| |

ණය උගුල කාගේද? – සී. ජේ. අමරතුංග

 පසුගිය රජය ට්‍රිලියන දහයක ණය ලබාගෙන ඇති නමුත් ඒවායින් වත්කම් ලෙස පෙන්විය හැක්කේ ට්‍රිලියන එකක් පමණක් බව ජනාධිපතිතුමා ප්‍රකාශකොට තිබිණි. එහි තේරුම නම් ඉතිරි මුදල වත්කම් ලෙස ආර්ථිකයට එකතු වී නැති බවයි. එනම් ප්‍රයෝජනවත් වියදම් ලෙස යොදාගෙන නැති බවයි.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ තමන් ණය ගෙන රට ණය උගුලක හිරකළ බව කීවද තමන් කළ දේ පෙනෙන්න තියන බව හා මේ ආණ්ඩුව ඊට වඩා ණය ගෙන ඇති නමුත් ඒවාට කළ දෙයක් නැති බවයි. මහින්ද මහතා කියන මේ වැඩ ගැන බැලූ විට ජනාධිපතිතුමා කියන කතාව ගැන ද අදහසක් ඇතිකරගත හැකිය. තමන් පෙනෙන දේ කළා කියා මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රී‍ඩාංගණය ආදිය ගැනය. මෙයට ගම්බද ඇතැම් පාරවල් කාපට් කිරීම ද ඇතුළත් කළ හැකිය. මේ බොහොමයක් ඉදිකිරීම් මේ දක්වා පැවතියේ ශත පහක ආදායම් නොලබන සුදු අලින් වශයෙනි. ඒවා ආර්ථික වශයෙන් ප්‍රයෝජන ලබන ව්‍යාපෘති බවට පත්කිරීමට කටයුතු කරමින් සිටින්නේ මේ ආණ්ඩුවයි. එවිට රාජපක්ෂලා කියන්නේ ජාතික සම්පත් විකුණනවා කියාය. ඇත්තටම කරන්නේ සම්පතක් නොවූ දෙයක් සම්පතක් බවට පත්කොට ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට දායක කර ගැනීමයි. සූරියවැව ක්‍රීඩාංගණය වැනි ඇතැම් ඉදිකිරීම් එහෙමවත් යොදාගන්න බැරිය. කාපට් කළ ඇතැම් පාරවල් මහජනයා යොදාගන්නේ වී ටික, තල ටික වේලාගැනීමටය. මේවා වත්කම් ලෙස පෙන්වන්නට බැරි ඒ නිසාය.

රාජපක්ෂ රජය රට ණය උගුලක හිරකළාය කියා කියන විට ඔවුන් නැවත කියන්නේ මේ ආණ්ඩුව ඊට වඩා ණය ගෙන ඇති බවය. ණය ගනිමින් සිටින බවය. මෙහිදී රට සංවර්ධනයට ණය ගැනීම හා ණය උගුලක් නිර්මාණය වීම අතර වෙනස තේරුම් ගැනීම වැදගත්ය.

ණය උගුල් හැදෙන හැටි

මේ ආණ්ඩුව මහා ණය කන්දක් ගෙන ඇතැයි කීමේද එතරම් ඇත්තක් පෙනෙන්න නැත. 2015 අවසාන‍යේ මෙරට රාජ්‍ය ණය ඩොලර් බිලියන 64 ක් ලෙස වාර්තා වූයේ චීනයෙන් ගත් බිලියන අටක් ද සමඟය. එය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 71.3 ක් වශයෙනි. නමුත් පසුව හෙළිදරව් වූයේ මෙයට ඇතැම් ණය මුදල් ඇතුළත්කොට නැති බවයි. එනම් රජයේ ආයතන මගින් ගත් ණයයි. එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 9.3 ක් ලෙස මුලින් කියැවුණද පසුව තව තවත් ණය සොයාගෙන ඒවාද රාජ්‍ය ණයට ඇතුළත් කළ බව වාර්තා වීය. ඒ සියල්ලෙන් පසුව 2017 අගදී රජයේ ණය වාර්තා වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 76.5 ක් වශයෙනි. අලුතින් ගත් මහා ණය කන්දක් මෙහි පෙනෙන්නට නැත.

අනෙක් අතට රටේ සංවර්ධනය ඇතිවන ප්‍රයෝජනවත් වැඩට ණය ගෙන වියදම් කිරීමෙන් ණය උගුල් නිර්මාණය වන්නේ නැත. ණය උගුල් නිර්මාණය වන්නේ ප්‍රයෝජනවත් නොවන ව්‍යාපෘති සඳහා ණය ගැනීමෙන් හා ව්‍යාපෘති මඟින් ගෙවන්න බැරි ආකාරයේ ආපසු ගෙවීමේ ක්‍රම යටතේ ණය ගැනීමෙනි. එනම් ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලැබෙන්න පෙර අඩු කලෙකින් ගෙවන්න වැඩි පොලියට ණය ගැනීමෙනි. රාජපක්ෂ පාලන සමයේ ගත් ණයෙන් ණය උගුලක් ඇතිවී තිබෙන්නේ එම හේතු නිසාය.

රටක සංවර්ධනයට ණය ගැනීමෙන් ණය උගුල් නිර්මාණය නොවන බවට ලොව දියුණුම රටවල් උදාහරණ සපයයි. ජපානය ශ්‍රී ලංකාවට හා තුන්වන ලෝකයට ද ණය දෙන රටකි. මේ වන විට ජපන් රජයේ ණය එරට දළ දේශීය නිෂ්පාදිතය මෙන් සියයට 250 කි. ඉතාලියේ එය සියයට 132 කි. අමෙරිකාවේ 106 කි. රාජගිරිය ගුවන් පාලමට හා තවත් ව්‍යාපෘති ගණනාවකට අපට ණය දුන් ස්පාඤ්ඤය දළ දේශීය නිෂ්පාදිතය මෙන් සියයට 99 ක් ණය වී සිටියි. ප්‍රංශය 96 කි. කැනඩාව 92 කි. බ්‍රිතාන්‍යය 89 කි. යුරෝපා සංගමය 89 කි. මේ සියල්ල අප රටේ සියයට 76.5 ට වඩා වැඩිය. ඉහත කී රටවල් බංකොළොත් වී හෝ ණය උගුලක සිරවී හෝ නැත. ඒ ඔවුන් ලබාගත් ණය සම්පත බවට පත්කරගෙන ඇති නිසාය. ඒවායින් ඉහළ ආදායම් උපදවන නිසාය.

මෙයින් පෙනෙන්නේ රජයේ ණය ගැනීමේ හා එම ණය කළමනාකරණය කිරීමේ යම් ආර්ථික විද්‍යාවක් තිබෙන බවය. එය තේරුම්ගෙන කළමනාකරණය කිරීම අවශ්‍යය. එවිට ණය යනු සම්පතක් වනු ඇත.

රජය ණය ගන්නේ ප්‍රධාන වශයෙන් යටිතල පහසුකම් සංවර්ධනයටය. බොහෝ දෙනා කල්පනා කරන්නේ යටිතල පහසුකම් සංවර්ධනය යනු පහසුකම් සැපයීමත් පමණක් වශයෙනි. එයින් නිෂ්පාදනයේ සංවර්ධනයට හා මහජනයාගේ එදිනෙදා ගමන් බිමන් ආදිය පහසුවෙන් හා ඉක්මනින් කරගත හැකි වෙයි. ඉන් එහාට සිදුවන දෙයක් ගැන බොහෝ දෙනාට සිතාගත නොහැකිය. සිතන එකම දේ එයින් ආයෝජකයන්ට පහසුවක් සැලසෙන බව පමණකි.

යටිතල පහසුකම් සංවර්ධනය ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසීමක් පමණක් බව සිතන මම ආකල්පය වැරදිය. යටිතල පහසුකම් සැලසීම ආර්ථික කටයුත්තකි. එමඟින් ධනය ඉපයීම ද සිදුවෙයි. එමෙන්ම එහි ඇති විශේෂිතා නිසා රජයේ මැදිහත්වීම අවශ්‍ය වනවා ‍ෙමන්ම එම ලාභයේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ද රජයට ඇත.

ධනපති ක්‍රමයේ ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි විග්‍රහයක් කර ඇති කාල් මාක්ස්ගේ Òපිරිවැටුම් කාලයÓ නම් සංකල්පය තේරුම් ගැනීම මෙහිදී වැදගත් වෙයි. Òපිරිවැටුම් කාලයÓ ලෙස මාක්ස් හැඳින්වූයේ නිෂ්පාදනයට ධනය යෙදීමත්, එහි ප්‍රතිලාභ ලැබීමත් අතර කාලයයි. එනම් යම් භාණ්ඩයක් නිෂ්පාදනය සඳහා යන කාලය හා එය විකුණා මුදල් කරගැනීමට යන කාලයේ එකතුවයි. ලාභය ලැබෙන්නේ ‍භාණ්ඩය විකුණාගත් පසුවය. එමෙන්ම යෙදූ ප්‍රාග්ධනය ද නැවත ලැබෙයි. නිෂ්පාදනය දිගටම පවත්වාගෙන යා හැක්කේ එවිටය.

යම් නිෂ්පාදනයක් සඳහා මාස හයක් ගතවන්නේ යැයි ද එම භාණ්ඩ විකුණා ගැනීම සඳහා මාස හතරක් ගතවන්නේ යැයි ද සිතමු. එවිට පිරිවැටුම් කාලය මාස දහයකි. මාස දහයක් නිෂ්පාදනය පවත්වාගෙන යාම සඳහා මුදල් යෙදවීමට ව්‍යාපාරිකයාට සිදුවෙයි.

පිරිවැටුම් කාලය අඩුකර ගත් විට ව්‍යාපාරිකයාගේ ලාභය වැඩිවෙයි. මෙම නිෂ්පාදනය මාස තුනකින් කරන්නට හා මාස දෙකකින් විකුණා ගැනීමට හැකිවුවහොත් පිරිවැටුම් කාලය මාස පහකි. ව්‍යාපාරිකයා යෙදිය යුත්තේ මාස පහක වියදම පමණි. වියදම අඩකින් අඩුකරගෙන එම ලාභයම උපයාගත හැකි වෙයි. ඉතිරිවන මුදල් ප්‍රාග්ධනය ලෙස නිෂ්පාදනය වැඩි කිරීමට හෝ වෙනත් නිෂ්පාදනයකට යෙදිය හැකිය. එවිට සිදුවන්නේ ලාභ අනුපාතය දෙගුණයකින් ඉහළ යාමයි.

යටිතල පහසුකම් සංවර්ධනය මඟින් මෙම පිරිවැටුම් කාලය අඩුකිරීම හා ලාභ අනුපාතය ඉහළ දැමීම සිදුවෙයි. යටිතල පහසුකම් සංවර්ධනයම ආර්ථික කටයුත්තක් වන්නේ එම නිසාය. එමඟින් ආර්ථිකයේ අලුත් වටිනාකම් නිපදවීමත් සිදුවෙයි.

බ්‍රිතාන්‍ය පාලකයන් මෙරට දුම්රිය සේවය සංවර්ධනය කරන්නට පෙර වතුකරයේ සිට කොළඹ වරායට තේ පෙට්ටි ප්‍රවාහනය කළේ කරත්තවලිනි. එයට සාමාන්‍යයෙන් සති දෙකක කාලයක් ගතවූ බව කියති. වතුකරයට අවශ්‍ය පොහොර හා වෙනත් සැපයුම් සඳහා ද එම කාලයම ගතවන්නට ඇත. දුම්රිය නිසා එම සති දෙක එක දිනකට අඩුවිය. ඒ අනුව බ්‍රිතාන්‍යයට තේ යවන්න ගතවන කාලය ද වතුවලට සැපයුම් ලැබෙන කාලය ද අඩුවිය. වතු හිමියාට තම සැපයුම් සඳහා ගෙවීම් කිරීමට තිබෙන කාලය සති දෙකකින් අඩු වී වෙ‍ළෙඳපළෙන් මුදල් ලැබීම ඉක්මන් විය. යොදන ප්‍රාග්ධනය අඩු වී ලාභ අනුපාතය ඉහළ ගියේය. ඔවුහු තව තවත් වතු සංවර්ධනය කළෝය.

යටිතල පහසුකම් සංවර්ධනයේ මූලික වගකීම ගන්න සිදුවන්නේ රජයටය. එයට ද හේතු ඇත. භූමියේ පාලනය රජයේය. සමාගම් කිහිපයකින් තරගයට මාර්ග හදන්න ද බැරිය. මේවායේ ‍යම් ඒකාධිකාරී ස්වරූපයක් ද ඇත. ඒ එක කාරණයකි.

දෙවැන්න නම් මෙම යටිතල සංවර්ධනයේ ප්‍රතිලාභ ආර්ථිකයට ලැබෙන්න කල් යාමය. ඒවා සිදුවන්නේ දිගුකාලීන ආයෝජන වශයෙනි. ඒ සඳහා දිගු කාලීන ණය ගැනීම අවශ්‍ය වෙයි. දිගුකාලීන ණය සඳහා වගකීම දැරිය හැක්කේ රජයටය. සමාගම් යම් කාලෙකදී වසා දැමිය හැකිය. බංකොලොත් විය හැකිය. එවිට ණය අයකරගන්න බැරිය. රජයකදී කවුරු ආණ්ඩු බලය දැරුවත් ණය ගෙවීමට වගකීමක් ඇත. ඒ අනුව රජය කටයුතු කළ යුත්තේ යම් යටිතල පහසුකමක ප්‍රතිලාභ ලැබෙන කාලය සලකා සුදුසු ණය ක්‍රම තෝරාගෙන ආයෝජනය කිරීමය.

තෙවැනි කරුණ නම් මෙම යටිතල පහසුකම් සඳහා ගන්නා ණය ගෙවීමට හැක්කේ ද රජයට වීමයි. යටිතල පහසුකම් සංවර්ධන‍ෙයන් ලාභ අනුපාත ඉහළ ගොස් ලාභ ලබන්නේ ව්‍යාපාරිකයෝය. එලෙස ඔවුන් ලාභ ලබන විට ඔවුන්ගෙන් රජයට ලැබෙන බදු මුදල් ද ඉහළ යයි. රජය ව්‍යාපාරිකයන්ගෙන් එම බදු අය කරගෙන ණය‍ ගෙවා දැමිය යුතුය. එවිට ණය උගුල් නිර්මාණය වන්නේ නැත.

යටිතල පහසුකම් සංවර්ධනයට ණය ගැනීමේ හා ණය ගෙවීමේ සාමාන්‍ය ආර්ථික විද්‍යාව ඒකය. මෙය හුදු පහසුකම් සැපයීමක් නොව අර්ථික කටයුත්තකි. එයට ප්‍රධාන වගකීම රජයක් දැරිය යුතුය. රජය ඒ සියල්ල කළ යුතු නැත. ප්‍රායෝගික ඉදිකිරීම, නඩත්තුව හා ඇතැම් විට පවත්වාගෙන යාම ද සමාගම් මඟින් කළ හැකිය.

දැන් කතාව පැහැදිලි විය යුතුය. හම්බන්තොට වරායට, මත්තල ගුවන් තොටුපළට, සූරියවැව ක්‍රීඩාංගණයට ගත් ණය ගෙවන්නට සිදුව තිබෙන්නේ ඒවායින් ආදායම් උපදවන්නට කලිනි. මේවාට ණය ගත්තේ ගෙවිය හැකි කාලය නොසලකාය. උගුල තිබෙන්නේ මේ වසරේදී එම ණය ගෙවීම ආරම්භ කිරීමට සිදුවීමත් ඉදිරි වසර කිහිපයේදී විශාල මුදලක් ගෙවීමට සිදුවීමත් නිසාය.

කේන්ස් නියායෙන් කියැවෙන දෙය

මේ රජයේ ණය ගැනීම් ගැන ද උදාහරණයක් දෙකක් සඳහන් කිරීම වැදගත්ය. විදුලියෙන් දුම්රිය දිවීමේ ව්‍යාපෘතියකට ඩොලර් මිලියන තුන්සියයක් ආසියානු සංවර්ධන බැංකුව ලබා දී ඇත්තේ සියයට එකයි දශම පහක තරම් සුළු පොලියකටය. ගෙවන්නේ අවුරුදු හතළිහකිනි. මාර්ග සංවර්ධනය සඳහා මිලියන 150 ක් හා සුළං විදුලි බලාගාරයක් සඳහා මිලියන 200 ක් ද එම බැංකුවෙන්ම එබඳුම කොන්දේසි යටතේ ලබාගෙන ඇත. ලබාගෙන ඇති මුළු මුදල බිලියන 1.5 ක් පමණ බව කියති. ජපාන‍ෙය් ජයිකා ආයතනයෙන් ද මෙබඳුම සහන ණය ලබාගෙන ඇත. මේවා ගෙවන කාලය ‍වන විට ආදායම් ලැබෙන්න පටන් අරගෙනය. එවිට ණය උගුල් නිර්මාණය වන්නේ නැත.

යටිතල පහසුකම් සංවර්ධනය ගැන මීට වෙනස් මත ද ආර්ථික විද්‍යාව තුළ විවාදයට ලක්ව ඇත. එයින් ප්‍රධාන අදහසක් වන්නේ ජෝර්ජ් මේනාඩ් කේන්ස් ආර්ථික විද්‍යාඥයා ඉදිරිපත් කළ අදහසයි. නවසිය තිස් ගණන්වල ඇතිවූ ආර්ථික අර්බුදයට පිළියම් ලෙස ඔහු කීවේ රජය වියදම් වැඩි කළ යුතු බවයි. යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි වැඩියෙන් වියදම් කළ යුත්තේ ඒවා‍ෙය් අවශ්‍යතාව නොසලකා බව ඔහු කීවේය. එවිට ජනයා අතට මුදල් ලැබෙන බවත් එම මුදල් රැගෙන ගොස් භාණ්ඩ මිලදී ගත් විට නිෂ්පාදනය ඉහළ යන බවත් ඔහුගේ මතයකි. එයට එරෙහිව නැඟී සිටියේ වොන් හායෙක් නම් ආර්ථික විද්‍යාඥයාය. 1932 දී ඔවුන් දෙදෙනා අතර ඇතිවූ විවාදය විවිධ හැඩතල ගනිමින් තවමත් පවතියි. ඉන්දියාවේ ජග්ධීස් බගවතී සහ අමර්ත්‍යා සෙන් අතර පවතින්නේ ද එබඳුම විවාදයකි.

කේන්ස්ගේ ක්‍රම‍වේද සාර්ථක වන්නේ රටේ ආර්ථික අවපාතයක් පවතින්නේ නම් ය. එනම් මහජනයා අත මුදල් නැතිව ඉල්ලුම පහළ ගොස් බඩු මිල අඩුවීම නිසා නිෂ්පාදනය කඩාවැටීමේ තත්ත්වයකි. රජය මහජනයා අතට මුදල් යවා ආර්ථිකය ගොඩගත හැක්කේ එවිටය. අපේ රටේ තිබෙන්නේ අවපාතයක් නොව උද්ධමනය පාලනය කර ගැනීමේ ප්‍රශ්නයකි.

ප්‍රායෝගිකව බැලුවහොත් හම්බන්තොට වරාය, නොරච්චෝලේ විදුලි බලාගාරය වැනි ව්‍යාපෘතිවලින් මුදල් වැඩි ප්‍රමාණය ගලා ගියේ අපේ ජනතාව අතට නොව චීනුන් අතටය. එවිට භාණ්ඩ ඉල්ලුම ඇතිවන්නේ අපේ රටේ නොවේ. මහාමාර්ග වැනි ව්‍යාපෘති මගින් මෙරට ජනයා අතට යම් මුදලක් ලැබිණි. එවිට ඉල්ලුම වැඩිවන්නේ රටේ නිෂ්පාදන හැකියාවක් නැතිවය. එයින් සිදුවන්නේ භාණ්ඩ ආනයනය සඳහා ඉල්ලුම වැඩිවීමය. එවිට අපගේ විදේශ විනිමය පිටරටට ගලා යන අතර ආර්ථික සංවර්ධනය ඇතිවන්නේ ඒ රටවලය. ප්‍රතිඵලය නම් මෙරට රජය මුදල් වියදම් කරමින් චීනයේ, ඉන්දියාවේ හා වෙනත් රටවල ආර්ථික සංවර්ධනයට දායක වීමයි. රාජපක්ෂ රජයේ ආර්ථිකයේ ප්‍රතිලාභ ලැබුණේ එහෙමය.

වත්මන් රජය මේ සියල්ල කනපිට හරවා සිදුකරමින් සිටින්නේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවස්ථා වැඩිකර ගැනීමයි. ඩොලර් බිලියන 1.65 ක අපනයන කරමින් අපනයනයේ ඉහළම වර්ධනය පසුගිය වසරේ ලබාගත්තේ එම ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ වශයෙනි. දැන් රට තිබෙන්නේ ණය උගුලින් ගොඩඑන මාර්ගයේය. රට ණය උගුලේ හිරකළ උදවියට දැන් මෙය දරාගන්නට බැරිය.

මේ සියල්ලෙන් පෙනෙන්නේ ආර්ථික සංවර්ධනය යනු පේන්න මොනවා හරි කිරීම නොවන වගයි. එමෙන්ම හොඳින් හිතාබලා හරි ‍ෙද් නොකළහොත් රට වළපල්ලට යන බවයි. රාජපක්ෂ පාලනය එලෙස රට අගාධයට රැගෙන යමින් තිබූ ගමන ආපසු හැරවීමට ලැබීම මහජනයාගේ ජයග්‍රහණයකි.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *