ඡන්ද හා ඡන්ද ප්‍රතිඵල – නිශාන්ත කමලදාස

 බඩුත් හාමුදුරුවන්ගේ ය. නඩුත් හාමුදුරුවන්ගේ ය. මෙය අප අසා පුරුදු කතාවකි. මිනිසුන් මෙසේ කියන්නේ පැමිණිලිකරුවාම නඩු තීන්දුව දෙන්නට කටයුතු කරන තැනක ය. විශේෂයෙන් ම විත්තියට ඉඩක් නොතබාම පැමිණිල්ලම තනිවම සියල්ල තීන්දු කරන අවස්ථාවක ය.

මගේ නඩුව මා විසින් නො ඇසිය යුතු ය. අධිකරණයේ සම්ප්‍රදාය නම්, තමන්ගේ පමණක් නොව තම හිතේෂියකු නඩුවක පාර්ශවකරුවකු වූ විට, විනිශ්චයකරු ඒ බව දන්වා ඒ නඩුවෙන් ඉවත් වීම ය. වෙන කෙනකු ලවා යුක්තිය පසිඳලීමට ඉඩකඩ සලසා දීම ය.

එසේ කරනු ලබන්නේ නීතිය සම්බන්ධයෙන් නිතර සඳහන් වෙන වැදගත් මූලධර්මයක් ද ඇති නිසා ය. යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නැත. එය ඉටු වන බව ලෝකයට ම පෙනිය යුතු ය. සැකයකින් තොරව පෙනිය යුතු ය.

මේ කතාව මතකයට ආවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරින්ම, වෛද්‍ය සභාවට පත් වීම හේතුවෙන් ය. වෛද්‍ය සභාව තියෙන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන තීන්දු ගන්නට ය. එම ක්ෂේත්‍රය නියාමනය කරන්නට ය. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය තියෙන්නේ රජයේ නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට ය. ඔවුන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කරන්නට ය.ඒ ගැන පැමිණිලි කරන්නට ය. දැන් තියෙන්නේ පැමිණිලි කොට සභාව ඇතුළට ගොස් ඒ පැමිණිල්ල ගැන ම තීන්දුවක් ගැනීමට ය. එය පැමිණිල්ල ජය ගැනීමට නොවරදින මග බවට සැකයක් නැත. එහෙත් ඒ තුළ සෙසු පාර්ශ්වයන්ට අත්විය හැකි ඉරණම කුමක් ද? පොදුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට එය කෙසේ බල පාවි ද? අඩු වශයෙන් එසේ වන බවට ලෝකයට පෙනෙයි ද? කොහොමටත් ඒ ගැන වගේ වගක් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට ඇති බවක් පෙනෙන්නේ නැත. සමහර විට මේ අපේක්ෂා අතර ප්‍රතිවිරෝධතාවය ඔවුන්ගේ සැලකිල්ලට ලක් නොවූයේ ම ඒ නිසා විය හැකි ය.

වෛද්‍ය සභාවේ නිලවරණය

වෘත්තීය වගකීමක් ඇති සංගමයකින් අපි මීට වැඩි දෙයක් අපේක්ෂා කරමු. ඇත්තටම බොහෝ වෛද්‍යවරුන් පවා මේ කටයුත්ත නිසා තම වෘත්තීය හෑල්ලුවට ලක් වූ බවට මත පල කර තිබිණි. ඔවුන් ද ඒ තත්වය අයහපත් ලෙස පිළිගන්නා බව මූණුපොතේ සටහන්වලින් දැක ගන්නට ලැබිණි. එහෙත් දැන් සියල්ල සිදු වී හමාර ය. කළ හැකි එක් දෙයක් තිබේ. මේ පත් වූ අය සංගමයේ නිලතල වලින් ඉවත් වී වෙනත් අයට ඒවා බාර දීම ය. එය මේ කපේ සිදු වෙන එකක් නැත. ඒ මේ ලංකාව නිසා ය. අප රටේ බොහෝ දෙනකුට වෘත්තිකයන්ට ද ඇතුළුව විලි ලජ්ජාව නැති නිසා ය.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වෛද්‍ය සභාව සඳහා පැවති නිලවරණයෙන් ඉවත් ව සිටිය යුතු බවක් මෙයින් අදහස් නොකෙරේ. ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගණනාවක් ම ඇති නිසාත් වෙනත් අගතිගාමී පාර්ශවයන් ඒ ප්‍රශ්න තමන්ට අවශ්‍ය පරිදි පාලනය කරනු ඇතැයි යන සාධාරණ බිය නිසා ද වෛද්‍ය සභාවේ සංයුතිය ගැන රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට උනන්දුවක් තිබීම යුක්ති යුක්ත ය.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට කරන්නට තිබුණේ වෛද්‍ය ක්ෂේත්‍රයේ පිළිගත් නමක් ඇති සංගමයේ නිලධාරියකු නොවන කෙනකුට සහය පල කරන්නට ය. ඒ හරහා වෙනත් අයට වෛද්‍ය සභාව හයිජැක් කරන්නට ඉඩ නොතැබීම ය.

ලැන්ටිස් බුද්ධ පූජාව තැබීමෙන් පසු බුදුන් අමතා මෙසේ ඇසුවේ ලු. ඔබ වහන්සේ කොහොමටත් මේවා වළඳන්නෙ නැහැ නේද? මම කන්න ද? ඉන්පසු ලැන්ටිස් ම බුදු පිළිමය පිටිපසට ගොස් වෙනත් කටහඬකින් බුදුන් මෙන් කතා කර මෙසේ කීවෙලු. නෑ. ලැන්ටිස් දන්නවනෙ මං කන්නෙ නෑ. ලැන්ටිස් ම කන්න. ඊට පසු ලැන්ටිස් හිතේ හැටියට වැළඳුවේලු. මේ වෙන්නට යන්නේ එහෙම වැඩකි.

අප ඉහත කතා කළේ පුංචි පහේ ඡන්දයක් ගැන ය. හෙට අනිද්දා රටට පොඩි වුව ද අප ඉහත කතා කළ ඡන්දය සමග සසඳන තරමක ලොකු ඡන්දයක් ද තිබේ. ඒ පැත්තේ ආරංචි ද මීට නොදෙවෙනි ය. වෙනදා මෙන් ම ඇතැම් තැනක ඇතැම් පක්ෂයක අපේක්ෂක ලයිස්තු ප්‍රශ්නකාරී අපේක්ෂකයන්ගෙන් පිරිලා ය. දූෂණ වංචා අපරාධවලට චෝදනා ලෑබූ අය ද ඒ අතර වෙතැයි කියවේ.

මේ ලයිස්තු සඳහා අනුමැතිය ලැබුවේ කෙසේ දැයි සිතෙන්නේ මේ හැම පිලකම ඉන්නා නායකයන්ගේ දූෂණ විරෝධී කතා ඇසෙන විට ය. ඔවුන් මේ අපේක්ෂකයන් සමග ගොඩනගන්නට යන සාමකාමී ගම නගරය ගැන සුන්දර කතා ඇසෙන විට ය.

අපේක්ෂක ලයිස්තුවල නුසුදුස්සන් ඉන්නා බව පිළිගන්නා බොහෝ පක්ෂ හා කණ්ඩායම්වල ප්‍රකාශකයින් කියා සිටින්නේ ඒ අය ව නොයැවීමට ඡන්දදායකයන් වග බලා ගත යුතු බව ය. වෙනත් විදිහකට කියන්නේ නම් ඕනෑම කෙනකු – දූෂිතයකු පවා- පත් කිරීමට අපට අයිතියක් ඇත. ඒ ගැන ඔබ ප්‍රශ්න නොකළ යුතු ය. එවැනි අය පත් නොවන බවට වග බලා ගත යුත්තේ ඡන්දදායක ඔබ ය. දැන් ඉතින් බෝලය තියෙන්නේ අපේ අතේ ය. වැරැද්දක් වුණොත් ඒ අපේ ය.

ප්‍රතිඵලය රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිලවරණයට වඩා වෙනස් වෙන එකක් නැත. ඒ එම සංගමයේ ඡන්දය දුන් සමාජිකයන් තරමට ම රටේ ජනතාව ද බුද්ධිමත් නිසා ය. ඒ නිසා ඔවුන් සුදුස්සන් ම, ඒ කියන්නේ තමන්ගේ සිල්ලර වැඩ ටික කර ගත හැකි වර්ගයේ සුදුස්සන්ව ම, පත් කර ගනු ඇත.

නුසුදුසු අපේක්ෂකයෝ

මේ නිලවරණ, මැතිවරණ, කොයික තුළත් මතු වන කාරණා අතර වැදගත් එක් කාරණයක් තිබේ. ඒ අපේක්ෂකයා අපේ මිනිහෙක් ද යන්න ය. අපේ මිනිහෙක් නම් අපට “කරන්නට“ ඔහු ඉදිරිපත් වන්නේ ය. සෙසු අයට සිදු වන දේ, මම නොවන, අප නොවන, අනෙකාට සිදු වන දේ, නගරයට ගමට රටට සිදු වන දේ, අපට එහෙමට වැදගත් නැත. වැදගත් වන්නේ මට – අපට – ඔහුගෙන් යහපතක් වෙයි ද යන්න ය.

සාමාජිකයන් තුළ හෝ ජනතාව තුළ එහෙම විශ්වාසයක් ඇති කළ හැක්කේ කාට ද ඔහු මේ තරගයෙන් ජය ගනු ඇත්තේ ය. ඔහු හොරෙකු වීම හෝ නොවීම හෝ ඔහු ගමට නගරයට රටට වැඩක් කරන්නේ ද නොකරන්නේ ද යන්න එවිට අදාළ වන්නේ ම නැත. මේ තුළ ඇත්තේ එක සටන් පාඨයකි. අපේ හොරා අපට හොඳා යන්න ය.

ඡන්දය දීම තුළ ඇත්තේ ඉතා කෙටි දැක්ම කි. අද, වැඩිම වුණොත් හෙට, පිළිබඳ දැක්මකි. අනිද්දා ගැන නොහිතන දැක්මකි. අනාගතය ගැන හිතන ඡන්ද දායකයෙකු තමන්ගේ පෞද්ගලික සුළු වාසිය උදෙසා සියල්ල වෙනස් කිරීමෙන් අනාගතයේ දී පළල් සාමාජිකත්වයට, ක්ෂේත්‍රයට, ගමට, නගරයට, රටට ඇති විය හැකි අති දරුණු විපාක ගැන හිතන්නේ ය. අද සහ වැඩිම වුණොත් හෙට පමණක් හිතන, මම සහ වැඩිම වුණොත් අප ගැන පමණක් හිතන, මිනිසුන්ට ලොකු පින්තූරය මග හැරෙන්නේ ය.

කෙටි දැක්ම

බොහෝ දෙනකුට ඕනෑ නීතිගරුක, ප්‍රතිපත්තිගරුක, වෘත්තියක්, ගමක් හෝ රටක් නොවේ. ඒ සඳහා කැපවුණු නියෝජිතයන් නොවේ. තමන් වෙනුවෙන් තම හිතේෂීන් වෙනුවෙන් නීතිය නැමිය හැකි, ප්‍රතිපත්ති පසෙකලා හැකි, නියෝජිතයින් ය. නායකයින් ය.

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරිය ගැන බලන වෛද්‍ය සභාවක් වෙනුවට වෛද්‍යවරු බහුතරයකට අවශ්‍ය වන්නේ වෛද්‍යවරුන්ට දඬුවම් නොකරන වෛද්‍ය සභාවකි. හෙදියන්ගේ සහ වෙනත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් පාගා දමා හෝ බහුතරයට අයත් වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් තහවුරු කළ හැකි වෛද්‍ය සභාවකි. ගමේ දියුණුව ඇති කරන තීරණාත්මක යමක් කරන ප්‍රාදේශීය සභාවක් වෙනුවට ඡන්ද දායකයන්ට ඕනෑ තමන්ගේ ගෙදරට යන පාර හදා ගන්නට හැකි සභාවකි. මෙය තවත් පියවරක් ඉදිරියට ගෙන ගිය විට රටේ බහුතරයකට ඕනෑ රටේ ම පුරවැසියන් බලා කියා ගන්නා ආණ්ඩුවක් වෙනුවට බහුතර අපේ කට්ටිය, සිංහල බෞද්ධ කට්ටිය, බලා කියා ගන්නා ආණ්ඩුවකි.

මේ බහුතරයට අයිති නැති අයට සිදුවන්නේ රට පනින්නට ය. නැතිනම් කැරලි ගහන්නට ය. පළමුවැන්නට ඉඩක් ඇතත් දෙවැන්න බලය යොදා මැඩ පවත්වනු ඇත. ඒ සඳහා යහමින් මුදල් ද සම්පත් ද මිනිස් බලය ද වෙන් කිරීමට කැප කිරීමට මේ කවුරු කවුරුත් සූදානම් ය. ඒ නිසා රටක් හැටියට අප ආපස්සට ගියත් ඒ ගැන මේ කවරෙකුටවත් වගේ වගක් නැත. අපේ වැඩේ කෙරුණාට කමක් නැතැයි ඔවුහු සිතති.

අනෙකාගේ ඇස් දෙකම අන්ධ වන්නේ ඒ සඳහා තමන්ගේ එක ඇසක් අන්ධ කර ගැනීමට ඔවුන් සූදානම් ය. වෛද්‍ය සභා ඡන්දයේ දී ද රටේ වෙනත් ඡන්දවලදී තරමට ගුටි කෙළ ගැනීමට ආරම්භ කර තිබෙන්නේ ඒ නිසා ය.

අවාසනාව නම් රටට නායකත්වය දිය යුතු ව ඇති වෘත්තිකයන් රටට නරක ආදර්ශයක් දීම ය. ඔවුන් රටේ සාමාන්‍ය දේශපාලනඥයින්ගේ ගණනට ඔවුන්ගේ ගෝලබාලයින් ගණනට වැටීම ය.

බ්‍රිතාන්‍ය දුන් ව්‍යවස්ථාව

බ්‍රිතාන්‍යයන් මේ රටින් යන්නේ ව්‍යවස්ථාවක් හදා ඒ අනුව රට බාර දීමෙන් ය. ඔවුන් ඒ ව්‍යවස්ථාවට අපූරු වගන්තියක් ඇතුළු කිරිමට වග බලා ගත්තෝ ය. එය හැඳින්වූයේ 29 වගන්තිය ලෙස ය.

‘මේ ආඥාවේ ඕනෑම විධිවිධානයක්‌ සංශෝධනය කිරීමට හෝ අවලංගු කිරීමට පාර්ලිමේන්තුවට පිළිවන.’ කෙසේ වෙතත්, ඊට ව්‍යතිරේක කිහිපයක්‌ පනවා තිබුණි. ඒවා මෙසේ ය ‘( (අ) කිසි ආගමක්‌ නිදහසේ ඇදහීම තහනම් කිරීම හෝ සීමා කිරීම කිසි නීතියකින් නොකළ යුත්තේය. (ආ) කිසි ප්‍රජාවකට හෝ ආගමකට අයත් කිසි පුද්ගලයකු, වෙනත් ප්‍රජාවක හෝ ආගමක පුද්ගලයකු යටත් නැති කිසි සීමාවකට හෝ නොහැකියාවකට යටත් නොකළ යුතුය. (ඇ) කිසි ප්‍රජාවක හෝ ආගමක පුද්ගලයකුට වෙනත් ප්‍රජාවක හෝ ආගමක පුද්ගලයකුට අයත් නොවන කිසි වරප්‍රසාදයක්‌ හෝ වාසියක්‌ නොදිය යුතුය. (ඈ) කිසි ආගමික ආයතනයක ව්‍යවස්‌ථාවක්‌ එම ආගමේ පාලනාධිකාරයේ අනුමැතියකින් තොරව වෙනස්‌ නොකළ යුතුය.‘

බහුතරය විසින් මෙහෙයවනු ලැබ කිසියම් දිනෙක සුළු ජාතීන්ට අකටයුත්තක් වේය යන පදනම මත පිහිටා එය කරන්නට ඇතැයි උපකල්පනය කළ හැකි ය.

බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ සුළුතරයට අකටයුතුකම් විය හැකිය යන්න ප්‍රජාතන්ත්‍රවාදය ගැන සංවාදයන්හි නිතර කියවෙන කාරණයකි. එය වැළැක්විය හැක්කේ ආචාරධාර්මික ප්‍රවේශයකින් සුළුතරයේ ප්‍රශ්න ගැන සංවේදී වීමෙනි. ඊට අමතරව අනාගත දෘෂ්ඨියකින්, හැම දෙනාගේම සහාය ලබා ගැනීම හරහා හැමට සෙතක් සැලසෙන්නේය යන දෘෂ්ඨියකින්, බැලීමට සැවොම ඉගෙන ගැනීමෙනි.

දැනුවත් සමාජයකට

ඒ නිසා ම ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ගැළපෙන්නේ දැනුවත් සමාජයකට යැයි මතයක් ද තිබේ. ඒ මතය ඉදිරිපත් වූ විට බොහෝ දෙනෙක් කියන්නේ එසේ දැනුවත් මිනිසුන් නැති මේ රටට ඒකාධිපතියකු අවශ්‍ය බව ය. ඒ අප බොහෝ දෙනකු අපේ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු හොයන නිසා ය. ඒකාධිපතියකු කුමන දෙයක් කරන්නේ දැයි විශ්වාසයක් අපට තිබේ ද? ඒ ගැන වගේ වගක් නැතිව ඒකාධිපතියකු ඉල්ලන්නේ ක්ෂණික විසඳුම් හොයන කම්මැළියන් ය. ඔවුන්ට ලැබීමට නියමිත ඉඩි අමීන්ලා ය.

අප කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ඉවත දැමීම නොවේ. එය හොඳින් භාවිතා කළ හැකි දැනුවත් සමාජයක් බවට පත් වීම ය.

තමන්ගේ හයිකාරකම් යොදා ගෙන හෙදියන්ගේ හා වෙනත් සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය අභිලාෂයන් පාගා දැමීමට වෛද්‍යවරුන් කටයුතු නොකරන දිනයක මේ දැනුවත්භාවය අප කරා පැමිණෙනු ඇත. තමන්ගේ පටු අරමුණුවලින් මෙහෙයවන්නේ නැතිව රටේ පළල් අරමුණු වෙනුවෙන් වෛද්‍යවරුන් පමණක් නොව සෙසු සියලු වෘත්තිකයන් ද පෙනී සිටින දිනයක යුක්තියේ මූලික මූලධර්මවලට අනුව සියලු වෘත්තිකයන් හැසිරෙන දිනයක ඒ දැනුවත්භාවය අප කරා පැමිණෙනු ඇත්තේ ය.

පොඩි එකා ජාතික පාසලටත් ලොකු එකා රස්සාවකටත් දමා ගන්නට පුළුවන් එකාට ඡන්දය දෙන්නේ නැතිව, බිරියට මාරුවක් ගැනීමේ හා තමන් වැලි පර්මිට් එකක් ගැනීමේ අභිප්‍රායෙන් බලය ලැබෙතැයි සිතන එකාට ඡන්දය දිමෙන් හා වැඩ කිරිමෙන් තොරව, පොදු අභිවෘද්ධීය ඇති කිරීමට දායක වන සේ ඡන්දය දෙන්නට මිනිසුන් ඉදිරිපත් වනදාකට ඒ දැනුවත්භාවය අප කරා පැමිණෙනු ඇත.

තමන්ගේ ජාතියේ,ආගමේ,කුලයේ ගාම්භීරත්වය උදෙසා ද තමන්ට ලැබිය යුතු යැයි හිතන විශේෂ වරප්‍රසාද උදෙසා ද අයිතීන් උදෙසා ද සෙසු ජාතීන්, ආගම් හා කුල පාගා දමන්නට ඉදිරිපත් නොවන මිනිසුන් බිහිවුණු දිනයක මේ දැනුවත්භාවය අප කරා පැමිණෙනු ඇත.

එදාට අප වඩාත් ප්‍රබුද්ධ හා වඩාත් ඉදිරිගාමී නියෝජිතයන් පත් කර ගැනීමට කාගේවත් බලපෑමක් නැතිව ඉදිරිපත් වනු ඇත. එ දවස තව දුර ය. ඒ නිසා අපට සිදු ව ඇත්තේ දැනට මේ විගඩම් බලා සිටිමට ය. ඒ අතරේ බුද්ධීය අවදි කිරීමට කැමති සූදානම් මිනිසුන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීම ය.

නිශාන්ත කමලදාස

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *