කාන්තාව හා මත්පැන් – නිශාන්ත කමලදාස

මාතෘකාව කාන්තාව වූ විට තහනම් වචනය මත්පැන් ය. ඒ බොන්නට නොවේ. ගන්නට ය.

බොන්නට හොඳ නම් ගන්නට බැරි මොකදැයි කෙනෙකුට ඇසිය හැකි ය. උත්තරය- බොන්නට නම් ගන්නට වුවමනා ය. ගන්නට බැරි විට බොන්නට බැරි ය.

ප්‍රශ්න වල කෙළවරක් නැත. වෙන කෙනෙකු ගත් දෙයක් බොන්නට බැරි ද? එහෙම පුළුවන් ය. තනිවම හිතු මතේ අරගෙන බොන්නට බැරි ය. ඒ සඳහා අඩු වශයෙන් තව පිරිමියෙකුගේ අවසරය වුවමනා ය. දැන් ප්‍රශ්නය පැහැදිලි ය. ගැහැණියකට බොන්න අවශ්‍ය නම් ඒ සඳහා පිරිමියෙකුගේ සහය හා ඒ නිසා ම අවසරය වුවමනා ය.

මුදල් ඇමති තුමා විසින් අවලංගු කළේ මේ නීතිය ය. එය පරණ නීතියකි. එය අවලංගු කළේ එය යල් පැන ගිය නීතියක් කියා ය. ඒ තුළ කාන්තාවගේ අයිතිවාසිකම් වල විලංගු දා තිබුණේ යැයි කියා ය. ඔවුන්ට සම පුරවැසියන් ලෙස සිටිමට එය බාධාවක් වූවා යැයි කියා ය. ඒ කී නීතියෙන් කාන්තාව දමා තිබුනේ වයස 18 ට අඩු දරුවන්ගේ ගණනට ය. ඔවුන් සමග එකට ය.

එහෙත් බොහෝ අය කල්පනා කළේ එ් හරහා කාන්තාවන් බීමට ඇබ්බැහි වනු ඇති බව ය. එසේ කියන අය හිතන්නේ කාන්තාවන් බීමට ඇබ්බැහි වීම පිරිමින් ඊට ඇබ්බැහි වීමට වඩා භයානක විය හැකි බව ය. එක් අයෙකු මෙය වඩාත් විස්තර කර කීවේ බීමත් කාන්තාවන්ට කුස්සිය හොයා ගැනීමට බැරි විය හැකි බව ය. ඒ කියන්නේ පිරිමින්ට කෑම සැපයීම සඳහා කාන්තාවන් මතින් බැහැර කොට තැබිය යුතු බව ය. එසේ නොකළ හොත් මහා අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව ය. බීමට අවශ්‍ය නම් පිරිමින්ගේ අවසරය ඇතිව බීමට ඉඩ සලසා ඇත්තේ ඒ නිසා විය යුතු ය.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක විජිත හේරත් මැතිතුමාට අනුව මේ නීතිය අවලංගු කිරීම නිසා සිදුවන ව්‍යාසනය ඊට වඩා දරුණු ය. ඒ ගැන වාර්ථාවක් ගෙන එන බීබීසී සිංහල වෙබ් අඩවිය කියන්නේ මෙසේ ය.

“ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ පවත්නා සංස්කෘතිය සහ “වැඩවසම් සමාජ ක්‍රමය තුළ” මත්පැන් පානය කිරීම හෝ විකිණීම සඳහා කාන්තාවන්ට අවසර දීම පක්ෂය අනුමත නොකරන බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ප්‍රකාර කාන්තාවන්ට සහ පුරුෂයන්ට ලිංගිකත්වය මත පදනම් වී වෙනස් නීති පැණවීම අනුමත නොකරන නමුත් කිසියම් ප්‍රතිපත්තිමය කරුණක් ගැන තීරණ ගන්නා විට රටේ සංස්කෘතිය මත පදනම් වී පියවර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඔහු පැවසීය.“

ඒ කියන්නේ මත්පැන් බිම සංස්කෘතික ප්‍රශ්නයක් බව ය. රටේ ව්‍යවස්ථාවට ඉහලින් සංස්කෘතිය පවතින බවත් එයින් එක්තරා දුරකට ගම්‍ය වන්නේ ය. තම පක්ෂයේ සමානාත්මවාදී ප්‍රතිපත්තිවලට ද උඩින් සංස්කෘතිය පවතින බව ඔහු එයින් හඩගා කියන්නේ ය.

සංස්කෘතිය රැක ගැනීමට අවශ්‍ය වන ප්‍රමාණයට වත් කාන්තාවන්ට හා පුරුෂයන්ට ලිංගිකත්වය මත පදනම් ව වෙනස් නීති පැනවිම අනුමත කිරීමට, තමන්ට හා තම පක්ෂයට සිදු වන බව ඔහු සපථ කොට කියන්නේ ය.

“ලංකාවේ සංස්කෘතිය, ආගමික වටපිටාව, ආසියාතික වැඩවසම් සමාජ ක්‍රමය තුළ යුරෝපයේ තියෙන දේවල් ඒ විදියටම කරන්න යාම සමාජය තුළ ගැටලු, අර්බුද මතුවෙන එකක්,” විජිත හේරත් මැතිතුමා තවදුරටත් කියා සිටින්නේ ය.

“සමාජ සාධාරණත්වය සහ මාක්ස්වාදය විශ්වාස කරන පක්ෂයක් වැඩවසම් සමාජ ක්‍රමයට අනුබල දෙන්නේ කෙසේ දැයි විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ, පවතින වැඩවසම් ක්‍රමය “ක්‍රමානුකූලව පියවරෙන් පියවරට වෙනස් වෙමින්” පවතින බැවින් “චීනයේ සංස්කෘතික විප්ලවය සිදු කළ ආකාරයට,” කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවය.“

වැඩවසම් වූවත් සංස්කෘතිය, සංස්කෘතිය ම බව එයින් තවදුරටත් කියවෙන්නේ ය. එයට අත තැබීමට රටේ ඉදිරියෙන් සිටිනා “විප්ලවවාදී“ පක්ෂයකට වුව බැරි බව ද එයින් පැවසෙන්නේ ය. එහෙම වටපිටාවක ආණ්ඩුවකට මෙවන් දෙයක් කිරීමට බැරි ය. හකුළා ගන්නේ ඒ නිසා විය යුතු ය.

මෙයින් ගම්‍ය වන අනෙත් පණිවුඩය නම් වෙන ඕනෑම දෙයක් විප්ලවකාරී ආකාරයට වෙනස් කළ හැක්කේ වුව ද සංස්කෘතිය එසේ කළ නොහැකි දෙයක් බව ජනතා විමුක්ති පෙරමුණ ද පිළිගන්නා බව ය.

නීතිය තියෙන්නේ මත්පැන් මිල දී ගැනීම සම්බන්ධයෙන් පමණක් නිසා අප මෙයින් තේරුම් ගත යුත්තේ කාන්තාවන් මත් පැන් බීම සංස්කෘතිය දෙදරවන්නක් නොවන බවත් එය පිරිමියෙකුගේ අවසරය හෝ සහය නැතිව මිලදී ගැනීම සංස්කෘතියට තර්ජනයක් ගෙන දෙන බවත් ය. ඒ කියන්නේ සංස්කෘතිය මත්පැන් ගැන ප්‍රශ්නයකට වඩා පිරිමි අවසරය ගැන ප්‍රශ්නයක් බව ය. ඒ ප්‍රශ්නය, ප්‍රශ්නයක් ලෙස ලංකාවේ පෙරටුගාමී විප්ලවවාදී පක්ෂ ද බරපතල ලෙස කල්පනා කරන බව ය.

දැන් මේ ප්‍රශ්නය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ය. ඒ, මේ සම්බන්ධයෙන් නීතිය කෙසේ විය යුතු ද යන කාරණය සම්බන්ධයෙනි. නීතිය හා ව්‍යවස්ථාව අනුව මෙය කෙසේ විසඳිය යුතු දැයි තීරණයක් දෙන්නට ඒ නිසා අපට බැරි ය. ඒත් මේ නිසා මතු ව ඇති අතුරු සමාජ ප්‍රශ්න රාශියක් තිබේ. ඒවා මතු කිරීමට නීතිය බාධාවක් නොවේ.

කාන්තාවට බෝතලයක් අතට ගත නොහැකි වුවත් තුවක්කුවක් දැරිය හැකි ය. අපේ රටේ තුවක්කු දරණ කාන්තා සෙබළු වෙති. ඒ කියන්නේ බෝතලය, තුවක්කුවකට වඩා බරපතල විය හැකි බව ය. ඇතැම් විට බෝතලය මිලදී ගැනීමේ වරම වගේ ම කොකා ගැස්සීම සඳහා විධානයේ වරම ද පිරිමියෙකු සතු නිසා එය ප්‍රශ්නයක් ලෙස නොදැක්කා වන්නට ද ඉඩ තිබේ. එසේ නොවන්නේ නම් ඉන් කියවෙන්නේ පිරිමින් අතේ කෙසේ වුව ද කාන්තාවක් අතේ බෝතලයක් පැවතීම තුවක්කුවක් පැවතීමට වඩා බරපතල බව ය.

බෝතලය තරමට ම මහණ කම ද කාන්තාවන්ට අකැප ය. මෙහෙණි සස්නක් පිහිට වීමට දරණ උත්සහයන් පිරිමි පූජක පක්ෂය විසින් අතිශය දැඩි සීමා පණවමින් වළක්වා තිබේ. එපමණක් නොවේ. ශ්‍රී මහා බෝ මළුවට පිවිසීම ද කාන්තාවන්ට අකැප ය. දන්ත ධාතූන් වහන්සේ සමීපයට පිරිමින් තරමට කිට්ටු වීම ද කාන්තාවන්ට අකැප ය. දළදා මාලිගාව ඇති මහනුවර දිසාපති වීම ද දළදා මාලිගාවේ දියවඩන නිලමේ තේරීමේ දී චන්දය දීම ද කාන්තාවන්ට අකැප ය. එහෙම බැලුවහම පෙනෙන්නේ මේ අප කතා කරන කාරණය බෝතලය පිළිබඳ ප්‍රශ්නයකට එහා ගිය ප්‍රශ්නයක් බව ය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාට අවසානයේ දී ලජ්ජාවෙන් කියන්නට සිදු වූ තමන් විසින් ද ආරක්ෂා කිරීමට කැප වන්නේ යැයි කියන “වැඩවසම්“ සංස්කෘතිය සම්බන්ධ ප්‍රශ්නයක් බව ය.

ඇත්තටම මේ සංස්කෘතිය රැක ගැනීමට නම් අප විසින් කළ යුතු තව බොහෝ දේ තිබෙන බව විජිත හේරත් මැතිතුමා සහ එතුමාගේ පක්ෂය ප්‍රමුඛ සංස්කෘතික ලෝලීන් වෙත කියා සිටිය යුතු යැයි අපට සිතේ. එකක් නම් කාන්තා මලල ක්‍රීඩා ඉසව් ද වෙනත් එවැනි නොහික්මුණු ඇඳුම් ඇඳගෙන දුවන පනින ක්‍රීඩා ද තහනම් කළ යුතු බව ය. එකක් ඇඳුම නිසා ය. අනෙක විසාකා තොමෝ පැමිණි විලාසයෙන් යන්නේ නැතිව මේ කාන්තාවනට ඒ ක්‍රීඩා ඉසව්වලදී දුවන්නට සිදු වන නිසා ය. මේ ඇඳුම ගැන ප්‍රශ්නය තමන් ද තමන්ගෙන් කැඩි ගිය පෙරටුගාමීන් ද සමන්විත විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය විසින් බරපතලව සරසවි තුළ ගෙන ඇති නිසා ම මේ ගැන මතයක් ඉදිරිපත් කිරීම අලුතින් යමක් කිරීමක් නොවන නිසා ද මෙය නොපමාව ඉදිරියට ගත හැකි ය. දැන් තරගය ඇත්තේ වඩාත් දැඩිව ආගම ජාතිය හා සංස්කෘතිය රැක ගන්නේ කවුදැයි තේරීමට නිසා ම මේ මගින් ද ලකුණු දමා ගත හැකි ය. ඒ තරගයේ දී ඉක්මන් වන තරමට හොඳ ය. නැත්නම් ධජය වෙන කෙනෙකු උස්සාගෙන දුවන්නට පුළුවන.

හොඳට ම කල්පනා කරන්නේ නම් කාන්තාවන් සිටිය යුත්තේ ගෙදර ය. එයිනුත් වැඩිපුර කුස්සියේ ය. ඒ අපේ සිතේ ඉන්නා, රටේ නැති, සංස්කෘතික කාන්තාව ය. ඔවුන් මිරිස් කොටන්නේ වංගෙඩියේ ය. අඹරන්නේ මිරිස් ගලේ ය. උයන්නේ රස හා ගුණය රැකෙන දර ලිපේ ය. ඒ සියල්ල උඩුයටි කුරු කළේ යුරෝපයෙන් ගෙනා සුකුරුත්තම් ය. දැන් ඒ පසුපස විජිත හේරත් ලේකම් තුමා කියන යුරෝපයේ කරන කියන දෑද එන්නේ ය. අප ඒ සියල්ලට විරුද්ධව අලුත් තාලේ විප්ලවයක් කළ යුතු ව ඇත.

එයින් කියන්නේ පැරණි ජිවන ශෛලියට අනුකූලව කාන්තාවන් විසින් ඇල්ලිය යුත්තේ හැඳි මිටක් හෝ ඊට අඩු යමක් බව ය. බෝතලයක් නම් එය පොල්තෙල් හෝ විනාකිරි වලට එහා ගිය එකක් නොවිය යුතු ය. ප්‍රශ්නය මේ ඉර පැනීම ය.

ඉස්සර කාන්තාවන් උගත්තේ නැත. ඉගෙන ගත්තා නම් ඒ ඉවුම් පිහුම් ය. මැහුම් ගෙතුම් ය. දැන් උන් හැම මගුලක්ම උගනිති. මේ කලියුගයේ සියල්ල කණපිට පෙරලිලා ය. කාන්තාවන් නැති තැනක් දැන් නැති ගානට ය. උන් ආම්බාම් කිරිම පිරිමින්ට එන්න එන්නම අමාරු ය. මහෞෂධ පණ්ඩිතයන්ට කන්ට්‍රෝල් අමරා දේවීන් දැන් ඇත්තේ ම නැති ගාන ය.

ගැහැණුන් වඩාත්ම නිදහස ලබන්නේ රැකියාවලට යෑම නිසා ය. සම්ප්‍රාදායික සංස්කෘතික ගැහැණිය නැවත තැනීමට, අමරා දේවිය නැවත ලබා ගැනීමට, කළ යුතු තව එක් දෙයක් තිබේ. ඒ රැකියාවලට යෑම තහනම් කොට ළමුන් බලා කියා ගෙන ගෙදර දොරේ වැඩක් කර ගෙන ගෙදරට වී සිටිමට උන්ට සැලැස්වීම ය. විශේෂයෙන් ගැහැණුන් තනි පංගලමේ පිටරට යෑම වැළැක්වීම ය. මේ වැඩවසම් සංස්කෘතියේ ආරක්ෂකයින්ට කළ හැකි වැඩ ය. ඔවුන් සංස්කෘතිය ගැන සැබෑවට උනන්දු වන්නේ නම් කළ යුතුව ඇති වැඩ ය. සංස්කෘතිය රැක ගැනීම සම්බන්ධයෙන් මත්පැන් නීතිවලට අදාළ මැදිහත්වීම් වැනි පැලැස්තර අලවනවාට වඩා මෙවැනි සැලසුම් සහගත වැඩ පිළිවෙලක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් විට ඉදිරියේ දී විප්ලවවාදී හා පෙරටුගාමී පක්ෂවල අවධානය යොමු වනවා ඇත. එපා වාහෙට හොදි බෙදන්නා වැනි වැඩ වලින් රටටවත් රැක ගන්නට හදන සංස්කෘතියටත් හරි හමන් සේවයක් නොවන නිසා එවැනි බරපතල මැදිහත් විමකින් සංස්කෘතිය රැක ගැනීම ගැන ඔවුන් විසින් සිතා බැලිය යුතු ය.

මේ මෑතක දී ගැහැණුන් දේශපාලනයට ද එන්නට මාවතක්  හදා ගත්තෝ ය. එය 25% ක නියෝජනයක් නීතියෙන් සහතික කර ගැනීම හරහා ය. එය පළමුවරට ඉදිරියට එන පළාත් පාලන මැතිවරණයේ අත්හදා බැලීමට ද නියමිත ය. මේ මත්පැන් නිතිය හීන් නූලෙන් ආවේ ඒ අල්ල පනල්ලේ ය. හැම දෙයක් ම අපට හොරා හෙමින් සීරුවේ සිදුවෙමින් තිබෙන්නේ ය.

මේ බව ඉදිරිය දකින පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන් විසින් පෝලිමේ අවබෝධ කරගනිමින් ඉන්නා බවත් පෙනෙන්නට තිබේ.

එහෙම කල්පනා කළ විට සංස්කෘතිය ඉස්සරහට දැම්මේ වුව ද ප්‍රශ්නය එහෙම පිටින් ම වෙන එකක් ද විය හැකි ය. මෙය පිරිමින්ගේ ආධිපත්‍ය ඍජු ලෙස ප්‍රශ්න කරන කතන්දරයක තවත් එක් පරිච්ඡේදයක් ලෙස මේ “වැඩවසම්“ සහ “දේශීය“ සමාජය විසින් සළකා තිබෙන්නට පුළුවන. විරෝධය මතුවන්නේ ඒ නිසා විය හැකි ය.

සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නය අමතක කොට මේ මත්පැන් ප්‍රශ්නය සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස ද ගත හැකි ය. මත්පැන් සෞඛ්‍යයට අහිතකර ය. ඒ වැඩිමනත් පානය කිරීම හේතුකොට ගෙන ය. මද පමණට ගැනීමෙන් නොවේ. ඈත අතීතයේ සිටම අපේ ම දේශීය වෙදකමේ කොටසක් ලෙස ද මත්පැන් එක් කර ගෙන තිබේ. අරිෂ්ඨ වල මත්පැන් අඩංගු ය. ඇතැම් ඖෂධ වල අබිං ද අඩංගු ය. ඒ සීමා සහිතව ය. නියමිත මාත්‍රාවලට අනුව ය. එහෙම බැලුවහම පෙනෙන්නේ ප්‍රශ්නය ඇත්තේ මත්පැන් වල නොව මත්පැන් අවභාවිතයේ බව ය.

මත්පැන් වල ද සංස්කෘතියක් තිබේ. ඒ දියුණු රටවල ය. ඒ රටවල බොහෝ දෙනෙකු මත්පැන් ගන්නේ සීමා සහිතව ය. ඒ බොහෝ විට උත්සව අවස්ථාවලට, ජය පැන් බොන අවස්ථාවලට හා විවේකය අත්විඳින අවස්ථාවලට සීමා වේ. ගන්නේ ද ආනුපාන හැටියට මිසක ප්‍රධාන ආහාර වේල හැටියට නොවේ. බොහෝ බේබද්දන් කරන්නාක් මෙන් නාන්නට නොවේ.

ලංකාවේ ගැහැණුන්ට මත්පැන් ලංකාව තුළ මිලදි ගැනීමට නොහැකි වුව ද පිටරට දී හෝ ගුවන් තොටුපල තීරු බදු රහිත සංකීර්ණයේ දී හෝ මිලට ගැනීමට නීතියෙන් බාධාවක් නැත. ඇතැම් විට එයට හේතුවන්නට ඇත්තේ පිටරටවලට නිරාවරණය වී ඇති ගැහැණුන් අපේ රට තුළම ගාල් වුනු නොදියුණු ගැහැණුන්ට වඩා යුරොපාකරයේ මත්පැන් සංස්කෘතිය දන්නා අඳුනන නිසා අගුණයක් කර ගන්නේ නැතැයි යන විශ්වාසය නිසා විය හැකි ය. අප එසේ සිතුවේ වෙන හේතුවක් හිතා ගැනීමට අපට නොහැකි වූ නිසා ය. නැත්නම් විප්ලවවාදි පක්ෂ ඒවාට එරෙහිව ද අවි අමෝරා ගනු ඇතැයි මෙහි දී උපකල්පනය කෙරී ඇත.

අපට අවශ්‍ය වන්නේ ද එවැනි සංස්කෘතියක් ගොඩ නගා ගැනීම ය. විවිධ මත්පැන් ගැන, එ්වායේ ආදීනව ගැන, මත්පැන් වල ක්‍රියාකාරිත්වය ගැන දැනුවත් ජනතාවක් ඇති කිරිම ඒ සඳහා අවශ්‍ය ය. මත් පැන් පිළිබඳ සෞඛ්‍ය මතය අනුව ගැහැණුන් පිරිමින් තරමට නොබිය යුතු බවක් ද කිය වේ. පිරිමින් හා ගැහැණුන් සම්බන්ධයෙන් පනවා ඇති වෙනස් සීමාවන් ගැන ද මේ නිසා සමාජය අවබෝධය ඇති කර ගත යුතු ය. යුරෝපා රටවල ගැහැණුන් අතර සාන්ද්‍රණයෙන් අඩු වයින් වර්ග වඩාත් ජනප්‍රියව ඇත්තේ ඒ අවබෝධය නිසා විය යුතු ය. මත්පැන් වැඩියෙන් බොන මිනිහා වීරයෙක් ලෙස සමාජගතව තිබීම අප විසින් ප්‍රශ්න කළ යුතු ය. සාදයක දී බෝතලය ඉවර නොකරන්නේ නම් දුර්වල කමක් ලෙස සැළකීම අප විසින් ප්‍රශ්න කළ යුතු ය. මත්පැන් වලට ඇබ්බැහි වීමේ හැකියාව පිළිබඳව ජනතාව දැනුවත් කළ යුුතු ය. මත්පැන් මත යැපෙන ජිවිතයක් ඇති කරගැනීමේ දුර්වල කම ගැන දැනුවත් සමාජයක් අප විසින් ඇති කළ යුතු ය.

ඒ මත් පැන් ගැහැණුන්ට පමණක් නොව පිරිමින්ට ද අගුණ විය හැකි නිසා ය.

අවශ්‍ය දේ නොකොට වැඩවසම් සංස්කෘතියට මුවා වී නීති පැනවීමෙන් මත් පැන් වලින් ජනතාව මුදා ගත නොහැකි ය. කළ හැක්කේ උන් මුලා කිරීම පමණකි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *