සෝභිත හිමියන්ට ජනතා සංදේශයක්

ගෞරවණීය සෝභිත හිමියනි,

ඉතා හදිසියේ මෙසේ ඔබ වහන්සේට ලිවීමට අදහස් කළේ මහත් සතුටුදායක ආරංචියක් දැනුම් දීම සඳහාය. එම පුවත නම්, අලුතින් ඉදිකරන ලද රාජගිරියේ ගුවන් පාලම ඔබ වහන්සේ නමින් නම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යෝජනා කළ බවය.

රටම දන්නා පරිදි 2015 ජනවාරි 08 වෙනසෙහි ප්‍රධාන නියමුවාණන් වහන්සේ ඔබය. රාජපක්ෂ රෙජිමය යනුවෙන් එකල හැදින්වුණු අතිශය බියකරු, මහජන විරෝධී, අධිකාරිවාදී, ඒකාධිපති, මිනිස් ඝාතක පාලනය පෙරළා දමන්නට මුල් පියවර තබනු ලැබුවේ ඔබවහන්සේ විසිනි. එකල ඔබ වහන්සේ හැර අන් කිසිවකු රාජපක්ෂ රෙජීමය දණගැස්ස විය හැකි හැයි සිහිනයකින් පවා සිතුවේ නැති බව සැබෑවකි. අවම වශයෙන් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෝ තමන්ට ශ්‍රී ලංකාවේ ජනාධිපති හෝ අගමැති වීමට හැකිවනු ඇතැයි කිසිසේත් සිතුවේ නැත.

ඒ වන විටත් එක්වරක් ඉදිරිපත් වී පරාජයට පත් වී තිබුණු තුරුම්පුවක්, එනම්, පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම හරහා මහින්ද රාජපක්ෂ නමැති විධායක ජනාධිපතිවරයා පරාජය කළ යුතුය, පරාජය කළ හැකිය යන සංකල්පයේ නිර්මාතෘ වරයාණන් වූයේ ඔබ වහන්සේය. ඒ වන විටත් එක් වරක් එකී සංකල්පය පරාජය වී තිබුණු බව සදහන් කළේ, සරත් ෆොන්සේකා මහතා හරහා ඊට පෙර ජනාධිපතිවරණයේ දී ඒ උත්සාහය ඉදිරිපත් වී අසාර්ථක වූ බැවිනි. එවැනි තත්ත්වයක් තුළ රාජපක්ෂ විරෝධි බලවේග එක මිටකට කුළු ගන්වා බල ගන්වා පොදු අපේක්ෂකයකු යන සංකල්පය ගොඩනංවා පැවති ඒකාධිපති වියරුව පරාජය කිරීම වනාහී ඔබවහන්සේගේ කැපවීමත් එඩියත් පෙන්නුම් කිරීමක් බව අමුතුවෙන් කිවයුතු නැත.

එකී සටනේ ඔබ වහන්සේලේ මූලික අපෙක්ෂාවන් වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසිකරන තත්ත්වයකට යෑමය. ඒ සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සිදු කිරීමය. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත කළ වැඩසටහනේ දින 100 තුළ ඉටුකරන ප්‍රධාන කටයුත්තක් ලෙස විධායක ජනාධිපති ධුරය අවසන් කිරීම සටහන් වූයේ ඒ අනුවය ඒ මෙසේය.

‘‘දැන්ට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය අහෝසි කිරමින් ස්වාධීන අධිකරණ කොමිසම, ස්වාධීන් පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම,  ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන් අල්ලස් හා දූෂණ කොමිසම හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුළත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ආරම්භකර හැකි ඉක්මනින් සම්මත කිරීමට පියවර ගැනිම.

ඔබ වහන්සේත් දන්නා පරිදි කොමිෂන් සභා පත්කෙරෙන හා  18 වන ව්‍යවස්ථාව අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනය එනම් 19 වන සංශෝධනය ඇති කෙරුණ ද විධායක ජනාධිපති ධූරය මුළුමනින් අහෝසි කිරීම ආණ්ඩුවට දින සීයේ ඒවා හයගුණයක් පමණ ගෙව අවසන් වන විටත් ඉටු වී නැත.

ඔබවහන්සේගේ අපේක්ෂා වූයේ ජනාධිපතිවරයා කවර පක්ෂයකින් ඉදිරිපත් වුවද ජයග්‍රහණයෙන් පසුව ඔහු හෝ ඇය නිර්පාක්ෂික එනම් පක්ෂ දේශපාලනය අත්හළ යුතුය යන්නය. නමුත් අවසානයේ සිදු වූයේ එය නොව පක්ෂයෙන් ස්වාධිනව ජනපතිවරණයට ඉදිරිපත් ව ජයග්‍රහණය කළ අපේක්ෂකයා පක්ෂයේ සභාපති ධූරය භාර ගැනීමය. දැන් විධායක ජනාධිපති ධුරය ආරක්ෂා කරන පදනමක සිට කටයුතු කරන්නෝද එසේ ජනාධිපතිවරයා නායකත්වය බාරගත් පක්ෂයේ තැනැත්තන් වීම දෛවෝපගත කරුණක් ලෙස ඔබවහන්සේට දැන්විය යුතුය. ඔබ වහන්සේ මූලික වී  පත්කළ ආණ්ඩුවට තුන් වසරක් පිරේන්නේ 19 වන සංශෝධනයෙන් බලගැන්වුණු එක් කොමිසමක් වන අල්ලස් හා දූෂණ කොමිසමේ සභාපතිනිය විධායකයේ දෝෂ දර්ශනයට ලක් වී ඉල්ලා අස් වූ වටපිටාවකය.

මනාප ඡන්ද ක්‍රමය මුළුමනින්ම අහෝසිකර සෑම මැතිවරණ කොට්ඨාශයකටම මන්ත්‍රීවරයකු ලැබෙන පරිදි ආසන ක්‍රමය සමානපාතික ක්‍රමය සම්මිශ්‍රණයක් සහිත නව මැතිවරණ ක්‍රමය සදහා යෝජනා ඉදිරිපත් කිරීම පිළිබද සර්ව පාක්ෂික කමිටුව පත්කිරීමට නියමිතව තිබුණේ දින 100 වැඩසටහන යටතේ 2015 ජනවාරි 28 වන බදාදා බව ඔබවහන්සේට මතක ඇතුවා වන්නට පුළුවන. එහෙත් අද වනවිටත් සිදුව ඇත්තේ පළාත් පාලන මැතිවරණය සදහා ඒ ක්‍රමය අනුගත කිරීම පමණි. පළාත් සභා මැතිවරණය හා මහමැතිවරණය සදහා එම ක්‍රමය ලැබේද නැද්ද යන්න තවමත් පවතින්නේ වැට උඩය. ඇමති මඩුල්ල 35ක් වීමද තවමත් සිහිනයකි.

2015 ජනවාරි 08 වෙනසට අවුරුදු තුනක් ගතවන විට මෙරට සිදුව ඇති තීරණාත්මක වෙනසක් යැයි කිවහැකි කිසිවක් නැතිබව කණගාටුවෙන් වුව ඔබවහන්සේට දන්වා එවිය යුතුය. ප්‍රතිසංස්කරණ සමහරක් සිදුව ඇති නමුත් නීති සමහරක් පනවා ඇති නමුත් එසේ පනවන ලද නීති ක්‍රියාත්මක වන බවක් පෙනෙන්න්ය නැත. පසුගිය ආණ්ඩුව සමයේ සිදුව ඇති දූෂණ වංචාවලට නඩු සමහරක් පනවා ඇති නමුත් ඒවාහි ගමන සිදුවන්නේ ඉබිගමනටත් වඩා අඩු වේගයකිනි. තාජුදින් ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම ආදි නොයෙක් දේ ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම යන්න 2015 ජනවාරි 08 සටන් පාඨයක් වී තිබුණු බව හෝ පුධාන පක්ෂ දෙකටම මතකයේවත් තිබේද යන්න ප්‍රශ්නයකි.

ප්‍රධාන පක්ෂ දෙක එකමුතුවෙන් රටේ යහපත සඳහා කටයුතු කරනු ඇත යන් බලාපොරොත්තුව වෙනුවට දැන් දෙපිරිසටම අවශ්‍ය වී ඇති බව පෙනෙන්නේ තමන්ගේ ආණ්ඩුවක් තනාගනීමට ය. ඔබ වහන්සේ මුළුමනින්ම විරුද්ධ වූ දූෂණය පිළිබද චෝදනා ද ආණ්ඩුවට වසර තුනක් ගතවෙද්දී එල්ල වෙමින් පවතී. ඉන් එකක් බැඳුම්කර පිළිබඳ ප්‍රශ්නයකි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල පිළිබඳ ප්‍රශ්නය තවත් එකකි. මාධ්‍ය මර්ධනය ඍජුව නැති වුවද වෙබ් අඩවි හරස් කිරීම් ආදිය හරහා ඊටත් මුලපුරා තිබේ.

ජනවාරි 08 වෙනසට අවුරුදු තුනක් පිරීම නිමිතිකරගෙන වත්මන් ජනාධිපතිවරයාට තමාගේ නිලකාලය වසර පහ ද හය ද යන ගැටලුවක් මතු වූ බව ඔබ වහන්සේ නොදන්නවා වෙන්නට පුළුවන. ඒ පිළිබඳ තීරණය අධිකරණයෙන් වසර පහක් වශයෙන් දන්වා තිබුණේ, රාජපක්ෂ පාලන සමයේ මෙන් එකී තීරණ වෙනස් කරවා ගන්නට අධිකරණයට පලපෑම් කිරීම හෝ තීරණය දුන් විනිසුරන්ට විශ්වාස භංග ඉදිරිපත් කිරීම සිදු නොවූ නමුත් අහෝසි කරන්නට නියමිත විධායකයේ ආයු කාලය අධිකරණයෙන් විමසීම, ඔබවහන්සේ ගිය මග ගත් පොදු ජනතාවට මත් ගැටලුවක් වී තිබේ. අලුත් ව්‍යවස්ථාවක් සේම විධයකය අහෝසි කිරීමද දැන් දැන් පස්සෙන් පස්සට යන බවක් පෙනෙන්නට තිබේ. එවැනි වටපිටාවක ඔබ වහන්සේ නමින් පාලමක් නම් කරන්නට යෝජනා වීම පිළිබද ඔබවහන්සේගේ මතය දැනගන්නට රටේ මහජනතාව ඉතා කැමැත්තෙන් සිටිති. විශේෂයෙන්ම රටේ ජනතාව බලාපොරොත්තුවන්නේ සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය ගොඩනැගීමෙන් ඔබ වහන්සේගේ සැඟවුණු බලාපොරොත්තුව වූයේ තමන් නමින් පාලමක් නම් කරනු ලබනු දැක්ම ද යන්න නිවැරැදිව දැනගැනීමයි. ඒ පිළිබඳව ඔබ වහන්සේ ගේ අවංක මතය ඉක්මනින් දන්වා එවන්නේ නම් එය මෙරට පාලකයන්ගේත් පොදු ජනතාවගේ මහත් සැනසීමට හේතුවක් වනවා නොඅනුමානය. ස්තූතියි. ඒ වගත් මෙසේම.

සාධාරණ සමාජයක් පතන ජනතාව

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *