අඩි ගැසීම සහ දණගැසීම – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත.

කාන්තාවන් සම්බන්ධ ප්‍රශ්න දෙකක් පසුගිය සතියේ මෙරට දේශපාලන වේදිකාවේත් ජනමාධ්‍ය තුළත් පුපුරා ගියේය. එකක්, කාන්තාවන්ට මැත්පැන් මිල දී ගැනීමටත් ඔවුන්ට මත්පැන් හල්වල සේවය කිරීමටත් නොහැකිවන සේ පනවා තිබුණු නීතිය අවලංගුකරමින් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත්කිරීම සහ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් එය නැවත අකුලා ගැනීමයි. අනෙක ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස් වූ පුවතය.

කතුන්ට මත්පැන් මිල දී ගැනීමේ අයිතිය හෝ මත්පැන් හල්වල සේවය කිරීමටත් අයිතිය හෝ කිසිදු කාන්තා සංවිධානයක්, කාන්තාවක්, වෙනත් සමාජ හෝ දේශපාලන සංවිධානයක් ඉල්ලා සිටීයෙ නැත. එසේ තිබිය දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට කතුන් මත්පැන් මිලදී ගැනීමේ අයිතිය සහ මත්පැන්හල්වල සේවය කිරීමේ අයිතිය ලබා දීමට හදිසියේ ඇති වූ කාන්තා කරුණාව කුමක් ද යන්න ද පැහැදිලි නැත. විශේෂයෙන්ම මතු කළ යුතු කාරණය වන්නේ ආණ්ඩුව එවැනි සමාජසංවේ දී තීරණ ගැනීමේ දී දිගදුර සිතා නොබලා කටයුතු කරන්නේ මන්ද යන්නය. කතුනට මත්පැන් අයිතිය දීමේ තීරණය කැබිනට් මණ්ඩලයට සහ ජනාධිපතිවරයාගේ අනුදැනුම මත කෙරුණේද නැද්ද යනවග පැහැදිලි නැත. ඒ තීරණය එළි දුටු වහාම ඊට එරෙහිව පොලු මුගුරු අමෝරනු පෙනුනේ රතන හිමි වැනි මෛත්‍රි පක්ෂ කණ්ඩායම් සහ ඒකාබද්ධ විනක්ෂය වැනි පිරිස් ය. ජනාධිපතිවරයා මත්පැන් ගැසට්ටුව අවලංගු කිරීමෙන් පැහැදිලි වන්නේ ඔහු මුලින් ඒ පිළිබඳ නොදැන සිටි බවද? (ජනාධිපතිවරයා ඇතැම් දේ දැනගන්නේ ජනමාධ්‍ය හරහා බවද මීට පෙර ජනාධිපතිවරයා විසින්ම කියා තිබුණි. මෙයත් එවැන්නක්ද කියන්නට පුලුවන්කමක් නැත)

දැන් සිදුව ඇත්තේ අහක යන නයෙක් රෙද්ද අස්සේ දමාගෙන කෑවෝ කෑවෝ කියන මට්ටමට ආණ්ඩුව පත් වීමය. ඡන්දයක් අත ළඟ තිබියදී ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීමට හොඳ බලගතු අවියක් ආණ්ඩුව විසින්ම විරුද්ධවාදීන්ට ලබාදීමය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිරිමින් ඉක්මවා කතුන් මත්පැන් පානය කරන බව වරෙක පවසා තිබුණේ ජනාධිපතිවරයා විසිනි. රා නිෂ්පාදනය කෙරෙන ඇතැම් ප්‍රදේශවල කතුන් රා පානයෙහි යෙදෙන බව ප්‍රකට රහසකි. මත්පැන් බලපත්‍ර හිමි කාන්තාවන්ද සිටිති. එසේම හොර මත්පැන් ජාවාරම හා සම්බන්ධ කතුන්ද මෙරට නැතුවා නොවේ.

ප්‍රියසම්භාෂණ ආදියෙහි දී දැන් දැන් කතුන් ප්‍රසිද්ධියේ මෙන්ම රහසේද බීර වැනි සැර අඩු මත්පැන් වර්ග භාවිත කරති. පෝය දිනක තරුපන්තියේ හෝටලයකින් මත්පැන් ඉල්ලුවා යැයි කලෙක රජයේ පාලනයේ ඉහළම තැනක සිටි කාන්තාවකට චෝදනාවක්ද තිබුණි. කෙසේ වෙතත් එය මඩප්‍රචාරයක්ද සත්‍ය සිදුවීමක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැති බව අදාළ චරිතයේ ගෞරවය පිණිස සටහන් කළ යුතුය.

සුරාබදු දෙපාර්තමේන්තුව කියන ආකාරයට මෙරට කතුන් අතර සුරාපානය කරන්නියන්ගේ ප්‍රතිශතය සියයට එකක් පමණ වේ. තවත් සමහර වාර්ථාවලට අනුව මෙරට කතුන්ගෙන් සියයට තුනක් පත්පැන් පානය කරති. ඉහළ පන්තියේ හෝටල් සහ සමාජ ශාලාවලට මත්පැන් දුම්වැටි පානය කරන කතුන් අරුමයක් නොවේ. කැරෝකේ සමාජශාලා වැනි ස්ථානවල පිරිමින් මත්පැන් පානය කිරීමේ උද්යෝගිමත් කිරීමේ රැකියාවේ නියැලෙන කතුන් දැනටත් සේවයෙහි යෙදවේ. එම කතුන් සියල්ලම පාහේ මත්පැන් පානය කරන්නියන්ය. ඉන් අදහස්වන්නේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ගැසට් පත්‍රය අනුව තිබුණාවුව නැතිවුව දැනටත් කාන්තාවන් අතර මත්පැන් පානය සහ කාන්තාවන් මත්පැන් ආශ්‍රිත රැකියවල යෙදීම සිදුවන බවයි. එකම දෙය සදාචාරවාදී කඩතුරාවකින් ඒවා වැසී පැවතීම නැතහොත් පුසිද්ධ රහසක් වශයෙන් සැඟවී පැවතීමයි.

ශ්‍රී ලංකාවේ කතුන් අතර මත්පැන් පානය 1%ක් හෝ 3%ක් යැයි පිළිගතහොත් ඉතිරි කතුන් 99% හෝ 97% මත්පැන් පානය නොකරන්නේ කතුනට මත්පැන් මිල දී ගැනීම නීතියෙන් තහනම් නිසා නොවේ. ඔවුන් ප්‍රතිපත්තියක් වශයෙන් මත්පැන් පානය නොකරන නිසා සහ මත්පැන් විරෝධි නිසාය. ඒ අනුව ගත්කල මත්පැන් නීතිය කතුන් අරබයා ලිහිල් වුණාය කියා කතුන් මත්පැන් හල් අසල පොලීම් ගැසෙනු ඇතැයි සිතිය නොහැකිය. එසේම ඇතමුන් කියා තිබුණු ලෙසට කතුනට කක්කුස්සියට යාමට පාර සොයා ගැනීමට නොහැකි තතත්වයක් උදා වන්නට හේතු නැත. දැනටමත් තීරුබදු නිදහස් සාප්පු ආදියෙන් කාන්තාවෝ මත්පැන් මිලට ගනිති. ඒ වුන්ගේ පානය සඳහා නොව තෑගි දීම සංග්‍රහ කිරීම් ආදිය සඳහාය.

මෙහි දී මතු වූ සැබෑ වුවමනාව කාන්තාව මත්පැනින් බේරා ගැනීම යනු පුරුෂයන්ගේ හෝ ආගමික සංස්ථාවේ හෝ වගකීමක් හා අයිතියක් ද නොවේ. කතුන් පිළිබඳව තීරණ ගත යුත්තේ කතුන්ය. ඔවුන්ද ස්වාධීන සමය සත්ත්වයන් පිරිසක් වන බැවිනි. එහෙත් පුරුෂ මූලික සමාජය සිතන්නේ කාන්තා අයිතිය නතුන්ට උපතින් හිමිවන්නක් නොව, පුරුෂයන් විසින් පුරුෂයන් කැමති පමණින් කතුනට ලබාදිය යුතු දෙයක් කියාය.

කතුනට සම්බන්ධ තවත් තීරණාත්මක අයිතියක් වන ගබ්සාව පිළිබඳ කාරණාවේදී මෙරට පුරුෂ මූලික සමාජය සහ ආගමික සංස්ථා හැසිරුණු ආකාරය මෙරට සමාජයේ පුරුෂ මූලික ලක්ෂණ පෙන්නුම් කරන කදිම අවස්ථාවක් විය.

තවත් සමහරු කියන්නේ මත්පැන් අයිතිය ලබාදීම හේතුවෙන් සදාචාර ප්‍රශ්නයක් මතුවන බවය. පුරුෂ පක්ෂය මත්පැන් පානය කිරීමෙන් සදාචාරය බිඳනොවැටෙන්නේත් කතුන් මත්පැන් පානය කිරීමෙන් සදාචාරය බිඳවැටෙන්නේත් කෙසේදැයි එවැනි ප්‍රකාශකරන්නන් නිවැරදිව පැහැදිලි කළ යුතුය. මත්පැන් සදාචාර විරෝධිනම් පුරුෂ යි ස්ත්‍රි යි කියා වෙනසක් තිබිය නොහැකි බැවිනි.

පළාත් පාලනයෙන් වැඩි ඉඩක් කතුනට වෙන්කර ඇතැයි පම්පෝරි ගසන සමාජයක පිරිමි මහ ඇමතිවරයකු විසින් කාන්තා විදුහල්පතිනියක දණ ගැස්සවීම අනෙක් කරුණයි. තවත් වැදගත් වන්නේ පසුගිය වකවානුවේ ගුරුවරියක දණ ගැස්ස වූ පළාත් දේශපාලන බලවතෙකුට නැවත අපේක්ෂකත්වය ලැබී තිබිය දී මෙවර විදුහල්පතිනියක දණගැස්සවීම සිදු වී තිබීමයි.

කතුන් මත්පැන් පානය කිරීමෙන් බිඳවැටෙන සදාචාරය ගැන උනන්දු වන මහත්වරු සිතන්නේ ගුරුවරිය දණගැස්ස වූ තැනැත්තාට නැවත අපේක්ෂකත්වය දීමෙන් සහ මහ ඇමතිකෙනෙකු විසින් විදුහල්පතිනියක දණගැස්සවීමෙන් මෙරට කාන්තා අයිතිය හා සදාචාරය ආරක්ෂාවන බවද, ඒ ගැන ඔවුන් ස්ථිරව පැහැදිලි කළ යුතුය.  මෙරට පිරිමින් කල්පනා කරන්නේ බමුණු යුගයේ මෙන් කතුන් ‘විළිබිය නොදකවා, සළු ඇඳ බොළඳ දක්වා, හිමිගමනක් ගොසින් ගෙට ආ කලට නුඹම පය සෝදවන්, ආකාරයේ ජීවනයක් කතුන් ගෙවිය යුතුය කියාය. නමුත් ඔවුන් ජීවත් වෙන්නේත් රටේ ණය ගෙවන්නේත් කතුන් පිටරට ගොස් මෙහෙවරකර උපයන විදේශ විනිමයෙනි.

එසේ තිබිය දීත් පිරිමින්, දරුවන් ඇති කතුනට රට රැකියාවට යා නොහැකියැයි නීතිද සම්පාදනය කරති. ඒ අනුව දරුවකු වැදීම යනු කාන්තාවකගේ රැකියාවක් කිරීමේ අයිතිය උල්ලංඝනය කර ගැනීමකි. දරුවන් දමා ගැහැනුන් රට රැකියාවට යාම දරුවනට හානියක් නම් කළ යුත්තේ එවැනි කතුන්ගේ දරුවන් රැකබලා ගැනීම සඳහා විධිමත් සමාජ ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම මිස කතුන්ට රැකියා කිරීමේ අයිතිය අවලංගුකිරීම නොවේ. ගෙදර බුදුන් අම්මාය කියන නමුත් මේ රටේ තවමත් සිදුවන ස්ත්‍රි නිග්‍රහයේ තරම එය ය. එහෙත් පිරිමින්ට තබා පොදු කාන්තාවටවත් ඒ ගැන හැඟීමක් නැත.

චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *