|

කුකුළා පිටත් අශ්වයා පිටත් එන ජනපති මෛත්‍රී

කිසිවකු නොසිතූ ආකාරයට පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කැපී පෙනෙන ලෙස මෙහෙයවන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල ක්‍රියා කළා. ජනාධිපතිතුමා කළ ප්‍රහාරාත්මක ප්‍රකාශ නිසා අනෙක් සියලු පක්ෂ තරමක් තැති ගැන්මකට ලක්වූ බවත් පෙනෙන්නට තිබුණා.

ජනාධිපතිතුමා කළ ප්‍රකාශයක් කාගේත් අවධානයට ලක්වුණා. එනම්  ශ්‍රීලනිපයේ 96 දෙනාම තමා සමඟ එකට සිට ගන්නේ නම් තමන් ගේ ආණ්ඩුවක් හැදීමට වහාම කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ ප්‍රතිචාර දක්වන්නට වුණා. කෙසේ වෙතත් ජනාධිපතිතුමා පසුව තමා කීදේ පැහැදිලි කළා. එතුමා කීවේ මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ සිටින දූෂිතයන්ට තමා සමඟ එක්වන්නට බැරි බවකි. ශ්‍රී ලනිපයේ දූෂණයෙන් තොර ආණ්ඩුවක් හදන්න එම පිරිස එකතු නොවන බව දැන දැනම තමා එම ප්‍රකාශය කළ බව ජනාධිපතිතුමා පැහැදිලි කළා.

මාතලේ ගොංගාවිල බස් නැවතුම්පළේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකට ජනාධිපතිතුමා පසුගිය සඳුදා සහභාගී වුණා .සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නන්දිමිත්‍ර ඒකනායක, වීර කුමාර දිසානායක මහත්වරුන් ඇතුළු පිරිසක්ද එයට සහභාගී වී සිටියා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සං‍ශෝධනය සම්මත කරගත්තේ රටේ රාජාණ්ඩු ක්‍රමයක් බිහිකිරීමට බවත් එයින් ජනාධිපතිට ඇමෙරිකාවේ ජනාධිපතිට වඩා බලයක් හිමිව තිබූ බවත් ජනාධිපතිතුමා එහිදී කීවා. තමා 19 වැනි සංශෝධනය මඟින් ජනාධිපති බලතල අඩුකොට ඒවා පාර්ලිමේන්තුවට ලබාදුන් බවත් ජනාධිපතිතුමා කීවා. බලය සමඟ දූෂණය ද වැඩි වන බවත්, බලය වැඩිවන විට දූෂණයද වැඩි වන බවත් කී ජනාධිපතිතුමා එය වළක්වන්න බැරි බව ලෝක ඉතිහාසයෙන් ඔප්පු කර තිබෙන බව පැවසුවා.

සන්ධානයේ වැඩ සියල්ල අවුල්කර පරාජයට ‍ගෙනගිය කෙනා රට හැර ගොස් පරාජයේ වගකීම භාරගෙන ලිපියක් එවූ බව ජනාධිපතිතුමා කීවේ කටුනායක පැවැති ජන රැලියකට සහභාගී වෙමින් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිතුමිය ද ‍මෙයට සහභාගි වී සිටියා. එදා පරාජයේ

වගකීම භාරගත් අය දැන් පැමිණ අලුත් පක්ෂ හදාගෙන ජයගන්නා බව කිව්වත් ඔවුන්ට ජනතාව නොරැවටෙන බවද ජනාධිපතිතුමා කීවා.

2015 රාජපක්ෂ ආණ්ඩුව පැරදුණේ දූෂණය නිසා බව කී ජනාධිපතිතුමා එකල රාජපක්ෂ පවුලේ උදවිය බදාදා උදේ කෑම ගත්තේ එකට බවත් තමන් ආණ්ඩුවේ හිටියත්, ආණ්ඩුව ප්‍රතිපත්ති තීරණය කරන්නේත්, රජයේ පත්කිරීම් තීරණය කරන්නේත් රාජපක්ෂ පවුලේ බදාදා රැස්වීමෙන් බවත් ජනාධිපතිතුමා මෙහිදී හෙළිදරව් කළා.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පවත්වන අතර ජනාධිපතිතුමා මාධ්‍ය සාකච්ඡාවකට බදාදා එක්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයට ලකුණු හතරකින් තරග කරන බව ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළා. අත ලකුණින්, බුලත් කොළය ලකුණින්, කුකුලා ලකුණින් හා අශ්වයා ලකුණින් තමන් තරග කරන බව ජනාධිපතිතුමා කීවා. කුකුළා තොන්ඩමන් මහතාගේ පක්ෂයටත්, අශ්වයා අතාවුල්ලා මහතාගේ පක්ෂයටත් හිමි ලකුණු වනවා.

බැඳුම්කර කොමිසමේ හා බරපතළ දූෂණ ‍කොමිසමේ වාර්තා ගැන 6දා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නේ තමන්ගේ අභියෝගය නිසා බව කී ජනාධිපතිතුමා එක් දිනක විවාදයකින් වැඩක් නැති බවත් කීවා. මෙය දින දෙක තුනක් විවාද කළ යුතු බවද ජනාධිපතිතුමා කීවා.

බදුල්ලේ පැවති ප්‍රචාරක රැලියකටද ජනාධිපතිතුමා එක් වුණා. නිමල් සිරිපාලද සිල්වා, ඩිලාන් පෙරේරා, ඇමැතිවරුන් හා ඌවේ මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාද මෙම රැස්වීමට එක්ව සිටියා.

බ්‍රහස්පතින්දා අම්පාරේ රැලියට එක් වීමට නියමිතව තිබූණද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උදේම අරලිය ගහ මැදුරට පැමිණියා.අගමැතිවරයා හමු වීමට මැති ඇමතිවරුන් පිරිසක් එහි පැමිණ සිටියා.

“ බැඳුම්කර හා බරපතළ දූෂණ වංචා කොමිසම් දෙකට පාර්ලිමේන්තු විවාදය ඡන්දයෙන් පස්සට දැම්මාය කියන බරපතළ චෝදනාවට උත්තර ලෙස ඡන්දයට කලින් එම විවාදයට දින නියම කිරීම කවුරුත් අගයනවා ” වජිර අබේවර්ධන මහතා මුලින්ම කථාවට මුල පිරුවා.

“ අගමැතිතුමා 08 දා පාර්ලිමේන්තුව කැදවමු කිව්වා. ඒක මැතිවරණයට ගැටලු සහිතයි කියල පක්ෂ නායක රැස්වීමේදී මැතිවරණ කොමිසමේ මතය වුණා. පස්සේ 06 හෝ 07 විවාදය කරමු කියල අගමැතිතුමා කතානායකතුමාට ඇමතුමක් දීල කියල තිබුණා. ඊළග පක්ෂ නායක රැස්වීමේදී අගමැතිතුමාගේ අදහස එළි දුටුවා. 06 දා කැබිනට් එක කැන්සල් කරන්න ජනාධිපතිතුමා තීන්දු කරල තිබුණ නිසා එදිනට විවාදය යොදා ගත්තේ ජනාධිපතිතුමා හා ශ්‍රීලනිපය වෙනුවෙන් මහින්ද සමරසිංහ හරහා ආපු ඉල්ලීමටයි. එදින මුළු දවසම විවාද කරමු කියලත් අගමැතිතුමා කතානායකට කියල තිබුණා. එදින හවස 03 හා 07 අතර පැය කීපයේ විතරක් ඡන්ද රැලි නිසා තමාට විවාදයට එක්වෙන්න අමාරු බව අගමැතිතුමා දන්වලා තිබුණා. දැන් විවාදය පවත්වනවා ඡන්දයට පෙර විවාදය නොපවත්වන්න අපි උත්සාහ කළා කියන තර්කය දැන් නිශ්ප්‍රභා වෙනවා” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුබිම විස්තර කළා.

අනික විවාදය ඡන්දයට කළින් නොතියාවි කියල හිතල මුලින් කියල විවාදයට සියල්ල සූදානම් කළාට පසු ඒක ඇස් බැන්දුමක් කියල කීමත් පුදුම දෙයක් බව ජනතාව කියනවා” පී හැරිසන් ඇමතිවරයා කිව්වා.

“ඕව ඔච්චර ලොකුවට හිතන්න එපා. සියලු පක්ෂ මේ වෙලාවෙ මැතිවරණයෙන් උපරිම වාසි ගන්නයි බලන්නෙ. ඒක සාමාන්‍ය දෙයක්” අගමැතිවරයා කීවේ ඉතා සැහැල්ලුවෙන්.

“මහින්ද යුගයේදී රු: ට්‍රිලියන 10ක් ණය අරන් ඉන් 09ක් ආගිය අතක් නැති බවටත් කතාවක් එළියට ආවා. විගණකාධිපති දෙපාර්තුමේන්තුවෙන් මේ සංඛ්‍යා ලේඛණ දුන්නා කියලයි කියන්නේ. 2016 බැඳුම්කරේ ගැනත් ඔය දෙපාර්තුමේන්තුව දීපු සංඛ්‍යා ලේඛණ නිවැරදි නැති බව බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව පෙනී යනවා. ” ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

“ මේ රජය යටතේ ආපු මුදල් සමාගම් වලට ගියා කියලත් චෝදනාවක් එල්ල වුණා නේද” ගයන්ත කරුණාතිලක ඇසුවා.

“ මුදල් අමාත්‍යංශය පැත්තටයි ඒ චෝදනාව එල්ල වුණේ. එහෙම දෙයක් වෙලා නැති බවයි මට ආරංචි. ඒත් ඒ ගැනත් අපි සොයනවා. ” මගේ ගෙදර දූෂිතයෝ නෑ. ඉන්නවා නම් ඒ අයට පවතින්න ඉඩක් නෑ. ” අගමැතිවරයා වැඩි දුරටත් කිව්වා.

කොමිසම් වාර්තා පාර්ලිමේන්තුවට දැම්මම වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. ජනාධිපතිතුමාට වුණත් ඒකට බලපෑම් කරන්න තියෙන ඉඩ ඉතා අඩුයි. 06 දා විවාදයට ටී.එන්.ඒ හා මනෝ ගනේෂන්ගේ පක්ෂය එන්නේ නැති බව ඇගෙව්වා. ඡන්දය කටේ තියාගෙන කොයි පක්ෂයටත් අමාරුයි”ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

“ මහින්ද මහත්තයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන නිර්දේශ වංචා හා දූෂණ කොමිසමේ පිටු එක්දහස් ගණනේම නැති බව ඒකාබද්ධය කියනවා. ඒත් පිටු අංක 138 ඉදල 151 දක්වා පිටුවල එය සඳහන් වෙන බව අජිත් පෙරේරා රටට පැහැදිලි කළා.” ගයන්තා කරුණාතිලක කීවේ එහිදී මතුවූ පැනයකට පිළිතුරු ලෙසයි.

“ මහින්ද මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන නිර්දේශ ගැන එජනිස හා ශ්‍රිලනිප මහ ලේකම්වරුන්ගේ ස්ථාවරය රටට එළි කරන්න කියල එජාප පසුපෙළ ඔවුන්ට ලියුමක් ලියන්න යනවා කියල මට දැන්වූවා. ඒවායේ පිටපත් ජනාධිපති හා අගමැතිටත් යොමු කරන බව මන්ත්‍රීවරු කිව්වා” ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

“එජාපය අපේ මැතිඇමතිවරුන්ට ඔප්පු නොවූ චෝදනා ආපු ගමන්ම පියවර ගත්තා. දැන් ශ්‍රීලනිප අනුශාසක මහින්ද ගැන එජනිස හා ශ්‍රීලනිපය ගන්නා පියවර ගැන මුළු රටම බලා ඉන්නවා කියලයි මිනිස්සු කියන්නේ” නවීන් දිසානයක මහතා කිව්වා.

“පළාත්පාලන මැතිවරණය එජාපය දිනනවා. යම් තැන්වල 50% ගන්න අමාරු වුණොත් විකල්ප විසඳුමක් බලමු. සමීක්ෂණ වාර්තා එජාපයට හොඳ මට්ටමේ තියෙන්නෙ” අගමැතිවරයා කිව්වා.

“මහින්දට චෝදනා එල්ල කළත් ඔහු ජනාධිපතිකම් කරන කාලෙ තිබුණු මුක්තිය ඊට හරස් වේ දැයි සමහරු අහනවා” පී.හැරිසන් ඇහුවා.

“ජනාධිපතිකම් නැතිවූ පසු ජනාධිපතිකම් කරන කාලෙ කළ වැරදි තිබේ නම් ඊට වගකියන්න වෙනවා. චන්ද්‍රිකා මැතිණියගෙ ජනාධිපතිකම නැතිවූ පසු වෝටර්ස් ඒජ් වලට අදාළ චෝදනාවෙදි වරද පැටවිලා එතුමියට වන්දි පවා ගෙවන්න වුණා” එජාප නීති අංශ ප්‍රධානියෙක් පැහැදිලි කළා

මැතිවරණ අපේක්ෂකයන් දිරිමත් කරමින්, තැනින් තැන යමින් ඉතා යුහුසුළුව සිටි සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට පසුගියදා හදිසි දුරකථන ඇමතුමක් ආවා. “අපි ආසියා පැසිෆික් කලාපයේ රටක ආයෝජක කණ්ඩායමක්. අපට ඉතාම ඉක්මනින් ඔබතුමා හමුවීමට අවශ්‍යයි” දුරකථන පණිවුඩයෙන් කියවෙද්දි සජිත් ඇසුවේ “මොකක්ද හදිස්සිය” කියායි. “අපි ණය පැකේජයකුත් එක්ක ශ්‍රී ලංකාවේ ගෙවල් හදන ව්‍යාපෘතියක් අරන් ඇවිත් ඉන්නේ. ඔබතුමාටත් වාසියක් ලැබෙන විදියටයි ඒක හදලා තියෙන්නේ. ඒකට ඔබතුමාගේ ආශීර්වාදය, අනුමැතිය ලබාගන්න අවශ්‍ය නිසා පෞද්ගලිකවම හමුවෙන්න ඕනෑ”යි ඇමතුම්කරු කියද්දි සජිත් ඇසුවේ “මම කරගෙන යන නිවාස වැඩපිළිවෙළ හරියට හඳුනාගෙනද ඔහොම කතා කරන්නේ?” යනුවෙන්.

“මම දේශපාලනයට ආවේ මුදල්, ආර්ථික වාසි බලාගෙන නෙවෙයි. අවංක පිරිසුදු පරිණත සේවයක් කරන්නයි. ඔය කතා කරපු විදියෙන් ඔබ දැනටමත් අවලංගු කාසියක් වෙලා ඉවරයි” සජිත් කියද්දී අනිත් පැත්තෙන් කීවේ “නෑ නෑ එහෙම නෙවෙයි, අපට හමුවෙන්න අවස්ථාවක් ලබාදෙන්න” කියායි.

ඒ වනවිට රතු කට්ට පැන සිටි සජිත් කීවේ “පිංසිද්ධ වෙයි, මේ පැත්ත පළාතෙවත් එන්න එපා. පරිත්‍යාගයක් තිබෙනවා නම් නීත්‍යානුකූල “සෙවණ අරමුදල” තියෙනවා. ඒකට බැර කරලා රිසිට්පතක් ලබාගන්න. රජයේ බදු සහනත් ලබාගන්න පුළුවන්. හැමෝම පිංතාරු කරන පින්සලෙන් මාව පිංතාරු කරන්න විතරක් හදන්න එපා. ඔය කොන්ත්‍රාත්තුව ගැන තව එක වචනයක් කතා කළොත් මම වහාම අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා” කියායි. ඒ මොහොතේම සිය අමාත්‍යාංශය වෙත කතා කළ සජිත් නියෝග කළේ සංවර්ධන යෝජනා රැගෙන එන පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන එම යෝජනා ලිඛිතව පමණක් ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.

70 වැනි නිදහස් දින උත්සවයේ කටයුතුවලට මෙන් ම එළඹෙන පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නිසා ඉකුත් සතියම වජිර අබේවර්ධන ඇමතිවරයා දැඩි ලෙස කාර්යබහුල වී සිටියා.

නිදහස් දිනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවක් ඉකුත් 26 සිකුරාදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවතියේ ඇමති වජිරගේ ප්‍රධානත්වයෙන්. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොරදී අතිඋත්කර්ෂවත් අන්දමින් 70 වැනි නිදහස් උත්සවය පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ඇමතිවරයා මෙහිදී සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමති වජිර සඳහන් කළේ ‘‘මෙවර නිදහස් දින තේමාව එකම දැයක්. ඒ නිමිති කර ගෙන විශේෂ ලාංඡනයක් ද නිර්මාණය කර තිබෙනවා. ඒ අතර සමරු මුද්දරයක් ද නිකුත් කිරීමට නියමිතයි. එදින රාත්‍රියේදී කොළඹ නගර සභා භූමියේදී සංස්කෘතික හා සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතයි‘‘ යනුවෙනුයි.

27 සෙනසුරාදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග වජිර අබේවර්ධන ඇමතිවරයා ගාල්ලට ගියේ ගාලු ආහාර ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වීමටයි. මෙහිදී අගමැතිවරයාගේ සුරතින් ගාල්ල මහ නගර සභාවට කසල ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සිදු වුණා. මේ සදහා මුල් වී ක්‍රියා කළේ ඇමති වජිරයි.

ඉකුත් සතියේදී උදෑසන කාලයේ අමාත්‍යංශයේ සිටිමින් නිදහස් දින උත්සවය සාර්ථක කර ගැනීමේ කටයුතු සඳහා වෙහෙසුන ඇමති වජිර සවස් කාලයේදී ගාලු ගියේ පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ප්‍රචාරක රැස්වීම් සඳහා එක්වීමටයි. මේ සඳහා ඉහළ ජන සහභාගීත්වයක් පැවතියා.

පසුගිය සතියේ ජවිපෙ නායකයා මැතිවරණය වෙනුවෙන් රැස්වීම් ගණනාවකට සහභාගි වූයේ උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාත්වලයි. මොණරාගල, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල එක දිගට ජන රැුලි, ජනහමු සහ අපේක්ෂකයින්ගේ සුහද හමු සඳහා ජවිපෙ නායකයා සහභාගි වුණා. මෙම ගමනේදී මඩකලපුව විශේෂත්වයක් ගත්තා. මෙවර ජනතා විමුක්ති පෙරමුණ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් පළාත් පාලන ආයතනවලට තරඟ කරන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. එම දිස්ත්‍රික්කයේ ජවිපෙ අපේක්ෂකයින්ට සහය පළ කරමින් වාලච්චේන, එරාවුර්, කාත්තන්කුඩි යන ප්‍රදේශවලදී පළමු වතාවට ජවිපෙ නායකයෙකුගේ සහභාගිත්වයෙන් මැතිවරණ රැස්වීම් 03ක්ද පැවැත්වුණා. මෙහිදී ජවිපෙ සංවිධායකයින් මැතිවරණ වේදිකාව කඩිනමින් ඉදිකර ගත හැකි පරිදි සකස් කොට රැස්වීම් සඳහා යොදා ගත්තා. එරාවුර් ජනහමුව සංවිධානය කළ වෙලාව ආසන්න වන විට ප්‍රදේශයේ ජනතාව විශාල ප්‍රමාණයක් රැස් වුණා. නමුත් වේදිකාව තිබුණේ නැහැ. ජවිපෙ සාමාජිකයෝ විනාඩි 12ක් පමණ කාලයක් තුළදී වේදිකාව සකස් කොට ජවිපෙ නායකයාට රැස්වීම ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව සලසා දුන්නා. මෙම අත්දැකීම මීට පෙරදී අත්විඳ නොසිටි එරාවුර් ජනතාවට එය පුදුමයක් වුණා.

එරාවුර් ජනහමුවට ප්‍රදේශයේ ජනතාව දෙදහසකට අධික පිරිසක් පැමිණ සිටියා. රැස්වීම සංවිධානය කිරීමට ගිය ජවිපෙ සාමාජිකයින්ට විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදු වුණා. ජවිපෙ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ භූමිය ආසන්නයේම ඇමති හිස්බුල්ලාගේ රැස්වීමක් සංවිධානය කර ශබ්ද විකාශන යන්ත්‍ර යොදා තිබුණේ ජවිපෙ රැස්වීමට බාධාවන ආකාරයෙන්. කෙසේ වෙතත් රැස්වීම් දෙකම එක වෙලාවන්වලදී පැවැති අතර හිස්බුල්ලා විසින් කියන ලද ප්‍රකාශවල ජවිපෙ එරාවුර් කණ්ඩායම් නායකයා උත්තර දීමට පටන් ගැනීමත් සමඟ ජනතාව ජවිපෙ රැස්වීමට ඇදී එන්නට වුණා.

මෙහිදී ජවිපෙ නායක අනුර දිසානායක පැය එකහමාරකට ආසන්න කාලයක් රැස්වීම ආමන්ත්‍රණය කළා. ඇතැම් පුද්ගලයින් ජවිපෙ නායකයාගේ සජීවී රැස්වීමක් දැක තිබුණේ එදිනයි. රටේ දේශපාලන තත්වය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළ ජවිපෙ නායකයා ජාතිවාදය පිළිබඳ පැහැදිලි කිරීමක් ද කළා. ”දේශපාලන පක්ෂවල නායකයින් තමන්ට බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතාව බෙදුවා. ජාතිවාදය ඇවිළුවා. සිංහල, දෙමළ, මුස්ලිම් විදියට ජනතාව බෙදලා, දේශපාලන පක්ෂ හදලා ඡන්ද ටික අරගෙන උඩින් ආණ්ඩුව හදලා දෙගොල්ල ජනතාවගේ මුදල් කොල්ල කෑවා. ඒ අය උඩින් එකට ඉන්නවා. පහළින් අපේ ජනතාව බෙදිලා. ඒ නිසා අපි පහළින් එකතු වෙන්න ඕනෑ. අපි එකතු වුණොත් තමයි ජාතික සමගිය ඇතිවෙන්නේ. පාලකයින්ට පාඩමක් ඉගැන් විය හැක්කේ.” ජවිපෙ නායකයා කියා සිටියා.

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පසුගියදා මාධ්‍ය හමුවක පැවසූ කතාවක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් මෙන්ම ආණ්ඩුවේ පිරිස්ද හිත් වේදනාවට පත්ව තිබෙනවා. ”බැඳුම්කර වාර්තාව මෙන්ම මහා පරිමාණ මූල්‍ය අපරාධ ජනාධිපති විමර්ශන වාර්තා පිළිබඳ විවාදයක් මෙන්ම නීතිමය පියවර ඕනෑ. මුලින් කියපු විදියට හොරුන්ට මංකොල්ලකාරයින්ට මඩු වලිගෙන් තැලූවෙත් නැහැ. අද කඩුවෙන් කොටන්නෙත් නැහැ. එක පැත්තකින් මේ තියන ආණ්ඩුවත් දුවන්නේ හොරුන් එක්ක. අලූතින් හදන ආණ්ඩුව දුවන්න වෙන්නෙත් හොරු ටික එකතු කරගෙන.” විජිත හේරත් කීවා. මෙම කතාවත් සමඟ විජිත හේරත් වාර්තා දෙක අතැතිව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූණා. ”මන්ත්‍රීතුමා ඔබතුමාගේ කතාවට මහින්දගෙ කට්ටියට හොඳටම තරහ ගිහින්. ඔබතුමාලා එක්ක එකතු වුණු සුනිල් පෙරේරාටත් ගහනවා.” විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විජිතගෙන් විමසා සිටියේ දුරකතන ඇමතුමක් ලබාගත් අවස්ථාවකදීය. ”ඔව්, ඔව්, මමත් දැක්කා. මහින්දගේ වලව්වේ වැඩ කරගෙන හිටපු අයට තමයි හොඳටම අමාරු. ජවිපෙ ඉන්නකොට ලෙනින්ගෙ පොත් කියවලා තියෙන කතාවකුත් කියලා තිබුණා. මහින්ද රාජපක්ෂගේ වලව්වේ වාල්වැඩ කරන්න ලෙනින්ගේ පොත් කියවන්න ඕන නැහැ. මේ මැතිවරණයේදී ඇත්තටම ජනතාවගේ පැත්තෙන් හිතලා කලාකරුවෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, නීතිඥයෝ සහ වෙනත් වෘත්තිකයෝ විශාල ප‍්‍රමාණයක් අපිට සහය පළකරලා තියෙනවා. ඒ ජවිපෙ දිනවන්න නෙවෙයි ජනතාව දිනවන්න. ජවිපෙට තියෙන සහය නිසාම මහින්දගෙ කණ්ඩායම කලබල වෙලා.” විජිත හේරත් පිළිතුරු දුන්නා.

ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් 96 දෙනාම තමා සමඟ එකට හිටගන්නේ නම් වහාම ආණ්ඩුවක් හදන්න තමා සූදානම් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාවට මහින්ද රාජපක්ෂ මහතා වහාම පිළිතුරු දුන්නා. ජනමාධ්‍යයට ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිගේ කතාව රැවටිල්ලක් පමණක් බවයි. ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න ප්‍රමාද වැඩි බවත් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස දිගු ගමනක් ගොස් ඇති බවත් රාජපක්ෂ මහතා කීවා. ඒ මහතා කීවේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය මැතිවරණය අරමුණු කරගත් එකක් පමණක් බවයි.

ගල්කිස්සේ පැවති රැස්වීමකට සහභාගි වෙමින් මහින්ද රාජපක්ෂ මහතා කීවේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පළාත් පාලන මැතිවරණය සඳහා රඟපෑමක යෙදී සිටින බවයි. දෙදෙනා දැන් ‘අපි තරහයි’ නාට්‍යය රඟපාන බව රාජපක්ෂ මහතා කීවා. මැතිවරණයෙන් පසු සියල්ල අවසන් බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

මහරගම මහ නගර සභාව සඳහා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වීමත්, ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග අසාර්ථක වීමත් නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැන් මහරගමට යතුරුපැදිය ලකුණින් තරග කරන ස්වාධීන කණ්ඩායමට සහය දී මැතිවරණ කටයුතු කරගෙන යනවා. ඒ සඳහා පසුගියදා මහරගම නගරයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියට මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වුණා. හිටපු නගරාධිපතිනි කාන්ති ‍ෙකාඩිකාර ඇතුළු පිරිසක් එයට සහභාගි වී සිටියා. යතුරුපැදියෙන් තරග කොට ජයගන්නා පිරිස වෙනුවට පොදුජන පෙරමුණේ පිරිසක් පත්කර ගැනීම ඔවුන්ගේ අරමුණ බව ප්‍රකාශ වුණා. එසේ වූවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන්නේ වත්මන් නීතිය යටතේ එවැන්නක් කළ නොහැකි බවයි. කණ්ඩායමක සියලුදෙනාම ඉවත් වුණත් වෙනත් අය පත්කළ නොහැකි බව ඔහු කියා තිබුණා.

මේ අතර ස්වාධීන රූපවාහිනි සේවයට ලබාදුන් ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීම් සඳහා මුදල් නොගෙවීම නිසා මහජන මුදල් අවභාවිතය යටතේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පියවර ගෙන ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජනාධිපති කොමිසම කර තිබූ නිර්දේශය ගැන ජනමාධ්‍යයට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කළා. ඔහු කීවේ මෙයට වරදකරුවන් වන්නේ ඒ වනවිට ශ්‍රීලනිපයේ සිටි නිලධාරින් හා ප්‍රචාරක සමාගම බවයි. මේ අතර උදය ගම්මන්පිල මහතා තවත් විවාදාත්මක ප්‍රකාශයක් කළා. ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවට ලබාදී ඇත්තේ බැඳුම්කර කොමිසමේ සැබෑ වාර්තාවද කියා තමන්ට සැකයක් ඇති බවයි.

ගොසිප්ලන්තය – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *