එසේ වුවහොත් කෙසේ වේවිද? – අනුර සූරියබණ්ඩාර.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් පසුගිය දා ප්‍රකාශකර තිබුණේ ශ්‍රී ලං.නි.ප. යේ මන්ත්‍රී පිරිස තමා සමඟ එක පෙළට සිටගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට තමා සූදානම් බවයි.

19 වැනි ව්‍යවස්ථාවෙන් පවතින ව්‍යවස්ථා රාමුව තුළ ප්‍රායෝගිකව එවැන්නක් කිරීමට ජනාධිපතිවරයාට වුව හැකියාවක් තිබේද යන්න ගැටළුවකි. මන්දයත් එක් අතකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ජනාධිපතිවරයාට ලැබුණා වුව ද එක්සත් ජාතික පක්ෂයේ බලය ඉක්මවා බලයක් එනම් පැහැදිලි පාර්ලිමේන්තු බහුතර බලයක් පෙන්වීමට ජනාධාපතිවරයාට නොහැකි බැවිනි.

එසේ බලයක් පෙන්වීමට නම් ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ දේශපාලන පක්ෂ වැනි පක්ෂයක හෝ කණ්ඩායමක සහයෝගය ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිදු වනු ඇති බවට සැකයක් නැත. පවතින තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්දවාදි පිල සමඟ එක්ව ආණ්ඩු කරන්නට එවැනි බලවේගයක් හෝ පක්ෂයක සහයෝගයක් මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ මෛත්‍රි පිලට හෝ ලබාගත්හැකි වනු ඇතැයි කෙසේවත් බලාපොරොත්තු විය නොහැක. මක්නිසාද යනු එකී කණ්ඩායම් සහ පක්ෂ පසුගිය මැතිවරණ දෙකෙහිදිම එනම් ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේදී කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය උදෙසා මෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එකමුතුවෙන් යුතු ආණ්ඩුවක් සඳහා වන බැවිනි.

ඊළඟ කරුණ වන්නේ යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාගේ සහයෝගය මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබී දැනට පොහොට්ටුව වශයෙන් බෙදී සිටින පිරිසක් මෛත්‍රි මහතා සමඟ එක්වුවහොත් කුමක් සිදුවිය හැකිද යන්නයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා මේ මැතිවරණ ව්‍යාපාරය පුරාම පවසන ලද මුලික කාරණයක් වන්නේ තමා දූෂණයට වංචාවට පවුල්වාදයට ඒකාධිපතිවාදයට විරුද්ධ බවයි. ඇත්ත වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා අද ජනාධිපති ධුරයේ සිටින්නේ ද ඔහු මුල් අවධියේ එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳී ආ මොහොතේ ද එසේ බිඳී ආවේ දූෂණය භිෂණය වංචාවට පවුල් වාදයට ඒකාධිපතිත්වයට විරුද්ධව ධජය අතට ගනිමින් බැවිනි. ඔහු රටේ ජනාධිපති ධුරය කරා ඔසවා තබවු ලැබුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට තමා සමඟ එක පෙළට සිටගන්නැයි ඔහුම ආරාධනා කරන පිරිසකගේ සහයෝගයෙන් නොවේ. දුමින්ද දිසානායක වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතලොස්සක් හැර ශ්‍රී කංකා නිදහස් පක්ෂයේ අද මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ (ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව) එක පෙළට සිටගෙ සිටින පිරිස පවා එකල සිටියේ මෛත්‍රි විරෝධින් වශයෙනි. ඔවුන් අවසන් මොහොත දක්වාම උත්සාහ කළේ එදත් අදත් මෛත්‍රි විරෝධින් වශයෙනි. ඔවුන් අවසන් මොහොත දක්වාම උත්සාහ කළේ එදත් අදත් මෛත්‍රිපාල මහතා උස්හඬින් කියන දූෂණය, වංචාව, භීෂණය, පවුල්වාදය ඒකාධිපතිවාදය රටින් තුරන් කරන්නට නොව ඒ සියල්ල රට තුළ ස්ථාවර කර නැවත ගැලවිය සෙලවිය නොහැකි පරිදි ස්ථාපිත කරන්නටය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ම පවසන පරිදි සහ මේ වන විට රටම දන්නා පරිදි පසුගිය ආණ්ඩුව යටතේ එනම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමා සමඟ එක පෙළට සිටගන්නට යැයි මෛත්‍රි මහතා ආරාධනා කරන පිරිස විසින් රට පාලනය කෙරුණු සමයේ, සිදු වූ බව කියන බරපතළ දූෂණ සහ වංචා 34ක් පිළිබඳ සොයා බැලීම සඳහා මෛත්‍රි මහතා පත්කළ කොමිසමේ වාර්තා 34ක් මේ වන විට ඔහු සතුවත් රට හමුවේත් තිබේ. එකී කොමිෂන් වාර්තා 34හි ලියැවී ඇත්තේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවන්නට එක් වන්න යන ආරාධනාව මෛත්‍රි මහතා ගෙන් ලබන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මහින්දාන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග ආදීන්ගේ හෝ ඔවුන්ගේ ආශිර්වාදය යටතේ මෙරට දේපල, මුදල් අවභාවිත කළ වංචා කළ ඔවුන්ගේ ගෝලබාලයන්ගේ, හිතෛෂීන්ගේ වග වාසගම් මිස අන්කිසිවක් නොවන බව අනුමානයකින් තොරවම පැහැදිලිය.

එවැනි තත්ත්වයක් යටතේ ඔවුන්ගේ සහය ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පිහිටුවන්නේ නම් එතුමා ම කියන ආකාරයට පක්ෂ පාට භේදයෙන් තොරව එතුමාගේ කඩුව වනන්නට හැකියාව එත්‍රමාට ලැබෙනු ඇතැයි සිතිය හැකිද?

ඉහතකී කොමිෂන් සභා වාර්තාවේ නම් සඳහන් පිරිස තවමත් පෙනී සිටින්නේ මහින්දවාදය එනම් දූෂණය, වංචාව, භීෂණය, ඒකාධිපතිත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් බව ඔවුන් කටයුතු කරමින් සිටින ආකාරයෙන් මෙන්ම ඔවුන්ගේ ප්‍රකාශවලින් ද පැහැදිලි වේ. එවැනි තත්ත්වයක් තුළ මෛත්‍රිපාල සිරිසේන මහතා ඔවුන්ගේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකළහොත් සිදුවනු ඇත්තේ ජනාධිපතිවරයා මහ හඬින් උදම්අනන කොමිෂන් සභා වාර්තා හමස් පෙට්ටියේ බහා සුරක්ෂිතව තැන්පත් කර තබන්නට මිස අන් දෙයක් නොවේ.

වැදගත්ම කාරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාගේ සහයෝගය ලැබී හෙට දිනයේ මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවුවහොත් 2015 ජනවාරි 08 දිනට පෙර මෛත්‍රි මහතා දුන් යහපාලන පෙරොන්දුවලට සිදුවන්නේ කුමක්ද යන්නයි. වසර තුනක කාලයක් තිස්සේ එම පොරොන්දු නියම ආකාරයෙන් ඉටු කරන්නට එතුමා ප්‍රමුඛ ආණ්ඩුවට නොහැකි වී තිබේ. එනම් වසර තුනක යහපාලන ගමන පැමිණ ඇත්තේ අධිවේගයෙන් නොව ඉබි ගමනිනි. පැවති තත්ත්වය තුළ වුවත් තොරතුරු පනත, අධිකරණයේ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන්, ස්වාධීන කොමිෂන් සභා ආදිය ජනතාවට හිමි වී තිබේ. නමුත් පොහොට්ටුව සමඟ හවුලට යාමෙන් විගණන පනත, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විධායකය අහෝසි කිරීම ආදි ඉලක්ක සපුරා ගන්නට හැකි වනු ඇතැයි මෛත්‍රි මහතා සිතනවාදැයි අප දන්නේ නැත.

මූලික වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා තේරුම්ගත යුතු වන්නේ ජනවාරි 08 වැනිදා රටේ ජනතාව ඔහුට ඡන්දය දී ජනාධිපති ධූරයට පත් කළේ ශ්‍රී ලංකා කාරයන් සමග එක පෙළට හිටගෙන ශ්‍රී ලංකා ආණ්ඩුවක් බිහිකරන්නට නොවන බවයි. ඔහු බලයට එන්නට පෙර පොරොන්දු වූයේ එක්සත් ජාතික පක්ෂ සමග ආණ්ඩුවක් කරමින් රටේ යහපාලනය ගොඩ නගන්නටය. අවුරුදු දෙකකින් හෝ තුනකින් පසුව හෝ පැරණි දූෂිතයන් සමඟ එක්වී ආණ්ඩුකරන බවක් ජනාධිපතිවරණ සමයේ කීවේ නම් මෛත්‍රිපාල සිරිසේන මහතාට නියත වශයෙන්ම හිමිවන්නට තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට අද හිමිව ඇති තැනටත් වඩා බරපතළ ඉතිහාසයේ කුණු මුල්ලකි. ඒ බව වටහාගෙන කටයුතු කරනු මිස ඡන්දය දිනිමේ හුදු අරමුණ පෙරදැරිව හෝ අපතයන් සමඟ එක්වීමට කරන කතා සැලකිය යුත්තේ යහපාලන අපේක්ෂාවෙන් මෛත්‍රි මහතාට බලය ලබා දුන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදි හිතෛෂී බුද්ධිමත් ජනතාවට කරන බලවත් නිග්‍රහයක් වශයෙනි.

අනුර සූරියබණ්ඩාර.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *