කවුද හරි? – එම් ඕ ඒ ද සොයිසා

ශ්‍රී ලංකාවේ ආර්ථීකය හැසිරවිය යුත්තේ කවුරුන් විසින්ද? එක් එක් පුද්ගලයාගේ රුචි අරුචිකම් අනුව ආර්ථීකය හැසිරවීමට ඉඩදිය හැකිද? ආර්ථීකය හැසිරවිය යුත්තේ ජනාධිපති තනතුරට හෝ අගමැති තනතුරට තේරී පත්වන පුද්ග ලයාගේ පෞද්ගලික මනාපය අනුවද නැතිනම් පිළිගත් ආර්ථික දර්ශනයක් හෝ මතවාදයක් අනුවද? මේ ප්‍රශ්න අද මෙයාකාරයට ඉස්මතු කිරීමට සිදුව තිඛෙන්නේ රටේ බල සම්පන්නම පුද්ගලයා වන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලියකදී කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය ආර්ථීකය පිළිබඳව සාර්ව ප්‍රකාශනයක් විනා ෂුද්‍ර ප්‍රකාශනයක් නොවේ. නමුත් එම ප්‍රකාශනයෙන් හැඟී යන්නේ සමස්ත ආර්ථීකයම කඩා වැටී තිඛෙන බව විනා ආර්ථීකයේ එක් අංශයක් හෝ අංශ කිහිපයක් පමණක් කඩා වැටී තිඛෙන බවක් නොවේ.

නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා මෙන්ම ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ දෙවන කොටස්කරුවා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනාධිපතිවරයා කියන කථාවට මුලූමණින්ම පටහැනි කථාවකි. මේ අගමැති රනිල් වික්‍රමසංහ කියන කථාවය.

” අප රජය බලයට පැමිණි විට ආර්ථීකය කඩා වැටෙනු ඇති බව සමහරු පැවසූවා. නමුත් අපි ඒ ස්ථාවරය පිළිගත්තේ නැහැ. ආර්ථීකය ගොඩ ගන්න හැකියයි අපට විශ්වාසය තිබුණා. 2001 වසරේදීත් මා කඩා වැටුණ ආර්ථීකය බාරගෙන එය හොඳ තත්වයකට ගෙන ආවා. මෙවරත් මා අභියෝගය බාර ගත්තා. සුළුතර ආණ්ඩුව ලෙස වුණත් අප ඒ වගකීම ක්‍රියාත්මක කළා. දැන් ආර්ථිකයේ ස්ථාවර බව ඇති කරලා. රාජ්‍ය ආදායම මා වැඩි කළා.

ඇතැම් විට ජනප්‍රිය නොවන තීරණ ගන්න වුණා. වැට් බද්ද වැඩි කිරීමට වුණා. බැණුම් අසාගෙන හෝ රටේ ආදායම වැඩි කරන්න කටයුතු කළා. 2016 වනවිට අපේ ආදායමෙන් ණය ගෙවා ගන්න හැකි තත්ත්වයත් ඇති කළා. 2017 වනවිට රජයේ අයවැයේ ප්‍රාථමික ගිණුම් ශේෂයේ අතිරික්තයක් තිබුණා. එවැනි තත්ත්වයක් වාර්ථා වුණේ වසර 60 ට පසුවයි. එලෙස වූයේ කෙසේද? කැබිනට් අනුමැතිය ගත් ආර්ථීක සැලැස්ම ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද එය පිළිගෙන 2016 වසරේදී ගිවිසුම් අත්සන් කළා. ලෝක පිළිගැනීම පැමිණියේ ගිවිසුම අත්සන් කළ පසුවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම් අත්සන් කළ පසුව උපකාර කරන බව රටවල් ගණනාවක් අපට පැවසූවා. ඒ අනුව ජපානය, චීනය, ඉන්දියාව, යුරෝපා සංගමය, ඇමරිකාව ආදී රටවල් අපට උපකාර කිරීමට සූදානම්. ඔවුන් විවිධ ආකාරයට ආධාර උපකාර කළා. සහන ණය දීම, ආයෝජන එන රටවලින් අප වෙනුවෙන් බැඳුම්කර නිකුත් කිරීම ආදිය ආරම්භ වුණා. සියල්ලට පදනම වූයේ ඉහත ගිවිසුමයි. ගිවිසුම වෙනස් කළහොත් නැවතත් පවතින තත්ත්වය කඩා වැටෙනවා. වසර තුනකින් එනම් 2019-2020 වසර වනවිට අපට හොඳ අතිරික්තයක් පෙන්වීමට හැකියාව ලැඛෙනවා. ලෝකය අප සමග ගනුදෙනු කරන්නේ ඒ ඉලක්ක මත සිටයි. ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය නැවත ගැනීමට අපට හැකි වුණා.

ඒ නිසා පසුගිය වසරේ අපනයන ආදායම 15% න් වැඩි වුණා. ඩොලර් බිලියන 15 ට වැඩි අදායමක් ගත්තා. ශ්‍රී ලංකාවේ වැඩිපුරම අපනයන අදායමක් ගත්තේ 2017 වසරෙ බව කිව යුතුයි.’’ (උපුටා ගැනීම- 2018 ජනවාරි 24 පිටු අංක 10 – ලංකාදීප ).

රටේ ආර්ථීකය ගැන රට පාලනය කරන මහ බලවතුන් දෙදෙනා කියන මේ කථා දෙකෙන් හරි කුමක්ද? ජනතාව විශ්වාස කළ යුත්තේ ජනාධිපතිවරයා කියන කථාවද? නැතිනම් අගමැතිවරයා කියන කථාවද? එසේ නැතිනම් මේ දෙදෙනාම විශ්වාස නොකළ යුතුද?

ආණ්ඩුව මෙහෙයවන නායකයින් දෙදෙනා මෙයාකාරයට රටේ ආර්ථීකය පිළිබඳව පරස්පර ප්‍රකාශ නිකුත් කරන විට අපහසුවට ලක් වන්නේ රට සහ ජනතාව බව අමුතුවෙන් කිවයුතු නොවේ. හේතුව ජනතාවට සත්‍ය වසන් කරන බවට හැඟීමක් එමගින් පැළපදියම් වීමය. මෙවැනි තත්ත්වයකට ජනතාව පත්වීම ආණ්ඩුව මෙහෙයවන මහ බලවතුන් දෙදෙනාගේ දේශපාලන පැවැත්මට පමණක් නොව මහ ඉහළින් පම්පෝරි ගසන යහපාලන ආණ්ඩුවේ කියුම් කෙරුම්වලටද බරපතළ හානියක් වේ.

මෙම පරස්පර ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ ආණ්ඩු කරන පාර්ශ්ව දෙක අතර පවතින විසම්මුතියයි. නැතිනම් නොඑකඟතාවයයි. එකෙක් කරන දේ අනිකා නොදන්නා බවයි. සාමූහිකභාවයකින් හා එක්සත්භාවයකින් කටයුතු නොකරන බවයි. ආණ්ඩු කිරීමේදී අනුගමනය කළයුතු විශිෂ්ටතම නීතියක් වන සාමූහික වගකීමේ සිද්ධාන්තය පිළිබඳව අබමල් රේණුවක තරම්වත් හැඟීමක් හෝ අවබෝධයක් නොමැති බවයි.

“මහත්වරුණි, මෙතන (කැබිනට් මණ්ඩලය තුළ) අප කුමක් කීවද, කුමක් කථා කළද එළියට ගිය විට කථා කළ යුත්තේ එකම දෙයක් බව සියලූ දෙනාම මතක තබා ගන්න“ යනුවෙන් විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ එංගලන්තයේ රොබර්ට් පියර්ස් අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම සම්බන්ධයෙන් කළ ශ්‍රේෂ්ඨ ප්‍රකාශය පිළිබඳව මේ ආණ්ඩු පාලකයින් වගේ වගක් නොදන්නා බවයි.

සමස්තයක් ලෙස මෙම පරස්පර ප්‍රකාශවලින් පැහැදිලි ලෙසම පෙන්නුම් කරන්නේ ආණ්ඩුව තුළ පවතින්නේ සීතල යුද්ධයක් නොව මල්ටිබැරල් වලින් එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගන්නා තරම් බරපතළ මරාගෙන මැරෙන සටනක් බවය. සැබැවින්ම ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයේ ආර්ථීක ව්‍යසනයක් රටට සිදු වී තිඛෙන්නේ නම් එසේ සිදු වී තිඛෙන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් ආර්ථීකය මෙහෙයවීම නිසා නොව ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින මෙම මාරාන්තික බල අරගලය නිසා බව පැහැදිලිවම පෙනී යයි. මෙයින් ගම්‍ය වන්නේ යහපාලන ආණ්ඩුව අසාර්ථක වී තිඛෙන බවයි.

යහපාලන සම්මුතිය අයාලේ ගොස් විසම්මුතික පාලන ක්‍රමයක් රට තුළ ඉස්මතු වී තිඛෙන බවයි. මෙම අර්බුදයට ඇති එකම විසඳුම වන්නේ කවුදෝ න්‍යායාචාර්ය වරයෙක් ප්‍රකාශ කළ ආකාරයට ආණ්ඩුවේ රූපාන්තර වෙනස් කිරීම නොව සමාන රූපවලින් යුක්ත, සාමූහිකව එකට වැඩකළ හැකි, නිශ්චිත දේශපාලන හා ආර්ථීක දර්ශනයක් සහිත දැඩි විනයකින් සහ දැඩි සංවිධානයකින් යුක්ත දේශපාලන පක්ෂයක තනි ආණ්ඩුවක් පිහිටුවීමය. එසේ නොමැතිව තවදුරටත් මේ විසම්මුති ආණ්ඩුව තිබුණ හොත් සිදු වන්නේ ආර්ථීකය පමණක් නොව දේශපාලන ක්‍රමය සහ සමාජ ක්‍රමයද විනාශ වී ගොස් රට තුළ අරාජික තත්ත්වයක් ඇති වීමය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට රටේ ආර්ථීකය විනාශ වී තිඛෙන්නේ එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන ආර්ථීක ප්‍රතිපත්තිය නිසා නම් එම ආර්ථීක ප්‍රතිපත්තිය කුමන විධියේ එකක්ද යන්න මෙහිදී විමසා බැලිය යුතුය. රට රටවල්වල ආර්ථීකය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පිළිගත් මූළික මතවාද තුනක් තිබේ. එයින් එකක් වන්නේ ධනවාදයයි.

පෞද්ගලික දේපල අයිතිය, නිදහස් ව්‍යවසාය සහ විවෘත වෙළඳ පොළ යන මුල්ගල් තුන මත ගොඩනැගී තිඛෙන මෙම ආර්ථීක මතවාදයේ පදනම වන්නේ පුද්ගලයා සහ පෞද්ගලිකත්වයයි. මිනිසා උපතින්ම ගෙනෙන එක් මූලික ගති ගුණයක් වූ ධනය රැස් කිරීමට ඇති ආශාවට උපරිම නිදහස දෙමින් රාජ්‍යයේ නීතියට යටත්ව තරඟකාරී ලෙස හැසිරෙමින් ධනය රැස්කිරීමේ ආශාව සපුරා ගැනීමට මිනිසාට නිදහස දීම මෙම ක්‍රමයේ මූලික ලක්ෂණය වේ. ආරම්භයේ සිට මේ දක්වාම එක්සත් ජාතික පක්ෂයේ ආර්ථීක දර්ශනය ගොඩනැගී තිඛෙන්නේ මෙම මතවාදය පදනම් කර ගෙනය.

දෙවැන්න වන්නේ කොමියුනිස්ට් නැතිනම් සමාජවාදී ආර්ථීක මතවාදයයි. මෙම මතවාදය ගොඩනැඟී තිඛෙන්නේ ඉහත දැක්වු ධනවාදයේ මූලිකාංගවලට මුලූමණින්ම පරස්පර මූලිකාංග පදනම් කොට ගෙනය. පොදු දේපල ක්‍රමය, ආර්ථීකය හැසිරවීම පිළිබඳ රාජ්‍ය ඒකාධිකාරය, ආර්ථීක නිදහස වෙනුවෙන් පෞද්ගලික නිදහස කැප කිරීම, ආවෘත්ත වෙළඳපොළ, එක් දේශපාලන පක්ෂයක බලාධිකාරය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය පාලනය යනාදිය එම ගුණාංග වේ. සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂවල ආර්ථීක දර්ශනය ගොඩනැගී තිඛෙන්නේ මෙම මතවාදය පදනම් කර ගෙනය.

තුන්වන ආර්ථීක මතවාදය වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හරහා සමාජවාදී ආර්ථීක ක්‍රමයක් කරා අනුක්‍රමයෙන් ගමන් කිරීම මෙම මතවාදයේ මූලික ඉලක්කය වේ. මෙම මතවාදය ගොඩනැඟී තිඛෙන්නේ ධනවාදයේ මෙන්ම සමාජවාදයේද අන්තර්ගත යම් යම් මූලිකාංගවල සම්මිශ්‍රනයෙනි. මේ අනුව රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයද ආර්ථීක කටයුතු සඳහා මැදිහත් වන ආකාරය දැකිය හැකි වූවද ආර්ථීක කටයුතු කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වඩාත් බලවත් වන්නේ රාජ්‍ය අංශයයි. අවසාන අරමුණ සමාජවාදය නිසා පෞද්ගලික අංශය අනුක්‍රමයෙන් වියැකී යාමට මග සැළසීම මෙම ක්‍රමයේ ලක්ෂණය වේ.

ඉහත දැක්වූ අනෙක් ආර්ථීක මතවාද දෙක සමග සසඳන විට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අතිශයින්ම අවුල් සහගත ආර්ථීක මතවාදයක් වේ. හේතුව රාජ්‍ය පටන් ගන්නේ කොතනින්ද අවසන් කරන්නේ කොතනින්ද සහ පෞද්ගලික අංශයට පටන් ගැනීමට ඉඩ දෙන්නේ කොතනින්ද සහ කෙළවර කිරීමට ඉඩ දෙන්නේ කොතනින්ද යන්න පිළිබඳව ස්ථීර හා නිශ්චිත සීමාවන් දැක්වීමට නොහැකි වීමය. 1953 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරණායක විසින් පිහිටවූයේ මෙම අර්බුදකාරී සහ අවුල් සහගත ආර්ථීක මතවාදය පදනම් කර ගෙනය.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙම ආර්ථීක මතවාද තුනම ලෝකයේ රටවල් විසින් තමන්ගේ දේශපාලන ඇදහීම් අනුව ක්‍රියාවට නංවා ඇති බවය. නමුත් සමාජවාදය මෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදයද අසාර්ථක ආර්ථීක මතවාද වන බව අත්දැකීම් මගින් මේ වනවිට ඔප්පු වී ඇත. මෙම මතවාද දෙකම මේ වනවිට මියගොස් ඇත.

මෙම මතවාද මියගොස් ඇති බව නොදන්නා ඡන්දදායකයින් රවටා ඡන්දය ලබා ගැනීම පිණිස දේශපාලනඥයින් විසින් මෙම මතවාද ගැන අතිශයෝක්තියෙන් කථා කළද ඒවායේ ප්‍රායෝගික වටිනාකමක් නැත. අකැමැති වූවද සත්‍ය තේරුම් ගත යුතුය. එය වූ කලී වෙනත් දෙයක් නොව විසි එක් වන සියවස ලෝකය ඉදිරියට යන්නේ ධනවාදය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සමග බවය. ප්‍රැන්සිස් පුකුයාමා තම End of History and the Last Man යන කෘතිය තුළ පෙන්වා දෙන්නේ මෙම යථාර්ථයයි. දේශපාලනඥයින් සියලූ දෙනාම මෙම යථාර්ථය තේරුම් ගත යුතුය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *