු මුවදොර පිටියට පැමිණ නිදහස් උත්සවයෙහි වැඩකටුයතු සංවිධානය පිළිබඳ සොයා බැලුවා.

70 වන නිදහස් උත්සවය සඳහා මෙවර විදේශ රටවල නියෝජිතවරු රැසකට ආරාධනා කර තිබුණා. ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස ඇමති වජිර, නිදහස් උත්සවයට පැමිණෙන එම නියෝජිතවරුන් මහත් හරසරින් යුතුව පිළිගත්තා. උත්සවය අවසානයේ දී ජනපති මෛත්‍රී කියා සිටියේ ඇමති වජිර අභිමානවත් මෙන්ම විචිත්‍රවත් වූ නිදහස් උත්සවයක් සංවිධානය කර තිබූ බවයි.

වජිර අබේවර්ධන ඇමතිතුමා කවදත් එවැනි කටයුතු සාර්ථකව ඉටු කළ හැකි දක්ෂ ඇමතිවරයෙක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

සතියේ ඉකුත් දින කිහිපය ම ඇමති වජිර ගත කළේ සිය ගම් ප්‍රදේශය වු ගාල්ලේ. ඒ 10 වෙනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරදීම සඳහා අවශ්‍ය ප්‍රචාරක කටයුතු සිදු කිරීම සහ 7 වන දින අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගරයේ දී පැවැති මහා ජන රැළියේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහායි.

ගාල්ල දිස්ත්‍රික්කයේ අතිවිශාල ජනතාවගේ සහභාගිත්වයෙන් ගාල්ල අවසන් ප්‍රචාරක රැළිය පැවතියේ ඉකුත් 07 වන දින සවස ගාලු නගරයේ දී .මේ සඳහා ඇමතිවරුන් වන රාජිත, චම්පික, ගයන්ත ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරු සහභාගි වී සිටියා.

2002 පැවැති පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ දී ග්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීපාල සියලු දෙනා එකතු වී සිටියත්, එක්සත් ජාතික පක්ෂය එම මැතිවරණයේ දී විශිෂ්ට ලෙස ජයගත් බවත් මෙවර ග්‍රී ලංකා නිදහස් පක්ෂ බෙදී වෙන් වී සිටින අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයට නියත ජයග්‍රහණයක් අත්වන බවත් ඇමැති වජිර මෙහිදි ප්‍රකාශ කළා. ඇමති වජිරගේ කතාව යන අතරතුර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සිදු වුණා.

යහපාලනයේ උපරිම ප්‍රතිලාභ ලබාගැනීමට පළාත් පාලන මැතිවරණයේ තනි බලයක් එජාපයට ලබාදෙන ලෙස අගමැති රනිල් මෙහිදී කියා සිටියා. මෙම රැළිය ඉතා සාර්ථක අන්දමින් සංවිධානය කර ඇති බව රැස්වීම් භූමියෙන් පිටව යාමේදී අගමැතිවරයා ඇමති වජිරට කියා සිටියා.

පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙමින් තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ ඔබ මොබ යමින් සිටි සජිත් ප්‍රේමදාස ඇමතිවරයා වෙත ගම්මාන රැසකදී කෙරුණු පොදු ඉල්ලීමක් වූයේ බරපතළ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන සිය පවුල්වල සාමාජිකයන්ට කඩිනම් හා විධිමත් ප්‍රතිකාර ලබාදීම සඳහා පවතින ගැටලු ගැනයි. හදවත් සැත්කම්, පිළිකා රෝග ප්‍රතිකාර, වකුගඩු බද්ධ කිරීම්, ස්නායු රෝග ප්‍රතිකාර සඳහා වත්කමක් නොමැතිකමින් දීර්ඝ කාලයක් රජයේ රෝහල්වල පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවීම ගැන බොහෝ දෙනෙක් සජිත්ගේ අවධානය යොමුකර තිබුණා. “එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් කරගන්ඩ මාස 12ක් විතර බලාඉන්ඩ ඕනෑ.

එතකොට ලෙඩාට වෙන්න ඕනැ හරිය වෙලා ඉවරයි. අනේ දුප්පත් අපිට පිහිටක් නැද්ද මහත්‍තයෝ?” මවක් හඬාවැටෙද්දී සජිත් මහත් අසීරුවට පත්වුණා. තවත් තැනකදී ඇසුනේ ස්නායු රෝගයට ලක්ව සිටින සිය පුතුට අවශ්‍ය එම්. ආර්. අයි. ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීමට මාස ගණනාවක් බලා සිටින්නට සිදුවීම ගැනයි. මාරාන්තික පිළිකා සහ වකුගඩු රෝගවලට ප්‍රතිකාර ලබාගැනීම ගැන තිබුණේද එවැනිම කතා ගණනාවක්. මීට කුමක් හෝ ඉක්මන් විසඳුමක් ලබාදීමේ ක්‍රමවේදයක් ගැන සිතූ සජිත් ‍අවසානයේ තීරණය කළේ මෙවැනි අසරණ රෝගීන්ට වහා ප්‍රතිකාර ලබාදීමේ අරමුදලක් පිහිටුවීමටයි. එයද සිය 51 වැනි උපන් දින සමාජ සත්කාරක සේවාවන් අතරට එක් කරමින් “සජිත් ප්‍රේමදාස ගිලානෝපස්ථාන අරමුදල” නමින් ඒ මොහොතේදීම නම් කෙරුණා. කලින් දිනක එන්ජියෝග්‍රෑම් ප්‍රතිකාරයක් ප්‍රමාදවීම ගැන හඬා වැටුණු මව හමුවුණු සජිත් කීවේ “ඔන්න අම්ම බයවෙන්න එපා. මුදල් ගෙවලා දවසින් දෙකෙන් වැඩේ කරගන්න පුළුවන් වෙන්න මම අරමුදලක් පිහිටෙව්වා. ඒකෙන් අපි ලෙඩාගෙ ජීවිතය බේරාගමු!” කියායි.

පළාත් පාලන ඡන්දයේදී ප්‍රධාන පක්ෂ තම තමන්ගේ පාක්ෂිකයන් එල්ල කරගෙන මැතිවරණ ව්‍යාපාරය කරගෙන යද්දී ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යස්ථ ඡන්ද හෙවත් පාවෙන ඡන්ද එල්ල කරගෙන කටයුතු කරන බව පෙනීගියා. තමන්ට හිතවත් කලාකරුවන්, ලේඛකයන් හා බුද්ධිමතුන් රැස්කරගෙන ඔවුන් රැස්වීම් තිබ්බා. පුවත්පත් දැන්වීම්ද පළ කළා.

තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් කිරීමට ඔවුන් තෝරාගෙන තිබුණේ මහරගම නගරයයි. එම රැලියට ජිප්සීස් නායක සුනිල් පෙරේරා, චිත්‍රපට අධ්‍යක්ෂ ‍සෙනේෂ් බණ්ඩාර රංගන ශිල්පිනී දීපානී සිල්වා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

රැස්වීම අමතමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේ මොට කඩුවක් අරන් ආවාම කාගේවත් බෙල්ල කපන්නත්ත බෑ කැපෙන්නෙත් නෑ කියායි. මේ ඡන්දයෙන් ජවිපෙට ලැබෙන ප්‍රතිඵලය රටේ අනාගතයට තීරණාත්මක බවද ඒ මහතා කීවා.

බණ්ඩාරවෙල නගර සභාවට වතුර කරාමය යටතේ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ක්‍රියාකර ඇත්තේ උමාඔය ව්‍යාපෘතියට එරෙහි ක්‍රියාමාර්ගයක් වශයෙන්. ඔවුන්ගේ ප්‍රධාන සටන්පාඨය උමා ඔය ව්‍යාපෘතියට විරුද්ධ වීමයි. සමන්ත විද්‍යාරත්න මහතා එම ව්‍යාපාරයට නායකත්වය දී ක්‍රියාත්මක වනවා.

නිදහස් දිනයට ආරාධනා ලැබ තිබුණද එයට සහභාගි නොවූ මහින්ද රාජපක්ෂ මහතා එදින ගතකළේ රජරට ප්‍රදේශයේ මැතිවරණ කටයුතුවලට සහභාගි වෙමින්. උදේ වරුවේ අනුරාධපුරයේ මැතිවරණ කටයුතුවලට සහභාගි වූ රාජපක්ෂ මහතා සවස පොළොන්නරුව ප්‍රදේශයේ රැස්වීමකට සහභාගි වීම සඳහා තිරප්පනේ ප්‍රදේශය පසු කරමින් සිටියා. එවිට රාජපක්ෂ මහතා දුටුවේ නාගයා ලකුණින් තරග වදින ස්වාධීන කණ්ඩායමේ රැස්වීමට විශාල සෙනඟක් රැස්වී සිටින බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිරප්පනේ ප්‍රාදේශීය සභා නාමයෝජනාව ප්‍රතික්ෂේප වීම නිසා එම පෙරමුණ ද සහාය දෙන්නේ නාගයාගේ කණ්ඩායමටයි. මැතිවරණ භූමියේද රාජපක්ෂ මහතාගේ ඡායාරූප ප්‍රදර්ශනයකොට තිබුණා.

රැස්වීම අසලින් වාහනය නවතා රථයෙන් බැසගත් රාජපක්ෂ මහතා නාගයා කණ්ඩායමේ වේදිකාවට ගොඩවුණා. ටික වෙලාවකින් රැස්වීම ඇමතූ රාජපක්ෂ මහතා කීවේ තමා පොළොන්නරුවේ රැස්වීමකට යන ගමන් මෙම රැස්වීමේ සෙනඟ දුටු නිසා වේදිකාවට ගොඩවී යන්න සිතූ බවයි. එසේ කී ඔහු කෙටි කතාවක් ද කරමින් නාගයා කණ්ඩායමට සුබ පැතුවා.

නිදහස් දින රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවූ කට වැරදීමක් ගැන කතා කරමින් මහින්ද රාජපක්ෂ මහතා කීවේ “මේගොල්ලන්ට දැන් හැමදේම වරදිනවා” කියායි. ගණන් හිලව්ද වරද්දා ගන්නා බව කී මහින්ද රාජපක්ෂ මහතා තමන් ට්‍රිලියන දහයක් ණය ලබාගෙන ඇති බව කීවද එපමණ මුදලක් කිසිදාක ලබාගෙන නැති බව හා ලබාගෙන තිබෙන්නේ ට්‍රිලියන දෙක තුනක් පමණක් බව කීවා.

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පසුගියදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමන්ට ලැබුණු ලිපියක් ඉදිරිපත් කළා. එය එවා තිබුණේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කසුන් පලිසේන මහතා විසින්. බැඳුම්කර ගනුදෙනුවේදී දේශපාලන හේතු මත කටයුතු කරමින් තමාට දූෂණ චෝදනා එල්ල කිරීමෙන් අසාධාරණයක් සිදු වී ඇති බව එම ලිපියේ කියවෙනවා. ඒ ලිපිය තමන්ට හොඳින් අධ්‍යයනය කළ නොහැකි වූ බව ගම්මන්පිල මහතා කීවා. මෙම ලිපිය තවත් අයට යවා ඇති බව පෙනෙන බව කී ගම්මන්පිල මහතා තමා එය හෙළිදරව් කළේ එය පසුව වෙන කෙනකු හෙළිදරව් කළහොත් පර්පචුවල් සමාගමෙන් දුරකථන ඇමැතුම් ලැබුණු මන්ත්‍රිවරුන් සේම තමන්ද අමාරුවේ වැටෙන නිසා බව ද කීවා.

මේ අතර යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වීම ඒකාබද්ධ විපක්ෂයේ හා රාජපක්ෂ පවුලේ තිගැස්මකට හේතු වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වූ වීරතුංග මහතා මිග් යානා ගනුදෙනුවේ කෝටි දහස් ගණනක වංචාව ගැන පරීක්ෂණය සඳහා අවශ්‍යව තිබෙනවා.ඔහු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා වරෙන්තුවක් ද නිකුත්කොට තිබෙනවා. පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතා පිටරට සංචාරය කළ සෑම විටෙකම උදයංග වීරතුංග මහතා පැමිණ ඔහු හා එක්වුණා. මේ මොහොතේ උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට පත්වීම රාජපක්ෂ පවුලේ අයට තැතිගැන්මට හේතුවක් වී ඇත්තේ බොහෝ කරුණු දැන් නැවත අවධානයට ලක්වන නිසායි.

ඒකාබද්ධ විපක්ෂය මහා ඝෝෂාවක් කළ බැඳුම්කර වාර්තාව ගැනත්, අනෙක් ජනාධිපති කොමිෂන් සභා වාර්තා ගැනත් ඔවුන් ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය 6 වැනිදා පාර්ලිමේන්තුවේදී ආරම්භ කළද එයට ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ද විවාදයට සහභාගි වී සිටියේ නැහැ. පසුව ඒ මහතා මාධ්‍යයට පැවසුවේ තමා අවසන් දිනයේදී විවාදයට පැමිණෙන බවයි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *