බැංකු බේරිල්ල

කලෙක එක පතේ බත් කෑ ඡන්දදායක මහතෙකු අන්මන්ද රාජ්‍යයේ හිටපු ග්‍රාමසේවක ජන අධිපතිවරයාට හදිසියේ කතා කළේ, ‘‘සතෙන් සතේ රුපියලෙන් රුපියල රුපියල් දුක් මහසියෙන් එකතුකරපු සල්ලි දාපු රාජ්‍ය බැංකු බේරා ගනිමු කියා පත්තරයක පොල් ගෙඩි අකුරින් පළකර තිබුණු පෝස්ටරයක් වැනි දැන්වීමක් දුටු නිසාය. අතෙනුත් බුලතෙනුත් කුකුළාගෙනුත් අස්වයාගෙනුත් හතර මුල්ල පාගා ඡන්ද සටනේ යෙදෙන හිටපු ග්‍රාමසේවකතුමාට කරකැවිල්ල හැදිලා ද එසේත් නැතිනම් එතුමාගේ ආණ්ඩුව හැර තවත් ආණ්ඩුවක් අන්දමන්ද රාජ්‍යයේ තියනවාද කියා ඡන්දදායක මහතාට තිබුණේ ඉරුවාරදයක් වැනි පටලැවිල්ලකි.

‘‘හලෝ… ග්‍රාමසේ… නැහැ මේ ජන අධිපතිතුමා ඔබතුමා තාමත් අන්ද මන්ද රාජ්‍යයේ ජන අධිපතිද?, ජන්දදායක මහතා ඇසූවිට ජන අධිපතිකීවේ, තාමත් නෙමෙයි තව දෙකක්ම ජන අධිපති. තුනක්ම ඉන්න හදුපු එකට උසාවියෙන් පයින් ගැහුවා, ඒත් දෙකෙන් පස්සෙත් තව එකක් දෙකක් ඉන්න කැමැත්තයි අකමැත්තයි තියෙනවා කියාය.

හතරෙන් යන්න හදපු වෙලාවෙ අලි මහත්තයා පහක් දුන්නා මදිවම හයක් පුළුවන්ද කියල ඇහැවේ මෝදි කබායක් ඇඳගෙනමද කියා චන්දදායක මහතා ඇසුවේ එවිටය. අන්දමන්ද ජනාධිපති එවිට කීවේ දූෂිතයො අපරාධකාරයො පොළව පලාගෙන යවන්න අවුරුදු පහකින් බැරිනිසා තව එකක් ගන්න බැලුවාය අනික ඒ ඉල්ලීම කරල ලියුම ලීවේ නානකාමරයේ ඉන්න වෙලාවේ කියාය. මේ දවස්වල බදුල්ල පැත්තෙ පොලව පැලෙන නිසා අපරාධකාරයො බදුල්ලට පැටෙව්වා නම් අවීචියට නෙවෙයි ඊටත් යටට වුණත් යවන්න තිබුණනේද කියා ඡන්ද දායකතුමා කීවිට අන්දමන්ද ජන අධිපති කීවේ බදුල්ලේ සිද්ධවෙන කෙළියට මමත් යන්තම් හරි ගෑවිලා තිබෙන නිසා අපරාධකාරයන් අරන් බදුල්ල පැතතෙ යන්න මොකද්ද වගේ කියාය.

බදුල්ලෙ කෙළියට සාටක රාජා මිස ඔබතුමා සම්බන්ධ නැහැ නේද කියා ඡන්දදායක තුමා ඇසුවිට ජනඅධිපති කීවේ, ඔය ව්‍යාපෘතිය පටන් ගත්තෙ මගෙ ෆයිනල් ආප්ප කෑමට කලින් බව ඔහෙ දන්නැද්ද කියාය.

බදුල්ලෙ විදුහල්පතිල දණගස්සන හදයා ඔබතුමා උන්නු වේදිකාවටත් නැගලා, බදුලු ඔයේ බල්ටි ගහපු කතාවකුත් කියලා, දරුවන් දාන්න බැරි මහඇමතිකම බම්බුගහන්නද කියල පංකාදු කෙළිද්දිත් මඩුවලිගෙයි කඩුවයි දෙකම හංගගෙන හිටියේ මොකද කියා ඡන්ද දායකතුමා ඇසවිට ජන අධිපති කීවේ ඕකා බදුලු ඔයේ ගහපු බල්ටියත් පෙහොට්ටුව පැත්තට ගැහුවොත් මමත් හබක් නිසා ඇහුනෙ නැහැ වගේ හිටියාය කියාය.

ජනතාවගේ ජීවන බර වැඩිබව දන්නවා කියා බදුල්ලේදි කීවේ එතෙක් ඒ ගැන නොදැන සිටිය නිසා ද කියා ඡන්දදායකයා ඇසූවිට ජන අධිපති කීවේ ඡන්ද වැඩ නිසා පත්තරයක්වත් බලන්න වෙලාවක් නැහැ බදුල්ලේ යද්දි මගදි සිල්ලර කඩේක මිල දර්ශනයක දැකල බඩුමිල වැඩිබව තේරුණා කියාය.

බැඳුම්කර වංචා දූෂණ විවාදය සාර්ථක වෙන්නෙ නැතිවෙයි කියල ජනමාධ්‍යවලට කියල තිබුණේ ඔබතුමා ද වෙනත් ජන අධිපති කෙනෙක් ද කියා ඡන්දදායකතුමා ඇසූවිට අන්ද මන්ද ජනාධිපති අසුවේ, එහෙම ප්‍රශ්නයක් අහන්න කාරාණාව මොකක්ද කියාය. එවිට ඡන්ද දායකතුමා කීවේ, සාර්ථක වෙන්නෙ නැති බව දන්නවා නම්, ඡන්දයට කලින් විවාදය කියල අභියෝග කළේ අහවල් දේකටද කියාය. එවිට ජන අධිපති උත්තර දුන්නේ ඇයි මනුස්සයෝ මම ඒ අභියොගය කළේ සාර්ථක නොවෙන බව දන්න නිසාමයි කියාය.

එවිට ඡන්දදායකතුමා ඇසුවේ සාර්ථක වෙන්නෙ නැත්තේ බැඳුම්කර විවාදයද වංචා දූෂණ විවාදය ද ඒ දෙකමද කියාය.

බැඳුම්කර විවාදය සාර්ථක වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් වංචා දූෂණ විවාදය සාර්ථක වුණොත් මාර අප්සැට් කියා ජන අධිපති කියූ විට ඡන්දදායකතුමා ඇසුවේ, ඒ මොන හතර බීරි කතාවක්ද කියාය. එවිට ජන අධිපති කීවේ, පාර්ලිමේන්තුවෙ තිවන වංචා දූෂණ විවාද ෆයිල් විභාග කරන්න ගියොත් සමහරවිට සාටක රජ්ජුරුවො එක්ක එක පෙළට හිටගෙන ඉන්න අයගෙ විතරක් නෙමෙයි දැනට මාත් එක්ක එක පෙළට හිටගෙන කරට උඩින් අතදාගෙන එකපතේ කාගෙන ඉන්න අයගෙත් පටිරෝල් වෙන්න ඉඩ තියෙනවා කියාය. පෙබරවාරි දහයෙන් පස්සෙ ආර්ථිකය හැදීම බාරගන්නවාය කියල කීවේ අත්තට ද බොරුවට ද විහිළුවට ද කියා ඡන්දදායකතුමා ඇසූවිට ජන අධිපති කීවේ, ඇත්තටත් බොරුවටත් විහිළුවටත් නෙමෙයි ඒ තුනටම කියාය.

අලි මහත්තයා පෙරවාරි දහයෙන් පස්සෙ ආර්ථිකය බාර දුන්නොත් කරන්නේ කුමක්ද කියා එවිට ඡන්දදායකතුමා ඇසූවේය. ජන අධිපති කීවේ එහෙම බාර දුන්නොත් වැඩේ තිතට කරන්න සුපිරි සෙට් එකක් මා ළඟ ඉන්නවා කියාය. කවුද ඒ කියා ඡන්දදායක තුමා ඇසූවිට ජනඅධිපති කීවේ රට රස්සාවෙන් ගහන ගැහිලි අල්ලන්න හාලි ඇල හාදයටයි පොල්ගම්පොලින් අලුතින් ආව කොළුවටයි බාරදෙනවා, එතනෝල් කේස් හොර අරක්කු මැඩපවත්වන්න සේනාවකට නායකත්වය දෙන්න කොල්ලෙකුත් මාගාව ඉන්නවා. බාලතෙල් ප්‍රශ්නය ප්‍රේමයට මුලික ජයන්ත ලොක්කාට බාර දෙනවා කාන්තා අකටයුතු හෙවිල්ල බාරගන්න නිර්මල සිරා පොරක් ඉන්නවාය කියාය.

එතකොට රටේ ප්‍රශ්න ඔක්කොම හරියයිද කියා ඡන්දදායක තුමා ඇසු විට ජන අධිපති කීවේ පස් ප්‍රශ්න සම්බන්ධයෙන් මෙරුන්දික හිටියා වුණාට කුඩු ගැන වැඩකරන්න හිටිය සුදුම සුදු මෑන් පොහොට්ටුවට පැන්නා කියාය.

ජන අධිපතිතුතමා බැඳුම්කරේ ගැන කියන තරමටම දූෂණ වාර්තා තිස්හතර ගැන කියන්නේ නැත්තේ ඇයි, කියා ඡන්දදායකතුමා ඇසූවිට අන්ද මන්ද ජන අධිපති කීවේ වේදිකාවට නැග්ගගමන් මට ඒ වාර්තා තිස්හතර මතක නැතිවෙනවා කියාය. සෙල්පානලා අල්ලන්න පොලීසිය ගියාට බාටා ගොය කරන්න යවන්නෙ නැත්තෙ ඇයි කියා ඡන්දදායකතුමා ඇසූවිට ජන අධිපති කීවේ බාටා ගොය විතරක් නෙමෙයි තවත් බයකරන්න සෙට් එකක් ඉන්නවා උන්ගෙන් සමහරු මාත්එක්ක හිටගෙන ඉන්න නිසා කරන්න දෙයක් හිතාගන්න අමාරයි කියාය.

කලාකාරයන්ට සත්තම් දාපු අයට, ගුරිවරියෝ දණගැස්සීමේ විශාරදලාට, සෙල්ලම් පිස්තෝල මල්ලිලාට හෙතුමුට්ටිලාට තැන දුන්නේ යහපාලනය අමතක වෙලාද කියා ඡන්දදායකතුමා ඇසූවිට ජනඅධිපති කීවේ ඒ අයට තැනක් දුන්න බවක් පත්තරයකින්වත් ආරංචි වුණේ නැත ඉක්මනින්ම ඒ ගැනත් කොමිසමක් පත්කරන්න කටයුතු කරනවා කියාය. ඒ කොමිසමේ වාර්තාව ලැබුණාට පසුව ගන්නා ක්‍රියා මාර්ග කුමක්දැයි ඡන්දදායකතුමා ඇසූ විට ජනඅධිපති කීවේ ඊට ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කරන්නට තවත් කොමිසමක් පත් කරනවා කියාය. ඒ කොමිසමේ නිර්දේශ ලැබුණාම කුමක් කරනවාද කියා ඡන්දායක තුමා ඇසුවේය. එවිට ජන අධිපති කීවේ නැවත නැවතත් කොමිසම් පත්කරනවා කියාය.

නරසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *