කාගෙ කටේද පස්? – සී. ජේ. අමරතුංග

 මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව මෙන්ම පසුගිය රජය කාලයේ සිදුවූ විවිධ අයථා ගනුදෙනු 34 ක් ගැන පරීක්ෂා කළ ජනාධිපති කොමිසමේ ‍වාර්තා ද දැන් පාර්ලිමේන්තුවේ සභාගතකොට ඇත. ඒ පිළිබඳ ඉදිරි දිනක පාර්ලිමේන්තු විවාද පැවැත්විය යුතු බවට පක්ෂ නායකයන් එකඟ වූ බව ද වාර්තා වීය. කෙසේ වෙතත් වඩා වැදගත් වන්නේ මෙම ලියැවිලි ප්‍රසිද්ධ වීම හා සමාජගත වීමයි. එමෙන්ම එම වාර්තාවලින් චෝදනාවන්ට ලක්වූවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම ද කල් නොයවා සිදුකළ යුතුව ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කළේ දූෂිතයන්ට දඬුවම් දීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් අනෙක් සියලු දෙනාගේත් සහය තමන්ට අවශ්‍ය බවයි. තමා දුර්වල නොකරන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.

ඊට පෙර අවස්ථාවක එජාප මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් ලෙස වාර්තා වූයේ දූෂිතයන්ට දඬුවම් දීමට ඇතිකරන නව මහාධිකරණයේ පළමු නඩුව‍ ලෙස බැඳුම්කර නඩුව විභාගයට ගත යුතු බවයි. දැන් දැන් වාර්තා වන්නේ එක් මහාධිකරණයක් වෙනුවට විශේෂ මහාධිකරණ තුනක් ඇතිකිරීම සඳහා නීති කෙටුම්පත් කෙරෙමින් පවතින බවයි. එයින් පෙනෙන්නේ මෙම ප්‍රශ්නය නිසා තමන්ට සිදුවූ දේශපාලන අවාසිය තේරුම්ගෙන සිටින එක්සත් ජාතික පක්ෂය ද මෙම තත්ත්වය ඇතිකළ පිරිසට එරෙහිව ක්‍රියාත්මක වීමට එකඟ වී සිටින බවයි.

පළමුවෙන්ම තේරුම්ගත යුත්තේ බැඳුම්කර ගනුදෙනුව මෑත කාලයේ වඩාත්ම දේශපාලනීකරණය වූ සිදුවීම බවයි. එය සිදුවූ දින සිටම ඒකාබද්ධ විපක්ෂය මෙන්ම එජාප විරෝධී සියලු දේශපාලන කණ්ඩායම් එය යොදාගත්තේ මඩ ගැසීමේ දේශපාලන වුවමනාව සඳහා බව පැහැදිලිය. එජාපය පැත්තෙන් ද දක්නට ලැබුණේ එයට ප්‍රතික්‍රියා දැක්වීමකි. එමනිසාම ඇත්ත ප්‍රශ්නය හරියට සොයා බැලීමක් සිදුවූයේ නැත.

විශ්වාසය බිඳවැටීම

බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් කියා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා තමා විසින් මහ බැංකු අධිපති තනතුරට පත්කළ අර්ජුන මහේන්ද්‍රන් මහතා හා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිරි මහතා මත විශ්වාසය තබා කටයුතුකොට ඇති බවයි. ඔවුන්ගේ තොරතුරු හා පොරොන්දු මත විශ්වාසය තබා කටයුතු කළ අගමැතිතුමා ස්වාධීනව තොරතුරු ලබාගැනීමට කටයුතු නොකිරීම ගැන කොමිසම කනගාටුව ප්‍රකාශකොට ඇත.

2015 පෙබරවාරි 27 දා පැවැති පළමු බැඳුම්කර ගනුදෙනුව ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ පිටිපන කමිටුවට පත්වූ නීතිඥයන් විශිෂ්ට පුද්ගලයන් වුවද බැඳුම්කර ගනුදෙනුව වැනි සංකීර්ණ ප්‍රශ්නයක් ගැන පරීක්ෂා කිරීමට දැනුමක්, එම කමිටුවට නොවූ බව බැඳුම්කර කොමිසම කියා ඇත. ඒ නිසාම අර්ජුන මහේන්ද්‍රන් ධුරයෙන් ඉවත්වන තෙක් ඔහුගේ අයථා ක්‍රියා කලාපය හෙළිදරව් නොවූ බව කොමිසන් වාර්තාවේ සඳහන්ය.

පිටිපන කමිටු වාර්තාවේද එක් ප්‍රශ්නයක් මතුකළ බව අමතක නොකළ යුතුය. එනම් එම ගනුදෙනුවේදී එක් ප්‍රාථමික ගැනුම්කරුවකු ලංසු ඉදිරිපත් කළ ආකාරය ගැන ප්‍රශ්නයක් තිබෙන බවයි. ඒ අන් කිසිවකු නොව දැන් චෝදනාවට ලක්ව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමයි. ඇත්ත ප්‍රශ්නය තිබුණේ එම සමාගමට මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු දුන්නේ කවුද යන්නයි. අගමැතිතුමා කොමිසමට කියා ඇත්තේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව පරීක්ෂණයක් ආරම්භ කොට පවත්වාගෙන ගිය නිසා තමන්ට වැඩිදුර පරීක්ෂණ කිරීමේ අවස්ථාවක් නොලැබුණු බවයි.

බැඳුම්කර කොමිසමේ වැදගත්ම නිගමනය නම් මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු පිටට දුන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ම බවයි. එසේ නිගමනය කිරීමට කොමිසමට හේතු තිබෙන්නට ඇත. එමෙන්ම කෝප් කමිටු දෙකකින් ද කීවේ මෙම වරද කළේ අර්ජුන මහේන්ද්‍රන් බවයි. ඒ නිගමනයට පැමිණියේ මාමා බෑනා සම්බන්ධය පමණක් සැලකිල්ලට ගෙන බව පෙනෙන්නට තිබිණි. එහෙත් කොමිසමට ඊට වඩා සාක්ෂි තිබුණා විය හැකිය.

අර්ජුන මහේන්ද්‍රන් එසේ කළා නම් එය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තිබූ විශ්වාසය කැඩීමක් හා දූෂණයත් පමණක් නොවේ, එය අපරීක්ෂාකාරී මෝඩ ක්‍රියාවකි. වාසිය ගන්නේ තම බෑනාගේ සමාගම බව ලොවම දන්නා තත්ත්වයක් තුළ එසේ කිරීම ගැන කිව යුතුව ඇත්තේ මෝඩකම යන්නට වැඩි කතාවකි. මේ සියල්ල තවදුරටත් අධිකරණ ක්‍රියාමාර්ග මඟින් තහවුරු විය යුතු නිසා අපි කලබල විය යුතු නැත.

වැඩ කරන්නේ මෙහෙමද

අනෙක් අතට අර්ජුන් මහේන්ද්‍රන් අවංක නම් මහ බැංකු තොරතුරු දුන්නේ තමා නොවෙතත්, වාසි ලැබුවේ තම බෑනාගේ සමාගම නම් තොරතුරු ගිය ආකාරය සෙවීමේ වගකීමක් මහේන්ද්‍රන්ට තිබූ බව ද අමතක කළ නොහැකිය. කෙසේ වෙතත් ප්‍රතිඵලය වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශාල දේශපාලන වාසියක් සිදුවීමයි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවට ද මෙම බැඳුම්කර කොමිසමෙන් ඉගෙන ගන්නට පාඩම් ඇත. කෝප් කමිටු වාර්තාවේ නිගමන කොමිසන් සභාව භාරගෙන නැත. විශේෂයෙන්ම මෙම ගනුදෙනුවල අවාසිය ගණනය කිරීමේ ක්‍රමය නොපිළිගැනීම පැහැදිලි කාරණයකි. එමෙන්ම විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන මත එලෙසින්ම පිළිගත නොහැකි බව ද මෙම කොමිසන් වාර්තාවෙන් පැහැදිලිය. මේවා ඉදිරි කාලයේ මෙබඳු විමර්ශන කරන විට මතක තබාගත යුතු පාඩම්ය.

කෝප් කමිටුවේ බැඳුම්කර ගැන වාර්තාවට එජාප මන්ත්‍රීවරුන් පාද සටහන් යෙදූ විට ඒකාබද්ධ විපක්ෂයේ හා වෙනත් පිරිස් එය හඳුන්වන්නට උත්සාහ කළේ හොරුන් ආරක්ෂා කිරීමට උත්සාහ දැරීමක් වශයෙනි. එසේ වුවද බැඳුම්කර කොමිසම කියන්නේ කෝප් වාර්තාවට එජාප මන්ත්‍රීවරුන් යෙදූ පාද සටහන් යුක්ති සහගත හා නිවැරැදි බවයි. එම මන්ත්‍රීවරුන් කීවේ ඇත්ත දූෂණය හඳුනාගන්න වෝහාරික විගණනයක් අවශ්‍ය බවයි. කොමිසම දැන් කියන්නේ මහ බැංකුවේ අතීත ගනුදෙනු පරීක්ෂාවට වෝහාරික විගණනයක් අවශ්‍ය බවයි. කෝප් වාර්තාවේදී මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවල අලාභය ගණන් බැලූ ආකාරය ද එජාප මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න කරනු ලැබීය. එම විරෝධය ද කොමිසම පිළිගෙන ඇත.

ඒකාබද්ධ විපක්ෂය හා එජාප විරෝධී කණ්ඩායම් කියන්නට හැදුවේ මෙය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූෂිත ක්‍රියාවක් බවයි. නැතහොත් එජාප ඇමැතිවරුන්ගේ ක්‍රියාවක් බවයි. බැඳුම්කර කොමිසන් වාර්තාවෙන් ඇත්තටම සිදුව තිබෙන්නේ එම සියලු චෝදනාවලින් එජාපය නිදහස්වීමයි. බැඳුම්කර ගනුදෙනුවලින් ලැබූ සම්පූර්ණ ලාභය ඔවුන්ගේම ගිණුම්වල තිබෙන බව කොමිසම ඉදිරියේ හෙළිදරව් වීය. එය වෙනත් පාර්ශ්වයක් අතට ගොස් නැත. එමෙන්ම රජයට සිදු වූ අලාභයට වැඩි මුදලක් මේ වන විටත් මහ බැංකුවේ රඳවාගෙන සිටින අතර අලාභය අයකර ගැනීමේ ද කිසිදු ප්‍රශ්නයක් නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් මඟින් රටට හෙළි කළේය.

බැඳුම්කර කොමිසන් වාර්තාවෙන් රවි කරුණානායක මහතාට චෝදනා එල්ල වී ඇතත් ඒවා බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ නැති බව බොහෝදෙනා පිළිගත් කාරණයකි. මෙම ප්‍රශ්නයේදී ආණ්ඩුවේ ප්‍රබල විවේචකයකු වන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේ රවී කොටුවීම මිනීමැරුමක් සොයන්න ගිහින් කසිප්පුකාරයෙක් කොටුවුණා වැනි සිදුවීමක් බවයි.

බැඳුම්කර කොමිසමේ ඉතා වැදගත් කාරණයක් නම් බොහෝදෙනා දැන ‍නොසිටි කාරණා රාශියක් හෙළිදරව් වීමයි. බොහෝදෙනා ප්‍රශ්න කළේ 2015 පෙබරවාරි 27 හා 2016 මාර්තු 30 සිදුවූ ගනුදෙනු දෙක පිළිබඳවය. එසේ වුවද දැන් පෙනෙන්නේ ඒ අතර අනෙක් ගනුදෙනුවලදී ද ප්‍රශ්නකාරී සිදුවීම් පවතින බවයි. එමෙන්ම සේවක අර්ථසාධක අරමුදල, රාජ්‍ය බැංකු හා ඇතැම් පෞද්ගලික බැංකුවල ගනුදෙනු ගැන ද ප්‍රශ්න ඇති බව හෙළිදරව් වීය. එමෙන්ම 2008 සිටම මහ බැංකුවේ ගනුදෙනුවල ප්‍රශ්න සොයා ගැනීමට වෝහාරික විගණනයක් කළ යුතු බවත්, අර්ථසාධක අරමුදලට එම කාලයේ බරපතළ පාඩු සිදු වී ඇති බවත්, කොමිසමේ මතයක් ලෙස ප්‍රකාශිතය. අනෙක් අතට කොටස් වෙළෙඳ පොළේ කළ ගනුදෙනු සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතුකොට තිබේ. මෙම බොහෝ කාරණා මෙරට ජනයා මෙන්ම ඇතැම් විට දේශපාලනඥයන් ද නොදැන සිටියා විය හැකිය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් විශාලතම දේශපාලන ලාභය ලැබුවේ ඒකාබද්ධ විපක්ෂයයි. එනම් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පසුගිය රජයේ දූෂිත පාලනයේ සොරකම් වංචා අපරාධ ගැන චෝදනා එල්ල වී සිටින කණ්ඩායමයි. ඔවුන් කළේ තමන් අතට පත්වූ මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගැනීමට උත්සාහ දැරීමයි. ඔවුන් කීවේ අපේ සියලු හොරකම්වලට වඩා ලොකු හොරකම මෙය බවයි. එයින් රජයට වූ පාඩුව ට්‍රිලියන ගණනක් බවට ගණන් හැදුවේ රුපියල් දෙදහස් පන්සීයෙන් ජීවත්වන ආකාරය කියා දුන් ලෙසටමය. එවැනි ඇතැම් කතා සිනා උපදවන සුළුය. මෙයින් පොලී ඉහළ ගිය නිසා ආණ්ඩුව මෙතෙක් ගත් ණයට ද එම වැඩිවූ පොලිය ගෙවිය යුතු බව කියමින් එහි පාඩුව ද මොවුහු ගණන් සැදූහ. ආණ්ඩුව ණය ගන්නේ එකඟවූ ගණන්වලට බව හා ඒවා වෙනස් නොවන බව නොකියන්නට මොවුහු වගබලා ගත්හ. බැඳුම්කර වාර්තාවෙන් ඒ සියල්ලෙහි හුලන් යවා හමාරය.

බැඳුම්ක වාර්තාවට අනුව රජයට සිදු වී ඇති පාඩුව බිලියන 8.5 කි. ඒ ලාභය ගියේ බෑනාගේ සමාගමටයි. ප්‍රමාණය කුමක් වුවත් දූෂණය වරදකි. එසේ වුවද ඒකාබද්ධය කියන කතා නිසා මෙයට කිසියම් සැසඳීමක් අවශ්‍යය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවරාගෙන භාරදුන්නේ තම මස්සිනාටය. නිශාන්ත වික්‍රමසිංහ මහින්දගේ මස්සිනා එක වසරකදී ශ්‍රී ලංකන් සමාගමට කළ පාඩුව බිලියන විසිදෙකකි. අර්ජුන්ගේ බෑනාගේ බිලියන 8.5 මෙන් දෙකහමාර ගුණයක් එක වසරකදීය. එම වසර ගණන තුළ පාඩුව බිලියන සීයකට වැඩිය. ඒ එක කතාවකි.

ගනු දෙනුවල පරතරය

මිග් ගනුදෙනුව ඩොලර් බිලියනවලිනි. ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙවූ මුදල ඩොලර් බිලියන 14.7 කි. යුක්‍රේනයට ලැබී ඇති මුදල ඩොලර් බිලියන 7.2 කි. කොහේ ගියාදැයි නැති මුදල ඩොලර් බිලියන 7.5 කි. රුපියල්වලට හැරවූ විට බිලියන දහසකට වැඩිය. ඒවා ද මහින්දගේ ඥාතීන්ගේ වැඩය. මහ බැංකු ගනුදෙනුව හූණු බිකක් ‍කියා හිටපු ජනාධිපතිනිය ද වරක් කියා තිබුණි. ඒ මෙවැනි ගණන් හිලව් නිසාය.

කෙසේ වෙතත් මහින්දගේ කණ්ඩායමට බැඳුම්කරය තව තවත් උඩ දමන්නට ඕනෑය. ඒ තමන්ගේ හොරකම්වලට අවධානය යොමුවීම අඩුකර ගන්නටය. මහා පරිමාණ දූෂණ සෙවූ කොමිසන් වාර්තා 34 ක් මේ එක වාර්තාවෙන් වහන්න ඔවුනට අවශ්‍යය.

බැඳුම්කර වාර්තාව සමාජගත වන විට මහින්දගේ කල්ලිය තක්කු මුක්කු වී ඇත. ඔවුන් කියන මහා කොල්ලයක් ගැන මෙහි නැත. විශේෂයෙන්ම අගමැති රනිල් හා එජාපය නිදොස්කොට නිදහස්ය. එවිට දැන් කියන්නේ වාර්තාවේ පිටු අඩු බවයි. එයින් ඔවුන් නොකියා කියන්නේ ඔවුන්ට ඕනෑ දේ වාර්තාවේ නැති බවයි. නැති පිටු ගණන් බලන්නේ ඒකටය.

වාර්තාවක පිටු එහෙම ගලවාගන්නට නොහැකිය. වාර්තාව එකට සම්බන්ධය. පිටුවක් ගැලවූ විට අඩුවක් දැනීම වළක්වන්න නොපුළුවන. එසේ නම් අග මුල නොගැළපෙන වාක්‍ය දැකිය හැකි විය යුතුය. එසේ වුවද මුද්‍රිත වාර්තාවක් අන්තර්ජාලයට මුදාහරින විට අඩු පිටු සංඛ්‍යාවක් වීම සාමාන්‍ය දෙයකි. මහින්ද කල්ලිය ජනතාව නොමඟ යවන්න උත්සාහ කරන්නේ එම කරුණ නොදැන නොවේ.

බැඳුම්කර ප්‍රශ්නය ගැන වාමාංශික මිතුරකු කී කතාවකින් මෙම ලිපිය අවසන් කිරීම සුදුසුය. ඔහු කීවේ සිල්වත් බව පිළිගත් භික්ෂුවක ගැන විරෝධයක් ඇතිකළ හැකි හොඳම ක්‍රමය උන්වහන්සේගේ සිල්වත් බව පිළිබඳ ප්‍රශ්නයක් මතුකිරීම බවයි. අවංක බව හා හොරෙකු නොවන බවට කීර්තියක් ඇති අයකුට පහරදිය හැකි හොඳම ක්‍රමය හොරෙකු බව කීමය යන්න එම වාමාංශිකයා කී කතාවයි. එලෙසම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශාල ජනතා පිළිගැනීමක් ඇත්තේ අවංකභාවය පිළිබඳව නිසා විරුද්ධවාදීන් කරන්නේ එයම ප්‍රශ්න කිරීම බව ඔහු කීය. එය ඉතා හොඳ නිරීක්ෂණයකි.

මේ මොහොතේ මහා පරිමාණ වංචා දූෂණ 34 ක් ගැන තියෙන වාර්තා ගැන කතා නැත. ඒ ඒවාට චෝදනා ලැබූවන් හොරු බව ජනතාව දන්නා නිසා විය හැකිය. කතා කරන්නේ බැඳුම්කරය ගැනය. ඒ විපක්ෂය එම චෝදනාව අගමැතිවරයාට එල්ල කරන්න හැදූ නිසාය. එහෙත් දැන් ඒ සියල්ල හබක් ය.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *