රනිල්ට පුලුවන්ද ? – සී ජේ අමරතුංග

එක්දහස් නවසිය හැත්තෑ හතේ සිට පැවැති දහහත් අවුරුදු එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කරමින් මෙරට එකලොස් වැනි අග‍්‍රාමාත්‍යවරිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දිවුරුම් දුන්නේ 1994 අගෝස්තු 19දාය. එදා එලෙස ඇරඹුණු පාලනය අවසන් කරමින් ඊට විසි එක් වසරකට පසුව අගමැති තනතුරේ දිවුරුම් දෙන්නේ එදා අගමැති තනතුරෙන් සමුගෙන අරලියගහ මැදුරෙන් නික්ම ගිය රනිල් වික‍්‍රමසිංහ මහතාය. මේ අතර කාලය තුළ  2001 දෙසැම්බරයේ සිට 2004 පෙබරවාරි මාසය දක්වාද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරය හෙබවුවද එය සිදුවූයේ සියලූ විධායක බලය සහිත ජනාධිපතිනිය ලෙස චන්ද්‍රිකා මැතිනිය කටයුතු කරමින් සිටියදීය.
මෙවර ද රනිල් වික‍්‍රමසිංහ මහතාට කටයුතු කිරීමට සිදුව තිබෙන්නේ ජනාධිපතිවරයකු යටතේය. විධායක බලය සීමාකොට ඇතත් ජනාධිපති තනතුර හොබවන්නේ 1994 චන්ද්‍රිකා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකුව සිටි මෛත‍්‍රීපාල සිරිසේන මහතාය.

එදා මෙදා වෙනස

එසේ වුවද අද පවතින තත්ත්වය 2001 දී පැවැති තත්ත්වයට විශාල ලෙස වෙනස්ය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූයේ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කොට ජය ගැනීමෙන් පසුවය. ඉන්පසුව මෙම නායකයන් දෙදෙනා එක්ව දින සියයේ වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැගූ බව ද අමතක කළ යුතු නැත. පක්ෂ දෙකක වුවද මේ දෙදෙනාගේ මෑත කාලීන ක‍්‍රියා පිළිවෙත එක පෙරමුණක සටන් කිරීමකට සමාන බව බොහෝ දෙනා දන්නා කාරණයකි. ප‍්‍රශ්නය වන්නේ මෙම තත්ත්වය කෙතෙක් දුරට පවත්වාගෙන යා හැකිද යන්නයි.

වත්මන් ආණ්ඩු පෙරළිය 1994 බල පෙරළියට තරමක් දුරට සමානය. එදා මෙරට ජනයාට අවශ්‍ය වූයේ එක්සත් ජාතික පක්ෂයේ පීඩාකාරී පාලනය අවසන් කිරීමටය. ඒ සඳහා සිවිල් සමාජ සංවිධාන ද ක‍්‍රියාකාරීව පෙරට පැමිණියේය. එම බලවේගවල බලාපොරොත්තුව වූයේ චන්ද්‍රිකාගේ දේශපාලන ජයග‍්‍රහණයෙන් පසුව මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයක් සිදුවන බවයි. විධායක ජනාධිපති ක‍්‍රමය අවසන් කිරීම එම මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රධාන සටන් පාඨයකි. එමෙන්ම දූෂණය පිටුදැකීමද ප‍්‍රධාන තැනක් ගත්තේය.

යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණට මෙම මැතිවරණයෙන් හිමිව ඇත්තේ ආසන එකසිය හයකි. එම පෙරමුණේ සාමාජික පක්ෂය වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය මඩකළපුවේදී වෙනම තරග කර දිනාගත් මන්ත‍්‍රී ධුරයත් සමඟ එජාපෙරමුණේ මන්ත‍්‍රී සංඛ්‍යාව 107කි. විපක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95කි. දෙමළ ජාතික සන්ධානයට 16කි. ජනතා විමුක්ති පෙරමුණට 6කි. ඉතිරි ආසනය හිමිකර ගත්තේ ඊ.පී.ඞී.පී. සංවිධානයයි. මෙම තත්ත්වය තුළ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් ඇත.

බලයගන්න ගහන ගැට

1994 මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණට දිනාගත හැකිවූයේ ආසන 105කි. එවිට රජුන් තනන්නා වූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ඒ.එච්.එම්. අෂ්රොෆ් මහතාය.

අම්පාරේ සිටි අෂ්රොෆ් මහතා රජයෙන් සපයන ලද හෙලිකොප්ටරයකින් කොළඹට ගෙන්වා ගැනීමට කටයුතු කළේ එවකට ජනාධිපති ඞී.බී. විජේතුංග මහතාය. එසේ වුවද ගුවනින් කොළඹට පැමිණි අෂ්රොෆ් මහතා කෙළින්ම ගියේ පොදු ජන එක්සත් පෙරමුණේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හමුවීමටය. අෂ්රොෆ් මහතාගේ හා පාර්ලිමේන්තුවේ වෙනත් පක්ෂවල සහාය ලබාගෙන යළි එජාප ආණ්ඩුවක් හැදීමේ ගාමිණි දිසානායක මහතාගේ සැලැස්මට එය මරු පහරක් විය. පොදුජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ හරිමින් තම පරාජය භාරගත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරය හැර ගියේය.

මේ අතර එම බල පෙරළියට සම්බන්ධ තවත් කතාවක් ඇත. එය නම් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හිතවත් දේශපාලනඥයන් කිහිප දෙනකු හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හමුවීමයි. ආණ්ඩුවක් පිහිටුවීමට සිරිමාවෝ මැතිනියට ආරාධනා නොකොට චන්ද්‍රිකා මැතිනියට ආරාධනා කරන්නට ජනාධිපති විජේතුංග මහතා පොළඹවා ගැනීම එම හමුවේ අරමුණ වූ බව කියති.

අටවාගත් ආණ්ඩුවක්

කෙසේ හෝ වේවා! චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගමැති තනතුරට පත්වී ආණ්ඩුවක් පිහිට වූවාය. ඒ සඳහා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරුන් හත් දෙනාගේද, කඳුරට ජනතා පෙරමුණෙන් පත්වූ පී. චන්ද්‍රසේකරන් මහතාගේද සහාය ලබාගැනීමට සිදුවිය. 1994 අගෝස්තුවේ බලයට පත්වූයේ එසේ අටවාගත් ආණ්ඩුවකි. එම ආණ්ඩුව ශක්තිමත් වී ස්ථාවර වන්නේ ඊට පසුකාලීන සිදුවීම් මඟිනි.
නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විධායක බලය හිමිකර ගත්තාය. ඉන්පසුව තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග‍්‍රසය ද ආණ්ඩුවට එකතුවිය. ඉන්පසු කාලය හැඳින්විය හැක්කේ විධායක බලය මඟින් දේශපාලන බලය තහවුරු කරගත් කාල පරිච්ඡ්දයක් වශයෙනි.

සුළුතර ආණ්ඩුවක් ලෙස පැමිණි චන්ද්‍රිකා රජය පසුව බලය තහවුරු කරගත්ත ද 1994 බල පෙරළියෙන් මහජනයා බලාපොරොත්තු වූ අභිලාෂ ඉටුවූයේ නැත. විධායක ජනාධිපති ධුරය අහෝසි වූයේ නැත. උතුරේ ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් නොලැබුණා පමණක් නොව යුද්ධය ද බරපතළ ලෙස වර්ධනය විය. දූෂණ මර්දනයට ගෙනා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කඩදාසි කොටියකු බවට පත්විය. දෙදහස වසර වනවිට ආර්ථිකය ද බින්දුවට වැටිණි.

දෛවයේ සරදම

කෙසේ වෙතත් බලයට පත්වූ පොදුජන පෙරමුණේ පසුකාලීන මූලික අභිලාෂය බවට පත්ව තිබුණේ බලය රැුකගැනීම බව පෙනෙන්නට තිබිණ. එම පක්ෂයේ උදවිය වයඹ ඡන්දය කොල්ල කෑවෝය. අනෙකුත් මැතිවරණවලදී ද අනුගමනය කළේ ‘ගහලා ගන්නවා’ යන ආකල්පයකි. දේශපාලන ජල්තර වැඩ කළේ උපක‍්‍රම යැයි කියමිනි. අවසානයේ එම පාලනයේ අවසන් කාලය බවට පත්වූයේ 1994 දී ජනතාව විසින් පළවාහරින ලද දුර්ජන පාලනයට වඩා භීෂණකාරී ඒකාධිපති පාලනයක් බිහිකර ක‍්‍රියාවට නැඟීමයි. එම බිහිසුණු පාලනය පෙරළා දමන්නට අද රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ අත්වැල් බැඳ ගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ද සිදුවී තිබීම දෛවයේ සරදමක් බඳුය.

මහජනයා ජනවාරි මාසයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්කරන්නේත්, දැන් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස ආණ්ඩුවක් පත්කර ගන්නේත් 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලනයෙන් බලාපොරොත්තු වී සිදු නොවූ දේ ඉටුකරගන්නට බව පෙනෙන්නට තිබේ. එයින් යම් කොටසක් දින සියයේ ආණ්ඩුවෙන් ඉටු වී ඇතත් තවත් බොහෝ දේ ඉටුකර ගැනීමට ඇති බව පැහැදිලිය. ඒ සියල්ල කරන්නට සිදුවන්නේ දේශපාලන ස්ථාවරභාවය ද පවත්වා ගන්නා අතරවාරයේය.

එක්සත් ජාතික පෙරමුණට හිමිව තිබෙන්නේ පාර්ලිමේන්තුවේ සුළුතරයකි. එසේ වුවද එය බලයට පත්වූයේ තනිවම ආණ්ඩු කරන්නට පොරොන්දු වී නොවේ. ජනවාරියේ ජනාධිපතිවරණය ජය ගත්තේ අපේ‍්‍රල්වලින් පසුව මැතිවරණයක් පවත්වා ප‍්‍රධාන පක්ෂ දෙක එක්සත්ව අඩු තරමින් වසර දෙකකටවත් සමගි සන්ධාන ආණ්ඩුවක් පවත්වාගෙන යන්නටය. රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම මැතිවරණයේදී ප‍්‍රකාශ කළේ තමන් බලයට පත්වූ පසුව මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්කරන බවය. එය එසේ සිදුවන්නේ නම් ආණ්ඩුවේ ස්ථාවරභාවය පිළිබඳව ප‍්‍රශ්නයක් මතුවන්නේ නැත.

තමන්ගේ මෛත‍්‍රී පාලනයේ  ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැඟීමට ජනාධිපතිවරයා ද පියවර ගනිමින් සිටින බවද පසුගිය දිනවල අපට දක්නට ලැබිණි. ශ්‍රීලනිපයේ හා සන්ධානයේ ලේකම්වරුන් වෙනස් කිරීමත්මධ්‍යම කරකසභාවට අලුතින් පත්කිරීමත්  ආදී තවත් ක‍්‍රියාමාර්ග මඟින් ඒ බව පෙන්නුම් කොට තිබේ.

මෛත්‍රීට ඇති අභියෝගය

එසේ වුවද ජනාධිපතිවරයාට මුහුණදීමට ඇති අභියෝග ගැනද අමතක කළ නොහැකිය. මැතිවරණ ප‍්‍රතිඵලය දෙස හොඳින් බලනවිට පැහැදිලිවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින බහුතරය ජනාධිපතිවරයාගේ මෛත‍්‍රී පාලනය වැඩසටහනට විරුද්ධ පිරිසක් බවයි. මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒමට උත්සාහ දැරූ ප‍්‍රබලයන් ඉහළ මනාප ප‍්‍රමාණ ලබමින් පාර්ලිමේන්තුවට පත්ව සිටීම ජනාධිපතිවරයාට අභියෝගයක් විය හැකි බව සිතිය හැකිය.

අනෙක් අතට අප තේරුම්ගත යුතු කරුණ නම් මැතිවරණයට පෙර සන්ධානයේ මැති ඇමැති මට්ටමේ දේශපාලනඥයන්ගේ හැසිරීම මැතිවරණයෙන් පසුව වෙනස්විය හැකි බවය. සන්ධානයේ දේශපාලනඥයන් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නේ ඔහු බලයට පත්කොට සන්ධාන ආණ්ඩුවක් ගොඩනඟා ගැනීමටය. එහි මැති ඇමැති තනතුරු ලබා ගැනීමද එම දේශපාලන බලයේ වරප‍්‍රසාද ලැබීමද එම අරමුණු තුළම පවතින වුවමනාවන්ය.

දැන් මැතිවරණය අවසන්ය. තවත් වසර පහකට මැතිවරණ නැත. එම කාලය තුළ ජනාධිපතිවරයා සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා බලයේ සිටීම බොහෝදුරට තහවුරු වී ඇති තත්ත්වයයි. සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත්වූ දේශපාලනඥයන්ට තෝරා ගැනීම් දෙකක් විවෘතව පවතී. එකක් නම් මෛත‍්‍රී පාලනයක් යටතේ ගොඩනැෙඟන සමගි සන්ධාන ආණ්ඩුවකට සම්බන්ධ වී මැති ඇමැති තනතුරු ලබා ගැනීමය. නැතහොත් ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයකු ලෙස දේශපාලන බලය භාවිත කිරීමය. දෙවැනි විකල්පය නම් වසර පහකින් එන මැතිවරණයෙන් බලයට පත්වීමේ අරමුණ ඇතිව විපක්ෂ මන්තී‍්‍රවරයකු ලෙස කාලය ගෙවා දැමීමයි.

මේ අතර සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම තුළ ඍජු ලෙසම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහාය දෙන පිරිසක්ද සිටින බවද අමතක කළ යුතු නැත. ඔවුන් කොහොමත් සිටින්නේ සමගි සන්ධාන ආණ්ඩුවකට සම්බන්ධවීමේ වුවමනාවෙනි.

මෙම තත්ත්වය යටතේ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වශයෙන් පත්වූ දේශපාලනඥයන්ගේ හැසිරීම වෙනස් වීමට ඇති ඉඩ කඩ අති විශාල බව අමතක කළ නොහැකිය. පළපුරුදු දේශපාලනඥයකු වන මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සන්ධානයේ බලය ගැනීමට මේ මොහොත එනතෙක් බලා සිටියේ වර්ධනය විය හැකි මෙම තත්ත්වය පිළිබඳව අවබෝධයකින් යුතුව බව සිතිය හැකිය.

රනිල්ටගේ  විකල්පය

යම් හෙයකින් සමගි සන්ධාන ආණ්ඩුවකට සන්ධානයෙන් විරෝධයක් පැනනැඟී එය කළ නොහැකි වුවද ආණ්ඩුව කරගෙන යාමට රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට විකල්පයක් නැතැයි සිතීමද අනුවණය. එබඳු ආණ්ඩුවක් සුළුතර ආණ්ඩුවක් වන බව පැහැදිලිය. එසේ වුවද එයට එරෙහිව සිටින විපක්ෂය විෂමජාතීය බව ද පැහැදිලි කරුණකි. එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ විපක්ෂයේ සිටින්නේ දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණයි. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බිඳ දමන්නට හැකිවන්නේ මෙම බලවේග තුනම එකතු වුවහොත් පමණකි. එයට ඇති ඉඩකඩ මේ මොහොතේ පෙනෙන්නේ ඉතාමත් සීමා සහිත බවයි.

එබැවින් ඇත්ත ප‍්‍රශ්නය තිබෙන්නේ යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව පවත්වාගෙන යාම හා ස්ථාවර කර ගැනීම සම්බන්ධයෙන් නොවන බව තේරුම් ගත යුතුව ඇත. ඇත්ත ප‍්‍රශ්නය වන්නේ මෙම මොහොතේ සිදුකළ බල පෙරළියෙන් බලාපොරොත්තු වූ ජනතා අභිලාෂ ඉටුකළ හැකිවේද යන්න සම්බන්ධයෙනි. එම ප‍්‍රශ්නය මතුවන්නේ ආණ්ඩු බලය පවත්වාගෙන යන්නට ගන්නා පියවර නිසාම වීමට ඉඩ තිබීම මෙහි ඇති ඛේදජනක තත්ත්වයයි.

1994 දී බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග පාලනය පොරොන්දු වූයේ වසරක් ඇතුළත විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකොට පාර්ලිමේන්තුවට බලය පවරන බවයි. එසේ පොරොන්දු වී එය ඉටු නොකළේ ආණ්ඩු බලය පවත්වාගෙන යන්නට විධායක බලය අවශ්‍ය වූ නිසාය. තොණ්ඩමන්ලා ආණ්ඩුවට පැමිණ ඇමැති ධුර ලබා ගත්තේ විධායක බලය නිසා ආණ්ඩුව ස්ථාවර වීම හේතුවෙනි.

බලය රැකගැනීමට ජනතාව පාවාදීම

එදා චන්ද්‍රිකා ආණ්ඩුව මුහුණ දුන් අභියෝගයට රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට ද මුහුණ දීමට සිදුවිය හැකිය. මහජනයාගේ අභිලාශයන් ඉටුකිරීමට නම් ආණ්ඩු බලය ස්ථාවර කරගත යුතුය. ඒ සඳහා සන්ධානයෙන් පැමිණෙන පිරිසකට ඇමැති ධුර හා වරප‍්‍රසාද ලබාදිය යුතුය. මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවෙයි කියනවා මෙන් මෙලෙස ආණ්ඩුවේ ඇමැතිකම් ගන්නේද එයින් ජනතා සේවය කරන්නටම නොවන බවද තේරුම් ගත යුතු කාරණයකි. එසේ ආණ්ඩුවට සම්බන්ධ වන වැඩි පිරිස එසේ කරන්නේ ඇමැතිකම්වල හයියෙන් මුදල් උපයන්නට යන්න තේරුම් ගැනීමට අපහසු නැත. ආණ්ඩුව කවුරු කළත් කොයි නායකයාටත් සිදුවන්නේ මෙසේ එන පිරිසට මෙන්ම තම පක්ෂයේම උදවියට සිතැඟි ඉටුකර ගන්නට ඉඩ දී බලා සිටින්නටය. දූෂණය ආරම්භ වන්නේ එතැනිනි. යහපාලනය අවසන් වන්නේද එතැනින්ය. ඉන්පසුව අපට බලාපොරොත්තු වියහැකි තත්ත්වය වන්නේ ආණ්ඩුවේ ඉහළ සිට පහළටම දූෂණය පැතිර යාමයි. එවිට එම පාලනය රැකගත හැකිවන්නේ භීෂණයෙනි. එනම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවලට යොමුවීමෙනි.

එකම මාවත

මෙම උභතෝකෝටිකයට මුහුණ දුන් චන්ද්‍රිකා පාලනය අවසන්වූයේ ජනතා අභිලාෂ විනාශ කළ අන්ත දූෂිත හා දුර්දාන්ත පාලනයකට මඟ සලසමිනි. දැන් රනිල් මෛත‍්‍රී සුසංයෝගයේ අවස්ථාවයි. බලය රැකගැනීමට ජනතා අභිලාෂ බිල්ලට දීමට සිදුවීමේ උභතෝකෝටිකයට මෙම නායකයන් මුහුණ දී ජය ලැබුවහොත් රටට යහපත සැලසෙන්නේ එයින් පමණකි. එසේ නැතහොත් මහජනයාට සිදුවන්නේ තවත් වටයකින් සටනට එළඹෙන්නටය.

සාමාන්‍යයෙන් ඉතිහාසයේ එකම දේ දෙවරක් සිදුවන්නේ කලාතුරකිනි. බොහෝවිට සිදුවන්නේ සිදුවිය යුතු ලෙසින්ම  කලකට පෙර  සිදු වූ දෙයින් පාඩම් ඉගෙන ගෙන ඊළඟ වාරයේදී අභියෝග ජය ගැනීමයි. අගමැති රනිල්ගේ මේ ආණ්ඩුවටත් මහජන අභිලාෂ ඉටු කරන්නට හැකිවන්නේ ඒ ආකාරයෙන් පමණකි. එය එසේම සිදුවීම ජනතා අභිලාෂයයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *