පුංචි ඡන්දයේ මුග්ධ පම්පෝරි

පුංචි මැතිවරණය නමින් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී තිබෙන පළාත් පාලන ආයතනවලට නියෝජිතයින් තෝරාපත් කර ගැනීමේ මැතිවරණය පැවත්වීමට නියම වී තිබෙන්නේ එළඹෙන පෙබරවාරි 10 දිනය. මැතිවරණය පුංචි වූවද ඒ ගැන කෙරෙන කතාබහ දෙස බලන විට පෙනී යන්නේ එම කතාබහ නම් කිසිසේත්ම පුංචි නොවන බවය. සමස්තයක් ලෙස ගත්විට මෙම කතාබහ කොටස් දෙකකට බෙදිය හැකිය.ඒ පුංචි කතාබහ සහ ලොකු කතාබහ ලෙසය. පුංචි කතාබහ ඇති වී තිබෙන්නේ පුංචි මැතිවරණයේ ව්‍යුහාත්මක සහ ප්‍රායෝගික පැත්ත ගැනය. මෙම කතාබහවලින් පෙන්නුම් කරන්නේ එසේ කතාකරන අයගේ එම කරුණු පිළිබඳව ඇති විෂය බද්ධ දැනුම හා අවබෝධයයි. වෙනත් ආකාරයකට කියනවා නම් දැනුවත්කමේ දැනුවත්භාවයයි.

තවත් ආකාරයකට කියනවා නම් දැනුවත්කමේ නිවැරදිභාවයයි. පුංචි මැතිවරණය පිළිබඳව කෙරෙන කතාබස්වල දෙවන කොටසින් පෙන්නුම් කරන්නේ ඒ ඒ දේශපාලන පක්‍ෂ සහ ස්වාධීනව තරග කරන කණ්ඩායම් තමන්ගේ දැනුමේ සහ අවබෝධයේ හැටියට ගණන් හදන ලද සමපේක්‍ෂණය කරන ලද මැතිවරණ ප්‍රතිඵල නැතිනම් මෙසේ විය හැකියයි මනෝමූලිකව සිතා ගන්නා මැතිවරණ ප්‍රතිඵල පදනම්කරගෙන කරන උදම්ඇනීම්ය. නැතිනම් කරනු ලබන විච්චූර්ණ කතාය. එසේත් නැතිනම් පම්පෝරි ගැසීම්ය. දැනුවත්කමේ නොදැනුවත්කම පෙන්නුම් කරන්නේ මෙම දෙවන ඛාණ්ඩයේ කතාබස් වලිනි. පුංචි මැතිවරණයේ සැබෑ යථාර්ථය හා හරය කණපිට ගසා තිබෙන්නේ මෙම කතාබස් වලිනි. ජනතාව නොමග යවා තිබෙන්නේ, ජනතාව ගොනාට අන්දවා තිබෙන්නේ මෙම කතාබස් වලිනි. දැනුවත්කමේ දැනුවත්භාවය යථාපරිදි අවබෝධ කර ගැනීමට නම් මෙම කතාබස් කොටස් දෙකට අවධානය යොමුකළ යුතුය.

පෙබරවාරි 10 දින පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව යම් යම් හේතු සාධක දක්වමින් අක්‍රීය කර තිබූ පළාත් පාලන ආයතන 341 ක් සක්‍රීය කිරීම සඳහා ජනතා නියෝජිතයින් තෝරපත් කර ගැනීම පිණිසය. මෙම පළාත් පාලන ආයතනවලින් 24 ක් මහ නගර සභා වන අතර 41 ක් අයත් වන්නේ නගර සභා කාණ්ඩයටය. ඉතිරි 276 ප්‍රාදේශීය සභාවන් වේ. මෙම පළාත් පාලන ආයතන 341 සඳහා තෝරාපත් කළයුතු සභිකයින්ගේ මුලූ සංඛ්‍යාව 8356 කි. එයින් 5092 ක් හෙවත් මුලූ සභික සංඛ්‍යාවෙන් 60% ක් තෝරා ගන්නේ ඡන්ද කොට්ඨාස පදනම් කරගෙන සෘජුවම ඡන්දදායකයින් විසිනි. ඉතිරි 3264 හෙවත් මුලූ සභික සංඛ්‍යාවෙන් 40% තෝරා ගන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයේ ලැයිස්තු ක්‍රමය පදනම් කර ගෙනය.

පුංචි මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින මුලූ අපේක්‍ෂක සංඛ්‍යාව 57252 ක් වේ. මොවුන් තෝරා පත්කර ගන්නේ කේවල මන්ත්‍රී ඡන්ද කොට්ඨාස සහ බහු මන්ත්‍රී ඡන්ද කොට්ඨාස වශයෙන් මැතිවරණ කොමිසම විසින් සීමා නීර්ණය කර ඇති මැතිවරණ බල ප්‍රදේශ 14914 කිනි. බහු මන්ත්‍රී ඡන්ද කොට්ඨාසවලින් නියෝජිතයින් තෝරා ගැනීම කරනු ලබන්නේ ඡන්ද කොට්ඨාශය තුළ ඒ ඒ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායම ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය අනුවය. මේ අනුව කොට්ඨාශය තුළ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගන්නේ කුමන දේශපාලන පක්‍ෂයද නැතිනම් ස්වාධීන කණ්ඩායමද එයට බහු මන්ත්‍රී ආසන සියල්ල හිමි වේ.

නව මැතිවරණ ක්‍රමය දෙස බලන විට පෙනී යන්නේ එය සරළ බහුතර නියෝජන ක්‍රමය සහ සමානුපාතික නියෝජන ක්‍රමය යන මැතිවරණ ක්‍රම දෙකේ සම්මිශ්‍රණයකින් නිර්මාණය කර ඇති එකක් වන බවය. මේ අනුව එක් අතකින් ඡන්දදායකයින්ට තම ඡන්දය භාවිත කරමින් සෘජුවම තමන්ගේ නියෝජිතයින් තෝරපත් කර ගැනීමට හැකියාව හිමිවන අතර අනෙක් අතින් තමන් අයත් පක්‍ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ප්‍රකාශ කරන ලද සමස්ත ඡන්ද සංඛ්‍යාව පදනම් කරගෙන ලැයිස්තුව යටතේ තවත් අතිරේක නියෝජිතයින් කණ්ඩායමක් පත්කර ගැනීමේ හැකියාව ද හිමි වේ. මේ ක්‍රමය මගින් ඡන්දදායකයින්ට ද්විත්ව නියෝජනයක් හිමි වේ. මේ අනුව බලන විට නව ක්‍රමය හරහා ජනතා පරමාධිපතිත්වය වඩාත් හොඳින් ක්‍රියාවට නැංවීමට ඡන්දදායකයින්ට ඉඩප්‍රස්ථාව හිමිවන බවට කෙනෙකුට තර්ක කළහැක.

මෙම නව මැතිවරණ ක්‍රමයේ තවත් කැපී පෙනෙන ලක්‍ෂණයක් ලෙස මනාප ඡන්ද ක්‍රමය නොමැති වීම පෙන්වා දියහැක. ඡුන්දදායකයින්ට හිමි වන්නේ එක් ඡන්දයක් පමණක්ය. ඡන්දදායකයා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ තමන් කැමති දේශපාලන පක්‍ෂයට හෝ ස්වාධීන කණ්ඩායමටය. මේ අනුව කොට්ඨාස මට්ටමෙන් ප්‍රකාශ කරන ඡන්ද පදනම් කරගෙන කොට්ඨාශයේ ජයග්‍රාහී නියෝජ්තයා තෝරාපත් කරන අතර සමස්ත පළාත් පාලන බල ප්‍රදේශය තුළ ඒ ඒ දේශපාලන පක්‍ෂයට සහ ස්වාධීන කණ්ඩායමට ප්‍රකාශ වී ඇති මුලූ ඡන්ද ප්‍රමාණය ගණනය කොට ලැයිස්තුවෙන් හිමිවන නියෝජිතයින්ගේ ප්‍රමාණය වෙන් කරනු ලැබේ.

නව මැතිවරණ ක්‍රමයේ තවත් විශ්ෂ ලක්‍ෂණයක් වන්නේ කාන්තා නියෝජනය සඳහා සපයා තිබෙන ඉඩප්‍රස්ථා ප්‍රමාණය ඉහළ දැමීමය. මේ අනුව කොට්ඨාස මට්ටමින් ඉදිරිපත් කරන නාමයෝජනා ලැයිස්තුවේ මුලූ නාමයෝජනා සංඛ්‍යාවෙන් 10% ක් කාන්තාවන් සඳහා වෙන්කළ යුතුය. සමානුපාතික ලැයිස්තුවෙන් 50% ක් කාන්තාවන් සඳහා වෙන්කළ යුතුය. මැතිවරණයෙන් පසුව පළාත් පාලන ආයතනයේ නියෝජන සංයුතිය තුළ කාන්තා නියෝජනය 25% ක් වන බවට මැතිවරණ කොමසාරිස්වරයා වගබලා ගත යුතුය. එසේ වූවද මැතිවරණ ප්‍රතිඵල අනුව යම් දේශපාලන පක්‍ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට තමන් තරග කළ පළාත් පාලන බල ප්‍රදේශය තුළ ප්‍රකාශිත මුලූ ඡුන්ද ප්‍රමාණයෙන් 20% ක් ලැබී නොමැත්තේ නම් සහ හිමි වී තිබෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාව 3 ට වවා අඩු වන්නේ නම් එහි දී කාන්තා නියෝජනය සම්බන්ධයෙන් දක්වා තිබෙන අනිවාර්ය අවමය අදාළ නොවේ.

නව මැතිවරණ ක්‍රමයේ තවත් ලක්‍ෂණයක් වන්නේ ඡන්ද ගණන් කිරීම ඡන්දය පවත්වන ස්ථානයේදීම සිදු කිරීමය. මේ සඳහා ඡන්දය පැවැත්වීම භාරව කටයුතු කරන නිලධාරීන් ඡන්දය පැවැත්වීම අවසාන වීමෙන් පසුව එනම් සවස 4.00 න් පසුව ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන් බවට පත් වේ. ගණන් කිරීම අවසන් වූ පසු එම ස්ථානයේදීම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඡන්ද පොළවල් එකකට වැඩිනම් ඒ ඒ ඡන්ද පොළේ ප්‍රතිඵල එහිදීම ප්‍රකාශ කොට එම ප්‍රතිඵල ප්‍රධාන මධ්‍යස්ථානයට ගෙනගොස් අවසාන ප්‍රතිඵලය ප්‍රදර්ශනය කරනු ලැබේ. අනතුරුව සෑම ඡන්ද පොළකම ප්‍රතිඵල එකට එකතු කොට ගණන් කිරීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනයේ අවසාන ප්‍රතිඵලය ප්‍රකාශ කරනු ලැබේ.

පළාත් පාලන ආයතනයේ නායකත්වය හිමි වන්නේ ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර කොට්ඨාස සංඛ්‍යාවක් එනම් මුලූ කොට්ඨාස සංඛ්‍යාවෙන් 50% ට වඩා හිමිකර ගත් දේශපාලන පක්‍ෂයට හෝ ස්වාධීන කණ්ඩායමටය. එසේ නොමැති වූ විට සභාවේ මුලූ සාමාජික සංඛ්‍යාව විසින් බහුතරයකගේ අනුමැතියෙන් තෝරාපත් කරන තැනැත්තාටය. මේ සඳහා මැතිවරණය පවත්වා මාසයක් ගතවීමට ප්‍රථමයෙන් අදාළ ප්‍රදේශයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා විසින් පළාත් පාලන ආයතනයේ සභාවාරයක් කැඳවිය යුතුය.

ඉහතින් දැක්වූයේ පුංචි මැතිවරණය හා අදාළ කරුණු කාරණා පිළිබඳව දැනුවත්කමේ දැනුවත්භාවය ඇති අය විසින් ප්‍රකාශ කරන මතිමතාන්තරය . නමුත් පුංචි මැතිවරණය හා සම්බන්ධව දේශපාලන පක්‍ෂ සහ දේශපාලනඥයින් විසින් ප්‍රකාශ කරන අදහස් සමූහයක්ද මේ සමඟ දැකිය හැකි වේ. දැනුවත්කමේ නොදැනුවත්භාවය කදිමට ප්‍රකාශ වන්නේ මෙම අදහස්වලිනි. මෙම අදහස් බොහෝවිට ප්‍රකාශ වන්නේ මැතිවරණ සටන් පාඨ ලෙසය. සංක්‍ෂිප්ත වශයෙන් මේ ඒවායින් කිහිපයක්ය. පොහොට්ටුව ප්‍රධාන කරගත් ඒකාබද්ධ විපක්‍ෂය පුංචි මැතිවරණය දකින්නේ මහින්ද රාජපක්‍ෂ යළි ජනාධිපති කරවීමේ අරගලයේ සමාරම්භක පියවර ලෙසය. ජනතා විමුක්ති පෙරමුණ පුංචි මැතිවරණය දකින්නේ හොරුන්ගෙන් නගරය සහ ගම බේරා ගැනීමේ සටන ලෙසය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පුංචි මැතිවරණය දකින්නේ ආණ්ඩුව ඇතුලේ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හොරු පන්නා දමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තනි ආණ්ඩුවක් සෑදීමේ අරගලය ලෙසය.

එක්සත් ජාතික පක්‍ෂය පුංචි මැතිවරණය දකින්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කෙරෙහි තැබූ විශ්වාසය කඩ කරමින් ජනාධිපතිවරයා කරන මදිපුංචිකම්වලින් මි දී තමන්ගේ අභිමානය ආරක්‍ෂා කර ගනිමින් රට පාලනය කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ අරගලය ලෙසය. මෙම පම්පෝරි වචන හරඹයෙන් සිදු වී තිබෙන්නේ පුංචි මැතිවරණයේ සබෑ හරය යටපත් වී ව්‍යාජ බල අරගලයකට ඡන්දදායකයින් පොළඹවාලමින් ඔවුන් එකිකො සමඟ ඇණකොටා ගැනීමට සැළැස්වීමය.

මෙම පුංචි මැතිවරණයෙන් දේශපාලන පක්‍ෂ ප්‍රකාශ කරන අරමුණු ඉටුකර ගත හැකිද? මේ මැතිවරණය හරහා මහින්ද රාජපක්‍ෂට යළි බලයට ඒමට හැකිද? එකම පිළිතුර එය සිහිනයක් පමණක් වන බවය. හේතුව මෙම මැතිවරණය ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් නොවීමය. ජනාධිපතිවරණයක් වූවද පවතින ව්‍යවස්ථාමය නීතිරීති අනුව ඔහුට ජනාධිපතිවරණයකට යළි ඉදිරිපත් වීමට නොහැකි වීමය.

අනෙක් අතට පාර්ලිමේන්තු මැතිවරණයක් වූවද අඩුම වශයෙන් අගමැති තනතුර ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ මුලූ ආසන සංඛ්‍යාවන් 113 පමණ දිනා ගැනීමට සිදු වීමය. ජනතා විමුක්ති පෙරමුණ හොරුන්ගෙන් රට බේරා ගැනීම ගැන අතිශයින්ම ආකර්ශනීය කථාවක් කියා පාන්නේය. එය කළහැකි නම් ඉතාම හොඳය. නමුත් මෙයින් පෙනී යන්නේ දේශපාලනයේ සැබෑ අරුත ජනතා විමුක්ති පෙරමුණ අවබෝධ කරගෙන නොමැති බවය. දන්නවා නම් හොරුන්ගෙන් තොර දේශපාලනයක් ගැන කථා නොකරනු ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ගෝල බාලයින් දකින්නේද සිහිනයක්ය. එනම් හොරුන්ගෙන් තොර පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම ගැනය. මෙහි දී මතුවන ප්‍රශ්න දෙකක් තිබේ. හොරුන්ගෙන් වියුක්ත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයක් ගැන කතාකළ හැකිද යන්න පළමු ප්‍රශ්නයයි. දෙවැන්න එවැනි අය සිටියත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වර්තමාන ශක්තිය අනුව තනි ආණ්ඩුවක් පිහිටුවිය හැකිද යන්නය.

අවසාන වශයෙන් සළකා බැළිය යුත්තේ එක්සත් ජාතික පක්‍ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීම ගැන කියන කථාන්තරයයි. අපහසු වූවද පවතින දේශපාලන සන්දර්භය තුළ තමන් කරන දේ කිරීමට යම් හෝ ආකාර හැකියාවක් ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයට පමණක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.හේතුව එක්සත් ජාතික පක්‍ෂය සතුව පාර්ලිමේන්තුව තුළ තිබෙන බහුතර බලයයි. නමුත් මෙයද තීරණය වන්නේ පුංචි ඡන්දයෙන් එක්සත් ජාතික පක්‍ෂය අයත් කර ගන්නා බලයේ සාපේක්‍ෂ ශක්තිය අනුවය.

අවසාන වශයෙන් කිව යුත්තේ මේ සෑම ප්‍රකාශනයක්ම පම්පෝරි ප්‍රකාශන වන බවය. දැනුවත්කම පෙන්නුම් කරනවායැයි හැඟවීම සඳහා කළද අදාළ කරුණු පිළිබඳව තමන්ගේ නොදැනුවත්භාවය මනාව පෙන්නුම් කරන ප්‍රකාශන වන බවය. මේවාට රැවටී ජන්දදායකයනුත් තමන්ද නොදන්නා බව ප්‍රදර්ශනය කළ යුතුද? සැබැවින්ම ජන්දදායකයන් කළ යුත්තේ තමන් දන්නා බව ප්‍රදර්ශනය කිරීමය. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? පම්පෝරි වූවද යථාර්ථයට වඩාත් කිට්ටු වන පම්පෝරිය තෝරා ගෙන එම පම්පෝරියට ඡන්දය ප්‍රකාශ කිරීමය.

Email Facebook Twitter Google+ Pinterest PrintFriendly

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *