|

අමුතු ඡන්දයේ ජයග්‍රහණය – සී. ජේ. අමරතුංග

පළාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් එක් දිනකි. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්ය. දැන් තිබෙන්නේ මැතිවරණ ප්‍රචාරක කාලය හා මැතිවරණය අතර පවතින නිහඬ කාල සීමාවයි.මේ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණය තහනම්ය. ගමේ භාෂාවෙන් කීවොත් මෙය නොනගත කාලයකි.

මැතිවරණය ගැන උනන්දුවන දේශපාලන පක්ෂ මෙන්ම පාක්ෂිකයන්, ක්‍රියාකාරීන් හා සාමාන්‍ය ජනතාවද දැන් ගණන් බලන්නේ මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙනි. පක්ෂ නායකයන් මෙන්ම පාක්ෂිකයන් ද බලාපොරොත්තු වන්නේ තම තමන්ගේ පක්ෂවල ජයග්‍රහණයයි. සියලු දෙනාම කියන්නේ තමන් ඉහළින් ජයගන්නා බවයි. එසේ වුවද තම තමන්ගේ තත්ත්වය පිළිබඳ තක්සේරුවක්ද සියලු දෙනාට ඇත. ඇතැම්විට එය අධි තක්සේරුවකි. එසේ වුවද කවුරුත් කියන්නේ තමන්ගේ එම අධි තක්සේරුවට වඩා ඉහළ ජයග්‍රහණයක් ගැනය. ඒ තමන්ගේ පාක්ෂිකයා මෙන්ම තමන්ගේ ඡන්දදායකයාද ධෛර්යමත් කිරීම සඳහාය.

මෙම මැතිවරණ ප්‍රතිඵලයට බොහෝ සාධක බලපානු ඇත. පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ යහපාලන දේශපාලනය හා එහි ප්‍රතිඵල ද, ආණ්ඩුවේ එක් එක් පක්ෂයේ ජනප්‍රියතාවය ද මෙහිදී පෙන්නුම් කෙරෙනු ඇත. ශ්‍රීලනිපයේ බෙදීම හා අලුතින් බිහිවූ පක්ෂයේ ජනබලයද සම්බන්ධයෙන් යම් තක්සේරුවක් මෙම මැතිවරණයෙන් ලබාගත හැකිවනු ඇත. එසේ වුවද ගමට නියෝජිතයකු තෝරාගන්නා මෙම මැතිවරණයේදී ඇතැම් තැනක ඡන්දදායකයන් තම පක්ෂ පාට අමතක කරමින් ජනප්‍රිය අපේක්ෂකයකු තෝරාගැනීමට ක්‍රියා කරන බවක්ද මැතිවරණ කාලයේ අපට අසන්නට ලැබිණි. එබැවින් මෙය හුදෙක් පක්ෂවල ජයග්‍රහණයට වඩා අපේක්ෂකයන්ගේ සුදුසුකම් හා ජනප්‍රියතාවයද මත තීරණය වන ප්‍රතිඵලයක් විය හැකිය. එලෙස ජයගත්තේ කවුද? පාක්ෂිකයන් කවුද? කියා දැනගැනීමට තව දින කිහිපයක් බලා සිටිය යුතුව ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණය මෙරට සමස්ත ජනතාවටම අලුත් අත්දැකීමකි. එය මෙතෙක් මේ රටේ දකින්නට නොලැබුණු ආකාරයේ ඡන්දයකි. අමුතුම ආකාරයේ මැතිවරණයකි. මෑත කාලයේ මැතිවරණ ලෙස අපට දකින්නට ලැබුණේ කටවුට්, පෝස්ටර්, බැනර් හැම තැනම ප්‍රදර්ශනය කරන සංදර්ශනයකි. ඇතැම් කටවුට් අති විශාලය. ඒ අපේක්ෂකයන් පුම්බන්නටය. පිම්බීම කටවුට් එකේ විශාලත්වය අනුවය. පෝස්ටර් තරඟයෙන්ද කෙරුණේ එයමය. පෝස්ටර් කටවුට් තහනම් කියා මැතිවරණ කොමසාරිස්වරයා කීවාට ඒවා නැවතුණේ නැත. ගලවන්නට කියා පොලිසිය යෙදූවද එයද හරියටම කෙරුණේ නැත. මේ කටවුට්, පෝස්ටර් යුද්ධය නිසා ගැටුම් ඇති විය. අපේක්ෂකයෝ ගහ මරා ගත්හ. බොහෝවිට මියගියෝද තුවාල ලැබූවෝද ආධාරකරුවෝය. දේශපාලනඥයන් ඡන්ද කළේ මැරවරයන්ද පිරිවරාගෙනය.

දන්සල් තහනම්

ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීමද මැතිවරණ නීතිය අනුව තහනම්ය. එසේ වුවද පසුගිය කාලයේ මැතිවරණ කළේම විවිධ දේ බෙදා දෙමිනි. ගොවීන්ට නම් උදලු හා වතුර පොම්ප ආදියයි. පාසල් සිසුන්ට පොත් බෙදා දුන්නේද මව්පියන්ගෙන් ඡන්ද ගන්නටය. පොත් පාර්සල අස්සේ ඡන්ද කොළයකි. ආහාර ද්‍රව්‍ය හා විවිධාකාර භාණ්ඩ බෙදාදෙනු ලැබීය. බොහෝවිට ඒ මහජන මුදලිනි. රජයේ වියදමින් මේවා කළේ නීති විරෝධී ආකාරයෙනි. සිල් රෙදි බෙදීමට දඬුවම් ලබන්නට සිදුවූයේ ඒ නිසාය. මේ බඩු බෙදිල්ල කොහොමත් නීති විරෝධීය. එකක් මැතිවරණ නීතියෙනි. අනෙක අල්ලස් නීතියෙනි. තෙවැන්න රජයට පාඩු කිරීමය. එය දූෂණය ලෙස හඳුන්වන වරදයි. එසේ වුවද පසුගිය කාලයේ මේ සියල්ල සාමාන්‍ය ඡන්ද ප්‍රචාරය බවට පත්ව තිබුණේ දේශපාලන අනුග්‍රහය හේතුවෙනි. දේශපාලන බලයේ ආධාර අනුබලය යටතේ මෙම දූෂිත ක්‍රියා ගජරාමෙට සිදුවූයේය. එසේ වූවේ ඒවා වැරදි යැයි මහජනයාට නොතේරෙන ගණනටය.

ඡන්දදායකයන්ට සංග්‍රහ කිරීමද මැතිවරණ නීතිය යටතේ වරදකි. එසේ වුවද අතීතයේ සිටම එය සිදුවීය. නිවෙස්වල දාන ශාලාය. ඇතැම් විට විශාල භූමියක වෙනමම ඉදිවූ ශාලාවල දිනපතා, සෑම වේලකම දන්සල්ය. ඒ මැතිවරණ අපේක්ෂකයන්ගෙනි. ඒවා තහනම් කීවාට තඹ සතයකට නොගත්තේ රාජ්‍ය බලයේ හයිය නිසාය. එළිපිට ප්‍රසිද්ධියේ සිදුවූ දූෂණය නවත්වන්නට කිසිවකුට හයියක් නොතිබුණි.

අතීතයේ එක් කතාවකට අනුව අපේක්ෂකයකු ඡන්දයෙන් ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවක් ගෙන පැරදී ගෙදර එන විට කෑමට සිටි සංඛ්‍යාව ඔහු ලැබූ ඡන්ද ගණනට වඩා වැඩිය. එම අපේක්ෂකයා සියලු දෙනා පන්නා දැමූ බව කියති.

මෑත කාලයේ දන්සල්වලට කෑම බීම පමණක් නොව මත්පැන්ද එක්ව තිබිණි. මැතිවරණ කාලවල හැම තැනක මත්පැන් දන්සල්ය. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යන්නේ හොඳින් සප්පායම් වෙලාය. හවසට තවත් සංග්‍රහයකි. මේවාට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් වූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ඒවා බොහෝවිට කළු සල්ලිය. දේශපාලන බලය, මැති ඇමැතිකම් යොදාගෙන හොරකම් කළ මහජන මුදල්ය. මෙහිදී සිදුවූයේ මහජන මුදල් සොරකම්කොට මහජනයාට කන්න බොන්න දී මහජනයාගේ ඡන්දය කොල්ල කෑමකි. දූෂණයෙන් දූෂණය නඩත්තු කිරීමකි.

මැකෝගෙන් පෝස්ටර්

මෑත කාලයේ මැතිවරණවලදී සිදුවූ අනෙක් ප්‍රධාන වරදක් නම් රාජ්‍ය සම්පත් මැතිවරණ කටයුතු සඳහා යෙදවීමයි. රජයේ ආයතනවල යාන වාහන විශාල ප්‍රමාණයක් මැතිවරණ කාලයේ තිබුණේ අපේක්ෂකයන් ළඟය. ඒවාට රියදුරන් ද, ඉන්ධන ද ලබා දෙන්නේ මහජන මුදලිනි. නගර ගම් සැරිසරමින් මැතිවරණ කටයුතු කරන්නේ එම රජයේ සම්පත් යොදාගෙනය. එමෙන්ම රජයේ ආයතනවල සේවකයන්ද මැතිවරණ කටයුතුවල යෙදවූයේ වැටුප් හා අතිකාල මහජන මුදලින් ගෙවමිනි. ඒ සියල්ල කළේ රාජ්‍ය බලය යොදා ගනිමිනි.

මැතිවරණයට පෙර දින දෙකක් ප්‍රචාරයෙන් තොරව තිබිය යුතු බවට නීතියක් තිබුණද මීට පෙර සිටි පාලකයෝ එම නීති පයි‍ෙසකට ගණන් නොගත්හ. මැතිවරණ දිනය දක්වාම ප්‍රචාරය කළේ රාජ්‍ය බලය යොදා ගනිමිනි. 2010 ජනාධිපතිවරණයේදී මැතිවරණ දින උදයේ ද රට පුරා පෝස්ටරයක් අලවා තිබුණි. ඒ අද යුතුකම් ඉටුකරන දිනයයි’ යනුවෙනි. එදා ඡන්ද කළේ එහෙමය.

මෑත අතීතයේ ඡන්ද කෙරුවාව ගැන තව බොහෝ දෑ කිව හැකිය. හොර ඡන්ද, මැර ඡන්ද, ඡන්ද කොල්ලකෑම වැනි බොහෝ දේ එයට ඇතුළත්ය. එසේ වුවද මහජනයා හොඳින් දන්නා ප්‍රධාන දූෂණ ක්‍රියා මතක් කර ගැනීම ප්‍රමාණවත්ය.

මෙවර පැවැත්වෙන්නේ අමුතු ඡන්දයක් වී ඇත්තේ ඉහත කී බො‍හෝ දූෂණ ක්‍රියා නතරකොට ඇති නිසාය. මෙදා ඡන්දයේදී පෝස්ටර් කටවුට් විශාල වශයෙන් දක්නට නැත. ඒවා අපේක්ෂකයන්ගේ කාර්යාලවලට සීමා වෙලාය. කටවුට්වල ප්‍රමාණයද මැතිවරණ කොමිසමෙන් නියම කොට ඇත. පෝස්ටර් ඇ‍ෙලවුවොත් ගලවන්නට මෙන්ම පෝස්ටරය උඩින් පෝස්ටරයක් අලවන්නටද මැතිවරණ කොමිසම සුදානම් කොට තිබිණි. තැන තැන නීතිවිරෝධී පෝස්ටර් කටවුට් තිබුණේ අහුමුළුවලය. ඒ පමණට නීතිය ක්‍රියාත්මක විය. ඇතැම් පොස්ටර් ප්‍රදර්ශනය කිරීමට අවසර තිබුණේ රැස්වීම් ප්‍රචාරය කරන්නටය. එයද සීමා සහිතය.

එඩිතර පොලිසිය

ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීමද, බඩු බෙදාදීමද මැතිවරණ කොමිසම විසින් තහනම් කොට තිබිණි. ඇත්ත වශයෙන්ම නම් තහනම් නීතිය තදින් ක්‍රියාත්මක කෙරිණි. මාතලේ පාසල් පොත් බෙදීමද නැවතිණි. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා තම උපන් දිනයට පාසල් කීපයකට බස් රථ දෙන්න හැදුවද මැතිවරණ කොමිසම කීවේ ඒවාට ඉඩ දෙන්න බැරි බවයි. නීතිය ක්‍රියාත්මක වූණේ එහෙමය. ඡන්ද අපේක්ෂකයන්ගේ දාන ශාලාවලට ඉඩක් තිබ්බේම නැත. ප්‍රසිද්ධියේ තබා රහසේ වත් එවැනි දෑ සිදුවූ බවක් දැනගන්නට නැත.

රජයේ සේවයේ පත්වීම් දීම, උසස්වීම් දීම, මාරුකිරීම් ආදිය ද මේ කාලයේ තහනම් බව මැතිවරණ කොමිසම දන්වා තිබිණි. අවසර තිබුණේ කලින් ඉල්ලුම්පත් කැඳවා තීරණයකොට තිබූ පත්වීම් සඳහා පමණකි. කොමිසමට ඉහළින් යන්නට මැති ඇමැතිවරුන් හෝ අගමැති, ජනාධිපති හෝ ඉදිරිපත් වූයේ නැත. සියලු පත්වීම් මැතිවරණයෙන් පසු කරන බවට නිවේදනය කෙරිණි.

මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියද කිසිසේත් පසුබට වූයේ නැත. ඒ ඔවුන්ට දැන් දේශපාලන බලපෑම් එල්ල නොවන හෙයිනි. ස්වාධින පොලිස් සේවයකට ඉඩ සලසා තිබූ හෙයිනි. අගමැතිට හෝ පාර්ලිමේන්තුවටවත් මැතිවරණ කොමිසම අභිබවා යා නොහැකි බව පෙන්නුම් කළේ බැඳුම්කර කොමිසමෙහි පසුගිය රජයේ වංචා දූෂණ සෙවූ ජනාධිපති කොමිසම් වාර්තා සාකච්ඡා කිරීමට පෙබරවාරි 8දා පාර්ලිමේන්තුව කැඳවන්නට ගිය විටය. පාර්ලිමේන්තුව කැඳවීමේ බලය තිබෙන්නේ අගමැතිවරයාටය. එසේ වුවද මැතිවරණ කොමිසමේ අදහස වූයේ මෙම විවාදය 8දා පැවැත්වුවහොත් මැතිවරණ නීතිය කැඩෙන බවය. කොමිසමේ නීතියට අවනත වී විවාදය 8 වැනිදාට යොදාගන්නට පාර්ලිමේන්තුවට සිදුවිය. උත්තරීතර බලය ඇති ස්ථානයට නීතිය ක්‍රියාත්මක වුණේ එහෙමය.

මේ සියල්ල නිසා අපට දැන් සාමකාමී නිදහස් ඡන්දයක් ලැබී ඇත. මේ අමුතු ඡන්දය පැවැත්වීමට ලැබීමම රටේත්, ජනතාවගේත් ජයග්‍රහණයකි. මෙලෙස සාධාරණ නිදහස් මැතිවරණයක් පැවැත්වීමට හැකිවූයේ පසුගිය කාලයේ සිදුවූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගණනාවක් හේතුවෙනි. පළමුවැන්න නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය මඟින් විධායක ජනාධිපති බලය සීමාකොට ස්වාධීන කොමිසන් සභා පත්කිරීමට අවස්ථාව සැලසීමය. ඒ අනුව ස්වාධීන මැතිවරණ කොමිසමක්, පොලිස් කොමිසමක් හා රාජ්‍ය සේවා කොමිසමක් පත්කිරීමය. එම ආයතනවලට සැබැවින්ම ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව සැලසීමය.

අලුත් ඡන්ද ක්‍රමය

අනෙක් වැදගත් ප්‍රතිසංස්කරණය නම් මැතිවරණ ක්‍රමය වෙනස්කොට මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීමයි. දැන් ක්‍රියාත්මක වන්නේ කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන ඡන්දයකි. ඒ සමඟම සමානුපාතික ක්‍රමයට ද නියෝජිතයෝ පත්කර ගැනෙති. ප්‍රධාන වශයෙන් ඡන්දය පැවැත්වෙන්නේ කොට්ඨාසයටය. තරගය තිබෙන්නේ කොට්ඨාසයට තරගවදින අපේක්ෂකයින් අතරය. විශාල පළාතක මනාප සොයා දිවයන්න මෙම ක්‍රමය යටතේ අවශ්‍ය නැත. එලෙස සියයට හැටක් නියෝජිතයන් පත්කර ගැනීමෙන් පසුව සියයට හතළිහක් සමානුපාතික ක්‍රමයෙන් පත්කර ගැනීම සිදුවෙයි. එයට මනාප ක්‍රමයක් නැත. එසේ වුවද සියයට 25 ක් ස්ත්‍රීන් විය යුතු බවට නීතියක් ඇත. මෙම ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වතාවටය. එහි ගුණ අගුණ පෙනෙන්නේ මෙම ඡන්දයෙන් පසුවය. කෙසේ වෙතත් දැනටම පෙනී යන කාරණයක් වන්නේ එය මැතිවරණ ගැටුම් අඩු කරන ක්‍රමයක් බවයි.

මෙයින් බලාපොරොත්තු තැබිය හැකි තවත් ප්‍රතිඵලයක් නම් අඩු තරමින් ගම් මට්ටමේදී දූෂණ අඩු පාලනයක් බලාපොරොත්තු විය හැකි වීමයි. මැතිවරණය සඳහා අධික වියදමක් දරන්නට සිදු නොවන නිසා කෙසේ හෝ එම මුදල් උපයා ගැනීමට පෙළඹීමක් ද නැත. අනෙක් අතට කොට්ඨාස මට්ටමේ ජනතා නියෝජිතයා ජනතාවට වඩා සමීප අයකු වීම නිසා ද දූෂණ සඳහා තිබෙන ඉඩකඩ ඇහිරීමක් සිදුවිය හැකිය. මෙලෙස මේ අමුතු ඡන්දය පැවැත්වීමම රටේත්, ජනතාවගේත් ජයග්‍රහණයකි. දැන් තිබෙන්නේ මෙතැන් සිට ඉදිරිය ගැන කල්පනා කිරී‍මටයි. එනම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමයි.

පළමු ඉදිරි පියවර වන්නේ පළාත් සභා සඳහා ද මෙයට සමාන නව ඡන්ද ක්‍රමයක් නීතිගතකොට ක්‍රියාවට නැඟීමයි. ඊළඟට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමඟ කොට්ඨාස සමානුපාතික නියෝජන ක්‍රමය මධ්‍යම රජය තෝරාගැනීමේ මැතිවරණ සඳහා ද හඳුන්වාදිය හැකිය. දූෂණයෙන් තොර නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අනාගතයේ මේ රටේ බිහිකිරීම සහතික කළ හැක්කේ එබඳු ක්‍රියාමාර්ග මඟින් පමණකි.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *